Sunday, 22 December 2024

ජැක්සන් ඇන්තනිගේ දුව සහ බෑණා - What a cuel world?


අතුරුගිරිය ප්‍රදේශයේ වෙසෙන තරුණ පියෙකු තම නිවස ඉදිරිපිට කඩයකට ගොස් ආපසු එන විට ඔහු නවතා ඇති පොලිස්කාරයින් දෙදෙනෙකු ජාතික හැඳුනුම්පත තිබේදැයි විමසා එය මේ පුද්ගලයා අතේ ඒ මොහොතේ නොතිබීමේ වරදට ඔහුව හිංසාකාරී ලෙස පොලිසියට රැගෙන ගොස් තිබේ. එහි දී ඔහුට සහ පසුව ඔහුගේ ජාතික හැඳුනුම්පත රැගෙන පොලිසියට පැමිණි බිරිඳට අපහාසාත්මක ලෙස බැන වැදී ඇති බව ද කියවේ.

මෙහි ඇති අවාසනාවන්ත ගැලපීම නම් මට මේ ප්‍රවෘත්තිය අසන්න ලැබුණේ ඊට පෙරදා ජනාධිපති දිසානායක විසින් රාජ්‍ය සේවකයින් පිරිසක් අරඹා කළ කතාවේ දී සාමාන්‍ය මහජනතාව තුළ පොලිසිය ගැන ඇත්තේ කවර ආකල්පයක් ද යන්න පවසනවා අසා සිට මොහොතකට පසුව වීමයි.

තම බලය අනිසි ලෙස යොදවා ඇති මෙවැනි පොලිස්කාරයින්ට නිසි දඬුවම් ලබාදීම ඔවුන්ට මෙන්ම අනෙකුත් සියලු දෙනාට ම ආදර්ශයක්, පාඩමක් වෙනු ඇත.

නමුත් පොලිසිය නීතිගරුක කිරීම නම් ලේසි පහසු වැඩක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. පොලිසියට බැඳී සේවය කරන්නේ ද ලංකාවේ ම මිනිසුන් නිසා පොලිසිය හරි මගට ගැනීමට නම් වෙනත් රටකින් පොලිස්කාරයින් ගෙන්වීමට සිදුවෙනවා ඇත.

කෙසේ වෙතත් මා මේ සටහන ලියන්නේ ඒ ගැන කීමට නොවේ.

මෙසේ තාවකාලිකව අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිඳ මියගිය ජැක්සන් ඇන්තනි දියණිය බව කියැවේ.

ෆේස්බුක් එකේ මේ ගැන විවිධ පුද්ගලයින් දැක්වූ අදහස් කිහිපයක් කියවීමේ දී මට තේරුනේ අතුරුගිරිය පොලිස් ස්ථානයේ පමණක් නොව ෆේස්බුක් වාසී ජනතාව අතර ද මේ පොලිස් අතවරයට ලක්වූ පුද්ගලයාට සහ ඔහුගේ බිරිඳට, ඇතැම් විට අපහාස ලෙස ද සැලකිය හැකි, සරදම් වදන් කියන්නන්, අවලාද නගන්නන් සිටින බවයි.

එයට මූලික හේතුව ලෙස මට පෙනුනේ ඔවුන් මියගිය ජැක්සන් ඇන්තනි සමග ඇති සම්බන්ධයයි.

ජැක්සන් ඇන්තනි ගේ දේශපාලන ක්‍රියා පිළිබඳව අප බොහෝ දෙනෙකුගේ කිසිදු ප්‍රසාදයක් නැති වුව ද ඒවා ඔහුගේ දරුවන්ට ආරූඪ කර අවලාද නැගීම, සරදම් කිරීම හෝ අපහාස කිරීම යෝග්‍යයි මම නොසිතමි.

