Thursday 23 July 2020

බයි-ලොජි, බයි-මැත්ස් සහ බයි-memes : From the illiterate to the illiterate


ලංකාවේ සිටින්නේ "අරුං රට කාගෙන කාගෙන කාගෙන කාගෙන ගොස් නැවැත් වූ තැන සිට රට කාගෙන කාගෙන කාගෙන කාගෙන යන්නට මුංට බාර දෙන" ඡන්දදායකයින් පිරිසක් බව අප දන්නේ අද ඊයේ සිට නොවේ. හැම ඡන්දයක දී ම පාහේ සිදුවන්නේ එයයි.

දියවන්නාවේ සිටින 225 ක් වූ අති විශාල මන්ත්‍රීලා සංඛ්‍යාව ගැන මොන මොන විහිළු කතා, අපහාස, උපහාස තිබුණ ද, මේ ශෝකී තත්වය මෙවර ද වෙනස් වෙන පාටක් නැත.

නමුත් ප්‍රශ්ණය නම්, එලෙස අරුංට, අරුංගෙන් පසු මුංට, මුංගෙන් පසු නැවතත් අරුංට ඡන්දය දෙන්නේ රටේ මහජනතාව ම වීමයි. ජනතාව කොයි තරම් අණුවනයින් වුව ද, ආණ්ඩුව යනු ජනතාවගේ තේරීමයි. එය ප්‍රජාතන්ත්‍රවාදයයි.

ජනතාවගේ මේ අණුවන කම කපටි දේශපාලුවන් සහ ඔවුන්ට කඩේ යන්නන් විසින් ප්‍රයෝජනයට ගන්නා ආකාරය හොඳින් පැහැදිළිවෙන උදාහරණ දෙකක් පසුගිය දිනවල සමාජ ජාලාවක සංසරණය වෙනු මට දකින්නට ලැබුණි.

මේ ඉන් පළමුවැන්නයි.


ජනතා බදු මුදල් නාස්ති කිරීමට සජිත් ප්‍රේමදාස මෙලෙස යෝජනා කරන්නේ ගම්බද මෝඩ සිංහල බෞද්ධ ඡන්දවලින් කොටසක් කඩා ගැනීම සඳහා බව අමුතුවෙන් කිව යුතු නැත.

නමුත් ඒ අමන ප්‍රකාශය උපහාසයට ලක් කරමින් ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් විසින් පිළියෙල කර ඇති ඉහත memeය ඊටත් වඩා ජනතාව ගොනාට ඇන්දවීමකි.

සජිත් ප්‍රේමදාසගේ ඡන්ද පොරොන්දුවේ ඇති නිෂ්ඵල බව පෙන්වනු වෙනුවට, ඒ සඳහා මුදල් ලැබෙන්නේ ජනතාව මත පටවා ඇති කවර නම් බද්ද කොයි තරම් ප්‍රමාණයකින් වැඩි කිරීමෙන් ද යන්න ප්‍රශ්ණ කරනු වෙනුවට, කළ යුත්තේ මේ ආකාරයට රට පුරා ගඩොල් ගොඩවල් බැඳීම නොව, පාසල් සිසුන්ට වැසිකිලි සාදා දීම හෝ දුෂ්කර පලාත්වල වැසියන්ට පාලම් සාදා දීම නොවේදැයි ප්‍රශ්ණ කරනු වෙනුවට, ඔවුන් උත්සාහ කරන්නේ එලෙස චෛත්‍ය දහසක් වසර පහක් තුල සෑදිය නොහැකි බව පෙන්වීමට තැත් කිරීමයි.

ඔවුන් එසේ කරන්නේ ඉතා වංචනික ලෙස වීම මෙහි ඇති ලොකුම උත්ප්‍රාසයයි. එයින් හැඟෙන්නේ, එක්කෝ මේ දේශපාලන ක්‍රියාකාරීන්ට ගණිතය නොතේරෙන බවයි, නැතිනම් ඔවුන් උවමනාවෙන් ම ගණිතය නොතේරෙන ජනතාව අරමුණු කරගනිමින් මේ මුලාව කරන බවයි.

