Showing posts with label පොලිස්කාරයා. Show all posts
Showing posts with label පොලිස්කාරයා. Show all posts

Tuesday, 24 December 2024

ජැක්සන් ඇන්තනි බෑනාගේ ප්‍රශ්නය පිළිබඳව මගේ උගත්, ධනවත් මිත්‍රයෙකු කී දේ - Jackson-son-in-law


අතුරුගිරිය ප්‍රදේශවාසී තරුණ සැමියෙකු මෙන්ම පියෙකු ද වන, එමෙන්ම හිටපු කවියෙකු ද, පොතක් රචනා කළ අයෙකු ද බව හීනටිගල වැනි නමක් ඇති පුද්ගලයෙකුට ප්‍රදේශයේ පොලිසියෙන් කරන ලද අඩන්තේට්ටම් සහ අනවසර අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ සිද්ධිය සහ එයින් මතුවුණු වෙනත් සමාජ මාධ්‍ය කතිකාවක් පිළිබඳව මගේ අදහස පසුගිය දිනයක ලියා පළ කළෙමි.

මගේ ඒ සටහනට මූූලාශ්‍ර වූයේ හීනටිගල විසින් ෆේස්බුක් එකේ ලියා පළ කර තිබූ සටහනක් සහ ඔහුගේ බිරිඳ පිළිබඳව කිහිපදෙනෙකු විසින් ලියා තිබූ අවලාද, අපහාස සහ සරදම් වැකි කිහිපයක් පමණි.

ඊට පසු දින ලංකාවේ වාසය කරන මගේ මිත්‍රයකු මා සමග මේ පිළිබඳ ව ඔහුගේ අදහස් දැක්විය.

මේ සටහන ලියන්නට සිතුනේ ඒ නිසායි.

මගේ මිත්‍රයා පවසන පරිදි මේ අවස්ථාවේදී හීනටිගල තරුණ පියාව මේ කාරණයේ දී අත්අඩංගුවට ගැනීමට මූලික හේතු දෙකක් තියෙන්නට ඇත.
  1. පොලිස් කාරයින් බීමතින්ව සිටීම
  2. පොලිස්කාරයින් විසින් තරුණ පියාගෙන් හැදුනුම්පත ඉල්ලූ විට ඔහුට එයට යටහත් පහත්ව පිළිතුරු දෙනු වෙනුවට, කඩේ යන්න කාඩ් එක ඕනෑ ද? ඇයි මාව අඳුනන්නේ නැද්ද? යනාදී වශයෙන් පිළිතුරු දීමයි.
තමන් මේ තත්ත්වයට මුහුණ දුන්නා නම් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව දශක හතරක් පමණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති, ජ්‍යේෂ්ඨ සිවිල් ඉංජිනේරු උපදේශකයෙකු වන, යාන වාහන හිමි, උගත්, ධනවත් මිතුරා මා සමග කී දේ දළ වශයෙන් මෙසේය.
රෑ යාමේ පයින් යන විට පොලිසියෙන් මගෙන් අයදුම්පත ඉල්ලා නැති වූවත්, පසුගිය අවුරුදු තිහකට පමණ ආසන්න කාලය තුළ මා වාහනයෙන් ගමන් බිමන් යද්දී අවස්ථා ගණනාවක දී ම පොලිසිය විසින් මගේ වාහනය නවත්වන්නට සංඥා කර තිබෙනවා.

එවිට මා කරන්නේ හැකි ඉක්මනින්, ඒ ආසන්න තැනක ප්‍රවේශමෙන් වාහනය නවත්වා, වහාම දොර ඇර වාහනයෙන් එළියට බැස, පොලිස්කාරයින් සිටින දෙසට යෑමයි.

එසේ නැතුව කිසි දිනක මා ඔවුන් වාහනය අසලට එනතුරු ඉන්නේ නැහැ.

එයින් පමණක්, ප්‍රශ්නයෙන් බාගයක් විසඳෙන අතර අනවශ්‍ය අමතර ප්‍රශ්න පැනනැගීම ද සහමුලින්ම නැති වෙනවා.

