Showing posts with label සමන් මහානාම දිසානායක. Show all posts
Showing posts with label සමන් මහානාම දිසානායක. Show all posts

Saturday, 2 April 2022

ඇළ කණ්ඩියේ සුනිල් - This was published in Sisila Sinhala Monthly Magazine in April 2022


සිඩ්නි නගරයේ පමණක් නොව සමස්ත ඕස්ට්‍රේලියාවේ ම සිටින සිංහල නවකතාකරුවන් අතරින් සමන් දිසානායක ප්‍රවීනතමයා බව අවිවාදාත්මක ය. වර්ෂ 2000 දී බඹරැන්දේ කඟවේනා කෘතිය සමගින් නවකතාකරණයට පිවිසි ඔහු පසුගිය දශක දෙකක කාලය තුළ කැන්ගරු නිම්නය, පුංචි සර්, රන්දෙණිගල වලව්ව, දුරුතු සිහිනය, ලංසි කෙල්ල, සුරඟන කුමරිය, අහස් ඉම, අනුෂ්කා, සහ ඇළ කණ්ඩියේ සුනිල් නම් අප දැක ඇති නවකතා ද, සුදු මැණික, වැල්ලේ කොල්ලා වැනි ළඟ දී මුද්‍රණය වූ හෝ මුද්‍රණයේ පවතින නවකතා ද ඇතුළුව නවකතා රාශියක නිර්මාපක රචකයා වේ.

මේ සටහන ලියවෙන්නේ සමන් දිසානායක ගේ දහවෙනි නවකතාව, එනම් සුරස පොතක් ලෙස 2019 දී ප්‍රකාශයට පත්වුණු “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාව පිළිබඳව ය.

නවකතා ප්‍රබන්ධ විය යුත්තේ සරල ජීවිත ගත කරන සාමාන්‍ය පුද්ගලයන්ගේ එදිනෙදා නීරස ජීවන අත්දැකීම් ගැන නොව, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එසේත් නැත්නම් දෛවයානුකූලව, සැමට පොදු නොවන සංකීර්ණ ජීවිත ගත කරන සුවිශේෂී පුද්ගලයන්ගේ අසාමාන්‍ය ජීවන අරගල ගැන ගැන බව මීට දශකයකට පමණ ඉහත දී සමන් දිසානායක ලියූ “දුරුතු සිහිනය” නවකතාව පිළිබඳ විචාරයක් කරමින් මම කීවෙමි. මා කියවා ඇති ඔහුගේ නවකතා ඇසුරින් මට කිව හැක්කේ සමන් දිසානායක මේ කාරණය ඉතා හොඳින් වටහා ගත් ලේඛකයෙකු බවයි. නවකතාකරුවෙකු ලෙස ඔහුගේ ප්‍රබලතම ශක්තිය ලෙස මා දකින්නේ සිය නවකතාවල චරිත වටා සුවිශේෂී සිදුවීම් රැසක් අපූරු ලෙස පෙළ ගස්වා, ඒවා එකිනෙක හා සියුම් ලෙස සම්බන්ධ කර, විශ්වාසනීය කතා වස්තුවක් ප්‍රබන්ධ කිරීමට ඔහුට ඇති හැකියාවයි. එසේම ඔහු නිර්මාණය කරන චරිත හුදෙක් සරල, සුදු-කළු චරිත නොව මිනිස් ගති පැවතුම් යථාර්ථවාදීව නිරූපණය කරන චරිත වෙති.

නවකතාවේ නමෙන් ම පැහැදිලි වන පරිදි මේ කෘතියේ ප්‍රධාන භූමිකාව “ඇළ කණ්ඩියේ සුනිල්” ගේ ය. සුනිල් නාගරික ලුම්පන් පවුලක උපන්, පාසල් කාලයේ දී ඉගෙනීමට සැබෑ උනන්දුවක් මෙන් ම ඉතා දක්ෂතාවක් ද පෙන්වූ නමුත් ඉන් පළ නෙලා ගන්නට පෙර තමන් ජීවත් වූ පරිසරය නිසා ම ජීවිතය වෙනස් කරවන අත්දැකීමකට මුහුණ දුන් අයෙකි. වසර කිහිපයකට පසුව තම ජීවිතය නිවැරදි මාර්ගයට යොමු කරගන්නට අවස්ථාවක් ලැබුණ ද, එය කර ගන්නට නොලැබුණු අයෙකි.

