Showing posts with label ජනතා විමුක්ති පෙරමුණ. Show all posts
Showing posts with label ජනතා විමුක්ති පෙරමුණ. Show all posts

Monday, 15 December 2025

දයා පතිරණ ගැන මීට කලින් මා නොලියූ, එනිසාම කිසිවෙකු නොදන්නා පොඩි කතාවක් - What is Socialism?


කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ අසූවේ දශකයේ මැද යාමයේ නායකයාව සිටි දයා පතිරණ අමානුෂික ආකාරයට මරා දමා අදට වසර තිස් නමයකි.

එවකට ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ මෙන්ම පොදුවේ දේශපාලනයේ පැවති තත්වය අනුව මේ ඝාතනයේ වගකීම පැවරෙන්නේ එවකට පැවැති ජනතා විමුක්ති පෙරමුණට ය.

දයා පතිරණ ගැන සහ එකල පැවති දේශපාලන ගැටුම ගැන මගේ මතකය අනුසාරයෙන් මා දීර්ඝ ලිපියක් ලියා ඇත. එය රාවය සති අන්ත පුවත්පතේ ද පළ වූ අතර අවශ්‍ය අයට එය පහසුවෙන් කියවීම සඳහා සබැඳියක් පහත දැක්වේ.

දයා පතිරණ පිළිබඳ මතකය - Forcing the sun to rise at mid-night
https://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


මේ සටහනේ අරමුණ ඒ ලිපියට ඇතුළත් කිරීමට මට අමතක වුණු වෙනත්, ඇත්තටම සරල, නමුත් අවශ්‍ය නම් තරමක් දුරට හෝ හිතන්නට ඉඩ සලසන, කරුණක් සනිටුහන් කිරීමයි.

මා විශ්වවිද්‍යාලයට ගියේ අවුරුදු දහනමයකට ආසන්න වයසක සිටි වැඩිහිටියෙකු ලෙස ය. නීත්‍යානුකූලව ඡන්ද බලය හිමි අයකු නමුත් මට නිරවුල් දේශපාලන දෘෂ්ටියක් නොතිබුණි.

එසේ නමුදු 1980 වැඩ වර්ජනය හා බැඳුණු කරුණු නිසා මට එවකට පාලකයින්ව සිටි එක්සත් ජාතික පක්ෂය පිළිබඳව තිබුණේ දැඩි කෝපයකි. පැවති රජයට දේශපාලනව වැඩිම විරෝධයක් දැක්වූයේ ජනතා විමුක්ති පෙරමුණ නිසා මට ඔවුන් කෙරෙහි පැවතුණේ ප්‍රසාදයකි.

විශ්වවිද්‍යාලයේ විවිධ දේශපාලන මතවා ද පැවතුන ද ඉන් කිසිවක් සමග මගේ අදහස් කෙළින්ම සමපාත නොවුණු නිසා මම නිදහස් මතධාරියෙකු වී සිටියෙමි. එසේ නමුදු 1984 පමණ වනතුරු ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධවන්නට ද මට හේතුවක් නොවිණි.

මා ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධවූයේ අප තුන්වෙනි වසරේ දී පොලීසිය විසින් කළ පද්මසිරි අබේසේකර නම් ශිෂ්‍යයාගේ ඝාතනයෙන් පසුව, ඒ වන විට රජය මගින් සංගම් අහෝසි කර තිබුණු වාතාවරණය යටතේ, අප විසින් පිහිටුවා ගන්නා ලද ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හරහා ය.

මට දයා පතිරණ හමුවූයේ ඒ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම, අද සමහරු මෙම සංවිධානය අමතන්නේ අන්තරේ යන් විකට නමින් ය,) රැස්වීම්වලට සහභාගීවන අවස්ථාවල දී ය.

සුමිත් අමරලාල් නාකන්දල යනු මගේ සමාන්තර වසරේ කෘෂිවිද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවෙකි. මා ඔහු අඳුරා ගත්තේ පෙර කී ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට සම්බන්ධ වූ පසු ය. ඔහුගේ නිවස පිහිටියේ ගම්පහ නගරයේ වූ නිසා සහ මගේ චූටි නැන්දා ද ගම්පහ නගරයේ ම පදිංචිව සිටි නිසා මට කිහිප වරක්ම නාකන්දලගේ නිවසට යාමට අවස්ථාව ලැබුණි.

