Thursday 22 January 2015

පිළියන්දල පුවක්ගස් හන්දියේ නිව් රත්න ටේලර්ස් - New Rathna Tailors - Puwakgas Junction, Piliyandala


කමිස කෙලින්ම සාප්පුවෙන් මිළදී ගත්තද, ටේලර් සාප්පුවකට ගොස් තමන්ගේ උසට මහතට ගැලපෙන පරිදි "ටේලර්-මේඩ්" කලිසමක් මස්සවා ගෙන ඇඳීම තරම් ලක්‍ෂරියක් තවත් ලොවේ නැතැයි මා කිවහොත් මෙය කියවන පිරිමි පක්‍ෂයේ බොහෝ දෙනෙක් මා හා එකඟ වෙනවා ඇත.

කොට කලිසමින් දිග කලිසමට ප්‍රමෝෂන් එක ලැබුණු පසු වසර ගණනාවක් ම මා කලිසම් මැසුවේ ගම්පහ "රෙස්ටන් ටේලර්ස්" සාප්පුවෙනි. ඒ අපි පදිංචිච සිටි තාත්තා ගේ මහගෙදර පැත්තේ තිබූ ප්‍රධානම නගරය ගම්පහ නිසාවෙනි. ගණේමුල්ල සහ කඩවත ඊට වඩා ලඟ වුවද, කලිසමක් මැසීම වැනි බරපතල කර්තව්‍යයක් සඳහා ඒ කඩමණ්ඩි නොගැලපෙන්නාක් සේ අපට දැණුනි.

පේරාදෙනියේ සිටි කාලයේ දී ද කලිසමක් මැසීමට ගම්පහට යෑම මට අමතර කරදරයක් නොවුණත් පසු කලෙක රැකියාව සඳහා කොට්ටාව/අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිව සිටියදී මට ඒ ප්‍රදේශවල ටේලර්ලා ගේ දස්කම් "ට්‍රයල්-ඇන්ඩ්-එරර්" ක්‍රමයට උරගා බලන්නට සිදුවිය. අවාසනාවට ඒ කිසිවක් එතරම් සාර්ථක අත්දැකීම් නොවිණි.

ඩෙනිම් ඇරුණු විට මා මුලින්ම රෙඩි-මේඩ් කලිසම් අඳින්නට පුරුදු වුණේ තායිලන්තයේ ගතවූ පශ්චාත් උපාධි සමයේදී ය. ඒ සමගම ඉතා අඩු ගාස්තුවකට පැය විසිහතරෙන් ඇඳුම් කට්ටල මසා ගැනීමටද බැංකොක් නුවර පහසුකම් තිබුණි. කලිසම් මැසීම සඳහා විවිධාකාරයේ රෙදිවර්ග ද එහි සුලභව තිබුණි.

මා තායිලන්තයේ සිට ආපසු පැමිණියේ කලිසම් රෙදි කැබලි දහයක් පමණ මිළදී ගෙනයි. කීපයක් තෑගිවලට ය. අඩක් පමණ මගේ සුඛ විහරණය වෙනුවෙනි.

මේවන විට අපේ පවුලේ වාසස්ථානය ගම්පහ ආසනයෙන් කැස්බෑව ආසනය කරා වෙනස් වී තිබුණි. ලඟම නගර වූයේ පිළියන්දල සහ මහරගම ය.

"ට්‍රයල්-ඇන්ඩ්-එරර්" කර මගේ වටිනා කලිසම් රෙදි නාස්ති කරගන්නට අවශ්‍යතාවයක් නැති බැවින් හොඳ ටේලර් සාප්පුවක් ගැන මම මගේ සොහොයුරන් ගේ උපදෙස් පැතුවෙමි.

"එළ බූවෙක් ඉන්නවා පිළියන්දල ටවුමේ කොළඹ පාර අයියේ උඩ තට්ටුවක නිව් රත්න ටේලර්ස් කියලා!" රුවන් මල්ලී මට කීවේය.

එදා 1990 ජනවාරියේ සිට මා ලංකාවේ සිටින තාක් කල් මගේ හැම කලිසමක් ම මැසුවේ නිව් රත්න ටේලර්ස් සාප්පුවෙනි. වෙනත් විකල්ප සෙවීමට මට කිසිදු අවශ්‍යතාවයක් ඇති නොවීය. රත්නපාල ගේ කැපුම් සහ මැසුම් ඒ තරම් අගනේ ය.