සිසිල සඟරාවේ පළ වන ජෙස්තරයගෙ කතන්දර කොලමේ පළ වූ සරදම් කතාවක මිනිස් ජීවිතයකට බලපාන සාධක කොටස් දෙකකට බෙදිය හැකි බව කියවුණි. ඒවා නම් ජානමය සාධක සහ පාරිසරික සාධක වේ. මෙය විස්තර කිරීමට එහි දක්වා තිබුණු උදාහරණය වූයේ මෙලොව ඉපදෙන දරුවෙකු තම මවගේ සැමියාගේ හැඩරුව ගන්නේ නම් එය ජානමය සාධකවල බලපෑමක් බවත් එසේ නොමැතිව අල්ලපු නිවසේ වෙසෙන පුද්ගලයාගේ රුව ගන්නේ නම් එය පාරිසරික සාධකයක් ලෙස දැක්විය හැකි බවයි. උපත කෙසේ වුව ද, ඇළ කණ්ඩියේ සුනිල් ගේ ජීවිතය ගලා යන්නේ පාරිසරික සාධක මත වුවත් සුනිල්ගේ නැගණිය වූ ගංගා ගේ නම් ජීවිතය ඇරඹෙන්නේ ද පාරිසරක සාධක බව මත පෙනේ.

ප්‍රධාන චරිතය සුනිල්ගේ වුවත්, කතුවරයා මෙම නවකතාව අපට ඉදිරිපත් කෙරෙන්නේ ඔහුගේ පාසල් මිතුරු ශ්‍රීනාත් විජේසිංහ ගේ දෘෂ්ටිකෝණයෙනි. ශ්‍රීනාත් යනු සුනිල් මෙන් නොව රිදී හැන්දක් මුව රුවාගෙන ව්‍යාපාරික පවුලක උපන්, සුවපහසු ජීවිතයක් ගත කරන එමෙන්ම විභාග සමත්වීම, විශ්වවිද්‍යාලයට යෑම වැනි සාමාන්‍ය අත්දැකීම් මිස වෙනත් කිසිදු සුවිශේෂී ජීවන අත්දැකීමක් නොලබා නීරස ජීවිතයක් ගෙවන චරිතයකි. කොටින් ම මෙම චරිතය ශ්‍රීනාත් නොව ශ්‍රීමත් එනම් සිරිමත් යැයි නම් කළ යුතුව තිබුණි. ඔහු එතරම් ම හොඳ ළමයෙකි. මවට කීකරු ය. උඹ, බං, බොලං වැනි වචන “පරුෂාවාචා” ලෙස සලකයි. කොටින් ම, තරුණ වියට පත් වූ පසු ශ්‍රීනාත් විවාහය සඳහා සොයන්නේ ද අම්මා කැමති වෙන ආකාරයේ, හොඳට ගෙදර දොර ඉවුම් පිහුම් දන්නා තරුණියකි!

ශ්‍රීනාත් ගේ මෑණියගේ චරිතය නවකතාකරුවා විසින් ගොඩ නැගුවේ තම මවගේ චරිතය ඇසුරෙන් බව ඔහු පවසා ඇත. සමහරවිට ශ්‍රීනාත්ගේ චරිතය නවකතාකරු විසින් තමාගේ අත්දැකීම් අනුසාරයෙන් ගොඩ නගාගන්නට ඇතැයි පාඨකයාට හැඟී යනු පිණිස යම් යම් සලකුණු එකතු කරන්නට ද ඇත.

හැටේ දශකයේ මැද භාගයේ සිට වසර විස්සක් පමණ ඉදිරියට කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ඇදී යන “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ අවසාන භාගයේ දී සැකෙවින් නමුත් සුවිශේෂී සිදුවීම් අනුසාරයෙන් ඉදිරිපත් කෙරෙන 1983 ජූලි මාසයේදී කෙරුණු කොළඹ දී කෙරුණු අමානුෂික දෙමළ ජන සංහාරය සහ දේපල විනාශය සහ මංකොල්ලකෑම් ගැන කියවන විට සංවේදී පාඨකයෙකුගේ ඇසට කඳුළක් නැඟෙනු නොඅනුමාන ය.

