Showing posts with label ෆේස්බුක්. Show all posts
Showing posts with label ෆේස්බුක්. Show all posts

Tuesday, 28 November 2023

ෆේස්බුක් එක ගැන පොඩි පහේ කතාවක් - About Facebook again!



අපේ සිංහල අයියලා අක්කලා සමහරු Facebook ගැන සඳහන් කිරීමේ දී එයට මූණුපොත, මුහුණු පොත, වත්පොත යැයි කියති.

මා ද දිගු කලකට පෙර එසේ ලියූවෙමි. පසුව මට සත්‍යාවබෝධ විය.

Facebook යනු වෙළඳ නාමයකි. කොටින් ම, Sunlight සබන් සහ Signal දත්බෙහෙත වැනිය. ඒවාට කිසිවෙකු "හිරුඑළිය" සහ "සංඥාව" යැයි නොකියති.

එසේම රසික යන්න ඉංග්ලිෂ් භාෂාවෙන් ලියන්නේ Rasika ලෙස මිස Connoisseur of the fine arts කියා නොවේ. සූරියආරච්චි යන්න ලියන්නේ Suriyaarachchi ලෙස මිස Officer in charge of the Sun කියා නොවේ.

එනිසා Facebook යන්න දෙකට කඩා වෙනම වචන දෙකක් ලෙස පරිවර්තනය කළ නොහැක. එසේ කළා වුව ද, එය ලිවිය යුත්තේ මුහුණපොත හෝ වතපොත කියා ඒකවචනයෙන් මිස මුහුණුපොත හෝ මූණුපොත හෝ වත්පොත කියා නොවේ.

එනිසා, Facebook යන්න සිංහලෙන් ලියනවා නම් ෆේස්බුක් ලෙස ලියන්න.

ස්තුතියි.

- රසික සූරියආරච්චි

ප/ලි:
සිංහල බ්ලොග් කලාව විනාශ මුඛයට ඇද වැටුණේ, ෆේස්බුක් එක නිසා ය. අද අප කලාතුරකින් සතියකට වරක් හෝ බ්ලොග් ලිපියක් ලිවූවද ඒවාට ද බොහෝ විට ෆේස්බුක් සම්බන්ධ වීම උත්ප්‍රාසය ජනිත කරයි.

මෙන්න මා ලියූ ෆේස්බුක් සම්බන්ධ බ්ලොග් ලිපි කිහිපයක්.

1. ෆේස්බුක් අවකාශය, බ්ලොග් ලෝකය සහ මගේ ලෝකය - Facebook, blogging and I
https://rasikalogy.blogspot.com/2017/07/facebook-blogging-and-i.html


2. ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් නොසෑහෙන්න කෑවෙමි! - Oh, these Facebook group administrators
http://rasikalogy.blogspot.com/2017/07/oh-these-facebook-group-administrators.html


3. තවත් ෆේස්බුක් කචල් කතාවක් - Facebook fun
http://rasikalogy.blogspot.com/2017/07/facebook-fun.html


4. ඔබ වළ කජ්ජ ගැසූ පසු ඔබේ ෆේස්බුක් ගිනුමට කුමක් වේද? - Life after death
https://rasikalogy.blogspot.com/2015/05/life-after-death.html


5. ෆේස්බුකයියා - Who is he?
https://rasikalogy.blogspot.com/2017/07/who-is-he.html


6. ෆේස්බුකයියෙකුට වුණු ෆේස්බුක්මය ඇබැද්දියක් - My deepest sympathies
https://rasikalogy.blogspot.com/2017/08/499.html


7. සම්මාන නැති කතාවක් - Awardless
https://rasikalogy.blogspot.com/2019/09/awardless.html


8. ෆේස්බුක් විනෝද සාගරේ - Facebook: Entertainment Galore
https://rasikalogy.blogspot.com/2017/03/facebook-entertainment-galore.html


9. අජිත් පැරකුම් ජයසිංහ, ෆේස්බුක් දේශපාලනය සහ වෘත්තිය බ්ලොග්කරනය - Para the man...!
https://rasikalogy.blogspot.com/2016/03/para-man.html


Wednesday, 24 February 2021

ඇන්ජෙලා හටී සිදුවීම නිසා මතකයට ආ පැරණි නොවැදගත් කතාවක් - Who is Angella Hutti

පැරණි නොවැදගත් කතාව කීමට පෙර මේ සටහනේ පසුබිම විස්තර කළ යුතුවේ.

ඇන්ජෙලා හුටී යනුවෙන් ශබ්දවෙන ආකාරයට අනුව සිංහල අකුරෙන් ලිව්වාට මෙහි හුටී යන්න ලතින්/රෝමන් අකුරෙන් ලියන්නේ Hutti කියා ය.

ඇන්ජෙලා හුටී ඇමරිකානු එක්සත් ජනපදයේ මාධ්‍යවේදිනියකි. සිංග්ලිෂ්වලින් ලියන කියවන සමහරෙකුට ඇගේ වාසගමේ අකුරු ගෙන දුන්නේ මහත් වූ අමන්දානන්දයකි. තමන් කැමති ජුගුප්සා රසයක් විඳ සැනසී චූ කර නිදා ගන්නවා වෙනුවට මේ අය කළේ ඇන්ජෙලාගේ ෆේස්බුක් පිටුවට ගොස් ඇයට ඇගේ වාසගම සිංහලෙන් ලියමින් ප්‍රතිචාර දැක්වීමයි. ඇගේ කුඩා පුතාගේ ඡායාරූප යටින් පවා ඔබට සිතාගත හැකි ආකාරයේ ප්‍රතිචාර දක්වා තිබුණි.

මෙය කෙතරම් දරුණු ලෙස සිදුවී ඇති ද යත් දැන් ලංකාවේ අන්තර්ජාල පහසුකම් සපයන්නන් හරහා ඇගේ ෆේස්බුක් පිටුවට පිවිසිය නොහැකි ආකාරයට සීමා පනවා ඇතිබවක් කියවේ.

නමුත්, අපේ සමහරු ඉන් පසුබට නොවී, ලංකාවේ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් තහනම්කර ඇති ලංකාඊනිවුස් වැනි වෙබ් අඩවිවලට පිවිසීම සඳහා භාවිතා කරන වීපීඑන් හෙවත් අතත්‍ය පුද්ගලික ජාල හරහා ගොස් තවදුරටත් ඇන්ජෙලාගේ වාසගම අවඥාවට ලක් කරන බව පෙනේ.

එක් භාෂාවක වචන තවත් භාෂාවකින් වෙනත් අරුත් ගෙන දෙන බව අමුතු දෙයක් නොවේ. ඒ වෙනත් අරුත් සමහර විට හාස්‍යය උපදවන මෙන්ම, තිත්ත කුණුහරුප වීමට ද ඉඩ ඇත.

උදාහරණයක් ලෙස මා අසා ඇති කතාවක් නම්, ලංකාවේ නිෂ්පාදිත කරදිය ඉඟිනළුව (හෝ එහි ආ ගීතයක්) රුසියාවේ වේදිකාගත වූ අවස්ථාවක "හොයියා හෝයියා" නම් ගීතය අසා රූසියානුවන් හිනා වෙන්නට පටන් ගෙන ඇති බවයි. හුයියා යනු රුසියන් භාෂාවෙන් ෆක් යන අදහස ගෙන දෙන බව කියවේ.

නම් ගැන සඳහන් කරනවා නම් දික්වැල්ල යන නම Dickwalla ලෙස ලියා එයම "ඩික් වල්ලා" කියා ශබ්දකොට අපට ගුජුප්සා රසයක් ලබන්නට හැක. "කැරී" වැනි යුරෝපියානු නමක් සම්බන්ධයෙන් ද එලෙසම කළ හැක. කාරියකරවන වැනි නමක් වුවද, ලතින් අකුරෙන් ලියා නැවත වෙනත් ආකාරයකට කියවිය හැක.

පුක යන වචනය සහ එහි විවිධාකාර වරනැගීම් සහිත ස්ථාන නාම නවසීලන්තය පුරාම ඇත. පුක යන්න මෞරි භාෂාවෙන් ගෙන දෙන්නේ සිංහල අරුත නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

දැන් මෙන්න පරණ කතාව.

මා මගේ මව අමතන්නේ අම්මා කියා ය. මගේ බිරිඳ ඇගේ මව ඇමතූයේ ද එලෙස ය. නමුත් අපේ දරුවන් තමන්ගේ මව අමතන්නේ අම්මී කියා ය.

අම්මා අම්මී වෙන්නට පටන් ගත්තේ අප කුඩා කාලයේ ය. එවිට අපේ වයසේ සිටි අය බහතෝරා හමාර නිසා අම්මා අම්මාම විය. ඇත්තෙන්ම මට වඩා වයසැති තම මවට අම්මී කියා අමතන මිතුරන් මට ඇත්තේ එක් අයෙකු පමණි!

එසේ නමුත්, ඒ කාලයේ අලුත ඉපිදී බහතෝරන ළමුන්ට ඔවුන්ගේ අම්මලා තමන්ව අම්මී ලෙස හඳුන්වා දීම ඇරඹී තිබුණි. එසේම, ඒ වෙනව භාෂාව භාවිතයේ සිදුවෙන ස්වභාවික වෙනසක් ලෙස නොව සංකරවීමක් ලෙස සලකා එයට විරෝධවූ භාෂාවල්ලන් ද වූහ.

එක්තරා වසරක අපේ ගමේ පන්සලේ පිංකම්වාරයේ බණක් දෙසන්නට පැමිණි සාදුකෙනෙකු එවැන්නෙකු බව බණ කියන අතරේ ඔහු පැවසූ කතාවක් නිසා මට පෙනුණි.

ඔහු පැවසූ අදහස මෙසේ ය.
මිසරයේ (ඒ කියන්නේ ඊජිප්තුවේ) අම්මී කියන්නේ මිරිස්ගලටයි. ඔබේ අම්මාට ඔබ මිරිස්ගල කියා අමතනවා ද? නෑ නේද? එසේ නම් ඒ අරුත දෙන අම්මී කියා ඔබේ මව අමතන්න එපා!
ප්‍රාථමික පාසලේ ශිෂ්‍යයෙකු වුව ද, මේ මොන විකාරක් ද කියා මට එදා සිතුණි. අප අම්මාට කතා කළේ අම්මා කියා මිස අම්මී කියා නොවන නිසා, ඊට වඩා කළ යුතු දෙයක් නොතිබුණි.

ඇන්ජෙලා හටී සිදුවීම නිසා මතකයට ආ පැරණි නොවැදගත් කතාව එයයි!

-රසික සූරියආරච්චි

ප/ලි:
1. ඇත්තටම මට වඩා වසර දහයකින් සහ දොළහකින් බාල මගේ නැන්දාගේ දරුවන් දෙදෙනා පවා ඔවුන්ගේ මව අමතන්නේ අම්මා කියා බව මට මේ මොහොතේ සිදුවිය.

2. ඊජිප්තුවේ භාවිතාවෙන්නේ භාෂාව අරාබි භාෂාවයි. ගූගල් පරිවර්තකය ඇසුරෙන් විමසා බැලූ විට අම්මී යන ශබ්දය ඇති عَمّيّ යන්නේ අදහස "මගේ මාමා" බව පෙනුණි.
(image: https://www.bizjournals.com/austin/news/2017/10/20/austin-area-economic-leaders-under-police.html)

Wednesday, 6 January 2021

ගැහැණියකට බුදුවිය නොහැකි ද? - Dogmatic idiots






















පරණ පිනක් පළ දී මට බුඩ්ඩාගං කල්ට් එකකට අයිති ෆේස්බුක් කණ්ඩායමකට එකතු වෙන්නට අවස්ථාවක් ලැබුණු බව සහ එහිදී ධර්මලොජිස්ට්වරයෙකු මෙන් ධර්ම ගැටලු විසඳන්නට අවස්ථාව ලැබුණු බව මම මීට කලින් පළ කළ සටහනේ දී සඳහන් කළෙමි.

එම ෆේස්බුක් කණ්ඩායමේ සාමාජිකාවක විසින් අසා තිබුණු ඉතා වැදගත් ප්‍රශ්නයක් මෙලෙස විය.
බුද්ධත්වය ලබන්න නම් අනිවාර්යයෙන්ම පිරිමි ආත්මයක් ම ලබන්න ඕනෑ ද?
මම එම ප්‍රශ්නයට මෙලෙස පිළිතුර දුන්නෙමි.

