Showing posts with label දතේ පන්සල. Show all posts
Showing posts with label දතේ පන්සල. Show all posts

Thursday, 12 September 2024

පොලිස් තට්ටුව සහ ෂා-රුක් ඛාන් ගේ අතුරු කතාව - My life as a foreigner


ඔබ ඉදිරියේ ලැජ්ජාවෙන් ඇඹරෙන පොලිස්කාරයෙකුගේ පිටට තට්ටුවක් දමා “ගණන් ගන්න එපා. මගේ අහිතක් නෑ,” කියා පවසන්නට ඔබට අවස්ථාව ලැබී තිබේද?

මට නම් එවැනි අවස්ථාවක් ලැබී ඇත.

ඒ පිටරටක දී නොව සිරි ලංකාවේ දී ය.

වැඩි ඈතක දී නොව මීට මාස දෙකහමාරකට පමණ කලින් මා ලංකාවේ සති දෙකක් පමණ ගත කළ කාලයේ මහනුවර නගරයේ දී ය.

මෙන්න ඒ කතාව සහ තවත් අතුරු කතාවක්.

මගේ දීර්ඝ කාලීන මිතුරන් දෙදෙනකු සමග මම එදින උදෑසන මහනුවර නගරයට ආසන්නයේ පිහිටි ඩෝවින් නම් ජලාශයකින් ද සමන්විත දුණුමඩලාව වන රක්ෂිතයේ සංචාරයක යෙදුනෙමි. පැය තුන හතරක් ගත වූ ඒ අගනා අත්දැකීමෙන් පසු තිදෙනා මහනුවර නගරයට පැමිණියේ දැඩි කුසගින්නක් සහ පිපාසයක්ද සමගිනි.

අප තිදෙනා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාලයට සාපේක්ෂව මහනුවර නගරය විශාල වෙනස්කම්වලට භාජනය වී ඇත. මා දුටු විශාලතම වෙනස නම් වෙනදා පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටි ප්‍රදේශයට දිවෙන බස් රථ ගමනාගමනය ඇරඹුණු නැවතුම්පොළ තිබුණු ප්‍රදේශය ද, ඊට උඩින් පිහිටා තිබුණු සිනමාශාලාව පිහිටි භූමිය ද වසාගෙන ඉදිවී ඇති සාප්පු සංකීර්ණයයි. එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයක පිහිටි ආපන ශාලා පරිශ්‍රයට ගිය අප මුලින් ම ආහාර ඇණවුම්කර ඉන් පසුව ඊට නුදුරින් පිහිටා තිබුණු බීම ශාලාවට ගොස් බියර් ජොග්ගුවක රසවින්දෙමු.

පසුව ඇනවුම් කළ ආහාර ද අනුභවය කර, අපේ එක් මිතුරෙකුට මඳක් විවේක සුවයෙන් සිටීමට අවශ්‍ය වූ නිසා ඔහුට ඒ සඳහා ඉඩ ලබා දී අනෙක් මිතුරා සහ මා අපේ ගමනේ දෙවන කොටස සඳහා පිටත්ව ගියෙමු. ඒ මහනුවර කෞතුකාගාරය සහ ඒ අසලම පිහිටා ඇති බ්‍රිතාන්‍ය යුධ සොහොන් පිටිය නැරඹීමටයි.

වැව් ඉවුර දිගේ ගමන් කළ අපි දෙදෙනා, "දන්ත පන්සල" (temple of the tooth) පසුකර වම් අත පැත්තට හැරුණේ, පෙර කී මහනුවර කෞතුකාගාරය වෙත යෑමටයි. මගේ මිතුරා දුරකතන සාකච්ඡාවක නිසා පැමිණියේ මට වඩා මීටර් කිහිපයක් පසු පසිනි.

එවිට මා දුටුවේ දන්ත පන්සලට ඇතුළු වීම සඳහා මේ පැත්තෙන් ද දොරටු ඇති බවයි. එක් දොරටුවක් දන්ත කුමාර ලා සඳහා ය. අනෙක හේමමාලා ලා සඳහා ය. කුමාරයින් සඳහා වෙන් කර තිබුණු දොරටුව අසල පොලීසියේ කිහිප දෙනෙකු ද සිටිනු පෙනුණි.

