Showing posts with label විශ්වවිද්‍යාල ජීවිතය. Show all posts
Showing posts with label විශ්වවිද්‍යාල ජීවිතය. Show all posts

Tuesday, 22 July 2025

කමින් ත්‍රෙඩ් නෝ ගුඩ්? - Don't let the history repeat


විශ්වවිද්‍යාලවල දේශපාලන බලය (මා අනුමාන කරන විදිහට) 1976 දී පමණ ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ලංකා ශිෂ්‍ය සංගමයෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයට විතැන්වීමේ දී ඒ දෙපිරිස අතර ආරවුල්, කලබල ඇති වූවාදැයි මා නිවැරදිව දන්නේ නැහැ. නමුත් බොහෝවිට එය සාමකාමී බල හුවමාරුවක් වෙන්නට ඇතිය කියා සිතේ.

නමුත් 1977 වසරේ අග භාගයේ දී රටේ දේශපාලන බලය විශාල බහුතරයක් සමගින් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ පසු ඒ පක්ෂයට අනුබද්ධ, ජුන්ටන් ලෙසින් එකල සුරතල් නාමයකින් හැඳින්වුණු, සමවාදී ශිෂ්‍ය සංගමය සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය අතර විශ්වවිද්‍යාල මට්ටමෙන් ගැටුම් ඇතිවුණා. අසූව දශකයේ මුල භාගයේදී ඇතිවුණු මේ ගැටුම්වලින් එවකට සිටි ශිෂ්‍යයින් ගේ අධ්‍යාපන කටයුතුවලට සෑහෙන්න බාධා ද ඇතිවුණා.

රටේ දේශපාලන අති බහුතරය තමන්ට හිමිව තිබිය දී සුළුතරයක් වූ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිස් විශ්වවිද්‍යාලවල බලය හිමිකරගෙන ඉන්නේ කෙසේදැයි යන්න ජුන්ටන්ට දරා ගත නොහැකි වූ දුකක් වෙන්න ඇති.

හැබැයි, ජනතා විමුක්ති පෙරමුණ සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයට සැබෑ අභියෝගය එල්ල වුණේ එක්සත් ජාතික පක්ෂයේ සමවාදී ජුන්ටන්ගෙන් නොවේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයෙන්.

ඒ සමගම ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය ද 1984 පමණ වන විට ජාතිවාදී නැඹුරුවක් පෙන්වමින් සිටි සමාජවාදී ශිෂ්‍ය සංගමයට දරාගන්නට බැරිවුණා.

ඒ වන විට සමාජවාදී ශිෂ්‍ය සංගමය ද තම තැබූ සැබෑ නිරුවත හෙළි කරමින් දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස මැරයින් කණ්ඩායමක් බවට පරිවර්තනය වී තිබුණා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ මරා දැමුණේ ඉන් අනතුරුවයි.

මේ කණ්ඩායම් දෙක අතර ගැටුම වසර කිහිපයක් (1986-1990) පැවතුණු අතර තරුණ ජීවිත ගණනාවක් බිළිගත්තා.

මා හිතන විදියට 2012 පමණ සිට විශ්වවිද්‍යාලවල දේශපාලන බලය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නම් සංවිධානයේ බලය හිමිව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය දේශපාලන බලවේගයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානයටයි.

පසුගිය කාලය තුළ සමාජවාදී ශිෂ්‍ය සංගමය ක්‍රියාත්මකව තිබෙන්නට ඇති වුණත් ඔවුනට ලොකු දෙයක් කළ හැකි වුණේ නැහැ.

දැන් මේ වනවිට එදා 1977 දී සිදුවූවාක් මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය දෙන ජාතික ජන බලවේගය රටේ බලයෙන් අති බහුතරයක් හිමි කරගෙන සිටින විට, එදා එක්සත් ජාතික පක්ෂයේ සමවාදී ශිෂ්‍ය සංගමයට ඇතිවුණු ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමයට ඇතිවීමේ පුදුමයක් නැහැ.

දැන් ඔන්න ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර විශ්වවිද්‍යාලවල බලය සම්බන්ධයෙන් ගැටුම ඇරඹී තියෙනවා.

මගේ අවංක ප්‍රාර්ථනය ඔවුන්ට මෙය සාමකාමී ලෙස විසඳා ගැනීමට ඉඩ ලැබේවා යන්නයි.

- රසික සූරියආරච්චි

ප/ලි:
1. දයා පතිරණ මරා දැමීම සහ ජේවීපීය
https://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


2. ජෙප්පන්, පෙරටුගාමීන් සහ නවකවදය
https://rasikalogy.blogspot.com/2016/05/challange-to-premakumar-gunaratnam.html


(image: )

Sunday, 5 January 2025

පේරාදෙණියේ පරණ කතාවක් - වික්‍රමබාහුගේ ආරාධිත දේශනය තහනම්? :: A story from the past

Faculty of Engineering, University of Peradeniya 4 February 2024
අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ආර්ථික ආත්මක්ලමථානුයෝගී (austerity) සම්බාධකවලට විරුද්ධව කටයුතු කළ යුත්තේ කෙසේද යන මැයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් (දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ, දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය) විසින් සංවිධානය කර තිබුණු දේශනයකට විශ්වවිද්‍යාල අධිකාරිය විසින් අවසර දී නොමැති බව කියවේ. මේ පිළිබඳ මා දැන ගත්තේ ඒ ගැන කියවෙන ලිපියක් සමාජ සමානතා පක්ෂයේ වෙබ් අඩවියේ පළ වී ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් ලියූ ෆේස්බුක් සටහනකිනි.

එය දුටු මගේ සිහියට ආවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී අප ලැබූ මේ හා සමාන අත්දැකීමකි.

විශ්වවිද්‍යාල සංගමයක් විසින් යම්කිසි දේශනයක් හෝ වෙනත් වැඩසටහනක් සංවිධානය කරන විට ඒ සඳහා විශ්වවිද්‍යාලයේ සම්පත් එනම්, දේශන ශාලාවක්, විදුලි බලය යනාදිය භාවිතා කෙරෙන නිසා, ඒ සඳහා අවසර ලබා ගැනීම සාමාන්‍ය ක්‍රමයයි. මේ සඳහා රෝනියෝ කරන ලද පෝර්මයක් එකල ශිෂ්‍ය කටයුතු පිළිබඳ උප ලේඛකාධිකාරි කාර්යාලයෙන් ලබාගත යුතු වූ අතර එය අදාල තොරතුරු යොදා සම්පූර්ණ කර මට මතක හැටියට ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරිකගේ (මේ ආචාර්ය මණ්ඩලයේ අයෙකි) අත්සන ද සහිතව එම කාර්යාලයට ම ඉදිරිපත් කළ යුතුය. ඔවුන් විසින් එය අනුමත කරනු ලැබේ. නමුත්, ශිෂ්‍ය සභා කාර්යාලයේ යම්කිසි රැස්වීමක් පැවැත්වෙද්දී හෝ ශිෂ්‍ය පොදු කාමරයේ රැස්වීමක් හෝ සාදයක් හෝ පැවැත්වෙද්දී මේ ආකාරයෙන් අවසර ගැනීමක් සිදු නොකෙරුණි.

අප ඉගෙන ගත් ඉංජිනේරු පීඨයේ සමාජ විද්‍යා සංගමය නමින් ශිෂ්‍යයින්ගේ සංගමයක් තිබුණි. මා දෙවන වසරේ සිටියදී එහි සංස්කාරක ලෙස ද, තුන්වෙනි වසරේ දී එම සංගමයේ ලේකම් ලෙස ද කටයුතු කළෙමි.

අපේ අවසාන වසරේ දී ඉංජිනේරු පීඨ සමාජ විද්‍යා සංගමයේ සභාපති ලෙස පත් වුණේ එකම වසරේ උගත් මා මිත්‍ර ස්ටැන්ලි මොරේමඩ ය.

ඊට කලින් වසරේ, එනම් අප විශ්වවියාලයේ ගත කළ තුන්වෙනි වසරේ, මුල සිට ම අප ලංකාවේ ජාතිකත්ව ප්‍රශ්නය පිළිබඳව දේශන මාලාවක් සංවිධානය කළෙමු.

ඒ වසරේ මේ මාතෘකාව යටතේ මහනුවර සත්යෝදය සංවිධානයේ නායක ෆාදර් පෝල් කැස්බර්ස් විසින් දේශනයක් පවත්වන ලදී.

ඊළඟ වසරේ අපේ මුල්ම ආරාධනය ලැබුණේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය නම් දේශපාලන සංවිධානයේ නායකයෙකු වූ විශ්වවිද්‍යාල සේවයෙන් ඒ වන විට නෙරපා දමා ආචාර්ය සුචරිත ගම්ලත්ට ය. එකී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය දැන් හැඳින්වෙන්නේ සමාජ සමානතා පක්ෂය ලෙසිනි.

අපේ සමාජවිද්‍යා ශිෂ්‍ය සංගමයෙන් ඊළඟට සංවිධානය කෙරුණේ නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගේ ජාතිකත්ව ප්‍රශ්නය පිළිබඳ දේශනයයි. වික්‍රමබාහු අප ඉගෙනුම ලැබූ ඉංජිනේරු පීඨයේ ම දිගු කාලයක් තිස්සේ දේශකයෙකු ලෙසින් සේවය කරමින් සිටියදී 1978 වසරේ ජේ. ආර්. ජයවර්ධන විසින් ගෙන එනු ලැබූ ඒකාධිපති ව්‍යවස්ථාවට කළු කොඩි ඔසවා විරෝධය පළ කිරීමේ වරදට විශ්වවිද්‍යාල පාලනාධිකාරයෙන් සේවයෙන් නෙරපා දමා තිබුණි.

ඉංජිනේරු පීඨ දේශන ශාලාවක පැවැත්වීමට අදහස් කෙරුණු මෙම දේශනය සඳහා අවසර ලබා ගැනීම පිණිස අදාළ අයදුම් පත්‍රය නිසි ලෙස පුරවා ශිෂ්‍ය කටයුතු පිළිබඳ උප ලේඛකාධී කාර්යාලයට බාර දී තිබුණ ද නියමිත දිනය වන තෙක් ඒ සඳහා අවසර නොලැබුණි.

එනිසා එම දේශනය එදින නොපවත්වා කල් දැමීමට සමාජ විද්‍යා සංගමයට සිදුවිය.

මේ බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට දැන්වීමට ක්‍රමයක් නොතිබුණු බැවින් එදින අදාල වේලාවට පෙර ඔහු ඉංජිනේරු පීඨයට පැමිණියේය.

අවසර ලැබී නොමැති බව දැනගත් ඔහු එතැන සිටි ඉංජිනේරු පීඨ ආචාර්ය මණ්ඩලයේ අය සමග සතුටු සාමීචියේ යෙදී ආපසු ගියේය.

මගේ මතකයට අනුව, මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ස්ටැන්ලි මොරේමඩ සහ සමාජ විද්‍යා සංගමයේ ඒ වසරේ ලේකම් ලෙස කටයුතු කළ කනිෂ්ක තෙන්නකෝන් එවකට ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජයතිලක හමුවී ඇත.

එහිදී ජයතිලකකාරයා කියා ඇත්තේ සිසුන් කළ යුත්තේ ඒ වැනි දේශපාලන කරුණු ගැන දේශන සහ සාකච්ඡා පැවැත්වීම නොව, ඉගෙනීමේ කරුණු පිළිබඳව, නිවැරදිව ඉගෙන ගන්නේ කෙසේද පිළිබඳව දේශන සහ සාකච්ඡා පැවැත්වීම බවයි.

එවිට ස්ටැන්ලි මොරේමඩ ජයතිලකට පවසා ඇත්තේ “එහෙනම් සර්, සර් කරන්නකෝ ඒ මාතෘකාවෙන් දේශනයක් ලබන සතියේ ම!” කියායි.

ඒ අනුව තවත් සතියකට පමණ පසු මහාචාර්ය ජයතිලක ගේ “How to study” දේශනය පැවැත්වුණි.

තවත් සතියකට දෙකකට පමණ පසු නිසිපරිදි අවසරය ලැබුණු නිසා වික්‍රමබාහුගේ දේශනය පැවැත්වීමට අපට ඉඩ ලැබුණි.

ඒ දේශනය සම්බන්ධයෙන් ද ඉතා රසවත් කතාවක් ඇත. කලකට පෙර මා සේ ඒ තොරතුරු සහිත “සුචරිත, බාහු සහ නිෂ්මි” මැයෙන් ලිපියක් ලියා එය පුවත්පතක පළ කර අතර එය නුදුරු දිනක දී රසිකලොජි බ්ලොගයේ පළකිරීමට අදහස් කරමි.

- රසික සූරියආරච්චි (image: P)

Saturday, 12 August 2023

මුදලාලි ගෙ මෝඩ පුතා - A case for private universities!


පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන විවිධ අදහස් ආපහු ඇහෙන්න පටන් අරන්. මේ දවස්වල නං ඒකට මූලික හේතුව වෙලා තියෙන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මංඩලය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක්.

අපේ යුනිවසිටි කාලේත් ඔය වගේ කචල් තිබුණා විටින් විට. ඇම්බීබීඇස් දෙන තිප්පොලවල් ගැන විතරක් නෙමේ පොදුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන.

ඒ වෙන කොට උසස් අධ්‍යාපන පනතට කරලා තිබුණු සංශෝධන නිසා පෞද්ගලික ආයතනවලට උපාධි දෙන්න බලතල පවරන්න ආණ්ඩුවට බලය ලැබිලයි තිබුණේ මට මතක හැටියට.

මේ සංශෝධනවලට එරෙහිව මහා විරෝධතා ව්‍යාපාරයක් පටන් ගත්තා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මංඩලය හෙවත් අපි කියපු විදියට අයියුඑස්එෆ් එකෙන්.

පේරාදෙනියේ අපි පිහිටුවලා තිබුණු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හෙවත් ඒසී එකෙන් ඒ හා සම්බන්ධ වැඩකටයුතු කරන්න පටන් ගත්තා.

විශ්වවිද්‍යාලයම පුරා විතරක් නෙමේ ඒ දවස්වල පේරාදෙණියේ ඉඳලා නුවරටමත් අපි පෝස්ටර් ගහනවා. සිගරට් බට් එක තීන්තවල ඔබලා, අලි මුඩුක්කුවෙන් ගන්න පෝස්ටර් කඩදාසිවල අකුරු අඳින එක හරිම ජොලි වැඩේ.

මේ දවස්වල අපි හිටපු නේවාසිකාගාරයේ තිබුණු කැෆටේරියා එක කළේ හොඳ ජොලි මුදලාලි කෙනෙක්. නියම කට්ට පෙනුමක් තිබුණු හින්දා කොල්ලෝ පොරට කාඩ් එකක් ගහලා තිබුණා නරියා මුදලාලි කියලා.

නරියා මුදලාලි ගැනත් හොඳ හොඳ කතා සිහිවෙනවා ලියන්න. නමුත් මේ අද කතන්දරේ මුදලාලිගේ පුතා ගැනයි.

මුදලාලි කොල්ලාත් උදේ හවා හිටියේ අක්බාර් එකේ කැෆටේරියා එකේම තමයි. මුදලාලි තාත්තා එතන නැති වෙලාවට කැෂියර් වැඩේ කලේත් පුත්‍ර රත්නයයි.

පොර අනිවාර්යෙන්ම අපිට වඩා බාල එකෙක්. ඒත් ඉස්කොලේ යන පාටක් නම් පේන්න තිබුනේ නෑ. සමහර විට ඕලෙවල්වලින් ම ඉස්කෝලෙන් අස්වෙලා තාත්තාගේ බිස්නස් එක පුරුදු වෙන්න පටන් ගන්න ඇති. කොහොම වුනත් තාත්තා වගේ නෙමේ ටිකක් මෝඩ පාටක් තමයි කොල්ලාගේ මූණේ තිබුනණේ.

සමහර විට මේ බත් තම්බන රස්සාවට තිබුණු අකමැත්ත හින්දා ඇතිවුණු දුක මූණෙන් පිළිබිඹු වුණා වෙන්න ඇති.

ඔන්න එක දවසක් අපි මහා පන්ති වර්ජනයක් කරලා, පිකටින් කරලා, විශ්වවිද්‍යාලය පුරා පෙළපාලියක් ගිහින්, ගලහ හන්දියේ රැස්වීමක් තියලා අන්තිමේදී දවල්ට කන්න අක්බාර් එකට ආවා.

මුදලාලි හිටියේ නෑ. කැෂියර් එකේ හිටියේ පුත්‍රයා.

පොර හිටියේ මාර ජොලියෙන් බව පෙණුනා. අර මූණේ මෝඩ පාට පැත්ත පලාතේවත් නෑ.

පස්සේ තමයි අපිට වැඩේ තේරුණේ!

කවුන්ටරේ දෙපැත්තේ තියෙන සින්ක් දෙක ලඟ ලොකු නෝටිස් බෝඩ් දෙකේ මහා පෝස්ටර් දෙකක් ගහලා. දෙකේම තිබුණේ එකම සටන් පාඨය.



මේ ලිපියත් කියවන්න:
ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණයට විසඳුම පුද්ගලික විශ්වවිද්‍යාල නොවේ, මෙන්න මේක ය! දැවෙන ප්‍රශ්ණයකට මගෙන් පිදුරු ගොඩක්!
- Private money for higher education industry
https://rasikalogy.blogspot.com/2023/08/private-money-for-higher-education.html
- රසිකොලොජිස්ට්

(image: created using Bing AI image creater using DALL-E)

Sunday, 2 January 2022

කොළඹ කුලපති කේස් එක සහ විරෝධය පෑම ගැන මගේ ඩොලර් මිලියන් දෙක - Colombo University Protest December 2021


නොබෝදා පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධිලාභීන් සමහර දෙනෙකු විශ්වවිද්‍යාලයේ අලුතෙන් පත් කෙරුණු උපකුලපති මුරුත්තෙට්ටුවේ ආනන්දගෙන් උපාධි සහතිකය ලබාගැනීමට ප්‍රතික්ෂේප කරණ උපාධි ප්‍රධාන උත්සවේ වීඩියෝ දර්ශන නැරඹූ අය අතර ඒ පිළිබඳ දක්වන අදහස්වලින් සෑහෙන බෙදීමක් පෙනෙන්නට තිබේ.

මෙහිදී මා නිරීක්ෂණය කළ එක් කරුණක් නම් පොදුවේ අපට වටහාගත හැකි පරිදි මුරුත්තෙට්ටුවේ ආනන්ද නමැත්තා කිසිසේත් ම නුසුදුසු එම තනතුර සඳහා ඔහුව පත් කළ ජනාධිපති ගෝඨාභයට සහය දක්වන බයියන් පිරිස උපාධිධාරීන් විසින් කළ එම විරෝධය හෙළා දකින අතර සාමාන්‍යයෙන් ප්‍රගතිශීලී අදහස් දරන කිහිපදෙනෙකු ද විවිධ හේතූන් නිසා එම ක්‍රියාව වැරදි යැයි පැවසීමයි.