මෙය ඇස ගැනුණු සැනින් එම වංචාව මට වැටහුණු නිසා, මම මෙලෙස ප්‍රතිචාර දැක්වූයෙමි.
මේ චෛත්‍ය සැදීම අමන සිංහලබුඩ්ඩාගමේ උංව (බුදු දහම අනුගමනය කරන අය නොවේ!) රවට්ටන්න කියන කතාවක් වුණත් මේ meme එකේ දක්වා ඇති ගණනය කිරීම නම්, කිසිදු තේරුමක් නැති අර වගේ ම අමන කතාවකි.

අවුරුදු පහක දී අවශ්‍ය නම් චෛත්‍ය 1,000 ක් නොව දහ දාහක් හදන්න පුළුවනි. ඒ හැම එකම හදන්නේ එකම පිරිස නොවේ නේ. වැඩ බිම් 10,000 ක ප්‍රොජෙක්ට් ටීම් 10,000 ක් යොදවා, අවශ්‍ය නම් එකම දවසේ වැඩ අරඹා, අවශ්‍ය නම් වසර පහක් වුව ද කල් ගෙන ඒ ගොඩනැගීම් පහසුවෙන් අවසාන කළ හැකියි.

චෛත්‍ය සංඛ්‍යාව, වසර පහේ ඇති මාස ගණනින් බෙදා ඇත්තේ සජිත් ප්‍රේමදාස රවටන්නට උත්සාහ කරන මෝඩයින් පිරිස නොව වෙනත් මෝඩයින් පිරිසක් රැවටීම සඳහා ය.
මෙන්න මා දුටු දෙවන meme ය.


පෙර අවස්ථාවටත් වඩා මෙහි ඇති කණගාටුව නම්, මෙය බොහෝවිට නිර්මාණය කර ඇත්තේ සහ බෙදා හරින්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිතවාදීන් වීමයි. ඔවුන් මෙයින් පෙන්වන්නට උත්සාහ කරන්නේ පැවති කණගාටුදායක තත්වය නිමා කර මෙවර මහ ඡන්දයේ දී ඔවුන්ගේ ඡන්ද අපේක්‍ෂකයින් වැනි, දුෂණ චෝදනා නැති, උගත්, සාපේක්‍ෂව තරුණ පිරිසක් ජනතා නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි.

ඒ සියල්ල සත්‍යය බව පැහැදිලි නමුත්, ඔවුන් මේ සඳහා උපයෝගී කරගෙන ඇති රූපය දැක මට සිනහව නවත්වා ගත හැකි වුනේ මිනිත්තුවකට දෙකකට පසුවය.

මෙය බෙදා හැර තිබෙනු මා මුලින්ම දුටු මගේ ෆේස්බුක් මිතුරාට මා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙස ය.
දැන් ඔබ බෙදා හැර ඇති මේ පයි ප්‍රස්තාරයට අනුව:

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා ලෙස සිටි බාර් ලයිෂන් ඇති 110 දෙනාම උසස් පෙළ සමත් තරුණ අය ද?

උසස් පෙළ අසමත් සහ සාමාන්‍ය පෙළ අසමත් සංඛ්‍යාවෙන් 222 ක් බව පෙනෙන හිටපු මන්ත්‍රීන් කිසිවෙකුට බාර් ලයිෂන් නැති ද? ඔවුන් සියළු දෙනාම තරුණ අය ද?

මහළු මන්ත්‍රීලා 69 දෙනාම උසස් පෙළ සමත් අය ද? ඔවුන් කිසිවෙකුට බාර් ලයිෂන් නැති ද?

