Tuesday, 22 July 2025

කමින් ත්‍රෙඩ් නෝ ගුඩ්? - Don't let the history repeat


විශ්වවිද්‍යාලවල දේශපාලන බලය (මා අනුමාන කරන විදිහට) 1976 දී පමණ ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ලංකා ශිෂ්‍ය සංගමයෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයට විතැන්වීමේ දී ඒ දෙපිරිස අතර ආරවුල්, කලබල ඇති වූවාදැයි මා නිවැරදිව දන්නේ නැහැ. නමුත් බොහෝවිට එය සාමකාමී බල හුවමාරුවක් වෙන්නට ඇතිය කියා සිතේ.

නමුත් 1977 වසරේ අග භාගයේ දී රටේ දේශපාලන බලය විශාල බහුතරයක් සමගින් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ පසු ඒ පක්ෂයට අනුබද්ධ, ජුන්ටන් ලෙසින් එකල සුරතල් නාමයකින් හැඳින්වුණු, සමවාදී ශිෂ්‍ය සංගමය සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය අතර විශ්වවිද්‍යාල මට්ටමෙන් ගැටුම් ඇතිවුණා. අසූව දශකයේ මුල භාගයේදී ඇතිවුණු මේ ගැටුම්වලින් එවකට සිටි ශිෂ්‍යයින් ගේ අධ්‍යාපන කටයුතුවලට සෑහෙන්න බාධා ද ඇතිවුණා.

රටේ දේශපාලන අති බහුතරය තමන්ට හිමිව තිබිය දී සුළුතරයක් වූ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිස් විශ්වවිද්‍යාලවල බලය හිමිකරගෙන ඉන්නේ කෙසේදැයි යන්න ජුන්ටන්ට දරා ගත නොහැකි වූ දුකක් වෙන්න ඇති.

හැබැයි, ජනතා විමුක්ති පෙරමුණ සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයට සැබෑ අභියෝගය එල්ල වුණේ එක්සත් ජාතික පක්ෂයේ සමවාදී ජුන්ටන්ගෙන් නොවේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයෙන්.

ඒ සමගම ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය ද 1984 පමණ වන විට ජාතිවාදී නැඹුරුවක් පෙන්වමින් සිටි සමාජවාදී ශිෂ්‍ය සංගමයට දරාගන්නට බැරිවුණා.

ඒ වන විට සමාජවාදී ශිෂ්‍ය සංගමය ද තම තැබූ සැබෑ නිරුවත හෙළි කරමින් දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස මැරයින් කණ්ඩායමක් බවට පරිවර්තනය වී තිබුණා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ මරා දැමුණේ ඉන් අනතුරුවයි.

මේ කණ්ඩායම් දෙක අතර ගැටුම වසර කිහිපයක් (1986-1990) පැවතුණු අතර තරුණ ජීවිත ගණනාවක් බිළිගත්තා.

මා හිතන විදියට 2012 පමණ සිට විශ්වවිද්‍යාලවල දේශපාලන බලය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නම් සංවිධානයේ බලය හිමිව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය දේශපාලන බලවේගයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානයටයි.

පසුගිය කාලය තුළ සමාජවාදී ශිෂ්‍ය සංගමය ක්‍රියාත්මකව තිබෙන්නට ඇති වුණත් ඔවුනට ලොකු දෙයක් කළ හැකි වුණේ නැහැ.

දැන් මේ වනවිට එදා 1977 දී සිදුවූවාක් මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය දෙන ජාතික ජන බලවේගය රටේ බලයෙන් අති බහුතරයක් හිමි කරගෙන සිටින විට, එදා එක්සත් ජාතික පක්ෂයේ සමවාදී ශිෂ්‍ය සංගමයට ඇතිවුණු ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමයට ඇතිවීමේ පුදුමයක් නැහැ.

දැන් ඔන්න ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර විශ්වවිද්‍යාලවල බලය සම්බන්ධයෙන් ගැටුම ඇරඹී තියෙනවා.

මගේ අවංක ප්‍රාර්ථනය ඔවුන්ට මෙය සාමකාමී ලෙස විසඳා ගැනීමට ඉඩ ලැබේවා යන්නයි.

- රසික සූරියආරච්චි

ප/ලි:
1. දයා පතිරණ මරා දැමීම සහ ජේවීපීය
https://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


2. ජෙප්පන්, පෙරටුගාමීන් සහ නවකවදය
https://rasikalogy.blogspot.com/2016/05/challange-to-premakumar-gunaratnam.html


(image: )

Thursday, 3 July 2025

රටේ දියුණුව සහ දේශපාලකයින්ගේ ඉංගිලිසි දැනුම - I dont know "melo deyak"



පසුගිය දා චීනයේ දී පැවති ලෝක ආර්ථික හමුවේ (World Economic Forum) සම්මන්ත්‍රණයක දී ඔහුට යොමු කෙරුණු ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී සුනිල් හඳුන්නෙත්තිගෙන් ප්‍රදර්ශනය වුණු "යන්නේ කොහෙද මල්ලේ පොල්" ආකාරයේ මෙලෝ හසරක් නැති හැසිරීම ගැන විවිධ මත පළ වී ඇත.