ඉන් පසුව මා වසරකට, දෙකකට වරක් නිවාඩුවට ලංකාවට ගිය සෑම විටමත් එහි ගොස් "ටේලර්-මේඩ්" ලක්‍ෂරියට අළුතින් අයිතමයන් එකතු කර ගත්තෙමි.

මා පසුගිය අප්‍රියෙල් මාසයේ ලංකාවට ගිය විට සුපුරුදු පරිදි කලිසම් කිපයක් මසා ගන්නට සිත් වී පිළියන්දලට ගියෙමි. නිව් රත්න ටේලර්ස් තිබුණු තැන හොයා ගන්නට බැරි විය.

වහාම සොහොයුරා ගේ දුරකතනයට කතා කළ මට දැනගන්නට ලැබුණේ ටේලර් සාප්පුව පිළියන්දල නගරයෙන් මදක් ඔබ්බෙන් පිහිටි පුවක්ගස් හන්දියට ගෙන ගොස් ඇති බවයි!

වහා එහි ගිය මම සල්ලි-සල්ලි කියා නොබලා කලිසම් පහකටම ඕඩරක් දුන්නා පමණක් නොව ඊලඟ පරම්පරාවට ද නිව් රත්න ටේලර්ස් හඳුන්වා දුන්නෙමි.

මේ පහත ඇත්තේ එදා මා ගත් ඡායාරූප කිහිපයකි.


මේ 2015 ජනවාරි මාසයේ සැමරෙන්නේ නිව් රත්න ටේලර්ස් හා මගේ මේ සේවාදායක-සේවායෝජක සම්බන්ධයේ අවුරුදු විසි පහේ රිදී ජුබිලියයි!

"නිව් රත්න ටේලර්ස්" ට සදා ජය පතමි!

-රසිකොලොජිස්ට්

64 comments:

  1. මුල අමතක නොකිරීම හොඳ ගතියක්.. මමත් රෙඩි මේඩ් කලසන් වලට යනකන් ටේලර් මේඩ් මැහුවේ කිරිබත්ගොඩ සුපර් මාර්කට් එකේ රත්න ටේලර්ස්ගෙන්. පොරත් ඔය වගේමයි. මම මුළු පවුලම අඳුනනවා. ඒ යකා කිරිබත්ගොඩට යන්න කලින් උන්නේ තොරණ හංදියේ ඒකෙන් තමයි ෆිට් උනේ..

    ReplyDelete
    Replies
    1. ශුවර් එකටම පිලියන්දල එකයි , තොරණ හංදියේ එකයි දෙන්නම එකම තාත්තගේ හොර ශොට් වෙන්න ඇති....එක වෙලාවකට මාතලනුයි කාකයි ගැනත් මට පොඩි සැකයක් එනවා..තහවුරු කර ගන්නේ නැතිව ඕවා ප්‍රසිද්ධ මාධ්‍යයේ පල කරන එක යහපාලනය යටතේ හොද නෑනේ හිටං

      Delete
    2. රත්නපාල හොඳට කලිසම් මහන එකේ වෙන තැනකට මොකට යන්නද?

      Delete
    3. මාතලං, ඔය කියන්නෙ කීර්තිරත්න අයියගෙ ශොප් එක ගැන වෙන්න ඇති නේ... පොර දැං පොටෝග්‍රැපි වලට බැහැල ඉන්නෙ....
      බුවා ඒකත් සිරාවටම කරනවා.....

      Delete
  2. මම කෑගල්ලෙ නියම බුවෙක්ගෙන් මැහුවා. මතක විදියට නම ABC ටේලර්ස්.
    අයිති කාරය කව්ද දන්නවද ? අමරසිරි කලංසූරිය

    ReplyDelete
    Replies
    1. අසූවේ දශකයේ කලංසූරිය ගේ කඩයක් තිබුණා නුවර පැත්තේ. ඒකෙන් සුදු කෝට් මහගන්න සල්ලි දිපු මෙඩිකල් ෆැකල්ටියේ කෙල්ලෝ තාමත් ඒ කොට් එනකං බලාඝෙන ඉන්නවා!

