Showing posts with label වාරණය. Show all posts
Showing posts with label වාරණය. Show all posts

Tuesday, 28 August 2018

බුද්ධාගමට අපහාස කරන තවත් කවියක් - ඇත්තටම මෙය කලින් කවියේ කොපියකි - Yet another blasphemous poem


බයි ලොජික් අනුව සලකන විට බුදු දහමට අපහාස වේ යැයි චෝදනා ලැබිය හැකි ආකාරයේ තවත් කවියක් මා ලියා තිබේ. ඇත්තට ම මෙය විශ්වවිද්‍යාල සමයේ මා ලියූ, දින දෙකකට පෙර රසිකොලොජියේ පළ කළ කවියේ කොපියකි.

මෙය ලියූවේ 2005 වර්ෂයේ බව මගේ මතකයයි. මේ කවියට ඒ දිනවල සිනුවර සංවිධානය වුණු "සාහිත්‍ය චින්තා" නම් තරගයේ දී සම්මානයක් ද හිමිවිය.

වැඩි අටුවා ටීකා ටිප්පණි පසුවට තබා මෙන්න ඒ කවිය.

අභිනිෂ්ක්‍රමණය

දුක දනිමි
සීනුවට අවදිවී
සීතලේ ඇඳ පැළඳ
දුම්රියට දුව යෑම දුකක් මැයි
කළු කෝපි උගුරකින්
ගිල දමා පාන් පෙති
පරිගණක තිරය මත ගල් ගැසී
සංසාර චක්කරේ පැද යාම
දුකක් මැයි

දුකට හේතුව දනිමි
කොමසාරු මැදුර ළඟ
පෝලිමේ තෙරපිලා
වීසාව අයැදීම හේතුව ය
විරැකියාවේ බරින් පීඩිතව
ජනසවිය එපා වී දුර්මුඛව
පලා නොම ගොස් විසුම හේතුව ය

දුක නැසුම මම දනිමි
මේ මහා තරගයෙන්
බේරිලා පලා ගොස්
නිදන්නට හැකි වුණොත් දුක නැති ය
උපන් ගම රට වෙතට
යළි ගොසින්
ඉඳින්නට හැකි වුණොත්
දුක නැති ය

දුක නසන මග දනිමි
දරුවනගෙ ඉගෙනීම ඉවර වී...
ගේ උගස් ගිණුම අවසාන වී...
පනස් පහ උදා වී...
... ... ...

පැහැදිලිය වතුර් සත්‍යය
අපැහැදිලිය අභිනිෂ්ක්‍රමණය


ඉහත කොන්දේසි සමහර ඒවා දැන් සැපිරී ඇත. තව ඉතිරිව ඇත්තේ එකකි!

මරුවන් සරණයි!!

නිහොන් සැප ලැබේවා!!!

-රසිකොලොජිස්ට්

(image: http://mawbima.lk/print20180101MB20181230.php?id=19032)

Sunday, 26 August 2018

මෙන්න බුද්ධාගමට නින්දා කරන නිසා තහනම් කළ යුතු කවියක් - Ban this poem in the name of Buddhism


ලෝකයේ ඇති මා දන්නා ප්‍රධාන ආගම් ඇරඹූ පුද්ගලයින් ඒ දහම් මුලු ලෝකයට ම පොදුවේ දායාද කළා මිස, එක් එක් පුද්ගලයින් ට හෝ කණ්ඩායම්වලට හෝ ආණ්ඩුවලට හෝ කොපි රයිට් යොදා, පේටන්ට් සහතික සහිතව භාර දුන් බවක් මම නම් නොදනිමි.

ඒ අනුව සෑම ආගමික සංකල්පයක් ම ඕපන් සෝස්, එනම් අපට අවශ්‍ය පරිදි භාවිතා කළ හැකි, සංකල්ප ලෙස සැලකිය හැකි යැයි මම සිතමි!

කෙසේ වෙතත්, අද සිදු වී ඇත්තේ ඒ ආගම් ශාස්තෘවරුන් වදාළ ධර්මයට තමන්ම යෝජනා සම්මත කරගෙන ඔප්පු, තිරප්පු, ඇටෝර්නි බලපත් ලියා ගත් අයිතිකාරයින් පිරිසක් බිහි වී සිටීමයි.

ඒ අධම වංචාකාරයින්ගේ පදයට නටන ආණ්ඩු ද අද ලොවේ ඇත.

