Showing posts with label වත්පොත. Show all posts
Showing posts with label වත්පොත. Show all posts

Thursday, 29 December 2016

මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද? - Nice sheep's clothes


ලතා වල්පොල ගේ ප්‍රසිද්ධ ගීයක් රැප් කරන ගායකයෙකු ගේ වීඩියෝවක් දැන් දින කිහිපයකට පෙර ඇරඹී තවමත් ගලා යන මගේ මේ නිවාඩු සමයේ දී මට නරඹන්නට ඉඩ ලැබුණි.

එය නරඹන අතරේ මට නම් සිතුණේ මෙලෙස ය.

මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද?

එසේ සිතෙන්නට එකම හේතුව මේ ගායකයා සින්දුවේ රැප් කොටසේ දී කියන කතා මිස අන් කිසිවක් නොවේ. රට, ජාතිය වැනි දේ පිළිබඳව ලොකු ටෝක්ස් දෙන්නන් ගේ යටි අරමුණු පිළිබඳ ආනුභූතික සාක්‍ෂි එමට ය.

ඔබට වෙනත් අයුරකින් සිතෙන්නට ඉඩ ඇත.

සමහර විට මේ ගායකයා ගේ එවැනි දුෂ්ට චේතනා නැතිවා වෙන්නට ඇත.

කෙසේ වෙතත් නරඹා කැමැත්තක් සිතා ගන්න.

මෙන්න වීඩියෝවට පාර.



උදාවෙන 2017 වසරේ ඔබට ජයෙන් ජයවේවා යැයි පතමි!

-රසිකොලොජිස්ට්

(image: http://www.businessinsider.com/science-reveals-the-most-confusing-emoji-2016-4/?r=AU&IR=T)

Saturday, 18 June 2016

මට වෙන වැඩ හෙවත් I O Sirisena


නන්දා නැන්දා සහ විට්ටර් අංකල් ගේ ද්වි පුද්ගල සංගීත ප්‍රසංගයක් අද (ජූනි 18 සෙනසුරාදා) සිනුවර දී පැවැත්වෙන බවත්, නළාකාරයින් ගේ ලයිස්තුව පරීක්‍ෂා කිරීමෙන් පසු මා එය නැරඹීමට යාමට මට ලැබුණු ආරාධනාවක් පිළිගත් බවත්, ඊයේ මා ලියා පළ කළ "යනවා නම් යනවා නම් (යන දීපංකරේක / තොලොංජි වෙලා / මකබෑවිලා) යන්න රත්තරං!" නම් ලිපිය ආරම්භයේ සඳහන් කළෙමි.

මා හොහොමටත් ශාලාවක් ඇතුළේ සිරවී පුටුවක වාඩි ලා ගෙන ශ්‍රවණය කරන්නට වෙන සංගීතයට ප්‍රිය නැත. මා වඩාත් ප්‍රිය කරන්නේ, එක්කෝ නිවසේ සෝපාවක පහසුව වැතිරී කොත්තමල්ලි වතුර බොන අතර තුරේ හෝ නැතහොත් අධිවේගී මාර්ගයක වාහනයක් පදවාගෙන යද්දී හෝ සංගීතයට ඇහුම්කන් දීමටයි. ඒ ඒ අවස්ථාවල දී මා අසන්නේ ඊට ගැලපෙන සංගීතය බව කීමට අත්‍යාවශ්‍ය නැති වුණත් සඳහන් කර තබමි.

ලංකාවේ සිට පැමිණෙන සිංහල ගායක ගායිකාවන් සහභාගී වෙන සංගීත ප්‍රසංග වසරකට කිහිපයක් ම සිනුවර සංවිධානය කෙරෙන අතර මා ඒවා නරඹන්නට යන්නේ බොහෝ විට ඒ ප්‍රසංගයෙන් ලැබෙන අරමුදල් යොදවන්නේ ලංකාවේ කවරාකාරයේ සුභසාධක වැඩ සටහනකට ද කියා සොයා බැලීමෙන් පසුවයි.

එසේ මගේ තේරීම් පටිපාටියට අදාළ ප්‍රසංගය නොගැලපේ නම් මා කරන්නේ, අදාළ ප්‍රසංගය සඳහා වියදම් කරන ඩොලර් පනහක් පමණ මුදලෙන් සංයුක්ත තැටි කිහිපයක් මිලට ගෙන මා කැමති ආකාරයට නැවත නැවත රස විඳීමයි.

ඒ සමගම, මෑතකදී මා නිරීක්‍ෂණය කළ කාරණාවක් නම්, දැන් දැන් පැවැත්වෙන ඇතැම් සංගීත ප්‍රසංග සුභසාධක වැඩ සඳහා නොව සංවිධාකයින් ගේ ප්‍රීතිය සහ බඩ රස්සාව උදෙසා ම සඳහා සංවිධානය වෙන බවයි!

ඒ හේතුව නිසා ද, මා නැරඹීමට යන ප්‍රසංග සංඛ්‍යාව මෑත කාලයේ ඉතා අල්ප විය.

ඊළඟට පසුගිය වසරේ එළි දැක්වුණු කූප්‍රකට නළාකරායින් ගේ ලයිස්තුව නිසා, මගේ තේරීමේ පටිපාටියෙන් සුභසාධක කටයුතු යන්න ප්‍රමුඛතාවෙන් පහළට දැමුණි.

ඔය සියලු කාරණා අනුව මා සද්භාවයෙන් යුතුව අද පැවැත්වෙන නන්දා නැන්දා සහ විට්ටර් අංකල් ගේ ද්වි පුද්ගල සංගීත ප්‍රසංගයට සහභාගී වෙන්නට සිටියෙමි.

නමුත් ඊයේ රාත්‍රියේ මා ෆේස්බුක් අවකාශයේ දී දුටු ඡායාරූපයකින් වැටහුණේ මේ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලංකාවේ කුප්‍රකට දේශපාළුවෙකු වන ප්‍රසන්න රණතුංග සහභාගී වෙන බවයි.

එය දැන ගත් මොහොතේ සිට මා සිත තුළ ඇතිවුණු අප්‍රසන්න හැඟීම් තවමත් පහවී නැත. පහවී යන සේයාවකුදු නැත.

මා කළ යුත්තේ කුමක් ද?

මේ ප්‍රසංගය නැරඹීමට මා ඇය සමග යන බවට බිරිඳට දුන් පොරොන්දුව කඩ කළ නොහැක. නමුත්, ප්‍රසන්න රණතුංග වැන්නෙකු ගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන සංගීත ප්‍රසංගයක වුව අසුන් ගැනීමට මට සිත් නොදේ.

කුමක් කරන්නදැයි සිතා ගත නොහැක.

අයියෝ සිරිසේන!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ප්‍රසන්න රණතුංග මගේ බ්ලොගයේ කාඩ් එක රැගෙන මේ ලිපිය බැලීමට අධිෂ්ඨාන කළ මොහොත.