ඉන් එක් අයෙකු මා දෙස බලා කුමක් දෝ අපහැදිලිව කියනු ඇසුණු නිසා මා මදක් ඒ පැත්තට ගියෙමි.

ඔහු මගෙන් අසා තිබුණේ “ෆ්‍රොම් වෙයා ආ යූ?” යන අදහස ඇති “යු ආ ෆ්‍රොම්?” කියා බව මට වැටහුණි. මම මද සිනහවක් පෑවෙමි.

“යූ වෝන්ට් ටු ගෝ?” ඔහු ඊළඟට ඇසුවේය.

මේ පොලිස් කොස්තාපල්වරයා මා විදේශීය සංචාරකයෙකු යැයි වරදවා වටහාගෙන ඇති බව මට ඒ වන විටත් වැටහී තිබුණි.

නැගුණු සිනාව කට කොණක සඟවාගෙන මා ඔහුට තරමක් කිට්ටු වී “මං මේ මහනුවර කෞතුකාගාරයට යනවා” යැයි පැවසීමි.

තමන්ට වූ වරද වැටහුණු ඒ අසරණ පොලිස්කාරයා ලැජ්ජාවට පත්ව බිම බලාගෙන ඇඹරෙන්නට විය.

ජීවිතයට එක්වරක් ලැබෙන ආකාරයේ අවස්ථාවක් මට ලැබුණේ ඒ මොහොතේ දී ය.

ඉදිරිය නැමුණු මම, පොලිස්කාරයාගේ පිටට පොඩි තට්ටුවක් දමා “ගණන් ගන්න එපා. මගේ අහිතක් නෑ,” කියා සිනාසෙමින් පැවසුවෙමි.

මේ කතාව මුළුමනින් නොතේරෙන අයෙකු සිටී නම් ඔවුන් සඳහා පැහැදිළි කිරීමක් කළ යුතුය.
විදේශිකයෙකු, ස්වදේශිකයෙකු ලෙස සැළකීම ගෞරවයකි.
නමුත් ස්වදේශිකයෙකු, විදේශිකයෙකු ලෙස සැළකීම අවමානයකි.
පොලිස් කොස්තාපල් ලැජ්ජාවෙන් ඇඹරුණේ ද, මා අහිතක් නැතැයි කීවේ ද ඒ නිසා ය.

-රසික සූරියආරච්චි

දැන් මෙන්න අතුරු කතාව.

එතැනින් පිටත් වූ මා ඊට මීටර් කිහිපයක දුරින් පිහිටි කෞතුකාගාරය වෙත පියවර නැගුවෙමි. මා මිතුරා තවමත් දුරඛතනය සාකච්ඡාවේ යෙදෙමින් තරමක් පිටුපසින් ගමන් කරයි. කෞතුකාගාරය පරිෂ්ඨයට පිවිසෙන දොරටුවේ ම කුඩා කුටියක් ඇත. ඒ ප්‍රවේශපත්‍ර විකිණීමටය. ඒ තුළ සුන්දර ලලනාවක අසුන් ගෙන සිටියා ය.

විදේශිකයෙකු සඳහා ඇතුළත්වීමේ ගාස්තුව ඩොලර් දහයක් බවත්, ස්වදේශිකයින් සඳහා ගාස්තුව රුපියල් සීයක් බව දැක්වෙන පුවරුවක් ද පෙනෙන්නට තිබුණි.

අනවශ්‍ය වැරදීම මග හැරිය යුතු යැයි සිතූ මා, වොලට්ටුවෙන් රුපියල් සීයේ කොළ දෙකක් රැගෙන ලලනාව වෙත දිගු කර “ටිකට් දෙකක් දෙන්න” යැයි පැවසීමි.

මන්දස්මිතයක් මුහුණට නංවා ගත් යුවතිය “අනේ, මං හිතුවේ ටුවරිස්ට් කෙනෙක් කියලයි” කියා කීවාය.