      Delete
    2. කලන්සුරිය ගේ සාප්පුව My Inn නමින් තිබ්බ නුවර ටව්මේ දෙපොලක. පේරාදෙනියේත් තිබ්බ. '73, 74 වකවානුවේ.

      Delete
  3. මටනං කඩෙන් ගන්න කොට්න් කලිසම් තරන් මහන ඒව අල්ලන්නෙ නෑ. සා/පෙ ඉවරවෙනකල්ම ඇන්ද මහපු කලිසන් උනාට, උ/පෙ පටන්ගත්දිම ගත්ත කොට්න් කලිසන්, එදයින් එදා ගියෙ නෑ ටේලර් උන්නැහෙ කෙනෙක් හම්බුවෙන්න කළිසමක්ම මහ ගන්න.

    හැබැයි රසිකගෙ කතාව හරි. ඔය ටේලර්ල, බාබර්ල, ටැක්සි ඩ්‍රව්යිවර්ල අගේ සේවා සපයන්නොත් බිස්පෝක් උනාම තමා හරියන්නෙ.

    අගෙයි ඒ මනුස්සයට දීපු උපහාරය!

    ReplyDelete
    Replies
    1. මට එක කලිසමක් මහන්න 2014 අප්‍රියෙල්වල ගියෙත් රුපියක් 1,300 යි ද කොහෙද! ඒ ගානට කඩෙන් කිසමක් ගන්න බෑ ඒ තරම් හොඳ!

      Delete
  4. Replies
    1. සංවත්සරය පොඩි එකක් නොවේ, වසර විසි පහේ රිදී ජුබිලියයි!

      Delete
  5. අපේ කාලේ අපිට කලිසම් මැහුවේ කෑගල්ලේ ඔලිම්පික් ටේලර්ස්. නමුත් ගෑල්ලමයි පිටිපස්සේ යන කාලේ මැහුවේ කොටියාකුඹුරේ විජය ටේලර්ස් සහ අවිස්සාවේල්ලේ වින්සිරි ටේලර්ස් කියන දෙපොලින්. දැන්නම් කලිසම් මස්සවන්න හරි කම්මැලියි. කුරුණෑගල ඇඳුම් සාප්පු වැහි වැහැලා තියන නිසා ඇවිදලා ඇවිදලා හරියන එකක් හොයාගන්නවා.

    ReplyDelete
    Replies
    1. තමන්ගේම මිම්මට තමන්ටම මහපු කලිසමක තියෙන ජොලිය කොහෙන්ද කඩේ බඩුවල!

      Delete
  6. පලවෙනි අදහසනම් හිස් මුදුනින් පිලිගන්නවා :) ජය

    ReplyDelete
  7. සංවේදී සටහනක්. මුල අමතක නොකිරීම ගැන ආදර්ශයක්.

    ReplyDelete
  8. කතන්දරට ඉතින් කතන්දරම තමයි.
    මුල අමතක නොකිරීම සහ පහුගිය කාලයේ වැදගත්ම ගුණාංගයක් වූ කෙළෙහි ගුණ සැළකීම කියන දෙකම එකට කැටි වූ  උපදේශ කතාවක්. දැන් හැබැයි හුඟක් තැන්වල මුල ගලවලා ටිකක් එහාට මෙහාට වෙන්න පැළ කරලා, සංවර්ධනය නිසා (නගර සහ පාරවල්).
    -හෙනහුරා (ශනි)

    ReplyDelete
    Replies
    1. තනිකර සත්‍ය කතාවක්, උපහැරණයක් නොවේ!

      Delete
  9. Replies
    1. එකමද තියෙන්නේ? :P

      Delete
    2. ඩෙනිමෙන් උපන්නේ
      ඩෙනිමෙන් මැරෙන්නේ
      මේ ඩිංගෙදී ඇයි
      කලිසම් මහන්නේ?

      Delete
  10. ඇති යන්තම් දේශපාලනේ ගැන නැතුව කලිසම් ගැන කතා කරලා. :P

    ReplyDelete
    Replies
    1. //පක්‍ෂයේ බොහෝ දෙනෙක් මා හා එකඟ වෙනවා ඇත.//
      //අවාසනාවට ඒ කිසිවක් එතරම් සාර්ථක අත්දැකීම් නොවිණි.//
      //අඩක් පමණ මගේ සුඛ විහරණය වෙනුවෙනි.//
      //සදා ජය පතමි!//

      Delete
    2. කලිසම තුල අැති දේශපාලනය පොඩ්ඩි දැක්කෙ නෑ නේද? :-)

      Delete
    3. දේශපාලනය නැති ය කියා කීමද එක්තරා දේශපාලනයකි!

