Saturday, 29 November 2014

ඕස්ට්‍රේලියාවේ ඡන්ද ගැන කෙටි සටහනක් - A brief note on Australian Elections


අද ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවේ, එනම් මෙල්බර්න් නගරය ප්‍රධාන නගරය වන ප්‍රාන්තයේ, මහ ඡන්දය පැවැත්වේ.

නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සිඩ්නි නගර තදාසන්නයේ ජීවත්වන මට ඒ ඡන්දය අදාල නැතිමුත්, මේ අවස්ථව උපයෝගී කරගෙන ඕස්ටේ‍ර්ලියාවේ මැතිවරණ ගැන සටහනක් ඉතා කෙටියෙන් කිරීමට සිතුවෙමි.

ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය පාලනය තට්ටු තුනකින් සිදුවේ.

එහි පහල පෙලේ තට්ටුව වන්නේ ප්‍රාදේශීය සභා සහ නගර සභා ය. මෙහි ප්‍රාදේශීය සභා යන්න ෂයර් (කෝරලය) කවුන්සිල් කියා හැඳින්වේ. නගර සභා නම් නගර සභා හෙවත් සිටි කවුන්සිල් ම ය. එක් එක් සභා ප්‍රදේශය වෝඩ් හෙවත් වාට්ටුවලට බෙදා ඇති අතර මේවා සඳහා නියෝජිතවරණ සෑම සිව් වසරකටම වරක් පැවැත්වේ.

ඊලඟට ඇත්තේ ප්‍රාන්ත රාජ්‍යයන්ය. මේවා ලංකාවේ පලාත් සභාවලට පොතේ හැටියට බලය පැවරුණොත් ඇතිවන තත්වයට වඩා ඉහල රාජ්‍ය බලයක් ඇති පාලන ආයතන වේ. රටේ ප්‍රාන්ත හයකි. බ්‍රිස්බේන් නුවර පිහිටි ක්වීන්ස්ලන්තය, නිව් සවුත් වේල්සය, වික්ටෝරියාව, හෝබාට් නගරය පිහිටි තැස්මේනියාව, ඇඩිලේඩ් නගර පිහිටි දකුණු ඕස්ට්‍රේලියාව සහ පර්ත් නගරට පිහිටි බටහිර ඕස්ට්‍රේලියාව වශයෙනි. මීට අමතරව ඩාවින් නගරය පිහිටි උතුරු ප්‍රදේශය සහ කැන්බරාව පිහිටි ඕස්ටේ‍ර්ලියානු අගනුවර ප්‍රදේශය ද අඩු බලතල ඇති වෙනම ප්‍රාන්ත ලෙස ක්‍රියාත්මක වේ. එක් එක් ප්‍රාන්ත ඡන්ද කොට්ටාශ ලෙස බෙදා පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඒකල ක්‍රමයට ඡන්දයෙන් තෝරා ගැනේ. මීට අමතරව ප්‍රාන්ත කිහිපයක පමණක් සෙනෙට් සභාවක් වැනි අපර් හවුස් එකක් ඇති අතර ඒ සඳහා නියෝජිතයින් තෝරන්නේ සමානුපාතික ක්‍රමයටයි.

ඕස්ට්‍රේලියාවේ අගනුවරවන කැන්බරා නුවර පිහිටා ඇති පාර්ලිමේන්තුවේ රැස්වන්නේ ෆෙඩරල් රජයයි. මේ සඳහා ද මුළු රටම ඡන්ද කොට්ඨාශ වලට බෙදා කේවල ක්‍රමයට මන්ත්‍රීවරුන් පත්කරගන්නා අතර සෙනෙට් සභාව සඳහා සමානුපාතික ක්‍රමයට එක් එක් ප්‍රාන්තය සඳහා නියෝජිතයින් පත්කර ගැනේ. ඒ ප්‍රධාන ප්‍රාන්තවලට සභිකයින් හය දෙනා බැගින් ද, අනෙක් ප්‍රදේශවල අඩු සංඛ්‍යාවක් ද ලෙසය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගේ නිල කාලය තුන්වසරකි නමුත් සෙනෙට් සභිකයෙකුගේ නිල කාලය වසර හයක් වේ.

