Saturday 21 September 2024

සූරියආරච්චි මි, නොආවෙමි - Coming colour excellent

ඡන්දය දාන්නට ලංකාවට එන්නේ කවදාදැයි අසා ශ්‍රී ලංකාවේ වාසය කරන හිතවත් අයකු මට පණිවිඩයක් එවා තිබුණි. මා යැවූ පිළිතුරු පණිවිඩය තවත් තොරතුරු එකතු කොට අද ඡන්ද දිනයේ මෙලෙස සටහන් කරන්නට සිතුනි.

සැප්තැම්බර් මාසයේ ලංකාවට පැමිණෙන්නට මා සැලසුම් හැදුවේ ජනාධිපති චන්දය ප්‍රකාශ කරන්නටත් කලකට පෙර පසුගිය ජුනි මාසයේ දී ය. ඒ සැලසුම ක්‍රියාවට නැංවූවා නම් එය මගේ මේ වසරේ කෙරෙන තුන්වෙනි ලංකා සංචාරය වන්නට ඉඩ තිබුණි.

නමුත් අවාසනාවට මෙන්, පසුගිය ජූලි මාසයේ කළ විදෙස් ගමනකින් පසු මට ගමන් මහන්සිය අතරම කෝවිඩ් රෝගය වැළඳීමත්, සති දෙකකට පමණ පසු ඒ තත්ත්වයෙන් යාන්තම් මිදෙනවාත් සමගම ඉන්ෆ්ලුවෙන්සා වයිරසය වැළඳීමත් නිසා මාසයක පමණ කාලයක් නාස්ති වී ගියේය.

ලෙඩ ඇඳේ සිටි ඒ කාලය අතරතුරේ සැප්තැම්බර් යෝජිත ගමන මාස කිහිපයකින් කල් දමන්නට මම තීරණය කළෙමි. එයට මූලික හේතුව ශරීර සෞඛ්‍යය ගැන දැන් තරමක් සැලකිලිමත් වීමට කාලය එළැඹ ඇති නිසා ය.

අනිත් කාරණය වූයේ ඉතාමත් කණගාටුදායක ලෙස මෙවර මට ලංකාවේ ඡන්දය අහිමිව ගොස් තිබීමයි.

උපතේ සිට අද දක්වාම අඛණ්ඩව ශ්‍රී ලංකා පුරවැසියෙකු සහ වසර විසිපහක පමණ සිට ඕස්ට්‍රේලියානු පුරවැසියකු ද වන ද්විත්ව පුරවැසි මගේ (සහ මගේ බිරිඳගේ) ඡන්දය සැමවිට ම ලියාපදිංචි කෙරුණේ මගේ දෙමව්පියන් සිටි නිවසේ ය. මා ලංකාවේ සිටින කාලයක ඡන්දයක් පැවැත්වුණේ නම් ඡන්දය ප්‍රකාශ කිරීමට මට ඒ නිසා අවස්ථාව ලැබුණි.

කෝවිඩ් ව්‍යවසනය නිසා අම්මාට ඈ සිටි නිවස අතහැර මල්ලිගේ නිවසට යාමට සිදුවුණු අතර, වසර දෙක හමාරකට පමණ පසු ශරීර සෞඛ්‍ය දුර්වල වී ඇය දිවි ගමන නිම කළාය.

ලංකාවේ පවතින නීතියට අනුව ඡන්ද හිමි නාම ලේඛනය වසරින් වසර හෝ ඒ ආකාරයට නිරන්තරයෙන් ම යාවත්කාලීන කළ යුතු බැවින් මගේ (සහ බිරිඳගේ ද) ඡන්දය අහෝසි වී ගොස් ඇති බව මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට ගොස් මගේ හැඳුනුම්පත් අංකය ඇතුල් කර විමසන විට පෙනේ.

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික චන්දදායකයින්ට ඡන්දය දීමේ අවස්ථාව ලබාදීමට කටයුතු සම්පාදනය කරන ලෙස ඉල්ලා සුනිල් හඳුන්නෙත්ති ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මීට වසර හත අටකට පෙර කථානායක කරු ජයසූරියට ලිපියක් බාරදුනි. මා ඒ පිළිබඳව ඊට කලකට පසු ෆේස්බුක් එකේ සටහනක් මගින් විපරමක් කළ විට එයට ප්‍රතිචාර දැක්වූ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ඒ කර්තව්‍යය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් (වැනි දෙයක්) ස්ථාපිත කළ බව ද, පසුව ආණ්ඩු මාරුවත් සමගම එය යටගිය බව ද පැවසීය.

දින දෙක තුනකට පෙර රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට සහභාගී වූ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක, මේ ප්‍රශ්නය ඔහුට යොමු කරන ලද විට, පිළිතුරු දුන්නේ ඔහු නායකත්වය දරන ආණ්ඩුවක් යටතේ ඒ ක්‍රියාවලිය නැවත පණගන්වා විදෙස්ගත ලාංකික ඡන්දදායකයින්ට තමන්ගේ ඡන්ද හිමිකම භාවිතා කිරීමට අවස්ථාවක් ලබාදෙන බවයි.

එතෙක් බලා සිටිමි.

ලක්ෂ සංඛ්‍යාත පිරිසකට එලෙස ඡන්ද බලය ලැබේවා.

ජයෙන් ජය ම වේවා!

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.