      Delete
  11. පරණ කතන්දර තාම ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. ඉන්නවා නොවෙයි, කතන්දර තියෙනවා. හැබැයි මේක අළුත් කතන්දරයක්.

      Delete
  12. කලිසං කඩෙං ගත්තුවත් ටේලර් මේඩ් කරන්න වෙන එක තමා එපා වෙන්නෙ
    එක්කො කකුල් ලොකුයි නැත්තං පස්ස ලොකුයි හිහි

    ReplyDelete
    Replies
    1. කකුල ලොකුයි නොවේ, දිගයි නේද?

      Delete
  13. ජය වේවා රත්තට... රසික කිව්වම මටත් මතක් උනා කොට කලසමෙන් දිග කලිසමට ප්‍රෙමා්ට් වෙලා වේචචි අලකලංචියක්.. පස්සේ ලියමු..

    මට නං කොච්චර ටේලර් මේඩ් කරත් හරියන්නෑ.. රෙඩි මේඩ්ම වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. රෙඩි මේඩ් කියන්නේ චීප් වැඩක්!

      Delete
  14. මුල් අදහසට එකඟ නැත. රෙඩිමේඩ් කොලිටිය කවදාවත් ටේලර්මේඩ් ඒවාට නැත. ඔය රෙඩිමේඩ් වලට කැමති නැති අය කිහිප වර්ගයක් ඉන්නව. ඉස්සර ක්‍රමේට බුරිය ලඟින් කලිසම ඇඳපු වැඩිහිටි අය එහෙම රෙඩිමේඩ් වලට කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. // රෙඩිමේඩ් කොලිටිය කවදාවත් ටේලර්මේඩ් ඒවාට නැත.// ඒවගේම මහන තැන් තියනව ගොඩක් අවුල තියෙන්නෙ හොද රෙදි ගන්ඩ තැනක් නැති එක

      Delete
    2. හොඳ ටේලරයෙක් අහුවෙලා නෑ වගෙයි!

      Delete
  15. ටේලර්මේඩ්ට වඩා මගේ වැඩි කැමත්ත රෙඩිමේඩ් වලට.අවුරුදු කිහිපෙකට කලින් ටේලර් කෙනෙක් ගාවට අන්තිමට ගියේ මරණ ගේකට සුදු කොඩි දෙකක් මස්සවා ගන්න.

    ReplyDelete
    Replies
    1. සුදු කොඩි වලින් මරණ සිදුවුණා තමයි, ඒත් ඒ සුදු කොඩි කතාව කෙලින්ම යට ගිහින් නේද?

      Delete
  16. මං පොඩි කාලේ පොඩි අයියටයි මටයි දෙන්නටම කලිසං මැහුවේ එකට රෙදි අරගෙන ගොඩාක් වෙලාවට ඔය අතර කලු කලිසං දෙකකුත් ශුවර්. තාත්තගේ cග්‍ර එකේ යුනිෆෝම් රෙදි වලින්. කලිසං විතරක් නොවෙයි ඒ කාලේ එකම රෙද්දෙන් ෂර්ට් දෙක දෙකත් මහල දෙනව අපි දෙන්නටම. මට එච්චර ගානක් නැති උනාට ඌ (පොඩි අයියා) නම් මං එක්ක එකට ගමන් යන්නත් කැමති නෑ ඒ කාලේ ඔය කේස් එක නිසාම. කාලයක් යනකම් අපේ රෙදි මැහුවේ බදුල්ලේ කණුපැලැල්ල පාරේ සීනාත් ටේලර්ස් එකෙන්. සීනාත් කියන්නෙ රැවුල දිගට වවල හිටපු සුදු ලස්සන මුස්ලිම් කොල්ලෙක්. කොයි වෙලෙත් හිනා වෙලා ඉන්නේ. ඊට පස්සෙ දෙතුන් පාරක් එක එක තැන්වලින් කලිසම් මහල අඳින්න ට්‍රයි කලත් හරිගියේ නෑ. දැන් ඉන්න සමහර ටේලර්ස් ලා නම් මෙලෝ රහක් නෑ.