ඕස්ට්‍රේලියානු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති එක් පැහැදිලි වෙනසක් නම් ඡන්දය දැමීම, ඒ සඳහා ලියාපදිංචි වී ඇති සියළු දෙනාටම, අනිවාර්ය කර තිබීමයි. ඡන්දය නොදැම්මොත් සතියකින් දෙකකින් ඩොලර් පනහක දඩ කොළයක් ගෙදරට එනු ඇත.

නමුත් ඒ නිසාම ඡන්දය දෙන්නට විවිධ පහසුකම් සලසා ඇත. ඒ සඳහා නියමිත දිනය එනකෙත් සිටිය යුතු නැත. සතියක් තිස්සේ ප්‍රධාන නගරාශ්‍රිතව ඡන්ද මධස්ථාන විවෘත වී ඇත. මා සිතන පරිදි ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලවල දී ද මෙලෙස ඡන්දය දිය හැක. ඒ සමගම ඕනෑම කෙනෙකුට තැපැල් ඡන්ද සඳහා ලියා පදිංචි වී තම ප්‍රජාතන්ත්‍රික අයිතිය බුක්ති විඳිය හැකිවේ. මීට අමතරව ඡන්ද දිනයේ දී නියමිත ඡන්ද පොලට යා යුතුවන්නේ ද නැත.

මෙකී කරුණු නිසා, අද පැවැත්වෙන වික්ටෝරියානු ප්‍රාන්ත නියෝජිතවරණය සඳහා ඊයේ හවස වෙන විට 33% ක පිරිසක් ඡන්දය පාවිච්චි කර තිබුණි!

ඒකල ඡන්ද කොට්ඨාශයක නියෝජිතයා ලෙස පත්වීමට අපේක්‍ෂකයෙකුට ප්‍රකාශිත ඡන්දවලින් 50% කට වඩා ලබා ගත යුතුවේ. මෙහිදී ඡන්දය දෙන්නෙකුට එක්කෝ තමන් කැමති අපේක්‍ෂකයාට ඡන්දය පාවිච්චි කිරීමට හෝ නැතිනම් (ලංකාවේ ජනාධිපතිවරණයක දී මෙන්) තමන් කැමති අය අනුපිළිවෙලට නම් කිරීමට හැකි නිසා ඡන්දය බෙදී ගොස් ඇති අවස්ථාවලදී දෙවෙනි, තුන්වෙනි මනාප සලකා 50% සීමාව ඉක්මවන අපේක්‍ෂකයා තෝරා ගැනේ. සෙනෙට් සභාවට, එනම් අපර් හවුස් එක සඳහා, නියෝජිතයින් පත්කර ගැනීම සමානුපාතික ක්‍රමයට සිදුවෙන නමුත් එහිදී ද මේ ආකාරයෙන් මනාප ක්‍රමයක් ක්‍රියාත්මක වේ. (එක් එක් ප්‍රාන්තවල මැතිවරණ ඉහත දක්වා ඇති නීතිරීතිවල යම් යම් වෙනස්කම් සහිතව සිදුවෙන බව සලකන්න.)

