Wednesday 2 December 2020

තාත්තා එවූ ලිපිය - Nostalgic memories





















අවුරුදු දහඅටයි, මාස එකොළහයි, දින හතක් දෙමව්පියන් සමග නිවසේ ගත කර විශ්වවිද්‍යාලයට යාම සඳහා මා ඔවුන්ගෙන් ඈත්වුණු පසු තාත්තා මට එවා ඇත්තේ, මගේ මතකයට අනුව, ලිපි දෙකකි. ඉන් පළමුවැන්න, මට ලැබුණේ මා විශ්වවිද්‍යාලයේ වසර හතරක් ගත කර අවසාන විභාගයට සූදානම් වෙන කාලයේ දී ය.

මේ කෙටි සටහන ඒ ලිපිය පිළිබඳවයි.

පේරාදෙණියේ ජීවත්වීම ඇරඹූ පසු මා මුල් කාලයේ සෑම සති අන්තයේම, නැති නම් අඩු වශයෙන් මසකට දෙවරක් ම, ගෙදර ගියෙමි. ඇඳුම් සෝදා වේලා ගත්තේ ගෙදර දී ය. කටට රසට කෑමක් කෑවේ ගෙදර දී ය.

නමුත් ටික කලක් ගතවෙන විට සති අන්තයේ ද විශ්වවිද්‍යාලයේ නතර වී සිටිය යුතුම වන ආකාරයේ නොයෙකුත් වැඩ කටයුතු යෙදෙන්නට විය. එනිසා, ගෙදර යාම මසකට වරක් දක්වා සීමා විය. එලෙස මසකට වරක් කෙලෙස හෝ ගෙදර යන්නට හේතුව වූයේ මගේ වියදමට අවශ්‍ය මුදල් ලබා ගැනීමටයි.

ඒ දිනවල මාසයක් විශ්වවිද්‍යාලයේ වාසය කිරීමට මට රුපියල් හාරසීයක් පමණ වැය විය. එයින් අතිබහුතර කොටස වැය වූයේ ආහාර පාන සඳහා ය.

පාන් බාගයක්, පරිප්පු දීසියක් සහ තේ කෝප්පයකින් යුතු උදෑසන ආහාරය සඳහා රුපියල් දෙකයි ශත පනස් පහක් වැය විය. දිවා ආහාරය වූයේ හරක් මස්, පරිප්පු/මුංඇට හොද්ද සහ මැල්ලුමක් සහිත බත් පිඟානකි. එහි මිල රුපියල් තුනයි ශත විසි පහකි. ඉඳිආප්ප වැනි කෑම වර්ග තිබුණ ද, ඒ සඳහා වැය කළ යුතු මුදල සාපේක්‍ෂව වැඩි වූ නිසා මගේ රාත්‍රී කෑම ද බත් පිඟානක් ම විය.

ඊට අමතරව දිනකට ඉංජිනේරු පීඨ කැන්ටිමෙන් තේ කෝප්ප දෙකක් සඳහා රුපියලයි ශත විස්සක් ද, නේවාසිකාගාරයේ භෝජනාගාරයෙන් රාත්‍රියේ බොන තේ කෝප්පය සඳහා ශත පනහක් ද වැය විණි. ඉස්පන්චියකට හෝ ඥානකතාවකට හෝ සිත ගිය දවස් ද එහෙන් මෙහෙන් උදා නොවූයේ නොවේ.

අධ්‍යාපන කටයුතු සඳහා වියදම් ලෙස තිබුණේ ලිපිද්‍රව්‍ය සඳහා ගිය සුළු මුදලක් පමණි. වසර හතරකම අධ්‍යයන කාලය තුළ අපට එකදු පොතක් හෝ මිල දී ගැනීමට සිදු නොවුණි. පුස්තකාලයේ තිබුණු පොත්, පොත් ආශ්‍රයෙන් ඉගෙනීමට උනන්දුවක් දැක්වූ අය සඳහා ප්‍රමාණවත් වූ බව පෙනුණි.

අමතර වියදම් වූයේ, විශ්වවිද්‍යාලයේ දී හෝ ඉඳහිට මහනුවර දී චිත්‍රපටයක් නැරඹීම සහ ඒ හා සම්බන්ධ ගමන් ගාස්තු යනාදියයි. රහමෙර පානයක් සිදුවූවා නම් සාමාන්‍යයෙන් සිදුවුණේ, වාර්ෂික විනෝද චාරිකාව අතරතුර, වසර අවසාන විභාගය අවසානයේ සහ වසර මැද ඊට කලින් වසරේ ප්‍රතිඵල එන දිනයේ දී පමණි.

