Friday 23 June 2017

වීරවංශ මහතාගේ කතා වස්තුව හෙවත් "මරණ බිය දැනුණු විට" - A short story


හැරිස් වීරවංශ මහතා නින්දෙන් අවදිවූයේ පපුව ප්‍රදේශයේ තරමක වේදනාවක් සමගිනි. ඒ වේදනාව සමගම, තමන්ට තරමක දාඩියක් ද දමා ඇති බව ඔහුට වැටහුණි.

"බුදු අම්මෝ, හාට් ඇටෑක් එකක් එන්න එනවා ද?"

තමාට වඩා වසර කිහිපයකින් වයසින් වැඩිමහලු සුමින්ද ජයකොඩි ද හදිසියේ මිය ගියේ හදවතේ රෝගී තත්වයක් නිසා ය. ඒවන විට සුමින්ද ජයකොඩි විශ්‍රාමගෙන දෙවසරක්වත් ගත වී නොතිබුණි. ඔහු පෙර දින රාත්‍රියේ රෝහලට ඇතුළත් කළ පුවත අසා, සේවය නිමවී සුමින්දව බැලීමට යන අතරතුර මරණය පිළිබඳ ආරංචිය ජංගම දුරකථනයට ලැබුණු හැටි පස් වසරකට පසුව වුවත් හැරිස් වීරවංශ මහතාට අද මෙන් මතක ය.

තමන් ගේ පපුව ද, මේ ආකරයෙන් මුල් වරට සලිත වුණේ එදා බව හැරිස් වීරවංශ මහතා විශ්වාස කරයි.

කෙසේ නමුත්, ඒ දිනවලට ම, මුලින් ටවුමේ ඩිස්පැන්සරියේ ඇම්බීබීඇස් දොස්තර ද, පසුව රෝහල අසල චැනලින් සෙන්ටර් එකෙන් නොම්බරයක් ගෙන කාඩියොලොජිස්ට් මහතා ද මුණ ගැසී, ලේ පරීක්‍ෂණයකින් ද, ව්‍යායාම මැෂිමක නැග කළ ඊ සී ජී පරීක්‍ෂණයකින් ද පසු අවවාද ලැබුණේ, සතියකට දෙතුන්වරක් ඇවිදීම හෝ වෙනත් ව්‍යායාමයක් කිරීමටත්, තෙල් කෑම සහ සීනි අඩු කිරීමටත් පමණි.

ගතවුණු වසර පහ මුළුල්ලේ් තමන්ට හැකි උපරිමයට ම ඒ අවවාද පිළිපදින්නට හැරිස් වීරවංශ මහතා උත්සාහ ගත්තේ ය. ඉඳහිට හෝ දවසක රාත්‍රී කෑමෙන් පසු සීනි සහිත දෙයක් කෑම, කාර්යාලයට දිවා ආකාරය ගෙන නොගිය දිනවල තෙල්, කිරි නොබලා හොඳ කෑමක් ගැනීම මිස, තමන් කළ වරදක් නැති බව ඔහු දනී.

හය මසකට පමණ වරක් ලේ පරීක්‍ෂා කර ගත යුතු බවට අවවාද ලැබුණ ද, අවසාන වරට තමන් එසේ කළේ අවුරුදු එකහමාරකට පමණ පෙර බව හැරිස් වීරවංශ මහතාට සිහිවිය.
කොලොස්ටරෝල් වැඩිවෙලාවත් ද මන්දා?

කෙසේ වෙතත් දැන් කළ යුත්තේ කුමක් ද?

සයනයේ වම් පස නිදා සිටිනා තම බිරිඳ පැට්‍රීෂියා ගේ රුව අඩ අඳුරේ වුව හැරිස් වීරවංශ මහතාට පෙනේ. ඇයට ඇහැරවා මේ ගැන කියනවා ද? නැති නම් උදෑසන පහන්වන තුරු සිටිනවා ද?

පපුවේ සිරවීමක් සෑදුණු විට අතීතයේ නම් කළේ සිද්ධාර්ථ නම් ආයුර්වේද තෛලය ගා හොඳින් පිරිමැදීම බව හැරිස් වීරවංශ මහතා කියවා ඇත. දැන් ඒ තෙල් කොහෙන් හොයන්න ද?