මැතිවරණය පැවැත්වෙන්නේ සැමවිටම සෙනසුරාදාවක ය. ඒ සමගම මැතිවරණ අපේක්‍ෂකයින් සඳහා තරග කාලය ඉතා කෙටිය. බොහෝවිට සති තුන හතරකි. ප්‍රචාරණ කටයුතු විද්‍යුත් මාධ්‍ය සහ ශාලාවල පැවැත්වෙන කුඩා රැස්වීම්වලට බොහෝවිට සීමාවේ. සමහර දිනවල අපේක්‍ෂකයෝ උදෑසන දුම්රිය නැවතුම්පලට පැමිණ පත්‍රිකාවක් බෙදමින් මගීන් හා කතා බහ කරනු දැකිය හැක. සති පොලේ මේසයක් අල්ලා ගෙන ඡන්දදායකින් මුණ ගැසෙන්නෝ ද සිටිති. ගෙයින් ගෙට යෑම ද සමහරවිට සිදු කෙරේ.

ඡන්දය පැවැත්වෙන දිනයේ ඒ කටයුතු සවස පහට නිමවෙන අතර හවස හයට පමණ ඡන්ද ගැනීම ඇරඹේ. රාත්‍රී අට පමණවන විට 10-15 % පමණ ඡන්ද ගැන හමාරවන විට ඒ අනුව පෙනෙන නැඹුරුව සලකා බොහෝ ආසනවල ප්‍රතිපල නිල නොවන වශයෙන් ප්‍රකාශ කෙරේ.

මගේ අත්දැකීමේ හැටියට රාත්‍රී නමය පමණවන විට පරාජය වෙන්නන් එය පිලිගෙන දිනන අයට දුරකතනයෙන් සුභපතා, විද්‍යුත් මාධයෙන් කතා පවත්වන්නට පටන් ගනිති. දිනන්නෝ ද ටික වේලාවකට පසුව එසේම කරති.

මේවන විට කිසිම ආසනයක ප්‍රකාශිත ඡන්ද සියල්ලම ගැන අවසාන වී නැත. ඡන්දය ගණින්නෝ ඒ ස්ථාන වසා දමා නිවෙස්වලට යති. යලි සඳුදා සේවයට පැමිණෙති. අන්තිම ඡන්දය දක්වා ගැන නිල ප්‍රතිපල ප්‍රකාශයට පත් කෙරෙන්නේ තවත් දින කිහිපයකිනි. මා පෙර කී මනාප ක්‍රමය සහ 50% අවම ප්‍රතිශතය නිසා සතියකටත් වඩා මේ ඡන්ද ගැනීම සිදුවෙන අවස්ථාද ඉඳහිට හෝ ඇතිවේ.

සෙස්ස පස්සට.

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

(image: http://www.bbc.co.uk/news/world-asia-24000133)

26 comments:

  1. ආ... එහෙත් එහෙමද.. මෙහෙත් ඒ වගේමයි..

    ReplyDelete
  2. //මගේ අත්දැකීමේ හැටියට රාත්‍රී නමය පමණවන විට පරාජය වෙන්නන් එය පිලිගෙන දිනන අයට දුරකතනයෙන් සුභපතා, විද්‍යුත් මාධයෙන් කතා පවත්වන්නට පටන් ගනිති. දිනන්නෝ ද ටික වේලාවකට පසුව එසේම කරති.//
    අනේ, එහෙමත් වෙනවා නේද? බෝක්කු යට තිබිලා ඡන්ද පත්‍රිකා එහෙම හම්බවෙන්නැද්ද, රසික අයියෙ?

    ReplyDelete
    Replies
    1. පසුගිය (2013 September) මහ ඡන්දයේ දී, බටහිර ඕස්ටේ‍ර්ලියාවේ සෙනෙට් සභා නියෝජිතයින් ට ලැබුණු ඡන්ද වගයක් නැතිවීම පසුව හමුවුණා. ඒ ඡන්දය එනිසා නැවත (2014 April) පැවැත්වුවා.
      http://www.abc.net.au/news/wa-senate-2014/

      Delete
  3. // නිල ප්‍රතිපල ප්‍රකාශයට පත් කෙරෙන්නේ තවත් දින කිහිපයකිනි.//
    එහෙනම් ඔහෙ චන්දෙ ප්‍රතිපල කොම්පුටර් ජිල්මාට් තමයි, ඒකට මෙහෙ, චන්දෙට කලින් ප්‍රතිපලේ කියනව ( දන්නව ).

    ReplyDelete
    Replies
    1. මෙහේත් සැමවිටම පාහේ සමීක්‍ෂණ මගින් තොරතුරු රැස්කර පොඩි නියැදි පරික්‍ෂා කර ඉතා නිවරැදි අනාවැකි පලකරනවා.

      Delete
  4. හැබෑට ඔස්ටරේලියන් කාරයාට පිසසුද? අපිට ඔහොම දඩ ගැහුවනං අපි ලොක්කට කියල දඩේ ෂේප් කරගන්නවා..

    ReplyDelete
    Replies
    1. දඩේ නං පොඩි ගාණක්. ඡන්දෙට ලියාපදිංචි වෙන්නේ නැතුව හිටියාම කිසි අවුලක් නෑ!

      Delete
  5. කිසි ගතියක් නැහැනේ,දෙකක් දාගෙන චන්ද ප්‍රතිපල අහන සතුට ඕස්ට්‍රේලියාවේ කට්ටියට නැතිව ඇති....

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ, ඉලෙක්‍ෂන් පාටි දාන්න පුළුවනි හිතු විලසට. මේ වගේ පාටියක් ආශ්‍රිතව චිත්‍රපටියකුත් හැදිලා තියෙනවා.
      http://en.wikipedia.org/wiki/Don%27s_Party

      Delete
  6. හයියෝ බොරින් රටකනේ රසික ඉන්නේ. චන්දෙ දවසට වෙඩිල්ලක් වත් නැත්ද? අඩුම ගානේ කට කැපිලි වත්? නැත්නම් ඇඳුම් ගැලවිලි? කොමසාරිස්ට ආතතිය හැදෙන්නේ වත් නැත්ද?

    දැන් ඔහේ ෆයිල් තියෙන්නේ කා ගාවද? මේවා එකක් වත් නැත්නම් මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද.

    අඩුම ගානේ රසික, ඔය කැන්බරා වල තියනවය කියන ඔය බර්ලි ග්‍රිෆින් විල අද්දර නවතල තියන, ඕස්ට්‍රේලියාවේ අග විනිසුරු ගේ කාර් එක වත් පැද්දෙන්නේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. අග විනිසුරුගේ නමවත් දන්නේ නෑ. එයා කරන්නේ නඩු අහන එකනේ, කාර්වල නඩු බලවන එක නොවෙයි, එනිසා නිවුස්වල නෑ.

      ඒ කෙසේ වෙතත් ඔය කියන වැව අයිනේ කාර් එක පාක්කරන්න පුලුවනි නම් කොච්චර දෙයක් ද? අපි මල් බලන්න ගිය දවසේ එතැනට ගිහින් හැරිලා ආවා!

      අපි සති දෙකෙන් දෙකට ටැක්ස් ගෙවලා බලා කියා ගන්න පිරිසක් ඉන්නවා කැන්බරාවල. ඒ ගොල්ලන්ට පුළුවන් බේලි ග්‍රිෆින් වැව් සිරිය විඳින්න.

      Delete
  7. අපේ මාරයා අයියා ඔහේට මිස් වෙච්චි කරුණු කීපයක් ඇඩ් කරන්න කිව්වා.

    1. සෙනසුරාදා දවසේම මැතිවරණ තියන්නේ එදාට රවි දසවැන්නේ සිටීම නිසා යහපත් ග්‍රහචාරයක් ඇති වීම නිසායි.

    2. මීට අමතරව සෙනසුරාදා දිනවල රාහු කාලය මධ්‍යම රාත්‍රියේ උදාවීම නිසා එදා තවත් ශුභයි.

