Thursday 18 June 2015

ඔබේ බුද්ධාගම්කාරත්වය මැනිය හැකිද? - Measuring Buddhistness


මුලින්ම, කෝකටත් කියා, ඩිස්ක්ලේමර් සටහනක් යොදා මේ ලිපිය අරඹමි.


මේ ලිපියේ අන්තර්ගතය සිංහලබුද්ධාගම්කාරයින්ට අදාළ නැති අතර ඔවුන්ට සිදුවිය හැකි අසාත්මිකතාවයන්ට සහ අජීර්ණයන්ට වග කියනු නොලැබේ.

බුද්ධාගම්කාරත්වය යනු සිංහල භාෂාවට අලුත් වචනයකි. ඔබ එය මුලින්ම දකින්නේ මේ බ්ලොගයේ දී ය. එය යමෙකු කොයි තරම් බෞද්ධයෙකු දැයි පවසන මිනුමක් ලෙස සැලකිය හැකිය.

තව දින කිහිපයකින් මේ බ්ලොගයේ පළ වීමට නියමිත ලිපියකට නිමිත්ත සැපයූ සිදුවීම ගැන විශ්ලේෂණාත්මකව සලකා බලමින් සිටි මොහොතක මගේ සිතට ආ පැණයක් නම් මා කොයි තරම් බුද්ධාගම්කාරයෙකු ද යන්නයි.

එනම්, මගේ බුද්ධාගම්කාරත්වය මිනුමක් ලෙසින් ප්‍රකාශ කළහොත් කොපමණක් ද?

මා කුඩා කාලයේ සිටම අඩු වශයෙන් පෝය දිනයට සහ පන්සලේ පින්කම් කාලයට, එනම් සතියක් පමණ දිනපතා ධර්ම දේශනා ඇති කාලයේ, පන්සල් ගියේ අපේ අම්මා පන්සල් ගිය නිසා ය.

අපේ තාත්තා නම් පන්සලට යනු මා දැක ඇත්තේ එක වරක් පමණි. ඒ විස්තරය මම අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? යන ලිපියේ ලිව්වෙමි.

මා එහි දී කියා සිටියේ පන්සල් යෑම නො යෑම අනුව බුද්ධාගම්කාරත්වය කොපමණ දැයි තීරණය කළ නොහැකි බවයි.

එසේ නම්, අපේ බුද්ධාගම්කාරත්වය මැනිය හැක්කේ කෙසේද?

යමෙකු බෞද්ධයෙක් වෙන්නේ තිසරණ සරණ යෑමෙනි. නමුත් බෞද්ධ දිවි පෙවතක් සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදීම මෙන්ම ඊටත් වඩා පන්සිල් රැකීම අත්‍යවශ්‍ය බව සාමාන්‍ය පිළිගැනීමයි.

පන්සිල් පද පහකි. ඒවායින් එකක් අනෙකට වඩා වැඩියෙන් වැදගත් බවට සඳහනක් මා අසා දැක නොමැති නිසා, පන්සිල් පහම එකිනෙක හා සමාන වටිනාකමක් ඇතැයි සැලකිය හැකිය.

මේ අනුව බුද්ධාගම්කාරත්වය මැනීමේ ක්‍රමවේදය සඳහා උපයෝගී කරගත හැකි හොඳ ක්‍රමවේදයක් පන්සිල් රැකීම අනුසාරයෙන් සාදා ගත හැකි බව පෙනේ.

පන්සිල් පහම රකින්නෙකු ගේ බුද්ධාගම්කාරත්වය 100% ක් ලෙස අර්ථ දැක්විය හැකිය.

බුද්ධාගම්කාරයෙකු මත්පැන් පානය කරන විට සුරාමේරය මජ්ජපමා දට්ඨානා සීලය කැඩේ. එනම්, පන්සිල්වලින් 20% ක් කැඩේ. පසුදා උදෑසන නැවත පන්සිල් ගැනීමෙන් වැඩේ ෂේප් කර ගත හැකි අතර, ඒ නැති වුණත් ඔබේ බුද්ධාගම්කාරත්වය තව දුරටත් 80% ක ඉහළ මට්ටමක පවත්වාගත හැක.

මට උසස් පෙළ විභාගයේ දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 277 ක් පමණි. එනම් 69% කි. එය මගේ අවශ්‍යතාවයට ඕනෑවටත් වඩා වැඩි විය.

විශ්ව විද්‍යාලයේ අවසන් පරීක්‍ෂණයේ දී මට ලැබී තිබුණේ ඒ සාමාර්ථ තුනක් සහ බී සාමාර්ථ තුනකි. එනම්, 70% පමණය. එදා 80% ක් ලබා ගන්නට හැකි වුණි නම්, මට දෙවන ඉහළ මට්ටමේ හෙවත් සෙකන්ඩ් අපර් එකකින් සෑහීමකට පත් වී සිටීම වෙනුවට පළමු පන්තියේ සාමාර්ථයක් ම ලබා ගැනීමට තිබුණි.

මේ අනුව සලකා බලන කල, පන්සිල්වලින් 80%ක් රකින්නා විශිෂ්ට සම්මානලාභී, පළමු පන්ති සාමාර්ථයක් ලැබෙන බුද්ධාගම්කාරයෙකු බව පෙනේ.

බස් එක මගදී කැඩී, මිතුරෙකු මුණ ගැසී, පොඩි අඩියක් ගසා නිවසට ආ පසු, ඒ ගැන බිරිඳට බොරු ගොතා කීවොත් සුරාමේරයට අමතරව මුසාවාදා සීලය ද කැඩෙන හෙයින් බුද්ධාගම්කාරත්වය 60% බසී.

එය අපේ කාලයේ නම්, කොළඹ දිස්ත්‍රික්කයෙන් විද්‍යා පීඨයට යාමට හැකිවෙන තරමේ ඉහළ ලකුණු මට්ටමකි. විශ්ව විද්‍යාලයේ දී 60% ක් ලබා ගතහොත් ඔබට දෙවන පහළ පෙළ සාමාර්ථයක් හිමි වෙනු ඇත.

ඔබේ බුද්ධාගම්කාරත්වය 50% අඩුනම් ඔබ තවදුරටත් කිසිසේත් ම බුද්ධාගම්කාරයෙකු යැයි සැලකිය නො හැකිය.

උදාහරණයක් ලෙස, තිතට මත ලබමින්, ජනතා මුදල් හොරකම් කරමින්, ඒ ගැන ජනතාවටම බොරු කියමින් ජීවත්වෙන දේශපාලුවන් අද කෙතරම් උදේ හවා පන්සල් ගිය ද, ඔවුන් ගේ බුද්ධාගම්කාරත්වය 40% ක් පමණි. එනම් ඔවුන් මේ මිනුමට අනුව අසමත් ය.

මේ අනුව බලන කල, බුද්ධාගම්කාරත්වය මැනීමට පන්සිල් සම්බන්ධ මේ අති සරල ප්‍රතිශත මිනුම සුදුසු බව පෙනේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පන්සිල් පහේ වටිනාකම් එකිකෙට වෙනස් නම්, එනම් සුරාමේරයේ යෙදීමෙන් ලැබෙන පව, ප්‍රාණඝාතයෙන් සිදුවෙන පවට වඩා සාපේක්‍ෂව අඩුනම්, බුද්ධාගම්කාරත්වයේ මිනුම අදාළ පරිදි ඒ ඒ ප්‍රතිශතයන් යොදා පහසුවෙන් වෙනස් කර ගත හැක.

(image: http://www.markhorrell.com/travel/nepal/lumbini/images/precepts.jpg)

83 comments:

  1. පිස්සුද රසික ඔව්වයෙ තව සබ් කැටගරි තියෙනවා....