ඊටත් වඩා මා පුදුමයට පත් වූ කරුණක් වූයේ මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ලෙස කාන්තාවන් පවා ජැක්සන් ඇන්තනි ගේ මේ දියණිය කලින් විවාහ වී සිට ඇති බව සඳහන් කරමින් ඒ හා සම්බන්ධ අවලාද, සරදම් සහ අපහාස නඟා තිබීමයි.

ඒ දැක මට තිබූ සිතුණේ ඇතැවිට ඒ අවලාද සරදම් ප්‍රකාශ කළ කාන්තාවන්ට ජැක්සන් ඇන්තනි දියණිය සම්බන්ධයෙන් යම්කිසි ඇරියස් තියෙනවා විය හැකි බවයි.

යමෙකු පෙම් සබඳතාවක් ඇතිකර ගන්නේ, විවාහ වෙන්නේ මද කලකට පසු ඉන් මිදී වෙනත් පෙම් සබඳතාවක් ඇතිකර ගැනීමට හෝ වෙනත් අයෙකු සමග විවාහ වීමට සැලසුම් කර නොවේ.

පෙම් සබඳතා කිහිපයක් යමෙකුට තිබුණා කියා හෝ යමෙකු කිහිප වරක් විවාහ වුණා කියා හෝ ඇසුණු විට අප කළ යුත්තේ ඔහු හෝ ඇය පිළිබඳව කෝපයට පත්වීම නොව ඔවුන්ට අනුකම්පා කිරීමයි.

ඒ බව දන්නේ පෙම් සබඳතාවයක් කැඩී දුක් විඳි අයෙකු පමණි. එසේම විවාහයක් කැඩීගිය අයෙකු පමණි.

මේ වන තම හතරවෙනි භාර්යාව සමග පවුල් කන අයෙකු ගැන මම දනිමි.

ඔහු පිළිබඳව මගේ අදහස නම් ඔහුට තම පළවෙනි භාර්යාව සමඟ දිගටම පවුල් සංස්ථාව පවත්වාගෙන යාමට හැකියාවක් තිබුණා නම් කිසිසේත්ම ඇගෙන් දික්කසාද වී, (කාලයක් තනිකඩව සිට,) පසුව වෙනත් අයකු හා විවාහ නොවන බවයි.

දෙවන විවාහය නම් ඔහු අතින් සිදු වූ වරදක් විය හැක. ටික කලකට පසු ඔහුට එම බිරිඳගෙන් වෙන්වීමට සිදුවිය.

තවත් කලකට පසු ඔහු විවාහ වූ නමුත් ඒ තුන්වෙනි විවාහය ද පැවැතියේ අවුරුදු කිහිපයක් පමණි. එයනම් ඉතා කණගාටුදායක කරුණකි.

කෙසේ වෙතත් එම විවාහය සාර්ථකව පවත්වාගෙන යාමට හැකිව්වානම් ඔහු සිව්වෙනි විවාහයක් ගැන කිසිසේත්ම නොසිතනු ඇතැයි යන්න මගේ අදහසයි.

ජැක්සන් ඇන්තනි ගැන මා දැන සිටිය ද, ඔහු සම්බන්ධ ලිපි කිහිපයක් (විස්තර පහත දී ඇත) ලියා තිබුණ ද, ඔහුගේ මේ දියණිය ගැන කිසිදු විස්තරයක් මම නොදනිමි.

නමුත් ඇය එක් විවාහයකට වඩා බැඳී ඇතිනම් ඒ ගැන ඇයට සරදම් කිරීම, අවලාද කීම, හෝ දෝෂාරෝපණය කිරීම නොහොබිනා කටයුත්තකි යන්න මගේ අදහසයි අවංක අදහසයි.

- රසික සූරියආරච්චි ප/ලි: ජැක්සන් ඇන්තනි හා (යාන්තමට හෝ) සම්බන්ධ වෙනත් මා ලියූ ලිපි.

1. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html


2. ජැක්සන් ඇන්තනි රඟ පෑ නාට්‍යයක් (චූට්ටක් විතර) කොපි කළෙමි - Rasika Suriyaarachchi, the dramatist, director and actor, confesses...!
https://rasikalogy.blogspot.com/2016/10/rasika-suriyaarachchi-dramatist.html


3. ජැක්සන් ඇන්තනි ගේ හිස්-ස්ටෝරිය! - Jackson Anthony is history!
https://rasikalogy.blogspot.com/2015/12/jackson-anthony-is-history.html


4. ඇඩ්‍රස් නැති වුණා යැයි කියවුණු රූපවාහිනී සාකච්ඡාවේ දී ජැක්සන් කළ පැහැදිලි කිරීමේ ඇත්ත නැත්ත - In defence of Jackson Anthony
https://rasikalogy.blogspot.com/2015/11/in-defence-of-jackson-anthony.html


5. සිංහල කලාකරුවන් පිරිසක් නලාකරුවන් වීම නිසා අපට ඇතිවෙන වාසි! - Artistes and Artists Vs Henchmen
https://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html


6. ජැක්සන් ඇන්තනිගේ අනතුර නිසා සිහියට ආ “අලි” අත්දැකීමක් - A near miss wild-elephant experience
https://rasikalogy.blogspot.com/2022/07/near-miss-wild-elephant-experience.html
(image: Created using Microsoft Designer)

6 comments:

  1. ලංකාවෙි ෆේස්බුක් ජනතාව අතර සමහරු ගැන නම් මටත් ඇත්තේ බරපතළ කලකිරීමකි. චීනයේ කොවිඩ් පැතිරුණු මුල් අවදියේ "ඕකුන්ට හොඳ වැඩේ" කියූ කාළකණ්ණි ගැන මට හොඳින්ම මතක ය.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ.

      ඒ දිනවලම ඕස්ට්‍රේලියාවේ ඔටු ගහණය පාලනයට සතුන් කොටසක් මරා දමන ප්‍රවෘ ත්තිය ඇසූ ලංකාවේ (බෞද්ධ යැයි මහා සම්මත පාසලක උගත් සහ රජයේ ගුරුවරයෙකු ලෙස සේවය කරන) අයෙකු පැමිණෙන සීත කාලයේ කෝවිඩ් වැළඳී ඕස්ට්‍රේලියානු ජාතිකයින් මදුරුවන් මෙන් මියැදේවා යැයි ප්‍රාර්ථනය කළා මට මතකයි.

      Delete
  2. ලංකාවෙ සුළු පිරිසකට තියෙනවා ඔය ප්‍රශ්නෙ. ප්‍රසිද්ධ පුද්ගලයො, ධනවතුන් හෝ සමාහජයේ ඉහල පිරිස් සමග ඒ අයට ඊර්ෂ්‍යාවක් තියෙනවා, ඉතින් ඒ නිසා මේ වගේ එකක් දැක්ක ගමන්, ඒ අය කරන්නෙ තමන්ගෙ ඇරියස් කවර් කරන එක.

    ReplyDelete
    Replies
    1. මෙතැන තියෙනේ ජැක්සන්ගේ දුව දෙවරක් විවාහ වීම ගැන ඇරියස් එකක් නේද?

      Delete
  3. මම ජැක්සන් ඇන්තනිට කැමතියි . රසිකගේ එතරම් කැමැත්තක් තිබුනේ නැහැ නේද රාජපක්ෂලාට කඩේ ගිය නිසා . මේ කතාවට එකඟයි . මාධවී ට ඒ විධිහේ අපහස කිරීම අනුමැත කරන්න බැහැ . හැබැයි ඒ ලේඛකයා පොලිසියට ලොකු කම් කීම නිසා මේ සිද්ධිය වුනාය කියා කියනවා . එහෙම නම් ඒකත් නිවැරදි නැහැ

    ReplyDelete
  4. පොලිසියේ හැසිරීම, කටයුතු වෙන විදිහ ගැන බහුතර මහජනයා ඉන්නෙ අපුලකින්. ගුරුවරුන්ට කලාප කාර්යාල වලින් ඇවිත් වැඩසටහන්, ