මරණ දඬුවම ද මිනීමැරුමකි!
ඔව්, සත්‍යය එයයි. මරණ දඬුවම මිනීමැරුමකි. සාමාන්‍ය මිනීමැරුමක් නොව නීතියේ නාමයෙන්, හිතා මතා කෙරෙන පාපකාරී මිනීමැරුමකි.
වෙනත් අවස්ථාද තිබුණේ වුවද, සාමාන්‍යයෙන් මරණ දඬුවම නියම වෙන්නේ අඩු වශයෙන් එක් මිනිසෙකු හෝ මරා දැමීමේ සාපරාධී ක්‍රියාවට ය. මිනිසෙකු තවත් මිනිසෙකු මරා දැමීම වරදක් නම්, ඒ වරදට දඬුවම ලෙස වරද කළ අය මරා දැමීම ද නිවැරදි නොවේ. කවර නෛතික පදනමක් තිබුණ ද, එයද මිනීමැරුමක් ම වේ!
එක පසකින් මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරමින් අනිත් පසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි මට නම් සිතාගත නොහැක.
මිනිස් ශිෂ්ටාරයේ මුල සිට පැවත ගෙන ආ එන නොදියුණු සමාජයක නීතියක් වන මරණ දඬුවම මේ විසි එක්වන සියවස වන විට බොහෝ ශිෂ්ට සමාජවලින් ඇත් වී ඇත.
විකිපීඩියාවට අනුව, අද වන විට ලෝකයේ රටවල් 107 ක් ම මරණ දඬුවම ලබාදීම සහමුලින් ම නතර කර දමා ඇත. (ලංකාව වැනි) තවත් රටවල් 27 ක එය තවදුරටත් නීතිගතව තිබුණ ද ක්‍රියාත්මක වීම එක්කෝ අත් හිටුවා ඇත, නැතිනම් වසර දහයකින් මෙපිට ක්‍රියාත්මක කර නැත. තවත් රටවල් හයක් මරණ දඬුවම යුද අපරාධ වැනි අපරාධවලට හැර අන් සාපරාධී ක්‍රියාවලට දඬුවමක් ලෙස භාවිතා නොකරති.
ඒ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ රටවල් 54 ක පමණකි. මේ රටවල් අතරට චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය (ජනපද 50 න් 27 ක්) හා ඉන්දුනීසියාව යන ලෝකයේ වැඩිම ජනගහනයෙන් යුතු රටවල් හතර අයිතිවීම නිසා ලෝක මිනිස් ප්‍රජාවෙන් 60%ක් තවමත් මේ තිරිසන් නීතිය යටතේ ජීවත්වෙන බව කිව හැක. පසුගිය වසරේ (2020) වැඩිම පිරිසක් මරණ දවුවම ලබා ඇත්තේ චීනයේ යි. එය දහසකට වැඩි සංඛ්‍යාවකි.
මිනිසුන් නම් සත්ව කොට්ඨාසය සහමුලින්ම ශිෂ්ටාචාර වූ බව සැලකිය හැකිවෙන්නේ මරණ දඬුවම සහමුලින්ම ලෝකයෙන් තුරන් වූ දිනයට බව මගේ අදහසයි. නමුත් පසුගිය දිනවල මැද පෙරදිග සිදුවුණු "අයිසිස්" මිනීමැරුම් ගැන සිතන විට ඒ දිනය තව බොහෝ දුර බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය.
ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම 1976 සිට අත්හිටුවා ඇති බව සත්‍යයක් වුව ද, විටින් විට අපේ උන්නැහේලා ගේ, උන්නාන්සේලා ගේ බෞද්ධකම යට කරගෙන අශික්ෂිතත්වය උඩට මතුවේ. මේ සඳහා ඉතා මෑත ඉතිහාසයෙන් දිය හැකි ජුගුප්සාජනක උදාහරණ බොහොමයකි.