මා දන්නා එක් මිතුරෙකු ෆේස්බුක් අවකාශයේ සටහනක් තබමින් එසේ පවසා ඇත්තේ, සමහර විට ඔහුගේ විශ්වවිද්‍යාල සම්ප්‍රදාය පිළිබඳ ඇති ගෞරවය නිසා, සම්ප්‍රදාය කැඩීමෙන් සිදුවෙතැයි ඔහු සිතන අගෞරවය, නොඑසේ නම් උපාධි ප්‍රදානෝත්සවයේ දී විරෝධය පෑමෙන් විශ්වවිද්‍යාලයට සිදුවෙතැයි ඔහු සිතන අගෞරවය, එසේ විරෝධය දැක්වීමට වඩා වැදගත් යැයි සලකන නිසා යැයි මට සිතුණි.

අවුරුදු විසි දෙකකටත් වඩා දිගු කාලයක් තිස්සේ, කොළඹ විශ්වවිද්‍යාලය ද ඇතුළුව, විශ්වවිද්‍යාල රාශියක රස්තියාදු වී ඇති මගේ මේ පිළිබඳ අදහස ද කොහේ හෝ තැනක සටහන් කර තැබිය යුතු යැයි මට සිතුණි.

මගේ අවංක අදහස ඉතා කෙටියෙන් මුලින් ලිව්වොත්, උපාධිධාරීන් විසින් කරන ලද එම විරෝධය අඩංගු වීඩියෝ දෙක තුනක් නැරඹූ මට කිව හැක්කේ ඒ ඉතා සාමකාමී විරෝධය දැක්වීම මෙවැනි අවස්ථාවකට ඉතා උචිත බවයි.

ඊට අමතරව එවැනි විරෝධයක් කිරීමට සුදුසුම අවස්ථාව එය වූ නිසා එසේ නොකර සිටියා නම් සිදුවන්නේ සිදුවීමට නියමිතව තිබුණේ මීට වඩා මීට වඩා විශාල වරදක් සහ නොසලකා හැරීමක් බවයි.

විශ්වවිද්‍යාලයේ ගෞරවය කෙළෙසෙනවා නම් එය සිදු වූයේ පෙරකී විරෝධය නිසා නොවේ. එකී විරෝධයට බඳුන් වූ පුද්ගලයාව එම තනතුරට පත් කළ නිසා ය. එය දිගු කළහොත්, එම පුද්ගලයා එම තනතුරට පත් කළ පුද්ගලයාව, රටේ ජනාධිපතිවරයා ලෙස පත් කළ මොහොතේ, ඔහුට ඡන්දය දුන් පිරිස එකල නොදැන සිටියත්, අගෞරවය සිදුවීමේ මූලික පෙරනිමිත්ත සෑදුනි.

නුසුදුසු පුද්ගලයෙකුව තනතුරකට පත් කළ විට, එවැන්නන් නිසි පරිදි කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. එනිසා දැන හෝ නොදැන මෙම වරද, එනම් විශ්වවිද්‍යාලෙට අගෞරව කිරීම, මූලිකවම කර ඇත්තේ හැටනම ලක්ෂයක් වූ බයියන් පිරිසයි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද ගේ ද වරදක් නැත. මගේ මතකයට අනුව ඇත්තටම සිදුවූයේ දිගු කලක් තිස්සේ බයියෙකු වී සිටි මුරුත්තෙට්ටුවේ ආනන්ද එක්වරම ජනාධිපති, අගමැති ඇතුළු රොත්ත බුරුත්තම විවේචනය කරන්නට පටන් ගත් අතර ඔහුගේ කට වැසීමට පිරිකරක් ලෙස මෙම කුලපති තනතුර ප්‍රදානය කරන ලද බවයි. අල්ලසක් සේ පෙනුණත් එය දානයක් නිසා ප්‍රතික්ෂේප කිරීමට කරුණක් මුරුත්තෙට්ටුවේ ආනන්දට තිබෙන්නට නැත.

මෙම පත්වීම සිදු කළ අවස්ථාවේ දී (3 නොවැම්බර් 2021) මා පවසා සිටියේ මෙයයි
මගේ අත්දැකීම් අනුව නම් විශ්වවිද්‍යාලයක කුලපතිකම යනු පරිපාලනයට සෘජු සම්බන්ධතාවයක් නැති ceremonial තනතුරකි. මා ලංකාවේ විශ්වවිද්‍යාල දෙකකින් උපාධි ලබා වෙනත් විශ්වවිද්‍යාල දෙකක සේවය කර ඇති නමුත් ඉන් කිසිවක කුලපතිව සිටියේ කවුදැයි එකල දැන සිටියේ නැත. දැන ගැනීමට අවශ්‍යතාවක් ඇති වූයේද නැත. එනිසා යම් විශ්වවිද්‍යාලයක කුලපති ලෙස මිගෙට්ටුවත්තේ ගුණානන්ද සිටිය ද, මුරුත්තෙට්ටුවේ ආනන්ද සිටිය ද, කිරිබත්ගොඩ ඤාණානන්ද සිටිය ද ලොකු වෙනසක් නැත. ඇති එකම වෙනස නම්, ආනන්ද හෝ ඤාණානන්ද ඔය තනතුරට පත් කළ විට අපිට පොඩි ආතල් එකක් ගැනීමට හැකිවීමයි.
නමුත් මෙවැනි තනතුරක් සඳහා පත් කළ යුත්තේ අඩුවශයෙන් උපාධි මට්ටමේ හෝ සුදුසුකම්ක් සපුරා ඇති පුද්ගලයෙකු බව අමුතුවෙන් කිව යුතු නැත.

උපාධි ප්‍රදානෝත්සවයේදී නුසුදුසු කුලපති අතින් තම උපාධි සංකේතය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් විරෝධය පෑ උපාධිධාරීන් පිරිසටත්, එම විරෝධය එලෙස සංවිධානය කළ පිරිසටත් මගේ ප්‍රණාමය පුද කරමි.

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ ලිපිය ලියුවේ 2021 දෙසැම්බර් 21 වෙනිදා ය. හේතු කිහිපයක් නිසා එය නිසි පරිදි පළ කිරීම අතපසු විය. දිනය වෙනස් නොකර එලෙසම පළ කරමි.

(image: https://www.bbc.com/tamil/sri_lanka/2016/02/160201_mahinda_vihara)

Wednesday, 30 September 2020

අපේ කාලේ කතන්දර - ටැලිගිරැං එක

University of Peradeniya












මේ මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම ලබන අවධියේ වූ සිදුවීමකි.

දිගු කලක් තිස්සේ ඇදී ගිය විරෝධතා ව්‍යාපාරයක් අවසානයේ ශිෂ්‍ය සංගමයේ නායකත්වය යටතේ ශිෂ්‍යයින් කිහිපදෙනෙක් මාරාන්තික උපවාසයක් ඇරඹූහ. විශ්වවිද්‍යාල පරිපාලනය විසින් වහාම විශ්වවිද්‍යාලය වසා දමන ලද අතර ශිෂ්‍යයින් සඳහා විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් ලෙස නම් කර සියලු දෙනාටම ඉවත් වන ලෙස අණ කරන ලදී.

මාරාන්තික උපවාසය සහ විරෝධතා ව්‍යාපාරය නොනවත්වා පවත්වාගෙන යාමටත්, විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් නොවීමටත් පොදු එකඟතාවක් ශිෂ්‍යයන් තුළ ඇතිවිය.

දෙවන වසරේ ඉගෙනුම ලබන පිරිමි සිසුන්ට විශ්වවිද්‍යාලය තුල නවාතැන් පහසුකම් නොලැබෙන නිසා ඒ වන විට මා ඇතුළු පිරිසක් පදිංචිව සිටියේ ඊරියගම බෝඩිමක ය. එනිසා විශ්වවිද්‍යාල භූමියෙන් පිටත්ව යාම යනු අපට අදාල වූ කරුණක් නොවී ය.

කෙසේ වුවද, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමූ බව සහ සිසුන්ට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් බවට නම් කළ බව ගුවන් විදුලියෙන් සහ පුවත්පත් හරහා නිවසට ආරංචි වෙන බව දන්නා නිසා, මා දිගටම බෝඩිමේ නතර වී සිටීමට අදහස් කරන බව නිවසට දැන්විය යුතුවිය.

මා කළේ, පේරාදෙණිය තැපැල් කාර්යාලයට ගොස් තාත්තාට විදුලි පණිවිඩයක් යැවීමයි.

"දිගටම බෝඩිමේ ඉන්නවා. සති දෙකකින් ගෙදර එන්නම්.
-රසික"

මා සමඟම එහි ගිය, එකම බෝඩිමේ සිටි මගේ මිතුරෙකු ද තම පියාට විදුලි පණිවිඩයක් යැවීය.

දින දෙකක් ගත විය.

විශ්වවිද්‍යාල භූමියේ උපවාසය පැවැත්වෙන ස්ථානය අසල දවස පුරාම රැඳී සිට සවස බෝඩිමට ගිය අප දුටුවේ මිතුරාගේ පියා එහි පැමිණ සිටින බවයි.

"ඇයි තාත්තා ආවේ?" මිතුරා විමසීය.

"අර ට්‍රෙලිග්‍රෑම් එක ලැබුනහම නෑවිත් පුලුවන්ද?" පියා ද ප්‍රශ්නයකින් ම උත්තර දුන්නේ ය "මං හිතුව උඹට ලොකු කරදරයක් වෙලා ඇති ය කියලා!".

මොහොතකින් අප දැනගත් පරිදි අප මිතුරා තම පියාට යැවූ විදුලි පණිවිඩයේ ලියා ඇත්තේ මෙලෙස ය.

"විශ්වවිද්‍යාලය වසා දැම්මා. මට කිසි කරදරයක් නැහැ.
-රෝහණ"

-රසික සූරියආරච්චි

(image: https://arts.pdn.ac.lk/)

Tuesday, 7 May 2019

ජනතා විමුක්ති පෙරමුණ, හෙන්රි වර්ණකුලසූරිය, ලයනල් බෝපගේ සහ බලහත්කාරෙන් සමාජවාදය ගොඩ නැගීම! - Socialism "by force"


මා මිත්‍ර හෙන්රි වර්ණකුලසූරිය විසින් රචනා කරන ලද නාදුනන තුවක්කුකරුවාගේ කතාව නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී එහි ප්‍රධාන දේශකයා වන ලයනල් බෝපගේ විසින් පවත්වන්නට යන කතාවේ මාතෘකාව ලෙස දැක්වෙන්නේ මේ ලිපියේ මාතෘකාවේ කොටසක් ලෙස මා යොදාගෙන ඇති "බලහත්කාරයෙන් සමාජවාදය ගොඩ නැගිය හැකිද?" යන්නයි.

ඒ මාතෘකාව දුටු විට ම මගේ සිත අතීතයට ඇදී ගියේ ය. එයට හේතුව නම් අදින් වසර තිස් පහකට පෙර මා ලියූ දීර්ඝ කවියකින් මා ද මේ කරුණ ම මතු කර තිබීමයි.

මා එදා ලියූ ඒ කවිය ද එයට හේතු වූ, පසුබිම් වූ කාරණා ද මීට වසර තුනකට පමණ පෙර රසිකොලොජි බ්ලොගයේ ලිපියක් ලෙස පළ වුණු අතර, වෙනත් මාතෘකාවක් යටතේ රාවය පුවත් සඟරාව සඳහා මා ලියූ ලිපියක ද ඇතුළත් විය. ඒ රාවය ලිපිය ද කොටස් කිහිපයකින් යුක්තව රසිකොලොජියේ ද පළ කළෙමි.

අද මා ලියන මේ සටහන ඒ පෙර ලියූ ලිපිවල සඳහන් වූ කාරණා, වඩාත් විස්තරාත්මකව, ලයනල් බෝපගේ ගේ යෝජිත දේශනයේ මාතෘකාවට අදාළ පරිදි කෙරෙන නැවත පෙළගැස්වීමකි.

මේ සටහනට සම්බන්ධ මගේ පෙර කී කවියේ අවසාන පද කීපය මෙසේය.

අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායන තෙක් සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කළ යුතුය


මගේ පටු කාව්‍යමය භාෂාවෙන් හිරු උදා කිරීම සහ ලෝකය එළිය කිරීම යන්නෙන් මා එදා අදහස් කළේ සමාජවාදය ස්ථාපනය කර අසාධාරණය තුරන් කිරීම බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම මගේ කවියෙන් මා කළේ අද ලයනල් බෝපගේ අසන ආකාරයෙන් ප්‍රශ්නයක් නැගීම නොවේ. සමාජ අසාධාරණයේ ගනඳුර බිඳින්නට පැහැදිලි විසඳුමක් ලෙස බලහත්කාරෙන් හෝ හිරු පිබිදවීම ඉදිරිපත් කිරීමයි. එනම්, බලහත්කාරෙන් සමාජවාදය උදා කළ යුතුය කියා කීමයි!

දැන්, මගේ මේ කවිය, හෙන්රි වර්ණකුලසූරිය ගේ පොත් එළිදැක්වීමේ උත්සවයේදී ලයනල් බෝපගේ විසින් කරන්නට යන කතාවේ මාතෘකාවට සම්බන්ධ වන්නේ කෙසේද විස්තර කළ යුතුය.

ලයනල් බෝපගේ යනු 1977 න් පසුව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සංවිධානය වූ කාලයේ සිටම එහි ප්‍රධාන ලේකම් විය. මා ඔහු දැක ඇත්තේ දෙවරකි. ඒ මුල්ම අවස්ථාව එකල ජාතික ප්‍රශ්නය ලෙස හැඳින්වුණු ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව තම පක්ෂයේ ප්‍රතිපත්ති පැහැදිලි කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දී පැවැත්වූ දේශනයක දී ය.

ඉන් වසර එකහමාරකට පමණ පසුව රටේ ඇතිකළ ජූලි කලබලය දඩමීමා කරගෙන, එවකට පැවති යූඇම්පී රජය විසින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන ලදී. එයින් සුළු කලකට පසුව ලයනල් බෝපගේ පක්ෂයේ ප්‍රධාන තනතුරෙන් ඉවත් වූ බව ආරංචි විය. එයට හේතුව වූයේ නන්දසිරි විජේවීර සහ අනෙකුත් පක්ෂ නායකයින් විසින්, සිංහල ජාතිවාදීන්ගේ කැමැත්ත දිනා ගැනීම පිණිස අතිශය අවස්ථාවාදී ලෙස ජාතික ප්‍රශ්නය පිළිබඳ පක්ෂයේ ප්‍රතිපත්තිය වෙනස් කර දේශප්‍රේමය නම් බැටළුහමකින් වසා ජාතිවාදයේ කුෂ්ඨ රෝගය සාදා ගැනීම බව මගේ අදහසයි.

තවත් කලකට පසු ඕස්ට්රේලියාවට සංක්‍රමණය කළ ලයනල් බෝපගේ එහි ෆෙඩරල් රජයේ ආයතනයක මැවිසුරුවකු ලෙස කලක් සේවය කර විශ්‍රාම ලබා දැන් මෙල්බන් නගරයේ ජීවත් වෙයි. මා දෙවන වරට ඔහු දුටුවේ සහ මුල්වරට වචන කිහිපයක් හෝ කතා කළේ පසුගිය වසරේ දිනක මා සම්බන්ධ සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතිය නම් නාට්‍ය කණ්ඩායම සමග මෙල්බර්න් නගරයට ගිය අවස්ථාවේ දී ය.

බලහත්කාරෙන් හෝ හිරු පුබුදා ලෝකය එළිය කිරීම පිළිබඳ පෙර කී කවිය මා ලියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ කලා කවයේ පළ කළේ 1984 මැද භාගයේ දී ය. ඒ සමගම විශ්වවිද්‍යාලය කුරුටු ගී සම්ප්‍රදාය රකිමින්, ඇන්ඩ්‍රීස් නෙල් ශාලාවේ ඉහළ මාලයේ හාඩ්බෝඩ් පුවරුවක ද එය හුණු කූරකින් ලියා තැබුවෙමි.

ඊළඟ වසරේ දිනක මේ කාමරයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අයෙකු විසින් (මේ ආනන්ද ඉඩමේගම විය හැක), ඔහු පිළිගන්නා ජනතා විමුක්ති පෙරමුණේ මතයට සාපේක්ෂව, මේ කවියේ අඩංගු අදහස දේශපාලනිකව සාවද්‍ය බව කියා ඇත. එහි දී ඇතිවුණු සාකච්ඡාවේ දී කවියේ නිර්මාපකයා පිළිබඳව විපරම් කෙරී ඇති අතර, ඒ මා බව දැන, කවියේ අදහස සම්බන්ධයෙන් මා සමග සාකච්ඡා කළ යුතු බවට යෝජනා වී ඇත.

මා එම යෝජනාවට කැමැත්ත පළ කළ පසු, ජනතා විමුක්ති පෙරමුණ විසින් මට නිවැරදි දේශපාලන චින්තනය වටහා දී, හැකි නම් මට (පසු කලෙක මා දැන ගත් වචනයකින් කියනවා නම්) කොක්ක ගැසීම සඳහා එවන ලද්දේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු තනතුරෙන් පසුව, ඒ වන විට පූර්ණකාලීනව පක්ෂ දේශපාලනයේ නිරතුව සිටි උපාලි ජයවීරව යි.

එදා මගේ කාමරයේ දී, දෙපැයක් පමණ කාලයක් තිස්සේ උපාලි ජයවීර උත්සාහ කළේ ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කිරීමටත්, උතුරේ තරුණ කණ්ඩායම් විසින් අරඹා තිබූ සන්නද්ධ අරගලය ජවිපෙ මතයට අනුව වැරදි එකක් වන්නේ ඇයි දැයි කීමටත්, බලහත්කාරයෙන් හිරු පුබුදුවාලිය නොහැකිය, එසේ කිරීම වැරදිය, එනිසා මා විසින් පෙර කී කවියෙන් මතු කරන අදහස ප්‍රතිගාමීය යන කාරණා මට කියා පැහැදිලි කරදීමටත් ය.

ඒ නිෂ්ඵල උත්සාහය අවසානයේ ඔහු පිටත් වී ගියේ නැවත දිනක හමු වී කතා කරමු යැයි පවසමින් වුව ද, මට උපාලි ජයවීරව යළි කිසි දිනක මුණ ගැසුණේ නැත. මා වැනි ගල් ඉබ්බන් කෙසේ වුවද, උපාලි ජයවීරලාගේ ජාතිවාදී කයිවාරු ඇමට අසුවන ඕනෑ තරම් සාලයන් සහ සූඩයන් ඒ මුල් කාලයේ වුව ද සිටින්නට ඇත.

එහි අන්තර්ගත අදහස නිසාම, මගේ කවියේ පෙර සඳහන් කළ අවසාන පද හතරට මා කෙතරම් ඇලුම් කළේ ද යත් මගේ සංස්කරණයෙන් මුද්‍රණය වුණු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සඟරාවක කතුවැකියේ අවසානයේ මම ඒ සිව්පදය ඇතුළත් කළෙමි. ඒ සඟරාව මුද්‍රණය කෙරුණේ එවකට පැවති යූඇම්පී ආණ්ඩුව විසින් පේරාදෙණියේ පද්මසිරි අබේසේකර සහ කොළඹ රෝහණ රත්නායක යන සහෝදර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දෙදෙනා වෙඩි තබා මරා දමා වසරක් ගතවීම සනිටුහන් කිරීමට 1985 ජූනි මාසයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ අප විසින් දියත් කළ වැඩ සටහනේ එක් අංගයක් ලෙස බව ද සඳහන් කළ යුතු ය.

