Showing posts with label ශක්තික සත්කුමාර. Show all posts
Showing posts with label ශක්තික සත්කුමාර. Show all posts

Thursday, 26 December 2024

කසුන් හීනටිගල, ශක්තික සත්කුමාර සහ පොලීසියට ආයුධ පෙන්නන්නට යෑම - A long way to go


අර පොලිසියේ අතවරයට ලක් වී ඇති කසුන් හීනටිගල තරුණ පියා ගැන සඳහන් වෙන අපූරු සටහනක් දුටිමි.

එහි පොලිසියෙන් කරන ලද බව කියවෙන කටයුතුවලට විරුද්ධව කතා කරන ගමන් සයිඩ් එකෙන් නිකමට මෙන් කියා තිබුණේ “ඒ වුණාට අනේ කසුන් ඒ කාලේ ලියපු කවි හරි අනුකාරකයි, ඒ එක්කම ඔහු විසින් ලියන ලද පොතෙත් මෙලෝ රහක් නැහැ” කියා ය.

එවිට මට සිහි වූයේ මීට වසර හයකට පමණ පෙර “අර්ධ” නම් කෙටිකතාවක් ලියා ෆේස්බුක් එකේ පළ කිරීමේ වරදට මා මිත්‍ර ශක්තික සත්කුමාර ලේඛකයා දීර්ඝ කාලීන අත් අඩංගුවට පත් වූ අවස්ථාවයි.

එයට විරෝධය පෑමට බොහෝ දෙනෙකු තම තමන්ට හැකි අයුරින් කටයුතු කළහ. මම විරෝධය දක්වන කෙටි සටහනක් ද සමග ඔහුගේ එම කෙටි කතාව මගේ බ්ලොගයේ පළ කළෙමි.

තවත් සමහරු විරෝධය දක්වමින් ලිපි ලිවූහ. ඒ සමගම පිරිසක් එකතු වී විරෝධය පෑමට පුවත්පත් සාකච්ඡාවක් ද සංවිධානය කර තිබුණි.

මෙහි දී මා නිරීක්ෂණය කළ සුවිශේෂී කරුණක් නම් ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම පිළිබඳව සහ ඒ වෙනුවෙන් වෙනත් කරුණක් සඳහා පනවා තිබුණු නීතියක් අවභාවිතා කිරීම පිළිබඳව විරෝධය දක්වමින් අදහස් ප්‍රකාශ කරන අතර දී සමහර දෙනෙකු “ඒ වුණාට ඔය කියන ~අර්ධ~ නම් කෙටිකතාව නම් එතරම් සාහිත්‍ය රසයක් තිබුණු එකක් නොවේ” යනාදී වශයෙන් සයිඩ් එකෙන් කෝචොක් කිරීමක් ලෙස ද සැලකිය හැකි ප්‍රකාශයක් කිරීමයි.

එයින් ඔවුන් අදහස් කරන්නට ඇත්තේ “අපි ශක්තික සත්කුමාර වෙනුවෙන් පෙනී සිටිය ද ඔහු අප තරම් උසස් ලේඛකයෙකු නොවේ” කියා විය යුතුය.

සිදුව ඇති අසාධාරණයක් ගැන කතාකරද්දී අගතියට පත් වූ තැනැත්තාගේ සාහිත්‍ය නිර්මාණ ගැන විචාරක් කිරීම අත්‍යාවශ්‍ය ද?

අනේ මන්දා?

ඒ සමගම තවත් වැදගත් කරුණක් ද දැඩි කනගාටුවෙන් කිව යුතුය.

