
"දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ!" සින්දුව කියමින් සිටින
මේ කාලයේ බ්ලොග් ලිපි ලියන්නට නොසිතුවෙමි.
කොහොමටත්, මේ ගිනි රස්නය මැද බ්ලොග් තියා මේ ලෝකේ කිසිම දෙයක් හෝ කරන්නට නො සිතේ!
ඒත්, මා
සිනුවර සිට ලංකාව පැමිණ පැය දොළහක් ඇතුළත සහභාගී වෙන්නට ලැබුණු යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය ගැන නොකියාම බැරි කරුණු කිහිපයක් සටහන් කළ යුතු යැයි සිතුණි.
ත්‍රිරෝද රථයකින් බෝකුන්දර හන්දියට ගොස්, එතැනින් 120 බසයකට ගොඩවුණු මා ඉන් බස ගත්තේ "ජෝන් ද සිල්වා රඟහල" අසල නොව "පුරහල" අසලදී ය. පයින් ඇවිදගෙන මහවැලි කේන්ද්‍ර ශාලාවට ළඟා වී පොත් මිලට ගෙන දොරෙන් එබී බැලූ කළ දුටුවේ ලාම්පු පත්තු කිරීමේ දර්ශනයයි.
අනෙත් දොරෙන් ඇතුළු වී පසු පස ආසනයක හිඳ ගත්තෙමි. උත්සවය අවසාන වෙනතුරුම හිඳ සාවධානව සිට, ඉන් පසු තේ කෝප්පයක් ද බී, රෝල්ස් දෙකකට පමණ ද වග කියා, කීප දෙනෙකු සමග ඉතා කෙටි කතා බස්වල ද නිරත වී කැපී ගියෙමි.
මගේ නිරීක්‍ෂණ ඉතා කෙටියෙන් මෙසේ ය.
හාමුදුරුනමක් වෙනම වාඩිකර තිබුණේ ඇයි ද කියා මට නොවැටහිණි. ඒ මූලාසනය විය නොහැක. මූලාසනය යනු සභාව මෙහෙයවන්නායි. ඒ කටයුත්ත කළේ ඉවාන් පවුලූෂා බ්ලොග්කරුවා ය. හාමුදූරුවරුන්ට ගිහියන් සමග සම අසුන්වල වාඩිවිය නොහැකිය කියාවත් සිතුනාවත් ද?
හෂිත අබේවර්ධන ගේ කතාව ඉතා හරබර එකකි. කොටින්ම ශාලාවෙන් පිටවෙන්නට පෙර මම එහි හඬ පටයක් සඳහා ද යශෝධා සම්මානී ගේ "අයියා"ගෙන් ඉල්ලීමක් ද කළෙමි. හෂිත අබේවර්ධන ගේ කතාවේ තිබූ එකම ප්‍රශ්නය වූයේ එය පමණට වඩා දිග වැඩි වීමයි.
එයට හේතු ලෙස මා දකින්නේ තම ලේඛනවලදී ඉතා සංක්‍ෂිප්ත ලෙස, ඵලදායී ලෙස වචන භාවිතාකරන හෂිත අබේවර්ධන තම කතාව දළ සටහන් සහ මතකය මත පමණක් පදනම්ව කිරීමයි. එනිසා, ඔහු ගේ දේශනය පැයකටත් වඩා ඇදී ගියේය.
හෂිත අබේවර්ධන වැනි තඩි ලූලන් හිඟ සිනුවර දී පැවැත්වෙන සිංහල පොත් එළිදැක්වීමේ උත්සව කිහිපයක දී ම මේ ආකාරයේ කතා පැවැත්වීමට මට සිදුවී ඇත. ඒ සැම විටකම මා කරන්නේ මගේ මුළු කතාවම පාහේ යතුරු ලියනය කර, මුද්‍රිත පිටපත් රැගෙන යාමයි. එවිට මගේ කතාව නියමිත කාලය තුළදී අවසාන කිරීමට මට හැකිවේ.
එසේ වුවද, මා ඒ හැම විටකම පාහේ මුලින් ම සඳහන් කරන දෙයක් ඇත. එනම්, මා ගී තැටි එළිදැක්වීමේ උත්සවයන් හි දී නොව, පොත් එළිදැක්වීමේ උත්සවයන් හි දී කතා කිරීමට ඉතා කැමති බවයි. එයට හේතුව ලෙස මා කියන්නේ ගී තැටි එළිදැක්වීමේ උත්සවයන්ට සහභාගී වෙන්නන් මෙන් නොව, මෙවැනි පොත් එළිදැක්වීමේ උත්සවවලට සහභාගී වෙන්නන් මෙහි එන්නේ දේශනවලට සවන්දීමට සිදුවෙන බව හොඳින් දැනගෙන බව වීමයි.
එනිසා කතාව දිග වැඩි යැයි, නීරස යැයි ඤාව්, ඤාව් ගෑමේ තේරුමක් නැත!
නීරස සේ හැඟීමට හේතුව නම් පුද්ගලික රසඥතාවයේ වෙනස්කම් ය.