මෙහි පෙනෙන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 401+ සිටියේ කොයි රටේ ද?
මේ memeය බෙදා හැර තිබෙනු මා දුටු ෆේස්බුක් මිතුරා උසස් පෙළ සඳහා ගණිතය විෂයට උපකාරක පන්ති පවත්වන පුද්ගලයෙකු බව මා දන්නා නිසා මෙසේ ද ඇසුවෙමි.
වෙන් රූපයක් මගින් පෙන්විය යුතු දත්ත සඳහා මෙලෙස පයි ප්‍රස්තාරයක් යොදා ගෙන ඇත්තේ කවර හෙයින්දැයි ඔබේ සිසුවෙකු ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක් ද?
මා සිතන විදියට, මෙය දුටු සැනින් වැඩිදුර නොසිතා මේ සාවද්‍ය අදහස් ඉදිරිපත් කෙරෙන memeය බෙදා හැර තිබූ මගේ ෆේස්බුක් මිත්‍රයා මට ස්තුති කර පිළිතුරු දෙනු වෙනුවට කළේ එය වහාම මකා දැමීමයි.

ඔහුට මොළේ කළඳක් හෝ ඇති බව ඉන් පැහැදිළි විය.

එය එසේ විය යුතුය. මක් නිසා ද යත් ඒ පුද්ගලයා මා ද උගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ උපාධිධාරියෙකු බැවිණි!

මට මෙහි දී අවසානයට කීමට ඇත්තේ මෙයයි.

ගණිතය පිළිබඳ විශාරදයෙකු වන මගේ මිත්‍රයා කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීලා අනූ හය දෙනෙකු සාමාන්‍ය පෙළ අසමත් බව ඇතුළු වෙනත් කරුණු ඇතුළත් කරමින් පෙර කී පයි ප්‍රස්ථාරය සෑදු පුද්ගලයා, සාමාන්‍ය පෙළ ගණිතය සමත් අයෙකු නම් විය නොහැක!

-රසික සූරියආරච්චි

ප/ලි:
පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයින් පත්කර ගැනීම සඳහා අප ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මගේ අදහස් පහත වීඩියෝවේ දක්වා ඇත.


(images: (1) https://www.economist.com/international/2014/04/05/making-their-mark (2 & 3) Shared on Facebook. Copyright unknown)

15 comments:

  1. මැතිවරණයකදි පමණක් නෙවෙයි, සමස්ථ දේශපාලනයෙන්ම ලාංකේය පිරිමියා (ලිංගිකව ස්ත්‍රී න්ද ඇත) ලබන්නේ විනෝදයක්, එමෙන්ම වෛරය ශෙයාකරගැනීමක්.

    ReplyDelete
    Replies
    1. එසේ නම්, ඉතින් මේ ගැන සරදම් කර අප ලබන්නේත් එවැනි ම විනෝදයක් තමයි!

      Delete
  2. ආයෙත් අඩුපාඩුවක් දැක්ක (මිනිස්සුන්ට කොහොමත් පේන්නෙ අඩුපාඩු නේ ) meme කියන වචනය උච්චාරනය කරන්නෙ"මෙමේ" කියලා නෙවේ "මීම්" කියලාXp

    ReplyDelete
    Replies
    1. ඔබට වැරදුණ තැන මං කියන්නම්?

      දැන් මං කොතැනද ඒ meme නම් වචනය උච්ඡාරණය කරන්නේ? මේ සමග ඇති වීඩියෝව ඡන්දය දීම ගැන එකක් නේ? වෙන හඬ පටයක් හෝ ඇසුණා ද?

      මේ ලිඛිත සටහනේ මා කර ඇත්තේ meme යන වචනය සඳහා මෙමේය නමින් සිංහල වචනයක් සාදා එය අකුරෙන් ලිවීමයි. මෙය මා මීට පෙර ෆේස්බුක් එකේ ලිව්වේ English අකුරෙන් පමණයි මට මතක විදියට.