    උදාහරණයක් හැටියට මුල්ම සිල් පදේ 100% බිඳෙන්නෙ හරක් මස් කෑවොත් නැත්නම් හරකෙක් මැරුවොත්... ඔය උම්බලකඩ බිත්තර කෑවට ඕක නොබිඳෙන තරම්....

    දෙවනි එකත් එහෙමයි කමිශන් ගත්තට පව් පිරෙන්නෙ නෑ.....

    ReplyDelete
    Replies
    1. commission ගත්තම පව් පිරෙනවා....තමන්ට අයිති නැති දෙයක්....තම ඉපයූ නැති දෙයක් ගත්තම පවා සිද්ය් වෙනවා........

      Delete
    2. ඇනෝ +++++++++++++++++++++

      Delete
  2. බුද්දාගම් කාරයෝ කිවහැකි පුද්ගලයෝ හැම ආගමකම ඉන්නවා කියලා මට හිතෙන්නේ , තමන් බුද්දාගම් කාරයෙක් කියා කියනවාට වඩා බුදුන්ගේ දර්ශණය තුල කොතරම් ප්‍රමාණයකට රැදෙනවාද කියා බැලීම තමා වටින්නේ , හරියට පිරිසිඳු කිතුල් පැණි කියා බෝතලයේ ලේබලය ගසා සීනි උණුකර දමාතිබෙන බෝතලයට වඩා , පිරිසිදු පොල් පැණි කියා ලේබලය ගසා ඒ තුල පොල්පැනීම තිබේනම් , කිතුල් පැණි කියා තිබෙන එකට වඩා ඒක වටිනවා ,

    ReplyDelete
    Replies
    1. බුදු දහම දේශන කර ඇත්තේ.///ජාතියක් අරමුණු කරගෙන නොව..සියලුම මනුශ්‍යන්ටයි.....මෙම කතාබහ..සියලුම බොදුනුවන්ගේ දෑස අලුතින් විවර වීමට හේතුවක් වේවා.අපේ සංඝයා වහන්සේලා..ධර්මය දෙසන කිරීමට පෙර ආරම්භයක් ලෙස...මේ පන්සිල් න්‍යාය උපසකයන්ට තේරුම් කර දෙනවා නම් කෙතරම් අගේද....

      Delete
  3. රසික
    අජාන් කල්‍යාණ කියන ඉංග්‍රීසි ජාතික හාමුදුරුවෝ මෙල්බර්න් කිට්ටුව තිබෙන ආරණ්‍යක ප්‍රධානියා.. උන්වහන්සේ බොහොම ප්‍රසිද්ධ අජාන් චා හාමුදුරුවන්ගෙ ශිෂයයෙක්. දවසක් කෙනෙක් මෙහෙම ඇහැවව ගිහී අපිට් පන්සිල් රකින්න කිව්වට නිතරම අපේ අතින් පන්සිල් කැඩෙනවා ඒකට මොකද කරන්නෙ කියල.කැඩුනොත් නැවතත් පන්සිල් ගන්න.රැකගෙන හිටපූ කාලය ගැන හිතල සතුටු වෙන්න.කියල උත්තර දුන්න.

    ReplyDelete
  4. විචාරක මහතා ඔහුගේ බ්ලොග් සටහන් වලින්ම පිළිගෙන ඇති පරිද්දෙන් පළමුවන හා පස්වන සිල්පදය කඩා තිබේ. (මීට අමතරව පරුෂාවාචා, සම්ප්‍රලාපා වනි ඒවාද කඩන්නට ඇති මුත් ඒක අමතක කරමු.) එනිසා ඉතුරු සිල්පද තුනම රැක්කත් ඔහුගේ බුද්ධාගම්කාර බව 60% වඩා වැඩිවේ යැයි සිතිය නොහැකිය.

    (මේ ටික ලිව්වේ බෞද්ධයකු වීම කොයි තරම් අමාරුදැයි විචාරක මහතාගේ අවධානයට බඳුන් කිරීමටයි. විවේචනයකට නොවෙයි. )

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තමයි පින්වතුනි, අපේ රාජ් මහත්මයා පස්වන සිල්පදේ නිතරම කඩනවා. කාර්යාල වෙලාවේ කාර්යාලයෙන් කාර්යාල කටයුතු සඳහා දීපු ඉන්ටනෙට් පහසුකම් පෞද්ගලිකව බ්ලොග් ලියන්න භාවිතා කරන නිසා දෙවන සිල්පදේත් කඩනවා. එනිසා පින්වතුනි අපි කල්පනා කොරන්ට උවමනායි රාජ් මහත්මයාත් 60% බෞද්ධයෙක් කියලා.

      Delete
    2. රාජ් මහතා බෞද්ධයෙකු නොවේ.
      මීට රාජ් මහත්මයා

      Delete
    3. මම ගැන කිව්වොත්,
      පස්වෙනි එක කඩනව, පානාතිපාතා කඩනව, රජයේ සේවයේ ඉන්ටනෙට් යොදාගැනීම හොරකමක්ද කියල දන්නෙ නැතත්, රජයේ ද්‍රව්‍ය ආදිය නං හොරකම් නොකරමි. බොරු කියන නිසා මුසාවාදාත් කඩනව. කොහොමද බෞද්ධකම!

      Delete
    4. පස්සෙ මතක් උනේ. රාජ්‍ය සේවයේ ඉන්නව නං, ගමන් වියදම් ගන්නව නං, සිල්පද දෙකක් කැඩෙනව. හොරකම් කිරීම, බොරුකීම.

      Delete
    5. රාජ් මහත්මයා තුන්වැනි සිල් පදේ කඩනකොට පාවිච්චි කරන කොන්ඩෝම් බැහැර කරන්නේ කොහොමද?

      Delete
    6. ඇනෝ කමෙන්ට් දාලා මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට පහර ගහන ,, අනිත් අයට රිද්දන ඇනෝලා අපායේ යනවා ඇති නේද

      Delete
    7. //රාජ් මහත්මයා තුන්වැනි සිල් පදේ කඩනකොට පාවිච්චි කරන කොන්ඩෝම් බැහැර කරන්නේ කොහොමද?// ha ha

      Delete
  5. බුදු හාමුදුරුවන්ගෙ ඔය පන්සිල් මිම්මට මම නං එකඟ නෑ එතරම්. පන්සිල් දේශනා කලේ ඔය අකුසල් පහෙන් වෙන හානිය ගැන හිතල වෙන්න ඕන. නමුත් මට අනුව ඔයිට වැඩිය හානි වෙන දේවල් තියනව.
    උදාහරණයක් විදියට කේලාම් කීමෙන් දෙදෙනෙක් අමනාප කරවීම අරක්කු ටිකක් බීල ඉන්න එකට වැඩිය පාපයක් (පාපයක් කිව්වෙ අවැඩක්).

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. එකම සිල්පදේ ඇතුළෙත් ඔය වගේ ප්‍රතිශතමය වශයෙන් පව් අඩු වැඩි වෙන්න පුළුවන් නේද?

      1. හරකෙක් මරන එක 80% ක් පව්. කුකුලෙක් මරන එක 20% පව්. හාල්මැස්සෙක් මරන එක 1% ක් පව්. මදුරුවෙක් මරන එක 0.1% ක් පව්. (පින් වෙන්නත් පුළුවන් මදුරුවා නිසා ඩෙංගු පැතිරෙන නිසා.)

