Showing posts with label වික්‍රමබාහු. Show all posts
Showing posts with label වික්‍රමබාහු. Show all posts

Sunday, 29 March 2026

පු. කු. ජයකොඩි ඇමතිකමෙන් අස් වී පසු පෙළට යා යුතුය : What a shame


අම්මාගේ උපන් දිනය වෙනුවෙන් 2018 සැප්තැම්බර් මාසයේ දී ලංකාවට ගිය වෙලේ මට වෙනත් වැදගත් අවස්ථාවකට ද සහභාගි වීමට හැකිවිය. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ කොළඹ ශාඛාව පිහිටුවීමේ සමාරම්භක රැස්වීමට සහ සාදයට යි. මෙම උත්සවය පැවැත්වුණේ කොල්ලුපිටියේ ගාලු පාරේ පිහිටි මහ කුරුඳු හෝටලයේ බව මගේ මතකයයි.

සංගමයේ ශාඛාව පිහිටුවා නිලධාරීන් පත් කරගෙන, ලරීෆ් මොහොමඩ්ගේ ආරාධිත දේශනය ද අවසාන වීමෙන් පසුව, පැමිණි සිටි ආදී විද්‍යාර්ථීන්ට අදහස් දැක්වීමේ අවස්ථාව උදාවිය.

කිහිප දෙනෙකු තම අදහස් දැක්වීමෙන් පසු මයික්‍රොෆෝනය ඉල්ලා ගත් මා පැවසූයේ අදහසේ ආසන්න පරිවර්තනයක් මතකයට අනුව මෙසේ ය.

"රටක සංවර්ධනය සඳහා විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවන්ගේ සේවය අත්‍යවශ්‍යයි. එසේ නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය වෙන ස්ථානයේ ද, එනම් පාර්ලිමේන්තුවේ ද ඉංජිනේරුවන් සිටිය යුතුයි. ඒ සඳහා, පූර්ණකාලීන දේශපාලනයට ඉංජිනේරුවන් ද එකතු විය යුතුයි.

පසුගිය දශක කිහිපයක කාලයේ දී වෘත්තීය ඉංජිනේරුවන් කිහිපදෙනෙකු ම පූර්ණ කාලීන දේශපාලනයට අවතීර්ණ වුණත්, සක්‍රීයව ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය සඳහා දායකත්වයක් ලබා දෙන්නට පුළුවන් වුණේ ඒ අතරින් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන්ට1 පමණයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ පූර්ණකාලීන දේශපාලනයේ යෙදෙන ඉංජිනේරුවන් තුන්දෙනෙකු2 ගැන මා දන්නවා. එයින් එක අයෙකු මේ සභාවේ සිටීමත් සතුටට කරුණක්. නමුත් ප්‍රායෝගිකව ඔවුන්ට මා අදහස් කරන ප්‍රතිපත්ති සම්පාදනයට ඍජුවම සහභාගි වීම සඳහා පාර්ලිමේන්තු යාමට ළඟක දී අවස්ථාවක් නැති බවයි පෙනෙන්නේ.

එනිසා මා ඉල්ලා සිටීමට කැමතියි, හැකියාවක්, උනන්දුවක් සහ ශක්‍යතාවක් ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිහිටයේ උපාධිධාරීන්ට පූර්ණකාලීන දේශපාලනයට එකතුවන ලෙස."

ඊට වසර හයකට පසු, 2024 දී, මට අසන්නට ලැබුණේ, මහ ඡන්දය සඳහා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වුණ පිරිස අතරේ සිටි අයගෙන් පේරාදෙණියේ ඉංජිනේරුවන් අඩුවශයෙන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින බවයි.

ඉන් එක් අයෙකු වෙන රවීන්ද්‍ර බණ්ඩාර හෙවත් රබා පිළිබඳව මම බ්ලොග් ලෝකය හරහා ඒ වන විට දැනගෙන සිටියෙමි. තව ටික දිනකින් ආරංචි වූයේ දෙවැන්නා, එනම් පුණ්‍ය කුමාර ජයකොඩි බලශක්ති ඇමති ලෙස පත්වීම ලබන බවයි.

අද වසර එකහමාරකට පමණ පසු සිදුවී ඇත්තේ, ඇමති තනතුරකට පත් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ එකම විද්‍යාර්ථියා වන පුණ්‍ය කුමාර ජයකොඩි ඔහු ඊට පෙර රජයේ රැකියාවක් කරන සමයේ සිදුවීමක් සම්බන්ධයෙන් උසාවියෙන් අධි චෝදනා ලැබ, නඩු විභාගය අවසාන වෙන තුරු ඇප ලබා සිටින බවයි.