මේ අනුස්මරණ රැස්වීම සඳහා විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය නියෝජනය කරමින් උපකුලපති පානබොක්කේ ද, වෙනත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින් නියෝජනය කරමින් ශිෂ්‍ය නියෝජිතයින් ද සහභාගී වූහ. ඒ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ථාපිත වී තිබුණු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු ද වූ බව මගේ මතකයයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් තහනම් කර තිබුණු තත්වය යටතේ වුව ද, ඒ සමයේ දී, සෑම විශ්වවිද්‍යාලයකම පාහේ ශිෂ්‍යයින් අතර නායකත්වය හිමිකරගෙන සිටියේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය විසිනි. අනෙකුත් දේශපාලන මතවාද දරණ ශිෂ්‍යයින් අනුගමනය කළේ නිහඬව සිටීමේ ප්‍රතිපත්තියකි. තත්වය වෙනස් වූයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් සෑහෙන ප්‍රමාණයකට බලය රඳවා ගෙන සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ දී ය. මෙනිසා, ජනතා විමුක්ති පෙරමුණ සහ එහි එවකට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධානය වූ සමාජවාදී ශිෂ්‍ය සංගමය තම පරම හතුරා ලෙස සැලකූවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයයි. එය පසු කලක, ජීවිත සෑහෙන සංඛ්‍යාවක් අකාලයේ විනාශ කළ නයි-මුගටි හටනක් විය.

ඒ මිනීමරු හතුරුකමේ මුල් අවධිය එකල ප්‍රදර්ශනය වුණු අවස්ථා දෙකක් පිළිබඳව මට පුද්ගලික අත්දැකීම් ඇත.

ඉන් එක් අවස්ථාවක් නම්, කොළඹ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් කාර්යාලයේ දී පැවති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ (අවිශිබම) රැස්වීමකි. මේ රැස්වීමේ මූලාසනය දැරුවේ එවන විට දෙවසරක් තිස්සේ තම ශිෂ්‍යභාවය තහනම් කිරීමකට ලක් වී සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය රංජිතන් ගුණරත්නම් විසින් වන අතර රැස්වීමේ වාර්තාව සටහන් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එම රැස්වීමට සහභාගී වී සිටි එකම නියෝජිතයා වූ මා විසිනි. කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ එවකට නායක දයා පතිරණ අමතරව, ඒ රැස්වීමට සහභාගී වුණු අය අතරින් මගේ මතකයේ රැඳී ඇති දෙදෙනෙකු වන්නේ පොදු ශිෂ්‍යයන් නියෝජනය කළා යැයි පැවසුණු තඹරලුවේ ජිනරත්න සහ විද්‍යා හෝ නීති පීඨය නියෝජනය කළා යැයි පැවසුණු සරත් එදිරිසිංහ ය. ජවිපෙ අනුගාමිකයින් වූ ඔවුන් දෙදෙනා එහි පැමිණි සිටියේ කවර අරමුණින් ද යන්න පැහැදිලි වූයේ ඔවුන් කතා කරද්දී ය. එහි දී දීර්ඝ මෙන්ම වි’ෂ පිරි කරුණු දැක්වීම් සමගින් ඔවුන් ඉල්ලා සිටියේ, අධ්‍යයන කටයුතු නිසි පරිදි නොකිරීම නිසා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යභාවය අහෝසි වී සිටි දයා පතිරණට, අවිශිබම රැස්වීමට සහභාගිවීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බැවින් ඔහුව මේ සභාවෙන් නෙරපා හරින ලෙස ය. ඔහුට පක්‍ෂව කරුණු දැක්වීමට කිසිවෙකු නොසිටි අතර, බහුතර අදහස පිළිගත් දයා පතිරණ සභාවෙන් නික්මී යන දර්ශනය වසර තිස් හතරකට පසුවත් මගේ මතකයේ හොඳින් රැඳී ඇත.

ස්වාධීන ශිෂ්‍ය සංගමය කෙරෙහි ජවිපෙ ශිෂ්‍ය සංගමයේ පැවති වෛරය පැහැදිලිවම දෘශ්‍යමාන වූ මා දුටු දෙවන අවස්ථාව නම් ඒ වසරේ අවසාන කාර්තුවේ දී, ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ සහ සාමාජික ධර්මසිරි මහනුවර නගරයේ පැවැත්වුණු කුමක් දෝ දේශපාලන සාකච්ඡාවකට සහභාගීවීම සඳහා පැමිණ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අක්බාර් ශාලාවේ රැයක් ගත කළ අවස්ථාවේ, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පිරිස් අතිශය දරුණු ලෙස කලබල වූ ආකාරයයි. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දේශපාලනය අති ධාවනකාරී බිහිසුණු එකක් බව ද, එය ශිෂ්‍ය ව්‍යාපාරයකට නොගැලපෙන බව ද, මේ ජවිපෙ හිතවාදීන් ගේ මතය විය. දයා පතිරණ සහ ධර්මසිරි දෙදෙනා එක් රැයක් නවාතැන් ගත් අක්බාර් ශාලාවේ කාමරය හිමි මා මිත්‍ර ස්ටැන්ලි මොරේමඩට ශිෂ්‍ය ක්‍ර්‍රියාකාරී කමිටු රැස්වීමක දී අයුතු ලෙස චෝදනා නැගීමට ද ජයශ්‍රී සහ නිෂ්මි ඇතුළු ජවිපෙ හිතවාදී සිසුන් කටයුතු කළහ. ඔවුන් එලෙස වාලධිය ගිනි ගත්තා සේ කටයුතු කිරීමට හේතුව වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මෙන් තමන්ට තර්ජනයක් වෙන ආකාරයේ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායමක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද බිහිවෙතැයි යන බිය නිසා බව එදා හොඳින් පැහැදිලි විය.

මද කලකට පසු මා ඇතුළු කණ්ඩායමේ විශ්වවිද්‍යාල පාඨමාලා අවසාන විය. අපි විසිරී ගොස් විවිධ රැකියවන්හි යෙදෙමින් අපේ කුසලතා ප්‍රගුණ කරන්නට පටන් ගත්තෙමු. විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු කළ ද, පක්‍ෂ දේශපාලනයකට කිසිදු සම්බන්ධතාවක් අපේ නොතිබුණු නිසා, රටේ සහ ලෝකයේ දේශපාලනය පිළිබඳව අවබෝධයෙන් සිටීම, දේශපාලන රැළියක් නැරඹීමට යෑම, සඟරාවක් කියවීම හැර අපේ වෙනත් දේශපාලන ක්‍රියාකාරකමක් තිබුණේ නැත.

වසරකට පමණ පසු දිනයක උදෑසන දිවයින පුවත්පතේ පළ වී තිබුණු ප්‍රවෘත්තියකින් මා කැළඹී ගියේ ය. කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණව කුරිරු ලෙස පිහියකින් කපා මරා දමා තිබුණි. ඔහු සමග සිටි සොමසිරි නම් තවත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු ද බරපතල තුවාල ලබා සිටියේ ය. සාකච්ඡාවක් සඳහා කළ ආරාධනයකට මුවා වී දයා පතිරණව සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් එලෙස මරා දමා ඇත්තේ කලින් සමාජවාදී ශිෂ්‍ය සංගමය නමින් හැඳින්වුණු, පසුව අවස්ථාවාදී දේශපාලන අවශ්‍යතා නිසා දේශප්‍රේමී ශිෂ්‍ය සංගමය ලෙස නැවත බෙෘතීස්ම ලබා සිටි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් බව පසුව හෙළි වූ අතර, ඒ ක්‍රියාන්විතයට, මා පෙර නම සඳහන් කළ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටි ජවිපෙ හිතවාදියෙකු ද සක්‍රීයව සහභාගී වූ බව ද පැවසුනි.

දයා පතිරණගේ මරණයෙන් සති දෙකකට පමණ පසු වෙනත් කටයුත්තකට නගරයට ගිය මා, හවස් වරුවේ කොළඹ විශ්වවිද්‍යාල භූමියෙට ගොඩ වැදුණෙමි. මුළු විශ්වවිද්‍යාලය ම ස්වාධීන ශිෂ්‍ය සංගමයේ බලයට නතුව තිබුණු අතර, ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ශිෂ්‍ය අංශය වූ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයට විරුද්ධ පෝස්ටර් යනාදියෙන් විශ්වවිද්‍යාල භූමිය පිරී තිබුණි.

ඒ අතර කැපී පෙනෙන ලෙස ගොඩ නංවා තිබුණු කටවුට් වර්ගයේ පුවරුවක විශාල අකුරෙන් ලිය වී තිබුණු පහත කවිය දැක මා විමතියට පත් වීමි.

අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායන තෙක් සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කළ යුතුය


ඒ මා ඊට වසර ගණනට පෙර ලියූ, එහි දැක්වෙන දේශපාලනය ප්‍රතිගාමී බවට ජනතා විමුක්ති පෙරමුණෙන් අවවාද ලැබීමට හේතුභූත වූ, මගේ කවියයි.

ඒ ස්ථානයේ කාටූන් සහිත පෝස්ටරයක් අඳිමින් සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මිතුරෙකුවන දර්ශක හේරත්ට මගේ ඒ කවියේ ඉතිහාසය විස්තර කරනු ඇසී මා හමුවට ආ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකත්වය බාරගෙන සිටි ධර්මසිරි, මගේ සිතේ ඒ වන විශාල කුතුහලයක් ඇති කර තිබුණු ප්‍රශ්නයට පිළිතුර ලබා දුන්නේ ය.

ඊට වසර දෙකකත් ඉහත මා ලියූු ඒ කවිය කොළඹ විශ්වවිද්‍යාලයේ භාවිතයට පැමිණ ඇත්තේ, එජාප රජය විසින් පද්මසිරි අබේසේකර සහ රෝහණ රත්නායක ශිෂ්‍යයින් ඝාතනය කිරීමේ සංවත්සරය සනිටුහන් කිරීමට මගේ සංස්කාරත්වයෙන් ප්‍රකාශනය වුණු සමරු කලාපයෙනි. මගේ කවියේ අදහසට දයා පතිරණ ඇතුළු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් ද ඇලුම් කළ නිසා එය පසුගිය කාලය පුරාම තම ප්‍රචාරක පෝස්ටර් සඳහා යොදා ගත් බව එදා ධර්මසිරි මා සමග පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ සහ ස්වාධීන ශිෂ්‍ය සංගමය අතර ප්‍රකාශිත දේශපාලනමය වෙනස මට එමගින් පැහැදිලි විය.

ස්වාධීනයෝ බලහත්කාරෙන් වුව හිරු පිබිදිය යුතු යැයි සිතූහ.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය එලෙස බලහත්කාරෙන් හිරු පිබිදීම ප්‍රතිගාමී අදහසක් යැයි බැහැර කරන්නන් බව (උපාලි ජයවීරගේ සාකච්ඡාව නිසා) පෙනුණි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් අරඹන ලද දීර්ඝකාලීන ඝාතන රැසක ආරම්භය සනිටුහන් කරමින් දයා පතිරණ මරා දැමීම සිදුවූයේ 1986 දෙසැම්බරයේ දී ය.

ඉන් වසර එකහමාරකට පසුව, 1987 ජූලි මාසයේ දී අතසන් කෙරුණු ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම සහ ඉන්දීයානු සාම සාධක හමුදාවේ ආගමනය දඩමීමා කරගෙන ජනතා විමුක්ති පෙරමුණ විසින් පෙර කී දේශප්‍රේමී ශිෂ්‍ය සංවිධානය මෙන් ඔවුන් ඒ වන විට ගොඩනගාගෙන සිටි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සහ වෙනත් නොයෙකුත් බලකායන් හරහා රට පුරා ත්‍රස්තවාදී කටයුතු ඇරඹූහ. මූලිකව ඔවුන්ගේ විරෝධය යොමු කෙරුණේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා රජය විසින් අනුගමනය කරමින් තිබූ වැඩ පිළිවෙළට වුව ද, ජනතා විමුක්ති පෙරමුණේ අවසාන අරමුණ වූයේ ත්‍රස්තවාදය හරහා රට අකර්මණ්‍ය කර රාජ්‍ය බලය ඩැහැ ගැනීම බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. එනම්, කාව්‍යමය භාෂාවෙන් කියතොත් ඔවුන්ගේ ඒ වෑයම වූයේ බලහත්කාරෙන් හිරු පිබිඳවීමයි.

ජනතා විමුක්ති පෙරමුණේ ඒ ක්‍රියාන්විතය ආරම්භයත් සමගම, තම නායකයා වූ දයා පතිරණ මරා දැමීමේ පලිය ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෝ ද රජයේ බලවේග හා එක්ව විවිධ ආයුධ සන්නද්ධ හිංසාකාරී කණ්ඩායම් සාදා ඒ හරහා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකයින් කොටු කර ගැනීමට ද, ඒ පුද්ගලයින් සඳහා වධකාගාර පවත්වාගෙන යාමට ද, අවසානයේ ඔවුන් ඝාතනය කිරීමට ද පෙළඹුණහ. ජනතා විමුක්ති පෙරමුණ මගින් ඇරඹූ බලහත්කාරෙන් හිරු පිබිදවීමේ විප්ලවයට ස්වාධීනයින් විරුද්ධ වූයේ එසේ ය.

වසර ගණනාවකට ඉහත කාලයක කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සහ ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය සඳහා මතවාදීව ඇරඹුණු මේ දෙපිරිසේ අරගලය, බාහු බලය, පුටු කකුල්, කඩු කිනිසි, ගල්කටස්, වධකාගාර සහ තුවක්කු හරා ඇදී ගොස් අවිගත්තන් අවියෙන් ම නැසී ගියේ එසේ ය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කර, රජයේ සහ වෙනත් කණ්ඩායම්වල සහභාගීත්වයෙන්, තරුණ ජීවිත හැට දහසකට වඩා විනාශ කර දමමින්, දෙවසරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ලංකාවේ පැවති භීම සමය පසුබිම් කරගෙන හෙන්රි වර්ණකුලසූරිය විසින් රචනා කරන ලද නාදුනන තුවක්කුකරුවාගේ කතාව නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී එහි ප්‍රධාන දේශකයා වන ලයනල් බෝපගේ විසින් පවත්වන්නට යන බලහත්කාරයෙන් සමාජවාදය ගොඩ නැගිය හැකිද යන දේශනය පිළිබඳ මගේ උනන්දුවට හේතුව එසේ ය.

-රසික සූරියආරච්චි (2019)

Saturday, 12 May 2018

මැයි එකොළහ කළුවර රැයෙන් පසු කතාව - Aftermath of racial violence at Peradeniya University on 11 May 1983


මෙම ලිපියේ මුල් කොටසින් මා ඔබට කියූ කතාවේ සාරාංශය මෙසේ ය.

සුන්දර පේරාදෙණිය සරසවිය අසුන්දර කරමින්, බුද්ධිමතුන් පරයා මන්ද බුද්ධික ලා ද, සිංහයින් පරයා සිඟාලයින් ද රජ වූ 1983 මැයි 11 දින රාති‍්‍රයේ දී, ඉන් දෙමසකට පසු එළැඹීමට නියමිත කූප‍්‍රකට කළු ජූලියට පුරෝධාවකයක් සේ වෙමින්, සිංහල සිසුන් පිරිසක් විසින් දෙමළ සිසුන් පිරිසකට පහර දුන් බව සහ තම ආරක්‍ෂාව පතා දෙමළ සිසුන් ගම් බිම් කරා ගිය බවත් ය. මේ තිරශ්චීන සිදුවීම පිළිබඳව පසුව එළිදරව් වුණු කරුණු කිහිපයක් අද ඔබ හමුවේ දැක්වීමට මම අදහස් කරමි.

මේ දිනවල දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් වන අපට විශ්වවිද්‍යාලය තුළ නේවාසික පහසුකම නොලැබුණු නිසා අප නැවතී සිටියේ ඊරියගම නිවෙසකය. පසු දා, එනම් මැයි 12 දා, උදේ වරුවේ සුපුරුදු පරිදි විශ්වවිද්‍යාලය කරා පැමිණි අපට පෙර දින රාතී‍්‍ර සිදුවීම මාලාව සහ උද්ගත වී ඇති තත්වය සැකෙවින් දැන ගැනීමට ලැබුණි. ඉංජිනේරු පීඨයේ දෙමළ සිසුන් විශාල ප‍්‍රමාණයක් නිවෙස් බලා පිටත්ව ගොස් හෝ පිටත්ව යමින් සිටියහ.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ දූරදර්ශී නායකත්වය යටතේ වහා රැස් වූ ශිෂ්‍යයෝ, විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂාකාරී තත්වයක් උදාවී, තම සහෝදර දෙමළ සිසුන් ආපසු පැමිණෙන තුරු සියලූ අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටීමට තීරණය කළහ. අපට සති තුනක පමණ අනියම් නිවාඩුවක් ලැබුණි. මේ කාලයේ දී, අපේ ආචාර්ය මණ්ඩලයේ ද ආශිර්වාදය මේ තීරණයට ලැබුණු බව සඳහන් කළ යුතු ය.

එය එසේ වූවද, විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන්, විශේෂයෙන් ම මැයි 11 දින, ඊට පෙර හා පසු දින කිහිපය තුළ කි‍්‍රයාකර ඇත්තේ මීට හාත්පසින්ම වෙනස් ආකාරයකට බව මේ සිද්ධින් ඇසින් දුටු සාක්‍ෂිවලට අනුව පැහැදිලි වේ. දෙමළ සිසුන් ට පහර දීම එක්තරා අහඹු සිදුවීමක් නොව යම් මට්ටමක දී සැලසුම් කර මනා ලෙස මුදාහරින ලද්දක් බව ද ඔවුන් ඒ පහරදීම් සැලසුම් හෝ පහරදීම් පිළිබඳව හෝ කලින් දැනුවත්ව සිට ඇති බවට ද සැක ඇතිවේ. මුල් දිනයේ පහර දීමෙන් නොනැවතී, මැයි 12 සහ 13 දෙදින රාතී‍්‍ර කාලවල දී ද විශ්වවිද්‍යාලයෙන් බැහැර නොවී සිටි දෙමළ උපදේශකවරුන් කිහිප දෙනෙකුට පහර දීමට ද, මුල් දිනයේ පහරදීම් මෙහෙය වූ මැර සිසු නායකයින් ට ඉඩ ලැබුණේ ද මේ වගකිව යුතු ආචාර්යවරුන් ගේ කි‍්‍රයාකාරකම් හෝ කි‍්‍රයාවිරහිතභාවය නිසා ය.

මගේ මේ සටහනේ ඇතුළත් සිද්ධීන් පිළිබඳ විස්තර සඳහා පාදක වන්නේ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ (යාපනය) සංගමය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති විවිධ වාර්තා ය.

