Saturday 12 May 2018

මැයි එකොළහ කළුවර රැයෙන් පසු කතාව - Aftermath of racial violence at Peradeniya University on 11 May 1983


මෙම ලිපියේ මුල් කොටසින් මා ඔබට කියූ කතාවේ සාරාංශය මෙසේ ය.

සුන්දර පේරාදෙණිය සරසවිය අසුන්දර කරමින්, බුද්ධිමතුන් පරයා මන්ද බුද්ධික ලා ද, සිංහයින් පරයා සිඟාලයින් ද රජ වූ 1983 මැයි 11 දින රාති‍්‍රයේ දී, ඉන් දෙමසකට පසු එළැඹීමට නියමිත කූප‍්‍රකට කළු ජූලියට පුරෝධාවකයක් සේ වෙමින්, සිංහල සිසුන් පිරිසක් විසින් දෙමළ සිසුන් පිරිසකට පහර දුන් බව සහ තම ආරක්‍ෂාව පතා දෙමළ සිසුන් ගම් බිම් කරා ගිය බවත් ය. මේ තිරශ්චීන සිදුවීම පිළිබඳව පසුව එළිදරව් වුණු කරුණු කිහිපයක් අද ඔබ හමුවේ දැක්වීමට මම අදහස් කරමි.

මේ දිනවල දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් වන අපට විශ්වවිද්‍යාලය තුළ නේවාසික පහසුකම නොලැබුණු නිසා අප නැවතී සිටියේ ඊරියගම නිවෙසකය. පසු දා, එනම් මැයි 12 දා, උදේ වරුවේ සුපුරුදු පරිදි විශ්වවිද්‍යාලය කරා පැමිණි අපට පෙර දින රාතී‍්‍ර සිදුවීම මාලාව සහ උද්ගත වී ඇති තත්වය සැකෙවින් දැන ගැනීමට ලැබුණි. ඉංජිනේරු පීඨයේ දෙමළ සිසුන් විශාල ප‍්‍රමාණයක් නිවෙස් බලා පිටත්ව ගොස් හෝ පිටත්ව යමින් සිටියහ.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ දූරදර්ශී නායකත්වය යටතේ වහා රැස් වූ ශිෂ්‍යයෝ, විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂාකාරී තත්වයක් උදාවී, තම සහෝදර දෙමළ සිසුන් ආපසු පැමිණෙන තුරු සියලූ අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටීමට තීරණය කළහ. අපට සති තුනක පමණ අනියම් නිවාඩුවක් ලැබුණි. මේ කාලයේ දී, අපේ ආචාර්ය මණ්ඩලයේ ද ආශිර්වාදය මේ තීරණයට ලැබුණු බව සඳහන් කළ යුතු ය.

එය එසේ වූවද, විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන්, විශේෂයෙන් ම මැයි 11 දින, ඊට පෙර හා පසු දින කිහිපය තුළ කි‍්‍රයාකර ඇත්තේ මීට හාත්පසින්ම වෙනස් ආකාරයකට බව මේ සිද්ධින් ඇසින් දුටු සාක්‍ෂිවලට අනුව පැහැදිලි වේ. දෙමළ සිසුන් ට පහර දීම එක්තරා අහඹු සිදුවීමක් නොව යම් මට්ටමක දී සැලසුම් කර මනා ලෙස මුදාහරින ලද්දක් බව ද ඔවුන් ඒ පහරදීම් සැලසුම් හෝ පහරදීම් පිළිබඳව හෝ කලින් දැනුවත්ව සිට ඇති බවට ද සැක ඇතිවේ. මුල් දිනයේ පහර දීමෙන් නොනැවතී, මැයි 12 සහ 13 දෙදින රාතී‍්‍ර කාලවල දී ද විශ්වවිද්‍යාලයෙන් බැහැර නොවී සිටි දෙමළ උපදේශකවරුන් කිහිප දෙනෙකුට පහර දීමට ද, මුල් දිනයේ පහරදීම් මෙහෙය වූ මැර සිසු නායකයින් ට ඉඩ ලැබුණේ ද මේ වගකිව යුතු ආචාර්යවරුන් ගේ කි‍්‍රයාකාරකම් හෝ කි‍්‍රයාවිරහිතභාවය නිසා ය.