ජනාධිපති අගමැති සහ ආණ්ඩුවේ අවශේෂ බලකඩදාසිකරුවන්වන විද්‍යා, කලා, ඉංජිනේරු, වාණිජ, කළමනාකරණ උපාධිධාරීන්ගේ තර්ක කෙසේ වෙතත්, ඉංජිනේරුවකු ලෙස මගේ තීරණය නම්, ඔය නඩුව පවතින කාලය තුළ බලශක්ති ඇමති පුණ්‍ය කුමාර ජයකොඩි තනතුරෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ පසු පෙළ ආසනයක අසුන් ගත යුතු බවයි.

නඩුවෙන් නිදහස් වුවහොත් ඔහුට යළි ඇමතියෙකු ලෙස පත්විය හැක.

වරදකරු වී දඩයක් හෝ ලැබුණොත්, ජනතාව දුන් ඡන්ද කෙසේ වෙතත්, පු. කු. ජයකොඩි ගෙදර ම යා යුතුය.

- රසික සූරියආරච්චි

1. මෝහන් ලාල් ග්‍රේරෝ, චම්පක රණවක, අජිත් මාන්නප්පෙරුම

2. වික්‍රමබාහු කරුණාරත්න, ලයනල් බෝපගේ, ප්‍රේමකුමාර් ගුණරත්නම්

(image: newsfirst.lk)

Sunday, 5 January 2025

පේරාදෙණියේ පරණ කතාවක් - වික්‍රමබාහුගේ ආරාධිත දේශනය තහනම්? :: A story from the past

Faculty of Engineering, University of Peradeniya 4 February 2024
අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ආර්ථික ආත්මක්ලමථානුයෝගී (austerity) සම්බාධකවලට විරුද්ධව කටයුතු කළ යුත්තේ කෙසේද යන මැයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් (දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ, දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය) විසින් සංවිධානය කර තිබුණු දේශනයකට විශ්වවිද්‍යාල අධිකාරිය විසින් අවසර දී නොමැති බව කියවේ. මේ පිළිබඳ මා දැන ගත්තේ ඒ ගැන කියවෙන ලිපියක් සමාජ සමානතා පක්ෂයේ වෙබ් අඩවියේ පළ වී ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් ලියූ ෆේස්බුක් සටහනකිනි.

එය දුටු මගේ සිහියට ආවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී අප ලැබූ මේ හා සමාන අත්දැකීමකි.

විශ්වවිද්‍යාල සංගමයක් විසින් යම්කිසි දේශනයක් හෝ වෙනත් වැඩසටහනක් සංවිධානය කරන විට ඒ සඳහා විශ්වවිද්‍යාලයේ සම්පත් එනම්, දේශන ශාලාවක්, විදුලි බලය යනාදිය භාවිතා කෙරෙන නිසා, ඒ සඳහා අවසර ලබා ගැනීම සාමාන්‍ය ක්‍රමයයි. මේ සඳහා රෝනියෝ කරන ලද පෝර්මයක් එකල ශිෂ්‍ය කටයුතු පිළිබඳ උප ලේඛකාධිකාරි කාර්යාලයෙන් ලබාගත යුතු වූ අතර එය අදාල තොරතුරු යොදා සම්පූර්ණ කර මට මතක හැටියට ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරිකගේ (මේ ආචාර්ය මණ්ඩලයේ අයෙකි) අත්සන ද සහිතව එම කාර්යාලයට ම ඉදිරිපත් කළ යුතුය. ඔවුන් විසින් එය අනුමත කරනු ලැබේ. නමුත්, ශිෂ්‍ය සභා කාර්යාලයේ යම්කිසි රැස්වීමක් පැවැත්වෙද්දී හෝ ශිෂ්‍ය පොදු කාමරයේ රැස්වීමක් හෝ සාදයක් හෝ පැවැත්වෙද්දී මේ ආකාරයෙන් අවසර ගැනීමක් සිදු නොකෙරුණි.

අප ඉගෙන ගත් ඉංජිනේරු පීඨයේ සමාජ විද්‍යා සංගමය නමින් ශිෂ්‍යයින්ගේ සංගමයක් තිබුණි. මා දෙවන වසරේ සිටියදී එහි සංස්කාරක ලෙස ද, තුන්වෙනි වසරේ දී එම සංගමයේ ලේකම් ලෙස ද කටයුතු කළෙමි.

අපේ අවසාන වසරේ දී ඉංජිනේරු පීඨ සමාජ විද්‍යා සංගමයේ සභාපති ලෙස පත් වුණේ එකම වසරේ උගත් මා මිත්‍ර ස්ටැන්ලි මොරේමඩ ය.

ඊට කලින් වසරේ, එනම් අප විශ්වවියාලයේ ගත කළ තුන්වෙනි වසරේ, මුල සිට ම අප ලංකාවේ ජාතිකත්ව ප්‍රශ්නය පිළිබඳව දේශන මාලාවක් සංවිධානය කළෙමු.