(image: http://rs1102.pbsrc.com/albums/g447/TheISZ/Emoticons/Ew%20Yuk%20Gross%20Vomit/vomit-boy01-vomit-puke-sick-smiley-emoticon-000652-facebook.gif~c200)

Wednesday, 18 May 2016

බෞදිය නොහොත් පට්ට ගැසූ මාතෘකාවක් - Expanding your vocabulary


"බෞදිය" යන වදන මගේ නිර්මාණයක් නොවේ.

බෞද්ධ සහ සවුදිය යන වදන් ද්වයේ එකතුවක් ලෙස ඒ ඒකාබද්ධ අර්ථය ම ගෙන දෙන්නට වාත්තු කර ඇති ඒ වචනය මා දුටුවේ චමීර දේද්දුව ගේ ෆේස්බුක් සටහනකිනි.

මේ අරුත ම ගෙන දෙන්නට මා ද ඇතුළු බොහෝ දෙනෙකු මෙතෙක් භාවිතා කළ "සිංහල තලේබාන්" යන යෙදුමේ ඇති නොගැලපෙන උප කුලකය ඉවත් කෙරෙන "බෞදිය" අනිවාර්යෙන් ම සිත්ගන්නා සුලු අරුත්බර නිමැවුමකි!

ෆේස්බුක් ජාලයේ සැරිසරන විට නොයෙකුත් කියුම්-කෙරුම් හමුවේ. "බෞදිය" යන්න මාතෘකාවට යොදාගෙන මා මේ සැරසෙන්නේ සයිබරයේ පට්ට ගැසූ කාරණයක් ගැන අලුතෙන් මා ෆේස්බුක් ජාලයේ දුටු කරුණක් ගැන ලියන්නටයි.

එනම් ලංකාව නමැති බුදුන්ට පිදූ රට ගැන ය.

ෆේස්බුක් ජාලයේ කෙටි සටහනක් ලියන අමිල අබේධීර (හම්බන්තොට ජීවත් වෙන ඔහු උග්‍ර ම.රා. වාදියෙකි!) පසුගිය දෙසැම්බරයේ දී මෙසේ පවසා තිබුණි.
"නත්තල සමරන බෞද්ධයින් සිටිනා අමුතු රටක් මේක.

නත්තල් සුභ පැතුම් පණිවුඩ වලට මාව ටැග් නොකිරීමට කටයුතු කරන්නේ නම් හොද යැයි ආරම්භයේදී ම පවසමි.

අප කතා කරන්නේ මෙරට තුන්වතාවක් සම්බුද්ධ සාසනයට පූජා කර ඇති බවයි, නමුත් එරටේ මුග්ධ ජනී ජනයා මිත්‍යාදෘෂ්ඨික ආගම් සැමරීම අද විලාසිතාවක් කැරගෙන තිබීම සම්මා දිට්ඨියද?

සිහි එලවා ගන්න. අවදි වන්න. එළැඹෙන්නේ යක්ෂයාගේ හෝරාවයි.

තෙරුවන් සරණයි."
මගේ කෙටි පිළිතුර වූයේ මෙයයි.

"හොදයි එහෙනම් අපි ලංකාව බොදු තලේබාන් රටක් හෝ සවුදි අරාබියක් කරමු!"

එය චමීර ගේ වචනය යොදා මෙලෙස නැවත ලිවිය හැකිය.

"හොදයි එහෙනම් අපි ලංකාව බෞදියක් කරමු!"

මට එවෙලේ ලියන්නට කාලවේලා නොතිබුණු දිගු ප්‍රතිචාරය මෙසේය.

ලංකාව බුද්ධාගම පූජා කළ මේ වාර තුන ගැන මට එක්වර ම සිහිකර ගත නොහැක. නමුත්, ඉන් පළමු වාරය, බුදු දහම ගැන අශෝක් නම් ඉන්දියානු ව්‍යාප්තවාදී අධිරාජවාදියා ගේ පණිවිඩයක් රැගෙන පැමිණි මිහිඳු හාමුදුරුවන් ගේ මිෂනාරි ගමනට සම්බන්ධ යැයි අනුමාන කරමි.

එදා පැවති රාජාණ්ඩුක්‍රමය අනුව, රජු පාලනය කරන සමස්ත භූමි ප්‍රදේශයම අයිති වූයේ ඔහුූට ම නිසා, ඕනෑ තෑගි ඔප්පුවකින් ඒ දේපල ඕනෑ ම අයෙකුට ප්‍රදානය කිරීමට රජුට හැකි විය.

ඒ සමගම රජු ගේ යටත් වැසියන් සියලු දෙනාම ඒහි පස්සිකෝ ක්‍රමයටත් වඩා සරල ක්‍රමයකින් බෞද්ධයින් වූ බව සැලකේ.

එය වනාහී බුදුන්ටත්, ඔහු ජීවත්ව සිටි කාලයේ දී කිරීමට නොහැකි වූ මහා ප්‍රාතිහාර්යයකි!

බුදුන්ට සිදුවුණේ දේශ දීපංකරවල පයින් ඇවිඳිමින්, ධර්ම දේශනා කරමින්, තම දාඩිය මහන්සියෙන්, මහජනයා තමන්ගේ අනුගාමිකයින් බවට පත් කර ගන්නටයි.

ලංකාව මුල්වරට බුද්ධාගමට පූජා කළේ "තිස්ස-මුවා-මහින්ද-අඹ ගහ කතාවේ" අවසානයේ දී විය හැකි වුව ද, දෙවෙනි සහ තුන්වෙනි වරට බුද්ධාගම පූජා කළා යැයි සැලකෙන අවස්ථා ගැන නම් මම නොදනිමි. ඒ ගැන විස්තර දන්නා අයෙකු වේ නම් කරුණාකර සඳහන් කරන්න.

වාසනාවකට හෝ අවාසනාවකට හෝ, පළමුවෙනි රාජසිංහ හින්දු ආගම වැළඳගත් සමයේ හෝ දොන් ජුවන් ධර්මපාල කතෝලික ආගම වැළඳගත් සමයේ මේ ආකාරයට ලංකාව අදාළ ආගමට ම පූජා කළේ හෝ නොකළේ හෝ වුව ද, එයින් අපට ලොකු බලපෑමක් වී නැතැයි සිතේ!

නමුත්, මා අසා, කියවා ඇති පරිදි මැලේසියාව, ඉන්දුනීසියාව, මාලදිවයින වැනි රටවල් පසු කලෙක බහුතර මුස්ලිම් රටවල් බවට පත් වී ඇත්තේ මේ ආකාරයට ම ය. එනම් බලයේ සිටි උන් විසින් මුළු රටම ආගමික පූජකයින් වෙත දොර දන් දීමෙනි.

අමිල අබේධීර වැන්නන්ට අවශ්‍ය වී ඇත්තේ කුමක්දැයි පැහැදිලිය. එය නම්, ලංකාව බෞදියක්, එනම්, වෙනත් කිසිදු ආගමකට ඉඩ නැති, ඒකාගමික බෞද්ධ රටක් කිරීමටයි.

