Saturday, 6 March 2021

ඇත්තම ඇත්ත කතාවක් - That was the time that was!

පොතක් පිළිබඳ අදහස් දැක්වීමක් අතරේ තරමක පරණ කතාවක්, තරුණ කාලේ කතාවක්, සිහිවිය.

කෙටියෙන් ලියා තබමි.

වරක් එක්තරා යුවතියක මට ලියූ අවසාන ලිපියේ මෙලෙස සඳහන් කර තිබුණි.
රසික, මේ ආත්මයේ දී ඔබේ පතිකුලයේ පතිනිය වීමට මා පින් කර නැති බව පෙනේ. ලබන ආත්මයේ දී මට ඔබේ පතිනිය වීමට වරම් ලැබේවා යන්න මගේ පැතුමයි.
මා ඇයට පිළිතුරක් යැව්වාද, නැතිනම් ඇමතුමක් පමණක් දුන්නාද යන්න මට නිවැරදිව මතක නැත. මා පිළිතුරු ලිපියක් ලිව්වා නම් එහි මෙලෙස ලියන්නට ඇත.
ඔබේ කැමැත්ත ඒ ආකාරයෙන් ම සිදුවේවා යන්න මගේ ද ප්‍රාර්ථනයයි.
ඒ සිදුවීමෙන් වසරකට පමණ පසු මට වෙනත් යුවතියක විසින් මෙලෙස ලියා එව්වා ය.
රසික, මගේ ආගමේ හැටියට මං නැවත ඉපදීමක් විශ්වාස කරන්නේ නෑ, නමුත් එලෙස ඉපදෙනවා නම් මට මේ ආත්මයේ බැරිවුණාට, ලබන ආත්මයේ ඔයාගේ ආදරණීය බිරිඳ වෙන්නට ලැබේවා කියායි මං ප්‍රාර්ථනය කරන්නේ? ඔයා ඒකට ඉඩ දෙනවා නේද?
මම ඇයට නම් පිළිතුරු ලිපියක් ලිව්වෙමි.
ඔයාගේ ඒ ප්‍රාර්ථනය ගැන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මීට මාස කිහිපයකට කලින් මගේ ඊළඟ ආත්මය වෙනත් අයෙකු ඉල්ලා මා ඊට කැමැත්ත දී තිබීම. එනිසා, ඊළඟ ආත්මය නොව ඊටත් පසු ආත්මය අවශ්‍ය නම් ඔයාට දෙන්න පුළුවනි.
තවත් අවුරුදු දෙකකට පමණ පසු මට මගේ අනාගත බිරිඳ හමුවිය.

මා ඇයට කීවේ මේ ආත්මෙන් පස්සේ එළැඹෙන ආත්ම දෙකක්ම වෙනත් අය වෙන් කර ගෙන ඇති බවයි.

"කමක් නෑ, මට එක ආත්මයක් හොඳටෝම ඇති!" ඇය කීවා ය.

දැන් නම් සමහරවිට ඇය එකක් නොවෙයි භාගයක් වුණත් ඇතිය කියා සිතනවා ද විය හැක.

-රසිකොලොජිස්ට්