ඒ වසරේ මේ මාතෘකාව යටතේ මහනුවර සත්යෝදය සංවිධානයේ නායක ෆාදර් පෝල් කැස්බර්ස් විසින් දේශනයක් පවත්වන ලදී.

ඊළඟ වසරේ අපේ මුල්ම ආරාධනය ලැබුණේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය නම් දේශපාලන සංවිධානයේ නායකයෙකු වූ විශ්වවිද්‍යාල සේවයෙන් ඒ වන විට නෙරපා දමා ආචාර්ය සුචරිත ගම්ලත්ට ය. එකී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය දැන් හැඳින්වෙන්නේ සමාජ සමානතා පක්ෂය ලෙසිනි.

අපේ සමාජවිද්‍යා ශිෂ්‍ය සංගමයෙන් ඊළඟට සංවිධානය කෙරුණේ නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගේ ජාතිකත්ව ප්‍රශ්නය පිළිබඳ දේශනයයි. වික්‍රමබාහු අප ඉගෙනුම ලැබූ ඉංජිනේරු පීඨයේ ම දිගු කාලයක් තිස්සේ දේශකයෙකු ලෙසින් සේවය කරමින් සිටියදී 1978 වසරේ ජේ. ආර්. ජයවර්ධන විසින් ගෙන එනු ලැබූ ඒකාධිපති ව්‍යවස්ථාවට කළු කොඩි ඔසවා විරෝධය පළ කිරීමේ වරදට විශ්වවිද්‍යාල පාලනාධිකාරයෙන් සේවයෙන් නෙරපා දමා තිබුණි.

ඉංජිනේරු පීඨ දේශන ශාලාවක පැවැත්වීමට අදහස් කෙරුණු මෙම දේශනය සඳහා අවසර ලබා ගැනීම පිණිස අදාළ අයදුම් පත්‍රය නිසි ලෙස පුරවා ශිෂ්‍ය කටයුතු පිළිබඳ උප ලේඛකාධී කාර්යාලයට බාර දී තිබුණ ද නියමිත දිනය වන තෙක් ඒ සඳහා අවසර නොලැබුණි.

එනිසා එම දේශනය එදින නොපවත්වා කල් දැමීමට සමාජ විද්‍යා සංගමයට සිදුවිය.

මේ බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට දැන්වීමට ක්‍රමයක් නොතිබුණු බැවින් එදින අදාල වේලාවට පෙර ඔහු ඉංජිනේරු පීඨයට පැමිණියේය.

අවසර ලැබී නොමැති බව දැනගත් ඔහු එතැන සිටි ඉංජිනේරු පීඨ ආචාර්ය මණ්ඩලයේ අය සමග සතුටු සාමීචියේ යෙදී ආපසු ගියේය.

මගේ මතකයට අනුව, මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ස්ටැන්ලි මොරේමඩ සහ සමාජ විද්‍යා සංගමයේ ඒ වසරේ ලේකම් ලෙස කටයුතු කළ කනිෂ්ක තෙන්නකෝන් එවකට ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජයතිලක හමුවී ඇත.

එහිදී ජයතිලකකාරයා කියා ඇත්තේ සිසුන් කළ යුත්තේ ඒ වැනි දේශපාලන කරුණු ගැන දේශන සහ සාකච්ඡා පැවැත්වීම නොව, ඉගෙනීමේ කරුණු පිළිබඳව, නිවැරදිව ඉගෙන ගන්නේ කෙසේද පිළිබඳව දේශන සහ සාකච්ඡා පැවැත්වීම බවයි.

එවිට ස්ටැන්ලි මොරේමඩ ජයතිලකට පවසා ඇත්තේ “එහෙනම් සර්, සර් කරන්නකෝ ඒ මාතෘකාවෙන් දේශනයක් ලබන සතියේ ම!” කියායි.

ඒ අනුව තවත් සතියකට පමණ පසු මහාචාර්ය ජයතිලක ගේ “How to study” දේශනය පැවැත්වුණි.

තවත් සතියකට දෙකකට පමණ පසු නිසිපරිදි අවසරය ලැබුණු නිසා වික්‍රමබාහුගේ දේශනය පැවැත්වීමට අපට ඉඩ ලැබුණි.

ඒ දේශනය සම්බන්ධයෙන් ද ඉතා රසවත් කතාවක් ඇත. කලකට පෙර මා සේ ඒ තොරතුරු සහිත “සුචරිත, බාහු සහ නිෂ්මි” මැයෙන් ලිපියක් ලියා එය පුවත්පතක පළ කර අතර එය නුදුරු දිනක දී රසිකලොජි බ්ලොගයේ පළකිරීමට අදහස් කරමි.

- රසික සූරියආරච්චි (image: P)