Sunday 19 April 2015

සිනුවරට සිංහල අවුරුද්ද ලබයි - HNY Sydney, Australia


සිංහල කවි බසෙන් සිනුවර යැයි නම් ලද, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අග නගරය වූ, සිඩ්නි පුරවරයට, අද අප්‍රියෙල් 19 ඉරිදා, සිංහල අවුරුදු අසිරිය උදාවෙනු ඇත.

ඒ, සිඩ්නි තදාසන්න යේ "කාසල් හිල්" නගර සීමාව තුල පිහිටි "හාර්වි ලෝ පැවීලියන්" ශාලාවේ සහ ඒ අසල ඇති ක්‍රීඩා පිටියේ දී, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව තවත් ප්‍රජා සංවිධාන ගණනාවක ගේ සහය ඇතිව සංවිධානය කරන සිංහල අවුරුදු උත්සවය අද උදෑසන සිට රාත්‍රිය දක්වා පැවත්වීමට නියමිත නිසා ය.

මෙවර උත්සවය ඉංගිරිසියෙන් නම් කර ඇත්තේ "සන්ෆෙස්ට්" කියායි.

උදෑසන වැඩිහිටියන්ට වන්දනාමාන කිරීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකුලව කිරිබත් අනුභවයෙන් ඇරඹීමට නියමිත මේ අවුරුදු උත්සවය, පසුගිය වසර ගණනාවක මගේ අත්දැකීමට අනුව, කුඩා ළමුන්, තරුණ පිරිස් සහ වැඩිහිටියන් සියළු දෙනාටම සහභාගී වී විනෝද විය හැකි, චිත්‍ර පාට කිරීම, අලියාට ඇහැ තැබීම, කණා මුට්ටිය බිඳීම, බිත්තර රේස්, ගෝනි රේස්, තුන් පා රේස් සහ සාමන්‍ය රේස් ඇතුළු විවිධ දිවීමේ තරග, කඹ ඇදීම, සංගීත පුටු ඇතුළු සියළු සම්ප්‍රදායික තරගවලින් සමන්විත දිවා කාලයෙන් ද, විවිධ ඇඳුම් තරගය, අවුරුදු කුමර කුමරි සන්දර්ශනය, ගායන, නර්තන, රංගන සහ කවි මඩුවකින් ද සමන්විත සන්ධ්‍යාවකින් ද හැඩ ගැන්වෙනු ඇත.

සම්ප්‍රදායානුකූලව සියල්ල අවසාන වෙනු ඇත්තේ වේග රිද්ම බයිලා නැටුම්වලිනි.

ලංකාවේ අවුරුදු සන්දර්ශන හුරු පුරුදු අයට මෙහි එකම අඩුව වෙනු ඇත්තේ ලිස්සන ගහ නැගීමයි. ඕස්ට්‍රේලියාවේ ඇති රක්‍ෂණ සහ ආරක්‍ෂණ නීති රීති අනුව, ඒ තරගය නම් කිසි දිනක සිනුවර බක් මහ උත්සවයට එකතු වෙනු ඇතැයි සිතිය නොහැක.

පසුගිය වසරේ (2014) මා බත්තරමුල්ලේ පැවති "සයිබර් බක්මහ උළෙල"ට සහභාගී වුණු නිසා මට සිනුවර උත්සවය මග හැරුණි. ඊට කලින් වසරේ ද, අවුරුදු කාලයේ මා සිටියේ වෙනත් මහාද්වීපයක ය. එනිසා, මෙවර මා සිනුවර බක් මහ උළෙලට සහභාගී වෙන්නේ වසර තුනකට පසුවයි.

එසේ වුවත්, විවිධ කුටුම්භ රක්‍ෂණ හේතු නිසාවෙන් මට අද උත්සවයට සහභාගී වෙන්නට ලැබෙන්නේ ද සවස් වරුවේ සිටයි. මේ වන විට මා සිටින්නේ සිනුවරින් කිලෝමීටර් තුන්සීයක් පමණ උතුරින් පිහිටි පෝට් ස්ටීවන් නම් නගරයේ ය.

කලින් වසරවල දී මා මේ උත්සවයට සභභාගී වූ අවස්ථාවල දී මට පැවරුණු විස්තර කථනය කිරීමේ වගකීම් මැද්දේ ම විසින් ගොතා ගායනා කරන ලද කවි කිහිපයක් ඔබේ රස වින්දනයට පහත දක්වමි.