කරුණාවන්ත බවේ, මනුස්සකමේ සංකේතයක් බඳු විජේසිංහ මැතිණියගේ චරිතය ද පාඨක සිතට ගෙන එන්නේ පහන් සිතුවිලි ය.

පරිණත නවකතාකරුවෙකු වුව ද සමන් දිසානායක “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ දී මගේ මතයට අනුව වරදක් කර ඇත. එනම් නවකතාව පිටු 40කින් පමණ දීර්ඝ කිරීමයි. කරුණාසේන ජයලත් ගේ ගොළු හදවත නම් නවකතාව විසින් 1962දී ප්‍රකාශයට පත්වෙන තුරු එතෙක් ලියැවුණු සියලු ප්‍රේමකතා අඩංගු සිංහල නවකතා සුඛාන්ත පමණක් වූ බව කියවේ. සමන් දිසානායක ගොලු හදවත නවකතාව කියවා ඇති බවට මට සැකයක් නැති නමුත් තම දහවෙනි නවකතාවේ දී පවා ඔහු උත්සාහ කර ඇත්තේ එහි අවසානය සුඛාන්තයක් කිරීමටයි. මා පෙර සඳහන් කළ පිටු 40 එකතු වී ඇත්තේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ය.

වෙනත් වචනවලින් කියනවා නම්, මගේ මතයට අනුව, “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාව අවසාන විය යුතුව තිබුණේ සුනිල් ගේ නිවසට කෙරෙන මැර ප්‍රහාරයේ අරමුණු එලෙසින් ම සාර්ථක වීමෙනි. අප දන්නා යථාර්ථය නම් එයයි. එනම් දේශපාලුවන් කරන දේ “අහෝසි කම්ම”වේ. ඔවුන් සදාකල් යහතින් වැජඹෙති. නමුත් දේශපාලුවන් වෙනුවෙන් සියලු මජර වැඩ කරන ඇළ කණ්ඩියේ සුනිල්ලා කරන දේ දිට්ඨධම්මවේදනීය කර්ම ම වේ. ඔවුන් කෙටිකලකින් ම උපපජ්ජවේදනීය කර්ම ගෙවන්නට නික්ම යති.

සමන් දිසානායක විසින් රචිත, මා කියවා ඇති නවකතා අටකි. ඒ සියල්ලේ ම මෙන් “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ ද “මේසය මත නොතබා එක දිගටම කියවිය හැකි” පාඨක සිත් ඇද බැඳ තබා ගන්නා සුවිශේෂී ගුණය ඇත. ඒ සමන් ගේ භාෂාව සරල, සුගම නිසා ය. සංකීර්ණ සිදුවීම් විස්තර කිරීමේ දී වුව ද ඔහුගේ රචනා විලාසය පාඨක සිත් වෙහෙස නොකරන නිසා ය.

චේතනා පරිශුද්ධ පෙම් සටන් දෙක ම ජයගන්නා නිසා ද විය හැක.

අවසානයේ මෙය ද කිව යුතු ය.

දිගු කාලයක් තිස්සේ විදෙස් රටක වෙසෙමින්, සාහිත්‍යයෙන් දුරස් මෘදුකාංග ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙමින්, ක්‍රියාන්විත දවසේ වැඩි කාලයක් තිස්සේ ඉංගිරිසිය අසමින්, ඉංගිරිසිය භාවිතා කරමින් සිටින්නෙකුට සිංහල නවකතාකරනයේ දිගින් දිගටම යෙදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙම බාධක සියල්ල ම සමතික්‍රමණය කර මේ වන විට නවකතා දුසිමකටත් වඩා රචනා කර ඇති සමන් දිසානායක අපේ විගාමික නවකතාකරුවන්ට පමණක් නොව ලාංකේය අංකුර රචකයින්ට ද ආදර්ශයකි.