මගේ මේ සටහනේ ඇතුළත් සිද්ධීන් පිළිබඳ විස්තර සඳහා පාදක වන්නේ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ (යාපනය) සංගමය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති විවිධ වාර්තා ය.

මැයි 11 රෑ පහරදීම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිල්ඩා ඔබේසේකර ශාලාවේ ද, ජේම්ස් පීරිස් ශාලාවේ ද, මාර්ස් ශාලාවේ ද එකම කාල පරාසයක දී ඇරඹිණ. හිල්ඩා ශාලාවේ දී මුලින්ම පහර දීමට ලක්වූවේ බාලසූරියන් නම් ඉංජිනේරු පීඨ පළමු වසරේ සිසුවෙකි. යකඩ පයිප්ප කැබලි සහ පුටු කකුල් වලින් සන්නද්ධ වූ සිංහල මැර සිසු පිරිසක් එදින රාති‍්‍රයේ ඔහු සොයා පැමිණියහ. පසුව ඔහුට පවසන ලද පරිදි ඔහුට විරුද්ධව තිබූ චෝදනාව වූයේ දෙමළ භාෂාවෙන් මුදි‍්‍රත විවිධ පොත් පති‍්‍රකා ඔහුට තැපෑලෙන් පැමිණීමයි. එනිසාම ඔහු එල්.ටී.ටී.ඊ. සැකකරුවෙක් විය. විශේෂයෙන්ම හිල්ඩා ඔබේසේකර ශාලාවේ එවකට ශාලාධිපති ධූරය දැරූ ආචාර්යවරයාට නම්, ඒ එක් සඟරාවක මුල් පිටුව සැරසූ චිත‍්‍රය ම බාලසූරියන් ගේ ත‍්‍රස්තවාදීකම ගැන තීරණාත්මක සාධකයක් විය. මෙම චිත‍්‍රය වනාහී අන් කිසිවක් නොව එවකට සාමය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රචාරක කටයුතු වලදී ජාත්‍යයන්තර ක්‍ෂමා සංවිධානය පවා භාවිතා කළ, කූඩුවක සිර කළ පරවියෙකු ගේ චිත‍්‍රයයි. කූඩුව තුළ හෝ පරවියාට ඉගිලෙන්නට නොහැකිවන ලෙස උගේ පාද යදමකින් විශාල යකඩ බෝලයකට සවිකර තිබේ. බාලසූරියන් මේ මුල් පිටුව සහිත සඟරාවේ සම සංස්කාරකයෙකු විය. මෙයට අමතරව ඒ වන විට කවියකු ලෙස ද තරමක ප‍්‍රසිද්ධියක් ලබා සිටි බාලසූරියන්, මේ ලිපි ලේඛන නිසා ම කොටියෙකු බවට පත්විය. ඒ අපේ තාත්තලා ගේ කාලයේ ඕනැම නිදහස් සමාජ සංශෝධන මතධාරියෙකු සමසමාජ කාරයෙකු ද, අපේ කාලයේ එවැන්නෙකු ජේ.වී.පී කාරයෙකු වූවා සේමය.

මෙහි උත්ප‍්‍රාසජනක සත්‍යය නම්, එවකට එල්.ටී.ටී.ඊ. යනාදී සන්නද්ධ සංවිධාන අනුගමනය කළ කි‍්‍රයාපටිපාටියට ප‍්‍රතිවිරුද්ධ වාමාංශික අදහස් දැරූ බාලසූරියන්, පසුව ජූලි කලබල වලින් පසු සිය ඉගෙනීම් කටයුතු තාවකාලිකව නැවතුණු කාලයේ දී පවා එකතු වූයේ වාමංශික දේශපාලනමය සංවිධානයකට වීමයි.

