Showing posts with label විජය නන්දසිරි. Show all posts
Showing posts with label විජය නන්දසිරි. Show all posts

Tuesday, 9 August 2016

නිහාල් සිල්වා, විජය නන්දසිරි සහ යූ ටියුබ් - When Maname is defeated again, this time by a Politikka


නිහාල් සිල්වා යනු කවුරුන්දැයි ඔහු පිළිබඳ නොදන්නා අද පරම්පරාවක අයෙකු ඇසුවොතින් ලැබෙන නිසැක පිළිතුර වනුයේ "ඒ සාජන්ට් නල්ලතම්බි නේ!" යන්නයි.

ඔහු ජීවත්ව සිටි අවසාන කාලයේ දී තමන් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළ බර්ටොල් බ්‍රෙෂ්ට් ගේ නාට්‍යයක් ඇසුරෙන් හෙලේනා ලෙත්මකී නිෂ්පාදනය කළ "පුන්තිලා" නම් නාට්‍යය රඟ දක්වමින් සාජන්ට් නල්ලතම්බිගෙන් වෙනස් වූ අනන්‍යතාවක් ගොඩ නංවා ගන්නට නිහාල් සිල්වා තැත් කළ ද, එය සාර්ථක නොවූ බව අමුතුවෙන් කිව යුතුව නැත.

නිහාල් සිල්වා යන නාමය නොමැකී පවතිනු ඇත්තේ "දවාලේ පායපු චන්ද්‍රයා සේ මේ ආවා!" ය කියමින් විකට රංගනයක් ඉදිරිපත් කළ හිස මුඩු ගෑ නළුවා ලෙස ය.

මම "පුන්තිලා" නාට්‍යය වරක් නරඹා ඇතත් "නල්ලතම්බි" නාට්‍යය කිසි දිනෙක නරඹා නැත්තෙමි. එසේ වුව ද, ද නිහාල් සිල්වා නම ඇසූ පමණින් මගේ සිතට එන්නේ ද, "නල්ලතම්බි" මිස "පුන්තිලා" නොවේ.

සත්‍යය කටුක ය.

"මනමේ", "සිංහබාහු", "සුභ සහ යස" වැනි සම්භාව්‍ය ප්‍රවර්ගයේ නාට්‍ය ගණනාවක රඟ පෑ විශිෂ්ට රංගධරයෙකු වූ විජය නන්දසිරි ඊයේ ජීවිතය හැර ගියේ ය. කනගාටුවට මෙන් විජය නන්දසිරි කියූ විටද අපේ සිතට එන්නේ පෙර කී වේදිකා නාට්‍ය නොව, ඔහු මෑත කාලයේ දී දේශපාලුවෙකු ගේ චරිතය නිරූපණය කරමින් රඟ පෑ "එතුමා" යනාදී විකට ටෙලි නාට්‍යය සහ "සුහද කොකා" වැනි චිත්‍රපට ය. වේදිකා නාට්‍ය ගැන කියතොත් "බල්ලොත් එක්ක බෑ!" වර්ගයේ නිෂ්පාදන ය.

ඔහු ගේ රංගනය ගැන දනන් තුඩ තුඩ රැව්දෙනු ඇත්තේ මනමේ කුමරා ගේ ~නීච වනචරය එව සටනට~ කාහල නාදය නොව, "මට ඇහුණේ නෑ!", "සොයිසා", "මගුලක් කතා කරනවා!" ආදී කෑලි බෑලි ය. ඔහු දිගටම මනමේ රඟපාමින් සිටියා නම්, අද විජය නන්දසිරි මිය ගියා යන පුවත ඇසූ විට ඊළඟට නැගෙන ප්‍රශ්නය වනු ඇත්තේ "ඒ කවුද අනේ?" කියා ය.

විජය නන්දසිරි ගේ මරණය පිළිබඳ තරිඳු උඩුවරගෙදර ලියූ බ්ලොග් ලිපිය ඔබ කියවන්නට ඇතැයි සිතමි.

ඒ ලිපියට ප්‍රතිචාරයක් ලෙස මා සඳහන් කළේ විජය නන්දසිරි ගේ රංගන ප්‍රතිභාව සදාකල් නොමැකී පවතිනු ඇත කියා ය. ඒ අපේ චිත්ත සන්තානයේ හෝ වෙනත් අහවල් තැනක හෝ නොව "යූ ටියුබයේ" ය.

මම ද ඊයේ ම, විජය නන්දසිරි සහ රොඩ්නි වර්ණකුල රඟන "කෝ එතුමා" නම් මාලා ටෙලිනාටක ප්‍රහසනය නරඹන්නට පටන් ගත්තෙමි.

එතුමා නාටක පෙළ පිළිබඳ මගේ අදහස නම්, නිසි පිටපතක් හෝ නිසි සංස්කරණයක් නොමැති නිසා ප්‍රශස්ත මට්ටමටක පැමිණ නැති වුව ද, ඒ සිංහල "යර්ස් මිනිස්ටර්" ම බවයි. එක අතකට, වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන එංගලන්තයේ පොලිටීෂියන්ස් ලා සහ ලංකාවේ දුෂිත පොලිටික්කන් සසඳා බලන කළ එතුමා නාටකය ඔයිට වඩා ඉහළ මට්ටමකට යා නොහැක.

ඒ නාටක මාලාවේ ලොකුම අඩුව වූයේ ලංකාවේ දේශපාලුවන් විසින් සිදු කරන මහා පරිමාණයේ දූෂණ, වංචා පිළිබඳව කිසිවක් සඳහන් නොකර හුදු සරල වින්දනයට පමණක් සීමා වීමයි.

ඒ් සමගම මෙයත් කිව යුතු ය.

නල්ලතම්බි නාට්‍යයේ සොහොන් පිිටියේ රඟන ගිතය අඩංගු ජවනිකාවේ පිටපත් කිහීපයක් ම තිබුණ ද, පුන්තිලා ගේ පුළුටක්වත් යූටියුබයේ නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි:
විජය නන්දසිරිගේ අභාවය ගැන ලියවුණු වෙනත් බ්ලොග් ලිපි

1.
http://uduwaage.blogspot.com/2016/08/blog-post_8.html :: විජය නන්දසිරිගෙන් පසු ගිහාන් ප්‍රනාන්දුට මොකක් වෙයිද?


2. http://lankanian.blogspot.com/2016/08/blog-post_8.html :: ගරු මහතානෙණි ඔබට නිවන් සුව

3. http://www.w3lanka.com/2016/08/blog-post_9.html :: විජය කුමාරතුංගට තරහකාරයන් සිටියදී විජය නන්දසිරිට එවැන්නන් නැත්තේ ඇයි?

4. http://ansathudinapotha.blogspot.com/2016/08/blog-post.html :: මගුලක් කතා කරනවා, විජය නන්දසිරි

ප/ප/ලි:
මසකට පමණ පෙර මම ව්ලොගයක් (Vlog) ඇරඹීම ගැන සිතා බැලුවෙමි. එය හැකි විගස ක්‍රියාවට නැංවිය යුතුයි කියා අද අදිටන් කොට ගතිමි.

(image: http://archives.dailynews.lk/2006/10/13/fea04.asp)