මැයි 11 රෑ පහරදීම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිල්ඩා ඔබේසේකර ශාලාවේ ද, ජේම්ස් පීරිස් ශාලාවේ ද, මාර්ස් ශාලාවේ ද එකම කාල පරාසයක දී ඇරඹිණ. හිල්ඩා ශාලාවේ දී මුලින්ම පහර දීමට ලක්වූවේ බාලසූරියන් නම් ඉංජිනේරු පීඨ පළමු වසරේ සිසුවෙකි. යකඩ පයිප්ප කැබලි සහ පුටු කකුල් වලින් සන්නද්ධ වූ සිංහල මැර සිසු පිරිසක් එදින රාති‍්‍රයේ ඔහු සොයා පැමිණියහ. පසුව ඔහුට පවසන ලද පරිදි ඔහුට විරුද්ධව තිබූ චෝදනාව වූයේ දෙමළ භාෂාවෙන් මුදි‍්‍රත විවිධ පොත් පති‍්‍රකා ඔහුට තැපෑලෙන් පැමිණීමයි. එනිසාම ඔහු එල්.ටී.ටී.ඊ. සැකකරුවෙක් විය. විශේෂයෙන්ම හිල්ඩා ඔබේසේකර ශාලාවේ එවකට ශාලාධිපති ධූරය දැරූ ආචාර්යවරයාට නම්, ඒ එක් සඟරාවක මුල් පිටුව සැරසූ චිත‍්‍රය ම බාලසූරියන් ගේ ත‍්‍රස්තවාදීකම ගැන තීරණාත්මක සාධකයක් විය. මෙම චිත‍්‍රය වනාහී අන් කිසිවක් නොව එවකට සාමය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රචාරක කටයුතු වලදී ජාත්‍යයන්තර ක්‍ෂමා සංවිධානය පවා භාවිතා කළ, කූඩුවක සිර කළ පරවියෙකු ගේ චිත‍්‍රයයි. කූඩුව තුළ හෝ පරවියාට ඉගිලෙන්නට නොහැකිවන ලෙස උගේ පාද යදමකින් විශාල යකඩ බෝලයකට සවිකර තිබේ. බාලසූරියන් මේ මුල් පිටුව සහිත සඟරාවේ සම සංස්කාරකයෙකු විය. මෙයට අමතරව ඒ වන විට කවියකු ලෙස ද තරමක ප‍්‍රසිද්ධියක් ලබා සිටි බාලසූරියන්, මේ ලිපි ලේඛන නිසා ම කොටියෙකු බවට පත්විය. ඒ අපේ තාත්තලා ගේ කාලයේ ඕනැම නිදහස් සමාජ සංශෝධන මතධාරියෙකු සමසමාජ කාරයෙකු ද, අපේ කාලයේ එවැන්නෙකු ජේ.වී.පී කාරයෙකු වූවා සේමය.

මෙහි උත්ප‍්‍රාසජනක සත්‍යය නම්, එවකට එල්.ටී.ටී.ඊ. යනාදී සන්නද්ධ සංවිධාන අනුගමනය කළ කි‍්‍රයාපටිපාටියට ප‍්‍රතිවිරුද්ධ වාමාංශික අදහස් දැරූ බාලසූරියන්, පසුව ජූලි කලබල වලින් පසු සිය ඉගෙනීම් කටයුතු තාවකාලිකව නැවතුණු කාලයේ දී පවා එකතු වූයේ වාමංශික දේශපාලනමය සංවිධානයකට වීමයි.

මැර සිසු නායකයින් සහ ඔවුන් ගේ උසි ගැන්වීමට අවනතවූ කණ්ඩායම පුටු කකුල් යනාදියෙන් බාලසූරියන් ට සෑහෙන වෙලාවක් පහර දුන් පසු, ඔහු වෙත පැමිණි ශාලාධිපති ඔහුව කාර්යාලයට රැගෙන ගොස් ඇත. බාලසූරියන් ට තැපෑලෙන් පැමිණි සහ ඔහුගේ කාමරයේ තිබූ පති‍්‍රකා, සඟරා යනාදියේ චිත‍්‍ර සහ කාටූන් පමණක් (මේ සඟරා යනාදිය දෙමළ භාෂාවෙන් පල වූ ඒවා ය) ඒ වන විටත් අධ්‍යයනය කර සිටි ශාලාධිපති, උප කුලපති ගේ ද අනුදැනුම ඇතුව මුලින් විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අංශයට ද, එතැනින් පොලිසියට ද භාර දුන්නේ ය. මෙම ප‍්‍රකාශන රහස් ප‍්‍රකාශන නොව ප‍්‍රසිද්ධ ප‍්‍රකාශන බවත් දෙමළ කියවීම දන්නා සහ බාලසූරියන්ව සඟරා සංස්කාරකවරයෙක් සහ කවියෙක් ලෙස හඳුනන සිවසේකරම් ඇතුළු විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ගේ ඉල්ලීම් ද නොතැකුනි. පහර කා සිටි බාලසූරියන්, පොලිසියේ ද, කූප‍්‍රකට හතරවන තට්ටුවේ ද සංග‍්‍රහ දින දෙකක් විඳ චෝදනා විරහිතව නිවෙසට ගියේ ය.

මෙම පහරදීම් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය සැකසීම සඳහා මැර සිසුවන් විසින් මුලින් ම උපයෝගී කොට ගත්තේ අපූරු නිමිත්තකි. මැයි 11 දින සවස් වරුවේ විශ්වවිද්‍යාලයට ඇතුළුවන ප‍්‍රධාන මාර්ගය අසල පිහිටුවා තිබූ පුවරුවේ සිංහල අකුරු උඩින් සිමෙන්ති වැනි උකු දියරයක් ගා තිබුණි. මෙය දෙමළ සිසුන් විසින් කරන ලද්දක් බවත්, ඔවුන් ට හොඳ පාඩමක් ඉගැන්විය යුතු බවත් මැර සිසු නායකයින් විසින් ප‍්‍රචාරය කරන ලදී. සරදමකට මෙන්, මෙය 1956 ශී‍්‍ර අකුරේ තාර ගෑ බවට සිදු කල ප‍්‍රචාර සහ ඉන් අනතුරුව මුදා හළ ප‍්‍රචණ්ඩත්වය සිහි ගන්වයි.

මා මුලින් සඳහන් කළ පරිදි, මැයි 11 රාති‍්‍රයේ දී, නේවාසිකාගාර තුනක දී දෙමළ සිසුන්ට පහර දෙන ලදී. විශ්වවිද්‍යාල බලධරයන් ගේ උදාසීනත්වය මෙම සිදුවීම් වලට වක‍්‍රාකාර අනුබලයක් දුන් අතර එය වඩාත් පැහැදිලි වන්නේ නිවෙස් කරා නොගොස් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල තනිකඩ ආචාර්යවරුන් සඳහා ඇති කාමරවල නැවතී සිටි ආචාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට 12 දා රාති‍්‍රයේ පහර දීමත්, ඉන් පසුදා විශ්වවිද්‍යාලයෙන් බාහිරව පිහිටා තිබෙන රෝහලේ දී ද මෙවැනි පහර දීම් සිදුවීමත් හේතුවෙනි. විද්‍යා පීඨයේ අවසන් වසර සිසුන් වූ, ප‍්‍රධාන මැර නායකයින් දෙදෙනා ගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අත්හිටුවීම පවා සිදුවූයේ මේ ප‍්‍රධාන පහරදීමෙන් සති තුනකටත් වඩා ගතවී, ඒ වන විට නැවත අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයට පැමිණ සිටි දෙමළ සිසුන් පිරිසකට මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් පහර දීමෙන් ද පසුව ය.

එදා මැයි 11 රාත‍්‍රියේ දී දෙමළ සිසුන්ට කළ පහර දීම, රටේ පාලයින්ගේ අනුදැනුම ඇතුව කාලයක් තිස්සේ සැලසුම් කර මුදා හළ ප‍්‍රචණ්ඩත්වයක් බවට සැක කිරීමට පැහැදිලි හේතු තිබේ. සමහර විට එය, ඉන් දෙමසකට පසුව රටපුරා මුදාහල ජාතිවාදී ප‍්‍රහාරයන් සඳහා කළ ලිට්මස් පරීක්ෂාවක් ද විය හැකිය.

පාලක එක්සත් ජාතික පක්ෂය හා එයට සම්බන්ධව විශ්විද්‍යාලය තුළ ක‍්‍රියාත්මක වූ සමවාදී ශිෂ්‍ය සංගමයේ ක‍්‍රියාකලාපය ඒ අනුව තීරණය කළ හැකි වුවත්, අප පුදුමයට පත් කළ කාරණයක් වූයේ එවකට පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ බලයේ සිටි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය මේ පහරදීම් පිළිබඳව දැක්වූ නිෂ්ක‍්‍රිය ආකල්පයයි.

දෙමළ සිසුන් ආපසු විශ්වවිද්‍යාල භූමියට එනතුරු පන්ති වර්ජනයක නිරතවූයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පමණි. සිංහල, දෙමළ සහ සියලූ සිසුන්ට පොදු දේශන සහිත පාඨමාලා පැවැත්වුණු වෛද්‍ය, කෘෂි විද්‍යා, පශු වෛද්‍ය වැනි පීඨවල ද එවැනි පියවරක් ගැනීමට කිසිදු යෝජනාවක් හෝ මහා ශිෂ්‍ය සංගමයෙන් ඉදිරිපත්වූයේ නැත. ඔවුන් මුනිවත රුක්කහ.

ජනතා විමුක්ති පෙරමුණේ ඒ නිහඬතාවය කුමක් නිසාදැයි අපට හෙළිවූයේ ජාතිවාදී සටන් පාඨ සහිතව ඔවුන් 1984 දී යටිබිම්ගතව සිටිමින් මුදාහල ප‍්‍රචාරක ව්‍යාපාරයයි.

මේ පහරදීම් ගැන සොයන්නට සුපුරුදු පරිදි කමිටුවක් පත්කරන ලදී. කෙනත් ලැනරෝල් ගේ සභාපතිත්වයෙන් සහ කල්නායිඩු හා ඒකනායක ගේ සාමාජිකත්වයෙන් සැදුම් ලත් කමිටු වාර්තාව කියවූ පිරිස ගේ ප‍්‍රසංසාවට ලක්වුණ ද විශ්වවිද්‍යාල බලධාරීන් විසින් කිසි දිනක ප‍්‍රසිද්ධියේ එළිදක්වන නොලදී. මෙම වාර්තාව උපුටා දක්වන මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ වාර්තාව පවසන්නේ පේරාදෙණියේ මේ සිදුවීම් මාලාව හුදෙකලා අහඹු සිදුවීමක් නොව රටේ දේශපාලන අවශ්‍යතාවයක් මත ඇති කරන ලද්දක් බවයි.

ලැනරෝල් වාර්තාවෙන් නම් කල මැරයන් සහ මැර සිසුවන් 18 ක් දෙනාට ලබා දුන් දඬුවමක් නම් මගේ මතකයේ නැත. මෙයින් වැඩි දෙනා රටේ පාලක දේශපාලන පක්‍ෂයට කෙළින්ම හෝ අනියම් ව හෝ සම්බන්ධතා තිබුණු අය බව ද කියවේ. මේ පිරිසෙන් 17 දෙනෙක් ම වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය සහ විද්‍යා සිසුන් වීම ද විශේෂයකි. විශ්වවිද්‍යාල උගතුන් ගේ බුද්ධිමත් කම ගැන තවත් අවශ්‍ය කවර නම් සාධක ද? තුලසි වික්‍රමසිංහ නම් එයින් එක් මැර නායකයෙක් පසු කලෙක අයින්ස්ටයින් ගේ සාපේක්‍ෂතාවාදය ගැන විශ්වවිද්‍යාල දේශකයෙක් විය. උගත්කම හා බුද්ධිමත්කම අතර ඇති හීන සහසම්බන්ධතාවය ගැන ඔහු හොඳම උදාහරණයැයි මම සිතමි.

කම්මල යැයි ආදරයෙන් හැඳින්වුණු මා උගත් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ තෝතැන්න වූයේ අපේ කලා කවයේ බිත්ති සඟරාවයි. මැයි 11 කළුවර රැයෙන් ටික දිනකට පසුව එහි පළ වූ කවකින් කියවුණේ එවර විශ්වවිද්‍යාලයේ වෙසක් සැරසිලි වලින් ඉස්මතු වන නව අරුතක් ගැනයි. වෙනත් රටක වෙනත් ජාතිකයෙකු වූ බුදුන් ගේ ලේ වෙනත් පාටක් දැයි එමගින් අසා තිබුණේ ජාතිවාදයේ නිෂ්ඵල බව කියා පෑමටය. මෙම නිසඳැස් කවිය හෙන්රි වර්ණකුලසූරිය ගේ නිර්මාණයක් විය.

අපේ පීඨයේම අඩු වශයෙන් එක් අයෙක් මෙයින් කිපුණි. ඔහු ඊළඟ කලාපයට පිළිතුරක් එවීය. එය පිළිතුරකටත් වඩා වස් කවියක් බව සමහරෙකු ගේ අදහස විය.

හෙන්රි වර්ණකුලසූරිය ද ප්‍රතිපිළිතුරක් ලියූ නමුත්, ශිෂ්‍ය සටන්, උපවාස සහ ප‍්‍රාණ ඇපකරුවන් මැද විශ්වවිද්‍යාලය වැසී ගියෙන් කවි සටන එයින් නැවතුණි.

ඉන් පසුව එළැඹියේ කූප‍්‍රකට කළු ජූලියයි!

-රසික සූරියආරච්චි

ප/ලි:
ලිපියේ මුල් කොටසට පිවිසුම
http://rasikalogy.blogspot.com/2018/05/ten-weeks-before-black-july-1983.html

(image: https://www.flickr.com/photos/55560337@N06/5147525341/)

Sunday, 2 October 2016

කැල්කියුලේටර් පූජාව - Yet another untold story


මා කලකට පෙර ලියා පළ කළ ලිපියකට අන්තර්ගතය සැපයූ "අතහැර දැමූ ගුවන් හමුදා ප්‍රහාරය පිළිබඳ කතාව" මෙන් මෙතුවක් කල් නොකී රහසක් නොවූව ද මේ අද මා ලියන කැල්කියුලේටරයක් හා සම්බන්ධ සිදුවීම ද මෙතෙක් නොකී කතාවක් ම වේ.

මෙය කියවන ඔබට ශාන්ත රසයක් ම ලැබේ යැයි උදක් ම සිතමි.

සිය නැගෙණියන් තිදෙනාගෙන් වැඩිමහලු නැගෙණිය හෝ විවාහ කර දෙන තුරු සිටි නිසා දෝ, මගේ පියා විවාහ වී ඇත්තේ සිය ජීවිතයේ පස්වෙනි දශකය ආරම්භ වී දින කිහිපයකිනි. පසුව, මා මෙලොවට බිහිවූ දින වෙන විට ඔහු සිට ඇත්තේ සිය ජීවිතයේ හතළිස් දෙවෙනි වසර ද අවසාන කරමිනි. අද තත්වය ඊට වඩා වෙනස් වුවත්, ජීවිතයේ පස්වෙනි දශකයේ දී පියෙකු වීම ඒ කාලයේ සාමාන්‍ය තත්වයක් වෙන්නට ඇතැයි සිතීමට පවා හැකිවෙන තරමේ උදාහරණ රාශියක් මගේ සම වයසේ අය ගේ දෙමව්පියන් අතරින් සොයා ගත හැකි බව ද මෙහි දී කිව යුතුයි.

කෙසේ වෙතත් එහි එක් දුර්විපාකයක් වූයේ, මා එකොළොස්වන ශ්‍රේණියේ සිටිද්දී ම තාත්තා සිය පනස් අටවන උපන් දිනය දා විශ්‍රාම යෑමයි. මා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම අරඹන කාලය වෙන විට තාත්තා ගේ ආදායම වූයේ විශ්‍රාම වැටුප සහ විශ්‍රාම ගන්නා විට ලැබෙන දීමනාව බැංකුවේ ස්ථාවර තැන්පතුවක යෙදූ නිසා ඉන් ලැබෙන ආදායම පමණි.

ඒ දිනවල අප පදිංචිව සිටියේ පරකන්දෙනියේ පිහිටි තාත්තා ගේ මහගෙදර නිසා ගෙවල් කුලී යනාදී ප්‍රශ්න නොතිබුණත්, ඒ ආදායමෙන් අප පස් දෙනෙකු ජීවත් වූ ආකාරය, රුපියල් දෙදහස් පන්සීයකින් පවුලකට මසක් ජීවත් වෙන්නට හැකි යැයි කලකට පෙර කියූ බන්දුල ගුණවර්ධන වැනි ආර්ථික විද්‍යා ටියුෂන්කාරයින්ට, හොඳ කේස් ස්ටඩි උදාහරණකි.

අපේ පවුලේ ආර්ථික තත්වය සලකා බලන කල, මට කරන්නට තිබුණු සෙන්සිබල් ම දේ වූයේ මොරටුව විශ්වවිද්‍යාලය තෝරාගෙන, පිළියන්දල නැන්දා ගේ නිවසේ පදිංචි වී බස් රථයෙන් විශ්වවිද්‍යාලයට යෑමයි. නමුත් ගඟ ළඟ පෙම් මග හා බැඳුණු හන්තාන සිහිනයක ඇලී ගැලී සිටි මට අවශ්‍ය වූයේ බොල්ගොඩ ඇලේ පල් ගඳ විඳිමින් අව්වේ වේලෙන්නට නොව මුදු මද නල පහස ලබමින් රොබරෝසියා මල් පියලි මත පා තබන්නටය. එය ඒ කාලයේ මසකට රැපියල් පන්සීයක් පමණ වියදම් වෙන මෝඩකමකි.

"උඹ පේරාදෙණියේ පලයං. මං වියදම් කරන්නම්!" තාත්තා කීවේය.

මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ඇරඹුණු ඒ කාලයේ ලබා දුන් ශිෂ්‍යත්ව කිහිපයෙන් එකක් මට නොලැබුණි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ලබා ගත හැකි බැංකු ණය ක්‍රමයක් තිබුණද, මට ඒ සඳහා සුදුසුකම් නැති බව දන්වන ලදී.

මට කලිසම් කමිස කිහිපයක් මිලට ගෙන දුන් මල්ලිකා පුංචි අම්මා හැම මසකම මට රැපියල් සීයක් දෙන්නට පොරොන්දු වූවා ය. අශෝකා පුංචි අම්මා රැපියල් පන්සීයක් දුන්නා ය. සුනීතා පුංචි අම්මා නොයෙකුත් අඩුම කුඩුම මිලට ගෙන දී මුදල් ද දුන්නා ය. නන්දාවතී නැන්දා රුපියල් හත්සීයක් දුන්නා ය. කරුණාවතී නැන්දා ද මුදල් දුන්නා ය.

මම පේරාදෙණියේ ගියෙමි.