      2. ගෙයක් බිඳින එක 90% ක් පව්. මාලයක් කඩන එක 60% ක් පව්. මහජනතාවගෙ සල්ලි සිරිලිය ගිණුමට දා ගන්න එක 1% ක් පව්. පුතාට ලිංගික සේවා ලබා ගන්න ලක්ෂ 41 ක වියදමින් කෙල්ලෙක් ශ්‍රී ලන්කන් එකට දාන එක 0.1% ක් පව් වගේ.

      බුද්ධාගම කොයි තරම් සිම්පල් ආගමක්ද?

      Delete
    2. මේක නම් පරම සත්‍යයක්. ඒත් හැමදාම පන්සලටගොස් භාවනාකරන මගේ Mother in law දිනපතාම මාගැන ඇගේ දියනියට (මගේ sister in law )මාගැන කේලාම් කියයි.

      Delete
    3. ++++++++++++++++++++++++++++++++++++++++=======

      Delete
  6. 'පන්සිල් පද පහකි. ඒවායින් එකක් අනෙකට වඩා වැඩියෙන් වැදගත් බවට සඳහනක් මා අසා දැක නොමැති නිසා, පන්සිල් පහම එකිනෙක හා සමාන වටිනාකමක් ඇතැයි සැලකිය හැකිය.'

    නෑ කකා. මේක ඇත්ත නෙමෙයි. ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න නියත විවරණ ලබා ගත්තයින් පස්සේත් ඔය කියන පන්සිල් පද පහෙන් 4 ක් ම කඩලා තියෙනවා. ඒ ගැන උන්වහන්සේම බුද්ධත්වයට පත් උනාම පස්සේ තමුන්ගේ පෙර ආත්මයන් ගැන කරපු කතාබහ වලදී හෙළි දරව් කරලා තියෙනවා. පෙර ආත්මයකදී උන්වහන්සේ තාපසයෙකු ලෙස සිටිනා අවදියක භාවනා කොට ධ්‍යාන ලබා සිටි බවක් සදහන් වෙනවා. අන්න ඒ ආත්මයේදී උන්වහන්සේ වෙනත් කාන්තාවක් සමග (ඇය රටේ රජුගේ බිසව) ලිංගික සම්බන්දතාවයක් පැවැත්වූ බවත්, එහිදී ඇතිවූ කෙලෙස් නිසා උන්වහන්සේ භාවනා කොට ලබාගෙන තිබුණු ධ්‍යාන නැති වී ගිය බවත් සදහන් වෙනවා.

    ඒ වගේම බෝසතාණන් වහන්සේ අතීත ආත්මයක සිටියදී වෙනස් බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩ සිට ඉද තිබෙනවා. මෙහිදී උන්වහන්සේගේ මිතුරන් ආදිය,අර කී බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසීමට යන විට අප් බෝසතාණන් වහන්සේ ඔයට සිනා සි ගැරහු බවත් සදහන් වෙනවා.

    ඒ වගේම ප්‍රාණ ගාතනය වගේ දේවලුත් වෙලා තිබෙනවා.

    හැබැයි අපගේ බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබගත්තයින් පසු එක පන්සිල් පදයක් නං කාවදාවත් කැඩුවේ නෑ. ඒ තමයි මුසාවාද කියන පන්සිල් පදය. උන්වහන්සේ කවදාවත් බොරු කිවේ නෑ. ඇත්ත තමයි කිවේ.

    ඒ අනුව අපටත් හිතාගන්න තියෙන්නේ සියලුම පන්සිල් පදවලින් වඩාත්ම වැදගත් බොරු නොකියන එක බවයි. බොරු කියන මිනිහට අනික් පන්සිල් පද සියල්ලම කඩන එකත් මහා වැඩක් නෙමෙයි නේ.

    ප්‍රාණ ගාත අකුසලය උනත් එක සාමාන නෑ කියන එක කකා දන්නවා ඇතිනේ. තමන්ගේ දෙමාපියන් ඝාතනය කිරීමේ පාපය වෙනත් අයෙක්ව ගාතනය කරනවාට වඩා සැහෙන්න ලොකුයි නේ.

    මේ කරනා ගැන මෙහෙම ටයිප් කරලා පැහැදිලි කරන්න අමාරුයි. සාකච්චා කරලා තමයි අපැහැදිලි තැන් පැහැදිලි කරගන්න තියෙන්නේ. මට පුළුවන් විදියටයි මේ පැහැදිලි කිරීම ටයිප් කලේ.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. /ප්‍රාණ ගාත අකුසලය උනත් එක සාමාන නෑ කියන එක කකා දන්නවා ඇතිනේ. තමන්ගේ දෙමාපියන් ඝාතනය කිරීමේ පාපය වෙනත් අයෙක්ව ගාතනය කරනවාට වඩා සැහෙන්න ලොකුයි නේ./

      මේක පොඩ්ඩක් quantify කරනවා නම් බුද්ධාගම නොදන්න අපට තේරුම් ගන්න ලෙහෙසියි. උදාහරණයක් හැටියට තමන්ගෙ මව/පියා මැරීම ඒකක 100 ක් පව් නම් හාල්මැස්සෙක් මැරීම ඒකක කීයක් පව්ද?

      වෙන විදිහකට ඇහුවොත් තමන්ගෙ මව/පියා මැරීමෙ පාපය හා සම වෙන්න හාල්මැස්සො කීදෙනෙක් මරන්න ඕනැද?

      Delete
    2. හොද අදහසක්. හැබැයි රිපල්යි ඇනෝ කියන විදියට පවු ගණිතමය ලෙස විග්‍රහකරන්න බෑ.රිප්ලයි ඇනෝ මට පේන්නෙ විහිලුවක් කරල

      Delete
    3. ගණිතමය ලෙස දළ වශයෙන් වත් කියන්න බැරි නම් මව/පියා මැරීම හාල්මැස්සෙක් මරනවාට වඩා පව් කියන එකේ තේරුමක් නැහැනෙ. කොච්චර පව්ද? දෙගුණයක්, තෙගුණයක්... සිය ගුණයක්, දහස් ගුණයක් කියන්න පුළුවන් වෙන්න එපායැ. අනෙක බුදුහාමුදුරුවොම මෙහෙම බණ කියලා තියෙනවා නේද?

      මහණෙනි, යම් පුද්ගලයෙක් දිනපතාම හාල්මැස්සන් දහසක් දෙනා මරන්නේය සිතමු. එම පුද්ගලයා වසර සාර කල්පයක් ජීවත් වීමේදී කරන පව යම් දුර්ජනයෙක් ඇත්කඳ ලිහිණියෙක් මරා දැමීම පවට සමාන වන්නේය ඉඳුරා දත යුතුය.

      Delete
    4. මා ඒ කතාව අසා නෑ. ඒක නම් අපූරු කතාවක්. බුදුහාමුදුරුවො මෙහෙම ගොන් කතාවක් කියයි කියල හිතන්න බෑ. බුදුහාමුදුරුවො කිව්වත් මට ඒක පිලිගන්න බෑ.කල්පයක් තිස්සෙ හාල්මැස්සො දාහ ගානෙ මරනව කියන්නෙ අති විශාල ප්‍රමාණයක්නෙ. හාල්මැස්සො ට්‍රිලියන ගනනක්. මේව නම් විහිළු.

      මට ලින්ක් එකක් දෙන්න පුළුවන්ද ඔය දේශනය ගැන.
      ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය නොකරන්නෙත් අතේ කයිතන් වෙන කතා තියන නිසා තමයි.මටත් මෙහෙම ගොන් කතා හම්බවෙලා තියෙනවා

      Delete
    5. //ඒ අනුව අපටත් හිතාගන්න තියෙන්නේ සියලුම පන්සිල් පදවලින් වඩාත්ම වැදගත් බොරු නොකියන එක බවයි. බොරු කියන මිනිහට අනික් පන්සිල් පද සියල්ලම කඩන එකත් මහා වැඩක් නෙමෙයි නේ.//

      well said !!