ගෑනුන්ටත් බුදු වෙන්න පුළුවන්. තාරා නමින් හැඳින්වෙන්නේ බුදුකෙනෙකු නේද? හැබැයි කසාද බැඳලා රාහුල ඉපදුනාට පස්සේ ගිහිගෙයින් නික්මෙන කොට නම් තරමක දුකක් දැනේවි.

හාමුදුරුකෙනෙකු යැයි සිතෙන නමක් ඇති අයෙකු මට ප්‍රතිචාර දක්වා තිබුණි. එහි දී ඇතිවුණු අදහස් හුවමාරුව මෙලෙස විය.
කාන්තාවන්ට බුදුවිය නොහැකී. තාරා යනු මහායාන ඇදහිල්ලකි
ඇයි ඉතින් මහායාන කියන්නේ බුද්ධාගම නොවේද?

අම්මා බුදු වේවා කියා පපුවේ පච්චයක් කොටා ගෙන සිටි මරුසිරාගේ අම්මත් මේ වෙනවිට බුදු වෙලා ඇති.

මහායානය බුදු දහම වුණත් ඒක ගොඩක් වෙනස් විදියට සකස් කර ගත්ත එකක්
ඉතිං මොකක්ද ප්‍රශ්නේ? හීනයෙ හානියත් ඒ ආකාරයටම වෙනස් විදියකට සකස් කර ගත්තු එකක් නොවේද?

ගෑනුන්ට බුදු වෙන්න බෑ කියලා කියන්නේ බුදුන් කියපු කතාවක් ද, එහෙම නැත්තං බුද්ධාගම විකෘති කරලා දෙයියායි අරවයි මේවයි දාගත්තු බමුණන් විසින් ඇතුළත් කරන ලද පුරුෂෝත්තමවාදී අමන තකතීරු මරිමෝඩ කතාවක් ද?

නැ බුදුවෙන්න නම් අභිනීහාර ධර්ම අට සම්පූර්ණ වෙන්න ඕන. ඒකෙ සදහන් ස්ථිර වශයෙන්ම පුරුෂයෙක් වෙන්න ඕන කියල.
ඔය කතාව කවුරු හරි තකතීරු බමුණෙකු විසින් එකතු කරන ලද එකක් බව ඉතා පැහැදිලියි.

හාමුදුරුවරුන් ක්‍රියාකළ යුත්තේ එවැනි ජරා කතා අදාළ ලේඛන වලින් ඉවත් කිරීමට නොවේද?

අනිත් එක, කොහේ හරි තැනක ලියලා තිබුණා කියා ගැහැණියෙකුට බුදු වෙන්න ඕනේ නම් බුදු වීම වළක්වන්න බැහැ.

මොකද බුදු වෙන්න කලින් අහවල් කොලේ මෙහෙම ලියලා තිබුණා කියා ඒකට තහනම් දාන්න කවුරු හරි ඉන්නවායැ මේ ලෝකෙ?

කොහොමද පැහැදිලි හේතුවක් කියන්න එය එසේ නොවේ කියන්න
හේතුවක් අවශ්‍ය වෙන්නේ එය එසේ යැයි කීමට මිස එය එසේ නොවේ යැයි කීමට නොවේ.

බුද්ධත්වය යනු උපරිම බුද්ධි මට්ටම ලබා ගැනීම නම් සමාන මොළ ඇති ගැහැණියෙකු සහ පිරිමියෙකු අතරින් එය ගැහැනියට බැරිය කීම තමයි ඔප්පු කර පෙන්විය යුත්තේ.

වෙනත් උදාහරණයක් කියනවා නම් ඇසට නොපෙනෙන දෙවියන් භූතයන් ඇති යැයි විශ්වාස කරන අය තමයි එවන්නං ඇති බව ඔප්පු කර පෙන්විය යුත්තේ. එවැන්නන් නැති බව අමුතුවෙන් ඔප්පු කිරීමට දෙයක් නැත.

ආ හරි ඔබේ මතය එයනම් ම් හොදයි එයට අනුව කටයුතු කරන්න යහපත අයහපත් තම තමා මත රැදෙන එකක්නෙ නේද
මගේ අදහස නම් බුදු වීමට ඔබට සහ මට ඇති හැකියාව මගේ මවට මෙන්ම ඔබේ මවට ද ඇති බවයි.

එය එසේ නොවේ යැයි කියන්නා වසල සූත්‍රය අනුව වසලයෙකු වෙනු ඇත.

හරි හොදයි හොදයි මන් වසලයෙක් වෙන්නම්කො
අනේ එහෙම වෙන්න එපා.

නිවැරදි අවබෝධය ලබාගෙන ක්‍රියාවෙන් සිතුවිල්ලෙන් වචනයෙන් සංවර වී හොඳ ජීවිතයක් ගතකරන්න.

ඔබට බමුණු මතයෙන් තොර නිවැරැදි දැක්ම ලැබේවා යි සිතමි.

මතුදිනක පිරිමියෙකු ලෙස හෝ ගැහැනියක ලෙස හෝ ලිංග භේදය මත පදනම් වූ අසාධාරණයෙන් තොරව බුදු බව ලැබීමට ද ඉඩ ලැබේවායි ප්‍රාර්ථනය කරමි.


මගේ නම ඉංග්ලිෂ් භාෂාවෙන් ලියූ විට කියවිය හැකි ආකාරය නිසා මෙන්ම සහ මා කාන්තාවන්ට බුදුවීමට ඇති අයිතිය ගැන කතා කරන නිසා ද, වෙනත් අයෙකු මා කාන්තාවක ලෙස වරදවා වටහා ගෙන මෙලෙස කියා තිබුණි.
සමාවෙන්න මිස්. ධර්මාවබෝධයෙන් යුතුව ධර්මය ගැන කතා කරන්න. කාන්තාවකට බුදුවෙන්න බෑ. රහත් බෝධියෙන් නිවන් දකින්න පුළුවන්. උතුම් මනුෂ්‍ය ජීවිතේ කාන්තා උත්පත්තියක් ලබන්නෙකත් සසරේ පෙර කළ පවට. තෙරුවන් සරණයි. උතුම් ධර්මාවබෝධය ලැබේවා.
මම ඇයට මෙලෙස පිළිතුරු දුන්නෙමි.

තක්කඩි බමුණන් විසින් පසු කලෙක එකතුකර ඇති එවැනි පුරුෂෝත්තම වාදී අගතිගාමී කතා සාධාරණීකරණය කරන්නේ ඇයි?

අප කළ යුත්තේ එවැනි පදනම් විරහිත තක්කඩි මුසාවාද ඉවත් කොට පිරිසිදු බුදු දහම වටහා ගෙන නිවන් මග අවබෝධ කර ගැනීම නොවේද?


පසුව වෙනත් භික්‍ෂු නාමධාරියෙකු පැමිණ මෙසේ කියූවේය.
ඇඩ්මින් මහත්මයා මේ කමෙන්ට්ස් ටික බලල ඉවත් කරල දාන්න.

මේ වගේ බුදු දහම ගැන දන්නෙ නැති අය ගෲප් එකට විතරක් නෙවෙයි බුදු දහමටත් හානියක් කරන්නෙ
ඒ දුටු උපාසකයෙකු එය අනුමත කළේ මෙසේ ය.
ඒක ඇත්ත ස්වාමීන්වහන්ස පුළුවන් නම් ගෘප් එකෙන් පවා ඉවත් කළත් කමක් නැ.
තවකෙකු මට මෙලෙස උපදෙස් දී තිබුණි.
වයසට ගියාට නුවණ පෑදිලා නෑ අපරාදෙ මනුෂ්‍යය ජීවිතේ, නොදන්න මඟුල් කතා නොකර දන්න දෙයක් කරන් ඉන්න මහත්මයා සමාජෙට විහිළුවක් නොවී
මගේ අවසාන පිළිතුර මෙලෙස විය.

කුරානය වැනි පොත්වල ලියා තියෙන දේට විරුද්ධ මතකයක් ප්‍රකාශ කළොත් මරා දමන්නට පවා ඉඩ තියෙනවා ලු. අර සල්මන් රෂ්ඩිට පවා මරණ දණ්ඩනය නියම කළේ පූජකයෙක්. නමුත් බුදු සාදු නම් කර ඇත්තේ විවිධ මත දරන බමුණන් පවා තමන් හමුවීමට පැමිණ මතවාදී අභියෝග කරන විට පළවා දැමීම නොව අදහස් හුවමාරු කර ගැනීමයි.

මේ බුඩ්ඩාගම් පොතේගුරලා යෝජනා කරන්නේ බුදුන්ට පවා නිගා කරමින් මා කණ්ඩායමෙන් පන්නා දැමීමයි.

නොම දකින් මෙවැනි අමන මිනිසුන්!


මා අනුමාන කළාක් මෙන් අවසානයේ එකී තලේබාන් අයෙතුල්ලා කණ්ඩායම විසින් මාව බ්ලොක් කර දමන ලදී.

බ්‍රව්සරය නොවැසීම නිසා නොමැකී කේෂ් වී තිබුණු පිටුවෙන් ස්ක්‍රීන් ෂොට් ලබා ගැනීම මට හැකිවිය.

පැය කිහිපයක තාවකාලික විනෝද සමයක් එසේ නිමාවිය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මෙකී ෆේස්බුක් කණ්ඩායමක් ඇති බව දැන ගත්තේ ද එහි සාමාජිකයෙකු විසින් එයට මා එකතු කරනු ලැබූ බව දැඛ එහි ගිය විට ය. එසේ නොමැතිව මා අනාරාධනයෙන් එහි ගොස් අනාචරේ හැසිරුණා නොවේ!

(image: Female Buddha by Arturo Rhodes - https://www.pinterest.com.au/pin/423197696213323544/)

Tuesday, 5 January 2021

රසිකොලොජිස්ට්ගෙන් ධර්ම උපදෙස් - Rasikologist, the Darmalogist






















පිනක් පළ දෙන්නට නියමිත නම් එය කිසිසේත්ම වෙනස් කළ නොහැකි බව සාක්ෂාත් කර ගැනීමට උපයෝගී කරගත හැකි අපූරු සිදුවීමක් ඊයේ උදේ සිදුවිය.

කවුදෝ මන්දා අයෙකු ධාර්මික කල්ලියක ෆෙස්බුක් අවකාශයේ ඇති කණ්ඩායමකට මාව ද එකතු කර තිබුණි. උදෑසනම එම පුණ්‍යභූමියට පා තැබූ මට දකින්නට ලැබුණේ සිතන නිවන කතා ගොඩකි.

ඒ අතරේ කිහිප දෙනෙකු විසින් විවිධාකාරයේ ධර්ම ප්‍රශ්න ද අසා තිබෙනු දක්නට ලැබුණු අතර මට හැකි පමණින් ඉන් කිහිපයකට පිළිතුරු ලබා දීමට මට හැකි විය.

මේ බ්ලොග් සටහන ලියන්නට සිතුණේ, ඒ ප්‍රශ්න , මා දුන් පිළිතුරු සහ ඉන්පසු ඒ ඇතැම් තැනක ඇතිවුණු සාකච්ඡාව අනාගත රස වින්දනය පිණිස සුරක්‍ෂිත කර තැබීමටයි.

මෙන්න එක ප්‍රශ්නයක්, මගේ පිළිතුර සහ අදහස් හුවමාරුව.
ප්‍රශ්නය මරන්න අරන් යන එළුවෙක්ට ජීව දානය දෙන්න කියක් වගේ යයිද? කොහොමද කරන්නෙ, දන්න කෙනෙක් කියනවද?
මගේ පිළිතුර මෙසේ වී ය.
කිලෝ ගානට ගෙවන්න වෙයි. ඒ අනුව උස මහත එළුවෙකුව බේරා ගත්තොත්, වැයවෙන මුදල වැඩියි, පොඩි එළුවෙකුව බේරගන්න වැයවෙන මුදල අඩුයි.

නමුත් කොහොම කළත් බේරෙන්නෙ එක ජීවිතයක් පමණක් නිසා ලැබෙන පින සමානයි නේද?

මට පෙනෙන විදිහට හොදම වැඩේ පොඩි එළුවෙකුව මරණයෙන් බේරා ගැනීමයි.
මම ද ඇයගෙන් ප්‍රශ්නයක් ඇසුවෙමි.
සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ නම් මරණයට නියමිත හරකෙක් වුව බේරා ගැනීමයි. ඔබ එළුවෙකු බේරා ගැනීමට සිතුවේ ඇයි ද කියා දැනගැනීමට කැමතියි.
මට ලැබුණු පිළිතුර මෙසේ ය.
ගොඩාක් සල්ලි නෑ ඒකයි.
ඇයට මගේ අවවාදය මෙසේ විය.
වැල්ලට ගිහින් මුහුදෙන් ගොඩට ගෙන විත් ඇති තවමත් පණ තියෙන පොඩි මාළුවෙකු බේරා ගත්තනම් එක ප්‍රාණයක් බේරාගත් පිනත් ලැබෙනවා. වැයවෙන මුදලක් සෑහෙන අඩුයි.