මුල් දිනයේ සිට ම මම දිනපොතේ එදිනෙදා සිදුවෙන වියදම් ලියූවෙමි. සතියක දත්ත විශ්ලේෂණය කළ මට මාසයක් ගත කිරීමට රැපියල් හාරසීයක් පමණ අවශ්‍යවෙන බව පෙනී ගියේය. සති අන්තයේ නිවෙසට යෑම යනු බස් ගාස්තු සහ පේරාදෙණියේ කෑම වියදම් අතර වෙනස ලෙස රුපියල් කීපයක් ඉතුරුකර ගැනීමකි. මෙය දරාගත හැකි තත්වයකි.

නමුත් ප්‍රශ්නය වූයේ එදිනෙදා රිකරන්ට් වියදම් නොවේ. විශ්වවිද්‍යාලයේ විවිධ වැඩ කටයුතු සඳහා අවශ්‍ය කැපිටල් ආම්පන්න මිලට ගැනීම සඳහා මුදල් ය.

නැන්දා දුන් මුදල මුළුමනින් ම වැය වූයේ යාන්ත්‍රික ඇඳීම විෂයය සඳහා අවශ්‍ය කවකටු පෙට්ටිය, විහිත චතුරශ්‍ර, කෝදුව සහ අනෙකුත් දේ මිලට ගැනීමටයි. ඊළඟ අවශ්‍යතාවය වූයේ කැල්කියුලේටරයකි. ඒ සඳහා අවශ්‍ය මුදල ද යාන්තමින් සපයා ගැනීමට මට හැකි විය.

අවශ්‍ය වර්ගයේ FX-80 කැෂියෝ කැල්කියුලේටරයක් මහනුවර වෙළඳ ශාලාවකින් රුපියල් 800 කට මිලට ගැනීමට හැකි බව එසේ කළ සහෘද සිසුවෙකුගෙන් අසා දැනගත් මා කළේ, වෙනත් කාර්යයක් සඳහා මහනුවර යන අයෙකුට මුදල් දී එය ගෙන්වා ගැනීමයි. එවකට පැණිදෙණියේ සිට මහනුවරට බස් ගාස්තුව රුපියල් හතරක් විය. තේ කෝප්පයකට යන වියදමත් සහිතව, මා කැල්කියුලේටරය සඳහා වැයවෙන ඕවර්හෙඩ් වියදමෙන් රුපියල් දහයක් ඉතුරු කර ගත්තේ එලෙසිනි.

මා විශ්වවිද්‍යාලයේ තෙවන වසර අරඹන විට මගේ මල්ලී මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලැබුවේ ය. ඔහු පිළියන්දල නැන්දා ගේ නිවසේ නවාතැන් ගත් නිසා, අවශ්‍ය වියදම තරමක් අඩුවුවත්, මට මෙන් ම අනෙකුත් වියදම් ඔහුට දරන්නට සිදුවී තිබුණි.

යාන්ත්‍රික ඇඳීම් සඳහා මා මිල දී ගත් උපකරණ කට්ටලය, මා සමග ආනන්ද විද්‍යාලයේ දී කලක් එකට ඉගෙනුම ලැබූ මා දෙවන වසරේ සිටියදී පේරාදෙණියට පැමිණි පාලිත ඒකනායකට පාවිච්චි කිරීම සඳහා දී තිබුණි. මල්ලීට දීම සඳහා මා එය ඔහුගෙන් ඉල්ලා සිටි විට පාලිත කියා සිටියේ ඒ සියල්ල කැඩී බිඳී ගිය බවයි. කාලයක් පවතින්නට සැලසුම් කර චෙකොස්ලෝවියාවේ නිෂ්පාදිත සුදු යකඩ උපකරණ දෙවසරක් යන්නටත් පෙර කැඩෙන්නේ කෙසේ දැයි මා පාලිතගෙන් විමසුවේ නැත.

මල්ලීට අලුතෙන් ම කවකටු පෙට්ටියක් සහ අනෙකුත් අදාළ උපකරණ මිලට ගැනීමට මුදල් වැය කිරීමට තාත්තාට සිදු විය.

මට කළ හැකි එකම දෙය වූයේ මා සතුව තිබූ FX-80 කැල්කියුලේටරය මල්ලීට දී, එමගින් තාත්තා ගේ බර තරමක් හෝ සැහැල්ලු කිරීම පමණකි.

පළමු වසරේ යාන්ත්‍රික ඇඳීම සඳහා උපයෝගී කරගන්නා කවකටු පෙට්ටියේ උපකරණ අවශ්‍ය වෙන්නේ පළමු වසරේ දී පමණි. මගේ උපකරණ පාලිතට දීමට මට හැකි වූයේ එනිසා ය.

නමුත්, කැල්කියුලේටරය යනු හැම වසරකදී ම විවිධ අධ්‍යයන කටයුතු සඳහා නිරතුරුවම අත්‍යවශ්‍ය වෙන උපකරණයක් වේ. කැල්කියුලේටරයක් නොමැතිව තවත් වසර දෙකක්ම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නට මා ගත් තීරණයට ඒ කරුණ නිසා වැඩි වැදගත්කමක් එක් වේ යැයි සිතමි.

මේ වෙන විට මා පදිංචිව සිටියේ විශ්වවිද්‍යාලය ඇතුළේ ම පිහිටි නේවාසිකාගාරයක් අපේ කණ්ඩායමේ තවත් විශාල පිරිසක් සමග වීමත් අප එකිනෙකාට සාමාන්‍ය දිනවල දී කැල්කියුලේටරයක් අවශ්‍ය වූයේ එකම වේලාවට නොවීම නිසාත්, මට ජාම් බේරාගත හැකි විය. තෙවන වසරේ විභාගය සඳහා පෙනී සිටීමට මා කැල්කියුලේටරයක් ඉල්ලා ගත්තේ අවසන් වසරේ සිසුවෙකු වූ රංජිත් ඒකනායකගෙනි.

ටික දිනකින්ම සිදු වූයේ නොසිතූ විරූ දෙයකි. මොරටුව විශ්වවිද්‍යාලයේ තුළ දී මල්ලීට දුන් ඒ කැල්කියුලේටරය අස්ථානගත විය. අලුතෙන් කැල්කියුලේටරයක් මිලට ගැනීම සඳහා තාත්තා මල්ලීට මුදල් ලබා දුන්නේ ය. මේ වෙන විට තාත්තා ද නොතාරිස්වරයෙකු ලෙස තරමක හෝ අමතර ආදායම් මාර්ගයක් සාදා ගෙන තිබුණි.

තාත්තා ගේ වියදම් අඩු කිරීම සඳහා මා කළ ඒ මහා කැල්කියුලේටර් කැප කිරීම අවසානයේ දී ගඟට ඉනි කැපුවා වැනි වූයේ එලෙසිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාල ජීවිතයේ අවසානය දක්වා ම ණයට ගත් කැල්කියුලේටර්වලින් ජාම් බේරා ගත් මා, නැවත කැල්කියුලේටරයක් මිලට ගත්තේ තවත් වසර තුනකට පමණ පසුව පශ්චාත් උපාධි සමයේ දී ය.

-රසිකොලොජිස්ට්

ප/ලි
මෙන්න කැල්කියුලේටරයක් ළඟ ඇති අයට අප එකල කාලය මැරීම සඳහා භාවිතා කළ පැරණි අභියෝගයක්.

කැල්කියුලේටරය පණ ගැන් වූ වහාම දර්ශන තලයේ දිස්වන්නේ 0 අංකයයි. මෙතැනින් අරඹා, අංක කිසිවක් භාවිතා නොකර, විවිධ ශ්‍රිත පමණක් උපයෝගී කරගෙන, අංක 1 සිට 9 දක්වා වරකට එක් අංකයක් බැගින් එහි දර්ශනය කරවීමට ඔබට හැකි ද?

(http://electricimage.deviantart.com/art/Casio-fx-80-calculator-116310807)

Wednesday, 11 May 2016

විශ්වවිද්‍යාල නවකවදය මුලිනුපුටා දැමීම අසීරු ඇයි? ප්‍රියන්ජිත් පෙරේරා ගේ මතය - Priyanjith Perera on Ragging


පහත දැක්වෙන්නේ මා මිත්‍ර ප්‍රියන්ජිත් පෙරේරා විසින් නවකවදය සම්බන්ධයෙන් ෆේස්බුක් අවකාශයේ බෙදා හැර තිබූ අදහස් ය. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරියෙකු වන ප්‍රියන්ජිත් පෙරේරා, තම පශ්චාත් උපාධිවලින් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ද කලක් සේවය කළේය.

සිංහල පරිවර්තනය මගේ ය.

University Ragging: Why is it so hard to eradicate?

These are a few of reasons why we have failed to eradicate 'ragging' from our universities as I see it.
  1. For the majority of 'freshers' it is only 'one' of many problems they have to cope up with. And it is the only 'transient' problem as all others are 'permanent'. Therefore, every year, as by some unseen consensus, they decide to tolerate it for this 'short' period of time.
  2. 'Ragging' the 'juniors' has been a characteristic feature of our culture for a long time although nobody calls it 'ragging'. We call it 'respecting elders'. From the day we are born till we are dead we are being harassed by our parents, teachers, bosses, police, judges, doctors and practically everybody, from whom we need to get something done. Therefore, a few weeks of 'ragging' by our 'seniors' is not a big deal because university ragging is not the beginning nor the end of the 'lifelong' other 'ragging'.
  3. The public institutions in our country are 'owned' by the people, who work for them. Although in theory 'clients', for whose benefit these institutions are run, are the most important 'stake holder' practically they cannot override the 'workers' under any circumstance. In the university, although the academic staff 'own' the students' academic life the private lives of students are owned by the 'fellow students'. In the case of 'freshers' it is the 'seniors'.
  4. Majority of our university students have a less developed personalities, which is not resulting from any fault of theirs but from many other factors including our education system, socio-cultures factors etc. Their lack of confident in themselves is compensated by sense of belonging to a group from the day they stepped into the university. As a result, both the 'fresher' and 'senior' try their level best to integrate into the group while shedding whatever little 'individualism' they carried into the university. This point is well illustrated by the fact that students coming from upper middle class and/or Colombo/City schools are generally against 'ragging' as seniors and are not being 'ragged' as 'freshers'.
  5. Majority of 'freshers' think that without 'seniors' help they cannot pass the exams and survive in the university. (Actually these ideas are given to them by the seniors themselves.) Therefore, they do not want to antagonise their 'seniors' by not being subject to 'ragging', complaining to authorities and cooperating with the academic staff. (After all this is only a 'transient' problem isn't it?)
  6. The 'freshers' and the 'seniors', who are against ragging, cannot trust their teachers as there is a huge 'gap' between the 'student' and 'academic' staff. The same cultural trait of respecting 'seniors' works in this area as well. Therefore, whatever the academic staff does to eradicate 'ragging' is hampered by lack support from both the 'freshers' and 'seniors'.
  7. It is my opinion that even if there can be 'sadistic' and 'mentally deranged' monsters among the perpetrators of 'ragging' there number should be insignificant. Most of them are driven by tradition and culture. It cannot be denied that majority of them get some kind of satisfaction by being in a position of power in the first time of their life. However, at least a few of them believe the 'Myth of Sri Lankan Student Movement' ලාංකීය ශිෂ්‍ය වියාපාරය and its importance. Corollary to this is the belief that to achieve the objectives of the movement all the student should work as 'one'. Ragging is considered as a way of getting all the 'students' under one banner and making them think as one single organism.
  8. There is a possibility that 'ragging' is used by one political movement to recruit cadres for their movement and 'brain wash' the others into their line of thinking about the 'education system' in particular and 'political system' in general.

These are some of the reasons why it is so hard to eradicate this problem from our universities, in my opinion. The criminal justice system has only a very limited role to play in this regard. The day that every 'fresher' thinks that he/she can survive in the University by his/her own without any senior's help there won't be 'ragging' in our universities. Empowering the 'freshers' both economically and psychologically is the way to their 'freedom'. Can we do it in the foreseeable future?
විශ්වවිද්‍යාල නවකවදය මුලිනුපුටා දැමීම අසීරු ඇයි?

මා දකින ආකාරයට, විශ්වවිද්‍යාලවලින් නවකවදය මුලිනුපුටා දැමීමට අප අසමත් වී තිබීමට හේතු කිහිපයක් ම තිබේ.
  1. නවක සිසුන් බහුතරයකට නවකවදය යනු තමන්ට මුහුණ දීමට ඇති ප්‍රශ්න රාශියෙන් එකක් පමණි. එසේම, එය අනෙකුත් ස්ථිර ප්‍රශ්න අතර ඇති එකම තාවකාලික ප්‍රශ්නය ද වේ. එ නිසා, හැම වසරකම, නොපෙනෙන සම්මුතියකින් මෙන්, එය බලපාන කෙටි කාලයේ දී නවකවදය ඉවසා දරා ගැනීමට ඔව්හූ තීරණය කරති.
  2. කිසිවෙකු එය නවකවදය ලෙසින් හඳුන්වන්නේ නැති වුවද, කණිෂ්ඨයින් නවකවදයට ලක් කිරීම දිගු කලක් තිස්සේ අපේ සංස්කෘතියට ආවේණික වූ ලක්ෂණයක්ව පවතී. අප එය වැඩිහිටියන්ට ගරු කීරීම ලෙස හඳුන්වමු. අප ඉපදුණු දිනයේ සිට මිය යන දිනය දක්වා ම, අපේ දෙමව්පියන්, ගුරුවරුන්, ලොක්කන්, පොලීසිය, නඩුකාරයින්, වෛද්‍යවරුන් සහ ප්‍රායෝගිකව ගත් කළ අපට ඔවුන් ලවා යමක් කර ගත යුතු සියලු දෙනාම පාහේ, අපව වධයට ලක් කරති. එ නිසා, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කරනු ලබන සති කිහිපයක නවකවදය අපට බැරෑරුම් කාරණයක් නොවේ. විශ්වවිද්‍යාලයේ නවකවදය යනු, ජිවිත කාලය පුරාම අපට මුහුණ දීමට සිදුවෙන අනෙකුත් වද හිංසාවල ආරම්භය හෝ අවසානය හෝ නොවේ.
  3. අපේ රටේ මහජන ආයතන, ඒවායේ සේවය කරන අයගේ පුද්ගලික බූදල් වේ. න්‍යායාත්මකව ගත් කල, ආයතනයෙන් සැපයෙන සේවාවන් ලබා ගන්නා සේවාදායකයා ආයතනයේ වඩාත්ම වැදගත් කොටස්කරුවා වුවද, ප්‍රායෝගිකව, ඔවුන්ට කිසිසේත්ම සේවකයින් අභිබවා ගිය නොහැක. විශ්වවිද්‍යාලවලදී, ශිෂ්‍යයින් ගේ අධ්‍යයන ජීවිත, අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයිති වුණද, පුද්ගලික ජීවිතවල අයිතිය හිමිවන්නේ අන් සිසුන්ට ය. නවක සිසුන් ගේ පුද්ගලික ජිවිතවල හිමිකරුවන් වන්නේ ජ්‍යෙෂ්ඨ සිසුන් ය.
  4. අපේ සිසුන් බහුතරයකට ඇත්තේ අඩුවෙන් දියුණු වූ පෞරුෂයකි. එය ඔවුන් ගේ වරදකින් සිදුවන්නක් නොව, අපේ අධ්‍යාපන ක්‍රමය, සමාජ-සංස්කෘතික කාරණා යනාදිය නිසා වෙන්නකි. තමන් පිළිබඳ ඇති විශ්වාසයේ අඩුකම, ඔවුන් විශ්වවිද්‍යාලයට පියවර තැබූ දිනයේ සිටම, යම් කණ්ඩායමට තමන් අයිතිය යන හැඟීමෙන් සමනය වේ. මෙහි ප්‍රතිඵලය ලෙස, නවකයා ද, ජ්‍යෙෂ්ඨයා ද යන දෙදෙනා ම, තමන් විශ්වවිද්‍යාලයට ගෙන ආ යම් පුද්ගලවාදයක් වුණි නම් එය හැරදමා, කණ්ඩායමට ඒකාබද්ධවීමට හැකි උපරිම ප්‍රයත්නය දරති. ඉහළ මධ්‍යම පන්තියේ සහ කොළඹ හෝ නාගරික පාසල්වලින් පැමිණෙන සිසුන් ජ්‍යෙෂ්ඨයින් ලෙස නවකවදයට විරුද්ධවීමත්, නවකයින් ලෙස නවකවදයට ලක් නොවීමත් මගින් මේ කාරණය හොඳින් පෙනේ.
  5. බහුතරයක් නවකයෝ තමන්ට ජ්‍යෙෂ්ඨයින් ගේ උදව් නොමැතිව විභාග සමත් විය නොහැකි බවත්, විශ්වවිද්‍යාලය ජයගත නොහැකි බවත් සිතති. ඇත්තටම, මේ අදහස් නවකයින්ට දෙන්නේ ද ජ්‍යෙෂ්ඨයින් ම ය. එනිසා, නවකවදය මගහැර හෝ පාලකයින්ට පැමිණිලි කර හෝ අධ්‍යයන කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කර හෝ ජ්‍යෙෂ්ඨයින් අමනාප කර ගැනීමට නවකයින්ට අවශ්‍ය නැත. (කොහොමටත්, මේ ප්‍රශ්නය තාවකාලික එකක් නොවැ?)
  6. ශිෂ්‍යයින් සහ අධ්‍යන කාර්ය බණ්ඩලය අතර විශාල පරතරයක් ඇති නිසා, නවකවදයට විරුද්ධ නවකයින්ට සහ ජ්‍යෙෂ්ඨයින්ට තම ගුරුවරුන් විශ්වාස කළ නොහැකි වී ඇත. කලින් සඳහන් කළ, වැඩිහිටියන්ට ගරු කිරීමේ සංස්කෘතිකමය හුරුව මෙහිදී ද බලපායි. එනිසා, නවකවදය මුලිනුපුටා දැමීමට අධ්‍යයන කාර්ය මණ්ඩලය කරන සෑම දෙයක් ම නවකයින්ගෙන් සහ ජ්‍යෙෂ්ඨයින්ගෙන් සහයෝගයක් නැතිව අඩපණ වේ.
  7. නවකවදය දෙන්නන් අතර පරපීඩනයෙන් වින්දනයක් ලබන සහ මානසික ව්‍යකූලතාවයෙන් පෙළෙන අති දුෂ්ටයින් සිටියේ වුවද, ඒ නොසැලකිය හැකි ප්‍රමාණයක් බව මගේ අදහසයි. නවකවදය දෙන්නන් බොහෝ දෙනෙකු ඒ සඳහා යොමුවන්නේ සම්ප්‍රදාය සහ (උප!)-සංස්කෘතිය නිසා ය. එසේම, නවකවදය දෙන්නන් බහුතරයක්, තම ජීවිතයේ මුල්වරට බලය ඇති තැනකට පත්වීමෙන් යම් තෘප්තියක් ලබන බවද ප්‍රතික්‍ෂේප කළ නොහැක. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු හෝ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සහ එහි වැදගත්කම යන මිථ්‍යාව විශ්වාස කරති. මෙහි උපප්‍රමේය වන්නේ, මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අරමුණු ඉටුකර ගැනීම පිණිස ශිෂ්‍යයින් සියලු දෙනාම එකාවන්ව කටයුතු කළ යුතු බව ය. නවකවදය යනු ශිෂ්‍යයින් සියලු දෙනා එක් පතාකයක් යටතට ගෙන ඔවුන්ව එක් ජීවියෙකු ලෙස සිතීමට සකසා ගැනීමේ එක් ක්‍රමයක් ලෙස ද සැලකේ.
  8. තම ව්‍යපාරය සඳහා ක්‍රියාකාරිකයින් බඳවා ගැනීමටත්, විශේෂයෙන් ම අධ්‍යාපන ක්‍රමය ගැනත්, පොදුවේ දේශපාලන ක්‍රමය ගැනත් අනෙකුන් ගේ මොළ සේදීමට, එක්තරා දේශපාලන ව්‍යාපාරයක් විසින් නවකවදය උපයෝගී කර ගන්නවා ද විය හැක.

