Saturday 17 August 2024

රොබට් නොක්ස්ට ද පුදුම හිතෙන මහා බොරුව - What a big lie...!

Knox WTF
පීඩකයා, පීඩිතයාගේ වේදනාවෙන් ඵල ප්‍රයෝජන ගැනීම හෙවත් රොබට් නොක්ස් සංකීර්ණය මැයෙන් නම් කර මා පළ කළ ලිපියේ සංක්ෂිප්ත අදහස් වූයේ එදා ඔහු අසාධාරණ ලෙස සිරකරුවෙකු ලෙස විඳි දුක් කම්කටොළුවලින් අද උපරිම ප්‍රයෝජන ලබන්නේ රොබට් නොක්ස්ට ඒ අසාධාරණය කළ ජාතිය බවයි.

අද මා කියන්නට යන්නේ රොබට් නොක්ස් ගේ නම ද පටලවමින් ලංකාව පුරා පතුරවා ඇති මහා බොරුවක් ගැනයි. රොබට් නොක්ස් පැවැසුවා යැයි අසා තිබෙන නිසා අප විශ්වාස කළ ද රොබට් නොක්ස් ද නොදන්නා මහා බොරුවක් ගැනයි.

දෙවෙනි රාජසිංහ රජුගේ සිරකරුවෙකු ලෙස ලංකාවේ වසර දහනමයක්ම ගත කර අවසානයේ පළා ගිය රොබට් නොක්ස් පසුව තමා ලංකාවේ ගත කළ කාලයේ ලද අත්දැකීම් පදනම් කරගෙන “ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් ඔෆ් සිලෝන්” නම් ග්‍රන්ථය ලියා පළ කළේය. අප බොහෝ දෙනෙකු කියවා ඇත්තේ "එදා හෙළදිව" නමින් ඩේවිඩ් කරුණාරත්න විසින් සිංහලෙන් පළ කර සිංහල පාඨකයින් අතර අති මහත් ප්‍රසිද්ධියක් ලද අනුවර්තනයයි.

එදා ලංකාව ගැන තම කෘතියේ නොක්ස් විසින් ලියා තිබුණු කරුණුවලින් අප අතර වඩාත් ම ප්‍රචලිත වී ඇත්තේ කුමණ කරුණ ද?

අවිවාදයෙන් ම එය, මෙයයි.

මඩ සෝදාගත් කල ගොවියා රජකමට වුව සුදුසු ය. එනම් ගොවිතැන් කිරීමේ දී ඇඟේ ගෑවෙන මඩ සෝදාගත් කල එකල ලංකාවේ සිටි ගොවියා ලංකාවේ රජකමට වුව සුදුසු බව එකල ලංකාවේ අදහස වූ බවයි.

මූලිවම ගොවියන් ඇන්දවීමට ද, ඊට අමතරව දෙදහස් පන්සීයේ මෙව්වා එක මෙව්වා කිරීමට ද ඉහත රොබට් නොක්ස් ලියුවා යැයි පැවසෙන ප්‍රකාශය අවභාවිතාවෙන වාර අනන්තය.

නමුත් සත්‍යය නම් එවැනි තත්වයක් ලංකාවේ තිබී නැති අතර රොබට් නොක්ස් තම කෘතියෙහි එවැනි දෙයක් ලියා ද නැත.

ඒ වෙනුවට මෙහි දී සිදු වී ඇත්තේ රොබට් නොක්ස් ලියූ වෙනත් අදහසක් (සහ බොහෝ විට සැඟවුණු අරුතක් ද ඇති කරුණක්) අතිශය වැරදි ආකාරයට සරල කර, විකෘති කර, ඩේවිඩ් කරුණාරත්න විසින් තම අනුවර්තන කෘතියේ, මුල් කෘතියේ නොතිබුණු, අලුතෙන් එකතු කළ සාරාංශ කොටසක ඇතුළත් කිරීමයි.

