පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන සත්‍යප්‍රසාද් මගේ හොඳ මිතුරෙකි.
මෙය අහම්බයෙන් ඇරඹුණු අමුතුම ආකාරයේ මිතුරු කමකි.
මා ඔහුව මුලින් ම දැක හැඳින කතා බහ කළේ පුංචි බොරැල්ලේ චාරිකා ලර්නර්ස් ආයතයේ බංකුවක ඉඳගෙන මෝටර් රථයක් පැදවීමට වාරය එනතුරු බලා සිටි විනාඩි පහක පමණ කාලයක දී ය.
මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිධරයෙකු වන සත්‍යප්‍රසාද් සහ මට පොදු යහළුවන් කීප දෙනෙකු ම සිටින නිසාදෝ, එදා ඒ අහඹු කෙටි හමුවීම, ඉන් වසර පහලොවකට පසු ෆේස්බුක් හරහා නැවත හමුවී හිතවත්කමක් ඇති කරගන්නට තරම් ප්‍රභල ලෙසින්, අප දෙදෙනා ගේ ම මතකයේ රැඳී තිබුණි.
ඒ මුල් හමුවීමෙන් පසු, මා ඔහු හමුවී තරමක හෝ කතා බහක යෙදී ඇත්තේ පසුගිය අප්‍රියෙල් මාසයේ එක් දිනයක දී පමණක් වුවද, ෆේස්බුක් තුලින් නම් මට ඔහුව නිතර හමුවෙයි.
දේශපාලන වශයෙන් තරමක හෝ සංවේදී මනසක් ඇති ඕනෑම අයෙකු කරන්නාත් මෙන් සත්‍යා ද, අද ලංකාවේ දේශපාලන වටපිටාව ගැන තමන් ගේ අදහස් ෆේස්බුක් ගිනුමේ සටහන් කරයි.
අද මා රසිකොලොජිය කියවන අය අතර බෙදාගන්නට සිතුවේ සත්‍යප්‍රසාද් විසින් නොබෝදා ලියන ලද ප්‍රධාන ප්‍රකාශන තුනකි.
මා මහින්ද රාජපක්ෂ පලවා හරින්නට කැප වන්නේ ඇයි? - 1
අද සිට මහින්ද රාජපක්ෂ ජනපති පදවියෙන් පහ කළ යුතු වන්නේ ඇයි දැයි යන්න හේතුවෙන් හේතුව සඳහන් කරන්නට මම කැමැත්තෙමි. සමහරවිට ජනපතිවරණය ආසන්න වනවිට මෙසේ අදහස් දැක්වීමට මට ඉතිරි වී ඇති එකම මාධ්‍යය වන වත් පොත ද ඒ සඳහා භාවිතා කරන්නට හැකිවේදැයි සාධාරණ සැකයක් අප බොහෝ දෙනෙකුට ඇති හෙයින් කලින් ම මගේ අදහස් දැක්වීම පටන් ගැනීම සුදුසු යැයි මම සිතමි.
මගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් දැනටම දන්නා පරිදි මා රැකියාවක් ලෙස කරන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාව ඉගැන්වීමයි. මේ නිසා මුලින් ම මගේ වෘත්තිය සහ රැකියාවට, එනම් සිවිල් ඉංජිනේරු වෘත්තියට සහ විශ්ව විද්‍යාල අධ්‍යයන ක්ෂෙත්‍රයට බලපාන ගැටලු කිහිපයක් ගැන කතා කරන්නට කැමැත්තෙමි.
රාජ්‍ය දේපල බලයේ සිටින දේශපාලකයන් විසින් සිය මැතිවරණ ව්‍යාපාර සඳහා යොදා ගැනීම සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් අපට තිබේ. කවදා මේ තිරිසන් සිරිත ඇරඹුණේ දැයි මා පැහැදිලිව නොදන්නා නමුත් ඒ 1970 දශකයෙන් පසුව විය යුතුයැයි සිතමි. එසේ වුවත් මෑතක් වනතුරු ඒවා හොරෙන් සිදු කරන ලද හුදෙකලා සිද්ධීන් කිහිපයකට පමණක් සීමා විය. බොහෝ විට මේවා සිදු කෙරුණේ ලංගම වැනි ආයතන වල සේවක වෘත්තීය සමිති හරහාය.