මගේ වියදම් සඳහා මල්ලිකා පුංචි අම්මා මට රුපියල් සීයක් ලියුම් කවරයක දමා විශ්වවිද්‍යාලයේ ලිපිනයට එව්වා ය. එනිසා, තාත්තාගෙන් ඉල්ලා ගන්නට අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාලයේ ගත කරන මසකට රුපියල් තුන්සීයක් පමණි.

මා අනිවාර්යෙන් මසකට වරක් නිවසට ගියේ ඒ මුදල ලබා ගැනීම සඳහා ය.

අවසන් වසරේ අවසන් සමයේ දී එය වෙනස් විය.

මා බාර ගත් අවසන් පොදු කටයුත්ත වූ අපේ කණ්ඩායමේ සමූහ ඡායාරූපය (batch photo) පිළිබඳ වැඩ කටයුතු ද අවසන් කොට, අවසානයේ, මගේ මේසය අස්පස් කර, දේශන සටහන් එකතු කරගෙන විභාගයට සූදානම් වීම සඳහා වාඩි වූ මට පෙනී ගියේ විභාගයට ඇත්තේ තව හරියටම දින තිස් හයක් පමණක් බවයි. එතැන් සිට විභාගයට සති දෙකක් පමණ ගතවේ. ඉන් පසුව ද, පාඨමාලාවේ වාර්තා සියල්ල සකසා භාර දීමට තවත් දින කිහිපයක් ගතවෙනු ඇත.

ඒ අනුව ගෙදර ගොස් එන්නට දින දෙකක් ගත කිරීම කළ නොහැකි බව මට පෙනී ගියේ ය.

මම තාත්තාට ලිපියක් ලිව්වෙමි.

එහි මූලිකවම ලියවුණේ මට විභාගය අවසන් වී, ශිෂ්‍ය ජීවිතය අවසන් කර නිවසට එන්නට පෙර වෙනදා මෙන් ඇවිත් යන්නට නොහැකි බවත්, සාමාන්‍ය වියදම්වලට අමතරව කණ්ඩායම් ඡායාරූපය සහ තවත් වියදම් සඳහා ද අමතර මුදල් අවශ්‍ය බැවින් රුපියල් හයසීයක් පමණ මනි ඕඩරයකින් එවන ලෙසත් ය.

සතියකින් පමණ මට තාත්තාගෙන් ලියා පදිංචි කළ ලිපියක් ලැබී තිබුණි.

මා මුලින් සඳහන් කළ පරිදි එය මට තාත්තාගෙන් ලැබුණු මුල්ම ලිපියයි.

"මගේ ආදරණීය පුත්‍රයා වෙත" කියා අරඹා තිබුණු ඒ ලිපියේ ඉතා වැදගත් කරුණක් අඩංගු විය.

ඇත්තටම එය ඉල්ලීමකි.
"පංති සාමාර්ථයක් සහිතව විභාගය සමත්වෙන්න සිතට ගන්න."
ලිපිය සමග වූ මනි ඕඩරය හෙවත් මුදල් ඇණවුම දෙස බැලූ මගේ ප්‍රීතිය ඉහවහා ගියේ ය. තාත්තා මට රුපියල් දාහක් ම එවා තිබුණි!

පන්ති සාමාර්ථයක් සහිතව හෙවත් ක්ලාස් එකක් සහිතව විභාගය සමත්වෙන ලෙස ඉල්ලමින් තාත්තා එවා තිබුණු ඒ ලිපිය මා එදින පුස්තකාලයේ සිට නැවත දෙවරක්ම කියෙව්වෙමි.

එය ඉටු කිරීමට ලෙහෙසි පහසු ඉල්ලීමක් නොවන බව මට වැටහුණ ද, ඒ ලිපිය මට අත්‍යාවශ්‍ය දිරිගැන්වීමක් ලබා දුන් බව මට අද වැටහේ.

තාත්තා මියගොස් අදට දස වසරක් පිරෙයි.

මේ සටහන ලියන්නට සිතුණේ ඒ නිසා ය.