- රසික සූරියආරච්චි
ප/ලි:
ඇළ කණ්ඩියේ සුනිල් - සමන් මහානාම දිසානායක
සුරස (ෆාස්ට් පබ්ලිෂින්), 2019
මිළ රුපියල් 450

Friday, 21 August 2020

ජුකී කෙල්ල හෙවත් සුරඟන කුමරියගේ වාසනාව - Rasika Suriyaarachchi reviews Surangana Kumariya, a novel by Saman Mahanama Dissanayake
























"සුරඟන කුමරිය", පලපුරුදු නවකතාකරුවෙක් වන සමන් මහානාම දිසානායක ගේ හත්වන ප්‍රකාශිත නවකතාවයි. මෙය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි. ඔහු මින් පෙර රචනා කළ "බඹරැන්දේ කඟවේනා", "කැන්ගරු නිම්නය", "පුංචි සර්", "රන්දෙනිගල සිංහයා", "දුරුතු සිහිනය" සහ "ලන්සි කෙල්ල" යන නවකතා ලංකාවේ පාඨකයින් අතර ජනප‍්‍රි‍්‍රයත්වයට පත්වූ අතර එමගින් සිංහල සාහිත්‍යයට වැදගත් සම්මාදමක් ද කෙරුණු බව මගේ අදහසයි. ඒ සමන් දිසානායක විදේශ රටක වෙසෙමින් නිර්මාණකරණයේ යෙදෙන්නෙකු වීම නිසා, තමන් ගේ කෘතිවල අන්තර්ගතය මගින් ඔහුට පාඨකයා වෙත ඉදිරිපත් කරන්නට හැකි සුවිශේෂී කරුණු නිසා ය.

"සුරඟන කුමරිය" නවකතාව ගෙතී ඇත්තේ ගම්බද දුප්පත් තරුණියක වූ තේලණී ගේ විවිධ හැලහැප්පීම්වලට බඳුන් වුණු ජීවිතය වටා ය. පවුලේ කරදර මැද අධ්‍යාපනය කඩාකප්පල් වීම නිසා රැකියාවක් සොයා යන ඇයට අවසානයේ නොසිතූ ලෙස වාසනාව උදාවෙන අයුරු මේ නවකතාව තුලින් සමන් දිසානායක තම සුපුරුදු භාෂා විලාසයෙන් සහ ඔහුට ආවේණික වූ ඇඹරුම්-පෙරළුම් සහිත රටාවෙන් පාඨකයාට ඉදිරිපත් කරයි.

සමන් දිසානායක ගේ සුරඟන කුමරිය නවකතාවට ලූනු ඇඹුල් ඇතුලත් කරන අනෙකුත් අංග අතර කලක් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිට පසුව ශ‍්‍රී ලංකාවේ ධනපති කර්මාන්තශාලා හිමියෙක් බවට පත්වෙන්නෙක්, ඔහු ගේ අනියම් සම්බන්ධතාවයක් සහ අවජාතක දරු දෙදෙනෙක් මෙන්ම එවැන්නෙක් ඇත්දැයි එතෙක් නොදැන සිටියද, තම සැබෑ පියා සමග තේලනී අවසානයේ එකතුවන අයුරු ද වේ. මේ සියල්ල ජනප‍්‍රිය නවකතාවක සාමාන්‍ය වට්ටෝරුව සමතික‍්‍රමණය කරන්නා වූ අංග වේ යැයි මම සිතමි.

සමන් දිසානායක මට පැවසූ පරිදි "සුරඟන කුමරිය" නවකතාව ඔහුගේ ලේඛක දිවියේ එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එයට හේතුව නම් ඔහු අතින් මෙතෙක් කල් නිරායාසයෙන් කෙරුණු ප‍්‍රභන්ධකරණයෙන් මදකට බැහැර වී සමන් දිසානායක මේ "සුරඟන කුමරිය" කෘතිය ශ‍්‍රී ලංකාවේ සිංහල නවකතා පාඨක පිරිසේ වැදගත් අනුඛණ්ඩයක් වන තරුණ වැඩිහිටි වයසේ කාන්තාවන් ඉලක්කකොට ගෙන සුවිශේෂයෙන් නිර්මානය කිරීමයි.