රටේ කිසියම් මිනීමැරුමක් වූ විට වහා මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු යැයි හඬනගන්නේ අප අතර සිටින ම්ලේච්ඡයින් පමණක් නොවේ. හතර පෝයට සිල් ගන්නා අය ද, රජයේ වගකිවයුතු ඇමතිලා ද ඒ අතරට එක්වෙති.
ටික කලකට පෙර සාමාන්‍ය හුදී ජනතාව සඳහා පැවැත්වුණු ප්‍රදර්ශන භූමියක මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීම ගැන එක්තරා ආකාරයක ජනමතවිචාරණයක් ඉලෙක්ට්‍රොණිකව පැවැත්වුණු බවත් එහිදී තම මතය ප්‍රකාශ කළ අයගෙන් තුනෙන් දෙකක බහුතරයක් මරණ දඬුවමට පක්ෂව ඡන්දය දී තිබුණු බවත් කියවේ. ඒ සිද්ධියේ ඇති උත්ප්‍රාසය නම් එකී ප්‍රදර්ශනය පැවැත්වුණේ ලංකාවේ පුණ්‍යභූමිය ලෙස සැලකෙන අනුරාධපුරයේ දී වීමයි.
මගේ මතකයට අනුව 1989 දී පමණ අරඹා, මෑත ඉතිහාසයේ සිට ලංකාවේ බලධාරීන්ගේ සහ දේශපාලන නායකත්වයේ අනුදැනුම ඇතුව නිරතුරුව සිදුකෙරෙන අතිශය නින්දිත සහ අපරාධයක් වන, අපරාධවලට සැකකරන පුද්ගලයින් "ආයුධ පෙන්වන්නට රැගෙන යෑම" නම් තිරිසන් ක්‍රියාව වාර්තා වෙන හැම අවස්ථාවක දී ම, ඒ ගැන තම සතුට ප්‍රකාශ කරන පිරිස කොපමණක් ද?
මෙයින් සමහරු “පළමුව හදවත, දෙවනුව මොළය” ආකාරයේ මෝඩයින් ය.
අනෙක් පිරිස තවමත් ශිෂ්ටාචාරයේ සීමාව පැන ගන්නට බැරිවුණු ම්ලේච්ඡයෝ ය.
ඒ දෙආකාරයේ ම පිරිස අතර, උගතුන්, විද්වතුන්, මොලකාරයින් යැයි සැලකෙන සෑහෙන පිරිසක් ද සිටීමේ කිසිදු පුදුමයක් මට නම් නැත. එයට හේතුව, "පළමුව මව්බිම" කියා ජාතිවාදය වැපිරූ, වපුරන අයගේ හරස් කඩ ද එසේ ම වීම නිසා ය.
මේ ගැන වැඩි දුරටත් සිතන විට අපට වැටහිය යුත්තේ ඇත්තටම, අධිකරණයකින් මරණ දවුවම පනවා එය ක්‍රියාත්මක කිරීම යනු සාමාන්‍ය මිනීමැරුමකටත් වඩා දරුණු වරදක් බවයි.
ඒ මක් නිසාද යත්, හදිසි කෝපය නිසා හෝ මානසික ආබාධයක් නිසා හෝ යමෙකු කරන මිනීමැරුමක් මෙන් නොව, මේ ආකාරයෙන් මිනිසෙකු මරණයට පත් කිරීමේ දී මරා දැමීමට චේතනාව, මරණය සිදු කීරිමට මනාව පෙර සැලසුම් කිරීම, සහ ඒ සැලසුම ක්‍රියාත්මක කිරීම යනාදී වශයෙන් බොහෝ මිනීමැරුම්වල දක්නට නොලැබෙන දේ සිදුවීමයි.
මරණ දඬුවම පක්ෂව යමෙකු අදහස් දක්වා තිබෙනු මා දුටු විට එයට විරුද්ධව මගේ අදහස දැක්වීම මම කාලාන්තරයක් තිස්සේ කරගෙන යමි.
මා සැකෙවින් පවසන්නේ පහත දැක්වෙන සරල කරුණු ය.
- මරණ දඬුවම ද මිනීමැරුමකි.