මගේ අදහස නම්, අනුන්ට කරදරයක් නොවෙන ආකාරයට, තමන්ට කැමති ඕනෑම ආගමක් අදහමින් නිදහසේ ජීවත්වීමට රටේ සෑම පුද්ගලයෙකුට ම අයිතියක් ඇති බව සහ රාජ්‍යය ආගමෙන් වියුක්ත සංස්ථාවක් විය යුතු බවයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලකට පෙර ලියන ලද මේ ලිපිය මගේ පරණ "වැඩ මල්ලේ" තිබී අද හමුවිය. බෞදිය යන්න මෙන් ම වැඩ මල්ල යන්න ද මා ෆේස්බුක් අවකාශයේ තිබී අහුලා ගත් වචනයකි. එය භාවිතා කර තිබුණේ බ්ලොග්(කාරයින් ගේ) හිතවතෙකු වෙන ශාන්ත කේ හේරත් චිත්‍ර ශිල්පියා ය.

(image: http://awaretheory.com/wiki/index.php?title=Religious_Tolerance_and_Awaretheory)

Sunday, 1 May 2016

පෝස්ටර් නිහාල් (මගේ මිතුරා, හොඳ මුනියා) - Introducing Nihal Rupasinghe's Facebook posters


මීට වසර දහයකට පමණ පෙර, මගේ මතකයට අනුව වෙසක් පෝය දිනයක දී, සිඩ්නි නගරාසන්නයේ ස්කෝෆීල්ඩ් හි පිහිටි ලංකාරාම විහාර උද්‍යානයේ සැරිසරමින් සිටි මා සමග උපැස් යුවලක් පැළඳි, ප්‍රිය මනාප පෙනුමැති අයෙකු කතා කළේය.

"රසික නේද?"

"ඔව්, ඔයා කවුද?"

"මම නිහාල්, නිහාල් රූපසිංහ!"

ඒ නිහාල් රූපසිංහ නමැති මගේ මිතුරා මට මුණු ගැසුණු ආකාරයයි.

එදා මුල්වරට අප කතා කළ දිනයේ සිට අප අතර මිතු දමක් වැඩුණේ මුලින් ම කවි, කෙටිකතා, ලිපි, දේශපාලන කරුණු හරහා ය. එකල මා සංස්කරණය කළ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මගින් පළ කරණ, සිංහල සඟරාවට නිහාල් රූපසිංහ තම නිර්මාණ දායකත්වය සැපයීය. ඒ කවි රචනා මගිනි.

පසු කලෙක ඔහු කෙටිකතාකරුවෙකු ලෙස ද නිර්මාණ එළි දැක්වීය.

සිඩ්නි නගරයේ සමාජ, සංස්කෘතික වැඩකටයුතුවල පුරෝගාමී මෙහෙයක් නිහාල් රූපසිංහ විසින් පසුවගිය වසර ගණනාවක් තිස්සේ කර ඇත. නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ උප සභාපතිවරයෙකු වශයෙන්ද, අපේ ගමට එන්න නමැති සංස්කෘතික කණ්ඩායමේ නියමුවා ලෙසද, මැයි මල් නම් සිංහල සංස්කෘතික විවිධ ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායකයා ලෙසද, සිඩ්නි සිංහල කෙටි නාට්‍ය උත්සවයේ සමාරම්භකයා ලෙසද නිහාල් රූපසිංහ ප්‍රශංසනීය කාර්යක් ඉටු කළ බව මගේ අවංක අදහසයි.

නමුත්, මා මේ සටහන ලියන්නේ ඒ නිසා නොවේ.

අප බොහෝ දෙනෙකු මෙන් දේශපාලනිකව සංවේදී පුද්ගලයෙකු වන නිහාල් රූපසිංහ මෑතක සිට තමන් ගේ වත්පොත් ගිණුම හරහා විවිධාකාරයේ පෝස්ටර් එළිදක්වමින් සිටී.

ඉංග්ලිෂ් භාෂාවෙන් මීම්ස් (memes) යැයි හැඳින්වෙන ප්‍රකාශන මාධ්‍යයට ආසන්නයේ ලා සැලකිය හැකි මේ පෝස්ටර්වල ලංකාවේ ද, ඕස්ටේ‍ර්ලියාවේ ද, අප එදිනෙදා අත් දකින, මුහුණ දෙන විවිධාකාර කරුණු කාරණා පිළිබඳව ඔහු ගේ අදහස් ඇතුළත් වේ.

නිහාල් රූපසිංහ ගේ වත්පොත් පිටුවට පිවිසෙන අයට දැක බලා ගත හැකි මේ පොස්ටර් කිහිපයක් පහත දක්වමි.

පසුගිය මා කිහිපය තිස්සේ නිහාල් රූපසිංහ විසින් කරගෙන යන මේ පෝස්ටර් ව්‍යාපාරය දැක මට සිතුණේ, ඔහු බ්ලොග් ලියන්නට පටන් ගත්තොත් කෙතරම් අගනේ ද යන්නයි.

බ්ලොග් වසන්තයක් ගැන කතා කෙරෙන අද දවසේ, මා මෙන්ම සිනුවර හේමන්තයේ ගත කරන්නෙකු වෙතත්, මේ පෝස්ටර් (සහ ඒවායේ අන්තර්ගත දේශපාලනය) බ්ලොගයක් හරහා බෙදා හැරීමට ද නිහාල් රූපසිංහ කටයුතු කළහොත් අගනේ යැයි සිතමි.

සාමන්‍යයෙන් දිගු ලිපි ලියවෙන අද සිංහල බ්ලොග් ලෝකයට මයික්‍රො බ්ලොගින් ද අවශ්‍ය බව මගේ අදහසයි!

නිහාල් රූපසිංහ, වින්ක්, වින්ක්!

ද බෝල් ඊස් නව් ඉන් යුවර් කෝට් මේට්!!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙහි දක්වා ඇති පෝස්ටර් මෙන්ම, ලිපියේ මුඛ්‍ය ඡායාරූපය උපුටා ගත්තේ නිහාල් රුපසිහං ගේ වත්පොත් ගිනුමෙනි. ඒ ඡායාරූපය මා මිත්‍ර රෝයි ගුණරත්න විසින් ගන්නා ලද්දකි.

අද මැයි මස පළමුවෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනයේ දී, මට නිහාල් රූපසිංහ ගේ පෝස්ටර් පිළිබඳව ලිපිය ලියන්නට සිත්වීමත්, ඒ සඳහා කොල්වින් රෙජිනෝල්ඩ් සිල්වා සටන් පාඨයක් කියන දර්ශනයක් ලෙස මට පෙනී යන ඡායාරූපයක් යොදා ගන්නට ලැබීමටත් පුදුමාකාර සමපාත වීමක් බව කිව හැක.

Monday, 14 December 2015

යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය ගැන වචනයක් - Poetry is not for everyone!


"දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ!" සින්දුව කියමින් සිටින මේ කාලයේ බ්ලොග් ලිපි ලියන්නට නොසිතුවෙමි.

කොහොමටත්, මේ ගිනි රස්නය මැද බ්ලොග් තියා මේ ලෝකේ කිසිම දෙයක් හෝ කරන්නට නො සිතේ!

ඒත්, මා සිනුවර සිට ලංකාව පැමිණ පැය දොළහක් ඇතුළත සහභාගී වෙන්නට ලැබුණු යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය ගැන නොකියාම බැරි කරුණු කිහිපයක් සටහන් කළ යුතු යැයි සිතුණි.

ත්‍රිරෝද රථයකින් බෝකුන්දර හන්දියට ගොස්, එතැනින් 120 බසයකට ගොඩවුණු මා ඉන් බස ගත්තේ "ජෝන් ද සිල්වා රඟහල" අසල නොව "පුරහල" අසලදී ය. පයින් ඇවිදගෙන මහවැලි කේන්ද්‍ර ශාලාවට ළඟා වී පොත් මිලට ගෙන දොරෙන් එබී බැලූ කළ දුටුවේ ලාම්පු පත්තු කිරීමේ දර්ශනයයි.

අනෙත් දොරෙන් ඇතුළු වී පසු පස ආසනයක හිඳ ගත්තෙමි. උත්සවය අවසාන වෙනතුරුම හිඳ සාවධානව සිට, ඉන් පසු තේ කෝප්පයක් ද බී, රෝල්ස් දෙකකට පමණ ද වග කියා, කීප දෙනෙකු සමග ඉතා කෙටි කතා බස්වල ද නිරත වී කැපී ගියෙමි.

මගේ නිරීක්‍ෂණ ඉතා කෙටියෙන් මෙසේ ය.

හාමුදුරුනමක් වෙනම වාඩිකර තිබුණේ ඇයි ද කියා මට නොවැටහිණි. ඒ මූලාසනය විය නොහැක. මූලාසනය යනු සභාව මෙහෙයවන්නායි. ඒ කටයුත්ත කළේ ඉවාන් පවුලූෂා බ්ලොග්කරුවා ය. හාමුදූරුවරුන්ට ගිහියන් සමග සම අසුන්වල වාඩිවිය නොහැකිය කියාවත් සිතුනාවත් ද?

හෂිත අබේවර්ධන ගේ කතාව ඉතා හරබර එකකි. කොටින්ම ශාලාවෙන් පිටවෙන්නට පෙර මම එහි හඬ පටයක් සඳහා ද යශෝධා සම්මානී ගේ "අයියා"ගෙන් ඉල්ලීමක් ද කළෙමි. හෂිත අබේවර්ධන ගේ කතාවේ තිබූ එකම ප්‍රශ්නය වූයේ එය පමණට වඩා දිග වැඩි වීමයි.

එයට හේතු ලෙස මා දකින්නේ තම ලේඛනවලදී ඉතා සංක්‍ෂිප්ත ලෙස, ඵලදායී ලෙස වචන භාවිතාකරන හෂිත අබේවර්ධන තම කතාව දළ සටහන් සහ මතකය මත පමණක් පදනම්ව කිරීමයි. එනිසා, ඔහු ගේ දේශනය පැයකටත් වඩා ඇදී ගියේය.

හෂිත අබේවර්ධන වැනි තඩි ලූලන් හිඟ සිනුවර දී පැවැත්වෙන සිංහල පොත් එළිදැක්වීමේ උත්සව කිහිපයක දී ම මේ ආකාරයේ කතා පැවැත්වීමට මට සිදුවී ඇත. ඒ සැම විටකම මා කරන්නේ මගේ මුළු කතාවම පාහේ යතුරු ලියනය කර, මුද්‍රිත පිටපත් රැගෙන යාමයි. එවිට මගේ කතාව නියමිත කාලය තුළදී අවසාන කිරීමට මට හැකිවේ.

එසේ වුවද, මා ඒ හැම විටකම පාහේ මුලින් ම සඳහන් කරන දෙයක් ඇත. එනම්, මා ගී තැටි එළිදැක්වීමේ උත්සවයන් හි දී නොව, පොත් එළිදැක්වීමේ උත්සවයන් හි දී කතා කිරීමට ඉතා කැමති බවයි. එයට හේතුව ලෙස මා කියන්නේ ගී තැටි එළිදැක්වීමේ උත්සවයන්ට සහභාගී වෙන්නන් මෙන් නොව, මෙවැනි පොත් එළිදැක්වීමේ උත්සවවලට සහභාගී වෙන්නන් මෙහි එන්නේ දේශනවලට සවන්දීමට සිදුවෙන බව හොඳින් දැනගෙන බව වීමයි.

එනිසා කතාව දිග වැඩි යැයි, නීරස යැයි ඤාව්, ඤාව් ගෑමේ තේරුමක් නැත!

නීරස සේ හැඟීමට හේතුව නම් පුද්ගලික රසඥතාවයේ වෙනස්කම් ය.

නමුත් මෙහි දී උත්සවය සංවිධානය කරන්නන් අතින් සිදුවෙන වැරද්දක් ද තිබේ. එය නම්, දේශන පැවැත්වීමට කරන ආරාධනය සමග එම දේශනය මිනිත්තු (ඔව් මිනිත්තු!) කීයක් විය යුතු දැයි අදාළ දේශකයාට නොපැවසීමයි.

මා සිතන ආකාරයට මෙවැනි උත්සවයන් හි දී පැවැත්වෙන ප්‍රධාන දේශනය මිනිත්තු තිහකට සීමා විය යුතුය!

මා ආරාධිත දේශකයා ගේ නොව සභාවේ පොතේ ගුරා ගේ රාජකාරිය කළ එක් සිනුවර පොත් එළිදැක්වීමක දී, ප්‍රධාන දේශකයා තම කතාව මිනිත්තු හතළිහක් කළේය. කිසිදු මූලාශ්‍ර සටහනක් නොබලා තම මතකයෙන් කරුණු ගෙන හැර දක්වමින් කළ ඒ කතාව ඉතා අගනා එකක් විය. නමුත්, සභාාවේ සමහරුන්ට එය දිගු වැඩි වී ඇති බව පෙනුණත් ඒ ගැන දේශකයාට ඉඟි කරන්නට මා නොගියෙමි.

මගේ අදහස, කතාවක් පමණට වඩා දිගු වීමේ වරද දේශකයා ගේ නොව සංවිධායකයින් ගේ බවයි.

හෂිත අබේවර්ධන ගේ දේශනය දිග වැඩි යැයි කියන අය වසර 2010 ජනවාරියේ දී බූන්දිය විසින් සංවිධානය කළ ජගත් ජේ එදිරිසිංහ ගේ පොත් එළිදැක්වීමේ උත්සවයේ දී කේකේ සමන්කුමාර විසින් කළ කතාව අසා නැති බව නිසැකවම කිව හැක!