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂෙත්‍රයට සමීපව මා කටයුතු කර ඇති දශක තුනකට ආසන්න කාලය තුළ කිසිවිටෙක ඉංජිනේරුවන් වෙත පාලනාධිකාරය විසින් එළිපිට මැතිවරණ කටයුතු වල නිරත වන ලෙස නියෝග කර තිබෙන බවක් මා අසා නැත. මෑතක දී අන්තර්ජාලය හරහා සංසරණය වූ එක් වීඩියෝවක දැක් වුණු මාර්ග සංවර්ධන අධිකාරයේ සේවකයකු පෝස්ටර් අලවමින් සිටින දර්ශනය මා දුටුමුත් එය කිසියම් දේශපාලන හිතවාදී සේවකයකු ගේ ක්‍රියාවක් පමණක් විය යුතු යැයි මම සිතා සිටියෙමි. එහෙත් අද මට දැනගන්නට ලැබුණු පරිදි මාර්ග සංවර්ධන අධිකාරියේ සියලු විධායක ඉංජිනේරුවන් වෙත පෝස්ටර් 60,000 බැගින් යවා ඒවා ඇලවීමට නියෝග කර තිබෙන බවත් තවමත් වෘත්තීය සදාචාරයක් ඉතිරිවී ඇති අධිකාරියේ ඉංජිනේරු වෘත්තීය සමිතිය ඒ ගැන මැතිවරණ කොමසාරිස් වරයාට පැමිණිලි කර තිබෙන බවත් තමාගේ වෘත්තියට අදාළ නොවන කටයුතු වලින් බැහැර වන ලෙස ස්වකීය සාමාජිකත්වයට දන්වා තිබෙන බවත් දැනගතිමි. (මේ ලිපියේ පිටපතක් මා සතුව තිබෙන නමුත් එය මේ සමග දැක්වීමට ඉදිරිපත් නොවෙමි.)
ජේ ආර් ගේ සිට චන්ද්‍රිකා දක්වා කිසිම ජනපති වරයකු විසින් නොකළ පරිදි නිර්ලජ්ජිත ලෙස රාජ්‍ය සේවයට ඇඟිලි ගැසීමට සහ රාජ්‍ය දේපල පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීමට මහින්ද රාජපක්ෂ විසින් ක්‍රියා කර ඇත්තේ මේ ආකාරයෙනි. මේ කරුණ පමණක් වුව ඔහුගේ අපේක්ෂකත්වය පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කිරීමට මට සෑහේ.
දශක සතකට ආසන්න කාලයකට පෙර මෙරට ජනතාව දිනාගත් නිදහස් අධ්‍යාපන අයිතිය නොවන්නට අද මා'තින් මේ ලිපිය නොලියැවෙන්නට බොහෝ ඉඩ තිබිණ. ගතවූ කාලය තුළ මෙරට ජනතාව තුළ ඉහළ විශ්වාසයක් තැබුණු රාජ්‍ය ආයතන අතර අධිකරණය, මැතිවරණ දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව ආදිය සමග විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ද විය. සරසවි පිවිසුම නම් දේශපාලන අතපෙවීම් වලින් නිදහස් තැනෙකැ'යි අපි සිතා සිටියෙමු. මින් පෙර පැවැති කිසිම රජයක් සරසවි පිවිසුම් තෝරාගැනීමේ ක්‍රියාවලියට අත පෙවීමට බිය විය.
මෑතකදී නාමල් රාජපක්ෂ විසින් එක් අපේක්ෂිකාවකට 'සානුකම්පික ලෙස සලකා' විශ්ව විද්‍යාල පිවිසුමට වරම් ලබා දෙන ලෙස ඉල්ලා උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ අනුමැතිය ඇතිව කෙරුණු ඉල්ලීමකට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් රුහුණු විශ්ව විද්‍යාලයයට යැවුණු ලිපියක් අපට දැක ගන්නට ලැබිණි. සරසවි අයදුම් කරුවන්ගේ 'සානුකම්පික ඉල්ලීම්' සලකා බැලීමට විනිවිද පෙනෙන ක්‍රමවේදයක් කොමිසමට තිබේ. ඒ ගැන නාමල් රාජපක්ෂ හෝ වෙන කිසියම්ම අයෙකුගේ රෙකමදාරුවක් අවශ්‍ය නොවේ. මේ රටේ රාජ්‍ය සේවයේ සාමාන්‍ය විනය සහ සදාචාරය මේ තරමට පිරිහුණු කාලයක් තවත් නම් නොවීය.