තම ග්‍රන්ථයේ පළමු කොටසේ, පළමුවෙනි පරිච්ඡේදයේ, තෙවෙනි ඡේදයේ රොබට් නොක්ස් ලියා ඇත්තේ මෙලෙස ය.
(මූලාශ්‍රය: https://www.gutenberg.org/files/14346/14346-h/14346-h.htm)

In the Midland within those already mentioned lye Wallaponahoy (it signifies Fifty holes or vales which describe the nature of it, being nothing but Hills and Valleys,) Poncipot (signifying five hundred Souldiers, ) Goddaponahoy (signifying fifty pieces of dry Land,) Hevoihattay (signifying sixty Souldiers,) Cote-mul, Horsepot (four hundred Souldiers,) Tunponahoy (three fifties,) Oudanour (it signifies the Upper City where I lived last and had Land,) (and) Tattanour (the Lower City,) in which stands the Royal and chief City, Cande. These two Counties I last named, have the pre-eminence of all the rest in the Land. They are most populous, and fruitful. The Inhabitants thereof are the chief and principal men: insomuch that it is a usual saying among them, that if they want a King, they may take any man, of either of these two Counties, from the Plow, and wash the dirt off him, and he by reason of his quality and descent is fit to be a King.
රොබට් නොක්ස් මේ කියන්නේ කිසිසේත්ම රටේ ගොවියන් රජකමට සුදුසු කියා නොවේ. කන්ද උඩරට රාජධානියේ යටනුවර සහ උඩුනුවර යන කොරළ ද්වයේ වෙසෙනා ජනතාව අතර, තමන්ට සී සාමින් සිට මඩ හෝදාගෙන රජකම් කිරීමට යාමට හැක යනුවෙන් එක්තරා “පම්පෝරි” කතාවක් තිබුණු බවයි.

තමන්ගේ අවශ්‍යතාවක් නිසා “ඔහුට පෙනුණු ඇතැම් දේ” යැයි ලැයිස්තුවක් සකසන අනුවර්තක, ඩේවිඩ් කරුණාරත්න එහි පෙරකී කොටසේ විකෘතියක් “කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙබවීමට සුදුස්සේ ය” යනුවෙන් සඳහන් කර ඇත.

අප බෝහෝ දෙනෙකු කුඩා කළ සිටම රැවටී ඇත්තේ මේ ප්‍රෝඩාවටයි.

නැවතත් කියනවා නම්:
“කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙබවීමට සුදුස්සේ ය” යනු
1. රොබට් නොක්ස් කළ ප්‍රකාශයක් නොවේ.
2. කෝරළ දෙකක වැසියන් තමන් උසස් බව කියා පෑමට භාවිතා කළ පම්පෝරි කතාවකි.

නමුත් පම්පෝරියක් ලෙස හෝ මෙවැනි කතාවක් ඒ ප්‍රදේශ ද්වයේ ජනයා තමන් ගැන පැවසීමට හේතුව කුමක් ද? ඉතිහාසඥයින් පවසන අන්දමට මේ උඩරට රජවරුන් විසින් තම රාජ්‍යය පවත්වාගෙන යාම සඳහා හන්දුරුවන් නම් රදල පරපුරක් බිහිකරමින් සිටි කාලයයි. මේ ඔවුන් තමන්ගේ වර්ධනය වන බලය පිළිබඳ නගන පුරසාරමකි.

එසේ නොමැතිව රජපරපුරෙන් නොමැතිව රජුන් තෝරා ගැනීමේ සිහිනයක් හෝ රජාලාට තිබී නැත. සාමාන්‍ය මිනිසුන්ට ද තිබී ඇති බව නොපෙනේ. ඒ සඳහා එක් හොඳ උදාහරණයක් නම් 1848 වැනි ඇමරිකන් විප්ලවය, ප්‍රංශ විප්ලවය සිදුවූ පසු ලොවේ දී පවා මාතලේ කැරැල්ලෙන් පසු (ජනරජයක් නොව) රජෙකු පත්කර ගන්නට කොහේදෝ සිටි ගොංගාලේගොඩ බණ්ඩෙකු සබයට ගෙන ඒමයි.

එසේ නමුත් මෙහි සැඟවී ඇති වෙනත් රහසක් ද තිබෙනවා විය හැක.

එනම්, රජාගේ අන්තහ්පුරයේ දෝළිලා සැපයෙන්නට ඇත්තේ මේ පලාත්වලින් විය හැක. එසේම, රජ මාලිගයේ සිට වැඩි දුරක් නොමැති නිසා, රජා සමහර විට රාත්‍රී සමයේ මේ පළාත්වල කරක් ගැහැව්වා ද විය හැක. එසේ නම්, ඉහත ප්‍රකාශයේ "මඩ" යනුවෙන් අදහස් කෙරෙන්නේ එලෙස කොටු පනින රජාගේ මඩ තට්ටු විය හැක.

- රසිකොලොජිස්ට්