එනම්, කසුන් හීනටිගල සම්බන්ධ ප්‍රශ්නයේ දී “ඕකා තමන්ගේ බිරිඳ ගැනයි, මාමණ්ඩිය ගැනයි, විස්කිරිඤ්ඤ ගැනයි පොර ටෝක් දෙන්න ඇති පොලිසියට," යනාදී වශයෙන් පවසා "ඒ නිසා ඔහොම වෙච්ච එක හොඳ වැඩේ” යැයි ඉඟියෙන් පවසන අය සහ මීට අවුරුදු කිහිපයකට පෙර ලංකාව පුරා ව්‍යවසනයක් ලෙස පැතිර ගිය අපරාධ ගැන සැකකරුවන් පොලිසියට ආයුධ පෙන්නන්නට කියා රැගෙන ගොස් මරා දැමීම පිළිබඳව සාධාරණීකරනය කරමින් කතාකළ පුද්ගලයින් අතර යම් සමානත්වයක් ඇති බවයි.

තිස් වසරක යුද්ධයෙන් ද, ඉන්පසු තවත් වසර පහළොවක අනීතික පාලනයකින් ද පීඩාවිඳ ඇති සිත් සතන් සුවපත් වීමට ඒ හා සමාන දිගු කාලයක් වුව ගතවුණොත් එය පුදුමයක් නොවේ.

- රසික සූරියආරච්චි

(image: Generated using Microsoft Designer AI application)

Tuesday, 2 April 2019

ශක්තික සත්කුමාර, "අර්ධ" සහ අඳ බාලයින්ට ගිය රට! - Free Shakthika Sathkuara immediately


ශක්තික සත්කුමාර අප බොහෝ දෙනෙකු දන්නා කවියෙකි, ලේඛකයෙකි. ඔහු ලියූ "අර්ධ" නම් කෙටිකතාව පහත පළකර ඇත.

ඒ වෙනුවෙන් ම අටවා ගන්නා ලදැයි පෙනෙන බෞද්ධ යැයි කියා ගන්නා අන්තවාදී සංවිධානයකින් ඔහුගේ මෙම කෙටිකතාවට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව මේ ලේඛකයාව පොලිස් අත්දඩංගුවට ගෙන ඇත.

ආගමේ නාමයෙන් අන්තවාදීව කටයුතු කරන තලේබානියානු බෞදියක් ලංකාවේ බිහිවෙමින් පවතින බව යළි යළිත් තහවුරු වෙමින් පවතී.

ශක්තික සත්කුමාර කවියා, ලේඛකයා, වහා නිදහස් කරන ලෙස අප සියලු දෙනාම වහා උද්ඝෝෂණය කළ යුතුව ඇත.



-රසික සූරියආරච්චි

ප/ලි
ඉහත රූ සටහන් ලෙස පළ කළ අර්ධ කෙටිකතාව යුනිකෝඩ් අකුරෙන් පහත දැක්වේ.

අර්ධ | ශක්තික සත්කුමාර

හාල්වැල්ලේ කස්සප හිමියන් කසාන් පලිහවඩන වූයේ ගිහි ජීවිතය පිළිබඳ ඇල්මකින් ම නොවේ. නමුත් ඔහුට පැවිදි ජීවිතය පිළිබඳව ද ඇල්මක් නොවීය. උපැවිදි වීමෙන් පසු කසාන් තවදුරටත් විශ්වවිද්‍යාලයේ භික්ෂු නේවාසිකාගාරයේ සිටීමට කැමැත්තක් නොදැක්වීය. සරසවියට පැවිද්දෙක් ලෙස පැමිණ උපැවිදි වූ බොහෝ පිරිසක් ඒ වන විටත් භික්ෂු නේවාසිකාගාරයේ ලැගුම් ගෙන සිටියහ. ධම්මිස්සර හිමියන් කසාන් වෙත පැමිණෙන විට ඔහු සිටියේ පරණ සටහන් වගයක් බලමිනි.

"මිදුණා මිදුණා කසාන් නම් මිදුණා...උඹ හොස්ටල් එකේ දිගටම ඉන්නවනේ... දැන් ඉතින් චමරියට බඩු ගේන්න යන්න රෑ වෙනකම් ඉන්න ඕන නෑනේ."

