
ලංකාවේ දේශපාලනය පිළිබඳව පසුගිය දින කීපය තුළ ෆේස්බුක්, යූටියුබ් සහ ඉන්ටර්නෙට් පුවත් අඩවි හරහා අසන්නට ලැබුණේ, මිනීමරු ලංකා පොලිසිය විසින් අහිංසක තරුණයෙකු මරා දැමීම, ජනාධිපති විසින් වඳ වී යන රතු දෝතලු නම් ශාකයක විනාශයට සම්මාදම්වීම සහ අසාධාරණව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර සාමකාමී විරෝධතාවයක් පළ කළ තරුණයෙකු දරුණු රඳවා ගැනීමේ නියෝගයක් නිකුත් කිරීම වැනි දුක සහ කෝපය ඇති කරන තොරතුරු ය.
කෙසේ නමුත් අවසානයේ, විශේෂයෙන්ම ෆේස්බුක් හරහා, සිනහව උපදවන එමෙන්ම පිළිකුල සහ ශෝකය ද ඇති කරවන ප්‍රකාශ කිහිපයක් දක්නට ලැබුණි.
ඒවා මේ රූපයේ දැක්වෙන දෙදෙනා, අනුර දිසානායක සහ හරිනි අමරසූරිය පිළිබඳව ය.
අනුන්ගේ දුක්ඛ දෝමනස්ස, විලාප මගින් වින්දනයක් ලැබීම බැලූ බැල්මට අමානුෂික වැඩකි. නමුත්, අනුර දිසානායක සහ නරේන්ද්‍ර මෝදි හමුව ගැන, තම වහල්හිමියාගේ කුජීත පරාජයෙන් අඩ වසරක පමණ ගත වී තිබුණද තවමත් ඒ දුකෙන් මිදීමට නොහැකි වූ ඇතමුන් කර තිබූ ප්‍රකාශ, නගා තිබූ විලාප දැක සිනහව නවත්වා ගත නොහැකි විය.
ඔවුන්ගේ දුකට හේතුව තම තමන්ගේ වහල් හිමියා හෝ වහල් හිමියාගේ පුත්‍රයා හෝ ජනාධිපති ඡන්දයෙන් පරාජයවීම ම නොවේ. මහා චන්දයේදී තම තම වහල් හිමියාගේ හෝ වහල් හිමියාගේ පුතාගේ ඇමබැට්ටයින් විශාල පිරිසකට දියවන්නාවට ගොස් මහජන මුදල් ගසා කෑමට අවස්ථාව නොලැබුණු නිසා ම නෙවේ.
ඒ පරාජ ද දුක බව සැබැවි. නමුත් ඔවුන්ගේ සැබෑම දුක නම් අනුර දිසානායක වැනි සාමාන්‍ය පුද්ගලයෙකු, පෙර කී වහල් හිමියන්ට පමණක් මෙතෙක් සීමා වී තිබුණු තත්ත්වයකට පත්වීමයි. රාජ්‍ය ත්‍රාන්ත්‍රික උත්සව දකින දකින වාරයක් පාසා ඔවුන්ගේ මේ දුක වැඩි වෙන බව පෙනේ. ෆේස්බුක් හරහා ගලා ගිය දුක් විලාපවලට හේතුව එයයි.
එය සමගම මට කුඩා දුකක් ද ඇතිවූයේ "අනේ මේ අසරණ මනුස්සයින් තවත් අවුරුදු හතර හමාරක්ම මේ දුක විඳිය යුතු නොවේද?" කියා සිතෙන විටය.
අවුරුදු හතර හමාරක් කීවේ දුක එයින් අවසාන වෙන නිසා නොවේ. ඒ කාලය අවසානයේදී මහ ඡන්දයක් පැවැත්වීමට නියමිත නිසා මොවුන්ට යම් තාවකාලික හෝ බලාපොරොත්තුවක් ඇතිකර ගැනීමට හැකි වන නිසාය.
කෝපය සහ පිළිකුල ඇතිවුණේ හරිනි අමරසූරිය පිළිබඳව හිටපු වහල් හිමියන්ගේ ප්‍රවේණිදාසයන් විසින් කරන ප්‍රකාශ ගැනයි.
කාන්තාවක ඕස්ට්‍රේලියාවේ අගමැතිව සිටි කාලයේ අපට දැකගන්නට හැකි වුණු පරිදි ම, හරිනි අමරසූරියට විරුද්ධව ප්‍රකාශ කරන ඇතැමුන් ස්ත්‍රී විරෝධී පුරුෂාධිපතිවාදීන්ය.
තවත් පිරිසක් මානසිකව යාර හයේ රෙද්දක වහලුන් ය.
තවත් පිරිසක්, දරුණු හෝමෝෆීබියාවකින් පෙළෙන අය බව පෙනේ.
මොවුන් සියලු දෙනාටම අපේ අනුකම්පාව හිමි විය යුතුය. එසේම වුන්ට ඉක්මනින් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරමු.
- රසික සූරියආරච්චි (image: )
මාත් දැක්ක ඒවානම් . හරිම පිළිකුල් .
ReplyDelete
ReplyDeleteගොඩකට දරා ගන්නට බෑ වුණු වෙනස
බල්ලෝ බුරති සඳ පායයි පුරුදු ලෙස