එළුවෙකු බේරා ගැනීමට යන මුදලෙන් සාලයෙන් සූඩයින් හාල්මැස්සන් සිය ගණනක් බේරා ගැනීමට අවස්ථාව ලැබේවි. ඒ අනුව සිය ගුණයක පිනක් කර ගත හැකියි.
වෙනත් අයෙකු මෙසේ පවසා තිබුණි.
පැටියෙක් නම් 2500 ක් වගෙ. මන් එහෙම බෙරගත්ත. එ ගාන තමා ගියෙ.
එයට මගේ ප්‍රතිචාරය මෙලෙස විය.
එසේ බේරා ගත් පැටියා හොඳින් හැදුණු වැඩුණු පසු දහදාහක් පමණ වියදම් කර මරණයෙන් බේරා ගෙන තවත් කෙනෙකුට පින් කර ගත හැකි වෙනු ඇත.

ඊයේ මට එම කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් ලැබුණේ පරණ පිනක් පළ දීම නිසා බව අපි අනිමු. එසේම, ධර්ම දානය ද පිනක් බව අපි දනිමු. එනිසා, ධර්ම කරුණු කියා දීමෙන් මා ඊයේ කර ගත් පින සුළුපටු නැත.

ඒ ගැන තවත් කතාවක් මීළඟ සටහනෙන් ගෙන එමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඔබේ ධර්ම ප්‍රශ්න තිබේ නම් මට යොමු කරන්න.

(image: https://rajblogs8.wixsite.com/thedharmalogist)

Monday, 4 January 2021

අතිශය පුද්ගලික සටහනක් - A personal note to welcome 2021

මෙය අතිශය පුද්ගලික සටහනක් නමුත් ඔන්න ඔහේ ඕපූ කියා පළ කිරීමට සිතුවෙමි. ෆෙස්ක්බුක් එකේ නම් දෙසැම්බර 31 දිනම මෙහි පෙර සංස්කරණයක් පළ කළෙමි. දැන් අලුතින් එකතු වූ කාරණයක් දෙකක් ද ඇත.

දෙසැම්බර් 31 දා ගෙවී ගිය 2020 වසර යනු මගේ ජීවිතයේ කාලකන්නිම වසරයි. එනම් මවිසින් කාලය වැඩියෙන් ම කා දැමූ වසරයි.

මට 2020 ජීවිතයේ කාලකන්නිම වසර වූයේ ඇයි දැයි කියන්නට අමුතුවෙන් වෙහෙස නොවෙමි. එසේ කිරීමට උත්සාහ කිරීම ම, තවත් කාලය කා දමන කර්තව්‍යයක් වෙනු ඇත.

නමුත් සතුටට කාරණය නම්, 2020 වසර වනාහී, ඒ කාලකණ්ණිකම සමගම, ජිවිතයේ යම් කෙටිකාලීන අරමුණු සාදාගෙන ඒවා සාක්ශාත් කර ගත් වසර ද මෙය ම වීමයි.

මා 2020 වසර තුළ දී ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණ දෙකක් ඇත.

1. දින සීයක් ඇතුළත වීඩියෝ සියයක් නිමවා යූටියුබයේ රසිකලොජි නාලිකාවේ පළ කිරීම.

මෙන්න මගේ රසිකලොජි නම් යූටියුබ් නාලිකාව: https://bit.ly/RasikalogyYouTube.

මෙන්න මගේ ජයග්‍රහණය සමරා මා ලියූ බ්ලොග් සටහන: https://rasikalogy.blogspot.com/2020/06/celebrating-double-century-with.html

2. වසර අවසානය සමග සමපාත වෙන්නට මගේ පෙම් ගී වෙබ් අඩවියේ ගී පදමාලා සියයක් පළ කිරීම.

මෙන්න මගේ පෙම් ගී වෙබ් අඩවිය: https://pemgee.blogspot.com/

කලකට පෙර අරඹා අමකත කර දමා තිබු මේ වෙබ් අඩවියේ 26 වෙනි ගීපදමාලාව පළ වූයේ ඔක්තෝබර් 27 වෙනිදාට යෙදුණු මගේ උපන්දිනය දා ය.

එනම්, දින 66 ක් ඇතුළත මා ගීපදමාලා 75 ක් පළ කර සකසා ඇත. ඒ සැම එකකටම පාහේ පදනම සැපයූයේ මා වසර 18 දී හෝ ඊට පෙර ලියන ලද කවි පද වීම සතුට දනවන කරුණකි.

මගේ ජීවිතය 2020 දී කාලකණ්ණි වීමට බලපෑ කාරණය 2021 සඳහා වූ මගේ පහත දැක්වෙන අධිෂ්ඨානය කියවන අයෙකුට තේරුම් යනු ඇත.

මෙන්න එය වචනයෙන්.

මා සහ මා අතර දිනපතා ඇතිවෙන සටනේ දී මින් පසු මා සහයෝගය දක්වන්නේ මා වෙනුවෙනි.
මේ වසරේ දී මා පරදා ජය ගැනීම මගේ එකම අපේක්‍ෂාවයි.
සුබ නව වසරක් වේවා!


ඒ වියුක්ත ප්‍රකාශයට අමතරව මා 2021 සඳහා කළ ප්‍රමාණාත්මක අධිෂ්ඨාන දෙකක් ද වේ.

ඉන් පළමුවැන්න නම් මේ වසර අවසානය වෙන විට විශ්වවිද්‍යාලයේ මා ගත කළ සිව් වසර පිළිබඳ කෙටි සටහන් 100 ක් ලිවීමයි.

දෙවැන්න නම්, මා මෙතෙක් ලියා ඇති විවිධ සටහන් සහ කතන්දර අනුසාරයෙන් කෙටිකතා පනහක් ලිවීමයි.

පළමුවැන්න අරඹා එක් සටහනක් දැනටම ලියා ඇත. වසරකට සීයක් යනු සතියට දෙකකි.

දෙවන්න නම් තවම අරඹා නැත. වසරකට පනහක් යනු සතියට එකකි.

බලමු!

-රසික සූරියආරච්චි
(Image by USA-Reiseblogger from Pixabay)

Monday, 7 December 2020

සුනාමිය ගැන සිනා යන කතාවක් - This is NOT what they call "Schadenfreude"...!!!

දස දහස් සංඛ්‍යාත පිරිසකට මරණය ගෙන දුන් 2004 සුනාමිය යනු කිසි ලෙසකින් සිනාවට කාරණයක් නොවේ. නමුත්, මෑතක දී සිට එක්තරා කාරණයක් නිසා දෙසැම්බර් එළැඹී සුනාමිය සිහිවෙන විට මගේ අමුතුම සිනාවක් ද නැගේ.

අමුතුම කියා කීවේ එය හාස්‍යය මුසු හිනාවක් නොව වෙනත් ආකාරයක දුකක් නිසා ඇතිවෙන හිනාවක් නිසා ය.

මෙන්න කතාව. ඔබම කියවා හිනාවට හේතුව තේරුම් ගන්න.

මීට වසර පහ හයකට පෙර, බොහෝවිට ඒ සුනාමියේ දහවෙනි සංවත්සර වසරේදී විය යුතුයි, මා මම ෆේස්බුක් එකේ පහත සටහන දුටුවෙමි.
2004 Dec 26 I am Never Forgot Day, Because That I was victim Day.I was second Born,I want to go My home (Matara) At that time I was in galle Bus station at 9.15 am. U see 1st picture ,I was sit inside at that bus ,some person was shouting "Water Coming in Sea Side". I saw Very Huge water came in bus station , After I Jumped over the Bus, After bus was arrived in Bus station, I jumped to station roof, i waited 30 second,i saw Broken roof . I jumped yellow building(3rd PIC ) through windows,At that time I remember lord Buddha.........
එය යොදා තිබුණේ මා 1992 පමණ සිට දන්නා හඳුනන, එවකට තරුණයෙකු විසිනි. ඔහු එකල සමීපතමයෙකු විය. එක හැලියේ බත් ද කා ඇත්තෙමු. ඊට අමතරව, ඔහු එක්තරා ආකාරයකට මගේ ඥාතියෙකු මෙන්ම ශිෂ්‍යයෙකු ලෙස ද සැලකිය හැකිය.

මා 1995 සිට වාසය කරන්නේ නොරටක නිසාත්, මේ පුද්ගලයා පසුගිය කාලය පුරාවටම හමුවී නැති නිසාත්, ඉහත ප්‍රකාශය දකින තුරු, මම ඔහුගේ ඒ සුනාමි අත්දැකීම ගැන දැන නො සිටියෙමි.

මා කම්පාවට පත් කළ අනෙත් කරුණ වූයේ, ඒ වැදගත් අත්දැකීම ඔහු ඉංග්ලිෂ් භාෂාවෙන් ලියන්නට ගොස් කර තිබුණු විකාරයයි.

පැරණි හිතවත්කම් නිසා, මම ඔහුට පණිවිඩයක් යවමින් මෙසේ කිව්වෙමි.
There are so many gramertical grammatical and structural errors in your post about Tsunami and its is incomprehensible.

Do you want me to correct the text and sent to you so that you can edit what has been posted?
මට ලැබුණු පිළිතුර මෙලෙස විය.
Thank you,don't worry about this.
සුනාමිය සිහිවෙන විට මට සිනා එන කාරණය මෙයයි. ඒ හිනාව දුකක් නිසා ඇති වෙන එකකි.

ඒ තමන්ට හොඳ සිතින් උපකාරයක් කිරීමට දන්නා හඳුනන අයෙකු ඉදිරිපත් වූ විට මේ පුද්ගලයා එය ප්‍රතික්‍ෂේප කළ ආකාරය දැක ඇති වූ දුක ය. එවැනි පුද්ගලයින්ට උදව් කරන්නට ගිය මා ගැන ඇතිවන දුක ය.

-රසික සූරියආරච්චි

ප/ලි:
පෙර කී සටහන අද ද එලෙසම තිබේ. එකම වෙනස නම් මේ පුද්ගලයා අද වෙනස් ෆේස්බුක් ගිණුමක් භාවිතා කිරීමයි.

Thursday, 23 July 2020

බයි-ලොජි, බයි-මැත්ස් සහ බයි-memes : From the illiterate to the illiterate


ලංකාවේ සිටින්නේ "අරුං රට කාගෙන කාගෙන කාගෙන කාගෙන ගොස් නැවැත් වූ තැන සිට රට කාගෙන කාගෙන කාගෙන කාගෙන යන්නට මුංට බාර දෙන" ඡන්දදායකයින් පිරිසක් බව අප දන්නේ අද ඊයේ සිට නොවේ. හැම ඡන්දයක දී ම පාහේ සිදුවන්නේ එයයි.

දියවන්නාවේ සිටින 225 ක් වූ අති විශාල මන්ත්‍රීලා සංඛ්‍යාව ගැන මොන මොන විහිළු කතා, අපහාස, උපහාස තිබුණ ද, මේ ශෝකී තත්වය මෙවර ද වෙනස් වෙන පාටක් නැත.

නමුත් ප්‍රශ්ණය නම්, එලෙස අරුංට, අරුංගෙන් පසු මුංට, මුංගෙන් පසු නැවතත් අරුංට ඡන්දය දෙන්නේ රටේ මහජනතාව ම වීමයි. ජනතාව කොයි තරම් අණුවනයින් වුව ද, ආණ්ඩුව යනු ජනතාවගේ තේරීමයි. එය ප්‍රජාතන්ත්‍රවාදයයි.

ජනතාවගේ මේ අණුවන කම කපටි දේශපාලුවන් සහ ඔවුන්ට කඩේ යන්නන් විසින් ප්‍රයෝජනයට ගන්නා ආකාරය හොඳින් පැහැදිළිවෙන උදාහරණ දෙකක් පසුගිය දිනවල සමාජ ජාලාවක සංසරණය වෙනු මට දකින්නට ලැබුණි.

මේ ඉන් පළමුවැන්නයි.