      Delete
    6. @//මට ලින්ක් එකක් දෙන්න පුළුවන්ද ඔය දේශනය ගැන.//
      by පරීක්ෂණ නිරීක්ෂණ නිගමන18 June 2015 at 14:45

      හැක් හැක්!, අම්මප මූ නම් පුදුම තකතීරුවෙක්

      Delete
  7. මුලින්ම කිව යුත්තේ බුද්ධාගම කියා දෙයක් නැති බවයි .ඒ නිසා බෞද්ධයන් හෝ බුද්ධාගම්කාරයන් ද සිටිය නොහැක. ඔය පන්සිල් නම් ජෛන දහමෙන්ලබාගත්තකි. එය එකළ ආචාර ධර්ම විය හැක.

    බුදුන් වහන්සේ දේශනා කළේ බෞද්ධ දර්ශනයයි. උන් වහන්සේ රජවරුන්ගේ දේශපාලනයට මැදිහත්වුනේද නැත.උන් වහන්සේගේ දේශනා සමකාලීන දාර්ශනිකයනගේ දේශනා වලින් වෙනස් වූයේද නැත.

    ReplyDelete
    Replies
    1. මා සිටහ්න පරිදි බුදු දහම ආග්මක් නොවන නිසා ඕනෑම ආගමක අයට ප්‍රැක්ටිස් කළ හැකි අතර එය කිසිම ආගමකට තර්ජනයක්ද නොවේ.බුදුදහමේ හරය අත්හැරීමයි, සියළු බැදීම් දුකට මුලයි යන්නයි. එය අපට අත්විදිය හැකි සත්‍යයකිබැලූ බල්මටද ඇත්ත බව පෙනේ.
      එම සත්‍ය බුදු දහම තුල උද්ඝෝෂන ,පෙලපාලි,ධාතු වන්දනා , පිළිම වන්දනා, වෘක්ෂ වන්දනා ,ගොඩනැගිලි වන්දනා කිසිත් නැත. සියළු වන්දනා ඇත්තේ සිත තුලය.
      බුදුදහම ආගමක් කර ගත් අය ඊට කළ හැකි සියළු හානිය කර ඇත. වෙන කෙනෙකුට කරන්නට හානියක් ඉතිරි වී නැත.

      Delete
    2. බෞද්ධ දර්ශනයෙ ශ්‍රද්ධාව කියන දේ මූලික කරගත්ත ඉගැන්වීම් නැද්ද? එහෙමනම් ඒක 100% ම දර්ශනයක් කියල කියන්න පුළුවන් ද?

      Delete
    3. ශ්‍රද්ධාව කියන දේ මූලික කරගත්ත ඉගැන්වීම් තිබෙනවා. බුදුදහම කියන්නෙ කාලය සමග බෙහෙවින් දූෂනය වූ ආගමක්. මූලික හරයට සාපේක්ෂව මම ඒව බැහැර කරනවා. බුදුහාමුදුරුවො එර්දියෙන් පෙනී ඉදල සමහරුන්ව දිව්‍යලෝකෙ යවපු කතා වගෙ ඒව බැහැර කරන්නෙ ඒ පදනමෙන්.
      ශ්‍රද්ධාව කියන එක වෙන මොකවත් නොවෙයි භක්තියම තමයි. ශ්‍රද්ධාව කියන්නෙත් අවිද්‍යාවම තමයි.

      Delete
  8. ගණිතමය ක්‍රමයක් හොයාගත්ත රසික බුදුන්.. හැක්

    ReplyDelete
  9. හීනියට අඩියක් ගැසූ පමණින් කෙලින්ම 20% කපා දැමීම අනුමත කල නොහැකිය. :(

    ReplyDelete
    Replies
    1. ඉස්ලාම් ආගමේ අඩි ගහන නොගහන හැම එකාගේම කපන එකේ බෞද්ධාගමේ අඩි ගහන එවුන්ගේ 20% ක් කැපුවාට මොකද?

      Delete
    2. අඩියක් ගැසීමේ ළකුණු කැපී යන්නේ මෙලසයි..

      බියර් - 5%
      ඉස්ට්‍රෝන්ග් - 8%
      ගල් - 34%
      පොල් - 38%
      විස්කි බ්‍රැන්ඩි ජින් - 43%
      කසියා - 75%

      උපුටාගැනීම, අපායේ ලෝදිය බාර යමපල්ලාගෙනි..

      Delete
    3. හොඳ දංකොටුව එකකට 75%ක්ම කැපෙන්නෙ නෑ කියල ඉතාලියෙ ඉඳල දේශනාකරල තියෙන්නෙ

      Delete
    4. අප්පටසිරි දයාසිරි කිව්වලු .මගෙ ලකුණු 43% ක්ම පටන්ගන්නකොටම කැපිලනෙ.හියැහ් හුහ් හුහ් පොහ්

      Delete
  10. මිනිසෙක් මැරීම පවකි.
    අපරාධකරුවකු මැරීම පවක් නොවේ.
    යුද්ධයකදී මිනිසුන් මැරීම මහා පුණ්‍යකර්මයකි.
    එබැවින්, ඝාතනයට ලක්වන පුද්ගලයා හා ඝාතනය සිදුවන අවස්ථාව අනුව ප්‍රාණඝාතයේ පින් පවු වෙනස් වේ.
    බුද්ධාගමේ නවතම වර්ධනයන් ගැන රසිකගේ අවබෝධය දුර්වලය.
    ධාර්මිකත්වය මැනීමට රසිකගේ මිනුම්දඬු සුදුසු වුවත් බුද්ධාගම්කාරත්වය මැනීමට එම මිනුම්දඬු සුදුසු නොවේ.

    ReplyDelete
    Replies
    1. අතිගරු පර්සි රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරා වතුර බෝතලයකින් ගසා මැරීම පවක්ද පිනක්ද?

      උගත් බෞද්ධයින්ගෙන් පිළිතුරු බලපොරොත්තු වෙමි.

      Delete
    2. //යුද්ධයකදී මිනිසුන් මැරීම මහා පුණ්‍යකර්මයකි.// මෙහි මිනිසුන් යන්න දෙමළුන් හෝ තම්බීන් ලෙස නිවැරදි විය යුතු යැයි සිතමි, සිංහල බුද්ධාගම්කාරයන් නොවන අයට වෙනත් සුදුසු ජාතියක් ආදේශකරගත්තාට වරදක් නැත. - සිංහල බුදුහාමුදුරුවෝ.

      Delete
    3. සිංහල බෞද්ධයන්ට යුද්ධ කිරීම අකැප බව ඇනෝලා දන්නේ නැද්ද
      යුද්ධ කිරීම කැප දෙමළ මුස්ලිම් අයටයි. අකැප දෙයක් කිරීම නිසයි අන්තර් ජාතික පරීක්ෂන පැවැත්වෙන්නෙ

      Delete
    4. පරීක්ෂණ නිරීක්ෂණ නිගමන 19 June 2015 at 00:30

      Machan Well said.

      The harsh truth is inside your comment.

      Delete
  11. 1. බුද්ධාගම විවේචනය කර, විහිළුවට ලක් කර, ඊට අපහාස කර බ්ලොග් ලිවීමෙන් පව් සිද්ද වෙනවාද?

    2. ඔව් නම් එහෙමෙ බ්ලොග් ලියන එවුන් මරණින් මතු යන්නේ මොන අපායටද?