-රසික සූරියආරච්චි

ප/ලි:
තාත්තා මට එවූ ඒ පළමු ලිපිය මට ලැබුණේ ඔක්තෝබරයේ මුල් සතියේ විය යුතුයි. එයින් මාස දහයකට පමණ පසු අගෝස්තු මස නමවෙනිදා පේරාදෙණියේ තැපැල් කාර්යාලයට ගිය මම තාත්තාට විදුලි පණිවිඩයක් යැවුවෙමි.
සෙකන්ඩ් අපර් එකක් සමග විභාගය සමත්. දින කිහිපයකින් එන්නම්.
-රසික
(ඔව් මාස දහයකට පසුව. පුදුමයි, ඒත් ඇත්තයි. පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ පරිපාලනයේ කාර්යක්ෂමතාව එතරම් ඉහළ විය!)

ප/ප/ලි:
තාත්තා සම්බන්ධ වෙනත් සටහන් කිහිපයක්.

1. තාත්තාගේ ජන්ම ශතක සංවත්සරය - Remembering my father https://rasikalogy.blogspot.com/2020/11/remembering-my-father.html

2. ස්තුති පත්‍ර දැක තියේ ද? - Remembering my father on the seventh anniversary of his demise
https://rasikalogy.blogspot.com/2017/12/remembering-my-father-on-seventh.html

3. අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් හැටි - Matriculation examination was a botheration to the young generation whose main occupation was cultivation by irrigation
https://rasikalogy.blogspot.com/2016/03/matriculation-examination-was.html

4. මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!
https://rasikalogy.blogspot.com/2017/04/it-all-about-education-stupid.html

5. තාත්තා ගේ දුරාචාරය - One bad habit
https://rasikalogy.blogspot.com/2017/05/one-bad-habit.html

6. අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ - All them teachers!
https://rasikalogy.blogspot.com/2016/11/all-them-teachers.html

7. දත් වහල්ල මැදීම - Show me your teeth please!
https://rasikalogy.blogspot.com/2016/06/show-me-your-teeth-please.html

8. හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට් - Once again down the memory lane
https://rasikalogy.blogspot.com/2016/05/once-again-down-memory-lane.html

9. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html

10. අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? How to be a Buddhist?
https://rasikalogy.blogspot.com/2015/06/how-to-be-buddhist.html

11. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
https://rasikalogy.blogspot.com/2015/09/such-is-life.html

12. හිටං විහිළු නොහොත් "කුණුහරුප සහ අමාරු වචන" - Stand up!
https://rasikalogy.blogspot.com/2016/12/stand-up.html

13. වල්ලභයා-සංසර්ගය-ගණිකාව : පියෙකු ගේ කතාවක් (පුතෙකු ගේ හඬින්) - His fathers voice
https://rasikalogy.blogspot.com/2015/10/his-fathers-voice.html

14. අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය :: Roots
https://rasikalogy.blogspot.com/2016/11/roots.html

(image: my father when he was 36 years old)

17 comments:

  1. වදන් වැඩි වුණාමත් ටැපලිලා යනවා
    කෙටියෙන් කියන තරමට තේරුම් යනවා
    ඒ කාලේ උදවිය දන්නවා ඒවා
    දැන-දැන ඒව, අපි තව කරමුද මොනවා

    ReplyDelete
  2. //මේ ලෝකේ උපදින හැම දෙනෙකුට ම වෙන දෙයකට මුහුණ දෙන්න දැන් සුළු මොහොතකට කලින් මට සිදු වුනා.

    ඒ තමයි මගේ තාත්තා ගේ මරණය පිළිබඳ ආරංචිය ලැබීම.

    හිතේ දුක් ගින්න දරාගැනීම මං මේ මොහොත වෙන තුරු හොඳට කරනවා.

    මගේ තාත්තාට නිවන් සුව ලැබේවා!

    මිතුරෙකු ගේ තාත්තා ගේ මරණය ගැන ආරංචි වී මා ඔහු වෙනුවෙන් ලියූ මේ කවි කිහිපය කියවන මෙන් ඉල්ලා සිටිමි.


    මිතුරා ට ලියූ ලිපිය

    පියා මිය ගිය පුවත
    ලැබ සිත වුවද කම්පිත
    සඟවා කඳුළු නෙත
    මා කියන බස අසන් පිය මිත

    උපන්නොත් මෙලොවේ
    දිනක මරණය හිමිවේ
    මෙය බුදු දහම වේ
    සියළු දේ ලොව නැසෙන සුළු වේ

    ඔබ අද ලැබූ එම
    දුක් බරිත පණිවිඩයම
    මතු දිනයකදි මම
    ලබන්නෙමි නැත කිසි සැකක් හෙම

    එය අවසන නොවේ
    දුක එලෙස නිම නොමවේ
    අප පුතුනට ලොවේ
    දිනෙක මේ දුක් පුවත හිමි වේ

