
වෙසක් දින දෙක ම ගෙවී ගියත් තවමත් මගේ සිත ඇත්තේ වෙසක් කවි සහ වෙසක් කූඩු නිසා ඇති වූ වෙසඟේ නිරාමිස ප්‍රීති ප්‍රමෝදයේ ගිලෙමිනි.
සඳට කොහේ කෙදිනක පසළොස්වක පෝය ලැබුවත් ඕස්ට්‍රේලියාවට සැම විට ම පෝය ලබන්නේ ම සති අන්තයේ ය. ඒ අනුව, සිනුවර ලංකාරාමයේ වෙසක් පිංකම් මේ සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වේ. එදින සවසට ස්කෝෆීල්ඩ් ගම පැත්තේ ගියහොත්, වෙසක් කූඩු නැරඹීමට ද, කඩල කෑමට ද හැකිවෙනු ඇත.
ඊයේ ඔළු බක්කන් ගැන ලියමින් සිටිද්දී, මීට වසර දහයකට පමණ පෙර මා සංස්කරණය කළ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුවේ "සිංහල" නම් වූ ත්‍රෛමාසික සඟරාවට, මවිසින් ලියන ලද කතුවැකියක් මගේ මතකයට නැගුණි.
එය සිංහල භාෂාවේ එක්තරා අපූර්වත්වයක් පිළිබඳව ලියවුණු එකකි. මේ එයින් කුඩා කොටසක්, යළි ලිවීමකි.
අපේ සිංහල භාෂාවට පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ වචන එකතු කර ගැනීම ඉතා ලේසි බව අප දනිමු.
අදාළ වචනය පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ ක්‍රියා පදයක් නම් අප කරන්නේ එයට අගින් "කරනවා", "වෙනවා" වැනි සිංහල ක්‍රියා පදයක් එකතු කර පැවසීමයි.
උදාහරණ ලෙස ටයිප් කරනවා, පෝස්ට් කරනවා, කමෙන්ට් කරනවා, මොඩරේට් කරනවා, ඇපෲ කරනවා වැනි යෙදුම් ද, හිට් වෙනවා, හැක් වෙනවා වැනි යෙදුම් ද දැක්විය හැක.
එසේ ම, අදාළ වචනය පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ නාම පදයක් නම් අප කරන්නේ එයට අගින් "එක" යන සිංහල වචනය එකතු කර පැවසීමයි.
උදාහරණ ලෙස එකවුන්ට් එක, බ්ලොග් එක, කමෙන්ට් එක, රිප්ලයි එක වැනි යෙදුම් දැක්විය හැක.
මීට අමතරව ටීවී එක, කාර් එක, බස් එක, ඔෆිස් එක, බිල්ඩින් එක, ටේර්න් එක, පාක් එක, බීච් එක, ගවර්න්මන්ට් එක යනාදී වශයෙන් පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ වචන කෙළ-කෝටියක් අපි අපේ ම කරගෙන පාවිච්චි කරමු.
දැන් මේ පින්බර වෙසඟේ මගේ සිතට ආ කාරණය මෙයයි.
වෙසක් "එකට" මොකද කළේ?මළා!
වෙසක් "එකට" කූඩු හැදුවා ද?
වෙසක් "එකට" දන්සැල් වැන්දා ද?
වෙසක් "එකට" පන්සල් ගියා ද?
අප "වෙසක් එක" කියා කියන්නේ ඒකත් පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ වචනයක් ද?
-රසිකොලොජිස්ට්
ප/ලි:
වෙසක් එක විතරක් නොවෙයි, ඇයි "පොසොන් එක"?
මට හිතෙන විදියට පොසොන් එක පමණක් නොව වෙසක් එක ද, පර සුද්දා ගේ ඉංග්ලිෂ් භාෂාවේ ආක්‍රමණයක් නොව, අශෝකලා ගේ, මිහිඳුලා ගේ, මෝඩිලා ගේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ කොටසක් වේ!
වහා කළු කොඩි දමනු!
(image: http://english.fastnews.lk/44266)