මැර සිසු නායකයින් සහ ඔවුන් ගේ උසි ගැන්වීමට අවනතවූ කණ්ඩායම පුටු කකුල් යනාදියෙන් බාලසූරියන් ට සෑහෙන වෙලාවක් පහර දුන් පසු, ඔහු වෙත පැමිණි ශාලාධිපති ඔහුව කාර්යාලයට රැගෙන ගොස් ඇත. බාලසූරියන් ට තැපෑලෙන් පැමිණි සහ ඔහුගේ කාමරයේ තිබූ පති‍්‍රකා, සඟරා යනාදියේ චිත‍්‍ර සහ කාටූන් පමණක් (මේ සඟරා යනාදිය දෙමළ භාෂාවෙන් පල වූ ඒවා ය) ඒ වන විටත් අධ්‍යයනය කර සිටි ශාලාධිපති, උප කුලපති ගේ ද අනුදැනුම ඇතුව මුලින් විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අංශයට ද, එතැනින් පොලිසියට ද භාර දුන්නේ ය. මෙම ප‍්‍රකාශන රහස් ප‍්‍රකාශන නොව ප‍්‍රසිද්ධ ප‍්‍රකාශන බවත් දෙමළ කියවීම දන්නා සහ බාලසූරියන්ව සඟරා සංස්කාරකවරයෙක් සහ කවියෙක් ලෙස හඳුනන සිවසේකරම් ඇතුළු විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ගේ ඉල්ලීම් ද නොතැකුනි. පහර කා සිටි බාලසූරියන්, පොලිසියේ ද, කූප‍්‍රකට හතරවන තට්ටුවේ ද සංග‍්‍රහ දින දෙකක් විඳ චෝදනා විරහිතව නිවෙසට ගියේ ය.

මෙම පහරදීම් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය සැකසීම සඳහා මැර සිසුවන් විසින් මුලින් ම උපයෝගී කොට ගත්තේ අපූරු නිමිත්තකි. මැයි 11 දින සවස් වරුවේ විශ්වවිද්‍යාලයට ඇතුළුවන ප‍්‍රධාන මාර්ගය අසල පිහිටුවා තිබූ පුවරුවේ සිංහල අකුරු උඩින් සිමෙන්ති වැනි උකු දියරයක් ගා තිබුණි. මෙය දෙමළ සිසුන් විසින් කරන ලද්දක් බවත්, ඔවුන් ට හොඳ පාඩමක් ඉගැන්විය යුතු බවත් මැර සිසු නායකයින් විසින් ප‍්‍රචාරය කරන ලදී. සරදමකට මෙන්, මෙය 1956 ශී‍්‍ර අකුරේ තාර ගෑ බවට සිදු කල ප‍්‍රචාර සහ ඉන් අනතුරුව මුදා හළ ප‍්‍රචණ්ඩත්වය සිහි ගන්වයි.

මා මුලින් සඳහන් කළ පරිදි, මැයි 11 රාති‍්‍රයේ දී, නේවාසිකාගාර තුනක දී දෙමළ සිසුන්ට පහර දෙන ලදී. විශ්වවිද්‍යාල බලධරයන් ගේ උදාසීනත්වය මෙම සිදුවීම් වලට වක‍්‍රාකාර අනුබලයක් දුන් අතර එය වඩාත් පැහැදිලි වන්නේ නිවෙස් කරා නොගොස් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල තනිකඩ ආචාර්යවරුන් සඳහා ඇති කාමරවල නැවතී සිටි ආචාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට 12 දා රාති‍්‍රයේ පහර දීමත්, ඉන් පසුදා විශ්වවිද්‍යාලයෙන් බාහිරව පිහිටා තිබෙන රෝහලේ දී ද මෙවැනි පහර දීම් සිදුවීමත් හේතුවෙනි. විද්‍යා පීඨයේ අවසන් වසර සිසුන් වූ, ප‍්‍රධාන මැර නායකයින් දෙදෙනා ගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අත්හිටුවීම පවා සිදුවූයේ මේ ප‍්‍රධාන පහරදීමෙන් සති තුනකටත් වඩා ගතවී, ඒ වන විට නැවත අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයට පැමිණ සිටි දෙමළ සිසුන් පිරිසකට මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් පහර දීමෙන් ද පසුව ය.

