Sunday, 13 April 2025

සීයා මරණය සහ නැන්දා - A nostalgic memory



පරකන්දෙණිය ගමේ මහ ගෙදර ජීවත් වූ සීයාගේ අභාවය පිළිබඳ ඊට කිලෝමීටර් තුනකට පමණ දුරින් ගලහිටියාවේ කුලී නිවසක ජීවත් වූ අපට හිමිදිරියේම පැමිණ දැනුම් දුන්නේ, මහ ගෙදරට අල්ලපු වත්තේ කොස්සින්නේ ජීවත් වූ අපේ ඥාතියෙකු ද වන රංජිත් තිලකසිරි විසිනි.

ස්වල්ප මොහොතකින් මට තාත්තා විසින් "පියකාරියක්" බාර දෙන ලදී. ඒ, පිළියන්දල මකුළුදුවේ ජීවත් වූ නැන්දාගේ නිවසට ගොස් කැඳවාගෙන ඒමයි.

සීයා මිය ගිය බව නොපවසන ලෙසත්, ඔහු දැඩි ලෙස අසනීප නිසා වහාම පැමිණෙන්නට ඇයට දැනුම් දෙන ලෙසත් තාත්තා මට පැවසීය.

මගේ වයස අවුරුදු පහළොවයි මාස හයක් වූ නමුත් මා මෙතරම් දුරක් තනිවම බස්, කෝච්චි මාරුවෙමින් ගමන් කර තිබුණේ නැත.

ස්වල්ප වේලාවකින් නිවසෙන් පිටත් වූ මම ගනේමුල්ලෙන් කොටුවට දුම්රියෙනුත්, පිටකොටුවේ සිට මහරගමට 138 බසයෙනුත්, එහි සිට මකුළුදූවට 341 බසයෙනුත් (මෙය 110 විය හැක) පැය දෙකකටත් වඩා දුර ගමනක අවසානයේ මම නැන්දාගේ නිවසට ළඟා වීමි.

දැඩි වෙහෙසෙන් සිටි මා මුලින්ම කළේ නිවසේ පිස්ටුපස පිහිටි ළිඳෙන් වතුර බාල්දියක් ඇද රිසි සේ වතුර පානය කිරීමයි.

ඉන්පසු නිවසට ගොඩවීමි.

සතියේ දවසක් නිසා මාමා නිවසේ සිටියේ නැත.

මා සිතා සිටි අයුරින් "නැන්දේ සීයාට හොඳටම අසනීපයි කියා තාත්තා ඔයාට එන්න කීවා" යයි මට පවසන්නට ඉඩ නොලැබුණි.

මා දුටු සැණින්, "අනේ මගෙ බුදු තාත්තේ" කියා නැන්දා හඬා වැටුණාය.

නැන්දා ද කුඩා මල්ලී ද සමග තව පැයකින් පමණ මම මහ ගෙදර බලා ගමන් ඇරඹීමි.

(මේ අතීත සිදුවීම මට සිහිපත් කළ අමිල චතුරංගට ස්තුතියි)

(image: )

4 comments:

  1. ලිඳේ වතුර කෙලින්ම බොනවා ඒ කාලේ ඒ කියන්නේ . නැන්දාට ඔයාගේ මුණ දකක් ගමන් තේරෙන්න ඇති පොඩි ළමයෙක් එවන්නේ අයි කියල . (ඒ කාලයට සාපේක්ෂව )

    ReplyDelete
    Replies
    1. [ලිඳේ වතුර කෙලින්ම බොනවා ඒ කාලේ ඒ කියන්නේ] මම 2011 කසාද බැඳලා වෙනම පදිංචියට යනකම්ම ළිදේ වතුර කෙලින්ම බිව්වා .. ටැප් වතුර බොන්න ගත්තු ගමන් ආපු ඇලර්ජි එක මොකක් ද කියල හිතා ගන්න බැරි උනා අවුරුදු ගානක් . අවුරුදු 10කට විතර පස්සේ RO ෆිල්ටර් කරපු වතුර බිව්වට පස්සේ තමා තේරුම් ගත්තේ අවුල තියෙන්නේ වතුරේ කියල .. හෙහ් හෙහ් ..,

      Delete
  2. කිව්වට තරහ නොවෙතැයි සිතමින් කියමි
    යම දූතයෙකු නැන්දට පෙනුණියි හඟිමි!

    ReplyDelete
  3. අපේ තාත්තා නැති වෙච්ච ආරංචිය අරගෙන ලොකු අම්මගේ පුතා ආපු හැටි මතක් උනා .. එයා කිව්වෙත් තාත්තට හොඳටම අමාරුයි .. යං ඉස්පිරිතාලෙට කියල

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.