ජීවිතයේ ඉතිරි ටික කාලයත් මෙරටම ගතකරන්නට ඉටාගෙන සිටින අපට මේ රට සදාචාරයෙන් සහ විනයෙන් යුතු තැනක් කරන්නට දැඩි උවමනාවක් ඇත. දූෂණයෙන්, බලය අනිසි ලෙස යෙදවීමෙන් පිරුණු මේ ගමන නවත්වන්නේ නැතිව එය කළ නොහැකිය. අලුතෙන් එන රජයක් හදා ගන්නට පෙර මේ ජනධිපතිවරයා ගෙදර යැවිය යුතුය. අනෙක් පාර්ශ්වයන් ගැන වග කියන්නේ කෙසේද යන්න මම පසුව පැහැදිලි කරන්නට කැමැත්තෙමි.
මෙවර ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදවීමට මට කළ හැකි සියලු දේ මම කරමි.
මා මහින්ද රාජපක්ෂ පලවා හරින්නට කැප වන්නේ ඇයි? - 2
මීට කීප දිනකට පෙර පුරවැසි බලය වෙනුවෙන් ධර්මසිරි බණ්ඩාරනායක අදහස් දැක්වූ කෙටි වීඩියෝ පටය ඔබ බොහෝදෙනෙක් දකින්නට ඇත. එහිදී ඔහු සඳහන් කල මෑතකදී පාසල් සිසුන් රැසක් ඉදිරියේ 'ධවල භීෂණ' රඟ දැක් වූ අවස්ථාවක ඇති වූ සිද්ධිය මගේ හිත කීරි ගස්සන්ට සමත් විය. යුද ජයග්‍රහණ, අති විශාල යටිතල පහසුකම් සංවර්ධනය ආදියේ අවසන ජාතියක් හැටියට අප අත් පත් කරගෙන ඇති සමාජමය දියුණුව මේ උදාහරණයෙන් හොඳ හැටි නිරූපණය කෙරේ. උඩින් හුදු ජාති වාත්සල්‍යය සේ හැඟවෙන, එ නමුත් එහි සෙවනැල්ලට මුවා වී ඉස්මතු කෙරෙන, එකෙක් පාගා අනෙකා ඉස්මතුවීමේ මහ ජාතියේ අධිපති වාදය (සහ ඊට සුළු ජාතියේ ප්‍රතිචාරය) ද, සදාචාර වර්ධනය වෙනුවට අන්ධ ලෙස ආගම් ඇදහීමද ආදී වශයෙන් තමන් විසින් තමන් ම රවටා ගැනීමේ පුහු ආකල්ප ද නිසා අද අප නතරවී ඇති තැන මෙතැනයි.
මෙහි කූට ප්‍රාප්තිය නම් තමාට, තම ඇමති මණ්ඩලයට හෝ තම රජයට කිසියම්ම හෝ විනයක් ඇතැයි තමන් කරන කියන දෙයින් පෙන්නුම් නොකරණ පර්සි මහේන්ද්‍ර ජනාධිපතිවරයා මෑතක දී තම මැතිවරණ වේදිකාවක දී ජනතාවට විනයක් ඇතිව වැඩ කළ යුතු බවට, ඇඳුම් ද ඇඳගෙනම, ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට යෙදීමයි.