ධම්මිස්සර හිමියෝ කසාන් ගේ කාමරයට ඇතුළු වී අසල තිබූ පුටුවකට බරවූහ. ඇඳෙහි සැතපී 'බුදුන්ගේ රස්තියාදුව' කෘතිය කියවමින් සිටි මේධානන්ද හිමියෝ ධම්මිස්සර හිමිගේ හඬින් පොත දකුණතට ගෙන නැගී සිටියහ.

"අපේ සදහම් සේනාවෙන් මේ පොතට විරුද්දව නඩුවක් දාන්න ඉන්නේ.. මේක සම්පූර්ණ මූලධර්ම වාදීන්ගේ වැඩපිළිවෙළක්" බුදුන්ගේ රස්තියාදුව පොත පෙන්වමින් මේධානන්ද හිමියෝ කීහ.

"කසා බෝඩිමට යනවා කියන්නේ...මූට සිවුර විතරක් නෙමෙයි අපි නෙමෙයි අපි වත් එපාවෙලාද කොහෙද?" කාමරයට එවෙලේ පැමිණි සුමේධ හිමි ගේ හඬින් කසාන් කරමින් සිටි කාර්යය මදකට නතර කළේය.

"එහෙම දෙයක් නෑ මම බෝඩිමට ගියත් නිතර ඔබ වහන්සේලා බලලා යන්න එනවා." කසාන් ගේ හඬෙහි වූයේ හැඬුම්බර ස්වභාවයකි.

"හරි හරි උඹ සීරියස් ගන්න එපා.... කොහේ ගියත් කමක් නෑ උපාධියේ වැඩ ටික හරියට කර ගනින්... "

මං කතාව ඒ විදිහට පටන් ගත්තේ එකපාරටම මට හීරළුවෙක් කියලා කියන්න බැරි හින්දා. ඒත් මම දැන් හීරළුවෙක් කියලා හැමෝම දන්නවා. මම මහණවුණේ මොකටද කියලා මම දන්නේ නෑ සිවුරු ඇරියේ මොකටද කියලා මම දන්නෙත් නෑ. ලොකු හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ සිවුරේ ඉන්න මට තවත් හේතු තිබුණේ නෑ.

ලොයිඩ් අයියගේ බෝඩිමට යන්න මම තීරණේ කරේ ගොඩක් දුර දිග හිතලා නෙවෙයි. ඒත් මම හිටපු පරිසරයෙන් මිදෙන්න වුවමනාවක් තිබුණා. ලොයිඩ් අයියා මට හම්බෙන්නේ අපේ හතුරෙක් විධියට. ඒත් දැන් මගේ මිතුරෙක් වුණාට සදහම් සේනාවට නම් තාම ඔහු හතුරෙක්. ලොයිඩ් අයියා වැඩ කළේ එන්.ජී.ඕ එකක. සදහම් සේනාවත් එක්ක අපි ලොයිඩ් අයියලාගේ කාර්යාලයට බලෙන් කඩා වැදුණා.

"තමුසෙලා පිටරට සල්ලි අරන් හිටපු කොටි නායකයන්ගේ පවුල්වල උදවියට ගෙවල් හදනවා කියන්නෙ ඇත්තද?"

ඥානසාර හාමුදුරුවන්ගේ හඬට කාර්යාලයේ හිටපු ඔක්කොම තමීර වෙලා ගියා. කැමරා අමෝරාගත් මාධ්‍ය කාරයෝ ඔක්කොම හිටියේ අපේ පැත්තේ .

"අවසර හාමුදුරුවනේ... අපි ගෙවල් හදලා දෙන්නේ යුද්දේ නිවාස අහිමි වුණු පවුල් වලට" කාර්යාලයේ වැඩ කරපු ළමයෙක් අපි ඉස්සරහට ආවා

"තමුසේ කවුද ?"

"මම ලොයිඩ් මේ ව්‍යාපෘතියේ"

* * *

"කසාන් බර කල්පනාවක වගේ.. මම එන්න පරක්කු වුනා ද?" ලොයිඩ් අයියා මගේ ඉදිරිපිටින් මෝටර් සයිකලය නැවැත්තුවා. මම බෑග් එකත් අරගෙන බයිසිකලේ පිටිපස්සට නැග්ගා.