ජනතා බදු මුදල් නාස්ති කිරීමට සජිත් ප්‍රේමදාස මෙලෙස යෝජනා කරන්නේ ගම්බද මෝඩ සිංහල බෞද්ධ ඡන්දවලින් කොටසක් කඩා ගැනීම සඳහා බව අමුතුවෙන් කිව යුතු නැත.

නමුත් ඒ අමන ප්‍රකාශය උපහාසයට ලක් කරමින් ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් විසින් පිළියෙල කර ඇති ඉහත memeය ඊටත් වඩා ජනතාව ගොනාට ඇන්දවීමකි.

සජිත් ප්‍රේමදාසගේ ඡන්ද පොරොන්දුවේ ඇති නිෂ්ඵල බව පෙන්වනු වෙනුවට, ඒ සඳහා මුදල් ලැබෙන්නේ ජනතාව මත පටවා ඇති කවර නම් බද්ද කොයි තරම් ප්‍රමාණයකින් වැඩි කිරීමෙන් ද යන්න ප්‍රශ්ණ කරනු වෙනුවට, කළ යුත්තේ මේ ආකාරයට රට පුරා ගඩොල් ගොඩවල් බැඳීම නොව, පාසල් සිසුන්ට වැසිකිලි සාදා දීම හෝ දුෂ්කර පලාත්වල වැසියන්ට පාලම් සාදා දීම නොවේදැයි ප්‍රශ්ණ කරනු වෙනුවට, ඔවුන් උත්සාහ කරන්නේ එලෙස චෛත්‍ය දහසක් වසර පහක් තුල සෑදිය නොහැකි බව පෙන්වීමට තැත් කිරීමයි.

ඔවුන් එසේ කරන්නේ ඉතා වංචනික ලෙස වීම මෙහි ඇති ලොකුම උත්ප්‍රාසයයි. එයින් හැඟෙන්නේ, එක්කෝ මේ දේශපාලන ක්‍රියාකාරීන්ට ගණිතය නොතේරෙන බවයි, නැතිනම් ඔවුන් උවමනාවෙන් ම ගණිතය නොතේරෙන ජනතාව අරමුණු කරගනිමින් මේ මුලාව කරන බවයි.

මෙය ඇස ගැනුණු සැනින් එම වංචාව මට වැටහුණු නිසා, මම මෙලෙස ප්‍රතිචාර දැක්වූයෙමි.
මේ චෛත්‍ය සැදීම අමන සිංහලබුඩ්ඩාගමේ උංව (බුදු දහම අනුගමනය කරන අය නොවේ!) රවට්ටන්න කියන කතාවක් වුණත් මේ meme එකේ දක්වා ඇති ගණනය කිරීම නම්, කිසිදු තේරුමක් නැති අර වගේ ම අමන කතාවකි.

අවුරුදු පහක දී අවශ්‍ය නම් චෛත්‍ය 1,000 ක් නොව දහ දාහක් හදන්න පුළුවනි. ඒ හැම එකම හදන්නේ එකම පිරිස නොවේ නේ. වැඩ බිම් 10,000 ක ප්‍රොජෙක්ට් ටීම් 10,000 ක් යොදවා, අවශ්‍ය නම් එකම දවසේ වැඩ අරඹා, අවශ්‍ය නම් වසර පහක් වුව ද කල් ගෙන ඒ ගොඩනැගීම් පහසුවෙන් අවසාන කළ හැකියි.

චෛත්‍ය සංඛ්‍යාව, වසර පහේ ඇති මාස ගණනින් බෙදා ඇත්තේ සජිත් ප්‍රේමදාස රවටන්නට උත්සාහ කරන මෝඩයින් පිරිස නොව වෙනත් මෝඩයින් පිරිසක් රැවටීම සඳහා ය.
මෙන්න මා දුටු දෙවන meme ය.


පෙර අවස්ථාවටත් වඩා මෙහි ඇති කණගාටුව නම්, මෙය බොහෝවිට නිර්මාණය කර ඇත්තේ සහ බෙදා හරින්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිතවාදීන් වීමයි. ඔවුන් මෙයින් පෙන්වන්නට උත්සාහ කරන්නේ පැවති කණගාටුදායක තත්වය නිමා කර මෙවර මහ ඡන්දයේ දී ඔවුන්ගේ ඡන්ද අපේක්‍ෂකයින් වැනි, දුෂණ චෝදනා නැති, උගත්, සාපේක්‍ෂව තරුණ පිරිසක් ජනතා නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි.

ඒ සියල්ල සත්‍යය බව පැහැදිලි නමුත්, ඔවුන් මේ සඳහා උපයෝගී කරගෙන ඇති රූපය දැක මට සිනහව නවත්වා ගත හැකි වුනේ මිනිත්තුවකට දෙකකට පසුවය.

මෙය බෙදා හැර තිබෙනු මා මුලින්ම දුටු මගේ ෆේස්බුක් මිතුරාට මා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙස ය.
දැන් ඔබ බෙදා හැර ඇති මේ පයි ප්‍රස්තාරයට අනුව:

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා ලෙස සිටි බාර් ලයිෂන් ඇති 110 දෙනාම උසස් පෙළ සමත් තරුණ අය ද?

උසස් පෙළ අසමත් සහ සාමාන්‍ය පෙළ අසමත් සංඛ්‍යාවෙන් 222 ක් බව පෙනෙන හිටපු මන්ත්‍රීන් කිසිවෙකුට බාර් ලයිෂන් නැති ද? ඔවුන් සියළු දෙනාම තරුණ අය ද?

මහළු මන්ත්‍රීලා 69 දෙනාම උසස් පෙළ සමත් අය ද? ඔවුන් කිසිවෙකුට බාර් ලයිෂන් නැති ද?

මෙහි පෙනෙන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 401+ සිටියේ කොයි රටේ ද?
මේ memeය බෙදා හැර තිබෙනු මා දුටු ෆේස්බුක් මිතුරා උසස් පෙළ සඳහා ගණිතය විෂයට උපකාරක පන්ති පවත්වන පුද්ගලයෙකු බව මා දන්නා නිසා මෙසේ ද ඇසුවෙමි.
වෙන් රූපයක් මගින් පෙන්විය යුතු දත්ත සඳහා මෙලෙස පයි ප්‍රස්තාරයක් යොදා ගෙන ඇත්තේ කවර හෙයින්දැයි ඔබේ සිසුවෙකු ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක් ද?
මා සිතන විදියට, මෙය දුටු සැනින් වැඩිදුර නොසිතා මේ සාවද්‍ය අදහස් ඉදිරිපත් කෙරෙන memeය බෙදා හැර තිබූ මගේ ෆේස්බුක් මිත්‍රයා මට ස්තුති කර පිළිතුරු දෙනු වෙනුවට කළේ එය වහාම මකා දැමීමයි.

ඔහුට මොළේ කළඳක් හෝ ඇති බව ඉන් පැහැදිළි විය.

එය එසේ විය යුතුය. මක් නිසා ද යත් ඒ පුද්ගලයා මා ද උගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ උපාධිධාරියෙකු බැවිණි!

මට මෙහි දී අවසානයට කීමට ඇත්තේ මෙයයි.

ගණිතය පිළිබඳ විශාරදයෙකු වන මගේ මිත්‍රයා කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීලා අනූ හය දෙනෙකු සාමාන්‍ය පෙළ අසමත් බව ඇතුළු වෙනත් කරුණු ඇතුළත් කරමින් පෙර කී පයි ප්‍රස්ථාරය සෑදු පුද්ගලයා, සාමාන්‍ය පෙළ ගණිතය සමත් අයෙකු නම් විය නොහැක!

-රසික සූරියආරච්චි

ප/ලි:
පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයින් පත්කර ගැනීම සඳහා අප ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මගේ අදහස් පහත වීඩියෝවේ දක්වා ඇත.


(images: (1) https://www.economist.com/international/2014/04/05/making-their-mark (2 & 3) Shared on Facebook. Copyright unknown)

Thursday, 29 December 2016

මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද? - Nice sheep's clothes


ලතා වල්පොල ගේ ප්‍රසිද්ධ ගීයක් රැප් කරන ගායකයෙකු ගේ වීඩියෝවක් දැන් දින කිහිපයකට පෙර ඇරඹී තවමත් ගලා යන මගේ මේ නිවාඩු සමයේ දී මට නරඹන්නට ඉඩ ලැබුණි.

එය නරඹන අතරේ මට නම් සිතුණේ මෙලෙස ය.

මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද?

එසේ සිතෙන්නට එකම හේතුව මේ ගායකයා සින්දුවේ රැප් කොටසේ දී කියන කතා මිස අන් කිසිවක් නොවේ. රට, ජාතිය වැනි දේ පිළිබඳව ලොකු ටෝක්ස් දෙන්නන් ගේ යටි අරමුණු පිළිබඳ ආනුභූතික සාක්‍ෂි එමට ය.

ඔබට වෙනත් අයුරකින් සිතෙන්නට ඉඩ ඇත.

සමහර විට මේ ගායකයා ගේ එවැනි දුෂ්ට චේතනා නැතිවා වෙන්නට ඇත.

කෙසේ වෙතත් නරඹා කැමැත්තක් සිතා ගන්න.

මෙන්න වීඩියෝවට පාර.



උදාවෙන 2017 වසරේ ඔබට ජයෙන් ජයවේවා යැයි පතමි!

-රසිකොලොජිස්ට්

(image: http://www.businessinsider.com/science-reveals-the-most-confusing-emoji-2016-4/?r=AU&IR=T)

Saturday, 18 June 2016

මට වෙන වැඩ හෙවත් I O Sirisena


නන්දා නැන්දා සහ විට්ටර් අංකල් ගේ ද්වි පුද්ගල සංගීත ප්‍රසංගයක් අද (ජූනි 18 සෙනසුරාදා) සිනුවර දී පැවැත්වෙන බවත්, නළාකාරයින් ගේ ලයිස්තුව පරීක්‍ෂා කිරීමෙන් පසු මා එය නැරඹීමට යාමට මට ලැබුණු ආරාධනාවක් පිළිගත් බවත්, ඊයේ මා ලියා පළ කළ "යනවා නම් යනවා නම් (යන දීපංකරේක / තොලොංජි වෙලා / මකබෑවිලා) යන්න රත්තරං!" නම් ලිපිය ආරම්භයේ සඳහන් කළෙමි.

මා හොහොමටත් ශාලාවක් ඇතුළේ සිරවී පුටුවක වාඩි ලා ගෙන ශ්‍රවණය කරන්නට වෙන සංගීතයට ප්‍රිය නැත. මා වඩාත් ප්‍රිය කරන්නේ, එක්කෝ නිවසේ සෝපාවක පහසුව වැතිරී කොත්තමල්ලි වතුර බොන අතර තුරේ හෝ නැතහොත් අධිවේගී මාර්ගයක වාහනයක් පදවාගෙන යද්දී හෝ සංගීතයට ඇහුම්කන් දීමටයි. ඒ ඒ අවස්ථාවල දී මා අසන්නේ ඊට ගැලපෙන සංගීතය බව කීමට අත්‍යාවශ්‍ය නැති වුණත් සඳහන් කර තබමි.

ලංකාවේ සිට පැමිණෙන සිංහල ගායක ගායිකාවන් සහභාගී වෙන සංගීත ප්‍රසංග වසරකට කිහිපයක් ම සිනුවර සංවිධානය කෙරෙන අතර මා ඒවා නරඹන්නට යන්නේ බොහෝ විට ඒ ප්‍රසංගයෙන් ලැබෙන අරමුදල් යොදවන්නේ ලංකාවේ කවරාකාරයේ සුභසාධක වැඩ සටහනකට ද කියා සොයා බැලීමෙන් පසුවයි.

එසේ මගේ තේරීම් පටිපාටියට අදාළ ප්‍රසංගය නොගැලපේ නම් මා කරන්නේ, අදාළ ප්‍රසංගය සඳහා වියදම් කරන ඩොලර් පනහක් පමණ මුදලෙන් සංයුක්ත තැටි කිහිපයක් මිලට ගෙන මා කැමති ආකාරයට නැවත නැවත රස විඳීමයි.

ඒ සමගම, මෑතකදී මා නිරීක්‍ෂණය කළ කාරණාවක් නම්, දැන් දැන් පැවැත්වෙන ඇතැම් සංගීත ප්‍රසංග සුභසාධක වැඩ සඳහා නොව සංවිධාකයින් ගේ ප්‍රීතිය සහ බඩ රස්සාව උදෙසා ම සඳහා සංවිධානය වෙන බවයි!

ඒ හේතුව නිසා ද, මා නැරඹීමට යන ප්‍රසංග සංඛ්‍යාව මෑත කාලයේ ඉතා අල්ප විය.