දූෂණය, බලය අනිසි ලෙස යෙදවීම, අනිසි පක්ෂපාතිත්වය ආදිය සිදු වූ පලමු ආණ්ඩුව පර්සි මහේන්ද්‍ර රජය නොවේ. එහෙත් මෙතරම් විවෘතව, නිදහසේ, මේ සා විසල් පරිමාණයෙන්, මේ සිදුවනු අපි මීට පෙර දැක නැත්තෙමු. මෙතෙක් කල් බොහෝ විට ඒවා සීමා වූයේ මූල්‍යමය වංචා සහ හිත මිතුරන්ට කෙරුණු පක්ෂග්‍රාහී අනුග්‍රහය දැක්වීම් වලට පමණි. එහෙත් අවකල් ක්‍රියාවන් ලෙස සමාජයේ සම්මත ස්ත්‍රී දූෂණ, මිනී මැරීම්, මත් ද්‍රව්‍ය ජාවාරම් ආදිය රජයේ මැති ඇමතින් විසින් කරනු ලැබීමත් පාලනාධිකාරය විසින් ඒවා නෑසූ කන් ව සිටීමට අමතරව සමහර අවස්ථාවන්හි දී ඒවා සාධාරණීකරණය කිරීමත් පොලිසිය සහ අධිකරණය විසින් ඒ සම්බන්ධ පැමිණිළි විභාග කිරීම ප්‍රමාද කිරීම, අතපසු කිරීම හා මුළුමනින් ම අත් හැර දැමීමත් නම් පසු ගිය දශකය තුළ ඇතිවූ ප්‍රවණතාවයන් ය.
මේ නිසා බලය ඇත්තෙකුට අපරාධ කිරීම සාමාන්‍ය දෙයකැ'යි ද, (යුද්ධය දිනූ නිසා හෝ 'දේශප්‍රේමී' රජයට සහයෝගය දක්වන නිසා) එසේ කිරීමට ඔවුනට අයිතියක් ඇතැ'යි ද කිසියම් අපරාධකරුවකුට බලය ඇති පුද්ගලයකු ලවා තමාට ඇති චෝදනා අහෝසි කරවා ගත හැකැ'යි ද, එවන් අපරාධ අබියස නීතිගරුක රට වැසියකුට කළ හැක්කේ මුනිවත රැකීම පමණකැ'යිද කියා සිතන සමාජයක් අද ඇතිවී ඇත. මෙය විශේෂිත තත්ත්වයක් නොව සාමාන්‍යය බවත් අපට ඒත්තු ගන්වා තිබේ. මෙවන් සමාජයක් අපවෙත උරුම කර දීමේ තනි වගකීම භාරගත යුත්තේ මර්වින් සිල්වාගේ මැර ක්‍රියා, සාරුවා සුනිල් ගේ ස්ත්‍රී දූෂණ, උසාවියෙන් වරෙන්තු ලබා සිටින සුධර්මන් රදලියගොඩ අත් අඩංගුවට පත් නොවී අරලිය ගහ මන්දිරයේ රැස්වීම් වලට සහභාගි වීම ආදිය කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන ඉවසා බලා සිටින පර්සි මහේන්ද්‍ර නම් තනි පුද්ගලයාය.
අද වන විට මේ 'සදාචාර සංවර්ධනයේ' ඵල පාර්ලිමේන්තුව, පලාත් සභා, ප්‍රාදේශීය සභා විනිවිද පොදු මහජනතාවගේ සාමාන්‍ය ජීවිතය තෙක් විහිදී ඇත. ධර්මසිරිගේ නාට්‍යය අතරමැද 'රිදුණද?' කියා අසන පාසැල් දරුවා බිහිවන්නේ මෙසේ පාදඩ කරණය, පාහරකරණය කරනු ලැබූ සමාජයෙනි. ඒ පාප කර්මයේ පළමු වග උත්තරකරුවා වන්නේ පර්සි මහේන්ද්‍රයි. විනය යනු සමාජයක ඉහළ තැනින් පටන් ගෙන ආදර්ශයෙන් පහළ ස්ථර වෙත පැතිරවිය යුත්තකි. අද සිදුවන්නේ ජනපති කකුළුවා හරහට යන ගමන් සමාජය කෙළින් යවන්නට තැත් කිරීමයි. එද සමාජයට ඇති ආදරයකින් නොව සිය කටයුතු පහසු කර ගැනීමට පමණක් ම බව වටහා නොගන්නට තරම් අපි බයියන් නොවෙමු.