එදා මැයි 11 රාත‍්‍රියේ දී දෙමළ සිසුන්ට කළ පහර දීම, රටේ පාලයින්ගේ අනුදැනුම ඇතුව කාලයක් තිස්සේ සැලසුම් කර මුදා හළ ප‍්‍රචණ්ඩත්වයක් බවට සැක කිරීමට පැහැදිලි හේතු තිබේ. සමහර විට එය, ඉන් දෙමසකට පසුව රටපුරා මුදාහල ජාතිවාදී ප‍්‍රහාරයන් සඳහා කළ ලිට්මස් පරීක්ෂාවක් ද විය හැකිය.

පාලක එක්සත් ජාතික පක්ෂය හා එයට සම්බන්ධව විශ්විද්‍යාලය තුළ ක‍්‍රියාත්මක වූ සමවාදී ශිෂ්‍ය සංගමයේ ක‍්‍රියාකලාපය ඒ අනුව තීරණය කළ හැකි වුවත්, අප පුදුමයට පත් කළ කාරණයක් වූයේ එවකට පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ බලයේ සිටි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය මේ පහරදීම් පිළිබඳව දැක්වූ නිෂ්ක‍්‍රිය ආකල්පයයි.

දෙමළ සිසුන් ආපසු විශ්වවිද්‍යාල භූමියට එනතුරු පන්ති වර්ජනයක නිරතවූයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පමණි. සිංහල, දෙමළ සහ සියලූ සිසුන්ට පොදු දේශන සහිත පාඨමාලා පැවැත්වුණු වෛද්‍ය, කෘෂි විද්‍යා, පශු වෛද්‍ය වැනි පීඨවල ද එවැනි පියවරක් ගැනීමට කිසිදු යෝජනාවක් හෝ මහා ශිෂ්‍ය සංගමයෙන් ඉදිරිපත්වූයේ නැත. ඔවුන් මුනිවත රුක්කහ.

ජනතා විමුක්ති පෙරමුණේ ඒ නිහඬතාවය කුමක් නිසාදැයි අපට හෙළිවූයේ ජාතිවාදී සටන් පාඨ සහිතව ඔවුන් 1984 දී යටිබිම්ගතව සිටිමින් මුදාහල ප‍්‍රචාරක ව්‍යාපාරයයි.

මේ පහරදීම් ගැන සොයන්නට සුපුරුදු පරිදි කමිටුවක් පත්කරන ලදී. කෙනත් ලැනරෝල් ගේ සභාපතිත්වයෙන් සහ කල්නායිඩු හා ඒකනායක ගේ සාමාජිකත්වයෙන් සැදුම් ලත් කමිටු වාර්තාව කියවූ පිරිස ගේ ප‍්‍රසංසාවට ලක්වුණ ද විශ්වවිද්‍යාල බලධාරීන් විසින් කිසි දිනක ප‍්‍රසිද්ධියේ එළිදක්වන නොලදී. මෙම වාර්තාව උපුටා දක්වන මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ වාර්තාව පවසන්නේ පේරාදෙණියේ මේ සිදුවීම් මාලාව හුදෙකලා අහඹු සිදුවීමක් නොව රටේ දේශපාලන අවශ්‍යතාවයක් මත ඇති කරන ලද්දක් බවයි.

ලැනරෝල් වාර්තාවෙන් නම් කල මැරයන් සහ මැර සිසුවන් 18 ක් දෙනාට ලබා දුන් දඬුවමක් නම් මගේ මතකයේ නැත. මෙයින් වැඩි දෙනා රටේ පාලක දේශපාලන පක්‍ෂයට කෙළින්ම හෝ අනියම් ව හෝ සම්බන්ධතා තිබුණු අය බව ද කියවේ. මේ පිරිසෙන් 17 දෙනෙක් ම වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය සහ විද්‍යා සිසුන් වීම ද විශේෂයකි. විශ්වවිද්‍යාල උගතුන් ගේ බුද්ධිමත් කම ගැන තවත් අවශ්‍ය කවර නම් සාධක ද? තුලසි වික්‍රමසිංහ නම් එයින් එක් මැර නායකයෙක් පසු කලෙක අයින්ස්ටයින් ගේ සාපේක්‍ෂතාවාදය ගැන විශ්වවිද්‍යාල දේශකයෙක් විය. උගත්කම හා බුද්ධිමත්කම අතර ඇති හීන සහසම්බන්ධතාවය ගැන ඔහු හොඳම උදාහරණයැයි මම සිතමි.