    3. එහෙම බුද්ධාගමට අගෞරව කරන බ්ලොග් කියැවීමෙන් හා ඒවායේ කමෙන්ට් දැමීමෙන් අපට පව් සිද්ද වෙනවාද?

    ReplyDelete
    Replies
    1. ඒ අපායේ වයිෆයි තියෙනවාද?

      Delete
    2. අපායේ වයිෆයි තිබේ
      නොමිලේ නොවේ ගෙවා ම්ලදී ගත යුතුයි සැල්වෙසෝන් අමි කාරයන්ට නොමිලේ දෙනු ලැබේ ඔබත් අදම සැල්වොස්න් ආමි එකට බැඳෙන්න. මුලික සුදුසුකම පැන්සෝන් අරගෙන පන්සිල් ගැනීමයි .

      Delete
  12. පන්සල් වලදී බොරු කීම පන්සලෙන් පිටදී බොරු කීමට වඩා පවක්ද?

    ReplyDelete
    Replies
    1. නැත, පන්සලේ පව් නැති බැවින් එහිදි කෙනෙකුට පව් ලබාගැනීම ප්‍රායෝගිකව සිදුකල නොහැකි දෙයකි.

      Delete
    2. පන්සලේදි බොරු කී විට දිවිය ළෝකයටද, එලියේ කීමෙන් අපායටද යා හැක.

      Delete
    3. අගමැති අපේක්ශකත්වයකරාද යා හැකියයි මතයක් පවතී

      Delete
  13. දේශපාලනික නිර්-ආගමිකයා යනු කවරෙක්ද යන්න ගැන වෙනත් සටනක මම අදහස් දැක්වූයෙමි. ඒ ගැන නැවතත් යමක් කිව යුතුය. ඊට අමතරව වෙනත් දෙයක් ගැනද කිව යුතුය. නිර්-ආගමිකයන් යනු සදාචාරයක් නැති තුප්පහියන් යැයි අර්ථ දැක්වීමත උත්සාහ කරන අන්තගාමී ආගමිකයන් ගෙන් වෙන්වූ, නිර්-ආගමිකයන් ගැන උපේක්ෂාවෙන් බලන කිහිප දෙනෙක් සිටිති. ඔවුන්ට අනුව 'පරමාදර්ශී' නිර්-ආගමිකයා යනු සිය නිර්-ආගමිකත්වය ගැන වහලය මත නැගී කෑ නොගසන. තමන් තෝරාගත් කිසියම් හර පද්ධතියක් අනුගමනය කරමින්, පාඩුවෙ පැත්තකට වී සිටින "හොඳ ලමයෙකි". මේ අර්ථ දැක්වීම වැරදි නැත. එසේ ක්‍රියාකරන යමෙක් වේ නම් ඔවුන් සැබවින්ම නිවුනු සැනසුන නිර්-ආගමිකයෝ වෙති.

    ප්‍රශ්නය මෙයයි... දේශපාලනිකව අක්‍රිය මෙකී නිර්-ආගමික 'හොඳ ලමයින්' ඇතුලු සෙසු සමස්ත සමාජය මත බලපවත්වන රාජ්‍ය යන්ත්‍රය හා නෛතික පද්ධතිය බොහෝවිට හැඩ ගැසෙන්නේ දේශපාලනිකව බොහෝ සක්‍රිය ආගමික අදහස් හරහාය. පොදු නීතී හා නූතන හර පද්ධතිය යනු ආගමික ඉගැන්වීම් හරහා ව්‍යුත්පන්න වන දෙයක් නොව ඓහික කතිකාවක් හරහා එන සම්මූතීන් විය යුතු බව බොහෝ විට පෙන්වා දෙන්නෙ සක්‍රිය නිර්-ආගමිකයන් විසිනි. මේ ක්‍රියාවලිය නොතිබෙන්නට අප තවමත් සිටින්නෙ මධ්‍යතන යුගයේය.

    ආගමික සංකේත හා සංකල්ප වලට අනවශ්‍ය ලෙස පහර ගසමින් ආගමිකයන් කුපිත කිරීම මා කවදාවත් අනුමත කරන්නෙ නැත. කෙසේ නමුත් සදාචාර පද්ධතිය ආගමෙන් ගලවා ගැනීමෙ ව්‍යාපෘතිය තුලදී ඇතැම් මුල් බැසගත් ආගමික සම්මුතීන් අභියෝගයට ලක්වීම හා ඒ නිසා ඒ සම්මුතීන් සමග දිවිහිමියෙන් බැඳී ඉන්නා ආගමික ජනයා කුපිත වීම වැලක්විය නොහැක. බිත්තර නොකඩා ඔම්ලට් සෑදිය නොහැක කෙසේ නමුත් ඔම්ලට් සෑදීමට නොව හුදු විනෝදය සඳහා පේන්නට ඇති හැම බිත්තරයක් බිඳ දැමීම, ඒවා සමග සෙල්ලම් කිරීම අනුමත නොකරමි.

    ReplyDelete
  14. පන්සලට ගිහින් පන්සිල් ගන්න වෙලාවක එක අතට මදුරුවෙකුත් විදිනවානම් අනෙක් අතින් මදරුවා චප්ප වෙන්න පහරදුන්නාම බුද්ධාගම්කාරත්වය ට ලැබෙන ලකුණු පුමාණය කොච්චරද ?

    ReplyDelete
    Replies
    1. චප්ප කරන සද්දෙ ඇහෙන හරියේ ඉන්න උපාසක උපාසිකාවෝ ගණනේ හැටියටයි කැපෙන ලකුණු ගණන, ඔයවගේ තැනකදී කරන්නේ මෙහෙමයි, මදුරුවා පියාඹගන්න බැරි තරම් ලේ බොනකම් ඉවසන්න වෙනවා ඊට පස්සේ අත තියල චුට්ටක් තද කරන්න, නැත්නම් හොද සාදුකාරයක් යනකොට හයියෙන් සාදු කියන ගමන් තරහ යන්නම දීලා අදින්න, ඔන්න ඔහොමයි හොඳ උපාසක/ උපාසිකාවන් මදුරුවෝ තලන්නේ.

      Delete
  15. අභයාරාමෙට ගලක් ගැහුව වගේ මට නම් පේන්නෙ..

    ReplyDelete
    Replies
    1. ලබ්බෝ, ගල් පියාබන තැන් වලින් අහකට වෙලා හිටපන් චප්පවෙන්න පුළුවන්

      Delete
  16. අයිසෙ රසික, මමත් සති දෙකක්ම දහම් පාසැල් ගිය බෞද්දයෙක් හරිද.

    ReplyDelete
  17. මම බෞද්ධයෙක් වුණත් මා අතින් නම් පද 5 ම කැඩිලා තියෙනවා. ඉතිං මම බෞද්ධයෙක් යැයි කියන්නට බැරි නිසා ඇනෝ ලෙස පැමිණ කොමෙන්ට් කළෙමි.