ඒ සමගම ඔවුන් කියන දෙයට මා සාවධානයෙන් සවන් දෙනවා. යමක් කියන්නට අවශ්‍ය නම් පමණක් පවසනවා. අවශ්‍ය වුවහොත් පමණක් රාජකාරී හැඳුනුම්පත ලබාදෙනවා.

එමගින් අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර ගැනීමටත්, මා අතින් වරදක් වී ඇතිනම් අඩුම පාඩුව සහිතව ඒ ප්‍රශ්නය විසඳා ගැනීමටත් හැකිවෙනවා. මා දඩයක් කියා ගෙවා ඇත්තේ අධිවේගී මාර්ගයෙන් පිටවෙන විට, ඇතුල්වුණු වේලාව අනුව වේග සීමාව ඉක්මවා ගියා යැයි එක් දිනයක නියම වූ දඩය පමණයි.

මා රියැදුරා සමඟ රාජකාරී ගමන් යන විටත් ඔහුට කියන්නේ ද හැමවිටම එසේ කරන්නට කියායි.

මගේ මිතුරා මා සමග පැවසූ පරිදි ඔහු කිසි දිනක කිසිම ට්‍රැෆික් පොලිස්කාරයෙකුට කිසිදු පගාවක් දී නෑ.

මගේ උගත්, ධනවත් මිතුරා මේ කරන්නේ කුමක් දැයි අමුතුවෙන් පහදා දිය යුතු නැත. එය මනෝවිද්‍යාත්මකව ප්‍රශ්ණ විසඳීමේ එක් ක්‍රමයකි.

එසේම, මෙවැනි අවස්ථාවක දී මගේ හැසිරීම නම් මගේ මිතුරාට වඩා වෙනස් බව කිව යුතුය.

මගේ මිතුරා හා මා සමවෙන්නේ පගා නොදීම සම්බන්ධයෙන් පමණි.

- රසික සූරියආරච්චි

ප/ලි:
මෙන්න මේ සිදුවීම ගැන මා ලියූ මුල් සටහන.
ජැක්සන් ඇන්තනිගේ දුව සහ බෑණා - What a cuel world?
https://rasikalogy.blogspot.com/2024/12/what-cuel-world.html


ප/ප/ලි:
අතුරු ප්‍රශ්නයක්
ජැක්සන් යනු ජැක් ගේ සන් හෙවත් ජැක් ගේ පුත්‍රයා ය.
එතකොට ජැක්සන් ගේ පුතා කවුද? ජැක්සන්සන් ද?
(image: Generated using Microsoft Designer AI service)

Sunday, 22 December 2024

ජැක්සන් ඇන්තනිගේ දුව සහ බෑණා - What a cuel world?


අතුරුගිරිය ප්‍රදේශයේ වෙසෙන තරුණ පියෙකු තම නිවස ඉදිරිපිට කඩයකට ගොස් ආපසු එන විට ඔහු නවතා ඇති පොලිස්කාරයින් දෙදෙනෙකු ජාතික හැඳුනුම්පත තිබේදැයි විමසා එය මේ පුද්ගලයා අතේ ඒ මොහොතේ නොතිබීමේ වරදට ඔහුව හිංසාකාරී ලෙස පොලිසියට රැගෙන ගොස් තිබේ. එහි දී ඔහුට සහ පසුව ඔහුගේ ජාතික හැඳුනුම්පත රැගෙන පොලිසියට පැමිණි බිරිඳට අපහාසාත්මක ලෙස බැන වැදී ඇති බව ද කියවේ.

මෙහි ඇති අවාසනාවන්ත ගැලපීම නම් මට මේ ප්‍රවෘත්තිය අසන්න ලැබුණේ ඊට පෙරදා ජනාධිපති දිසානායක විසින් රාජ්‍ය සේවකයින් පිරිසක් අරඹා කළ කතාවේ දී සාමාන්‍ය මහජනතාව තුළ පොලිසිය ගැන ඇත්තේ කවර ආකල්පයක් ද යන්න පවසනවා අසා සිට මොහොතකට පසුව වීමයි.