“එහෙනම් අද ඔයාට හවස ගෙදර ගියාම කියන්න හොඳ කතාවක් තියෙනවා” මම සිනාසෙමින් කීවෙමි.

“ඒ මොකක් ද?” ඇය උනන්දුවෙන් විමසුවාය.

“කියන්න, අද ෂා-රුක් ඛාන් විග් එක දාන්නේ නැතුව කෞතුකාගාරය බලන්න ආවා කියලා,” මම කීවෙමි.

(image: created using https://ideogram.ai/)

Friday, 6 January 2023

ලබ්බ, දත, දතේ පන්සල සහ වෙනත් කතා - Here comes one of the "other stories" first


මෙන්න ඒ වෙනත් කතාවක්. මේ කතාව මා කලකට පෙර ලියා පළ කළ රජ කාලේ කතන්දරයක් පිළිබඳ කතාවකි.

වෙනත් කතාවට තුඩු දුන් රජ කාලේ කතන්දරය මෙලෙස විය.
දුටුගැමුණු තරම් සිංහල අපේ සයිකි එකට බලපාපු රජෙක් නැති තරම්. ඒ ඉතිං පොර ගැන අපි අහල තියෙන විවිධ වීර කතා, ජන කතා සහ බණ කතා හින්ද තමයි. බයිලත් නැත්තෙම නෑ. ඒ කතන්දර කොච්චර අපට බලපාල තියෙනවද කියනව නම් පොර ලංකාවෙ හිටියෙ මීට අවුරුදු 2,300 කට ඉස්සර කියන සත්‍යයවත් අපිට විශ්වාස කරන්න අමාරු තරම්. මේ ඊයෙ පෙරේද වෙච්ච දේවල් විදියටයි අපේ මතකයෙ තියෙන්නේ.

දුටුගැමුණු සම්බන්ධ කතා බොහොමයක් පොර ගැනම විතරක් නෙමේ. කැලණිතිස්සල, ගෝටයිම්බරලත් ඕවට සම්බන්ධයි. ලාවට නෙමේ, සිරාවට ම.

දුටුගැමුණු පුරා වෘත්තයට සම්බන්ධ තවත් පොරක් තමයි සාලිය කුමාරය. සාලිය කියන්නෙ දුටුගැමුණු ගෙ පුතා.

ලව් කරන, ලව් එකට ලව් කරන, අපි බොහෝ දෙනෙකුට නම් සාලියකාරයව පේන්නෙ එළකිරි පොරක් වගේ. අශෝක වනය මැද්දේ, අශෝක මල් නෙලමින් සිටි අශෝකමාලා කියන සැඩොල් කෙල්ලට ඇති වුණු ලව් එක නිසා සාලිය මාගම් පුරේ රජ පවුලෙන් කැපුන නේ.

තමන්ගෙ තාත්ත එළාරට බැෂ්ටිය දීල මුළු රටේම පාලනය අල්ලගත්ත. ඊළඟට, ඌව වෙල්ලස්සයි, මාගමයි විතරක් නෙමේ මුළු රටම හිමි වෙන්න තිබුණෙ සාලියට යි. ඒ සේරම රජ සැප ආදරය වෙනුවෙන් පූජා කළා. අපේ ලව් සික්කාරයෝ සාලිය වීරයෙකු විදියට සලකන්නේ අන්න ඒ නිසයි. නියම එස්.පී.බී.ආර්. [SPBR] කෙනෙක් හෙවත් සත්‍ය ප්‍රේමෙ බෲංග රාජයෙක්!

අපි වගෙ ලව් සික් කෂ්ටිය එහෙම හිතුවට ලව් එක නිසා පවුල් පන්සල් වෙලා දැන් උලව් ලව් මල ඉලව් වෙලා ඉන්න උන් නං හිතනව ඇති සාලිය කියන්නෙ පොල් බූරුවෙක් කියල.