මේ ආකාරයේ සෑම උත්සවයට මෙන් ම යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවයට සහභාගී වූ අති බහුතර පිරිස අඩු වැඩි දුරකින් ඇයව දන්නා හඳුනන අයයි. ඉන් වැඩි දෙනෙකු බ්ලොග් මිතුරන් ය. ෆේස්බුක් අවකාශයේ කවි කියවන අය ය. විශ්ව විද්‍යාලයේ, සේවා ස්ථානයේ හිතවතුන්ය. නෑ හිත මිතුරන් ද කිහිප දෙනෙකි. මේ පොත නිසාම ඇයව හඳුනාගෙන, එහි පැමිණ සිටියේ කිහිප දෙනෙකු පමණක් බව කිව හැක.

ඒ පිරිස අතරින් අවංකවම කවියට කැමැත්ත ඇති, කවිය වෙනුවෙන් කැප කිරීමක් කරන්නට හැකි අය සුළුතරයක් ම වේ. එය සත්‍යයයි. "පෙදෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ!" යනුවෙන් කියවෙන්නේ ද ඒ කරුණයි. එහි ඇති වරදක් නැත.

ඊට අමතරව උත්සවය ගැන මට කිව යුත්තේ, මා සහභාගී වී ඇති විශාලතම පිරිසක් සහභාගී වූ පොතක් එළිදැක්වීමේ උත්සවය මෙය බවයි. ගුවන් සමාගම්වල අකලංචි මැද්දේ, වැඩිපුර දවසක් වාර්ෂික නිවාඩු වැය කර මා පැමිණි ගමන ගැන මට එ නිසා ඇත්තේ දැඩි සතුටකි.

ඒ කෙසේ වෙතත්, දේශන තුන පිළිවෙලින් මිනිත්තු 30, 20 සහ 10 ට සීමා කර ඒ ඉතිරිකරගත් කාලය අපේ බහුතරයට සංග්‍රහ කරන අංග කිහිහපයකට සහ තේ වේලාව දිගු කරන්නට යොදා ගත්තා නම් වඩාත් යෝග්‍ය වෙන්නට ඉඩ තිබුණි!

පැමිණි පිරිසේ විශාලත්වය පිළිබිඹු කරන්නේ කවියට ඇති ඇල්ම යැයි වරදවා වටහා ගන්නට මම කිසිසේත්ම නො පෙළඹෙමි. එයින් ඇත්තටම හෙළිවන්නේ මිනිස් දියණියක ලෙස අපේ කිවිදිය කෙතරම් තවත් මිනිස් සිත් ස්පර්ශ කර ඇති ද යන්නයි.

යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ "ඉතා කෙටි කලබල සිහින" ග්‍රන්ථය මා තවමත් මුළුමනින් ම කියවා නැතත්, ඇගේ රිද්මයානුකූල කවි ආරට මා ඉතා ප්‍රියකරන බව පැවසිය යුතුය!
රිද්මයක් නැති කවියක මට නම් කිසි අගයක් නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
"ඉතා කෙටි කලබල සිහින" ග්‍රන්ථය ගැන පසුව ලියන්නට අදහස් කරමි!

Friday, 15 May 2015

ඔබ වළ කජ්ජ ගැසූ පසු ඔබේ ෆේස්බුක් ගිනුමට කුමක් වේද? - Life after death


ඉපදුනොත් මිය යාම නියතය. අපි සැම එය හොඳින් දනිමු. අප නොදන්නේ එය සිදුවෙන්නේ කවදා ද යන්න පමණි.

මිය යාම යනු සුලබ සාමාන්‍ය කරුණක් නිසා එය විස්තර කිරීමට සිංහල වචන රාශියක් ඇත. කළුරිය කිරීම, අපවත් වීම, අභාවප්‍රාප්ත වීම, එක්ස්පයර් වීම, වැලිගම්පිටි යෑම, වළ කජ්ජ ගැසීම එයින් කීපයකි.

අප මිය ගිය පසු අප නැත. නමුත් මිය ගිය පසු ජීවත්වෙන අය ගැන මිය යාමට පෙර අපේ සිත්වල කැක්කුමක් ඇත. විශේෂයෙන් ම අපේ ආදරණීය සුතනඹුවන්ට කුමක් සිදුවේද යන්න අප බොහෝ දෙනෙකු ගේ සිතට වද දෙන ප්‍රශ්ණයකි.

අතීත කාලයේ අපේ මුතුන් මිත්තෝ ශ්‍රී පාද වන්දනාව වැනි දුර බැහැර ගමන් යන විට පවා තමන් ගේ දේපල බෙදා වෙන් කර ගිය බව කියවේ.

දෙමව්පියන් ගේ අභාවයෙන් පසු සාමාන්‍ය ක්‍රමයට ඔවුන් සතු දේපළ, ඉඩකඩම්, මුදල් යනාදිය දරුවන්ට හිමිවේ. මේ සඳහා තරමක් සරල, තරමක් සංකීර්ණ නීති මාලාවක් ඇති අතර, හිමිකරුවන් අතර ප්‍රශ්ණ නොමැති නම්, බොහෝ විට දේපල බෙදී යාමේ ක්‍රමවේදය ඉතා සරල වේ.

දේපල සහ වත්කම් සඳහා නම් ඕස්ටේ‍ර්ලියාවේ දී කළ යුතු හොඳම දෙය, අන්තිම කැමති පත්‍රයක් ලියා තැබීමයි. එය තවමත් මගේ බිරිඳ හෝ මා හෝ කර නොමැති දෙයකි.

අද වන විට පුද්ගලයෙකු ගේ වත්කම වෙන්නේ ගේ දොර ඉඩකඩම් යනාදිය පමණක් ම නොවේ. ඒවා නොමැති බොහෝ දෙනෙකුට පවා තිබෙන එක් වස්තුවක් නම් තමන් ගේ ෆේස්බුක් ගිනුම සහ එහි ඇති ඡායාරූප, සටහන්, ප්‍රතිචාර යනාදියයි.

අපේ මරණයෙන් පසු ඒ සියල්ලට කුමක් වේ ද?

මෙය ඇසූ විට මුලින් ම අපට දැනෙන්නේ විහිළුවක ස්වභාවයයි. එක් අතකින් තමන් මිය ගිය පසු තමන් ගේ ෆේස්බුක් ගිනුමට කුමක් වූවත් ඇති ප්‍රශ්ණය කුමක්ද? අනිත් අතින්, තමන් ගේ සහකරු, සහකාරිය, දරුවෙකු හෝ දෙමව්පියෙකු මිය ගිය පසු, ඔවුන් ගේ ෆේස්බුක් ගිනුම ඉතුරු වී ඇති පලය කුමක් ද?

නමුත් හොඳන් කල්පනා කර බලන කළ, එය එතරම් සරල දෙයක් නොවේ.