"කසාන් සිවුරට වඩා ඩෙනිමට ලස්සනයි.." ලොයිඩ් අයියා බයිසිකලේ වේවැල්දූව පැත්තට හරවන ගමන් කිව්වා. මම හීනියට හිනා උනා. ඒ වෙද්දි මම හිටියේ දෙලොවක් අතර.

"කසාන් මොනවද රෑට කන්නේ. මම නම් ඉඳිආප්ප ෆුල් කොත්තුවක් කනවා. ග්‍රීන් ගාටන් හෝටල් එක ලඟ බයික් එක නතර කරන ගමන් ලොයිඩ් අයියා ඇහුවා. "මට හාෆ් එකක් ඇති." මම හිමිහිට කිව්වා.

සිවුරේ ඉද්දි මං හිතන් හිටියෙ මේ සමාජය ගොඩක් පිරිහිලා කියලා. ඒත් ඒක එහෙම නෑ කියලා දැන් මට හිතෙනවා. සමාජයේ හැමෝම හීරළුවෙක් කියලා මාව කොන් කරයි කියලා බයක් තිබුණා. ඒත් එහෙම වුණේ නෑ. සමාජයේ හැමෝම මාව පිළිගත්තා. සරසවිය වගේම නවාතැනත් වෙනදට වඩා මට ප්‍රියමනාප වුණා.

"කසාන් මං පොඩි කතාවක් ලියන්න ගත්තා. හොඳද කියල බලන්න.." ලොයිඩ් අයියා අතින් ගියපු හාප්සීට් කොළ කිහිපයක් මගේ මේසය මතට අත හැරියා. මාතෘකාවක් නැති ඒ කතාව මම හිමින් සැරේ කියවන්න ගත්තා.

යශෝධරා සිටියේ ඉකිබිඳිමින්ය. චන්නගේ ක්‍රියාවට විරුද්ධ වීමට හැකියාවක් තිබුණත් එය ඉවසා සිටියේ යටිහිත ඊට කැමැත්තක් තිබූ නිසා යැයි යශෝධරා සිතුවාය. සිද්ධාර්ථ ගිහිගෙය හැරගියේ රාහුල ඔහුගේ දරුවෙක් නොවන බව දැනගෙන ද? සිද්ධාර්ථගෙන් මා තෘප්තිමත් නොවූ බව ඔහු දැන සිටියේ ද? ගැහැනියක් තෘප්තිමත් කිරීමේ හැකියාවක් ඔහුට නොතිබූ බව සැබෑවක් නොවේ ද? යශෝධරාගේ සිත නැගූ පැනවලට ඈ පිළිතුරු සොයනවා වෙනුවට දිගු හුස්මක් හෙලා ළය සැහැල්ලු කර ගැනීමේ බොල් උත්සාහයක නියැළුණාය.

"අම්මෝ! අයියේ මේ ලියවිල්ල නම් ගිනි ගිනිතියලා දාන්න.."

ඡේදයක් කියවූ මම ලොයිඩ් අයයාට කරුණු පහදා දීමට සිතා නැගී සිටියෙමි.

"ඇයි නිර්මාණයක් විදියට සමාජය බාරගන්නැති වෙයිද? නැත්නම් අපායේ යයිද? අනික මේක මහායාන ආගමේ තියෙන සංකල්පයක්" සිගරැට්ටුවක් දල්වාගත් ලොයිඩ් අයියගේ මුවගෙහි වූයේ සරදම් සිනාවකි. දුම් රැල්ලක් නිදහසේ බෝඩිං කාමරය තුළ පියා සලන්නට විය.

"ඒ උනාට මේක ථෙරවාදී බෞද්ධ රටක්." මට කියවුනේ ඉබේමය.

"අප්පේ ඔව් නමට විතරක්."