කම්මල යැයි ආදරයෙන් හැඳින්වුණු මා උගත් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ තෝතැන්න වූයේ අපේ කලා කවයේ බිත්ති සඟරාවයි. මැයි 11 කළුවර රැයෙන් ටික දිනකට පසුව එහි පළ වූ කවකින් කියවුණේ එවර විශ්වවිද්‍යාලයේ වෙසක් සැරසිලි වලින් ඉස්මතු වන නව අරුතක් ගැනයි. වෙනත් රටක වෙනත් ජාතිකයෙකු වූ බුදුන් ගේ ලේ වෙනත් පාටක් දැයි එමගින් අසා තිබුණේ ජාතිවාදයේ නිෂ්ඵල බව කියා පෑමටය. මෙම නිසඳැස් කවිය හෙන්රි වර්ණකුලසූරිය ගේ නිර්මාණයක් විය.

අපේ පීඨයේම අඩු වශයෙන් එක් අයෙක් මෙයින් කිපුණි. ඔහු ඊළඟ කලාපයට පිළිතුරක් එවීය. එය පිළිතුරකටත් වඩා වස් කවියක් බව සමහරෙකු ගේ අදහස විය.

හෙන්රි වර්ණකුලසූරිය ද ප්‍රතිපිළිතුරක් ලියූ නමුත්, ශිෂ්‍ය සටන්, උපවාස සහ ප‍්‍රාණ ඇපකරුවන් මැද විශ්වවිද්‍යාලය වැසී ගියෙන් කවි සටන එයින් නැවතුණි.

ඉන් පසුව එළැඹියේ කූප‍්‍රකට කළු ජූලියයි!

-රසික සූරියආරච්චි

ප/ලි:
ලිපියේ මුල් කොටසට පිවිසුම
http://rasikalogy.blogspot.com/2018/05/ten-weeks-before-black-july-1983.html

(image: https://www.flickr.com/photos/55560337@N06/5147525341/)

9 comments:

  1. Names of the leaders of JVP students then please?

    ReplyDelete
  2. මේ ප්‍රහාරයට ඒ සඳහා සකස් කරන ලද මූලික සැළසුම් වගේ ම ශිෂ්‍යයන්ගේ මන්ද බුද්ධික භාවයත් බලපෑවා.
    ඔය සිදුවීම් වලට ටික කලකට පසුව එවකට මා නැවතී සිටි හිල්ඩා ඔබේසේකර ශාලාවේ තුන්වැනි පියාපතේ (වින්ග් එකේ) ඉහළ මාලයේ කොරිඩෝරයේ සිටියදී දැකගන්නට ලැබුණේ හතරවැනි පියාපතේ ඉහළ මාලයේ (හෝ ඊට පහත මාලයේ) කොරිඩෝරය දිගේ දෙමළ ශිෂ්‍යයකු අමුතු ම ඉරියව්වකින් අත් දෙක තබාගෙන ඉදිරියට ඇවදගෙන යන ආකාරයයි.

    නිවාඩු දිනයක් වූ බැවින් බොහෝ සිසුන් නිවෙස් වලට ගොස් සිටි නිසා නොවන්නට බරපතළ තත්වයක් ඇති වන්නට ඉඩ තිබුණු බව මට සිතුනේ මා සමග සිටි සිංහල සිසුවකු ඒ ඉරියව්ව දැක භීතියට පත් වීම නිසා යි. වාසනාවට ඉතා සුළු වේලාවකින් දෙමළ සිසුවා සිය ඉරියව්ව වෙනස් කරමින් බෙල්ල වටේ දමාගෙන අත් දෙකෙන් ඇදගෙන සිටි ෆයිලිං කෝඩ් එකක් හෝ එවැනි යම් නූලක් පහතට ගත් නිසා යි.