මගේ අදහස අනුව, අපේ විශ්වවිද්‍යාලවලින් නවකවදය මුලිනුපුටා දැමීම මෙතරම් අපහසුවීමට හේතු සමහරක් එසේ ය. ඒ සඳහා අපරාධ අධිකරණ ක්‍රමයට කළ හැකි දේ අවම වේ. තමන්ට තනිව ම විශ්වවිද්‍යාල ජීවිතය ජය ගත හැකිය යනුවෙන් සෑම නවකයෙකු ම සිතන දිනයේ දී අපේ විශ්වවිද්‍යාලවල නවකවදය නොතිබෙනු ඇත. මනෝවිද්‍යාත්මකව සහ ආර්ථිකමය වශයෙන් නවකයින් බලගැන්වීම ඔවුන් ගේ නිදහසට මාර්ගයයි. අපට දැකිය හැකි අනාගතයක එය කළ හැකි වේද?


-රසිකොලොජිස්ට්

(image: http://www.satyamevjayate.in/when-masculinity-harms-men/episode-6article.aspx?uid=s3e6-ar-a4)

Saturday, 26 December 2015

දයා පතිරණට එරෙහි ජවිපෙ කුමන්ත්‍රණය - Beginning of JVP bloody politics : Stage 2


මගේ රාවය ලිපිය මෙලෙස කොටස් වශයෙන් පළ කරන්නේ කැමැත්තන් ගේ පමණක් පරිභෝජනය පිණිස ය.

මුල් කොටස:
රාවයේ පළවූ මගේ ලිපිය - Forcing the sun to rise at midnight
http://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


දෙවන කොටස:
කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students
http://rasikalogy.blogspot.com/2015/12/jvp-vs-independent-students.html


තුන්වෙනි කොටස:
ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony!
http://rasikalogy.blogspot.com/2015/12/what-irony.html

අද සිව්වන කොටස.

පෙර සඳහන් කළ උසස් අධ්‍යාපන නව සංශෝධන පනත ට විරුද්ධව කෙරුණු සටන, මාර්තු මාසයේ පරාජිතව අවසාන වීමෙන් පසු මුළු 1985 වසර පුරාම පොදු ශිෂ්‍ය සටන් නොතිබුණි. ඒ අඩුව පිරිමහන්නට දෝ, විශ්වවිද්‍යාල මට්ටමෙන් ශිෂ්‍ය ප‍්‍රශ්න මතුවෙන්න ට විය.

මින් ප‍්‍රධාන තීරණාත්මක සටනක් වූයේ දයා පතිරණ ගේ නායකත්වයෙන් යුතු ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම සහ ජ.වි.පෙ. අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය කණ්ඩායම අතර කොළඹ විශ්වවිද්‍යාලය තුළ පැන නැගුණු අරගලයයි.

ඒ වන තෙක්ම කොළඹ විශ්වවිද්‍යාලය තුළ ජ.වි.පෙ. නියෝජනයක් නැති තරම්ම විය. අවිශිබමය තුළ කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය වූයේ තඹරලූවේ ජිනානන්ද වැනි, කෙළින්ම ජ.වි.පෙ. නොවේ යැයි පෙන්වූ අයගෙනි. පේරාදෙණියේ තත්වය ද එ ලෙසම විය. මෙම 1985 වසරේ දී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කි‍්‍රයාකාරී කමිටුව තුළ ද ජ.වි.පෙ. කි‍්‍රයා කළේ පසු පෙළ සිට ය.

කෙසේ වෙතත් මේ දෙපිරිස අතර පැවති සටනින් පසු පැවති අවිශිබම රැස්වීම අති තීරණාත්මක එකක් විය. එදින කොළඹ සරසවිය නියෝජනය කිරීමට පොදු ශිෂ්‍ය කණ්ඩායමේ නියෝජිත තඹරලූවේ ජිනානන්දට අමතරව ජ.වි.පෙ. නියෝජනය කරමින් සරත් එදිරිසිංහ වැනි නමක් තිබූ ශිෂ්‍යයෙකු ද පැමිණ සිටියේ ය. ඔවුන් ගේ අති උද්වේගකාරී කථාවන් හි පොදු ඉලක්කය වූයේ දයා පතිරණ සහ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායමයි.

මෙම රැුස්වීමේ කැඳවුම්කරු වූයේ පසු කලෙක ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජිකයෙකුව සිට මරණයට ලක් වූ, රංජිතන් ගුණරත්නම් ය. දයා පතිරණ තව දුරටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි ශිෂ්‍යයෙකු නොවේය යන තර්කය ඔස්සේ මෙදින ඔහු අවිශිබම නියෝජිතකමෙන් නෙරපුනි.

එම තීරණයට හිස නැමූ දයා පතිරණ, කොළඹ විශ්වවිද්‍යාලයේ රීඞ් මාවතේ ශිෂ්‍ය මධ්‍යස්ථානයේ පැවති එම රැස්වීමෙන් ඉවත්ව ගිය ආකාරය මට දැනුදු මැවී පෙනේ. එය එසේ සිදු වූවද, සභාවේ මුලාසනය දැරූ රංජිතන් ද එවකට ලියාපදිංචි ශිෂ්‍යයෙක් නොවී ය. එකම වෙනස වූයේ රංජිතන් තම ශිෂ්‍යභාවය තහනමකට ලක් වී සිටි අයෙකු වීමයි.

මේ සිදුවීම් මාලාවේ මීළඟ වැදගත් සිද්ධිය වන්නේ 1985 වසරේ සැප්තැම්බරයේ පමණ දේශපාලන කටයුත්තක් සඳහා මහනුවර පැමිණි දයා පතිරණ සහ තවත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයෙකු වූ ධර්මසිරි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රැුයක් නවාතැන් ගැනීම ය. මෙම කාරණය නිසා සමාජවාදී ශිෂ්‍ය පෙරමුණ කෙතරම් සලිත වූවා ද යත්, ඉන් ටික දිනකට පසු පැවති කි‍්‍රයාකාරී කමිටු රැුස්වීමේ දී, මේ පිළිබඳව මහා කලබගෑනියක් කරන්නටත්, ඔවුන්ට තම කාමරයේ නවාතැන් දුන් ශිෂ්‍යයාට විරුද්ධව අභූත චෝදනා නගන්නටත් ඔව්හූ පෙළඹුණහ.

එහිදී, ජ.වි.පෙ. අනුබද්ධ ඒ ශිෂ්‍යයන් ගේ ප‍්‍රධාන තර්කයක් වූයේ, දයා පතිරණ ඇතුළු පිණිස අන්ත රැුඩිකල්වාදී පිරිසක් බවත්, ඔවුන් ගේ දේශපාලනය විශ්වවිද්‍යාලය සතු දේපල, සම්පත් විනාශ කරන ආකාරයේ එකක් නිසා ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළට වැද්දා ගත නොයුතු බවත් ය.

මෙම තර්කය මට එක් වරම සිහි කරවූයේ, ඉහත සඳහන් කළ මගේ කවියේ එන ”බලහත්කාරෙන් හෝ හිරු පුබුදා හෙට මුළු ලෝකය එළිය කළ යුතුය!” යන යෙදුම සහ එයට ජ.වි.පෙ. දැක්වූ ප‍්‍රතිචාරයයි.

ඊළඟ කොටස:
ජවිපෙ ජාතිවාදය සහ සටන් පාඨ - IUSF expels Daya Pathirana :: https://rasikalogy.blogspot.com/2015/12/iusf-expels-daya-pathirana.html

(image: http://www.lankaweb.com/news/items/2015/12/19/%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F-%E0%B7%80%E0%B7%83%E0%B6%BB-29/)

Thursday, 17 December 2015

"වළේ" ඉඳං නාට්‍ය බැලූ හැටි : සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිලිබඳ අතීත ආවර්ජනාවකි! - Nostalgia


කාල යන්ත‍්‍රයක නැගී හෝ වෙනත් ක‍්‍රමයකින් හෝ අතීතයට යාමට හැකියාවක් ලබා ගත හැකි නම්, අප බොහෝ දෙනෙකු එදා ගත් තීරණ කිහිපයක් හෝ වෙනස් කර අදට වඩා වෙනස් වූ වර්තමානයක ජීවත්වනු ඇතැයි මට සිතේ. එසේ කළ හැකි නම් සහ තමන් එළිපිට කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්, ඕස්ටේ‍්‍රලියාවේ අද සිටින අපේ සිංහල ජනගහනයෙන් හරි අඩක් පමණ තම සංක‍්‍රමණ අයැදුම් පත් ගාස්තුව ද ඉතිරි කරගෙන පින් කෙත හෙළ රන් දෙරණේ අද ද යහතින් කල් යවනු ඇත.

මා සම්බන්ධයෙන් නම් කිව යුත්තේ, සම වයසේ යුවතියන් පිළිබඳ කිසිසේත් සිත කරදර කර නොගෙන, නිසැකවම නිෂ්ප‍්‍රභාවන බව අපරදෘෂ්ටියෙන් දන්නා ප‍්‍රශ්න ඔවුන් ගෙන් නොඅසා, මා සොඳුරු අනාගත පියඹ මුණ ගැසෙන තුරුම, කුමර බඹසර අසපුවේ මා නිරාමිසව කල් ගතකරන්නට ඉඩ තිබුණු බවයි.

මා අතීතයේ ගත් කුමන තීරණ කුමන ලෙස වෙනස් කළද, කිසි දිනක එලෙස වෙනස් නොකරන එක් තීරණයක් ඇත. එය නම්, මීට වසර විසි අටකට කලින් විශ්වවිද්‍යාල පිවිසුම සඳහා අයැදුම් කරද්දී, උඩුගම් බලා පීනමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගේ මුල් තේරීම ලෙස සඳහන් කරන්නට ගත් නිවරද තීරණයයි.

එදා මා "ටැක්නිකල් හන්දිය" වෙනුවට ගලහ හන්දිය තෝරා ගත්තෙමි. පිළී ගඳ වෙනුවට මල් සුවඳ තෝරා ගත්තෙමි. පල් වී ගිය බොල්ගොඩ ජලාශය වෙනුවට සුන්දර මහවැලි නදිය තෝරා ගත්තෙමි. "ජේම්ස් ජෝර්ජ් ශාලාව" වෙනුවට "සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය" තෝරා ගත්තෙමි.

කාල යන්ත‍්‍රයක නැගී අතීතයට යාමට අවස්ථාවක් ලදහොත් නැවත එලෙස කරන්නට ද කිසිසේත් ම නොපැකිලෙමි.

සොඳුරු හන්තාන කඳු වැටිය පාමුල, මහවැලි ඉවුර අසබඩ දිවෙන ගලහ මාර්ගයේ ආදරවන්තයින් ගේ වංගුව හෙවත් "කිසිං බෙන්ඞ්" පසුකර තුන් මහලින් සැදි, මල් කැටයම් පිරි, හිල්ඩා ඔබේසේකර සරසවි පාය දෙසට පා නගන කල දකුණු පසින් දක්නට ලැබෙන්නේ උඩරට කඳු අතර සරණ විට නිබඳ නෙත ගැටෙන රැළි ලියැදි වලින් යුත් කුඹුරක් වන් පි‍්‍රය උපදවන දසුනකි. මේ එදා පුරාණ ගී‍්‍රක රඟ මඩලක අර්ධ වෘත්තාකාර ආකෘතියට අනුව යමින්, පේරාදෙණිය සිරිලක මහා තක්සලාව අලංකෘත කල මහා කලාකරු, මහාචාර්ය වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කර, දේශීය අභිවාහ්‍ය කළා රසිකයින් ගේ රංගන රසකාමය සන්තර්පනය කිරීම පිණිස දායාද කරන ලද එළිමහන් රංග පීඨයයි.

තම ස්වයං චර්තාපදානය වන "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" කෘතියෙහි මේ රඟහල පිළිබද සටහනක් තබන සරච්චන්ද්‍රයෝ මෙසේ පවසති.
"මනමේ නාටකයේ අභිරංගයක් ඉදිරිපත් කළ හැක්කේ තාත්වික රංගයට සුදුසු පරිදි හැඩගැසුණු ප්‍රොසීනියම් රංග භූමියක නොව, රඟ මඩලක යයි විශ්වාස කළ මම, එවැනි තැනක් පේරාදෙණියේ කඳු අතර එළිමහනේ වුව සකස් කරගත හැකි නම් මැනවයි සිතමින් උන්නෙමි. එකල මා වාසය කෙළේ සංඝමිත්තා කන්ද උඩ තුබූ ගෙවල් තුනකින් එකක ය. හැම දා ම කන්ද බැස ආට්ස් බ්ලොක් දෙසට යන මම, කඳු පල්ලේ වම් පසෙහි වළන් කැබැල්ලක ආකෘතිය දරන කඳු බෑවුමක් නිතර දකිමි. එහි කලින් තුබූ ලියදි වල් බිහි වී දැන් පඩි පෙළක් මෙන් සෑදී ඇත. බෑවුමේ පතුලේ සමතලා භූමි භාගයක් තිබේ. මේ ස්ථානය මා හැමදාම පසු කර යන නමුත් එය කෙරෙහි මගේ අවධානය යොමු වූයේ එළිමහන් රඟ මඬලක් ගැන සිතමින් හුන් දවස්වල ය. එය, ඇම්පිතියටර් යන නමින් හඳුන්වන පේ‍්‍රක්ෂාගාරයකට හා රංගභූමියකට සුදුසු ස්වාභාවික පිහිටීමකින් යුත් තැනක් නොවේ දැයි මම කල්පනා කෙළෙමි. පතුලේ සමතලා භූමිය සක් කරගත හොත් එහි නාට්‍යයක් රඟ පෑ හැකි ය. පේ‍්‍රක්ෂකයින් ට කඳු බෑවුමේ පඩි උඩ වාඩි වී නාට්‍යය බැලිය හැකි ය."

"මනමේ බිහි වූයේ 1956 නොවැම්බර මස තුන් වෙනි දා ය. එය එළිමහන් රඟ මඬලේ, සාම්ප‍්‍රදායික නාඩගම් රීතිය උල්ලංඝනය නොකර, අභීෂ්ට පරිසරයක රඟ දක්වන ලද්දේ 1958 පෙබරවාරි හෝ මාර්තු මස රාති‍්‍රයක ය."
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වීමේ මහානුභාවයෙන් "සරච්චන්ද්‍ර වළේ" සිටම සරච්චන්ද්‍ර නාටක නරඹන්නට මම වරම් ලදිමි. මනමේ, සිංහබාහු, මහාසාර, රත්තරං සහ එලොව ගිහින් මොලොව ආවා ඒ අතර වූ බව මගේ මතකයයි. විජය නන්දසිරි, නිශ්ශංක දිද්දෙනිය, ජය ශී‍්‍ර චන්ද්‍රජිත්, ලලිතා සහ යශෝදරා සරච්චන්ද්‍ර වැනි ප‍්‍රවීන නළු නිළියෝ එදා පේරාදෙණිය නාට්‍ය කළා උලෙළේ දී වේදිකා ගතවුණු සරච්චන්ද්‍ර නාට්‍යයන් හි රඟ පෑ අයුරු මට අද ද දෙනෙත් ඉදිරියේ මැවී පෙනෙන්නාක් සේ ය. එපමණක් නොවේ. ජයන්ත චන්ද්‍රසිරි ගේ අත්, සුනන්ද මහේන්ද්‍ර ගේ පොකුරු වැස්ස, සාලමන් ෆොන්සේකා ගේ අහිමි ජීවිත යනාදී අග‍්‍ර ගණයේ දෘශ්‍ය කාව්‍යයන් රැසක් නරඹා රස විඳින්නට මට හැකිවූයේ ද මේ සරච්චන්ද්‍ර එළිමහන් රඟහල නිසාbය.

කුසුම්සිරි ලියනාරච්චි සහ යසෝදරා සරච්චන්ද්‍ර දෙපළ ගේ නව නිෂ්පාදනයක් ලෙසින් මෙදා (2009) ඕස්ටේ‍්‍රලියාවේ දී අප හමුවට ආ ”රත්තරං” සහ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය ද්විත්වයේ ආරම්භය ගැන එදා සරච්චන්දුයෝ මෙසේ පැවසූහ.
"ඊළඟ අවුරුදු තුනේ මම, ගුවන් විදුලි නාට්‍යයක් වශයෙන් පළමුවෙන් රචනා කරන ලද 'රත්තරන්' හා 'එලොව ගිහින් මෙලොව ආව' යන කෙටි නාට්‍ය දෙක නිෂ්පාදනය කළෙමි. 'රත්තරන්' නිෂ්පාදනයට තොවිල් සම්ප‍්‍රදායේ නැටුම් වුවමනා වූ බැවින් වැලිගම නිවැසි ගෝමිත් ගුරුන්නාන්සේ මම පේරාදෙණියට ගෙන්වා ගතිමි. 'එලොව ගිහින් මෙලොව ආව' නම් නාට්‍යයට ආංගීකාහිනය රචනා කෙළේ මිහිරිපැන්න ය. ඒවා නම් විශිෂ්ට කාල්පනික නිර්මාණ බව කිව යුතුය."

"මේ නාට්‍ය දෙක නිෂ්පාදනය කරද්දී මා වෑයම් කෙළේ නාඩගම් ශෛලියෙන් බැහැරට ගොස් ගැමි ශාන්ති කර්ම හා ඒවායේ අඩංගු පෙළපාලිවල ශෛලියෙන් අපට යමක් උකහාගත නොහැකි දැ යි බැලීමට ය."
එදා අඩ අදුරේ ගිලූණු සරච්චන්ද්‍ර රඟහලේ සිට මම බොහෝ වේදිකා නාටක නැරඹුවෙමි. ඉන් නව නළු රස සිත් සේ වින්දෙමි. මතු දිවිය පුරාවටම දියෙන් කිරි වෙන්කර රස විඳින්නට ද, කඩුව ද, කොපුව ද, මනමේ කුමරිය ද යන ති‍්‍රත්වයම රැක ගන්නට ද, බාහු හා සීවලී කෙසේ වෙතත් අඩු ගණනේ සුප්පාවිය වත් ලෙන් දොර රඳවා ගන්නට ද, අවැසි පන්නරය ඉන් ලබා ගත්තෙමි.

අහා! එවන් සුන්දර සමයක්!