ගම්බදව ගෙවෙන තේලණී ගේ ළමා ජීවිතය, ඇගේ නගරාගමනය සහ රැකියාව මේ පාඨක පිරිසට කෙලින්ම සමීප විය හැකි ඒවා බව පෙනේ. එසේම, වඩාත් සාර්ථක, ආර්ථික වශයෙන් සුඛිත මුදිත ජීවිතයක් පිළිබඳ සදාකාලීක අපේක්‍ෂාවෙන් කාලය ගතකරන එකී පාඨක පිරිස ගේ ඒ දැඩි අපේක්‍ෂාවන් දිගින් දිගටම නොනැසී පවත්වාගෙන යාමට අවශ්‍ය මානසික ශක්තියද මෙවැනි නවකතාවක් කියවීම තුලින් ලැබීමට ඉඩ ඇත. එය පවතින තත්වය තුල එක්තරා සමාජ සේවයක් ලෙස සැළකිය හැක.

එපමණකුදු නොව ඒ අහිංසක යුවතියන් ගේ ශ‍්‍රමය සූරා කන ධනපතියන්ද, ඔවුන් ගේ රූකඩ ලෙසින් රට කරවන පාලකයින් ද අපමණ සතුටට පත්වෙනු නිසැක ය.

මේ නවකතාව පෙර කී පාඨක අණුඛණ්ඩය ඉලක්ක කොට ගෙන අද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකාශයට පත්වන අනෙකුත් නවකතා අතර තරගකාරී එකක් වෙන බවට සැකයක් නැත. "සුරඟන කුමරිය" ලිවීමෙන් සමන් දිසානායක අදහස් කළේ මල් කතාවක් ලිවීමට නම් ඔහුගේ උත්සාහය සාර්ථක වී ඇති බව කිව යුතුයි.

මේ නවකතාව සඳහා සමන් දිසානායක යොදා ඇති "සුරඟන කුමරිය" යන්නෙන් ඔහු අදහස් කළේ නවකතාවේ අන්තර්ගතය තුල අඩංගුව ඇති පරිදි "ෆෙයරි ප‍්‍රින්සස්" යන අරුත දීමට නම් එය "සුර කුමරිය" ලෙස නම් කළ යුතුව තිබුණේ යැයි මට සිතේ.

සමන් දිසානායක නවකතාකරුවෙක් පමණක්ම නොවේ. ඔහු ලියූ කෙටිකතා සිංහල සඟරාවල පලවී ඇති අතර, ඕස්ටේ‍්‍රලියානු සිංහල සංක‍්‍රමණික අත්දැකීම් රැගත් "තිරස තරණ" කෙටිකතා සංග‍්‍රහයේ ද ඇතුලත් වුණි. සමන් ගේ කාව්‍ය නිර්මාණයන් ඕස්ටේ‍්‍රලියාව පිළිබඳ සැකසුණු "දකුණු කුරු දිව් කව්" කාව්‍ය සංග‍්‍රහයේ පලවිය. ඔහු ගේ ගී රචනා සිඞ්නි නුවර වෙසෙන ගායකයින් ගේ හඬින් ගැයෙනු ඇසේ. විවිධ ඓතිහාසික කරුණු ගැන ද සමන් සඟරාවලට ලිපි රචනා කර ඇත. ඔහු නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුව මගින් ප‍්‍රකාශනය කෙරෙන "සිංහල" සඟරාවේ හිටපු සංස්කාරයෙකු ද වේ. මෙලෙස සිංහල ලේඛන කලාවේ සියළුම අංගයන් හි තම දස්කම් දක්වා ඇති සමන් දිසානායක වැනි පුරෝගාමී ලේඛකයින් ඕස්ටේ‍්‍රලියාව තුලින් බිහිවෙන නවක ලේඛකයින්ට මහත් වූ ශක්තියක් බව මගේ අදහසයි.

සිඞ්නි මහ නවකතාකරු සමන් දිසානායක අතින් තව තවත් නිර්මාණ බිහිවේවා යැයි අවසාන වශයෙන් පතමි.