    අප කුඩා කල දී
    හොඳ නරක පහදා දී
    ගුණ දම් කියා දී
    පිය මෙහෙය දෙවි කමට පරදී

    අප උපන්දා සිට
    පියවරුන් කල සේවෙට
    ඇති ණය ගෙවන්නට
    කෙලෙස නම් හැකි වේද අප හට

    දුක් වන්නට එලෙස
    කාරණා නැත කිසි ලෙස
    මා කියන මේ බස
    අසා සැනසෙන් මා මිතුර යස

    ගත් ණය ගෙවන්නේ
    ආපස්සට නොවන්නේ
    පිය නම රැකෙන්නේ
    ඉදිරි පරපුර රැකුනොතින්නේ

    පිය ගුණ සිහි කරමු
    හොඳ දූ පුතුන් සාදමු
    හොඳ පියවරුන් වෙමු
    පියාණන් ණය එලෙස පියවමු

    -කතන්දරකාරයා //

    http://kathandara.blogspot.com/2010/12/blog-post.html

    ReplyDelete
    Replies
    1. රන් අදහස් ටිකක්
      මසුරං ගොනු කිරීමක්
      එහෙමට දස්සයෙක්
      ජාත කළ පිතු හැබෑ උතුමෙක්!

      Delete
  3. පේරාදෙණියේ අක්බාරයේ ලැගසිටි අවුරුදු හතරටම මට ගෙදරින් ලැබුනේ එකම ලිපියකි. ඒ අම්මා තාත්තාගේ බෙහෙත් තුණ්ඩුවක් සමග නුවරින් එන විට බෙහෙත් වගයක් ගෙන එන ලෙස ඉල්ලා එවූ ලිපියකි. එය අදත් මා සන්තකයේ සුරක්ශිතව ඇත.

    ReplyDelete
    Replies
    1. හොඳ සිහිවටනයක්.
      මට ලැබුණු ලිපිය නම් අස්ථානගතවුණා!

      Delete
  4. මා යහළු ඇසුරට පියවීමි නුඹ අපූරු මිත්‍රයෙකී අප බොහෝ සල්ලාපයේ නොයෙදුනද හමුවූ හැම විට අපූරු පියෙකුගෙ නවීන පුත්‍රයෙකු ලිපිය තුලින් දිටිමි ජය

    ReplyDelete
  5. තාත්තාගේ සසර ගමන කෙටිවේවා!

    ReplyDelete
    Replies
    1. සමහරවිට තාත්තා ඔය සංසාර ගමන් විශ්වාස නොකරන්න ඇති!
      කවදාකවත් ඒ ගැන කිසිවක් අප සමග කියා නෑ.
      https://rasikalogy.blogspot.com/2015/06/how-to-be-buddhist.html

      Delete
  6. රසිකගෙ ලිපි සිය ගණනක් කියවල තිබුණත් ඒවා එකක් ගැනවත් සංවේදී වුණේ නැහැ. මේක පලමුවෙනි එක. ඔහුගේ ඒ බලාපොරොත්තුව ඉටු වීම ගැන සතුටුයි.

    ReplyDelete
  7. මේ සංවේදී ලිපියේ රසිකගේ තාත්ත ගැන ආදරයක් ඇතිවුනා. මගේ පියවත් සිහි වුනා. ඔයවගේ වාක්‍යය එක දෙක තමා දෙන්නේ. දහයේ පන්තියේ පලු වර විභාගෙන් ලකුණු අඩු වුනහම කිව්වා ඔයා සමාජ වැඩ නතර කරලා ඕ ලෙවල් ගොඩ දාගෙන ඉන්න. එඡාරයි කීවේ . ඒක ඇතිවුනා.
    දෙවෙනි එක. ඒ වගේ ලාභෙට කෑව කීවහම. රසික ඉගෙන ගත්තේ අසූ ගණන් වල නේද?

    ReplyDelete
  8. අතීත කාමය හරි ශෝක් නේ ද

    ReplyDelete
  9. සංවේදී ලිපියක්. රසික හොඳ පුතෙක්. මම විධිමත් අධ්‍යාපනයක් ලබා නොමැති නිසා මට තියෙන ප්‍රහේලිකාවක් තමයි, විශ්වවිද්‍යාලෙක ඉගෙනගත්තායින් පසුව මොකටද නැවත පාඩම් කරන්නෙ කියන එක. පාඩම් කරනවා කියන්නෙ ස්ටඩි කරනවාද නැතිනම් කටපාඩම් කරනවාද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.