Friday 18 October 2024

ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂය සඳහා සුදුසු ම දේශපාලන පක්ෂය “ජන අරගල සන්ධානය” යි - The need of the hour for Sri Lanka


ලංකාවේ පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයින් තෝරා ගැනීම සඳහා නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත මහ ඡන්දයෙන් පසු ආණ්ඩුවක් පිහිටවන්නේ කොයි දේශපාලන කණ්ඩායම ද යන්න පිළිබඳව සැකයක් කිසිවෙකු තුළ නැති බව පෙනේ.

කිසිවෙකු තුළ යැයි කියන්නේ පසුගිය ජනාධිපති ඡන්දය ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාගේ පාක්ෂිකයින් තුළ පමණක් නොව, ඡන්දයේ දී පැරදුනු අපේක්ෂකයින් නියෝජනය කරන බොහෝ කණ්ඩායම්වල පිරිස් පවා විශ්වාස කරන්නේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම මහ ඡන්දය දිනන බව ය. ඔවුන් සටනක් දෙන්නේ හොඳ විපක්‍ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුව නිසිමග යැවීමට බව ද ඔව්හූ කියති.

ජනාධිපති චන්දයේ දෙවෙනි තැන ලැබූ සමගි ජනබලවේගයේ අපේක්ෂකයාගේ පිළේ සමහරුන් නම් ඔවුන් ආණ්ඩුබලය ලබා ගැනීමට සටනක් දෙන බව පැවසුවත්, එය හුදෙක්ම තමන්ගේ සහ තම “කැපුවත් ප්‍රේමදාස” පාක්ෂිකයින්ගේ ස්වයං අභිප්‍රේරණය සඳහා භාවිතා කරන සටන් පාඨයක බවට සැකයක් නැත.

අනුර කුමාර දිසානායක ජනාධිපතිගේ දේශපාලන කණ්ඩායම නොවැම්බර් මහ ඡන්දයෙන් පසු පාර්ලිමේන්තුව තුළ හරිනි අමරසූරිය අගමැතිගේ නායකත්වයෙන් ආණ්ඩුව පිහිටවන විට එහි විපක්‍ෂය ලෙස පත්වීමට සුදුසුම කණ්ඩායම වන්නේ කවර කණ්ඩායම ද?

මගේ අදහසට අනුව, ඒ සඳහා හොඳම කණ්ඩායම වන්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ නායකත්වයෙන් යුතු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළත් සන්ධානය, එනම්, “ජන අරගල සන්ධානය” බවයි.

මෙය සරදමට කියන කතාවක් නොවේ.

ඇත්තටම පාර්ලිමේන්තුවේ දී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ විපක්ෂ කණ්ඩායම ලෙස කටයුතු කිරීමට වඩාත් සුදුසුවන්නේ ඔවුන් ය.

මෙන්න මා දකින හේතු:
  1. ආණ්ඩු පක්ෂය සමන්විතවන්නේ නව නියෝජිතයින්ගෙනි. විපක්ෂය ද එසේවීම හොඳය.
  2. පැරණි යූඇම්පී, සිරිලංකා, රාජපක්ෂ වහල් වැනි කණ්ඩායම්වල දූෂිතයින් තවදුරටත් පාර්ලිමේන්තුවේ සිටිය යුතු නැත.
  3. ජන අරගල සන්ධානයේ අරටුවවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජාතික ජන බලවේගයේ අරටුවවන ජනතා විමුක්ති පෙරමුණ යන කණ්ඩායම් දෙක, එකට සිට වෙන්වූ සහ එනිසාම එකිනෙකා හා පසමිතුරු කණ්ඩායම් නිසා ඔවුන්ට සැබෑ පක්ෂ-විපක්ෂ අරුතෙන් කටයුතු කිරීමට හැකි වෙනු ඇත.
මේ සුසං‍යෝගයේ ඇති වටිනාකම ගැන ඔබට සිතෙන වෙනත් කරුණු තිබේ නම් පහතින් සඳහන් කරන්න.

ජනාධිපති ඡන්දයේ දී ජයග්‍රහණය නොකළ අපේක්ෂකයින්ට ඡන්දය භාවිතා කළ, සජිත් ප්‍රේමදාස පාක්ෂිකයින්, රනිල් රාජපක්ෂ පාක්ෂිකයින්, සහ නාමල් රාජපක්ෂ පාක්ෂිකයින් විසින් තමන්ගේ ඡන්දය නොවැම්බර් මහ ඡන්දයේදී “ජන අරගල සන්ධානය” වෙනුවෙන් පාවිච්චි කළහොත් මේ ආණ්ඩු පක්ෂ - විරුද්ධ පක්ෂ සුසංයෝගය සැබෑවක් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.

- රසික සූරියආරච්චි

(images: Wikipedia )

2 comments:

  1. ඒ් මොනව වුණත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කියන්නෙ අත්දැකීම් සහිත මංත්‍රී කණ්ඩායමක් අවශ්‍ය බවයි. ඒ් වගේම ඔය කියන තරම් පිරිසක් නැහැ ජන අරගල සන්ධානය තුළ ව්‍යවස්ථාදායක සභාවකට යවන්න තරම් සන්නද්ධ. ඒහෙත් හිටපු ජනාධිපතිවරයා කියන විදියට ඒ් හැමෝම මෙවර පාර්ලිමේන්තුවට ඒන්නෙ නෑ වගේම ජනතාව අලුත්ම කණ්ඩායමක්ම ඒවන්න සූදානම්ද කියන ඒක ගැටලුවක්

    ReplyDelete
    Replies
    1. ඔව්, ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවගේ කැමැත්ත අනුව ජනතාව නියෝජනය කළ හැකි අය පත්වේවි.

      රනිල් වික්‍රමසිංහට, සජිත් ප්‍රේමදාසට, නාමල් රාජපක්ෂට ඡන්දය දෙන රටවැසියන් ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජනය කරන්න නම් සුදුසුම අය ඒ ඒ අය ම තමයි.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.