    ReplyDelete
  18. ස්තුතී ලිපියට
    රණවිරුවෝ අතින් ත්‍රස්තවාදියෝ මැරුණම .. ඒකත් ප්‍රාණඝාතය නේද? එතකොට ලෝකේ පුරාම ඉන්න හමුදා සෙබළුන් ඒ සිල්පදය කඩනවා නේද

    ReplyDelete
  19. අයිසෙ රසික, ඔය පන්සිල් පද පහ කියන එක වැරදියි නේද? පන්සිල් පද පහක් කිව්වම පහේ ඒවා පහක්; ඒ කියන්නෙ විසි පහක් කියලා නේද කියවෙන්නෙ? මට මේක පොඩි කාලෙ හාමුදුරු කෙනෙක් කියාදීල තියෙනවා වාගෙ මතකයි. හරි භාවිතය පන්සිල් කියලා තමයි මම අහලා තියෙන්නෙ. වැඩිපුර දන්න කෙනෙක් ඉන්නවනම් කියනවකො අයිසෙලා අපිටත් ඉගෙන ගන්න එක්ක

    ReplyDelete
  20. මම අදේවවාදියෙක් වුනු හිටපු බෞද්ධයෙක්, ගොඩක් වෙලාවට බොහොම නරක විදිහට ආගම විවේචනය කරනවා. ඒත් හැමෝම වදින පුදන තැනක ඉන්න සිද්ධවුනොත් අනවශ්‍ය අවධානයක් හදා ගන්නේ නැතිව මමත් ඒ දේවල් විදිහටම පිළිපදිනවා. හිතෙන් අදේවවාදියෙක් වුනත් පන්සිල් ආශ්‍රයෙන් මොඩිෆයි කරගත්ත ආචාරධර්ම කීපයක් පිළිපදින්න උත්සහ කරනවා
    1. බොරු -හැකි තරම් අඩුවෙන් බොරු කියනවා, බොරුවක් කියන්නේ ඒකෙන් යමෙකුට යහපතක් වෙන අතරම අනෙකෙකුට හානියක් නොවෙනවනම්, ඒත් සමහරුන්ගේ මූනටම ඇත්තම කියපු නිසා තරහවෙච්ච අය ගොඩක් ඉන්නවා (එහෙම තමයි මම ඇණයෙක් වුනේ)
    2. ඇල්කොහොල් - ආර්ථික හො සමාජ ගැටළුවක් නොවෙන ප්‍රමාණයට,
    - වෙලාව ඉවරයි, ඉතුරුවා පස්සේ අවශ්තාවක

    ReplyDelete
    Replies
    1. //වෙලාව ඉවරයි, ඉතුරුවා පස්සේ අවශ්තාවක//

      ha ha

      Delete
    2. මචං ඇණේ,

      මට පේන්නෙ උඹට හොඳටම පැටලිලා. අනවබෝධයෙන් ෆැශන් එකට ආගම අත්හරිනකොට ඔහොම වෙන එක ස්වාභාවිකයි. කොහොමද යකෝ අදේවවාදියෙක් වුණ පලියටම බෞද්ධයෙක් නොවෙන්නෙ? අදේවවාදියා (Aethist) කියන්නෙ දේව සංකල්ප පිලි නොගන්න එකාට.

      Widely accepted definition; "Atheism is not a disbelief in gods or a denial of gods; it is a lack of belief in gods". Older dictionaries define atheism as "a belief that there is no God."

      බෞද්ධයො අතර දේවවාදීන් මෙන්ම අදේවවාදීන් ඕනතරම් ඉන්නව. ඔරිජිනල් බෞද්ධ දර්ශනය අදේවවාදී එකක් බව ඉතාම පැහැදිලියි. නමුත් සිංහල බුද්ධාගම කියන්නෙ තනිකර ගස් ගල් රුක් දෙයියො විතරක් නෙමෙයි හූනියම්, කොඩිවින, වස්කවි බලි තොවිල් (හාමුදුරුවරු මෙව්වට කප් ගහපු අය.) පවා ඇතුලත් අමුතුම එකක්.

      උඹට සම්පූර්ණයෙන්ම සියලුම ආගමික විශ්වාසවලින් ඈත් වෙන්න නම් නිරාගමිකයෙක් (Irreligionist) වෙන්න වෙනව.

      Irreligion (adjective form: non-religious or irreligious) is the absence of religion, an indifference towards religion, a rejection of religion, or hostility towards religion. When characterized as the rejection of religious belief, it includes explicit atheism, religious dissidence, and secular humanism.

      නිරාගමිකයින් අතරත් සැබෑ නිරාගමිකයින් මෙන්ම නිරාගමික ආගම අදහන බැතිමතුන් ඉන්නව. සැබෑ නිරාගමිකයින් අවබෝධයෙන් උපතින් ලැබූ ආගම් විශ්වාස අත්හැර ඉතාම සුවසේ ස්වාධීනව ඉන්නව. නිරාගමික බැතිමතුන් කියන්නෙ තම නිරාගමික ආගම වෙනුවෙන් අන් ආගමිකයින් සමග සටන් වදින සොමියට තම වාසිය වෙනුවෙන් ආගම අතහැරපු තවත් එක්තරා කාලකණ්නි ටිකක්.

      කොහොම වුණත් උඹේ කතාවෙන් මටනම් පේන්නෙ නම් උඹත් රැල්ලට නැත්නම් ෆැශන් එකට (පොෂ් වෙන්න.) ආගම අතහැරපු බව පෙන්නගෙන ඉන්න අවස්ථාවාදියෙක් බවයි. එහෙම නෙමෙයි නම් සොරි.

      Delete
    3. An Apatheist is a person who regards the question of the existence or non-existence of a god or gods to be essentially meaningless and irrelevant. However, some define the term more broadly to refer to apathy towards all religions or belief systems, not just toward a belief in god.

      Delete
    4. නිර්-ආගමිකයන් යනු සදාචාරයක් නැති තුප්පහියන් යැයි අර්ථ දැක්වීමත උත්සාහ කරන අන්තගාමී ආගමිකයන් ගෙන් වෙන්වූ, නිර්-ආගමිකයන් ගැන උපේක්ෂාවෙන් බලන කිහිප දෙනෙක් සිටිති. ඔවුන්ට අනුව 'පරමාදර්ශී' නිර්-ආගමිකයා යනු සිය නිර්-ආගමිකත්වය ගැන වහලය මත නැගී කෑ නොගසන. තමන් තෝරාගත් කිසියම් හර පද්ධතියක් අනුගමනය කරමින්, පාඩුවෙ පැත්තකට වී සිටින "හොඳ ලමයෙකි". මේ අර්ථ දැක්වීම වැරදි නැත. එසේ ක්‍රියාකරන යමෙක් වේ නම් ඔවුන් සැබවින්ම නිවුනු සැනසුන නිර්-ආගමිකයෝ වෙති.

      ප්‍රශ්නය මෙයයි... දේශපාලනිකව අක්‍රිය මෙකී නිර්-ආගමික 'හොඳ ලමයින්' ඇතුලු සෙසු සමස්ත සමාජය මත බලපවත්වන රාජ්‍ය යන්ත්‍රය හා නෛතික පද්ධතිය බොහෝවිට හැඩ ගැසෙන්නේ දේශපාලනිකව බොහෝ සක්‍රිය ආගමික අදහස් හරහාය. පොදු නීතී හා නූතන හර පද්ධතිය යනු ආගමික ඉගැන්වීම් හරහා ව්‍යුත්පන්න වන දෙයක් නොව ඓහික කතිකාවක් හරහා එන සම්මූතීන් විය යුතු බව බොහෝ විට පෙන්වා දෙන්නෙ සක්‍රිය නිර්-ආගමිකයන් විසිනි. මේ ක්‍රියාවලිය නොතිබෙන්නට අප තවමත් සිටින්නෙ මධ්‍යතන යුගයේය.

      ආගමික සංකේත හා සංකල්ප වලට අනවශ්‍ය ලෙස පහර ගසමින් ආගමිකයන් කුපිත කිරීම මා කවදාවත් අනුමත කරන්නෙ නැත. කෙසේ නමුත් සදාචාර පද්ධතිය ආගමෙන් ගලවා ගැනීමෙ ව්‍යාපෘතිය තුලදී ඇතැම් මුල් බැසගත් ආගමික සම්මුතීන් අභියෝගයට ලක්වීම හා ඒ නිසා ඒ සම්මුතීන් සමග දිවිහිමියෙන් බැඳී ඉන්නා ආගමික ජනයා කුපිත වීම වැලක්විය නොහැක. බිත්තර නොකඩා ඔම්ලට් සෑදිය නොහැක කෙසේ නමුත් ඔම්ලට් සෑදීමට නොව හුදු විනෝදය සඳහා පේන්නට ඇති හැම බිත්තරයක් බිඳ දැමීම, ඒවා සමග සෙල්ලම් කිරීම අනුමත නොකරමි.