පෙර කී පරිදි කාල යන්ත‍්‍රයක පිහිටෙන් යළිත් අසූවේ දශකයේ පූර්ව භාගයට යන්නට ඇත්තම්, මා පේරාදෙණියේ සදහටම නතර වීමේ තීරණයක් ගන්නට ද සෑහෙන්න ඉඩ තිබේ.

සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහළට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම් ය. හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.

මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙළෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යළි යළිත් මවන්නට සමත් බව නොකිව මනා ය.

වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.

අහෝ! කාල යන්ත‍්‍ර වනා හී විද්‍යා ප‍්‍රබන්ධයන් ට සීමා වූ මිථ්‍යාවක් පමණක් ම ය!

ඉදින්, එවන් අතත්‍ය කාල යන්ත‍්‍රයක පිහිට කිසිසේත් ම නොලබා, මෙම සරච්චන්ද්‍ර නාට්‍ය ද්විත්වයේ රසහව් මෙලෙස "දකුණු කුරු දිව" ලෙස කව් බසින් නම් ලද ඕස්ටේ‍්‍රලියාවේ දී ජීවමානව විඳින්න ට අවකාශ ලැබීම අප ලද මහරුතම භාග්‍යයක් නොවන්නේ ද?

මහවැලි ගඟ බඩ නව දැලි හේනේ පෑ රැඟුම් කෙසේ වෙතත්, පෙර කී සොදුරු හන්තාන කඳු පියසේ ම වුව ද සුනිල මහවැලි නදියෙන් වෙන් කර තිබුණා වූ ශුෂ්ක කලාපයේ "කම්මලක්" තුළ සිව් වසරක සිර දඩුවමක් ගෙවූ හේතුවෙන් දෝ, මට "සරච්චන්ද්‍ර නාටක" බොහොමයක් "සරච්චන්ද්‍ර වළේ" සිට රස විඳීමෙන් ඔබ්බට යමක් කල නොහැකි විය.

එදා ලඬ්කාද්වීපයේ දී සරච්චන්ද්‍ර නාටකයන් ට තම රංගන දායකත්වය සැපයූ කලාකරුවෙකු වන නාට්‍යවේදී චම්ප බුද්ධිපාල ගේ සංවිධාන මූලිකත්වයෙන් සිඞ්නි නුවර පැවැත්වුණු "රත්තරං" සහ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය ද්විත්වයේ දර්ශනයන් හි දී අත්වැල් ගායනයෙන් සහභාගී වීමට මා දුහිතෘ කුමරියට අවස්ථාවක් ලැබීම මට රත්තරං වලට වඩා වටින්නේ ඒ නිසා ය. හරස් මාරු වූ මගේ ජානයෝ එදා මා නොලද ඒ වරම මෙදා ලදහ. තුටූ කඳුළු මුල් වරට මා නෙත නැගිණි.

එදා ඒ ගොරහැඩි "කම්මලේ" සමකාලීනකයෙකු වූ මා ළබැඳි ජයන්ත රත්නායක නම් මාර්ග තැනුම් සගයා "රත්තරං" නාටකයේ පුතා ගේ භූමිකාවට පණ පොවමින් මා නිසැකවම කිසි දිනෙක පහස නොලබන ගිරි ශිඛරයක් තරණය කරනු දුටු මොහොතේ පෘථග්ජන ම සිත නැගි මාත්සර්යය, උන් ලද ඒ ජය නිසාවෙන් මා නෙත එකම දිනයේ දෙවෙනි වරට නැගි තුටු කඳුළින් සමථය කර ගත්තෙමි.

-රසික සූරියආරච්චි

"වළේ" ඉඳං නාට්‍ය බැලූ හැටි : සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිලිබඳ අතීත ආවර්ජනාවකි! - Nostalgia


කාල යන්ත‍්‍රයක නැගී හෝ වෙනත් ක‍්‍රමයකින් හෝ අතීතයට යාමට හැකියාවක් ලබා ගත හැකි නම්, අප බොහෝ දෙනෙකු එදා ගත් තීරණ කිහිපයක් හෝ වෙනස් කර අදට වඩා වෙනස් වූ වර්තමානයක ජීවත්වනු ඇතැයි මට සිතේ. එසේ කළ හැකි නම් සහ තමන් එළිපිට කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්, ඕස්ටේ‍්‍රලියාවේ අද සිටින අපේ සිංහල ජනගහනයෙන් හරි අඩක් පමණ තම සංක‍්‍රමණ අයැදුම් පත් ගාස්තුව ද ඉතිරි කරගෙන පින් කෙත හෙළ රන් දෙරණේ අද ද යහතින් කල් යවනු ඇත.

මා සම්බන්ධයෙන් නම් කිව යුත්තේ, සම වයසේ යුවතියන් පිළිබඳ කිසිසේත් සිත කරදර කර නොගෙන, නිසැකවම නිෂ්ප‍්‍රභාවන බව අපරදෘෂ්ටියෙන් දන්නා ප‍්‍රශ්න ඔවුන් ගෙන් නොඅසා, මා සොඳුරු අනාගත පියඹ මුණ ගැසෙන තුරුම, කුමර බඹසර අසපුවේ මා නිරාමිසව කල් ගතකරන්නට ඉඩ තිබුණු බවයි.

මා අතීතයේ ගත් කුමන තීරණ කුමන ලෙස වෙනස් කළද, කිසි දිනක එලෙස වෙනස් නොකරන එක් තීරණයක් ඇත. එය නම්, මීට වසර විසි අටකට කලින් විශ්වවිද්‍යාල පිවිසුම සඳහා අයැදුම් කරද්දී, උඩුගම් බලා පීනමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගේ මුල් තේරීම ලෙස සඳහන් කරන්නට ගත් නිවරද තීරණයයි.

එදා මා "ටැක්නිකල් හන්දිය" වෙනුවට ගලහ හන්දිය තෝරා ගත්තෙමි. පිළී ගඳ වෙනුවට මල් සුවඳ තෝරා ගත්තෙමි. පල් වී ගිය බොල්ගොඩ ජලාශය වෙනුවට සුන්දර මහවැලි නදිය තෝරා ගත්තෙමි. "ජේම්ස් ජෝර්ජ් ශාලාව" වෙනුවට "සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය" තෝරා ගත්තෙමි.

කාල යන්ත‍්‍රයක නැගී අතීතයට යාමට අවස්ථාවක් ලදහොත් නැවත එලෙස කරන්නට ද කිසිසේත් ම නොපැකිලෙමි.

සොඳුරු හන්තාන කඳු වැටිය පාමුල, මහවැලි ඉවුර අසබඩ දිවෙන ගලහ මාර්ගයේ ආදරවන්තයින් ගේ වංගුව හෙවත් "කිසිං බෙන්ඞ්" පසුකර තුන් මහලින් සැදි, මල් කැටයම් පිරි, හිල්ඩා ඔබේසේකර සරසවි පාය දෙසට පා නගන කල දකුණු පසින් දක්නට ලැබෙන්නේ උඩරට කඳු අතර සරණ විට නිබඳ නෙත ගැටෙන රැළි ලියැදි වලින් යුත් කුඹුරක් වන් පි‍්‍රය උපදවන දසුනකි. මේ එදා පුරාණ ගී‍්‍රක රඟ මඩලක අර්ධ වෘත්තාකාර ආකෘතියට අනුව යමින්, පේරාදෙණිය සිරිලක මහා තක්සලාව අලංකෘත කල මහා කලාකරු, මහාචාර්ය වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කර, දේශීය අභිවාහ්‍ය කළා රසිකයින් ගේ රංගන රසකාමය සන්තර්පනය කිරීම පිණිස දායාද කරන ලද එළිමහන් රංග පීඨයයි.

තම ස්වයං චර්තාපදානය වන "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" කෘතියෙහි මේ රඟහල පිළිබද සටහනක් තබන සරච්චන්ද්‍රයෝ මෙසේ පවසති.
"මනමේ නාටකයේ අභිරංගයක් ඉදිරිපත් කළ හැක්කේ තාත්වික රංගයට සුදුසු පරිදි හැඩගැසුණු ප්‍රොසීනියම් රංග භූමියක නොව, රඟ මඩලක යයි විශ්වාස කළ මම, එවැනි තැනක් පේරාදෙණියේ කඳු අතර එළිමහනේ වුව සකස් කරගත හැකි නම් මැනවයි සිතමින් උන්නෙමි. එකල මා වාසය කෙළේ සංඝමිත්තා කන්ද උඩ තුබූ ගෙවල් තුනකින් එකක ය. හැම දා ම කන්ද බැස ආට්ස් බ්ලොක් දෙසට යන මම, කඳු පල්ලේ වම් පසෙහි වළන් කැබැල්ලක ආකෘතිය දරන කඳු බෑවුමක් නිතර දකිමි. එහි කලින් තුබූ ලියදි වල් බිහි වී දැන් පඩි පෙළක් මෙන් සෑදී ඇත. බෑවුමේ පතුලේ සමතලා භූමි භාගයක් තිබේ. මේ ස්ථානය මා හැමදාම පසු කර යන නමුත් එය කෙරෙහි මගේ අවධානය යොමු වූයේ එළිමහන් රඟ මඬලක් ගැන සිතමින් හුන් දවස්වල ය. එය, ඇම්පිතියටර් යන නමින් හඳුන්වන පේ‍්‍රක්ෂාගාරයකට හා රංගභූමියකට සුදුසු ස්වාභාවික පිහිටීමකින් යුත් තැනක් නොවේ දැයි මම කල්පනා කෙළෙමි. පතුලේ සමතලා භූමිය සක් කරගත හොත් එහි නාට්‍යයක් රඟ පෑ හැකි ය. පේ‍්‍රක්ෂකයින් ට කඳු බෑවුමේ පඩි උඩ වාඩි වී නාට්‍යය බැලිය හැකි ය."

"මනමේ බිහි වූයේ 1956 නොවැම්බර මස තුන් වෙනි දා ය. එය එළිමහන් රඟ මඬලේ, සාම්ප‍්‍රදායික නාඩගම් රීතිය උල්ලංඝනය නොකර, අභීෂ්ට පරිසරයක රඟ දක්වන ලද්දේ 1958 පෙබරවාරි හෝ මාර්තු මස රාති‍්‍රයක ය."
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වීමේ මහානුභාවයෙන් "සරච්චන්ද්‍ර වළේ" සිටම සරච්චන්ද්‍ර නාටක නරඹන්නට මම වරම් ලදිමි. මනමේ, සිංහබාහු, මහාසාර, රත්තරං සහ එලොව ගිහින් මොලොව ආවා ඒ අතර වූ බව මගේ මතකයයි. විජය නන්දසිරි, නිශ්ශංක දිද්දෙනිය, ජය ශී‍්‍ර චන්ද්‍රජිත්, ලලිතා සහ යශෝදරා සරච්චන්ද්‍ර වැනි ප‍්‍රවීන නළු නිළියෝ එදා පේරාදෙණිය නාට්‍ය කළා උලෙළේ දී වේදිකා ගතවුණු සරච්චන්ද්‍ර නාට්‍යයන් හි රඟ පෑ අයුරු මට අද ද දෙනෙත් ඉදිරියේ මැවී පෙනෙන්නාක් සේ ය. එපමණක් නොවේ. ජයන්ත චන්ද්‍රසිරි ගේ අත්, සුනන්ද මහේන්ද්‍ර ගේ පොකුරු වැස්ස, සාලමන් ෆොන්සේකා ගේ අහිමි ජීවිත යනාදී අග‍්‍ර ගණයේ දෘශ්‍ය කාව්‍යයන් රැසක් නරඹා රස විඳින්නට මට හැකිවූයේ ද මේ සරච්චන්ද්‍ර එළිමහන් රඟහල නිසාbය.

කුසුම්සිරි ලියනාරච්චි සහ යසෝදරා සරච්චන්ද්‍ර දෙපළ ගේ නව නිෂ්පාදනයක් ලෙසින් මෙදා (2009) ඕස්ටේ‍්‍රලියාවේ දී අප හමුවට ආ ”රත්තරං” සහ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය ද්විත්වයේ ආරම්භය ගැන එදා සරච්චන්දුයෝ මෙසේ පැවසූහ.
"ඊළඟ අවුරුදු තුනේ මම, ගුවන් විදුලි නාට්‍යයක් වශයෙන් පළමුවෙන් රචනා කරන ලද 'රත්තරන්' හා 'එලොව ගිහින් මෙලොව ආව' යන කෙටි නාට්‍ය දෙක නිෂ්පාදනය කළෙමි. 'රත්තරන්' නිෂ්පාදනයට තොවිල් සම්ප‍්‍රදායේ නැටුම් වුවමනා වූ බැවින් වැලිගම නිවැසි ගෝමිත් ගුරුන්නාන්සේ මම පේරාදෙණියට ගෙන්වා ගතිමි. 'එලොව ගිහින් මෙලොව ආව' නම් නාට්‍යයට ආංගීකාහිනය රචනා කෙළේ මිහිරිපැන්න ය. ඒවා නම් විශිෂ්ට කාල්පනික නිර්මාණ බව කිව යුතුය."

"මේ නාට්‍ය දෙක නිෂ්පාදනය කරද්දී මා වෑයම් කෙළේ නාඩගම් ශෛලියෙන් බැහැරට ගොස් ගැමි ශාන්ති කර්ම හා ඒවායේ අඩංගු පෙළපාලිවල ශෛලියෙන් අපට යමක් උකහාගත නොහැකි දැ යි බැලීමට ය."
එදා අඩ අදුරේ ගිලූණු සරච්චන්ද්‍ර රඟහලේ සිට මම බොහෝ වේදිකා නාටක නැරඹුවෙමි. ඉන් නව නළු රස සිත් සේ වින්දෙමි. මතු දිවිය පුරාවටම දියෙන් කිරි වෙන්කර රස විඳින්නට ද, කඩුව ද, කොපුව ද, මනමේ කුමරිය ද යන ති‍්‍රත්වයම රැක ගන්නට ද, බාහු හා සීවලී කෙසේ වෙතත් අඩු ගණනේ සුප්පාවිය වත් ලෙන් දොර රඳවා ගන්නට ද, අවැසි පන්නරය ඉන් ලබා ගත්තෙමි.

අහා! එවන් සුන්දර සමයක්!

පෙර කී පරිදි කාල යන්ත‍්‍රයක පිහිටෙන් යළිත් අසූවේ දශකයේ පූර්ව භාගයට යන්නට ඇත්තම්, මා පේරාදෙණියේ සදහටම නතර වීමේ තීරණයක් ගන්නට ද සෑහෙන්න ඉඩ තිබේ.

සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහළට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම් ය. හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.

මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙළෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යළි යළිත් මවන්නට සමත් බව නොකිව මනා ය.

වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.

අහෝ! කාල යන්ත‍්‍ර වනා හී විද්‍යා ප‍්‍රබන්ධයන් ට සීමා වූ මිථ්‍යාවක් පමණක් ම ය!

ඉදින්, එවන් අතත්‍ය කාල යන්ත‍්‍රයක පිහිට කිසිසේත් ම නොලබා, මෙම සරච්චන්ද්‍ර නාට්‍ය ද්විත්වයේ රසහව් මෙලෙස "දකුණු කුරු දිව" ලෙස කව් බසින් නම් ලද ඕස්ටේ‍්‍රලියාවේ දී ජීවමානව විඳින්න ට අවකාශ ලැබීම අප ලද මහරුතම භාග්‍යයක් නොවන්නේ ද?

මහවැලි ගඟ බඩ නව දැලි හේනේ පෑ රැඟුම් කෙසේ වෙතත්, පෙර කී සොදුරු හන්තාන කඳු පියසේ ම වුව ද සුනිල මහවැලි නදියෙන් වෙන් කර තිබුණා වූ ශුෂ්ක කලාපයේ "කම්මලක්" තුළ සිව් වසරක සිර දඩුවමක් ගෙවූ හේතුවෙන් දෝ, මට "සරච්චන්ද්‍ර නාටක" බොහොමයක් "සරච්චන්ද්‍ර වළේ" සිට රස විඳීමෙන් ඔබ්බට යමක් කල නොහැකි විය.

එදා ලඬ්කාද්වීපයේ දී සරච්චන්ද්‍ර නාටකයන් ට තම රංගන දායකත්වය සැපයූ කලාකරුවෙකු වන නාට්‍යවේදී චම්ප බුද්ධිපාල ගේ සංවිධාන මූලිකත්වයෙන් සිඞ්නි නුවර පැවැත්වුණු "රත්තරං" සහ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය ද්විත්වයේ දර්ශනයන් හි දී අත්වැල් ගායනයෙන් සහභාගී වීමට මා දුහිතෘ කුමරියට අවස්ථාවක් ලැබීම මට රත්තරං වලට වඩා වටින්නේ ඒ නිසා ය. හරස් මාරු වූ මගේ ජානයෝ එදා මා නොලද ඒ වරම මෙදා ලදහ. තුටූ කඳුළු මුල් වරට මා නෙත නැගිණි.

එදා ඒ ගොරහැඩි "කම්මලේ" සමකාලීනකයෙකු වූ මා ළබැඳි ජයන්ත රත්නායක නම් මාර්ග තැනුම් සගයා "රත්තරං" නාටකයේ පුතා ගේ භූමිකාවට පණ පොවමින් මා නිසැකවම කිසි දිනෙක පහස නොලබන ගිරි ශිඛරයක් තරණය කරනු දුටු මොහොතේ පෘථග්ජන ම සිත නැගි මාත්සර්යය, උන් ලද ඒ ජය නිසාවෙන් මා නෙත එකම දිනයේ දෙවෙනි වරට නැගි තුටු කඳුළින් සමථය කර ගත්තෙමි.

-රසික සූරියආරච්චි

Tuesday, 2 June 2015

පේරාදෙනියේ දී මා කළ දේ ඔබ නොදනී - What did you do at Peradeniya University?



"උඹ මොනවාද බං කැම්පස් එකේ දී කළේ? උඹ අඩුගානේ කැම්පස් එකේ දී ටෙනිස්වත් ගැහැව්වාද?"

ඒ මට අපහාස කිරීමට සිතා සමකාලීන විශ්වවිද්‍යාල සිසුවෙකු අප විශ්වවිද්‍යාලයෙන් පිටවී වසරකට පමණ පසු සේවා ස්ථානයකදී මගෙන් ඇසූ පැණයකි. එකම විශ්වවිද්‍යාලයේ වුවද, මහවැලි ගඟෙන් දෙපැත්තේ පිහිටි අධ්‍යයන පීඨ දෙකක සිසුන් වූ අප දෙදෙනා මුලින්ම දැන හඳුණා ගත්තේ ද ඊට මාස දෙකකට පමණ කලිනි.

මා පෙර දිනක දී කියූ ලෙසින්, එදා ඒ මගෙන් ඇසූ ප්‍රශ්ණය පසුපස තිබුණු සමාජ-දේශපාලන යථාර්තය දැක කම්පා වූ මම, ඔහුට පිළිතුරක් නොදුන්නෙමි.

අද මා මේ සැරසෙන්නේ ඒ නොදුන් පිළිතුර අකුරු කිරීමටයි.

