මීට වසර කිහිපයකට පෙර මට ලංකාවේ ජීවත්වන අයෙකු විසින් කරන කතාවක් සයිබර් අවකාශයේදී අසන්නට ලැබුණි.
යම්කිසි ආගමික පසුබිමක් සහිත වූව ද, ඒ දේශනයේ අන්තර්ගතය වූයේ ලංකාවේ සාමය සංහිඳියාව පිළිබඳ ඉතා වැදගත් අදහස් ගොන්නකි. ඒ කතාව ඇසූ මට ඒ දේශකයා පිලිබඳව කෙතරම් ගෞරවයක්, ඒ දේශනය පිළිබඳව කෙතරම් පැහැදීමක් ඇතිවුණා ද කියනවා නම්, ඒ පිළිබඳව වෙනම ම ලිපියක් ලියා මගේ රසිකොලොජි බ්ලොග් අඩවියේ පළ කළෙමි.
එයින් වසර දෙකහමාරකට පමණ පසු දිනයක මට සිනුවර දී ඒ මා ගරු කරන දේශකයා හමුවීමට අවස්ථාවක් ලැබුණි.
එතැනදී කෙරුණු කණ්ඩායම් සාකච්ඡාවෙන් පසුව දහවල් කිස ද නිමකර, දේශකයා පිටව යාමට සැරසුණු මොහොතේ දී, මා හඳුන්වා දී වචන කිහිපයක් කතා කළ මම, මගේ රසිකලොජි බ්ලොගය ප්‍රවර්ධනය කිරීම සඳහා මුද්‍රණය කර තිබෙන කාඩ් පතක් ද ඔහු අත තැබුවෙමි.
එය දුටු විගස ඔහුගේ මුවෙන් පිටවුණේ මා කිසි දිනක නොසිතූ වචන කිහිපයකි.
"ආ! රසිකොලොජි බ්ලොගය ලියන්නෙ ඔබ ද? ඊට කලින් කතන්දර නම් බ්ලොගය ලිව්වේත් ඔබ නොවේ ද?"
මා ගරු කරන උතුම් මිනිසකු එලෙස මගේ බ්ලොග් පඩංගු පිළිබඳව තැන සිටීම පිළිබඳව මම පුදුමයට පත්වීමි.
ඒ සමගම මට දැඩි සතුටක් ද ඇති වුණේ ඔහු ඊළඟට කියූ කරුණ නිසා ය.
"මාත් කාලෙකට කලින් බ්ලොග් එකක් ලිව්වා. ඒ ලිපි කිහිපය පළකර මා ලැබූ අත්දැකීම් ඉතාමත් වටිනවා."
මා එදා ලැබුවේ බ්ලොග්කරුවෙකු වීම පිළිබඳ අවංක සතුටකි.
මා බ්ලොග්කරුවෙකු වී දැන් මේ ගෙවෙන්නේ දාසයවෙනි වසරයි!
-රසික සූරියආරච්චි
මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Showing posts with label ගල්කන්දේ ධම්මානන්ද. Show all posts
Showing posts with label ගල්කන්දේ ධම්මානන්ද. Show all posts
Thursday, 10 December 2020
Monday, 4 May 2015
වෙසක් දවසේ හොඳ බණ පදයක් දෙකක් ඇසුවෙමි - How to be a practicing Buddhist

මා සාමාන්‍යයෙන් පන්සලට යන්නේ අවුරුද්දට ම දවස් දෙකක් හෝ තුනකි. ඉන් එකක් පන්සලේ කඨින පින්කම දවසට අනිත් පන්සලේ හාමුදුරුවන්ට මේ පන්සලට වැඩැම්මවීමේ කර්තව්‍යය සඳහා ය. අනිත් එක් දිනයක් නම්, වෙසක් පෝය සැමරෙන ඉරිදා දවසයි.
වෙසක් පෝය සැමරෙන දවසට පන්සලට යෑම කාලයක් තිස්සේ අනිවාර්යෙන්ම කෙරුණේ, එදාට සිල් සමාදන්වන අය සහ පන්සලට එන සැදැහවතුන් සඳහා දිවා ආහාරයේ කොටසක් ලෙස පලතුරු සලාදයක් සෑදීම අපේ සිංහල පාසලේ දෙමව්පියන් විසින් කරගෙන ආ නිසා ය.
නමුත් දැන් මගේ පුතා සිංහල පාසලට යෑම නතර වී ඇති නිසා, ඒ පලතුරු දන්සලට සම්මාදම් වීම මගෙන් ගිලිහී ගොස් ඇත.
එ නිසාම, වෙසක් පෝය සැමරෙන දවසේ අනිවාර්යෙන් කළ පන්සල් යාම ද නැවතී ඇත.