සභාව මෙහෙයවන්නිය ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයේ මූලික හරය වූයේ ඇමරිකා එක්සත් ජනපදයෙ මෑතක දී කළ තීරුබදු වැඩිකිරීම ආසියානුකරයට සහ ශ්‍රී ලංකාවට කෙසේ බලපායි ද යන්න වුවත්, සුනිල් හඳුන්නෙත්ති කළේ ඔහු කලින් පිළියෙල කරගෙන, පුරුදු පුහුණු වී ආ කතාවක කොටසක් ඉදිරිපත් කිරීම බවයි.

මේ ඒ ගැන "මයි-මතය"යි.
  1. ප්‍රශ්නය අසන්නා කුමක් ඇසුවත් තමන්ට අවශ්‍ය කරුණු සහ ඒ කරුණු පමණක් ඉදිරිපත් කිරීම දේශපාලකයෙකුගේ අයිතියකි. මක්නිසා ද යත්, විශේෂයෙන්ම දේශීය දේශපාලන කරුණුවල දී, නොදන්නා දේ කීමට ගොස් අනා ගැනීමට වඩා, දන්නා නිවැරදි දේ නැවත නැවත වුව ප්‍රකාශ කිරීමේ වරදක් නැත.

    නමුත් මා ඒ සාකච්ඡාව නැරඹූ විනාඩි දෙකක පමණ කාලය තුළ මට පෙනී ගියේ සුනිල් හඳුන්නෙත්තෙට ඔහුගෙන් විමසනු ලැබූ එම ප්‍රශ්නය ගැන හෝ ඒ සඳහා දිය යුතු පිළිතුර ගැන සරල අවබෝධයක් හෝ නොතිබුණු බවයි.

  2. එසේම, තමන් ලියාගෙන ගිය කතා කොටස කීමට පෙර, "ඔබ ඇසූ ඒ ප්‍රශ්නයට ස්තුතියි. එයට පිළිතුරු දෙන්නට පෙර මට මෙන්න මේ කරුණු කියන්නට ඉඩ දෙන්න," කියා කීමේ ඇති වැදගත්කම සහ එසේ කියන්නට තරම් සන්නිවේදන හැකියාවක් සුනිල් හඳුන්නෙත්තිට නොතිබුණු බව ද පැහැදිලි විය.

  3. ලංකාවේ ජනාධිපතියාට හෝ ඇමතියෙකුට ව්‍යක්තව ඉංග්‍රීසියෙන් කතා කරන්නට බැරිවීම නිසා රටට හෝ රටේ ආර්ථිකයට සිදුවෙන පාඩුවක් නම් නැත. මක් නිසා ද යත්, ඒ සියල්ල සාකච්ඡා වී තීරණය වන්නේ අමාත්‍යාංශ නිලධාරී මට්ටමෙන් වීමයි.

  4. නමුත් මේ වසර පහ තුළජනාධිපති සහ ප්‍රධාන ඇමතිවරු ඒ ජාත්‍යන්තර සන්නිවේදන කුසලතාව වර්ධනය කර ගන්නා බව දක්නට නොලැබුණොතින් සහ අවසානයේ දී සැලකිය යුතු ප්‍රමාණයේ වර්ධනයක් ඇතිකර ගෙන නොතිබුණහොත්, අන්න ඒ මොහොතේ දී නම්, අපිට ඔවුන් පිළිබඳව තක්සේරුවක් කළ හැක.

    ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා පරිචය කෙමෙන් වර්ධනය වන අයුරු ඉදිරි වසර පහ තුළ සහ සැලකිය යුතු වර්ධනයක් නිල කාලය අවසානයේ දී දක්නට නොලැබුණහොත් බොහෝ විට ඒ කාලය ඇතුළත රටේ ද සැලකිය යුතු වර්ධනයක් වෙන්නට ඉඩක් නැත.

    මක්නිසාදයත්, තමන්ගේ කුසලතා දියුණු කර ගත නොහැකි, ඒ සඳහා අවශ්‍යතාව නොමැති පුද්ගලයකුට රටේ දියුණුවට සක්‍රීය දායකත්වයක් කළ හැකි යැයි සිතිය නොහැකි බැවිනි.
- රසික සූරියආරච්චි

(image: Created using AI)