-රසික සූරියආරච්චි ප/ලි: සමන් මහානාම දිසානායක ගේ දුරුතු සිහිනය (2007) නවකතාව https://rasikalogy.blogspot.com/2020/08/2007-rasika-suriyaarachchis-review-of.html

සමන් මහානාම දිසානායක ගේ දුරුතු සිහිනය (2007) නවකතාව පිළිබඳ විචාරයකි - Rasika Suriyaarachchi's review of Duruthu Sihinaya novel written by Saman Mahanama Dissanayake
























නවකතා ප්‍රබන්ධ විය යුත්තේ සරල ජීවිත ගත කරන සාමාන්‍ය පුද්ගලයන් ගේ එදිනෙදා නීරස ජීවන අත්දැකීම් ගැන නොව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එසේත් නැත්නම් දෛවයානුකූලව, සැමට පොදු නොවන සංකීර්ණ ජීවිත ගත කරන සුවිශේෂී පුද්ගලයන් ගේ අසාමාන්‍ය ජීවන අරගල ගැන ය. එනමුත්, නවකතාවක අන්තර්ගතය කෙතරම් සංකීර්ණ වුවද නවකතාවේ ආකෘතිය සරල වේ නම් එය පාඨකයාට නීරස කෘතියක් වීමට ඇති ඉඩ කඩ ද බොහෝ ය.

සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට නවකතා කිහිපයකින් ම දායක වී ඇති සමන් මහානාම දිසානායක ඉහත කරුණු හොඳින් වටහා ගත් ලේඛකයෙක් බව මගේ හැඟීමයි.

දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් ලෙස වසර 2007 දී එළිදැක්වුණු "දුරුතු සිහිනය" සමන් මහානාම දිසානායකයන් ගේ පස්වන නවකතාවයි. ඔහු මීට පෙර බඹරැන්දේ කඟවේනා, කැන්ගරු නිම්නය, පුංචි සර් සහ රන්දෙණිගල වලව්ව නමින් සිංහල පාඨකයින් අතර ජනප්‍රිය වූ නවකථා හතරක් රචනා කොට ඇත.

"දුරුතු සිහිනය" සමන් දිසානායක විසින් ලියා අවසාන කර ඇත්තේ වසර කිහිපයකට කලිනි. එය පාඨක ආදරය දිනා ගනිමින් "රැජින" කාන්තා සඟරාවේ සතිපතා කොටස් වශයෙන් පළවී ඇත. "මල් කතා" යන නමින් පොදුවේ හැදින්වෙන සරල පෙම්කතා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී ඇති යුගයක, සිංහල පාඨක රස වින්දනය එයින් ඉහළ මට්ටමකට නංවන කෘතියක් ලෙස "දුරුතු සිහිනය" හඳුන්වා දෙනු කැමැත්තෙමි.

නවකතාකරුවෙකු ලෙස සමන් ගේ ප්‍රබලතම ශක්තිය ලෙස මා දකින්නේ සිය නවකතාවල චරිත වටා සුවිශේෂී සිදුවීම් රැසක් අපූරු ලෙස පෙළ ගස්වා විශ්වාසනීය කතා වස්තුවක් ප්‍රබන්ධ කිරීමට සිය නවකතා මගින් දක්වා ඇති ඔහු ගේ හැකියාවයි. එසේම ඔහු නිර්මාණය කරන චරිත හුදෙක් සරල සුදු කළු ඒවා නොව මිනිස් ගති පැවතුම් යථාර්ථවාදීව නිරූපණය කරන ඒවා වෙති. මේ විශ්වාසනීය චරිත සහ ඔවුන්ගේ අපූරු අත්දැකීම් ඇතුළත් අන්තර්ගතයට ම අනුකූලවන පරිදි ආකෘතියක් තෝරා ගැනීම ද සමන් හොඳින් සිදු කරයි. "දුරුතු සිහිනය" නවකතාව සමන් දිසානායක සතු ඉහත සඳහන් සියලුම නිර්මාණාත්මක හැකියාවන් හොඳින් විදහා දක්වන කෘතියක් බව පෙනේ.

"දුරුතු සිහිනය" කතාව ගෙතී ඇත්තේ ළදරු සමයේ තම නිවුන් සොහොයුරා සහ මෑණියන් අහිමිව පිය සෙවණේ හැදී වැඩුණු මිහිඳු ගේ ජීවිතය වටා ය. ඔහුගේ පියාණන් වන ආනන්ද හෙවත් වෙස්සන්තර මුදලාලි ද දෛවෝපගත අවාසනාවන්ත සිදුවීම් මාලාවක අවසානයේ තනිවී වෙසෙන්නෙකි. වයස එකොළහක දරුවෙකු ලෙස කෙදිනක හෝ තම මව සහ සොහොයුරා සොයා ගැනීමට හෝ ඔවුන් පිළිබද සත්‍යය එළිදරව් කර ගැනීමට අදිටන් කරන මිහිඳු ගේ එම ප්‍රයත්නය ඔහු ලංකාවේ විවිධ නගරවලට පමණක් නොව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයටත් රැගෙන යයි. අවසානයේ තම ප්‍රාර්ථනා සපුරා ගැනීමටත්, සිය පියාගේ අස්ථානගතවූ ඥාතීන් සොයා ගැනීමෙන් ඔහුගේ ජීවිතයට යම් සහනයක් ලබාදීමටත් ඒ සමගම තම අනාගත සහකාරිය හඳුනා ගැනීමටත් මිහිඳුට හැකිවේ.