ඊළඟට පසුගිය වසරේ එළි දැක්වුණු කූප්‍රකට නළාකරායින් ගේ ලයිස්තුව නිසා, මගේ තේරීමේ පටිපාටියෙන් සුභසාධක කටයුතු යන්න ප්‍රමුඛතාවෙන් පහළට දැමුණි.

ඔය සියලු කාරණා අනුව මා සද්භාවයෙන් යුතුව අද පැවැත්වෙන නන්දා නැන්දා සහ විට්ටර් අංකල් ගේ ද්වි පුද්ගල සංගීත ප්‍රසංගයට සහභාගී වෙන්නට සිටියෙමි.

නමුත් ඊයේ රාත්‍රියේ මා ෆේස්බුක් අවකාශයේ දී දුටු ඡායාරූපයකින් වැටහුණේ මේ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලංකාවේ කුප්‍රකට දේශපාළුවෙකු වන ප්‍රසන්න රණතුංග සහභාගී වෙන බවයි.

එය දැන ගත් මොහොතේ සිට මා සිත තුළ ඇතිවුණු අප්‍රසන්න හැඟීම් තවමත් පහවී නැත. පහවී යන සේයාවකුදු නැත.

මා කළ යුත්තේ කුමක් ද?

මේ ප්‍රසංගය නැරඹීමට මා ඇය සමග යන බවට බිරිඳට දුන් පොරොන්දුව කඩ කළ නොහැක. නමුත්, ප්‍රසන්න රණතුංග වැන්නෙකු ගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන සංගීත ප්‍රසංගයක වුව අසුන් ගැනීමට මට සිත් නොදේ.

කුමක් කරන්නදැයි සිතා ගත නොහැක.

අයියෝ සිරිසේන!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ප්‍රසන්න රණතුංග මගේ බ්ලොගයේ කාඩ් එක රැගෙන මේ ලිපිය බැලීමට අධිෂ්ඨාන කළ මොහොත.




(image: http://rs1102.pbsrc.com/albums/g447/TheISZ/Emoticons/Ew%20Yuk%20Gross%20Vomit/vomit-boy01-vomit-puke-sick-smiley-emoticon-000652-facebook.gif~c200)

Wednesday, 18 May 2016

බෞදිය නොහොත් පට්ට ගැසූ මාතෘකාවක් - Expanding your vocabulary


"බෞදිය" යන වදන මගේ නිර්මාණයක් නොවේ.

බෞද්ධ සහ සවුදිය යන වදන් ද්වයේ එකතුවක් ලෙස ඒ ඒකාබද්ධ අර්ථය ම ගෙන දෙන්නට වාත්තු කර ඇති ඒ වචනය මා දුටුවේ චමීර දේද්දුව ගේ ෆේස්බුක් සටහනකිනි.

මේ අරුත ම ගෙන දෙන්නට මා ද ඇතුළු බොහෝ දෙනෙකු මෙතෙක් භාවිතා කළ "සිංහල තලේබාන්" යන යෙදුමේ ඇති නොගැලපෙන උප කුලකය ඉවත් කෙරෙන "බෞදිය" අනිවාර්යෙන් ම සිත්ගන්නා සුලු අරුත්බර නිමැවුමකි!

ෆේස්බුක් ජාලයේ සැරිසරන විට නොයෙකුත් කියුම්-කෙරුම් හමුවේ. "බෞදිය" යන්න මාතෘකාවට යොදාගෙන මා මේ සැරසෙන්නේ සයිබරයේ පට්ට ගැසූ කාරණයක් ගැන අලුතෙන් මා ෆේස්බුක් ජාලයේ දුටු කරුණක් ගැන ලියන්නටයි.

එනම් ලංකාව නමැති බුදුන්ට පිදූ රට ගැන ය.

ෆේස්බුක් ජාලයේ කෙටි සටහනක් ලියන අමිල අබේධීර (හම්බන්තොට ජීවත් වෙන ඔහු උග්‍ර ම.රා. වාදියෙකි!) පසුගිය දෙසැම්බරයේ දී මෙසේ පවසා තිබුණි.
"නත්තල සමරන බෞද්ධයින් සිටිනා අමුතු රටක් මේක.

නත්තල් සුභ පැතුම් පණිවුඩ වලට මාව ටැග් නොකිරීමට කටයුතු කරන්නේ නම් හොද යැයි ආරම්භයේදී ම පවසමි.

අප කතා කරන්නේ මෙරට තුන්වතාවක් සම්බුද්ධ සාසනයට පූජා කර ඇති බවයි, නමුත් එරටේ මුග්ධ ජනී ජනයා මිත්‍යාදෘෂ්ඨික ආගම් සැමරීම අද විලාසිතාවක් කැරගෙන තිබීම සම්මා දිට්ඨියද?

සිහි එලවා ගන්න. අවදි වන්න. එළැඹෙන්නේ යක්ෂයාගේ හෝරාවයි.

තෙරුවන් සරණයි."
මගේ කෙටි පිළිතුර වූයේ මෙයයි.

"හොදයි එහෙනම් අපි ලංකාව බොදු තලේබාන් රටක් හෝ සවුදි අරාබියක් කරමු!"

එය චමීර ගේ වචනය යොදා මෙලෙස නැවත ලිවිය හැකිය.

"හොදයි එහෙනම් අපි ලංකාව බෞදියක් කරමු!"

මට එවෙලේ ලියන්නට කාලවේලා නොතිබුණු දිගු ප්‍රතිචාරය මෙසේය.

ලංකාව බුද්ධාගම පූජා කළ මේ වාර තුන ගැන මට එක්වර ම සිහිකර ගත නොහැක. නමුත්, ඉන් පළමු වාරය, බුදු දහම ගැන අශෝක් නම් ඉන්දියානු ව්‍යාප්තවාදී අධිරාජවාදියා ගේ පණිවිඩයක් රැගෙන පැමිණි මිහිඳු හාමුදුරුවන් ගේ මිෂනාරි ගමනට සම්බන්ධ යැයි අනුමාන කරමි.

එදා පැවති රාජාණ්ඩුක්‍රමය අනුව, රජු පාලනය කරන සමස්ත භූමි ප්‍රදේශයම අයිති වූයේ ඔහුූට ම නිසා, ඕනෑ තෑගි ඔප්පුවකින් ඒ දේපල ඕනෑ ම අයෙකුට ප්‍රදානය කිරීමට රජුට හැකි විය.

ඒ සමගම රජු ගේ යටත් වැසියන් සියලු දෙනාම ඒහි පස්සිකෝ ක්‍රමයටත් වඩා සරල ක්‍රමයකින් බෞද්ධයින් වූ බව සැලකේ.

එය වනාහී බුදුන්ටත්, ඔහු ජීවත්ව සිටි කාලයේ දී කිරීමට නොහැකි වූ මහා ප්‍රාතිහාර්යයකි!

බුදුන්ට සිදුවුණේ දේශ දීපංකරවල පයින් ඇවිඳිමින්, ධර්ම දේශනා කරමින්, තම දාඩිය මහන්සියෙන්, මහජනයා තමන්ගේ අනුගාමිකයින් බවට පත් කර ගන්නටයි.

ලංකාව මුල්වරට බුද්ධාගමට පූජා කළේ "තිස්ස-මුවා-මහින්ද-අඹ ගහ කතාවේ" අවසානයේ දී විය හැකි වුව ද, දෙවෙනි සහ තුන්වෙනි වරට බුද්ධාගම පූජා කළා යැයි සැලකෙන අවස්ථා ගැන නම් මම නොදනිමි. ඒ ගැන විස්තර දන්නා අයෙකු වේ නම් කරුණාකර සඳහන් කරන්න.

වාසනාවකට හෝ අවාසනාවකට හෝ, පළමුවෙනි රාජසිංහ හින්දු ආගම වැළඳගත් සමයේ හෝ දොන් ජුවන් ධර්මපාල කතෝලික ආගම වැළඳගත් සමයේ මේ ආකාරයට ලංකාව අදාළ ආගමට ම පූජා කළේ හෝ නොකළේ හෝ වුව ද, එයින් අපට ලොකු බලපෑමක් වී නැතැයි සිතේ!

නමුත්, මා අසා, කියවා ඇති පරිදි මැලේසියාව, ඉන්දුනීසියාව, මාලදිවයින වැනි රටවල් පසු කලෙක බහුතර මුස්ලිම් රටවල් බවට පත් වී ඇත්තේ මේ ආකාරයට ම ය. එනම් බලයේ සිටි උන් විසින් මුළු රටම ආගමික පූජකයින් වෙත දොර දන් දීමෙනි.

අමිල අබේධීර වැන්නන්ට අවශ්‍ය වී ඇත්තේ කුමක්දැයි පැහැදිලිය. එය නම්, ලංකාව බෞදියක්, එනම්, වෙනත් කිසිදු ආගමකට ඉඩ නැති, ඒකාගමික බෞද්ධ රටක් කිරීමටයි.

මගේ අදහස නම්, අනුන්ට කරදරයක් නොවෙන ආකාරයට, තමන්ට කැමති ඕනෑම ආගමක් අදහමින් නිදහසේ ජීවත්වීමට රටේ සෑම පුද්ගලයෙකුට ම අයිතියක් ඇති බව සහ රාජ්‍යය ආගමෙන් වියුක්ත සංස්ථාවක් විය යුතු බවයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලකට පෙර ලියන ලද මේ ලිපිය මගේ පරණ "වැඩ මල්ලේ" තිබී අද හමුවිය. බෞදිය යන්න මෙන් ම වැඩ මල්ල යන්න ද මා ෆේස්බුක් අවකාශයේ තිබී අහුලා ගත් වචනයකි. එය භාවිතා කර තිබුණේ බ්ලොග්(කාරයින් ගේ) හිතවතෙකු වෙන ශාන්ත කේ හේරත් චිත්‍ර ශිල්පියා ය.

(image: http://awaretheory.com/wiki/index.php?title=Religious_Tolerance_and_Awaretheory)

Sunday, 1 May 2016

පෝස්ටර් නිහාල් (මගේ මිතුරා, හොඳ මුනියා) - Introducing Nihal Rupasinghe's Facebook posters


මීට වසර දහයකට පමණ පෙර, මගේ මතකයට අනුව වෙසක් පෝය දිනයක දී, සිඩ්නි නගරාසන්නයේ ස්කෝෆීල්ඩ් හි පිහිටි ලංකාරාම විහාර උද්‍යානයේ සැරිසරමින් සිටි මා සමග උපැස් යුවලක් පැළඳි, ප්‍රිය මනාප පෙනුමැති අයෙකු කතා කළේය.

"රසික නේද?"

"ඔව්, ඔයා කවුද?"

"මම නිහාල්, නිහාල් රූපසිංහ!"

ඒ නිහාල් රූපසිංහ නමැති මගේ මිතුරා මට මුණු ගැසුණු ආකාරයයි.

එදා මුල්වරට අප කතා කළ දිනයේ සිට අප අතර මිතු දමක් වැඩුණේ මුලින් ම කවි, කෙටිකතා, ලිපි, දේශපාලන කරුණු හරහා ය. එකල මා සංස්කරණය කළ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මගින් පළ කරණ, සිංහල සඟරාවට නිහාල් රූපසිංහ තම නිර්මාණ දායකත්වය සැපයීය. ඒ කවි රචනා මගිනි.

පසු කලෙක ඔහු කෙටිකතාකරුවෙකු ලෙස ද නිර්මාණ එළි දැක්වීය.

සිඩ්නි නගරයේ සමාජ, සංස්කෘතික වැඩකටයුතුවල පුරෝගාමී මෙහෙයක් නිහාල් රූපසිංහ විසින් පසුවගිය වසර ගණනාවක් තිස්සේ කර ඇත. නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ උප සභාපතිවරයෙකු වශයෙන්ද, අපේ ගමට එන්න නමැති සංස්කෘතික කණ්ඩායමේ නියමුවා ලෙසද, මැයි මල් නම් සිංහල සංස්කෘතික විවිධ ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායකයා ලෙසද, සිඩ්නි සිංහල කෙටි නාට්‍ය උත්සවයේ සමාරම්භකයා ලෙසද නිහාල් රූපසිංහ ප්‍රශංසනීය කාර්යක් ඉටු කළ බව මගේ අවංක අදහසයි.

නමුත්, මා මේ සටහන ලියන්නේ ඒ නිසා නොවේ.