දෙදෙනෙක් විසින් ඇදගෙන යනු ලැබූ මාව කළුවර කාමරයකට තල්ලු කළා. විසික් වෙලා ගියපු මාව බිම වැටුණා. ඒ එක්කම කාමරේ දොර වැහුණා. අඩ අඳුරේ මම කාමරය පුරා බැල්මක් හෙලුවා. කාමරයේ මුල්ලක ලොකු හාමුදුරුවෝ සැතපිලා ඉන්නවා මම දැක්කෙ ඒ මොහොතේ. උන්නාන්සේ සිටියේ ලොකු අපහසුතාවයකින් වගේ. මම හිමින්සැරේ උන්වහන්සේ ළඟට කිට්ටු කළා. සැතපිලා හිටියට උන්වහන්සේට නින්ද ගිහින් තිබුණේ නෑ. ඇස් වල තිබුණේ කඳුළු. මාව දැක්ක ලොකු හාමුදුරුවෝ එක සැරේම හිටගත්තා. උන්වහන්සේගේ කකුල් දෙක මැද්දෙන් ලේ ගංගාවක් ගලා ගෙන යනවා දැකලා මං හොඳටම බය වුණා.

"මේ මොකද අපේ හාමුදුරුවනේ!" මං හයියෙන් කෑගැහුවා. ඒත් හඬ පිට වුණේ නෑ. හිටගත්ත ලොකු හාමුදුරුවෝ මං පැත්තට හැරිලා සිවුර ඉස්සුවා. දෙයියනේ උන්වහන්සේගේ පුරුෂ ලිංගය කපලා. එතනින් ලේ විදිනවා.

"කවුද මේ අපරාදේ කරේ.."

"ඒයි ඒයි කාසන් මොකද මං මේ රෑ ජාමේ කෑගහන්නේ.."ලොයිඩ් අයියගේ හඬින් මං ඇස් ඇරියා. කාමරේ විදුලි බුබුල දැල්වෙමින් තිබුණා.

"මං පොඩි හීනයක් දැක්කා." මම මදුරු දැල මෑත් කරලා ඇදෙන් ඉදගත්තා.

"උඹට හොඳටම දාඩිය දාලා." ලොයිඩ් අයියා මගේ දිහාවට මේසය උඩ තිබ්බ වතුර බෝතලේ විසික් කළා. බෝතලය දෑතින්ම අල්ල ගත්ත මම ඒක එක උගුරට බීගෙන ගියා. බෝඩිම් කාමරේ දොර ඇරපු ලොයිඩ් අයියා මං දිහා බැලුවෙ හිනාවෙවී.

"උඹ තාම ඉන්නේ අපායෙ ද?"

එහෙත් කිසිවකු නොකියපු මම අඳුරේම වතුර කරාමය දෙසට යන්නට වුනා. මුහුණ කට සෝදා ගත් පසු මට යම් සහනයක් දැනෙන්නට වුණා. මම ඇවිත් නැවතත් මදුරු දැල අස්සට රිංගුවා. සිහින් හඬින් සිංදුවක් මුමුණමින් ලොයිඩ් අයියා කාමරයේ දොර වහලා ලයිට් එක නිව්වා. ටික වෙලාවකට වෙලාවකට පස්සේ ඔහුගේ මිමිණුම් හඬ මගේ කණ ළඟ ඇහෙන්න ගත්තා. ලොකු හාමුදුරුවන්ගේ ඇඟෙන් ආපු දාඩිය මිශ්‍ර සුවඳ ලොයිඩ් අයියගෙ ළඟිනුත් මට දැනෙන්න ගත්තා. මම සෙමෙන් දෑස් පියාගත්තා.

- ශක්තික සත්කුමාර -

[කෙටිකතාව යුනිකෝඩ් වලට හැරවූ සහන් කසීර වික්‍රමසිංහට ඉතා ස්තූතියි.]


(image: https://www.facebook.com/shakthika.sathkumara)