තම බලය අනිසි ලෙස යොදවා ඇති මෙවැනි පොලිස්කාරයින්ට නිසි දඬුවම් ලබාදීම ඔවුන්ට මෙන්ම අනෙකුත් සියලු දෙනාට ම ආදර්ශයක්, පාඩමක් වෙනු ඇත.

නමුත් පොලිසිය නීතිගරුක කිරීම නම් ලේසි පහසු වැඩක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. පොලිසියට බැඳී සේවය කරන්නේ ද ලංකාවේ ම මිනිසුන් නිසා පොලිසිය හරි මගට ගැනීමට නම් වෙනත් රටකින් පොලිස්කාරයින් ගෙන්වීමට සිදුවෙනවා ඇත.

කෙසේ වෙතත් මා මේ සටහන ලියන්නේ ඒ ගැන කීමට නොවේ.

මෙසේ තාවකාලිකව අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිඳ මියගිය ජැක්සන් ඇන්තනි දියණිය බව කියැවේ.

ෆේස්බුක් එකේ මේ ගැන විවිධ පුද්ගලයින් දැක්වූ අදහස් කිහිපයක් කියවීමේ දී මට තේරුනේ අතුරුගිරිය පොලිස් ස්ථානයේ පමණක් නොව ෆේස්බුක් වාසී ජනතාව අතර ද මේ පොලිස් අතවරයට ලක්වූ පුද්ගලයාට සහ ඔහුගේ බිරිඳට, ඇතැම් විට අපහාස ලෙස ද සැලකිය හැකි, සරදම් වදන් කියන්නන්, අවලාද නගන්නන් සිටින බවයි.

එයට මූලික හේතුව ලෙස මට පෙනුනේ ඔවුන් මියගිය ජැක්සන් ඇන්තනි සමග ඇති සම්බන්ධයයි.

ජැක්සන් ඇන්තනි ගේ දේශපාලන ක්‍රියා පිළිබඳව අප බොහෝ දෙනෙකුගේ කිසිදු ප්‍රසාදයක් නැති වුව ද ඒවා ඔහුගේ දරුවන්ට ආරූඪ කර අවලාද නැගීම, සරදම් කිරීම හෝ අපහාස කිරීම යෝග්‍යයි මම නොසිතමි.

ඊටත් වඩා මා පුදුමයට පත් වූ කරුණක් වූයේ මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ලෙස කාන්තාවන් පවා ජැක්සන් ඇන්තනි ගේ මේ දියණිය කලින් විවාහ වී සිට ඇති බව සඳහන් කරමින් ඒ හා සම්බන්ධ අවලාද, සරදම් සහ අපහාස නඟා තිබීමයි.

ඒ දැක මට තිබූ සිතුණේ ඇතැවිට ඒ අවලාද සරදම් ප්‍රකාශ කළ කාන්තාවන්ට ජැක්සන් ඇන්තනි දියණිය සම්බන්ධයෙන් යම්කිසි ඇරියස් තියෙනවා විය හැකි බවයි.

යමෙකු පෙම් සබඳතාවක් ඇතිකර ගන්නේ, විවාහ වෙන්නේ මද කලකට පසු ඉන් මිදී වෙනත් පෙම් සබඳතාවක් ඇතිකර ගැනීමට හෝ වෙනත් අයෙකු සමග විවාහ වීමට සැලසුම් කර නොවේ.

පෙම් සබඳතා කිහිපයක් යමෙකුට තිබුණා කියා හෝ යමෙකු කිහිප වරක් විවාහ වුණා කියා හෝ ඇසුණු විට අප කළ යුත්තේ ඔහු හෝ ඇය පිළිබඳව කෝපයට පත්වීම නොව ඔවුන්ට අනුකම්පා කිරීමයි.

ඒ බව දන්නේ පෙම් සබඳතාවයක් කැඩී දුක් විඳි අයෙකු පමණි. එසේම විවාහයක් කැඩීගිය අයෙකු පමණි.