ඊයේ වෙසක් පෝය දවසේ ද සිදුවුනේ එයයි.
මෙහි ඇති අභාග්‍ය සම්පන්න තත්වය නම්, වෙසක් පෝය කවදාක තිබුණා වුවද, සිනුවර අපේ පන්සල්වල වෙසක් පෝය සැමරෙන්නේ සෑම විටම ඉරිදා නිවාඩු දවසේ නිසා, මෙවර හරියටම වෙසක් පෝය ද ඉරිදාම යෙදී තිබුුණු දිනයේ ද, පන්සල් යෑම මග හැරී යාමයි.
ඒ කෙසේ වෙතත්, අද ගෙදරට වී නිවාඩු පාඩුවෙන් සිටි කාලයේ දෙවරක් ම යූ ටියුබය හරහා ධර්ම ශ්‍රවණය කිරීමට ඉඩ ලැබුණි. එයට හේතු වූයේ වෙසක් පෝ දිනයේ මගේ සිතේ පහල වූ ධම්ම සවන කාලෝ වර්ගයේ නුහුරු සර්ධාවක් නම් නොවේ. මෙය ෆේස්බුක් අවකාශයේ සැරිසරන විට නෙත ගැටුණු සබැඳි ඔස්සේ යෑමේ දී සිදුවුණු අහඹු සිදුවීම් ලෙස සැලකුව මනාය.
එක් බණක් දේශනා කලේ පර්ත් නගරවාසී බ්‍රහ්මවංශ හාමුදුරුවන් ය. එහි අගනා ඔවදන් රාශියක් ම තිබුණු බව කිව යුතුය.
https://youtu.be/GOPcbFhCEj0
එයින් මා සිත් ගත් එක් කතාවක් මෙසේය.
බ්‍රහ්මවංශ හාමුදුරුවන් ගිහි කල ගුරුවරයෙකු සේ වසරක පමණ කාලයක් සේවය කර ඇත. දිනක් වසරාවසානයේ පන්තියේ සිසුන් ගේ ප්‍රගති වාර්තා බෙදන මොහොතේ ඔහු නිරීක්‍ෂණය කර ඇත්තේ, පන්තියෙන් ලකුණු මට්ටමින් අන්තිමයා, තමන්ගේ වාර්තාව දැක ඉතා දුකෙන් සිටින බවයි.
එවකටත් බෞද්ධයෙකු ලෙස ජීවිතය ගෙවමින් සිටි ගිහි බ්‍රහ්මවංශ, ඒ සිසුවා සැනසීමට කියා ඇත්තේ මෙයයි.
"ස්වේච්ඡාවෙන් නොවුණද, ඔබ පන්තියේ තිස්වෙනියා වීමෙන් කර ඇත්තේ අනිත් සිසුන් විසි නම දෙනා, ඒ දුකෙන් මුදවා ගැනීමයි. මෙය ඇත්තටම බුද්ධත්වයට පත්වීමට පෙරුම් පුරණ බෝධිසත්වයෙකු කරන්නා වූ දෙයක්. එනිසා, දුක් නොවී සතුටු වෙන්න!"
සිසුවා ගේ දුක්මුසු මුහුණ ක්‍ෂණයකින් සිනාවෙන් පිරී ගියේ ලු!
බ්‍රහ්මවංශ හාමුදුරුවන් ගේ ඒ දේශනාව ඇසුවේ ඊයේ දිවා කාලයේ ය.
සවස් යාමය වන විට අද පන්සලේ වෙසක් සිරි නරඹන්නට යන්නට නොවෙන බව පෙනුණු නිසා පැය තුනක් පමණ කාලයක් සිත් සේ නිදා ගත්තෙමි.
රාත්‍රී ආහාරයෙන් පසු, ෆේස්බුක් අවකාශයේ දී ලැබුණු ඔත්තුවක් හරහා යමින්, බෞද්ධ භික්‍ෂුවක් විසින් කරනු ලැබූ තවත් එවැනි ම අගනා ධර්ම දේශනාවක් නැරඹීමට මට අවස්ථාව ලැබුණි. මෙහි මාතෘකාව වූයේ බුද්ධ ධර්මය වත්මන් සමාජ ප්‍රගමනය සඳහා ප්‍රායෝගිකව යොදාගන්නේ කෙලෙසද යන්නයි.
කරුණක් දෙකක් හැර, සමස්තයක් ලෙස ඒ වීඩීයෝව ම මා සිත් ගත් නිසා, එය ඔබ හා මෙලෙස බෙදා ගැනීමට සිතුවෙමි.
දේශකයා: පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද
සිත් පහන් වේවා!
-රසිකොලොජිසිට්
Subscribe to:
Posts (Atom)