නාකන්දල සතුව අපේ එදා මට්ටමේ හැටියට හොඳ පොත් එකතුවක් තිබුණි. ඔහුගේ නිවසට ගිය එක් දිනයක මම ඒ පොත් එකතුවෙන් එක පොතක් කියවා බලා ආපසු භාර දෙන්නට ඉල්ලා ගත්තෙමි. දැනට මගේ මට නම අමතක රුසියානු ලේඛකයෙකු විසින් ලියන ලද පොතක සිංහල පරිවර්තනයක් වූ එහි සිංහල නම වූයේ "සමාජවාදය යනු කුමක් ද?" යන්නයි.

එක් දිනක් පේරාදෙණියේ සිට කොළඹ පැවැත්වෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ රැස්වීමට සහභාගී වීමට යද්දී ඒ ගමනට පැය තුනක පමණ කාලයක් ගත වෙන නිසා ඒ අතරතුර කියවීම සඳහා මම නාකන්දලගෙන් ණයට ඉල්ලාගෙන තිබූ "සමාජවාදය යනු කුමක් ද?" යන කෘතිය රැගෙන ගියෙමි.

බස් රථයේදී මා එහි පිටු කිහිපයක් කියවන්නට ඇත. ඉන්පසු සාමාන්‍යයෙන් මෙවැනි පොතක් කියවීමේ දී අප බොහෝ දෙනෙකුට සිදුවෙන පරිදි මා නින්දට වැටෙන්නට ඇත.

එදින රැස්වීම අවසානයෙන් පසු එක්කෝ පේරාදෙණියට එසේ නොමැති නම් රාත්‍රිය ගත කිරීම සඳහා පරකන්දෙණියේ පිහිටි අපේ නිවසට ගිය පසු මට වැටහුණේ "සමාජවාදය යනු කුමක් ද?" යන ණයට ඉල්ලා ගත් පොත මා රැස්වීම පැවැත්වුණු ස්ථානයේ අමතක කර දමා පැමිණ ඇති බවයි.

තවත් මාස කිහිපයකට පසු දයා පතිරණ සහ කේ එල් ධර්මසිරි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණියහ. එහි දී මට දයා පතිරණගෙන් දැනගන්නට ලැබුණේ පොත අමතක වී දමා ගිය ඒ "සමාජවාදය යනු කුමක් ද?" පොත රැස්වීමෙන් පසුව ඔහු දැක එය රැගෙන ගිය බවයි.

ඔහු සාමාන්‍යයෙන් තුම්මුල හන්දියට නුදුරින් හයිලෙවල් පාරේ පිහිටි නේවාසිකාගාරයේ සිටින බවත්, කොළඹ පැමිණි දිනක එහි පැමිණ ඔහු හමු වී එම පොත ලබා ගත හැකි බවත් දයාපතිරණ මට කීවේය.

මේ 1985 වසරේ තුන්වෙනි කාර්තුවේ පමණ කාලයේ දිනයක දී ය.

මා දයාපතිරණ දුටු අවසාන දිනය ද එයයි.

කිසි දිනක කොළඹ ගොස් ඔහු හමු වී "සමාජවාදය යනු කුමක් ද?" නමැති පොත ඉල්ලා ගැනීමට මට අවස්ථාවක් නොලැබුණි.

එනිසා ම "සමාජවාදය යනු කුමක් ද?" යන පොතේ මුල්පිටු කිහිපය හැර ඉතුරු කොටස් කියවීමට මට කිසි දිනක අවස්ථාවක් ද නොලැබුණි.

දයා පතිරණ නම්, මා මෙන්, ඒ පොත කියවන්නට අවශ්‍යතාවයක් තිබුණ අයෙකු යැයි මම නොසිතමි.

මක්නිසාද යත් ,ඔහු කොමියුනිස්ට් ප්‍රකාශනය නැමැති ග්‍රන්ථය අකුරෙන් අකුර කියවා පැහැදිලි කරන්නට තරම් දැනුමක් ලබා සිටි අයෙකු බව මීට අවුරුදු තිස් නවයකට පෙර එවකට ජනතා විමුක්ති පෙරමුණ විසින් දයා පතිරණ මරා දමද්දී ඔහු සමග සිටි නමුත් මරණයෙන් ගැලවීමට වාසනාව තිබූ සෝමසිරි පුංචිරාළ විසින් අද ලියා පළ කර තිබුණු සටහනක සඳහන් වී තිබුණු හෙයිනි.