      සිංහල වචන සැමවිටම වචන උච්චාරණය කරන හෝ ලියන විදියට සෑදෙන්නේ නෑ! හොඳම උදාහරණය English සඳහා ඉංග්‍රීසි කීමයි. දැන් engLish වචනයේ තිබුණු L ශබ්දයට මොක වුනේ? කොහෙන්ද ග්‍රී කියන කොට එන R ශබ්දයක් ආවේ?

      එනිසා තමයි සමහරු ඉංගිලිසි කියා කියන්නේ!!!



      Delete
  3. සැවොම මෙකියන දේ අසත්වා
    තව හිතන්නට හිත හැදේවා
    හැඟුම් නොව නැණ ජය ගනීවා
    රටට ජය-සිරි-සැපම වේවා!

    ReplyDelete
  4. මෙමේ කියල නෙමේනේ ඕක උච්චාරණය කරන්නේ. මීම් කියල.
    //ඔහුට මොළේ කළඳක් හෝ ඇති බව ඉන් පැහැදිළි විය.
    එය එසේ විය යුතුය. මක් නිසා ද යත් ඒ පුද්ගලයා මා ද උගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ උපාධිධාරියෙකු බැවිණි!// මේක කියවල නිත ෆැකල්ටි වල කස්ටියට තරහ යයි නේද හා හා
    හැබැයි කතාව ඇත්ත. මමනම් ඕවගේ ඒවා දැක්කම අහක බලාගෙන යනවා. බොරු වලි දාගන්නේ මොකටද කියල හිතල.

    ReplyDelete
    Replies
    1. අජිත්, දැන් මං ඒ වචනය උච්චාරණය කළා ද? ඒ කොහේදි ද?
      😀

      අපිට meme කියා ලියා කියා meem උච්චාරණය කිරීමට හැකි නම් "මෙමේ" කියා ලියා "මීම්" කියා උච්චාරණය කිරීමට බැරි ඇයි?

      මේ වගේ ම කතාවක් ඇතිවුණා මං honourable යන්න ඔනරබල් කියා නොලියා හොනරබල් කියා ලීවාම!

      Delete
    2. මං වලියක් දා ගත්තේ නෑ, පොර තමයි මං ලියපු ගවමස් කතාවකට ඇවිල්ලා මගේ සිංහල භාෂාව ප්‍රශ්ණ කළේ!

      Delete
    3. මෙමේ කියල ලියන්නත් බැහැ නේ. මීම් කියන එකට. එහෙමනම් ඉතින් ඩික්ෂනරි කියන වචනේ ඔයා ඩික්ටයිඔනරි කියල ලියනවද නැහැනේ. ඕක ඉංග්‍රීසි භාහවේ තියෙන ප්‍රශ්නයක් නේ. ලියන විධිහට කියන්නේ නැති එක. රුසියානු, ජර්මන්, සිංහල වගේ භාෂා වල ඔය ප්‍රශ්නය නැහැ.

      Delete
    4. සිංහලවලත් ලියන/කියවන වෙනස ඇති වචන තරමක් තියෙනවා.

      "මං දන්නේ නෑ" යන්න කියන්නේ "මං දන්නෑ" කියායි. ඒ වර්ගයේ උදාහරණ රාශියක් ඇත.

      ක්‍රමක්‍රමයෙන් කියා ලිව්වාට කියන්නේ ක්‍රමක්-ක්‍රමයෙන් කියා ය. ජනප්ප්‍රිය ලියන්නේ ජනප්‍රිය කියා ය. ඒ වර්ගයේ උදාහරණ ද රාශියක් ඇත.