අප බොහෝ දෙනෙකු මෙන් දේශපාලනිකව සංවේදී පුද්ගලයෙකු වන නිහාල් රූපසිංහ මෑතක සිට තමන් ගේ වත්පොත් ගිණුම හරහා විවිධාකාරයේ පෝස්ටර් එළිදක්වමින් සිටී.

ඉංග්ලිෂ් භාෂාවෙන් මීම්ස් (memes) යැයි හැඳින්වෙන ප්‍රකාශන මාධ්‍යයට ආසන්නයේ ලා සැලකිය හැකි මේ පෝස්ටර්වල ලංකාවේ ද, ඕස්ටේ‍ර්ලියාවේ ද, අප එදිනෙදා අත් දකින, මුහුණ දෙන විවිධාකාර කරුණු කාරණා පිළිබඳව ඔහු ගේ අදහස් ඇතුළත් වේ.

නිහාල් රූපසිංහ ගේ වත්පොත් පිටුවට පිවිසෙන අයට දැක බලා ගත හැකි මේ පොස්ටර් කිහිපයක් පහත දක්වමි.

පසුගිය මා කිහිපය තිස්සේ නිහාල් රූපසිංහ විසින් කරගෙන යන මේ පෝස්ටර් ව්‍යාපාරය දැක මට සිතුණේ, ඔහු බ්ලොග් ලියන්නට පටන් ගත්තොත් කෙතරම් අගනේ ද යන්නයි.

බ්ලොග් වසන්තයක් ගැන කතා කෙරෙන අද දවසේ, මා මෙන්ම සිනුවර හේමන්තයේ ගත කරන්නෙකු වෙතත්, මේ පෝස්ටර් (සහ ඒවායේ අන්තර්ගත දේශපාලනය) බ්ලොගයක් හරහා බෙදා හැරීමට ද නිහාල් රූපසිංහ කටයුතු කළහොත් අගනේ යැයි සිතමි.

සාමන්‍යයෙන් දිගු ලිපි ලියවෙන අද සිංහල බ්ලොග් ලෝකයට මයික්‍රො බ්ලොගින් ද අවශ්‍ය බව මගේ අදහසයි!

නිහාල් රූපසිංහ, වින්ක්, වින්ක්!

ද බෝල් ඊස් නව් ඉන් යුවර් කෝට් මේට්!!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙහි දක්වා ඇති පෝස්ටර් මෙන්ම, ලිපියේ මුඛ්‍ය ඡායාරූපය උපුටා ගත්තේ නිහාල් රුපසිහං ගේ වත්පොත් ගිනුමෙනි. ඒ ඡායාරූපය මා මිත්‍ර රෝයි ගුණරත්න විසින් ගන්නා ලද්දකි.

අද මැයි මස පළමුවෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනයේ දී, මට නිහාල් රූපසිංහ ගේ පෝස්ටර් පිළිබඳව ලිපිය ලියන්නට සිත්වීමත්, ඒ සඳහා කොල්වින් රෙජිනෝල්ඩ් සිල්වා සටන් පාඨයක් කියන දර්ශනයක් ලෙස මට පෙනී යන ඡායාරූපයක් යොදා ගන්නට ලැබීමටත් පුදුමාකාර සමපාත වීමක් බව කිව හැක.

Monday, 14 December 2015

යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය ගැන වචනයක් - Poetry is not for everyone!


"දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ!" සින්දුව කියමින් සිටින මේ කාලයේ බ්ලොග් ලිපි ලියන්නට නොසිතුවෙමි.

කොහොමටත්, මේ ගිනි රස්නය මැද බ්ලොග් තියා මේ ලෝකේ කිසිම දෙයක් හෝ කරන්නට නො සිතේ!

ඒත්, මා සිනුවර සිට ලංකාව පැමිණ පැය දොළහක් ඇතුළත සහභාගී වෙන්නට ලැබුණු යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය ගැන නොකියාම බැරි කරුණු කිහිපයක් සටහන් කළ යුතු යැයි සිතුණි.

ත්‍රිරෝද රථයකින් බෝකුන්දර හන්දියට ගොස්, එතැනින් 120 බසයකට ගොඩවුණු මා ඉන් බස ගත්තේ "ජෝන් ද සිල්වා රඟහල" අසල නොව "පුරහල" අසලදී ය. පයින් ඇවිදගෙන මහවැලි කේන්ද්‍ර ශාලාවට ළඟා වී පොත් මිලට ගෙන දොරෙන් එබී බැලූ කළ දුටුවේ ලාම්පු පත්තු කිරීමේ දර්ශනයයි.

අනෙත් දොරෙන් ඇතුළු වී පසු පස ආසනයක හිඳ ගත්තෙමි. උත්සවය අවසාන වෙනතුරුම හිඳ සාවධානව සිට, ඉන් පසු තේ කෝප්පයක් ද බී, රෝල්ස් දෙකකට පමණ ද වග කියා, කීප දෙනෙකු සමග ඉතා කෙටි කතා බස්වල ද නිරත වී කැපී ගියෙමි.

මගේ නිරීක්‍ෂණ ඉතා කෙටියෙන් මෙසේ ය.

හාමුදුරුනමක් වෙනම වාඩිකර තිබුණේ ඇයි ද කියා මට නොවැටහිණි. ඒ මූලාසනය විය නොහැක. මූලාසනය යනු සභාව මෙහෙයවන්නායි. ඒ කටයුත්ත කළේ ඉවාන් පවුලූෂා බ්ලොග්කරුවා ය. හාමුදූරුවරුන්ට ගිහියන් සමග සම අසුන්වල වාඩිවිය නොහැකිය කියාවත් සිතුනාවත් ද?

හෂිත අබේවර්ධන ගේ කතාව ඉතා හරබර එකකි. කොටින්ම ශාලාවෙන් පිටවෙන්නට පෙර මම එහි හඬ පටයක් සඳහා ද යශෝධා සම්මානී ගේ "අයියා"ගෙන් ඉල්ලීමක් ද කළෙමි. හෂිත අබේවර්ධන ගේ කතාවේ තිබූ එකම ප්‍රශ්නය වූයේ එය පමණට වඩා දිග වැඩි වීමයි.

එයට හේතු ලෙස මා දකින්නේ තම ලේඛනවලදී ඉතා සංක්‍ෂිප්ත ලෙස, ඵලදායී ලෙස වචන භාවිතාකරන හෂිත අබේවර්ධන තම කතාව දළ සටහන් සහ මතකය මත පමණක් පදනම්ව කිරීමයි. එනිසා, ඔහු ගේ දේශනය පැයකටත් වඩා ඇදී ගියේය.

හෂිත අබේවර්ධන වැනි තඩි ලූලන් හිඟ සිනුවර දී පැවැත්වෙන සිංහල පොත් එළිදැක්වීමේ උත්සව කිහිපයක දී ම මේ ආකාරයේ කතා පැවැත්වීමට මට සිදුවී ඇත. ඒ සැම විටකම මා කරන්නේ මගේ මුළු කතාවම පාහේ යතුරු ලියනය කර, මුද්‍රිත පිටපත් රැගෙන යාමයි. එවිට මගේ කතාව නියමිත කාලය තුළදී අවසාන කිරීමට මට හැකිවේ.

එසේ වුවද, මා ඒ හැම විටකම පාහේ මුලින් ම සඳහන් කරන දෙයක් ඇත. එනම්, මා ගී තැටි එළිදැක්වීමේ උත්සවයන් හි දී නොව, පොත් එළිදැක්වීමේ උත්සවයන් හි දී කතා කිරීමට ඉතා කැමති බවයි. එයට හේතුව ලෙස මා කියන්නේ ගී තැටි එළිදැක්වීමේ උත්සවයන්ට සහභාගී වෙන්නන් මෙන් නොව, මෙවැනි පොත් එළිදැක්වීමේ උත්සවවලට සහභාගී වෙන්නන් මෙහි එන්නේ දේශනවලට සවන්දීමට සිදුවෙන බව හොඳින් දැනගෙන බව වීමයි.

එනිසා කතාව දිග වැඩි යැයි, නීරස යැයි ඤාව්, ඤාව් ගෑමේ තේරුමක් නැත!

නීරස සේ හැඟීමට හේතුව නම් පුද්ගලික රසඥතාවයේ වෙනස්කම් ය.

නමුත් මෙහි දී උත්සවය සංවිධානය කරන්නන් අතින් සිදුවෙන වැරද්දක් ද තිබේ. එය නම්, දේශන පැවැත්වීමට කරන ආරාධනය සමග එම දේශනය මිනිත්තු (ඔව් මිනිත්තු!) කීයක් විය යුතු දැයි අදාළ දේශකයාට නොපැවසීමයි.

මා සිතන ආකාරයට මෙවැනි උත්සවයන් හි දී පැවැත්වෙන ප්‍රධාන දේශනය මිනිත්තු තිහකට සීමා විය යුතුය!

මා ආරාධිත දේශකයා ගේ නොව සභාවේ පොතේ ගුරා ගේ රාජකාරිය කළ එක් සිනුවර පොත් එළිදැක්වීමක දී, ප්‍රධාන දේශකයා තම කතාව මිනිත්තු හතළිහක් කළේය. කිසිදු මූලාශ්‍ර සටහනක් නොබලා තම මතකයෙන් කරුණු ගෙන හැර දක්වමින් කළ ඒ කතාව ඉතා අගනා එකක් විය. නමුත්, සභාාවේ සමහරුන්ට එය දිගු වැඩි වී ඇති බව පෙනුණත් ඒ ගැන දේශකයාට ඉඟි කරන්නට මා නොගියෙමි.

මගේ අදහස, කතාවක් පමණට වඩා දිගු වීමේ වරද දේශකයා ගේ නොව සංවිධායකයින් ගේ බවයි.

හෂිත අබේවර්ධන ගේ දේශනය දිග වැඩි යැයි කියන අය වසර 2010 ජනවාරියේ දී බූන්දිය විසින් සංවිධානය කළ ජගත් ජේ එදිරිසිංහ ගේ පොත් එළිදැක්වීමේ උත්සවයේ දී කේකේ සමන්කුමාර විසින් කළ කතාව අසා නැති බව නිසැකවම කිව හැක!

මේ ආකාරයේ සෑම උත්සවයට මෙන් ම යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවයට සහභාගී වූ අති බහුතර පිරිස අඩු වැඩි දුරකින් ඇයව දන්නා හඳුනන අයයි. ඉන් වැඩි දෙනෙකු බ්ලොග් මිතුරන් ය. ෆේස්බුක් අවකාශයේ කවි කියවන අය ය. විශ්ව විද්‍යාලයේ, සේවා ස්ථානයේ හිතවතුන්ය. නෑ හිත මිතුරන් ද කිහිප දෙනෙකි. මේ පොත නිසාම ඇයව හඳුනාගෙන, එහි පැමිණ සිටියේ කිහිප දෙනෙකු පමණක් බව කිව හැක.

ඒ පිරිස අතරින් අවංකවම කවියට කැමැත්ත ඇති, කවිය වෙනුවෙන් කැප කිරීමක් කරන්නට හැකි අය සුළුතරයක් ම වේ. එය සත්‍යයයි. "පෙදෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ!" යනුවෙන් කියවෙන්නේ ද ඒ කරුණයි. එහි ඇති වරදක් නැත.

ඊට අමතරව උත්සවය ගැන මට කිව යුත්තේ, මා සහභාගී වී ඇති විශාලතම පිරිසක් සහභාගී වූ පොතක් එළිදැක්වීමේ උත්සවය මෙය බවයි. ගුවන් සමාගම්වල අකලංචි මැද්දේ, වැඩිපුර දවසක් වාර්ෂික නිවාඩු වැය කර මා පැමිණි ගමන ගැන මට එ නිසා ඇත්තේ දැඩි සතුටකි.

ඒ කෙසේ වෙතත්, දේශන තුන පිළිවෙලින් මිනිත්තු 30, 20 සහ 10 ට සීමා කර ඒ ඉතිරිකරගත් කාලය අපේ බහුතරයට සංග්‍රහ කරන අංග කිහිහපයකට සහ තේ වේලාව දිගු කරන්නට යොදා ගත්තා නම් වඩාත් යෝග්‍ය වෙන්නට ඉඩ තිබුණි!

පැමිණි පිරිසේ විශාලත්වය පිළිබිඹු කරන්නේ කවියට ඇති ඇල්ම යැයි වරදවා වටහා ගන්නට මම කිසිසේත්ම නො පෙළඹෙමි. එයින් ඇත්තටම හෙළිවන්නේ මිනිස් දියණියක ලෙස අපේ කිවිදිය කෙතරම් තවත් මිනිස් සිත් ස්පර්ශ කර ඇති ද යන්නයි.

යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ "ඉතා කෙටි කලබල සිහින" ග්‍රන්ථය මා තවමත් මුළුමනින් ම කියවා නැතත්, ඇගේ රිද්මයානුකූල කවි ආරට මා ඉතා ප්‍රියකරන බව පැවසිය යුතුය!
රිද්මයක් නැති කවියක මට නම් කිසි අගයක් නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
"ඉතා කෙටි කලබල සිහින" ග්‍රන්ථය ගැන පසුව ලියන්නට අදහස් කරමි!

Friday, 15 May 2015

ඔබ වළ කජ්ජ ගැසූ පසු ඔබේ ෆේස්බුක් ගිනුමට කුමක් වේද? - Life after death


ඉපදුනොත් මිය යාම නියතය. අපි සැම එය හොඳින් දනිමු. අප නොදන්නේ එය සිදුවෙන්නේ කවදා ද යන්න පමණි.

මිය යාම යනු සුලබ සාමාන්‍ය කරුණක් නිසා එය විස්තර කිරීමට සිංහල වචන රාශියක් ඇත. කළුරිය කිරීම, අපවත් වීම, අභාවප්‍රාප්ත වීම, එක්ස්පයර් වීම, වැලිගම්පිටි යෑම, වළ කජ්ජ ගැසීම එයින් කීපයකි.

අප මිය ගිය පසු අප නැත. නමුත් මිය ගිය පසු ජීවත්වෙන අය ගැන මිය යාමට පෙර අපේ සිත්වල කැක්කුමක් ඇත. විශේෂයෙන් ම අපේ ආදරණීය සුතනඹුවන්ට කුමක් සිදුවේද යන්න අප බොහෝ දෙනෙකු ගේ සිතට වද දෙන ප්‍රශ්ණයකි.

අතීත කාලයේ අපේ මුතුන් මිත්තෝ ශ්‍රී පාද වන්දනාව වැනි දුර බැහැර ගමන් යන විට පවා තමන් ගේ දේපල බෙදා වෙන් කර ගිය බව කියවේ.

දෙමව්පියන් ගේ අභාවයෙන් පසු සාමාන්‍ය ක්‍රමයට ඔවුන් සතු දේපළ, ඉඩකඩම්, මුදල් යනාදිය දරුවන්ට හිමිවේ. මේ සඳහා තරමක් සරල, තරමක් සංකීර්ණ නීති මාලාවක් ඇති අතර, හිමිකරුවන් අතර ප්‍රශ්ණ නොමැති නම්, බොහෝ විට දේපල බෙදී යාමේ ක්‍රමවේදය ඉතා සරල වේ.

දේපල සහ වත්කම් සඳහා නම් ඕස්ටේ‍ර්ලියාවේ දී කළ යුතු හොඳම දෙය, අන්තිම කැමති පත්‍රයක් ලියා තැබීමයි. එය තවමත් මගේ බිරිඳ හෝ මා හෝ කර නොමැති දෙයකි.

අද වන විට පුද්ගලයෙකු ගේ වත්කම වෙන්නේ ගේ දොර ඉඩකඩම් යනාදිය පමණක් ම නොවේ. ඒවා නොමැති බොහෝ දෙනෙකුට පවා තිබෙන එක් වස්තුවක් නම් තමන් ගේ ෆේස්බුක් ගිනුම සහ එහි ඇති ඡායාරූප, සටහන්, ප්‍රතිචාර යනාදියයි.

අපේ මරණයෙන් පසු ඒ සියල්ලට කුමක් වේ ද?

මෙය ඇසූ විට මුලින් ම අපට දැනෙන්නේ විහිළුවක ස්වභාවයයි. එක් අතකින් තමන් මිය ගිය පසු තමන් ගේ ෆේස්බුක් ගිනුමට කුමක් වූවත් ඇති ප්‍රශ්ණය කුමක්ද? අනිත් අතින්, තමන් ගේ සහකරු, සහකාරිය, දරුවෙකු හෝ දෙමව්පියෙකු මිය ගිය පසු, ඔවුන් ගේ ෆේස්බුක් ගිනුම ඉතුරු වී ඇති පලය කුමක් ද?

නමුත් හොඳන් කල්පනා කර බලන කළ, එය එතරම් සරල දෙයක් නොවේ.

අපේ ජීවිත ෆේස්බුක් සමග මේ වන විටත් ඉතා තදින් බැඳී පවතින බව නො රහසකි. අපේ තත්‍ය ලෝකයේ සබඳකම් පවා හොඳින් වැඩෙන්නේ අතත්‍ය ලෝකයේ දී ෆේස්බුක් හරහා සබඳකමක් ඇති නම් පමණි. මේ තත්වය එන්න එන්නම තව තවත් සංකීර්ණ වෙමින් පවතී.

ෆේස්බුක් මුලින් පැවති නීති අනුව සිදුවූයේ මිය ගිය අයගේ ගිනුම් අවලංගු කර දැමීමයි. එවිට එහි ඇතුළත් කර තිබූ ඡායාරූප ආදී සියළු සිහිවටනයන් අභාවයට යනු ඇත. එය නීත්‍යානුකූල නොවන බව පසුව වැටහුණි. මන්ද යත්, ඒ සිහිවටනවල හිමිකම මියගිය අයට අයිති නිසා ය.

මේ කරුණු පිළිබඳ කතිකාවතක් පැවති බව පසුගිය දිනයක මට පුවත්පතකින් කියවන්නට ලැබුණි.

ඊළඟට ඊයේ දැන ගන්නට ලැබුණේ අපට අනාගතයේ දී මරණය හෝ ඔත්පළවීමක් හෝ සිදුවූ පසු අපේ ෆේස්බුක් ගිනුම සම්න්ධයෙන් කටයුතු කිරීමට යම් අයෙකු ගේ නම යෝජනා කළ හැකි බවයි. අදල අනිවාර්ය කොන්දේසිය වන්නේ, එසේ නම් කරනු ලබන තැනැත්තාට හෝ තැනැත්තියට ද ෆේස්බුක් ගිනුමක් තිබීමත්, ඔවුන් අපේ ෆේස්බුක් මිතුරෙකු වීමත් පමණි.

එවිට අනාගතයේ දී අදාල අවශ්‍යතාවය ඇති වූ විට, ඒ අවශ්‍ය පරිදි අපේ ෆේස්බුක් ගිනුමේ යම් යම් සීමා සහිතව ක්‍රියාත්මක කරන්නට ඔවුනට අවසර ලැබේ. වැඩි විස්තර සඳහා මෙය කියවන්න. https://www.facebook.com/help/1568013990080948

ඊයේ මම මගේ දියණියව මේ සඳහා සම්පූර්ණ අවසරය සමග නම් කළෙමි.

මේ විකල්පය තවමත් සෑම ෆේස්බුක් ගිනුමක් සඳහාම තවමත් ලබා දී නොමැති බව කියවේ. ඔබට මේ සඳහා ඉඩකඩ ලැබී ඇති දැයි දැනගැනීමට ෆේස්බුක් ගිනුමේ සෙකියුරිටි සෙටින්ස් බලන්න.



-රසිකොලොජිස්ට්

ප/ලි:
අද අද එයි මරු එය දැනගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
ෆේස්බුක් රැකුමට වැඩ කරපන්නේ
කුමටද ඒකට කම්මැලි වන්නේ?

(නූතන සුභාෂිතයෙනි)

(image: http://www.michaelhacker.at/life-after-death-2/)

Wednesday, 8 April 2015

වසන්තය කියන්නේ ඌටයි, බොටයි - Wasantha Vs Vasntha in Australia



වසන්ත යන වචනය සිංහල පිරිමි නමක් ලෙස භාවිතා වෙන්නේ එයින් වසන්ත සෘතුව හැඳින්වෙන නිසා බව අප දනිමු. වසන්ති සහ වසන්තා යනු මේ නමේ ම කාන්තා රූපක වේ.

ඒ ආකාරයට ම, හේමන්ත සෘතුව නිසා හේමන්ත/හේමන්තී/හේමන්තා යන නම් භාවිතයට විත් තිබෙන අතර ඉංගිරිසියෙන් සමර් යනුවෙන් හැඳින්වෙන සෘතුව සඳහා භාවිතා වෙන ගිම්හානය යන්න, ගිම්හාන සහ ගිම්හානී යනුවෙන් පුද්ගල නාම ලෙස භාවිතා වෙන බව ද පෙනේ.

නමුත් ඉංගිරිසියෙන් වින්ටර් යනුවෙන් හැඳින්වෙන සෘතුව සඳහා භාවිතා වෙන සිසිර යන්න භාවිතා වෙන්නේ පිරිමි නමක් ලෙස පමණකි. සිසිරා හෝ සිසිරී කියා කාන්තා නම් මා දන්නා තරමින් නැත.

මා හඳුනන වසන්ත ලා දෙදෙනෙක් ගැන මට මෙ වෙලේ සිහි වේ. දෙදෙනා ම මැවිසුරුවෝ ය. ඉගෙන ගෙන ඇත්තේ විශ්ව විද්‍යාල දෙකකය. සේවය කරන්නේ දෙ රටක ය.

එක් අයෙක් තම නම ඉංගිරිසියේ ලියන්නේ Wasantha කියා ය. අනෙකා ලියන්නේ Vasantha කියා ය.

මේ දෙයාකාරය ම නිවැරදි විය නොහැක. එසේ නම් නිවැරදි යෙදුම කුමක් ද? Wasantha ද? Vasantha ද?

කලකට ඉහත "සිහි සටහන්" නමින් බ්ලොගයක් (මේ වන විට වසා දමා ඇත!) ලියූ චානුක වත්තේගම ෆේස්බුක් සටහනක් තබමින් වත්තේගම යන්න ඔහු පාරම්පරිකව Wattegama කියා ලියූවද, එය ඇරඹිය යුත්තේ V අකුරෙන් බව කියා තිබුණි. ඒ සටහනේ දී ම ඔහු බොහොමයක් සිංහල නම් ඉංගිරිසියෙන් ලිවීමේ දී, නිවැරදිව යෙදිය යුතු V වෙනුවට W යොදන බවද වැඩිදුරටත් පවසා තිබුණි. චානුක නොකියූ දේ වූයේ ඔහු (V/W)aththegama කියා නොලියා (V/W)attegama කියා ලියන්නේ ඇයි කියායි. වසන්ත කියා ලියන්නට V යොදන්නන් W යොදන්නන්ට වඩා සාපේක්‍ෂව ඉතා අඩු වුණද, ත-යන්න සඳහා t යොදන්නෝ ද th යොදන්නෝ ද සම සමව සිටිති.

මගේ අදහස වනුයේත් වසන්ත කියා ඉංගිරිසියෙන් ලිවිය යුත්තේ Vasantha කියා බවයි. ඒ මක් නිසාද යත්, ඉංගිරිසි W අකුර ශබ්ද කල යුත්තේ උ-ශබ්දයෙන් පටන්ගෙන බව මා කුඩා කළ ඉගෙන ගත් නිසා ය. ඒ සමගම එය ප්‍රායෝගිකව ද නිවැරදි බව ඉංගිරිසි බස දොඩන්නන් හා ආශ්‍රය තුළින් හඳුනා ගෙන ඇති නිසා ය.

මේ සඳහා හොඳම උදාහරණය ලෙස දැක්වෙන්නේ Window යන වචනයයි. මෙය ශබ්ද කළ යුත්තේ "වින්ඩෝ" කියා නොව "උවින්ඩෝඋ" කියා බව මා කුඩා කළ කියවූ "ඉංගිලිසියට සරල මග" (බලංගොඩ ආනන්ද මෛත්‍රී) පොතේ දක්වා තිබුණි.

වසන්තය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපට ඇත්තේ පෙර කී V එරෙහිව W අකුරු ප්‍රශ්නය නොව, වෙනස් ම ආකාරයේ ප්‍රශ්නයකි.

ලංකාවේ දී වසන්තය කියූ විට අපේ සිහියට එන්නේ මල් පිපෙන, පලතුරු සෑදෙන මාර්තු-අප්‍රියෙල්-මැයි කාලයයි. අවුරුදු උත්සවය මෙන්ම අප්‍රියෙල් මාසයේ නුවරඑළිය වැනි ප්‍රදේශවල පැවැත්වෙන උත්සව ද "වසන්ත සැණකෙළි" ලෙස හැඳින්වේ.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ප්‍රජාව ලංකාවේ දී මෙන් අප්‍රිියෙල් මාසයේ දී සිංහල අළුත් අවුරුද්ද උත්සවාකාරයෙන් සමරති. මෙහිදී ප්‍රධාන තැනක් ගන්නේ අවුරුදු ක්‍රීඩා, විවිධ ඇඳුම් සංදර්ශනය, අවුරුදු කුමාරී සංදර්ශනය සහ විවිධ සංගීත, නර්තන, රංගණාංගයෙන් යුතු වූ අළුත් අවුරුදු උත්සවයයි.