හැම වසරකටම බක් මස මැද රැව් දෙවනා
ගම සිරිලක සුවඳ අප අතරට ගෙනෙනා
මෙම අවුරුදු උළෙල නැරඹීමට තුටිනා
මම පිළිගනිමි මෙහි ආ ඔබ සියළු දෙනා

අද මෙම "හාර්වි ලෝ" ශාලාවට එක් වී
හොඳ එකමුතු කමින් යුතු එක පවුලක් වී
ලද ඉඩ පරිදි අවුරුදු සිරිතෙන් පේ වී
සිඳ ආතති සියළු සැනසෙමු සන්සුන් වී

සද්දෙට රතිඤ්ඤා කරලක් දල්වන්න
හොද්දට මිටි කිරක් දා උයලා කන්න
හවසට සයිකලෙන් රවුමක් කැරකෙන්න
ඇත්තට හිතෙනවා මට හෙට ගම යන්න

උපයන විට ගෙවන බදු බර අඩුවේවා
නිවසට ගත්තු මෝගේජය නිමවේවා
බැංකු ගිනුම් අප සැමගේ තරවේවා
එළැඹුණු අවුරුද්ද සැමට ම ජයවේවා!


-රසිකොලොජිස්ට්

(image copyright http://www.thescf.org.au/ and RCBTV.org)

16 comments:

  1. උපයන විට ගෙවන බදු බර අඩුවේවා
    නිවසට ගත්තු මෝගේජය නිමවේවා
    බැංකු ගිනුම් අප සැමගේ තරවේවා
    එළැඹුණු අවුරුද්ද සැමට ම ජයවේවා!

    ++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. රසික
    අපිනම් මෙල්බර්න් වල ලිස්සන ගහ නගිනවා.

    ReplyDelete
  3. වීසා ගන්න අමාරුයි.. නැත්නම් මාත් එනවා....

    ReplyDelete
    Replies
    1. බෝට්ටුවේ නැගී වරෙන්

      Delete
    2. අමුවෙන්ම කියනවා නම්
      'සාදුකාර දී ඔරුවක නැගී වරෙන්..'

      Delete
  4. කකා මේ පාර අවුරුදු උත්සවේට එන්නෙම නැත්තං අපි කැමතියි. කකාගේ මෙලෝ රහක් නැති කයි පද නොහා ඉන්න පුළුවන්. ඇත්තම කිව්වොත් කකා මේ විහිළුවක් එහෙම නෙමෙයි කරන්නේ. කකාගේ කවි පොඩ්ඩක් වත් අහන්න ප්‍රිය නෑ. ඒවා කකාට ලස්සන ඇති. හැබැයි අනික් අයට එව්වා අහන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. කවි රස විඳින්නත් රසඥ්ඥතාවයක් තියෙන්න ඕන ඇනෝ...!

      ඇනෝ බීලා නම් ඉන්නේ කවි හරියන්නේ නෑ.... සන්ෆ්ලවර් සලාදේ වගේ එකක් අහන්න.... අර "ආච්චි උනත් මොකද හොඳට ලව් කරනවනම්" ජාතියේ

      Delete
  5. නියමයි ,,, සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා

    ReplyDelete
  6. හොඳ විනෝදයක් ලැබේවා

    ReplyDelete
  7. උපයන විට ගෙවන බදු බර අඩුවේවා
    නිවසට ගත්තු මෝගේජය නිමවේවා
    බැංකු ගිනුම් අප සැමගේ තරවේවා
    එළැඹුණු අවුරුද්ද සැමට ම ජයවේවා!
    *** කොහේ හිටියත් මේක තමා හැමෝගෙම ප්‍රාර්ථනාව...

    ReplyDelete
  8. පිට රට වුවත් මව්බිම අපේ සිහි වෙන්න
    සිංහල කම සිරි ලක් කම රැකගන්න
    දරු දැරියන්ට අපෙ උරුමය දැකගන්න
    සැම සතුටින් එකතුව මෙය සමරන්න

    ReplyDelete
  9. ඇයි ලිස්සන ගහ තහනම්??

    ReplyDelete
  10. මේ පාර අවුරුදු කුමාරයා රසිකලුද? :P

    ReplyDelete
  11. ලිස්සන ගහ නැති එක අවුල් නෙ?? අබෝර්ජින් එවුං වත් ගෙන්නලා නග්ගන්න තිබ්බේ...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.