    කාලෙකින් ටේලර් මේඩ් කලිසමක් ඇන්දෙත් නෑ. සීනාත්ව දැක්කෙත් නෑ. මෙදා පාර බදුලු ගියාම යන්නෝනෙ මිනිහව බලල එන්න.

    ReplyDelete
    Replies
    1. // තාත්තගේ cග්‍ර// CGR එකේ :)

      Delete
    2. /* යන්නෝනෙ මිනිහව බලල එන්න. */

      අන්න හොඳ අදහසක්!

      Delete
  17. රෙඩිමේඩ් අත්හැරීමට සිදුවීම හරිම දුක්මුසු සිදුවීමක්, ඉන වට ප්‍රමාණය = කලිසමේ උස තත්වයට පත් වූ පසු මටත් ටේලර්මේඩ් වලට මාරු වෙන්ඩ උනා .

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුව කියෙව්වම, අද ඇහෙන නිව්ස එක්ක, මට බොරතෙල් බැරල් එකක් මතක් වෙන්නෙ ඇයි?

      Delete
    2. අඩන්න ඉන්න එකාගෙ ඇහැට ඇගිල්ලෙන් අනින්න එපා බං :D

      Delete
    3. සයිස් එක මොකක් වුනත් රෙඩිමේඩ්වලට වඩා මට නම් ටේලර් ගේ මැහුම හොඳයි, ඩෙනිම් හැර!

      Delete
  18. උපහාරය අගය කරමි.
    රත්න බුවා හරියට ඩිංගි මහත්තය වගේනෙ.

    ReplyDelete
    Replies
    1. මටත් මතක් උනා.

      Delete
    2. අර ඩිංගි මහත්තයා ලඟින් ඉන්න එකා නිකං පොලී මුදලාලි වගෙයි නේද?

      Delete
  19. මටත් හොඳටම අල්ලලා ගියේ ගම්පහ ජා-ඇල බස් හෝල්ට් එක පිටිපස්සේ තිබ්බ පොඩි ටේලර් ෂොප් එකක මහන කලිසම් තමයි. මට නම් රෙඩිමේඩ් කලිසම් අඳින්න ටිකක් අමාරුයි, උසයි ඉනයි ගැලපෙන්නෙම නෑ... :)

    ටේලර්ලා වගේම මතක තියා ගන්න ඕන කස්ටියක් තමයි, බාබර්ලා.. හැබැයි කකාට නම් සෑහෙන කාලෙක ඉඳලා බාබර්ලා ඕනේ වෙලා නෑ මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. //ඔය රෙඩිමේඩ් වලට කැමති නැති අය කිහිප වර්ගයක් ඉන්නව.//උඩ කමෙන්ටුවෙ මම එහෙම කිව්වෙ උඹල වගේ එවුන් ගැනත් හිතල තමයි.

      එක්කෝ මිටි මහත නිසා දිග වැඩියි. නැත්තං උස කෙට්ටු නිසා ඉන අඩු වෙද්දි උස මදි :-)

      Delete
    2. නියම ස්කන්ධ දර්ශකය තියෙන අපි වගේ හැන්සම් කොල්ලොන්ට රෙඩිමේඩ් එවරෙඩි වගේ මැච් වෙනවා..

      Delete
    3. @ දේශක යා,
      හැන්සම් කියන්නෙ උඹ වගේ එවුවන්ටද? අපරාදෙ ඕක දැනගත්තනං අර ෆෙයා ඇන්ඩ් හැන්සම් හදන එකා ප්‍රොඩක්ට් එකේ නම වෙනස් කරනව.

      Delete
    4. දැන් වසර තුනක පමණ කාලයේ සිට මගේ බාබර් මා ම ය. ෂේවර් ෂොප් එකෙන් ගත් ඩොලර් විස්සක ෂේවර්/ක්ලිපර් එකකින් සැම දෙසතියකට වරක් ම තට්ටය බාමි!