අපේ ජීවිත ෆේස්බුක් සමග මේ වන විටත් ඉතා තදින් බැඳී පවතින බව නො රහසකි. අපේ තත්‍ය ලෝකයේ සබඳකම් පවා හොඳින් වැඩෙන්නේ අතත්‍ය ලෝකයේ දී ෆේස්බුක් හරහා සබඳකමක් ඇති නම් පමණි. මේ තත්වය එන්න එන්නම තව තවත් සංකීර්ණ වෙමින් පවතී.

ෆේස්බුක් මුලින් පැවති නීති අනුව සිදුවූයේ මිය ගිය අයගේ ගිනුම් අවලංගු කර දැමීමයි. එවිට එහි ඇතුළත් කර තිබූ ඡායාරූප ආදී සියළු සිහිවටනයන් අභාවයට යනු ඇත. එය නීත්‍යානුකූල නොවන බව පසුව වැටහුණි. මන්ද යත්, ඒ සිහිවටනවල හිමිකම මියගිය අයට අයිති නිසා ය.

මේ කරුණු පිළිබඳ කතිකාවතක් පැවති බව පසුගිය දිනයක මට පුවත්පතකින් කියවන්නට ලැබුණි.

ඊළඟට ඊයේ දැන ගන්නට ලැබුණේ අපට අනාගතයේ දී මරණය හෝ ඔත්පළවීමක් හෝ සිදුවූ පසු අපේ ෆේස්බුක් ගිනුම සම්න්ධයෙන් කටයුතු කිරීමට යම් අයෙකු ගේ නම යෝජනා කළ හැකි බවයි. අදල අනිවාර්ය කොන්දේසිය වන්නේ, එසේ නම් කරනු ලබන තැනැත්තාට හෝ තැනැත්තියට ද ෆේස්බුක් ගිනුමක් තිබීමත්, ඔවුන් අපේ ෆේස්බුක් මිතුරෙකු වීමත් පමණි.

එවිට අනාගතයේ දී අදාල අවශ්‍යතාවය ඇති වූ විට, ඒ අවශ්‍ය පරිදි අපේ ෆේස්බුක් ගිනුමේ යම් යම් සීමා සහිතව ක්‍රියාත්මක කරන්නට ඔවුනට අවසර ලැබේ. වැඩි විස්තර සඳහා මෙය කියවන්න. https://www.facebook.com/help/1568013990080948

ඊයේ මම මගේ දියණියව මේ සඳහා සම්පූර්ණ අවසරය සමග නම් කළෙමි.

මේ විකල්පය තවමත් සෑම ෆේස්බුක් ගිනුමක් සඳහාම තවමත් ලබා දී නොමැති බව කියවේ. ඔබට මේ සඳහා ඉඩකඩ ලැබී ඇති දැයි දැනගැනීමට ෆේස්බුක් ගිනුමේ සෙකියුරිටි සෙටින්ස් බලන්න.



-රසිකොලොජිස්ට්

ප/ලි:
අද අද එයි මරු එය දැනගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
ෆේස්බුක් රැකුමට වැඩ කරපන්නේ
කුමටද ඒකට කම්මැලි වන්නේ?

(නූතන සුභාෂිතයෙනි)

(image: http://www.michaelhacker.at/life-after-death-2/)

Wednesday, 8 April 2015

වසන්තය කියන්නේ ඌටයි, බොටයි - Wasantha Vs Vasntha in Australia



වසන්ත යන වචනය සිංහල පිරිමි නමක් ලෙස භාවිතා වෙන්නේ එයින් වසන්ත සෘතුව හැඳින්වෙන නිසා බව අප දනිමු. වසන්ති සහ වසන්තා යනු මේ නමේ ම කාන්තා රූපක වේ.

ඒ ආකාරයට ම, හේමන්ත සෘතුව නිසා හේමන්ත/හේමන්තී/හේමන්තා යන නම් භාවිතයට විත් තිබෙන අතර ඉංගිරිසියෙන් සමර් යනුවෙන් හැඳින්වෙන සෘතුව සඳහා භාවිතා වෙන ගිම්හානය යන්න, ගිම්හාන සහ ගිම්හානී යනුවෙන් පුද්ගල නාම ලෙස භාවිතා වෙන බව ද පෙනේ.

නමුත් ඉංගිරිසියෙන් වින්ටර් යනුවෙන් හැඳින්වෙන සෘතුව සඳහා භාවිතා වෙන සිසිර යන්න භාවිතා වෙන්නේ පිරිමි නමක් ලෙස පමණකි. සිසිරා හෝ සිසිරී කියා කාන්තා නම් මා දන්නා තරමින් නැත.

මා හඳුනන වසන්ත ලා දෙදෙනෙක් ගැන මට මෙ වෙලේ සිහි වේ. දෙදෙනා ම මැවිසුරුවෝ ය. ඉගෙන ගෙන ඇත්තේ විශ්ව විද්‍යාල දෙකකය. සේවය කරන්නේ දෙ රටක ය.

එක් අයෙක් තම නම ඉංගිරිසියේ ලියන්නේ Wasantha කියා ය. අනෙකා ලියන්නේ Vasantha කියා ය.

මේ දෙයාකාරය ම නිවැරදි විය නොහැක. එසේ නම් නිවැරදි යෙදුම කුමක් ද? Wasantha ද? Vasantha ද?

කලකට ඉහත "සිහි සටහන්" නමින් බ්ලොගයක් (මේ වන විට වසා දමා ඇත!) ලියූ චානුක වත්තේගම ෆේස්බුක් සටහනක් තබමින් වත්තේගම යන්න ඔහු පාරම්පරිකව Wattegama කියා ලියූවද, එය ඇරඹිය යුත්තේ V අකුරෙන් බව කියා තිබුණි. ඒ සටහනේ දී ම ඔහු බොහොමයක් සිංහල නම් ඉංගිරිසියෙන් ලිවීමේ දී, නිවැරදිව යෙදිය යුතු V වෙනුවට W යොදන බවද වැඩිදුරටත් පවසා තිබුණි. චානුක නොකියූ දේ වූයේ ඔහු (V/W)aththegama කියා නොලියා (V/W)attegama කියා ලියන්නේ ඇයි කියායි. වසන්ත කියා ලියන්නට V යොදන්නන් W යොදන්නන්ට වඩා සාපේක්‍ෂව ඉතා අඩු වුණද, ත-යන්න සඳහා t යොදන්නෝ ද th යොදන්නෝ ද සම සමව සිටිති.

මගේ අදහස වනුයේත් වසන්ත කියා ඉංගිරිසියෙන් ලිවිය යුත්තේ Vasantha කියා බවයි. ඒ මක් නිසාද යත්, ඉංගිරිසි W අකුර ශබ්ද කල යුත්තේ උ-ශබ්දයෙන් පටන්ගෙන බව මා කුඩා කළ ඉගෙන ගත් නිසා ය. ඒ සමගම එය ප්‍රායෝගිකව ද නිවැරදි බව ඉංගිරිසි බස දොඩන්නන් හා ආශ්‍රය තුළින් හඳුනා ගෙන ඇති නිසා ය.