- එක් මිනිසෙකු තවත් මිනිසෙකු මැරීම වරදක් නම්, මිනිසුන් පිරිසක් එකතු වී නීතිමය රාමුවක් මවා එය උපයෝගීකර ගෙන තවත් මිනිසෙකු මැරීම වරදක් නොවන්නේ කෙසේද?
- මරණ දඬුවම ඉල්ලන්නෝ ම්ලේච්ඡයෝ ය.
- ලෙයට ලෙයින්, ඇසට ඇසෙන්, ජීවිතයට ජීවිතයෙන් පළිගැනීම යනු මධ්‍යතන යුගයේ පැවති ම්ලේච්ඡ ක්‍රියාවකි.
- හොරකම් කළ විට අත් කැපීම, දෙදෙනෙකු කැමැත්තෙන් ලිංගික ක්‍රියාවලියේ යෙදුණු විට ගල් ගසා මරා දැමීම සහ මරණ දඬුවම අතර වෙනසක් නැත.
මට වැටහෙන විදියට කරුණු සොයා සාධාරණය කළ යුත්තේ මරණ දඬුවම දිය යුත්තේ ඇයි ද යන්න මිස නොදිය යුත්තේ ඇයි ද යන්න නොවේ. අස්වාභාවික, අසාධාරණ, අමානුෂික දේ මරණයයි, මරණ දඬුවමයි.
ඒ වෙනුවෙන් අප කළ යුත්තේ, ලෝකයේ වෙනත් ශිෂ්ට ජනසමාජ විසින් දැන් කාලයක් තිස්සේ සතුටුදායක ලෙස අත්හදා බලමින් සිටින බන්ධනාගාරගත කිරීම් සහ පුනරුත්ථාපන ක්‍රම ක්‍රියාත්මක කිරීමයි. ඒ ගැන ක්‍රමවේද සැකසිය යුත්තේ ආවේශීලී පුරවැසියන් නොව මනෝ වෛද්‍ය, සමාජ විද්‍යාඥ වෘත්තිකයින් විසිනි.
තවත් එක් කනගාටුදායක නමුත් එක්තරා ආකාරයකට හාස්‍යජනක කරුණක් පවසා මේ සටහන අවසන් කරමි.
මරණ දඬුවමට විරුද්ධව මා අදහස් ප්‍රකාශ කළ සෑම තැනක දී ම අසන්නට ලැබුණු “මූත් මිනියක් මරලා මරණ දඬුවමෙන් බේරෙන්න හදන එකෙක් වගේ වැනි මුග්ධ කතාවලට අමතරව දකින්නට ලැබුණු ප්‍රකාශවල මූලික තේමාව වූයේ, “ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනික වේ!” නැතහොත් “තමන්ගේ දරුවෙකුව වෙන අයෙකු මැරුවොත් ඒ මිනීමරුවා ගැන නම් ඔහොම කියන එකක් නෑ” වැනි අදහස් ය.
ඒ ප්‍රකාශවලින් ම, එසේ පවසන අයගේ සදාචාරය කවර මට්ටමේදැයි පිළිබිඹු වේ. මොවුන් තීරණ ගන්නේ හරි වැරැද්ද අනුව නොව තම වාසිය පතා වෙන අතර, අනුන් ද එසේ තමන් මෙන් පහත් තත්වයක සිටී යැයි සිතීමට තරම් අමනයන් ද වෙති.
-රසික සූරියආරච්චි
ප/ලි: මෙම සටහන මා මීට පෙර ලියා මේ බ්ලොගයේ පළ කළ සටහන් දෙකක නැවත ලිවීමකි. එලෙස සංස්කරණය කළ මේ සටහන පළකරන්නට සිතුණේ, නැවතත් මේ සාකච්ඡාව අපට අදාළ වෙමින් පවතින නිසා ය. (image: By Jacques-Louis David - https://www.metmuseum.org/collection/the-collection-online/search/436105, Public Domain, https://commons.wikimedia.org/w/index.php?curid=28552)