මේ සියල්ල සිදුවන්නේ මනා ලෙස ගලපා ඇති උද්වේගකර සහ නාට්‍යමය සිද්ධීන් මාලාවක් හරහා වන අතර සමන් දිසානායක සරල දෙබස්, කාලානුරූප අතීතාවර්ජන, සිත් ගන්නා ස්වයං-භාෂණ සහ හොඳින් පබැඳුණු විස්තරයෙන් යුතු ආකෘතියක් තුළින් පාඨකයා නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වා ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි.

"දුරුතු සිහිනය" නවකතාව සර්ව සම්පූර්ණ සුඛාන්තයක් නොවේ. නවකතාව අවසානයේ පාඨක හදවත් තුළ සතුටක් සමගම ඇතිවන්නේ දැඩි සංවේගයකි. එය කතුවරයා ගේ තවත් දස්කමක් යයි හඟිමි.

මෙම නවකතාවේ එන ආනන්ද මුදලාලි ගේ අනියම් බිරිය වන කුසුමලතා හෙවත් රුවන්පුර රූමතිය ගේ චරිතය අති සංකීර්ණ එකකි. ඇගේ හැසිරීම්, සිතුවිලි සහ ක්‍රියාකාරකම් සීමාසහිත මට්ටමකින් පමණක් විස්තර කරන කතුවරයා එමගින් පාඨකයා නවකතාවේ අන්තර්ගතය පිළිබඳ යම් ආකාරයක පශ්චාත් විශ්ලේෂණයක ට යොමු කරයි.

"දුරුතු සිහිනය" නවකතාවේ අන්තර්ගතව ඇති සුවිශේෂිත කරුණක් නම් සිංහල-දෙමළ ජනවාර්ගික දෙපිරිස අතර අද පවතින අනෝන්‍ය අවිශ්වාසයේ ඇති ශූන්‍යතාවයයි. කතුවරයා වරෙක මෙය එක එල්ලේ දෙබස් මගින් ද, තවත් වරෙක සූක්ෂම ලෙස කතා වස්තුව තුළ අන්තර්ගත කරමින් ද පාඨකයා ඉදිරියේ ගෙන හැරපායි.

මිහිඳු ගේ ඕස්ට්‍රේලියා ගමන විස්තර කිරීමේදී එහි වෙසෙන ජනයාගේ ජීවන රටාව ගැන, ඉඩ ලැබී ඇති මද ඉඩකඩේ දී වුව, යම් යම් තොරතුරු සහ විවරණයක් ගෙන ඒමට කතුවරයා දරා ඇති උත්සාහය ප්‍රශංසනීය ය. එය ශ්‍රී ලාංකික පාඨකයන් ලබන අතිරේක ප්‍රතිලාභයකි.

දිගු කාලයක් තිස්සේ විදෙස් රටක වෙසෙමින්, සාහිත්‍යයෙන් දුරස්ථ ව තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙමින්, ක්‍රියාන්විත දවසේ වැඩි කාලයක් තිස්සේ ඉංගිරිසිය අසමින්, ඉංගිරිසියෙන් දොඩමින්, ඉංගිරිසිය භාවිතා කරමින් සිටින්නෙකුට සිංහල නවකතාකරනයේ දිගින් දිගටම යෙදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙම බාධක සියල්ල සමතික්‍රමණය කර මේ වන විට (2013) නවකථා දහයක් පමණ රචනාකර ඇති සමන් දිසානායක සියලු අංකුර නවකතා රචකයන්ට ආදර්ශයක් බව නොපැකිලව පවසමි.

-රසික සූරියආරච්චි