ජීවිතයේ ඉතිරි ටික කාලයත් මෙරටම ගතකරන්නට ඉටාගෙන සිටින අපට මේ රට සදාචාරයෙන් සහ විනයෙන් යුතු තැනක් කරන්නට දැඩි උවමනාවක් ඇත. ඔඩු දුවන පිළිලයක් සේ, අඬු විහිදාගත් බූවල්ලකු සේ, මුළු මහත් සමාජ දේහය වසාගෙන ඉහළ සිට පහළට පැතිර පවත්නා අවිනීත බව, නොමිනිස් බව හා සදාචාරයෙන් තොර බව මුලිනු'පුටා නොදමාඑය කළ නොහැකිය. අලුතෙන් එන රජයක් හදා ගන්නට පෙර මේ ජනධිපතිවරයා ගෙදර යැවිය යුතුය. අනෙක් පාර්ශ්වයන් ගැන වග කියන්නේ කෙසේද යන්න මම පසුව පැහැදිලි කරන්නට කැමැත්තෙමි.
මෙවර ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදවීමට මට කළ හැකි සියලු දේ මම කරමි.
මා මහින්ද රාජපක්ෂ පලවා හරින්නට කැප වන්නේ ඇයි? - 3
මේ දිනවල දේශපාලන වේදිකාවෙන් පොදු අපේක්ෂක මෛත්‍රී ගේ අතීත දූෂණ, වංචා සහ බලය අනිසි ලෙස යෙදවීම් ගැන අසන්නට ලැබේ. ඒ එක්කම මෙය පුද්ගලයින් දෙදෙනෙකු අතර සටනක් බවට ඌණනය වී තිබෙනු ද දකින්නට ලැබේ.
අද මෙරට ඇතිවී තිබෙන සමාජමය ගරාවැටීම, නීතිය පිළිබඳ සමාජයේ විශ්වාසය බිඳීයාම, රාජ්‍ය දේපළ ගසා කෑම සාමාන්‍ය කරණය වීම ආදිය පාලකයාගේ පුද්ගල ස්වභාවයට පමණක් ලඝු කිරීමක් කිසියම්ම හෝ සමාජාවබෝධයක් ඇත්තෙකුගෙන් මම බලාපොරොත්තු නොවෙමි. පශ්චාත් 77 යුගයේ දී ජනාධිපති වරයා යන තනි පුද්ගලයා මත පිරිනමනු ලැබූ අධික බල සංකේන්ද්‍රණය විසින් බලය අයුතු ලෙස යෙදවීම වෙත ආකර්ශකයක් (temptation) සැපයුණා. මෙය ජේ. ආර්. ගෙන් පසුව අඩු වැඩි වශයෙන් එක් එක් ජනපති වරයා/ වරිය විසින් අවභාවිත වුවත්, කෘත්‍රිම ලෙස ඇති කරගත් 2/3 ව්‍යවස්ථාදායක බලයත් සමග, අධිකරණයත් තම අණසක යටතේ පවත්වාගෙන, ව්‍යවස්ථාවෙන් ජනපති වරයා වෙත පමුණුවා තිබුණු වාර ගණනේ සීමාවත් ඉවත්කර ගෙන මේ බල සංකේන්ද්‍රණය අතිශය අනර්ථකාරී මට්ටමකට ගෙන ආවේ රාජපක්ෂ විසිනුයි. මෙහිදී පුද්ගල සාධක බල නොපාන බව නොවේ මා කියන්නේ, මෙකී බලය අවභාවිතාව රාජපක්ෂගේ ම වරදක් නොවන බවයි. එනම්, රාජපක්ෂ හෝ මෛත්‍රිපාල යන පුද්ගලයින් දෙදෙනාගේ ගුණ දොස් විවේචනය නිශ්ඵල බවයි.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා මතු වන්නේ මේ සන්දර්භය තුළයි. මෙතැන දී අවධානය යොමු වන්නේ රාජපක්ෂ නම් පුද්ගලයා නොව රාජපක්ෂ නියෝජනය කරන ක්‍රමය වෙනස් කිරීමයි. රාජපක්ෂ විසින් මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුවීම බලාපොරොත්තු විය නොහැකි වන්නේ ඔහුගේ වත්මන් පැවතීම තීරණය වන්නේත් ඒ සාධක මත නිසායි. මෙහිදී පොදු අපේක්ෂකයාගේ පුද්ගල සාධක ඉස්මතු කරගෙන ඉදිරියට එන්නේ ඔහුට වැඩි ඡන්ද ප්‍රමාණයක් ආකර්ශණය කර ගැනීමේ ශක්‍ය තාවයි. එහිදී පොදු විපක්ෂයේ තේරීම වන මෛත්‍රීපාල නිවැරදි තේරීමක් බව මා සිතනවා.