- රසික සූරියආරච්චි

ප/ලි:
කෘෂිවිද්‍යාව ඉගෙන ටික කලක් පරිසරය පිළිබඳ රාජ්‍ය ආයතනයක සේවය කළ "සමාජවාදය යනු කුමක් ද?" පොතේ අයිතිකාර සුමිත් අමරලාල් නාකන්දල තම ජීවිකාව ලෙස තෝරා ගත්තේ රාජත්‍රාන්තික සේවාවයි.

මෙහි නම සඳහන් කේ. එල්. ධර්මසිරි, දයා පතිරණ ගේ මරණයෙන් පසුව "ප්‍රා" වැනි කණ්ඩායමක් හා සම්බන්ධ වී පලිගැනීමේ මිනීමරු දේශපාලනයක නිරත වී ජනතා විමුක්ති පෙරමුණෙන් මරණ දඬුවම ලබා ගත්තේ ය.

සෝමසිරි පුංචිරාල නම් අද ද ක්‍රියාත්මක දේශපාලනයේ යෙදෙන බව පෙනේ.

මම?
මම "සමාජවාදය යනු කුමක් ද?" පොතේ පිටපතක් සොයමින් සිටිමි.

(image: )

Tuesday, 22 July 2025

කමින් ත්‍රෙඩ් නෝ ගුඩ්? - Don't let the history repeat


විශ්වවිද්‍යාලවල දේශපාලන බලය (මා අනුමාන කරන විදිහට) 1976 දී පමණ ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ලංකා ශිෂ්‍ය සංගමයෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයට විතැන්වීමේ දී ඒ දෙපිරිස අතර ආරවුල්, කලබල ඇති වූවාදැයි මා නිවැරදිව දන්නේ නැහැ. නමුත් බොහෝවිට එය සාමකාමී බල හුවමාරුවක් වෙන්නට ඇතිය කියා සිතේ.

නමුත් 1977 වසරේ අග භාගයේ දී රටේ දේශපාලන බලය විශාල බහුතරයක් සමගින් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ පසු ඒ පක්ෂයට අනුබද්ධ, ජුන්ටන් ලෙසින් එකල සුරතල් නාමයකින් හැඳින්වුණු, සමවාදී ශිෂ්‍ය සංගමය සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය අතර විශ්වවිද්‍යාල මට්ටමෙන් ගැටුම් ඇතිවුණා. අසූව දශකයේ මුල භාගයේදී ඇතිවුණු මේ ගැටුම්වලින් එවකට සිටි ශිෂ්‍යයින් ගේ අධ්‍යාපන කටයුතුවලට සෑහෙන්න බාධා ද ඇතිවුණා.

රටේ දේශපාලන අති බහුතරය තමන්ට හිමිව තිබිය දී සුළුතරයක් වූ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිස් විශ්වවිද්‍යාලවල බලය හිමිකරගෙන ඉන්නේ කෙසේදැයි යන්න ජුන්ටන්ට දරා ගත නොහැකි වූ දුකක් වෙන්න ඇති.

හැබැයි, ජනතා විමුක්ති පෙරමුණ සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයට සැබෑ අභියෝගය එල්ල වුණේ එක්සත් ජාතික පක්ෂයේ සමවාදී ජුන්ටන්ගෙන් නොවේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයෙන්.

ඒ සමගම ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය ද 1984 පමණ වන විට ජාතිවාදී නැඹුරුවක් පෙන්වමින් සිටි සමාජවාදී ශිෂ්‍ය සංගමයට දරාගන්නට බැරිවුණා.

ඒ වන විට සමාජවාදී ශිෂ්‍ය සංගමය ද තම තැබූ සැබෑ නිරුවත හෙළි කරමින් දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස මැරයින් කණ්ඩායමක් බවට පරිවර්තනය වී තිබුණා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ මරා දැමුණේ ඉන් අනතුරුවයි.

මේ කණ්ඩායම් දෙක අතර ගැටුම වසර කිහිපයක් (1986-1990) පැවතුණු අතර තරුණ ජීවිත ගණනාවක් බිළිගත්තා.

මා හිතන විදියට 2012 පමණ සිට විශ්වවිද්‍යාලවල දේශපාලන බලය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නම් සංවිධානයේ බලය හිමිව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය දේශපාලන බලවේගයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානයටයි.

පසුගිය කාලය තුළ සමාජවාදී ශිෂ්‍ය සංගමය ක්‍රියාත්මකව තිබෙන්නට ඇති වුණත් ඔවුනට ලොකු දෙයක් කළ හැකි වුණේ නැහැ.