      Delete
    5. Apatheism පරිවර්ථනය කිරීමට නොදනිමි. මා නම් ෆැශන් එකකටවත් පොෂ්වීමටවත් , තරහකටවත් නොව ආගම් ගැන විශ්වාසයක් නැති නිසා ආගම් ගැන apathy ඇතිව හොඳ නරක ගැන පමණක් අදහසක් ඇති කර ගැනීමට උත්සාහ ගන්නෙකි. මා apatheist කෙනෙක්ද කියාවත් නොදන්නෙමි.

      Delete
    6. @Pra Jay

      මෙහෙමයි මචං,

      මෙව්වයෙ ඩෙෆිනිශන් විවිධ විදිහට අර්ථ දක්වතහැකි. කොහොම වුණත් ආගම් අත්හැරීම කියන්නෙ හරිම ඉන්ටරස්ටිං සබ්ජෙක්ට් එකක් නේද?

      Unlike most Theists, Agnostics, Atheists, etc, an Apatheist doesn't really care whether it is possible to prove either the existence or non-existence of a god. Apatheism is a.k.a. pragmatic Atheism, and practical Atheism. An associated term is Apathetic Agnosticism, a.k.a. Pragmatic Agnosticism.

      උඹ කියන Apatheist කට්ටිය වෙනස් - උන් කියන්නෙ දෙයියෙක් කියල එකෙක් තිබ්බත් (හිටියත්) එකයි නැතත් එකයි අපි ඕවට නෑ කියල නේද? ඕකට සිංහලෙන් කියන්නෙ කොහොමද? අපතයො කියල නම් නෙමෙයි නේද? හික්ස් !

      Delete
    7. මං අහල තියෙන්නෙ බුද්ධාගමේ විදිහට වුනත් දෙය්යො , බූතයො, ග්‍රහයො ගැන apathy වගේ එකක් තමයි තියෙන්නෙ. උන් හිටියත් එකයි නැතත් එකයි තමන්ගෙ ගැලවීම තමන් විසින්ම කරගන්න කියල.

      එතකොට ඔය ආගම් හෝ දර්ශන වල තියන සමහර ඒවා ගැන පැහැදීමක් හෝ අවබෝධයක් ඇතිව එහෙත් සම්පූර්ණයෙන් කැමැත්තක් නැතිව ඉන්න එක මොකක්ද?

      Delete
    8. //An Apatheist's core belief system can be summed up as that it's impossible to know what happens after we die, but it's already known that fresh cookies taste really really good. Everyone will know what happens to you after you die as soon as they're dead, which is a revelation that will come regardless the amount of time they spend philosophizing it. But, learning how to paint well... that's not something you're going to just eventually know, it's something you have to actually learn. Dying won't teach you how to become an engineer or expand your vocabulary. Instead of spending time thinking about something everyone will eventually know for sure, spend your time thinking about something that only a few people ever will. //
      :-DDDDDD

      Delete
    9. ඔවු. ඇත්තටම බැලුවොත් ගෞතම බුදුන් (සිද්ධාර්ථ ) කියන්නෙත් එක විදිහකින් ඇපතීස්ට් (Apatheist) කෙනෙක් තමයි. මොකද ඔය කියන පන්සිල් කියන එකත් ඒකාලෙ තිබ්බ සාමාන්‍ය සමාජ සම්මතයක්. බුදුන් ඒක අනුමත කලා තම අනුගාමික ගිහියන්ට පිළිපදින්න සුදුසුයි කියා. බුදුන් කියන්නෙ දුර්වල නීතිසම්පාදකයෙක් බව විනය පිටකය බැලුවම හොඳටම පැහැදිලි වෙනව. බොහොමයක් විනය නීති සකස් කරල තියෙන්නෙ ප්‍රශ්න ආවම ඊට පිළිතුරක් ලෙස මිසක් හොඳින් සැලසුම් කරල මනාව තම සසුන සංවිධානය කරන්න නෙමෙයි.

      ඉස්ලාමය මීට හාත්පසින්ම වෙනස්. ඔවුන් දාර්ශනික වශයෙන් අතිශය දුර්වල වුණත් නීති රීති හා පරිපාලන විනය නීති (එකල තිබූ සමාජයට අදාළව ) අතින් බෙහෙවින්ම සංවිධිත බවක් තියෙනවා. අදටත් ඔවුන්ගේ පරිපාලන ව්‍යුහය ප්‍රායෝගිකව ඉතාම ශක්තිමත්.

      එමෙන්ම මුල් කිතු සසුන අතිශය අසංවිධානාත්මක වුණත් රෝමය කිතුදහමට හැරෙනවාත් සමගම රෝමවරුන්ගේ තිබූ දියුණු පරිපාලන සහ සංවිධාන ශක්තිය සමග කිතු දහමත් ප්‍රායෝගිකව ඉතාම හොඳින් සංවිධානගත වුණා.

      මම හිතන විදිහට ඔබ කියන විදිහේ කෙනෙක් තමයි ඇපතීස්ට් කෙනෙක් වෙන්නෙ. එනම් ආගමකට ගැති වන්නේද නැති එමෙන්ම උග්‍ර ලෙස ආගමික දර්ශන සහ යහපත් සංකල්ප ප්‍රතික්ෂේප නොකරන කෙනෙක්. මම හිතන විදිහට මමත් එවැන්නෙක්.

      Delete
    10. හම්බේ ආගමක් විස්වාස නොකරන එකත් සිරියස් වැඩක් වගේ, ඉගෙන ගන්න දේවල් ගොඩයි. කියවන්න වෙලාවක් හදා ගන්න කොට බස් එක ගිහින් තියෙවි වගේ.

      මම උඩ ඇනෝ සහ ප්‍රා ලියලා තියන වර්ග වලින් කෝකට අයිතිද කියලා පොඩි සෙල්ෆ රිවීව් පාරක දාලා බලන්න වෙනවා,

      මම පරිනාම වාදය පිලිගන්නවා ඒනිසා මැවුම් වාදය හෝ නැවත ඉපදීම යන සංකල්ප මගේ ලොජික් එකට වැටෙන්නේ නෑ, ඉතින් පින් පවු කියන සංකල්ප මට පිලිගන්න බෑ, මම ජීවත්වන සමාජයේ මේ වගේ දේවල් ගැන කවුරුත් වාද කරන්නේ නෑ, එයාලට තමුන්ගේ එදිනෙදා ප්‍රශ්න තියනවා විසඳගන්න ඉතින් ඔය දේවල් පිළිබඳව අධ්‍යයනයක් නොකර මම හුදකලාව මොඩිෆයි කරගත්ත සංකල්පයක් මම දැනට විස්වාස කරනවා,
      " බුද්ධාගම, නැවත ඉපදීම යන සංකල්පය සහ ඒකේ බයි ප්‍රොඩක්ට් වෙන අපාය සහ දිවිය ලෝක ගැන දේශනා කිරීම මිනිසුන් රවටා අයුතු ලාභ ලබාගැනීමට යොදා ගන්නා ව්‍යාපාරයක් බව. නැවත ඉපදී වර්තමානයේ තමන්ට ලබා ගැනීමට නොහැකි දේ ලබා ගැනීමට ඇති කැමැත්ත නිසා නැවත ඉපදීමක් නැත යන සංකල්පයෙන් බැහැර වීමට පරිණාමවාදය පිළිබඳව නිපුන උගතුන්ට පවා නොහැකිවී ඇතිබව. සියළු ආශාවන් තුරන් කළ අයට පමණක් සත්‍ය අවබෝධකරගත හැකි බව ට සහ සත්‍ය අවබෝධ කරගත්තවුන් (නිවන් ගිය අය ) නැවත උප්පත්තියක් නොලබන බවට සිද්ධාර්ත ගෞතම විසින් කර ඇති ප්‍රකාශයෙන් ඒ පිළිබඳ බෞද්ධ ධර්මයේ නිර්මාතෘ වරයා අවබෝධයෙන් සිටි බව මා සිතනවා.