මා උසස් පෙළ විභාගයට පෙනී සිටියේ මගේ දහ අටවෙනි උපන් දිනයට මාස දෙකකට කලිනි.

කුමන පාඨමාලාවක් හෝ හැදෑරීමට විශ්වවිද්‍යාලයට යාමට තරම් මගේ උසස් පෙළ ලකුණු ප්‍රමාණවත් වුවහොත් මා කාලයක සිට පෙරුම් පිරුවේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමටයි. එයට මූලිකම හේතුව වූයේ නවකතාවලින්, ගීතවලින් නිරතුරු උත්කර්ෂයට නැගෙනු අසා තිබූ හන්තානේ කඳු පාමුල, මහවැලි ගඟ අසබඩ සිව් වසරක් ගත කරන්නට සිත තුල බැඳුණු "පොඩි එකා ගේ ආසාව" යි.

පසු කාලයක මගේ බාල සොහොයුරා කළාක් මෙන් පිළියන්දල නැන්දලා ගේ නිවසේ සිට මොරටුවට යෑම වෙනුවට පේරාදෙනියේ වසර හතරක් පදිංචි වීමට මා ගත් තීරණයට ආර්ථික ශක්තිය දුන්නේ ඒ වන විටත් ගුරු සේවයෙන් විශ්‍රාම ලබා සිටි මගේ දුප්පත් පියා බව නෙත පිරුණු කඳුළින් යුතුව සිහි කරමි.

මා මගේ දහ නමවෙනි උපන් දිනය සැමරුවේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ පළමු වසරේ ශිෂ්‍යයෙක් ලෙස මාකස් ප්‍රනාන්දු ශාලාවේ දී ය.

සංජය වත්තේගම නිවැරදි ය. පේරාදෙනියේ ගත කළ සිව් වසරක් සහ මාස දෙකක කාලය තුල මා ටෙනිස් ක්‍රීඩා නොකළ බව සත්‍යයකි. එසේ වුවද, මා කළ කී වෙනත් දේ බොහෝ ය.

ටෙනිස් නොගැසූව ද මා නිරතුරු ටේබල් ටෙනිස් ක්‍රීඩා කළෙමි. ඇත්තටම කියනවා නම්, දෙවන වසර මුළ සිට තුන්වන වසරේ අවසානය වසර දක්වා ම මාගේ කාලය වැඩි වශයෙන් ගත වුනේ ශිෂ්‍ය පොදු කාමරයේ (Students' Common Room) ටේබල් ටෙනිස් සහ කැරම් ක්‍රීඩාවේ නිරත වීමටය කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

විශ්වවිද්‍යාල ක්‍රීඩාගාරයේ (Gymnasium) ටේබල් ටෙනිස් ක්‍රීඩා කිරීම සහ ශිෂ්‍ය පොදු කාමරයේ ටේබල් ටෙනිස් ක්‍රීඩා කිරීම අතර ඇති වෙනස දන්නෝ දනිති. නොදන්නන් ගේ දැන ගැනීම පිණිස කියනවා නම්, ශිෂ්‍ය පොදු කාමරයේ ටේබල් ටෙනිස් ක්‍රීඩා කෙරෙන්නේ දේශණ පැවැත්වෙන දිවා කාලයේ දී මිස ක්‍රීඩාගාරයේ දී මෙන් සවස් යාමයේ නොවේ!

දුම්රියේ පාසල් යාම අරඹා වයස දාසය පමණ ලැබූ පසු කවි ලියන්නට පෙළඹුනු මා ඒ සරල පෙම් ගීයෙන් ඔබ්බට ගියේ මේ සිව් වසරක කාලය තුළදී ය. ඉංජිනේරු පීඨ කලාකවය (Arts Circle) නිර්මාණ පුවරුවේ නිරතුරුවම මගේ කවි පළවිය. පාසල් සමයේ දී මා කළ කෙටිකතා ලිවීම නම් දිගටම කරන්නට තරම් උත්තේජනයක් නම් කලාකවයෙන් නොලැබුණු බව ද කිව යුතුය.

ඒ වෙනුවට, පළමු වසරේ දී සහ තුන්වෙනි වසරේ දී පැවති ඉංජිනේරු පීඨ පිළිගැනීමේ උළෙලේ (Freshers Welcome) දී සහ පීඨ දිනයේ (Faculty Day) දී පැවැති විවිධ ප්‍රසංග සඳහා කෙටි ප්‍රහසන ද්වයක් රචනා කර, අපේ කණ්ඩායමේ සිසු නළුවන් කිහිප දෙනෙකු ද සමග වේදිකා ගත කරන්නට මට හැකි විය.

පළමු වසරේ දී ම කලා කවයේ කමිටු සාමාජිකයෙකු ලෙසින් ඇරඹුණු මගේ විශ්වවිද්‍යාල සංගම් ජීවිතය, ඊළඟ දෙවසරේ දී, කලා කවයේ සංස්කාරක සහ ලේකම් ලෙසද, සමාජ විද්‍යා සංගමයේ (Social Science Society) සංස්කාරක සහ ලේකම් ලෙසද ගත වී අවසාන වසරේ උච්ඡස්ථානයට පත් වූයේ ඉංජිනේරු ශිෂ්‍ය සංගමයේ (Engineering Students Union) සභාපති ලෙසිනි.

අපේ දෙවන අධ්‍යයන වසර හිටි හැටියේම අවසාන වූයේ ශිෂ්‍ය උද්ඝෝෂණයක් සහ එහි දී ඇති වූ සිදුවීම් කිහිපයකට පසු විශ්වවිද්‍යාලය වසා දැමීමෙනි. විශ්වවිද්‍යාලය තහනම් භූමියක් ලෙස පවත්වාගෙන යමින් විභාග පවත්වා පසුව අපේ තුන්වන වසර ඇරඹෙන විට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් අහෝසි කර තිබුණු අතර, පෙර වසරේ ශිෂ්‍ය නියෝජිතයින් ලෙස කටයුතු කළ සිසුන් බහුතරයක ගේ ශිෂ්‍ය භාවය තහනම් කර තිබුණි. ඒ අරාජික තත්වය පවතිද්දී ශිෂ්‍ය හඬ නංවන්නට යම් ආකාරයක සම්මාදමක් වෙන්නටත්, ඒ වසර අවසානයේ විශ්වවිද්‍යාල ශිෂයෙකු පොලිස් වෙඩි පහරකින් මිය ගිය පසු ඇරඹුණු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට (Action Committee) සක්‍රීයව දායකත්වය සපයන්නටත්,අන්තර් විශ්වවිද්‍යාල බලමංඩලයේ (Inter University Students Federation) රැස්වීම්වල දී පේරාදෙනිය විශ්වවිද්‍යාලය නියෝජනය කරන්නටත් මට හැකිවිය.

මේ සියළු බාහිර වැඩ කටයුතු සඳහා වැය කරන්නට සිදුවන්නේ අධ්‍යාපනය සඳහා ගත කළ යුතු කාලය බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසා ම, පළමු පන්තියේ සාමාර්ථයක් නොලැබුණද, දෙවන ඉහල පන්තියේ සාමාර්ථයක් (Second Class Upper Division) ලැබීම මට රජකම ලැබීම හා සමාන විය.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මා ගත කළ සිව්වසරක කාලය තුල මා නිරත වුණු ටේබල් ටෙනිස් සහ කැරම් ක්‍රීඩා, කවි සහ කෙටි නාට්‍ය වැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම්, ශිෂ්‍ය සංගම්වල සේවය සහ අවසානයේ දී ලබා ගත් අධ්‍යාපන ජයග්‍රහණය ගැන ද මා මෙහිදී සඳහන් කළෙමි.

ඒවා, මොරටුවේ දී වුව ද කළ හැකිව තිබූ දේ බව අමුතුවෙන් කිව යුතු නැත.

එසේ නම්, පේරාදෙනියේ දී පමණක් කළ හැකි දේ?

"හන්තානේ කඳු මුදුණ සිසාරා පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්"

ඔව්, ඒ කාරණා කටයුතු ද මම ඒ සිව් වසර තුළ කළෙමි. එක් වරක් පමණක් කළ යුතු දේ එක් වරක් නොව සිව් වරක් ම කළෙමි. එහි වරද නම් මගේ ය.

පේරාදෙනිය විශ්වවිද්‍යාලය මැදින් ගලා බසින මහවැලි ගඟ අසබඩින් වැටී ඇති ලවර්ස් ලේන් හෙවත් ආදරවන්තයින් ගේ පටුමග පිළිබඳව පසු කළෙක මා ලියූ ලිපියක කොටසක් මෙසේ ය.
සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහලට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම්ය.

හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.

මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙලෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යලි යලිත් මවන්නට සමත් බව නොකිව මනා ය.

වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙනිය විශ්වවිද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.
මේ ලිපිය එක්තරා ආකාරයක පම්පෝරියකි. මා පේරාදෙනියේ දී කළ කී ඒ දේවල් මට වැදගත් වුව ද සංජය වත්තේගමට මෙන් ම මෙය කියවන ඔබට ද නොවැදගත් දේ වීමට හැකිය.

ඉතිං මට පාන් ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ කෙසේ වෙතත්, මගේ ජීවිතයේ සිව් වසරක් ගෙවුණු හැටි ඉතා සංක්‍ෂිප්තව ලියවුණු මේ ලිපිය අද පළ කරන්නට සිතුවේ රසිකොලොජි බ්ලොගයේ සුවිශේෂී සැතපුම් කණුවක් සනිටුහන් කරන්නටයි. මා මෙතැනට ලඟාවෙන්නට සිටියේ රසිකොලොජියට වසරක් ගතවෙන ඔක්තෝබර් විසි හත්වෙනිදා ය. නමුත්, මුලින් නොසිතු විලස, මාස හතක් ගත වීමත් සමගම ලිපි සියයක් ලියා පළ කරන්නට මට හැකිවිය.

පසුගිය සත් මසක කාලයේ දී මේ ලිපි සියයෙන් එකක් හෝ කියවූ, ප්‍රතිචාර දැක්වූ සැමට මගේ අවංක ස්තුතිය පිරිනමමි.

Thursday, 9 April 2015

මගේ ගම පරකන්දෙණිය යි - It is worth 150 Rs. for an undergraduate...!


ඔබේ ගම කුමක්දැයි ඇසුවොත් කිව යුත්තේ කුමක්ද? ඔබ ඉපදුණු ගම ද? පියා ගේ මහ ගෙදර පිහිටි ගම ද? ඔබ හැදී වැඩුණු ගම ද? දැන් ඔබ ජීවත්වන ගම ද?

මා උපන්නේ කොළඹ මහා රෝහලේ ද සොයිසා ප්‍රසූතිකාගාරයේ දී ය. මෙය පිහිටා ඇත්තේ කොළඹ කින්සි පාරේ මරදාන පැත්තේ නිසා මා ඉපදුණු ගම මරදාන ලෙස සැලකිය හැක. මේ ගැබිණි වාට්ටුව පිහිටා තිබුණේ කින්සි පාරේ අනිත් පැත්තේ නම්, මා ඉපදුණු ගම වෙනු ඇත්තේ කුරුඳුවත්ත යි.

නමුත් ඇත්තටම මගේ ගම ලෙස සැළකිය යුත්තේ, මගේ පියා කුඩා කළ සිට හැදුණු වැඩුණු, මගේ ජීවිතයේ මුල් අවුරුදු දහ අටෙන් දොළහක් ම ගත කළ පරකන්දෙණිය නම් වූ ග්‍රාමයයි.

පරකන්දෙණිය ගම පිහිටියේ ගම්පහ මැතිවරණ කොට්ඨාශයේ එක් කෙළවරක ය. එහි මායිම් ගම්මාන වූයේ කොස්සින්න, කටුවාලමුල්ල, අමුණුගොඩ, ඉඹුල්ගොඩ, ඇල්දෙනිය සහ ගිණිකොණ දෙසින් කොළඹ-නුවර පාරයි.

ගම හරහා පැයකට වරක් එක් දිසාවකට ගමන් ගත් බස් රථය වූයේ අංක 218 ගණේමුල්ල-කඩවත බසයයි.

විශාල ප්‍රදේශයක් භූමි ප්‍රදේශයක් පුරා පැතිර තිබුණු පරකන්දෙණිය ගම මගේ පියා ගේ දෙමව්පියන් දෙදෙනාගේ ම උපන් ගම විය. නමුත්, සීයා ගේ ඥාතීන් සිටියේ අප එකල ඉහල පරකන්දෙණිය නමින් හැඳින්වූ නුවර පාර ආසන්න ප්‍රදේශයේ ය. සීයා සහ ආච්චී පදිංචිව සිටි තාත්තා ගේ මහගෙදර පිහිටියේ ගමේ අනෙක් කෙළවරේ ය.

ගමේ එක කොණක ජීවත් වීම යනු ප්‍රායෝගිකව අල්ලපු ගමේ ම ජීවත්වීමකි.

අපේ නිවස පිහිටා තිබූ ඉඩමට අල්ලපු වත්ත අයත් වූයේ කොස්සින්නටයි. මා කුඩා කාලයේ පාසල් ගියේ ද, මගේ පියා ගේ මුල් පාසල ද වුණු කොස්සින්න ශ්‍රී ශ්‍රීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයටයි. පරකන්දෙනිය ගමේ ද, මායාදුන්න කණිෂ්ඨ විද්‍යාලය නමින් පාසලක් වූ නමුත් අප නිවසේ සිට එය පිහිටියේ කොස්සින්න පාසලට වඩා සාපේක්‍ෂව තරමක් දුරිණි.

අප පෝය දිනට ගියේ ද, කොස්සින්න පන්සලටයි. එය සියම් නිකායේ අස්ගිරි පාර්ශවයට අයත් පුරාණ රජමහා විහාරයකි. පරකන්දෙණියේ පන්සලට මා කිසි දිනක ගොස් නැත.

අපේ ගමට තැපැල් බෙදුවේ ඉඹුල්ගොඩ තැපැල් කාර්යාලයෙන් වූ නමුත් අප නිතරම ගියේ කොස්සින්නේ පිහිටි උප තැපැල් කාර්යාලයටයි, එසේත් නැති නම්, ගණේමුල්ලේ තැපැල් කාර්යාලයටයි.

කොටින් ම, අපට පරකන්දෙනිය යන නම වැදගත් වූයේ කරුණු දෙක තුනක් සඳහා පමණි.

ඉන් ප්‍රධානම කරුණ නම් තැපැල් සේවය සඳහා භාවිතා කළ යුතු ලිපිනයේ ඇතුලත් කිරීමටයි. ඇත්තටම අප වාසය කරන්නේ කොස්සින්නේ නොව පරකන්දෙණිය නම් ගමක බව මා දැන ගත්තේ ද, පාසලේ දී නිවසේ ලිපිනය ලිවීමට සිදුවූ මොහොතක දී ය. අල්ලපු වත්තේ සිටි මගේ ඥාතියෙකු සහ පාසල් මිතුරෙකු වන ආනන්ද ජයතිලක තම ලිපිනය කොස්සින්න, ගනේමුල්ල කියා ලියද්දී මම ද එසේ ලියූවෙමි. මා වෙසෙන්නේ පරකන්දෙණියේ බව මට කියා පහදා දුන්නේ ආනන්ද විසිනි. (Happy birthday, Ananda)

මීට අමතරව, අපේ සලාක යනාදිය ලැබෙන සමූපකාරය පිහිටා තිබුණේ ද, ග්‍රාමසේවක කාර්යාලය තිබුණේ ද, ඡන්දය දීමට යා යුතු වූයේ ද, පරකන්දෙණිය ගම මධ්‍යයේ පිහිටි විවිධ ස්ථාන වලටයි.

පරකන්දෙණිය යන නම ලංකාවේ වැඩි දෙනෙකු අසා හුරු පුරුදු නමක් නොවේ. එය, එක්තරා දිනයක මගේ වාසියට හේතු විය.

ඒ කතාව මෙසේය.

මා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් ජීවිතයේ වසන්ත සමය ගතකළ කාලයේ දී දිනයක, හදිසියේ ම, විශ්වවිද්‍යාලය වසා දමන ලදී. නේවාසික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එදිනම විශ්වවිද්‍යාල භූමියෙන් පිටත්ව නිවෙස් බලා යන ලෙස පාලකයෝ දැනුම් දුන්හ.

මේ ආකාරයට විශ්වවිද්‍යාලය හදිසියේම වසා දමන විට සිසුන්ට නිවසට යාම සඳහා මුදල් ආධාර දීමේ ක්‍රමයක් එකල පැවතුණි. කුමක් හෝ ඓතිහාසික හේතුවක් නිසා සිසුන්ට ලබා දුන් මේ මුදල් ප්‍රමාණය නීර්ණය කෙරුණේ විශ්වවිද්‍යාලයේ සිට එක් එක් නිවසට ඇති දුර අනුව ය.

නිවස නුවර පලාතේ නම් ලැබෙන්නේ රුපියල් විසි පහකි.

ගම්පහ, කුරුණෑගල, බණ්ඩාරවෙල නම් රුපියල් පනහක් ලැබේ.

නිවස පිහිටියේ ඊටත් දුර නම් රුපියල් හැත්තෑ පහක් හෝ සීයක් ලැබේ.

වැඩිම මුදළ වූ රුපියල් එකසිය පනහක් ලැබුණේ, නිවස යාපනය, මඩකළපුව, ත්‍රිකුනාමලය, මාතර හෝ හම්බන්තොට යන දිස්ත්‍රික්කයක පිහිටා ඇති නම් පමණි.

පීඨ ලේඛකාධිකාරී කාර්යාලයේ දී. අපේ ශිෂ්‍ය වාර්තා පොතේ ඇති ලිපිනය පරීක්‍ෂා කර ඒ අනුව මේ මුදල ලබා දෙන ලදී.

මගේ ගමේ නම වූ පරකන්දෙණිය යන්න සහ තැපැල් කාර්යාලය වූ ඉඹුල්ගොඩ යන්න දුටු පීඨ කාර්යාලයේ ලිපිකරු මේ කොයි දිස්ත්‍රික්කයේ දැයි මගෙන් ඇසුවේය. "රුපියල් එකසිය පනහක දුර!" යැයි මම පැවසූයෙමි.

මාතර දිස්ත්‍රික්කය යටතේ මගේ නම ඇතුළත් කළ ඔහු මට රුපියල් එකසිය පනහක් දුන්නේ ය.

ඊට හරියටම මාස විසි එකකට පසු දිනක, උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියා පදිංචි වීමේ දී මට ඒ රුපියල් එකසිය පනහ ගෙවා ණය බරෙන් නිදහස් වීමට සිදු විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පසු කලෙක සිදුවුණු ග්‍රාම සේවක වසම් නැවත නම් කිරීමේ ක්‍රියා දාමයක ප්‍රතිඵලයක් ලෙස අපේ මහ ගෙදර තිබුණු ප්‍රදේශය දැන් හැඳින්වෙන්නේ කටුවාලමුල්ල උතුර කියාය. නමුත්, ග්‍රාමසේවකලාට කෙසේ වෙතත්, ගම්වාසීන්ට නම් අපේ ගම තවමත් පරකන්දෙණිය යි!

(මෙය බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවුණු ලිපියකි!)