මීට අමතරව කාලයක් තිස්සේ සිඩ්නි නගරයේ පැවැත්වෙන "බක්මහ රංගන" නම් වූ විවිධ ප්‍රසංගයක් ද වේ. මේ ප්‍රසංගය එක් වසරක නම් කෙරුණේ වසන්තයේ රාවය යන අරුත දෙන "වසත් රාව" යන නමිනි.

එහි තිබූ නොගැලපීම නම් මෙයයි.

ඕස්ට්‍රේලියාව පිහිටා ඇත්තේ ලෝකයේ දක්‍ෂිණාර්ධගෝලයේ ය. මේ ප්‍රදේශය අප්‍රියෙල් මාසයේ දී ගත කරන්නේ හේමන්ත සෘතුවේ ය. ඉන්පසු ජූනි මුල සිට අගෝස්තු අවසානය දක්වා සිසිර සෘතුව ගෙවී ගොස්, වසන්ත සෘතුව ලබන්නේ සැප්තැම්බරයේ ය!

බක් මාසයේ පැවති විවිධ ප්‍රසංගය අපේ ඇත්තන් විසින් "වසත් රාව" ලෙස නම් කෙරුණේ කාලය, දීපය, දේශය ගැන හිතා නොව "මව" ගැන සිතා බව පැහැදිලි ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙය බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවුණු ලිපියකි!

(image: https://www.facebook.com/groups/693226280782347/)

Saturday, 24 January 2015

මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති අන්ධ භක්තියෙන් තවමත් දුක් විඳින අපේ අංකල්ලා ගේ සහ ඇන්ටිලා - They deserve our sympathy!


මේ ලිපිය ලියන්නට ආසන්නම හේතුව වූ ඉහත චිත්‍රණය පසුගිය දිනයක ෆේස්බුක් අවකාශයේ හුවමාරු වූවකි. එහි නිර්මාතෘ හෝ මුලින් ම බෙදාහැරිය පුද්ගලයා "පොඩි එකා" නම් වේ.

ඒ කතාව කියන්නට පෙර යම් කරුණක් විස්තර කළ යුතුය.

"මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා", "කැපුවත් ලේ කොල පාටයි", "කැපුවත් ලේ නිල් පාටයි" ආකාරයේ දේශපාලනික සත්වයින් බහුලව ලක් දෙරණේ සිටියේ කාලෙකට පෙර බව මගේ අදහසයි. පසු කලෙක දේශපාලුවන් කරන්නට පටන් ගත් ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පක්‍ෂ මාරු නිසා එකී "මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා" සත්ව ප්‍රභේද වල ගහණය මදින් මද අඩුවෙන්නට පටන් ගෙන ඇති වුව ද තවමත් උන් එන්ඩේන්ජර්ඩ් තත්වයට පත් වී නැත.

මේ අතර ඉහත කී "මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා" සත්ව ප්‍රභේද දෙකේ දෙමුහුමකින් ඇති වූවා යැයි සැක කළ හැකි අළුත්ම සත්ව කොට්ඨාශයක් බිහි වී ඇති බව මට 2010 ජනාධිපති ඡන්දය කාලයේ සිට මදක් වැටහෙමින් තිබී මෙවර ජනාධිපති ඡන්දයේ දී ස්ථිර විය.

මේ නව ප්‍රභේදයේ දේශපාලන සත්වයින් හඳුනා ගත හැකි නිවැරදි ක්‍රමය නම් ඔවුන් අන්ධ භක්තියෙන් යුතුව තම නායකයා කරන වැඳුම් පිදුම් වේ.

පෙර කී පරිදි 2010 ජනාධිපති ඡන්දයේ දී මා මුලින් දුටු පරිදි මේ දේශපාලන සත්වයින් ගෙන් එක් පිරිසක් "අපේ රට ගලවා ගත් මහින්ද රාජපක්‍ෂට" අන්ධ භක්තියකින් වන්දනා මාන කරන්නට පටන් ගෙන සිටියහ. අනෙක් පිරිස, "අපේ රට ගලවා ගත් යුධ විරුවා සරත් ෆොන්සේකාට" අන්ධ භක්තියකින් වන්දනා මාන කරන්ට පටන් ගෙන සිටියහ.

මේ දෙවන සත්ව කොට්ඨාශය වසර පහකට පසුව වුවද තවමත් අඩු ගහණයකින් වුවද ජීවත් වෙති. ඒ අතර, පෙර කී මුල් සත්ව කොට්ඨාශය ගහණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවක් නොවී පසුගිය ජනාධිපති ඡන්දය දක්වාම ජීවත් වූහ.

* * *

ජනාධිපති ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වී අළුත් ජනාධිපති දිවුරුම් දීමෙන් පසු දිනක මම හිටපු ජනාධිපති ගේ රැව රුගත් චිත්‍රණයක් වත් පොතේ දැක එය මගේ මිතුරන්ට දැක ගන්නට බෙදා හැරියෙමි. එහි දැක්වුණේ වශී බෝල කරකවමින් ඡන්ද පොලේ සරණ මහින්ද රාජපක්‍ෂ ය.



ගුත්තිලයෙන් කවි ද උපුටා දක්වමින් මගේ එක් අංකල් කෙනෙක් එයට පිළිතුරු දෙමින් කියා තිබුණේ කෙලෙහි ගුණ නොදන්නා අය ගැන ආඬපාලියකි.

ඒ කවි මෙසේය.
කෙළෙහි ගුණ සින්දේ
මූසිල අන්ද මන්දේ
ජයෙහි ලොබ බැන්දේ
තමන් වීනා තත ද සින්දේ

අනුුවණ කම් කළේ
ගුරුන් ගුණ සිහි නොකළේ
නද ඉන් නොපතළේ
අයසමය මුළු දියත පතළේ
"අංකල් මොකක් ද මේ කියන්නේ? ගුත්තිල කාරයාත් වශී බෝල දෙකක් දෑතින් අරගෙන, මූසිල ගේ රූඩකයක් එක්ක ද වීනා වාදන තරගයට ගියේ?" මම විමසුවෙමි.
"The contention was to stress on the malicious and the vindictive manner in which some of the propaganda against national leaders, was disseminated, in the electronic media in recent times. It is very convenient to criticise. Some seem to be in the opinion that they are hearing and seeing human weaknesses and l lapse for the first time in history. The question is who will cast the first stone at the sinner!"

කා හටත් වරදී
ඉන් දොස් කීම වැරදී
මා හට නොවරදී
කියන දන හට නිතර වරදී
අංකල් පවසා තිබුණි.

පසුගිය සමයේ රූපවාහිනිය සහ අයිටීඑන් එක පමණක් බලමින් සතුටු සිතින් සිටි අපේ අංකල් කෙළෙහි ගුණ සලකා ලද පරාජයෙන් දුක්ඛිතව සිටින බව පෙනුණු නිසා මම තුවාලය නො පාරවා නිහඬ වුණෙමි.

වත් පොත් දැක මා ඊලඟට මිතුන් අතරේ බෙදා ගත් මේ ආකාරයේ ම ඡායාරුපය ඒ දිනවල පරාජිත ජනාධිපති විසින් කරමින් තිබූ ජාතිවාදී ප්‍රකාශවලට යම් පිළිතුරක් සපයා තිබුණකි.



එය දුටු අපේ ඇන්ටි කෙනෙක් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණි.
"නිදහස් අධ්‍යාපනය ලබා දුන් කන්නංගර මැතිඳුන්ටත් පරාජය සහ අවලාද දුන් අපේ ම සිංහලයින් තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරා නිදහස දුන් වීරයින්ට මොනවා නොකියයි ද?"
මේ ඇන්ටී ද, පසුගිය දිනවල රූපවාහිනිය සහ අයිටීන් එක බලමින් සිට කෙළෙහි ගුණ සලකන්නට ඡන්දය දී පරාජයේ තුවාල සහිතව දුකෙන් සිටින අයෙකි.

මගේ පිළිතුර වූයේ මෙයයි.
"කන්නංගර කියන්නේ ජාතිවාදී, දූෂිත, ජනඝාතක, වශී බෝලකාර, චෞරයෙක් කියා මා නම් විශ්වාස කරන්නේ නෑ!"
මේ පැන්ෂන්ලාභී, බණ දහමින් දැහැමෙන් සෙමෙන් කල් ගත කරන, ඇන්ටිලා ගේ අංකල් ලා ගේ සිතුම් පැතුම් මට තරමක් හෝ තේරුම් ගත හැක. අන්ධ භක්තියක ගැලී සිටින ඔවුන්ට මම අවංකවම අනුකම්පා කරමි.
නමුත් ඊලඟට සිදුවූයේ නම් මා නොසිතූ දෙයකි.

ඒ මේ චිත්‍රණය සම්බන්ධයෙනි.



එයට ප්‍රතිචාරක් දක්වන මගේ සම වයස් ප්‍රමාණයේ පසුවන ඇන්ටි කෙනෙක් මෙසේ කීවාය.
"What is the purpose of doing this type of things dear Rasika? To whom you are working for?"
මා ඇයට ලියූ පිළිතුරේ සිංහල අනුවාදය මෙලෙස දැක්විය හැක.
"ඔබ සිතුවේ මේ චිත්‍රණය මා නිමවූ එකක් කියාද? එය මා වත් පොතේ දැක අන් අය සමග බෙදා ගත්තේ යම් කිසි හේතුවක් ඇතිවයි.

පසුගිය දශවසරක මහින්ද රාජපක්‍ෂ සාප කාලය තුල ලංකාවේ ඔඩු දුවා ගිය පිළිකා දෙකක් වේ. එහි බලපෑම තව සෑහෙන කාලයක් සමාජයේ පවතිනු ඇත.

ඉන් පළමුවන්න නම්, මහින්ද රාජපක්‍ෂ විසින් රටේ පැවැත්මට අදාල තීරණ ගැනීමේ දී නීර්ණායකයක් ලෙස භාවිතා කළ යන්තර, මන්තර, හදි හූුනියම්, වශී බෝල සහ ජ්‍යෝතිශ්‍යයවැනි දේ ය. දෙවැන්න නම් කාල්පනික ලෙස දේශාභිමානී ලෙස පෙනෙන නමුත් තර්කාන්විතව බලන කළ මුග්ධත්වයේ ප්‍රතිමූර්තියක් බඳුව වූ ලෝකයේ අනෙකුත් රටවල්වලට ඇති කළ විරුද්ධාකල්පයයි.

විමලසේන යනු ඒ දෙවැන්න ප්‍රවර්ධනය කරමින් හැසිරුණු මුගටියා ය.

ඉහත චිත්‍රණය පසුගිය රජය විසින් ගෙන ගිය පෙර කී නින්දිත ක්‍රියා ද්වයම කදිමට සමච්චලයට ලක් කරයි."
එයට ඇයගේ පිළිතුර වූයේ මෙයයි.
"I don't know what to say but I totally disagree with you Rasika. You have left this country about 20 years now. Actually you people don't know what is going on here and what has happened to this country politically during last 20 years. Anyway I don't want to argue with you in this manner but I must say that we live in our country with proud, happy and peacefully after 2009 because of our President Mahinda Rajapaksa and country lovers (Upan Bimata Adaraya Karana) like Minister Wimal Weerawansa (Not Wimalasena)."
බඩගින්නේ සිටින කෙනෙකුට බණ කියා වැඩක් නැතුවා සේ ම, අන්ධ භක්තියෙන් තවමත් චෙෘරයින් වන්දනාමාන කරන අයෙකු සමග තර්ක කර පළක් නැත. සත්‍යාවබෝධය යනු තමන් ම වීර්යයෙන් කර ගත යුත්තකි.

එනිසා, "ස්තුතියි මිතුරිය" කියා මම නිහඬ වුණෙමි.

අන්ධභාවය සමච්චලයට ලක් කිරීම අමානුශික ක්‍රියාවකි. මේ අංකල්ලා ඇන්ටිලා සෑම දෙනාටම අපේ අනුකම්පාව හිමිවිය යුතුය.

-රසිකොලොජිස්ට්