මේ වන තම හතරවෙනි භාර්යාව සමග පවුල් කන අයෙකු ගැන මම දනිමි.

ඔහු පිළිබඳව මගේ අදහස නම් ඔහුට තම පළවෙනි භාර්යාව සමඟ දිගටම පවුල් සංස්ථාව පවත්වාගෙන යාමට හැකියාවක් තිබුණා නම් කිසිසේත්ම ඇගෙන් දික්කසාද වී, (කාලයක් තනිකඩව සිට,) පසුව වෙනත් අයකු හා විවාහ නොවන බවයි.

දෙවන විවාහය නම් ඔහු අතින් සිදු වූ වරදක් විය හැක. ටික කලකට පසු ඔහුට එම බිරිඳගෙන් වෙන්වීමට සිදුවිය.

තවත් කලකට පසු ඔහු විවාහ වූ නමුත් ඒ තුන්වෙනි විවාහය ද පැවැතියේ අවුරුදු කිහිපයක් පමණි. එයනම් ඉතා කණගාටුදායක කරුණකි.

කෙසේ වෙතත් එම විවාහය සාර්ථකව පවත්වාගෙන යාමට හැකිව්වානම් ඔහු සිව්වෙනි විවාහයක් ගැන කිසිසේත්ම නොසිතනු ඇතැයි යන්න මගේ අදහසයි.

ජැක්සන් ඇන්තනි ගැන මා දැන සිටිය ද, ඔහු සම්බන්ධ ලිපි කිහිපයක් (විස්තර පහත දී ඇත) ලියා තිබුණ ද, ඔහුගේ මේ දියණිය ගැන කිසිදු විස්තරයක් මම නොදනිමි.

නමුත් ඇය එක් විවාහයකට වඩා බැඳී ඇතිනම් ඒ ගැන ඇයට සරදම් කිරීම, අවලාද කීම, හෝ දෝෂාරෝපණය කිරීම නොහොබිනා කටයුත්තකි යන්න මගේ අදහසයි අවංක අදහසයි.

- රසික සූරියආරච්චි ප/ලි: ජැක්සන් ඇන්තනි හා (යාන්තමට හෝ) සම්බන්ධ වෙනත් මා ලියූ ලිපි.

1. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html


2. ජැක්සන් ඇන්තනි රඟ පෑ නාට්‍යයක් (චූට්ටක් විතර) කොපි කළෙමි - Rasika Suriyaarachchi, the dramatist, director and actor, confesses...!
https://rasikalogy.blogspot.com/2016/10/rasika-suriyaarachchi-dramatist.html


3. ජැක්සන් ඇන්තනි ගේ හිස්-ස්ටෝරිය! - Jackson Anthony is history!
https://rasikalogy.blogspot.com/2015/12/jackson-anthony-is-history.html


4. ඇඩ්‍රස් නැති වුණා යැයි කියවුණු රූපවාහිනී සාකච්ඡාවේ දී ජැක්සන් කළ පැහැදිලි කිරීමේ ඇත්ත නැත්ත - In defence of Jackson Anthony
https://rasikalogy.blogspot.com/2015/11/in-defence-of-jackson-anthony.html


5. සිංහල කලාකරුවන් පිරිසක් නලාකරුවන් වීම නිසා අපට ඇතිවෙන වාසි! - Artistes and Artists Vs Henchmen
https://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html


6. ජැක්සන් ඇන්තනිගේ අනතුර නිසා සිහියට ආ “අලි” අත්දැකීමක් - A near miss wild-elephant experience
https://rasikalogy.blogspot.com/2022/07/near-miss-wild-elephant-experience.html
(image: Created using Microsoft Designer)

Thursday, 12 September 2024

පොලිස් තට්ටුව සහ ෂා-රුක් ඛාන් ගේ අතුරු කතාව - My life as a foreigner


ඔබ ඉදිරියේ ලැජ්ජාවෙන් ඇඹරෙන පොලිස්කාරයෙකුගේ පිටට තට්ටුවක් දමා “ගණන් ගන්න එපා. මගේ අහිතක් නෑ,” කියා පවසන්නට ඔබට අවස්ථාව ලැබී තිබේද?