    ReplyDelete
  3. ඉංජිනේරු සිසුන්ට අපේ ආචාරය , අර දේවතාවෝ එලි දක්වන මහාචාර්ය වරු ඉන්න ඔකේ අනිත පීඨ වල සිසුන්ගෙන වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද

    ReplyDelete
  4. https://science.tcnj.edu/2011/09/12/dr-thulsi-wickramasinghe/

    ReplyDelete
  5. //ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ දූරදර්ශී නායකත්වය// රසික මේ කියන්නෙ විශේෂිත පුද්ගල නායකත්වයක්ද නැත්නම් සාමූහික නායකත්වයක් ගැනද?

    ReplyDelete
  6. කළම්බු ටෙලිග්‍රා‍ේ එකේ මේ පිලිබද අාටිකල් එකක බාලසූරියන් කොමන්ට් කර තිබෙනවා https://www.colombotelegraph.com/index.php/university-of-peradeniya-may-1983-when-majesty-stoops-to-folly/
    තුල්සි වික්‍රමසිංහ බේරී ඇත්තේ ඉංග්‍රීසි ආචාර්යවරියකගේ මැදිහත්වීමෙන්ලු

    ReplyDelete
  7. පළමුව "පවුල් පන්සල" සම්බන්ධව උඹට සුබ පැතුම්!!! එහෙම බ්ලොග් වලින් සමුගන්න එපා "ටික්කා". උඹ මට ලොකු උදව්වක් කළා බ්ලොග් අවකාශයට අලුත් වචන පවා හඳුන්වා දෙන්න. "සිපිපියා" කියන්නේ මම මේ බ්ලොග් අවකාශයට නිර්මාණය කළ කෙටි යෙදුමක්. "සිපිපියා" කියන්නේ සිනුවර පිං (කරණ) පියා කියන එක. ඕක මම මුලින්ම නිර්මාණය කළේ "මල්ලෙ පොල්" වල උඹේ අවසර ඇතුව. උඹ ඒක අනුමත කළා. ඊට පස්සෙ මගෙ නිර්මාණය "ලපිපියා". "සිපිපියා" සම්බන්ධයෙන් උඹේ අනුමැතිය දැකපු පො_නයෙක් මගෙන් ඇහුව "මල්ලෙ පොල්" වලදී එහෙනම් මේ නම අනුමත කරපු "ලන්ඩන් වල ඉන්න, කොට, තට්ට, කළු" එකා "ලපිපියා" ද කියල . මම දුන්නෙ එකම උත්තරයයි. ඒ "ලපිපියා" කියන්නේ කොට තට්ට චාටර් ඉංජිනේරු දවල් තාරකා විද්‍යාඥයට කියල. එතන ඉඳන් "ලපිපියා" කියන්නෙත් සිංහල බ්ලොග් අවකාශයෙ පිළිගත් වචනයක්. ඔය "එයාර් මයිල්" වලට "ලපිපියා" fix උනේ මට උත්තර දෙන්න ගිහිල්ල. ඔය "ලපිපියා" පට්ට කපටි ඌ වගේ උන්ගෙ බ්ලොග් මහන්තත්තකම "එයාර් මයිල් යායෙන්" පෙන්නන්න ගිහින් ඌ කළේ අරුණ පෙරේරා වගේ සුන්දර මිනිස්සුන්ට මේක එපා කරපු එක. මොනවා උනත් මේකෙ වල් අලිය වගේ මාතලන් ඉන්න එක හොඳයි. ඔය "මැවි(ව)සුරු" අහවල් "පියන්ට" වඩා හිත හොඳ කන බොන "ගයිඩෙක්" දාහෙන් සම්පතයි. එහෙම එක්ක tour ගිය tourists ල team එකක් අවුරුදු 5 කින් හරි මෙහෙ එනවා. අන්තිමට අඩු ගානේ ඒ සල්ලි රටට.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.