      මේ වචනය උච්ඡාරණය කිරීම ගැන දිගු කලකට පෙර මා අසා ගත්තේ මගේ දියණියගෙනි. ඒ 2016 තරම් ඈත අතීතයේ දී මේ ගැන සැළකිලිමත් වූ නිසා, ෆේස්බුක් එකේ දී කළේ meme කියා ඉංග්ලිෂ් අකුරෙන්ම ලිවීමයි.

      https://www.facebook.com/suriyaarachchi/posts/10154301672613793


      බ්ලොගයේ මේ වචනය ලියන නිසා මෙහි දී කළේ මෙමේය කියා සිංහල වචනයක් නිපදවීමයි. නමුත් එය අසාර්ථක බව පෙනෛ්. ආපසු 2016 ට ම යමි.

      Delete
  5. රසික ඔබ කියන ආකාරයේ මැති සබය, මැති වරණය වැනි වචන ඇත්තටම සාකච්චාවට භාජන වියයුතු දෙයක්. ඒ වගේම ඔය හැමදෙනාම Sir කියනවාටත් හරි කැමතියි. බොහෝ වෙලාවට ගැතිකම් දක්වන අයගෙන් වැඳුම් පිදුම් පවා බලාපොරොත්තු වෙනවා. මා හිතන්නේ මෙය බුද්ධි මට්ටමේ සහ දැනුම් මට්ටමේ අඩුපාඩු වසා ගැනීම සඳහා බලාපොරොත්තු වන කූට උපක්‍රමයක්. මේ කපටින්ට චන්දය නොදී දැන් ප්‍රචාරයක් ගෙනයන NATA ක්‍රමය අපේ රටට ගැලපෙන බවයි මා සිතන්නේ. මෙසේ කළ විට මහජන මතයක් ගොඩ නැගේවි.

    ReplyDelete
    Replies
    1. මැතිවරණය යන වචනය එන්නේ මන්ත්‍රීන් තේරීම යන්න අහස් කිරීමට බව භාෂා විශාරදයින් විසින් පවසා ඇත.

      NATA යන්නට ඡන්දය දුන්නොත් වෙන්නේ ලැබෙන ඡන්දවලින් දුෂීතයින් තේරී පත්වීමයි. දුෂීත පක්‍ෂවල පවා සාමාන්‍යයේන හොඳ මිනිසුන් ඉන්නවා. හොඳ විකල්ප කණ්ඩායම් තියෙනවා. නමුත් මිනිසුන් පසුගාමිකයි!

      Delete
  6. මේ 'මැති සබය' සහ 'මැතිවරණය' වැනි ගෞරවාර්ථයේ වචන අදටනම් කිසිසේත් ගැලපෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් ඒ වචනවල අර්ථයට පටහැනි වන ලෙසට කටයුතු කරනවා. මේ සියලු දෙනාම Sir / Madam කියවාගන්නත් හරි ආසයි. 'වරණය' වචනයනම් ගැලපෙනවා. ඒ උනත් 'ගැලපෙන පිළිතුරු' කිසිවක් නොමැතිනම් මොනවා කරන්නද? මෙයට විරෝධය පෑම සඳහා ගොඩනැගෙමින් තිබෙන 'NOTA' (Non of the above) යන මතය වඩාත් ගැලපෙන බවයි මා සිතන්නේ. එසේ වැඩි ප්‍රතිශතයක් තිබුනොත් ක්‍රමය වෙනස් විය යුතු බව ඉදිරියට එන දේශපාලුවන්ටවත් තේරුම් ගන්නට හැකිවේවි නේද?

    ReplyDelete
    Replies
    1. හාරියටම නොදන්නා නිසයි අහන්නේ. මැඩම් කියන වචනේ ඇවිත් තියෙන්නේ 'ප්‍රංශයේ' ගණිකා නිවාස පාලිකාවට කියන නමින්ද?
      'සාදු' කියන්නේ ඉන්දියාවේ කසල ශෝධකයන්ටද?
      මේ කමෙන්ටුව දැක්කාමයි, මම අහලා තියෙන ඔය කතා දෙකම මතක් වුනේ.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.