මට නම් එවැනි අවස්ථාවක් ලැබී ඇත.

ඒ පිටරටක දී නොව සිරි ලංකාවේ දී ය.

වැඩි ඈතක දී නොව මීට මාස දෙකහමාරකට පමණ කලින් මා ලංකාවේ සති දෙකක් පමණ ගත කළ කාලයේ මහනුවර නගරයේ දී ය.

මෙන්න ඒ කතාව සහ තවත් අතුරු කතාවක්.

මගේ දීර්ඝ කාලීන මිතුරන් දෙදෙනකු සමග මම එදින උදෑසන මහනුවර නගරයට ආසන්නයේ පිහිටි ඩෝවින් නම් ජලාශයකින් ද සමන්විත දුණුමඩලාව වන රක්ෂිතයේ සංචාරයක යෙදුනෙමි. පැය තුන හතරක් ගත වූ ඒ අගනා අත්දැකීමෙන් පසු තිදෙනා මහනුවර නගරයට පැමිණියේ දැඩි කුසගින්නක් සහ පිපාසයක්ද සමගිනි.

අප තිදෙනා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාලයට සාපේක්ෂව මහනුවර නගරය විශාල වෙනස්කම්වලට භාජනය වී ඇත. මා දුටු විශාලතම වෙනස නම් වෙනදා පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටි ප්‍රදේශයට දිවෙන බස් රථ ගමනාගමනය ඇරඹුණු නැවතුම්පොළ තිබුණු ප්‍රදේශය ද, ඊට උඩින් පිහිටා තිබුණු සිනමාශාලාව පිහිටි භූමිය ද වසාගෙන ඉදිවී ඇති සාප්පු සංකීර්ණයයි. එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයක පිහිටි ආපන ශාලා පරිශ්‍රයට ගිය අප මුලින් ම ආහාර ඇණවුම්කර ඉන් පසුව ඊට නුදුරින් පිහිටා තිබුණු බීම ශාලාවට ගොස් බියර් ජොග්ගුවක රසවින්දෙමු.

පසුව ඇනවුම් කළ ආහාර ද අනුභවය කර, අපේ එක් මිතුරෙකුට මඳක් විවේක සුවයෙන් සිටීමට අවශ්‍ය වූ නිසා ඔහුට ඒ සඳහා ඉඩ ලබා දී අනෙක් මිතුරා සහ මා අපේ ගමනේ දෙවන කොටස සඳහා පිටත්ව ගියෙමු. ඒ මහනුවර කෞතුකාගාරය සහ ඒ අසලම පිහිටා ඇති බ්‍රිතාන්‍ය යුධ සොහොන් පිටිය නැරඹීමටයි.

වැව් ඉවුර දිගේ ගමන් කළ අපි දෙදෙනා, "දන්ත පන්සල" (temple of the tooth) පසුකර වම් අත පැත්තට හැරුණේ, පෙර කී මහනුවර කෞතුකාගාරය වෙත යෑමටයි. මගේ මිතුරා දුරකතන සාකච්ඡාවක නිසා පැමිණියේ මට වඩා මීටර් කිහිපයක් පසු පසිනි.

එවිට මා දුටුවේ දන්ත පන්සලට ඇතුළු වීම සඳහා මේ පැත්තෙන් ද දොරටු ඇති බවයි. එක් දොරටුවක් දන්ත කුමාර ලා සඳහා ය. අනෙක හේමමාලා ලා සඳහා ය. කුමාරයින් සඳහා වෙන් කර තිබුණු දොරටුව අසල පොලීසියේ කිහිප දෙනෙකු ද සිටිනු පෙනුණි.

ඉන් එක් අයෙකු මා දෙස බලා කුමක් දෝ අපහැදිලිව කියනු ඇසුණු නිසා මා මදක් ඒ පැත්තට ගියෙමි.

ඔහු මගෙන් අසා තිබුණේ “ෆ්‍රොම් වෙයා ආ යූ?” යන අදහස ඇති “යු ආ ෆ්‍රොම්?” කියා බව මට වැටහුණි. මම මද සිනහවක් පෑවෙමි.