      Delete
  20. ලංකාවේ ඉන්න කාලෙනම් මමත් වැඩියෙන් ඇන්දේ ටේලර්-මේඩ් ඒවා තමයි.. හැබැයි ඉතින් ඔබ වගේ එකම තැනකින්ම මහපුවා නෙමෙයි.. අපේ තාත්තට සෙට් උනේ මහරගම තැනක්.. මට නම් කොට්ටාවේ.. තාත්තා එක්ක ගියාම මටත් එකක් නොමිලේම ලැබෙන හන්දා මට කොහෙත් එකයි..

    ReplyDelete
    Replies
    1. ටේලර් මේඩ් වල අනතුරුදායකබව ඒකයි. මහලා හරි ගියොත් ජීවිත කාලෙටම සෙට්, වැරදුණොත් ඉතිං ඒ කලිසම් රෙද්දට සොරි ඩොට් කොම්!

      Delete
  21. අපි ඉතින් කලිසම් මහන තැන් දන්නේ නෑනේ...හොඳට සාරි ජැකට් මහන කට්ටිය නම් ඔන්න කියත හැකි. :D

    ReplyDelete
    Replies
    1. වැඩේ පොඩි වුණාට සාරි බ්ලවුස් මහන්නත් සෑහෙන්න චාර්ජ් කරනවා නේද?

      Delete
  22. තමන්ගේම ටේලර් කෙනෙක් ඉන්නවා කියන්නේ මාරයි. එයාට උපහාරයක් දෙනක එක ඊටත් වැඩිය මාරයි. මම අන්තිම පාරට ටේලර් කෙනෙක් ගෙන් මහගන්න ගියේ තාත්ත එක්ක රුසියාවට යන්න කිට මහ ගන්න. අවුරුදු 30 කට කලින්.

    ReplyDelete
    Replies
    1. ලංකාවට ගියාම පිළියන්දල රත්න ටේලර්ස් එකට ගිහින් බලන්න.
      කලිසමක් රෙදිත් එක්ක රුපියල් එක්දාස් පන්සීයකට අඩුවෙන් ගන්න හැකි වේවි!

      Delete
  23. ඉස්සර පොලිසියෙන් කට්ටි පනින අපරාධකරුවන් අල්ලන්න පොලිසිය උගේ ටේලර් ගාවයි බාබර් ගාවයි රැකලා ඉන්න්වා කියලා පරණ පොලිස් කාරයෙක් කලකට ඉස්සර කිව්වා. එච්චරටම ඒ දෙක වෙනස් වෙන්නේ නෑ.

    නිව් රත්න කිව්වට පරණයි නේ?

    ReplyDelete
    Replies
    1. /* ......පොලිසිය උගේ ටේලර් ගාවයි බාබර් ගාවයි රැකලා ඉන්න්වා ......./

      ඒ කලිසම් හොර කම් නොකරන තට්ටේ ඇවිත් නැති හොරුන්ව විතරයි?

      මං හිතන්නේ මුලින් තියෙන්න ඇති රත්න ටේලර්ස්. පස්සේ විකල්ප බලවේගය නිව් රත්න නමින් වැඩ අරඹන්න ඇති!

      Delete
  24. A good tribute !

    ReplyDelete
  25. මගෙ ටේලර් කෙට්ටු චීන පොරක්. අවුරුදු 25කට පෙර රෙඩි මේඩ් කලිසමක කකුල් දෙක මගෙ උසට හරිගස්සගන්න දීල අඳුන ගත්තෙ. මෑන් ඒක මැහුව රෙඩි මේඩ් කොලිටියටම. ඉන් පස්සෙ මගෙ කලිසම් වගේම ෂර්ට් මහන්නෙත් මෑන්. මගෙ වෙඩින් සුට් එකයි හෝම් කමින් සූට් එකයි විතරක් නෙමෙයි මේ දක්වා සියලුම සූට් සහ බ්ලෙසර් මැහැව්වෙත් මෑන්. පින්තූර පෙන්නුවම කපටි සූට් හිටං මහල දුන්න නියමෙට. මගෙ බඩට සරිලන විදියට ඉස්සරහින් ටිකක් දිගටයි රවුමටයි මහනව. ඇන්දම ඉස්සරහයි පස්සයි නියමෙට පොලවට සමාන්තරව තියෙනව. කකා කලාවගේ මමත් රිදී ජුබිලිය සමරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ වැඩ?

      (කවුද ඒ කකා කියන්නේ?)

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.