වත්මන් ලෝකයේ ප්‍රගමනයට ඇති ලොකුම බාධාව නම් මේ දෙපිරිසේ කුසංයෝජනයයි.

මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ සිටිය දී ලියූ මේ පහත කවිය පදනම් වී ඇත්තේ චතුරාර්ය සත්‍යය නම් බෞද්ධ සංකල්පය මතයි.

අද ලංකාවේ ඉන්නා සමහර බයියන්ට අනුව, මේ කවිය බුද්ධාගමට නින්දා කරන එකක් විය හැක. ඒ මා මේ කවියේ පාලි භාෂාවේ එන වචන කිහිපයක්, බුද්ධ ධර්මයේ භාවිතාවෙන සංකල්පයක් අනුසාරයෙන් භාවිතා කර ඇති නිසා විය හැක.

මෙන්න ඒ තහනම් කළ යුතු කවිය.

සත්‍යාවබෝධය නොහොත් නොකෙරෙන වෙදකම සහ කෝඳුරු තෙල් හත්පට්ටය

දුක දනිමි!
තෙතක් සිසිලක් නැති
වාලුකාවක තැනුණු
කම්මලෙහි ඉගෙනීම දුකක් වේ
ඉඳින්නට තැනක් නැත
හත් දෙනෙකු සිරවෙමින්
පුංචි සිර මැදිරියක
බෝඩිමේ ජීවිතය දුකක් වේ
පර බසැති පොත් බලා
මහ රැයේ නිදි මරා
කෝර්ස්වර්ක් ගැසීමද දුකක් වේ
පෝලිමේ හිරවෙලා
රසය ගුණ නොහිතලා
කැන්ටිමේ බත් කෑම දුකක් වේ

දුකට හේතුව දනිමි
අනඳ විදු පියසෙහි
පස් මහල් ශාලාවෙ
පන්තියක ඉගෙනීම හේතුව ය
චැපල් ටෙම්පල් ලේන්
රේල්වේ ඇවනියු
පුද්ගලික පන්තිවල
තෙරපෙමින් ඉගෙනීම හේතුව ය
වසර දෙකකට කලින්
උසස් පෙළ විභාගය
උසස් ලෙස දා ගැනුම හේතුව ය
මහවැලියෙ ඉවුරු තෙර
මරු කතරෙ කම්මලට
පෙර පවට පැමිණීම හේතුව ය

දුක නැසුම මම දනිමි
අම්මගේ අතින් හැදු
රස අහර බුදින සඳ
කැන්ටිමේ අද විඳින දුක නැති ය
ඉස්සරහ කාමරේ
හුරු පුරුදු ඇඳට වී
සිතු ලෙසින් නිදන විට
බෝඩිමේ අද විඳින දුක නැති ය
හැන්දෑවෙ ගම වටේ
සයිකලය පදින විට
කම්මලේ අද විඳින දුක නැති ය
මැජෙස්ටික් එම්පයර්
රියෝ රීගල් තුළ දි
කෝස්වර්ක් නැති නිසා දුක නැති ය

දුක නසන මග දනිමි
දේශනාගාරවල
නිදි කිරා වැටෙද්දී
ලියාගත් නෝට්ස් පොදි ඉවත විසිකළ යුතු ය
කෝස්වර්ක් ගහන්නට
පුස්තකාලයෙන් ගත්
පොත් ගොන්න එතැනටම දිය යුතු ය
ඇඳුම් කඩමාලු ටික
ගමන් මලු තුළට දා
පැණිදෙනිය හන්දියට යා යුතු ය
ටිකට් පත මිලට ගෙන
තුනයි විසි පහට එන
කොළඹ යන දුම්රියෙන් යා යුතු ය

දනිමි හඳුනමි හොඳින්
දුකෙන් මිදෙනා එ මග
නමුදු කෙලෙසක කරම්
අවැසි අබිනික්මන?

දහසකුත් එකක් බැඳුමෙන් බැඳී ඇත
දහසකුත් එකක් නෙත් යොමුව ඇත

පැහැදිලිය චතුර් සත්‍යය
අපැහැදිලිය අභිනිෂ්ක්‍රමණය


මේ අච්චුවේ ම වෙනත් කවියක් ද මා ලියා ඇත.
http://rasikalogy.blogspot.com/2018/08/yet-another-blasphemous-poem.html

-රසිකොලොජිස්ට්

(image: http://www.stewardshipreport.com/photo-of-the-day-little-monks/)