“යූ වෝන්ට් ටු ගෝ?” ඔහු ඊළඟට ඇසුවේය.

මේ පොලිස් කොස්තාපල්වරයා මා විදේශීය සංචාරකයෙකු යැයි වරදවා වටහාගෙන ඇති බව මට ඒ වන විටත් වැටහී තිබුණි.

නැගුණු සිනාව කට කොණක සඟවාගෙන මා ඔහුට තරමක් කිට්ටු වී “මං මේ මහනුවර කෞතුකාගාරයට යනවා” යැයි පැවසීමි.

තමන්ට වූ වරද වැටහුණු ඒ අසරණ පොලිස්කාරයා ලැජ්ජාවට පත්ව බිම බලාගෙන ඇඹරෙන්නට විය.

ජීවිතයට එක්වරක් ලැබෙන ආකාරයේ අවස්ථාවක් මට ලැබුණේ ඒ මොහොතේ දී ය.

ඉදිරිය නැමුණු මම, පොලිස්කාරයාගේ පිටට පොඩි තට්ටුවක් දමා “ගණන් ගන්න එපා. මගේ අහිතක් නෑ,” කියා සිනාසෙමින් පැවසුවෙමි.

මේ කතාව මුළුමනින් නොතේරෙන අයෙකු සිටී නම් ඔවුන් සඳහා පැහැදිළි කිරීමක් කළ යුතුය.
විදේශිකයෙකු, ස්වදේශිකයෙකු ලෙස සැළකීම ගෞරවයකි.
නමුත් ස්වදේශිකයෙකු, විදේශිකයෙකු ලෙස සැළකීම අවමානයකි.
පොලිස් කොස්තාපල් ලැජ්ජාවෙන් ඇඹරුණේ ද, මා අහිතක් නැතැයි කීවේ ද ඒ නිසා ය.

-රසික සූරියආරච්චි

දැන් මෙන්න අතුරු කතාව.

එතැනින් පිටත් වූ මා ඊට මීටර් කිහිපයක දුරින් පිහිටි කෞතුකාගාරය වෙත පියවර නැගුවෙමි. මා මිතුරා තවමත් දුරඛතනය සාකච්ඡාවේ යෙදෙමින් තරමක් පිටුපසින් ගමන් කරයි. කෞතුකාගාරය පරිෂ්ඨයට පිවිසෙන දොරටුවේ ම කුඩා කුටියක් ඇත. ඒ ප්‍රවේශපත්‍ර විකිණීමටය. ඒ තුළ සුන්දර ලලනාවක අසුන් ගෙන සිටියා ය.

විදේශිකයෙකු සඳහා ඇතුළත්වීමේ ගාස්තුව ඩොලර් දහයක් බවත්, ස්වදේශිකයින් සඳහා ගාස්තුව රුපියල් සීයක් බව දැක්වෙන පුවරුවක් ද පෙනෙන්නට තිබුණි.

අනවශ්‍ය වැරදීම මග හැරිය යුතු යැයි සිතූ මා, වොලට්ටුවෙන් රුපියල් සීයේ කොළ දෙකක් රැගෙන ලලනාව වෙත දිගු කර “ටිකට් දෙකක් දෙන්න” යැයි පැවසීමි.

මන්දස්මිතයක් මුහුණට නංවා ගත් යුවතිය “අනේ, මං හිතුවේ ටුවරිස්ට් කෙනෙක් කියලයි” කියා කීවාය.

“එහෙනම් අද ඔයාට හවස ගෙදර ගියාම කියන්න හොඳ කතාවක් තියෙනවා” මම සිනාසෙමින් කීවෙමි.

“ඒ මොකක් ද?” ඇය උනන්දුවෙන් විමසුවාය.

“කියන්න, අද ෂා-රුක් ඛාන් විග් එක දාන්නේ නැතුව කෞතුකාගාරය බලන්න ආවා කියලා,” මම කීවෙමි.

(image: created using https://ideogram.ai/)