දැන් මේ වනවිට එදා 1977 දී සිදුවූවාක් මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය දෙන ජාතික ජන බලවේගය රටේ බලයෙන් අති බහුතරයක් හිමි කරගෙන සිටින විට, එදා එක්සත් ජාතික පක්ෂයේ සමවාදී ශිෂ්‍ය සංගමයට ඇතිවුණු ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමයට ඇතිවීමේ පුදුමයක් නැහැ.

දැන් ඔන්න ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර විශ්වවිද්‍යාලවල බලය සම්බන්ධයෙන් ගැටුම ඇරඹී තියෙනවා.

මගේ අවංක ප්‍රාර්ථනය ඔවුන්ට මෙය සාමකාමී ලෙස විසඳා ගැනීමට ඉඩ ලැබේවා යන්නයි.

- රසික සූරියආරච්චි

ප/ලි:
1. දයා පතිරණ මරා දැමීම සහ ජේවීපීය
https://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


2. ජෙප්පන්, පෙරටුගාමීන් සහ නවකවදය
https://rasikalogy.blogspot.com/2016/05/challange-to-premakumar-gunaratnam.html


(image: )

Tuesday, 26 November 2024

ගින්නෙන් උපන් සීතල ප්‍රශ්න - Statue worshipers need not worry


පෙර දිනක අඩකට අඩුවෙන් යූටියුබය ඔස්සේ නරඹා තිබූ "ගින්නෙන් උපන් සීතල" නම් සිනමා නිර්මාණය දෙවෙනි දිනයේ දී සම්පූර්ණයෙන් ම නරඹා අහවර කළෙමි.

ඒ ඇසුරෙන් මට ප්‍රශ්න කිහිපයක් ම ඇතිවිය.

මේ ඉන් එකක් සහ ඒ ගැන මට තාර්කිකව සපයා ගත හැකි වූ පිළිතුරු ය.

මීට අමතර වෙනත් තාර්කීය පිළිතුරු ද තියෙන්නට ද ඉඩ ඇත. තිබේ නම් ඒවා ද, මේ මා දක්වා ඇති පිළිතුරු කිහිපයෙන් ඔබ සිතන පරිදි නිවැරදි පිළිතුර කුමක්දැයි කියා ද සඳහන් කරන්න.

ප්‍රශ්නය: නන්දසිරි විජේවීර සහ චිත්‍රාංගනී ප්‍රනාන්දු යුවල දරුවන් පස් දෙනෙකු සෑදුවේ ඇයි?
  1. එකල සමාජයේ සම්මතය වූ දරුවන් දෙදෙනෙකු පමණක් සෑදීම ඔවුන් එකහෙළා ප්‍රතික්ෂේප කළ නිසා ය.

  2. නන්දසිරි විජේවීර ගැබ්ගැනීම වළක්වන උපක්‍රම (පොදු ව්‍යවහාරයෙන් ප්‍රීති කොපු සහ මිතුරී පෙති) භාවිතයට විරුද්ධ නිසා ය.

  3. චිත්‍රාංගනී ප්‍රනාන්දු කතෝලික ආගමේ ඉගැන්වීම දැඩිලෙස අනුගමනය කළ නිසා ය.

  4. නන්දසිරි විජේවීර කඩේකට බඩු ගන්නට යන බවක් නොපෙනෙන නිසා ප්‍රීති කොපු මිලට ගන්නට ක්‍රමයක් නොතිබුණු නිසා ය.

  5. සෝමවංශ අමරසිංහ වැනි සමීපතමයෙකුට වුව ද ප්‍රීති කොපු මිලට ගෙනැවිත් දෙන්න යැයි කියන්නට ගටක් නන්දසිරි විජේවීර නැති වූ නිසා ය.

  6. කොපමණ දරුවන් සෑදුව ද, දරු පවුලේ නිවාස, ආහාර, කිරිපිටි යනාදියේ වියදම පිළිබඳව ප්‍රශ්නයක් නැති වූ නිසා ය.

හො.ම.ත.යු.: පිළිම වන්දනාකරුවන් කලබල විය යුතු නැත.

- රසිකොලොජිස්ට්

ප/ලි:
ඔබට "ගින්නෙන් උපන් සීතල" නම් සිනමාපටය නැරඹීමට අවශ්‍ය ද? මෙන්න එය.



(image: screenshot from YouTube)