නමුත් මෙහි දී උත්සවය සංවිධානය කරන්නන් අතින් සිදුවෙන වැරද්දක් ද තිබේ. එය නම්, දේශන පැවැත්වීමට කරන ආරාධනය සමග එම දේශනය මිනිත්තු (ඔව් මිනිත්තු!) කීයක් විය යුතු දැයි අදාළ දේශකයාට නොපැවසීමයි.
මා සිතන ආකාරයට මෙවැනි උත්සවයන් හි දී පැවැත්වෙන ප්‍රධාන දේශනය මිනිත්තු තිහකට සීමා විය යුතුය!
මා ආරාධිත දේශකයා ගේ නොව සභාවේ පොතේ ගුරා ගේ රාජකාරිය කළ එක් සිනුවර පොත් එළිදැක්වීමක දී, ප්‍රධාන දේශකයා තම කතාව මිනිත්තු හතළිහක් කළේය. කිසිදු මූලාශ්‍ර සටහනක් නොබලා තම මතකයෙන් කරුණු ගෙන හැර දක්වමින් කළ ඒ කතාව ඉතා අගනා එකක් විය. නමුත්, සභාාවේ සමහරුන්ට එය දිගු වැඩි වී ඇති බව පෙනුණත් ඒ ගැන දේශකයාට ඉඟි කරන්නට මා නොගියෙමි.
මගේ අදහස, කතාවක් පමණට වඩා දිගු වීමේ වරද දේශකයා ගේ නොව සංවිධායකයින් ගේ බවයි.
හෂිත අබේවර්ධන ගේ දේශනය දිග වැඩි යැයි කියන අය වසර 2010 ජනවාරියේ දී බූන්දිය විසින් සංවිධානය කළ ජගත් ජේ එදිරිසිංහ ගේ පොත් එළිදැක්වීමේ උත්සවයේ දී කේකේ සමන්කුමාර විසින් කළ කතාව අසා නැති බව නිසැකවම කිව හැක!
මේ ආකාරයේ සෑම උත්සවයට මෙන් ම යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවයට සහභාගී වූ අති බහුතර පිරිස අඩු වැඩි දුරකින් ඇයව දන්නා හඳුනන අයයි. ඉන් වැඩි දෙනෙකු බ්ලොග් මිතුරන් ය. ෆේස්බුක් අවකාශයේ කවි කියවන අය ය. විශ්ව විද්‍යාලයේ, සේවා ස්ථානයේ හිතවතුන්ය. නෑ හිත මිතුරන් ද කිහිප දෙනෙකි. මේ පොත නිසාම ඇයව හඳුනාගෙන, එහි පැමිණ සිටියේ කිහිප දෙනෙකු පමණක් බව කිව හැක.
ඒ පිරිස අතරින් අවංකවම කවියට කැමැත්ත ඇති, කවිය වෙනුවෙන් කැප කිරීමක් කරන්නට හැකි අය සුළුතරයක් ම වේ. එය සත්‍යයයි. "පෙදෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ!" යනුවෙන් කියවෙන්නේ ද ඒ කරුණයි. එහි ඇති වරදක් නැත.
ඊට අමතරව උත්සවය ගැන මට කිව යුත්තේ, මා සහභාගී වී ඇති විශාලතම පිරිසක් සහභාගී වූ පොතක් එළිදැක්වීමේ උත්සවය මෙය බවයි. ගුවන් සමාගම්වල අකලංචි මැද්දේ,
වැඩිපුර දවසක් වාර්ෂික නිවාඩු වැය කර මා පැමිණි ගමන ගැන මට එ නිසා ඇත්තේ දැඩි සතුටකි.
ඒ කෙසේ වෙතත්, දේශන තුන පිළිවෙලින් මිනිත්තු 30, 20 සහ 10 ට සීමා කර ඒ ඉතිරිකරගත් කාලය අපේ බහුතරයට සංග්‍රහ කරන අංග කිහිහපයකට සහ තේ වේලාව දිගු කරන්නට යොදා ගත්තා නම් වඩාත් යෝග්‍ය වෙන්නට ඉඩ තිබුණි!
පැමිණි පිරිසේ විශාලත්වය පිළිබිඹු කරන්නේ කවියට ඇති ඇල්ම යැයි වරදවා වටහා ගන්නට මම කිසිසේත්ම නො පෙළඹෙමි. එයින් ඇත්තටම හෙළිවන්නේ මිනිස් දියණියක ලෙස අපේ කිවිදිය කෙතරම් තවත් මිනිස් සිත් ස්පර්ශ කර ඇති ද යන්නයි.
යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ "ඉතා කෙටි කලබල සිහින" ග්‍රන්ථය මා තවමත් මුළුමනින් ම කියවා නැතත්, ඇගේ රිද්මයානුකූල කවි ආරට මා ඉතා ප්‍රියකරන බව පැවසිය යුතුය!
රිද්මයක් නැති කවියක මට නම් කිසි අගයක් නැත.
-රසිකොලොජිස්ට්
ප/ලි:
"ඉතා කෙටි කලබල සිහින" ග්‍රන්ථය ගැන පසුව ලියන්නට අදහස් කරමි!