මේ සඳහා හොඳම උදාහරණය ලෙස දැක්වෙන්නේ Window යන වචනයයි. මෙය ශබ්ද කළ යුත්තේ "වින්ඩෝ" කියා නොව "උවින්ඩෝඋ" කියා බව මා කුඩා කළ කියවූ "ඉංගිලිසියට සරල මග" (බලංගොඩ ආනන්ද මෛත්‍රී) පොතේ දක්වා තිබුණි.

වසන්තය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපට ඇත්තේ පෙර කී V එරෙහිව W අකුරු ප්‍රශ්නය නොව, වෙනස් ම ආකාරයේ ප්‍රශ්නයකි.

ලංකාවේ දී වසන්තය කියූ විට අපේ සිහියට එන්නේ මල් පිපෙන, පලතුරු සෑදෙන මාර්තු-අප්‍රියෙල්-මැයි කාලයයි. අවුරුදු උත්සවය මෙන්ම අප්‍රියෙල් මාසයේ නුවරඑළිය වැනි ප්‍රදේශවල පැවැත්වෙන උත්සව ද "වසන්ත සැණකෙළි" ලෙස හැඳින්වේ.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ප්‍රජාව ලංකාවේ දී මෙන් අප්‍රිියෙල් මාසයේ දී සිංහල අළුත් අවුරුද්ද උත්සවාකාරයෙන් සමරති. මෙහිදී ප්‍රධාන තැනක් ගන්නේ අවුරුදු ක්‍රීඩා, විවිධ ඇඳුම් සංදර්ශනය, අවුරුදු කුමාරී සංදර්ශනය සහ විවිධ සංගීත, නර්තන, රංගණාංගයෙන් යුතු වූ අළුත් අවුරුදු උත්සවයයි.

මීට අමතරව කාලයක් තිස්සේ සිඩ්නි නගරයේ පැවැත්වෙන "බක්මහ රංගන" නම් වූ විවිධ ප්‍රසංගයක් ද වේ. මේ ප්‍රසංගය එක් වසරක නම් කෙරුණේ වසන්තයේ රාවය යන අරුත දෙන "වසත් රාව" යන නමිනි.

එහි තිබූ නොගැලපීම නම් මෙයයි.

ඕස්ට්‍රේලියාව පිහිටා ඇත්තේ ලෝකයේ දක්‍ෂිණාර්ධගෝලයේ ය. මේ ප්‍රදේශය අප්‍රියෙල් මාසයේ දී ගත කරන්නේ හේමන්ත සෘතුවේ ය. ඉන්පසු ජූනි මුල සිට අගෝස්තු අවසානය දක්වා සිසිර සෘතුව ගෙවී ගොස්, වසන්ත සෘතුව ලබන්නේ සැප්තැම්බරයේ ය!

බක් මාසයේ පැවති විවිධ ප්‍රසංගය අපේ ඇත්තන් විසින් "වසත් රාව" ලෙස නම් කෙරුණේ කාලය, දීපය, දේශය ගැන හිතා නොව "මව" ගැන සිතා බව පැහැදිලි ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙය බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවුණු ලිපියකි!

(image: https://www.facebook.com/groups/693226280782347/)

Saturday, 24 January 2015

මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති අන්ධ භක්තියෙන් තවමත් දුක් විඳින අපේ අංකල්ලා ගේ සහ ඇන්ටිලා - They deserve our sympathy!


මේ ලිපිය ලියන්නට ආසන්නම හේතුව වූ ඉහත චිත්‍රණය පසුගිය දිනයක ෆේස්බුක් අවකාශයේ හුවමාරු වූවකි. එහි නිර්මාතෘ හෝ මුලින් ම බෙදාහැරිය පුද්ගලයා "පොඩි එකා" නම් වේ.

ඒ කතාව කියන්නට පෙර යම් කරුණක් විස්තර කළ යුතුය.

"මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා", "කැපුවත් ලේ කොල පාටයි", "කැපුවත් ලේ නිල් පාටයි" ආකාරයේ දේශපාලනික සත්වයින් බහුලව ලක් දෙරණේ සිටියේ කාලෙකට පෙර බව මගේ අදහසයි. පසු කලෙක දේශපාලුවන් කරන්නට පටන් ගත් ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පක්‍ෂ මාරු නිසා එකී "මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා" සත්ව ප්‍රභේද වල ගහණය මදින් මද අඩුවෙන්නට පටන් ගෙන ඇති වුව ද තවමත් උන් එන්ඩේන්ජර්ඩ් තත්වයට පත් වී නැත.

මේ අතර ඉහත කී "මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා" සත්ව ප්‍රභේද දෙකේ දෙමුහුමකින් ඇති වූවා යැයි සැක කළ හැකි අළුත්ම සත්ව කොට්ඨාශයක් බිහි වී ඇති බව මට 2010 ජනාධිපති ඡන්දය කාලයේ සිට මදක් වැටහෙමින් තිබී මෙවර ජනාධිපති ඡන්දයේ දී ස්ථිර විය.

මේ නව ප්‍රභේදයේ දේශපාලන සත්වයින් හඳුනා ගත හැකි නිවැරදි ක්‍රමය නම් ඔවුන් අන්ධ භක්තියෙන් යුතුව තම නායකයා කරන වැඳුම් පිදුම් වේ.

පෙර කී පරිදි 2010 ජනාධිපති ඡන්දයේ දී මා මුලින් දුටු පරිදි මේ දේශපාලන සත්වයින් ගෙන් එක් පිරිසක් "අපේ රට ගලවා ගත් මහින්ද රාජපක්‍ෂට" අන්ධ භක්තියකින් වන්දනා මාන කරන්නට පටන් ගෙන සිටියහ. අනෙක් පිරිස, "අපේ රට ගලවා ගත් යුධ විරුවා සරත් ෆොන්සේකාට" අන්ධ භක්තියකින් වන්දනා මාන කරන්ට පටන් ගෙන සිටියහ.

මේ දෙවන සත්ව කොට්ඨාශය වසර පහකට පසුව වුවද තවමත් අඩු ගහණයකින් වුවද ජීවත් වෙති. ඒ අතර, පෙර කී මුල් සත්ව කොට්ඨාශය ගහණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවක් නොවී පසුගිය ජනාධිපති ඡන්දය දක්වාම ජීවත් වූහ.

* * *

ජනාධිපති ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වී අළුත් ජනාධිපති දිවුරුම් දීමෙන් පසු දිනක මම හිටපු ජනාධිපති ගේ රැව රුගත් චිත්‍රණයක් වත් පොතේ දැක එය මගේ මිතුරන්ට දැක ගන්නට බෙදා හැරියෙමි. එහි දැක්වුණේ වශී බෝල කරකවමින් ඡන්ද පොලේ සරණ මහින්ද රාජපක්‍ෂ ය.



ගුත්තිලයෙන් කවි ද උපුටා දක්වමින් මගේ එක් අංකල් කෙනෙක් එයට පිළිතුරු දෙමින් කියා තිබුණේ කෙලෙහි ගුණ නොදන්නා අය ගැන ආඬපාලියකි.