ඊළඟට වැදගත් වන්නේ මෛත්‍රීපාල හරහා මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර ගන්නේ කෙසේද යන්නයි.
මෛත්‍රීපාල උපදින්නේ ම පොදු වැඩසටහන තුළිනි. ඔහු පොදු වැඩ සටහනේ නිර්මිතයක් මිස පොදු වැඩ සටහන ඔහුගේ නිර්මිතයක් නොවේ. මෛත්‍රීපාල දිනුවොත් ඔහුට අවශ්‍ය වන පාර්ලිමේන්තු බලය එක් කර ගැනීමට මේ වැඩ සටහන මෙහෙයවන අනෙක් පක්ෂ වල සහය අවශ්‍යය. මෛත්‍රීපාල ගේ ඡන්ද ව්‍යාපාරයේ මූලිකම ඉල්ලීම ව්‍යවස්ථා වෙනසම නිසා එයින් පළා යාමට කිසිවකුට නොහැකිය. දින සියය වැඩ සටහන යනු ඉතා කෙටි කාලීන සහ නිශ්චිත අරමුණු කිහිපයක් සහිත වැඩ සටහනකි. එහි ප්‍රගතිය ජනතාවට මාස තුනක් තුළ දැකිය හැකිය. ඒ අනුව ඒ එක්කම එන මහමැතිවරණයට පෙර දින සියය වැඩ සටහනේ සාධනීය ප්‍රතිඵලයක් නැතිව ඔවුනට මහ මැතිවරණයට මුහුණ දිය නොහැකිය. මේ අනුව මේ යෝජනාව තුළ ජනතාවට සැපයෙන ආරක්ෂාවක්, සහතික කිරීමක් ඇත. කෙසේ වුවත් ඇතිවන තත්ත්වය දැනට වඩා ජනතා හිතවාදී බව පැහැදිලිය.
මෛත්‍රීපාල ගේ දූෂණ, වංචා ලෙස මේ දක්වා තිබෙන්නේ වෙස්ට්මිනිස්ටර් යුගයේ දකින්නට ලැබුණු වංචාය. (මෙය නිවැරදි බවක් මින් අදහස් නොකෙරේ). මේ එකක්වත් අඩු ගණනේ රාජපක්ෂ මුලින් තේරී පත් වුණු අවධියේ ඔහුට විරුද්ධව තිබුණු 'හෙල්පින් හම්බන්තොට' තරම් වත් ඒවා නොවේ.
මෙරට දේශපාලනය තුළ (හෝ වෙනත් කිසියම්ම රටක දේශපාලකයින් අතර) දූෂණයෙන් තොර දේශපාලකයින් සිටියේ හෝ සිටින්නේ නැත. මේ තත්ත්වය තුළ අප විසින් 'අඩු නරක' තෝරා ගැනීම හැර වෙන විකල්පයක් නැත. මිනිසුන් සුදු හෝ කළු ලෙස විග්‍රහ කිරීමේ ක්‍රමය කෙතරම් අප්‍රායෝගිකද යන්න අප දැන ගත යුතුය. අපට සංසන්දනය කළ යුතුව ඇත්තේ අළු මිනිසුන් ය. එ නිසා මෙවර ජනපතිවරණයේ සැබෑ අරමුණ වන්නේ මෛත්‍රී නම් වූ මිනිසා බලයට ගෙන ඒම නොව මහින්ද රාජපක්ෂ විසින් නියෝජනය කරණු ලබන විෂම පාලන ක්‍රමය වෙනස් කිරීමයි. එය කළ හැක්කේ මහින්ද රාජපක්ෂ පරාජය කොට විපක්ෂයේ පොදු වැඩ සටහන ජයග්‍රහණය කරවීමෙන් පමණි.
මෙවර ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදවීමට මට කළ හැකි සියලු දේ මම කරමි.
සත්‍යා ගේ ඉදිරි ප්‍රකාශන කියවන්නට කැමති අය සඳහා ඔහුගේ වත්පොත් පිටුව මෙන්න.
https://www.facebook.com/ims.sathyaprasad
-රසිකොලොජිස්ට්
(image: http://www.imagesbuddy.com/man-is-by-nature-a-political-animal/)