      Delete
    11. This comment has been removed by the author.

      Delete
  21. බුද්ධාගම්කාරත්වය සහ උගත්කම්කාරත්වය සංසන්දනය කිරීම නම් මරු. සිංහල බුද්ධාගම්කාරයෝ නැගිටියිද?

    ReplyDelete
    Replies
    1. සිංහල බුද්ධාගම්කාරයො කියන්නෙ කවුද බන්. උඹල බ්ලොග්කාරයො දේශනා කරපු ආගමක්ද

      Delete
  22. ඔය මාත්තුරුකාව බුද්ධාගම්කාරත්වය ලෙසට වඩා ආගම්කාරකත්වය ලෙස වෙනස් උනා නම් හොඳයි නේද. මොකෝ, උඩින්ම කියලා තියෙනවා නේ මේක හින්ග්ල බුද්ධාගම්කාරයින්ට අදාල නැතෙයිය කියලා...

    පන්සිල් ගැන කතා කරනවා නම්. ඔය ඔක්කෝම කඩපු පොරක් මාතලන්.. ලකුණු ගාන තමයි පුරස්නේ..

    ReplyDelete
  23. අද ආගම කියන්නෙ තනිකරම දේශපාලන බලය ලබා ගැනීම සඳහා භාවිතා කරන උපකරණයක්. හරියට ගහක් කපන්න පොරොවක් භාවිතා කරනවා වගේ. ඊට වඩා දෙයක් ආගමෙන් කරන්නත් බැහැ. කරන්න හිතන්නත් එපා. පොරොව උඩ වාඩිවෙලා අහසින් යන්න බැහැ වගේ.

    ReplyDelete
    Replies
    1. පුළුවනි, ඇයි මිනිස්සු කොටල මරන්න (පොරවෙන්)?

      Delete
  24. බුද්ධාගම්කාරත්වය මනින්න වෙන ක්‍රමයක් නැද්ද? රටක උතුම්කම මනින්නෙ ගුරුත්වාකර්ෂණ බලයෙන් කියල ෆේස්බුක් එකේ තිබුන මතකයි.

    පන්සිල් පද වල අනුපිළිවෙල අනුව බර වෙනස් වෙන බව මට දවසක් කවුදෝ ගුරුන්නාන්සෙ කෙනෙක් කිව්ව වගේ මතකයි. ඒ කියන්නෙ පස්වෙනි සිල්පදේ කඩන එක නෙග්ලෙජිබල්. (මගේ වාසියට ඇහිච්ච කතාවක්ද දන්නෙ නෑ.)

    ReplyDelete
  25. මෙහි රොම්බා නැවු ටෝක් දෙන වාහෙලා තුන් වෙනි සිල් පදේ කඩ්නවාද නැද්ද ගැන සුවයන්වින්දනය.. සොලි සොලි සුවයන්විවේචනය කරන්නේ නැත..

    ඒ හදිසියේ ගෙදර ගෑනි බොග් එක කියවලා තිබ්බොත් ගුටි කෑමට නියමිත හින්දාය...

    PS : ස ර ස තුමා නම් හැකි සෑම විට ම තුන් වෙනි සිල් පදේ කඩමි....

    ReplyDelete
    Replies
    1. මචං සාරස,

      උඹ ඇත්තම එකාද බොරු එකාද? බොරු එවුන් එකාද? තව උඹේ නමින් ෆේක් උන් කීයක් විතර ඉන්නවද? ඇත්ත එකානම් අවුලක් නැහැ. මොකද බොරු නමින් ඉන්න පරඬැල් සමරිසි හිවල් මොටා උඹට මඩ ගහනවද දන්නෙ නැති නිසා ඇහුවෙ.

      තව එකක්. මචං උඹ රනිල්ගෙ ලඟම හිතවතෙක් වෙලා ඉන්න ගමන් සොමියට මරාවාදියෙක් විදිහට පෙනී ඉන්නව කියලත් කියනව. උඹ බොරුවට මරාට සපෝට් කමෙන්ට් දාල කට්ටිය කුලප්පු කරවල මරාටම බන්නවලු කුජීත විදිහට. හැබෑටම ඇත්ත මොකක්ද? බ්ලොග් ලෝකයෙ කටකතාකාරයො එකෙක්වත් විස්වාස කරන්න බැරිනිසා කෙලින්ම ඇහුවෙ; අවුලක් නැහැනෙ.

      Delete
    2. //උඹ ඇත්තම එකාද බොරු එකාද? බොරු එවුන් එකාද?//

      ඇත්ත එකා

      // තව උඹේ නමින් ෆේක් උන් කීයක් විතර ඉන්නවද?//
      මා දන්න තරමින් එක ෆේක් සර ස තුමෙක් සිටී...


      // ඇත්ත එකානම් අවුලක් නැහැ. මොකද බොරු නමින් ඉන්න පරඬැල් සමරිසි හිවල් මොටා උඹට මඩ ගහනවද දන්නෙ නැති නිසා ඇහුවෙ.//

      :D


      //තව එකක්. මචං උඹ රනිල්ගෙ ලඟම හිතවතෙක් වෙලා ඉන්න ගමන් සොමියට මරාවාදියෙක් විදිහට පෙනී ඉන්නව කියලත් කියනව. //

      මා රනිල් තුමා නොහඳුනමි... :D

      //උඹ බොරුවට මරාට සපෝට් කමෙන්ට් දාල කට්ටිය කුලප්පු කරවල මරාටම බන්නවලු කුජීත විදිහට. //

      නරකම නැහැ නේද?

      //හැබෑටම ඇත්ත මොකක්ද? //

      මා මහින්දවාදියෙක් මි!

      //බ්ලොග් ලෝකයෙ කටකතාකාරයො එකෙක්වත් විස්වාස කරන්න බැරිනිසා//

      කස්ටියට තරහ යයි නේද ඇනෝ තුමෝ?


      // කෙලින්ම ඇහුවෙ; අවුලක් නැහැනෙ. //

      අවුලක් නැත... ස ර ස තුමා වටෙන් ආවාට කෙලින් වැඩ කරන කස්ටියට එතුමා රෙස්පෙක්ට් කරති...

      Delete
  26. රසිකගේ ෆ්‍රේම්වර්ක් එකට අනුව බෞද්ධ හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි අනාගමික හැමෝම යම් යම් ප්‍රතිශත වලට 'බුද්ධාගම්කාරයෝ' නේද ;)

    ReplyDelete
  27. රසික අයියා හිතන විදිහ හරි වෙනස් ;). අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ :D.

    ReplyDelete
    Replies
    1. රසිකයා අජාසත්තගේ පුතෙක්. මූ මුගේ දුව තම්බියෙක් එක්ක පැනලා ගිය දුක දරාගන්න බැරුව මේ විකාර ලියන්නේ.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.