ඒ කවි මෙසේය.
කෙළෙහි ගුණ සින්දේ
මූසිල අන්ද මන්දේ
ජයෙහි ලොබ බැන්දේ
තමන් වීනා තත ද සින්දේ

අනුුවණ කම් කළේ
ගුරුන් ගුණ සිහි නොකළේ
නද ඉන් නොපතළේ
අයසමය මුළු දියත පතළේ
"අංකල් මොකක් ද මේ කියන්නේ? ගුත්තිල කාරයාත් වශී බෝල දෙකක් දෑතින් අරගෙන, මූසිල ගේ රූඩකයක් එක්ක ද වීනා වාදන තරගයට ගියේ?" මම විමසුවෙමි.
"The contention was to stress on the malicious and the vindictive manner in which some of the propaganda against national leaders, was disseminated, in the electronic media in recent times. It is very convenient to criticise. Some seem to be in the opinion that they are hearing and seeing human weaknesses and l lapse for the first time in history. The question is who will cast the first stone at the sinner!"

කා හටත් වරදී
ඉන් දොස් කීම වැරදී
මා හට නොවරදී
කියන දන හට නිතර වරදී
අංකල් පවසා තිබුණි.

පසුගිය සමයේ රූපවාහිනිය සහ අයිටීඑන් එක පමණක් බලමින් සතුටු සිතින් සිටි අපේ අංකල් කෙළෙහි ගුණ සලකා ලද පරාජයෙන් දුක්ඛිතව සිටින බව පෙනුණු නිසා මම තුවාලය නො පාරවා නිහඬ වුණෙමි.

වත් පොත් දැක මා ඊලඟට මිතුන් අතරේ බෙදා ගත් මේ ආකාරයේ ම ඡායාරුපය ඒ දිනවල පරාජිත ජනාධිපති විසින් කරමින් තිබූ ජාතිවාදී ප්‍රකාශවලට යම් පිළිතුරක් සපයා තිබුණකි.



එය දුටු අපේ ඇන්ටි කෙනෙක් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණි.
"නිදහස් අධ්‍යාපනය ලබා දුන් කන්නංගර මැතිඳුන්ටත් පරාජය සහ අවලාද දුන් අපේ ම සිංහලයින් තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරා නිදහස දුන් වීරයින්ට මොනවා නොකියයි ද?"
මේ ඇන්ටී ද, පසුගිය දිනවල රූපවාහිනිය සහ අයිටීන් එක බලමින් සිට කෙළෙහි ගුණ සලකන්නට ඡන්දය දී පරාජයේ තුවාල සහිතව දුකෙන් සිටින අයෙකි.

මගේ පිළිතුර වූයේ මෙයයි.
"කන්නංගර කියන්නේ ජාතිවාදී, දූෂිත, ජනඝාතක, වශී බෝලකාර, චෞරයෙක් කියා මා නම් විශ්වාස කරන්නේ නෑ!"
මේ පැන්ෂන්ලාභී, බණ දහමින් දැහැමෙන් සෙමෙන් කල් ගත කරන, ඇන්ටිලා ගේ අංකල් ලා ගේ සිතුම් පැතුම් මට තරමක් හෝ තේරුම් ගත හැක. අන්ධ භක්තියක ගැලී සිටින ඔවුන්ට මම අවංකවම අනුකම්පා කරමි.
නමුත් ඊලඟට සිදුවූයේ නම් මා නොසිතූ දෙයකි.

ඒ මේ චිත්‍රණය සම්බන්ධයෙනි.



එයට ප්‍රතිචාරක් දක්වන මගේ සම වයස් ප්‍රමාණයේ පසුවන ඇන්ටි කෙනෙක් මෙසේ කීවාය.
"What is the purpose of doing this type of things dear Rasika? To whom you are working for?"
මා ඇයට ලියූ පිළිතුරේ සිංහල අනුවාදය මෙලෙස දැක්විය හැක.
"ඔබ සිතුවේ මේ චිත්‍රණය මා නිමවූ එකක් කියාද? එය මා වත් පොතේ දැක අන් අය සමග බෙදා ගත්තේ යම් කිසි හේතුවක් ඇතිවයි.

පසුගිය දශවසරක මහින්ද රාජපක්‍ෂ සාප කාලය තුල ලංකාවේ ඔඩු දුවා ගිය පිළිකා දෙකක් වේ. එහි බලපෑම තව සෑහෙන කාලයක් සමාජයේ පවතිනු ඇත.

ඉන් පළමුවන්න නම්, මහින්ද රාජපක්‍ෂ විසින් රටේ පැවැත්මට අදාල තීරණ ගැනීමේ දී නීර්ණායකයක් ලෙස භාවිතා කළ යන්තර, මන්තර, හදි හූුනියම්, වශී බෝල සහ ජ්‍යෝතිශ්‍යයවැනි දේ ය. දෙවැන්න නම් කාල්පනික ලෙස දේශාභිමානී ලෙස පෙනෙන නමුත් තර්කාන්විතව බලන කළ මුග්ධත්වයේ ප්‍රතිමූර්තියක් බඳුව වූ ලෝකයේ අනෙකුත් රටවල්වලට ඇති කළ විරුද්ධාකල්පයයි.

විමලසේන යනු ඒ දෙවැන්න ප්‍රවර්ධනය කරමින් හැසිරුණු මුගටියා ය.

ඉහත චිත්‍රණය පසුගිය රජය විසින් ගෙන ගිය පෙර කී නින්දිත ක්‍රියා ද්වයම කදිමට සමච්චලයට ලක් කරයි."
එයට ඇයගේ පිළිතුර වූයේ මෙයයි.
"I don't know what to say but I totally disagree with you Rasika. You have left this country about 20 years now. Actually you people don't know what is going on here and what has happened to this country politically during last 20 years. Anyway I don't want to argue with you in this manner but I must say that we live in our country with proud, happy and peacefully after 2009 because of our President Mahinda Rajapaksa and country lovers (Upan Bimata Adaraya Karana) like Minister Wimal Weerawansa (Not Wimalasena)."
බඩගින්නේ සිටින කෙනෙකුට බණ කියා වැඩක් නැතුවා සේ ම, අන්ධ භක්තියෙන් තවමත් චෙෘරයින් වන්දනාමාන කරන අයෙකු සමග තර්ක කර පළක් නැත. සත්‍යාවබෝධය යනු තමන් ම වීර්යයෙන් කර ගත යුත්තකි.

එනිසා, "ස්තුතියි මිතුරිය" කියා මම නිහඬ වුණෙමි.

අන්ධභාවය සමච්චලයට ලක් කිරීම අමානුශික ක්‍රියාවකි. මේ අංකල්ලා ඇන්ටිලා සෑම දෙනාටම අපේ අනුකම්පාව හිමිවිය යුතුය.

-රසිකොලොජිස්ට්