    3. හැම සෙනසුරාදාම මැතිවරණ තියන්නේ නැති බවත් ඒකට බලයේ සිටින අගමැතිගේ ග්‍රහාචාරය අනුව ශුභ සෙනසුරාදා දවසක් තෝරා ගන්නා බවත් කියන්න ඔහේට අමතක වී තිබේ.

    4. පාර දෙපැත්තේ අඩි විස්සක් තිහක් ගහන කටවුට් ඔහේට පේන්නේම නැද්ද? ඔහේ මෙහේ වගේ නෙවෙයි කෝච්චි පාරේත් කටවුට් ගහනවා නේද?

    5. හැම මැතිවරණයකටම කලින් ඕස්ට්‍රේලියාවේ ඡන්ද අපේක්ෂකයෝ අපේ මාරයා අයියාට ස්කයිප් මඟින් කතා කරලා ග්‍රහාචාරය අහ ගන්නවා. මේ සේවාවට මාරයා අයියා අය කරන්නේ රුපියල් හයසියයක් පමණයි.

    6. ඕස්ට්‍රේලියාවේත් හැම මැතිවරණයකින්ම අන්තිමට දිනන්නේ මහින්ද අයියාගේ පක්ෂය නේද?

    ReplyDelete
    Replies
    1. @Anonymous29 November 2014 23:01
      +++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. හි හි

      Delete
  8. අර උඩ පින්තූරේ ඉන්න අයට හරියට අඳින්ට ඇඳුමුත් නෑ. එයාලට අලුත් ඇඳුම් අරන් දුන්නානම්, එයාලගේ ජන්දේ ගන්ට තිබ්බා. :D

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමි
      ඔයා කාටද චන්දෙ දුන්නෙ?ඩැනියෙල්ටද නැප්තයින්ටද?

      Delete
    2. කුමාරිට දඩ ගෙවන්න වෙලාද මන්දා?

      කෙසේ වෙතත් ඇන්ඩෲස් දිනුවේය. පැරදුණු නැප්තයින් වහාම කළේ, නව නායකත්වයකට තැන දී පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමයි. බොහෝවිට ඔහු තම ආසනයෙන්ද අස්වී දේශපාලනයෙන්ද සමුගනු ඇත.

      Delete
  9. කතන්දර බ්ලොග් එකේ ගියෙ මේ ලිපියමද නැත්තන් ඔය පින්තූරෙ විතරද?

    ReplyDelete
  10. මේ ඩ්රෙස් කෝඩ් එක මෙහෙත් ප්‍රචලිත කලා නම් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා අඩු වෙයිද?
    ඡන්දය දැමිම වැඩිහිටියන්ට පමනයි කියලා බෝඩ් එකක් ගහලා
    වමේ සිට දෙවෙනියා නම් සිරිසේන මහත්තයට වගේ උඩ නිල් , යට කොල

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මේ වෙරළබද ප්‍රදේශයක පාසලක පැවැත්වුණු ඡන්දපොලක්. ඒකයි නාන ඇඳුමින් ඉන්නේ සමහරු!

      Delete
  11. මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්ටැ!

    ReplyDelete
  12. අපේ රටේ මැති ඇමතිවරු කොච්චර රට රටවල සංචාරේ කලත් ඒ රටවල තියෙන දෙයක් ඉගෙන ගන්නේ නැහනේ,, ස්තුති තොරතුරු වලට

    ReplyDelete
  13. එතකොට අපිට වගේ ආතල් ගන්න අමරුයිද ඒ මැතිවරණ වලින්.ජන්දේ දාන්න නිවාඩු එහෙම දෙන්නේ නැතිද ?

    ReplyDelete
  14. එක් එක් සභා ප්‍රදේශය වෝඩ් හෙවත් වාට්ටුවලට බෙදා ඇති අතර මේවා සඳහා නියෝජිතවරණ සෑම සිව් වසරකටම වරක් පැවැත්වේ//
    මේ කියන්නෙ ආසන ක්‍රමය වගේ එකක් ගැනද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.