බටහිර වෙදකමේ, මේ සඳහා කුමක් හෝ පෙති වර්ගයක් ඇති බවත්, එය දිව යට තබා ගත යුතු බවත් ඔහු අසා ඇත. නමුත් තම වෛද්‍යවරයා එවැනි බෙහෙතක් ගැන ඉඟියක්වත් දී නොමැත.

හැරිස් වීරවංශ මහතා හිස මදක් කරකවා නිදන කාමරයේ එක් බිත්තියක එල්ලා ඇති හෝරා යන්ත්‍රය දෙස බැලුවේ ය.

"හතර හමාරයි!"

එළිය වැටෙන්නට තව පැයකටත් වඩා වේලාව තිබේ. එහෙත්, ඒ අලුත් දවසේ, අලුත් හිරු එළිය දකින්නට තමන්ට වාසනාව තියේ ද?

හැරිස් වීරවංශ මහතා කල්පනා කරන්නට පටන් ගත්තේ ය. හෙට උදේට තමා මියගොස් සිටියහොත් කුමක් වේද?

බිරිය තනිවෙනු ඇත. එහෙත් ඇයට විවාපත් දියණියගෙන් යම් කිසි හව්හරණයක් ලැබෙනු ඇත. ඊට අමතරව, තමන් ගේ අර්ථසාධක අරමුදලින් යෙදූ ස්ථාවර තැන්පතුවේ පොලිය ජීවත්වන තුරු ඇයට උපකාරී වෙනු ඇත.

විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන පුත්‍රයාට ද තව එහි ගෙවන්නට ඇත්තේ මාස කිහිපයක් පමණි.

"පුතාටත් හොඳ ජොබ් එකක් ලැබේවි!"

පපුවේ හිරවීම තවමත් දැනෙයි. ඒ අතරම වැසිකිළියට යාමේ දැඩි අවශ්‍යතාවයක් ද එක්වරම ඇති විය.

සෙමෙන් සෙමෙන් ඇදෙන් නැගිටුණු හැරිස් වීරවංශ මහතා, රබර් සෙරෙප්පු කුට්ටම ද පයලාගෙන නාන කාමරය දෙසට ඇවිද යන්නට විය.

තමන් ඇඳෙන් නැගිටි සැණෙන් ම වාගේ එතෙක් තිබුණු පපුවේ හිරවීම තරමක් අඩු වී යනවා හැරිස් වීරවංශ මහතාට හැඟිණි. වැසිකිළි කෘත්‍යය අවසාන වන විට එය නැත්තටම නැතුව ගියා හා සමාන විය. අත් සෝදාගත් ඔහු, දත් මැද, වතුර උගුරු කිහිපයක් ද බී, නැවතත් කාමරයට පැමිණ ඇදේ හාන්සි විය.

පපුව හිරවීම යළිත් ආරම්භ වූ බව ඔහුට දැනුණි.

ඔහු කොට්ටය දිගු අතට හරවා, තවත් කොට්ටක් ද තබා තරමක් හිස එසවෙන ආකාරයට තම ඉරියව්ව වෙනස් කළේය.

එවර, තරමක පහසුවක් දැනුණි.

වැසිකිළියේ දී යාන්තමට මෙන් සිතට නැගුණු සිතුවිල්ල එයින් තහවුරු විය.

"ඊයේ කාපු දෙයක් වෙන්න ඇති. තාමත් උගුරට එනවා වගේ!"

තමන් සිටි ඉරියව්ව වෙනස් නොකරම හැරිස් වීරවංශ මහතා දෑස් පියා ගත්තේ ය.

උදෑසන ඔහුට අවදිවෙන විට හොඳින් හිරු පායා තිබුණි. පැට්‍රීෂියා වීරවංශ විසින් සාදා කාමරයට ගෙනැවිත් ඇඳ අසල කනප්පුවේ තබා තිබුණු තේ කෝප්පය සීතල වී ඇත.

තේ කෝප්පය අතට ගත් හැරිස් වීරවංශ මහතා, එහි බඳ දිගේ ඉහළට නගිමින් සිටි කුඩා කුහුඹුවෙකු තම ඇඟිල්ල නවා ඈතට විද දැම්මේ ය.

නිමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙය ද, කලින් ලියා පළ කළ කෙටිකතා මෙන් ම, ඉතා හදිසියේ පැයක් වැනි කාලයක් තුළ ලියූවකි. ඉයන් ලින්තොට ගේ "සම්බෝල අභියෝගය" හිතන තරම් ලෙහෙසි නැති බව පෙනේ!


(image: http://www.dailymail.co.uk/health/article-2191667/Spouses-heart-attack-victims-prone-anxiety-depression-shock-similar-post-traumatic-stress-disorder.html)

20 comments:

  1. හෑ පැට්‍රීෂියා ?
    එතකොට ශෂීව ඩිවෝස් කරලද ?

    ReplyDelete
    Replies
    1. හැරිස් ගේ බිරිඳ පැට්‍රීෂියා ය!

      Delete
  2. තිබ්බ සිම්ප්ටම්ස් වල හැටියට හැරිස් වීරවංශ පහුවදා නැගිටිනවා බොරු.

    ReplyDelete
    Replies
    1. වැරදියි. පොරට තිබිලා තියෙන්නේ "හාට් බර්න්" නම් රෝගයේ ලක්‍ෂණයි.

      https://en.wikipedia.org/wiki/Heartburn

      Delete
  3. හැරිස් මහත්තයා ආයෙමත් වෛද්‍ය උපදෙස් අනුව පහුවදා සිටම ක්‍රියාත්මක වේවි වගේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.
      ඒක සමහරවිට වෙනම කතාවක් වේවි.

      Delete
  4. මේ තියෙන්නේ ස්ටයිල් එක.... මාත් ලියනවා :)

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ, මේක සම්බෝල ස්ටයිල් එක නොවෙයි.

      ඉයන් කියන විදියට සම්බෝල කරන්නේ කතා කිහිපයකින් කෑලි එකට දාලා අනලා අරගෙනයි!

      Delete
  5. ජාත්‍යන්තර කුමන්ත්‍රණ

    ReplyDelete
  6. ආ... ඒ සීන් එකටද මේ... මම ඒත් බැලුවා මේ මොකෝ කියලා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉයන් කියන විදියට සම්බෝල කරන්නෙ කතා කොටස් කිහිපයක් ලියන්න ගියත් ඊට පෙර පළ කරන්න හිතුණා.

      Delete
  7. මේක ඒ ස්ටයිල් එකේම නෑ නේද???

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ, මේක සම්බෝල ස්ටයිල් එක නොවෙයි.

      ඉයන් කියන විදියට සම්බෝල කරන්නේ කතා කිහිපයකින් කෑලි එකට දාලා අනලා අරගෙනයි!

      Delete
  8. මම හිතුවෙ විමල් වීරවංශ කියලා .. කුතුහලයක් එක්ක හොඳට ලියල හියෙනවා.

    ReplyDelete
    Replies
    1. විමල් වීරවංශ කියන්නේ ආරූඪ කරගත් නමක් නේ. පොරගේ මුල් නම වීරපණික්කි විමලසිරි වගේ එකක් නේද?

      හැරිස් වීරවංශ කියන්නේ ෆික්ටිෂස් නමක්. ඇත්ත පුද්ගලයෙකු නොවෙයි.

      Delete
    2. ලංකා ඊ නිව්ස්ට අනුව වීරසංගිලි පනික්කියලාගේ විමලසේන හෙවත් විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ.

      Delete
  9. වීරවංශ ගේ කොටහ හරි.. තව දුව පුතා පැට්‍රිශියා සුමින්ද කලවං කරලා කොටස් දෙකක් ලියා ගත්තම ගොඩ..

    අහ්.. වීරවංශ මහත්තයා ට දීර්ඝායුෂ!!!

    ReplyDelete
    Replies
    1. මේ කතා ලියවෙන විදියට පළවෙන නිසා, දැන් අදහස ඉයන් ගේ සම්බෝල කේස් එක වෙනම ම සම්බෝලයක් කොටන්නයි.

      Delete
  10. විරවංශ කියල බැලුවහම ආවේ. බලනකොට රසිකවංශ ගැනනේ ලියල් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ, මේක කෙටිකතාවක් පමණයි.

      මේ සමහර විට අනාගතයේ සත්‍යයක වෙන කතාවක් විය හැක.

      එනම්, මගේ මිතුරෙකු මෙලෙස මිය ගොස් නැති අතර දරුවන් ද මීට වඩා වයසෙන් අඩු අය ය.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.