කෙල්ලෙක් නිසා රජකම දාල යන්නෙ නැතුව පොරට තිබුණෙ ඉස්සෙල්ල රජකම අරගෙන පස්සෙ හිමින් සැරේ අශෝකමාලා ව අන්තඃපුරේට සෙට්කර ගන්න එකනේ.

ඒ දවස්වල ඕක ලීගලි ම කරන්න තිබුණ නෙ, අද වගේ යැ.

අර සුනිල් පෙරේරා ගෙ සින්දුවෙ කියනව වගේ - ඒ කාලෙ නෙ ඉන්න තිබුණෙ, අයි ඩෝන්ට් නෝ වයි!

මේ කතාව පළ කළ පසු එය කියවූ බහුතරයක් දෙනා මා ලියූ දේ රස විඳි බව පෙනුණි. නමුත් මා බලාපොරොත්තු නොවූ පරිදි, කිහිප දෙනෙකු කිපුණහ. ඒ කිපී තිබුණේ මා දුටුගැමුණු නම් රජාට පොර කියා ලියා තිබුණු නිසා බව පෙනුණි. සාලියට සත්‍ය ප්‍රේම භෘංග රාජයා කීවාට නම් කිපෙන්නට හේතුවක් නැත.

ඉන් තිදෙනෙකුගේ ප්‍රතිචාර මෙලෙස විය.

......අපේ ඉතිහාසෙ ලියවිලා තියෙන ලංකාවෙ ශ්‍රේෂ්ඨ පාලකයන්ව දෙකේ කොලේට නොවැටෙන ආකාරයට ඔය කතන්දර කියන්න..... 00තමුං දන්නව ඇත්තටම දුටුගැමුණු රජතුමා මොනතරං ශ්‍රේෂ්ඨද කියල......

වැදගත් චරිතවලට අපහාස වෙන විදිහේ කතා ලියන්න එපා. ඒක හොඳ නෑ. දුටුගැමුණු කියන්නේ කවුද කියලා හොඳට දන්නවානේ නේ.

යමෙක් සීහල උත්තම රජවරුන්ට අපහාස කරයි නම් එය මහා නිවට මෝඩ ක්‍රියාවකි. එබැවින් යමක් ලියන්නට පෙර හොඳ හැටි සොයා බලන්න.

ඒ ළපටි කතා ගැන මට ඇතිවුණේ පුදුමයකි. ඒ සමගම දුකකි.

මට මුලින් ම ආ අදහස නම්, "ඇයි, දුටුගැමුණු පොරක් නොවේ ද?" යන්නයි.

ඉන් පසු මා ලියා එක් කළ පහත වාක්‍ය කිහිපය ඔවුන් සැමටම පොදු පිළිතුරක් ලෙස සැලකිය හැක.

ඉතිහාසය කියා ඔබ මා දන්නේ ද අපට කියා ඇති කතන්දර මිස අන් කිසිවක් නොවේ. ඔබ ඒ කතන්දර මත අනවශ්‍ය බැඳීමක් ගොඩ නගා ගෙන ඇති බව පෙනේ. මෙය කුඩා කල අප කාටත් පොදු දෙයකි. කෙසේ වෙතත් ඔබ හා ඔබ වැනි ළමයින් තරහ කර ගැනීම මගේ අරමුණ නොවේ.

ඒ සිදුවීම වූයේ මීට වසර දහතුනකට පෙර කලක ය.

අද කාලයට පැමිණිය හොත්, දුටුගැමුණුලා ගැන ලියවුණු කතන්දරයක් ගැන ඒ තරමට වද වෙන අයඑදා අටවෙනි මහින්ද සමයේ සිටියා නම්, දතේ පන්සල (temple of the tooth) සහ දත (tooth) ගැන කතා කරන විට අද මේ මානවම්ම සමයේ අපේ අයියලාට ඌරු ජුවල් නැගීම පුදුමයක් ද?

දතේ පන්සල ගැන කතාව ඊළඟ රසිකොලොජි බ්ලොග් සටහනෙන් බලාපොරොත්තු වන්න.

-රසික සූරියආරච්චි

(image by Jason Goh from Pixabay)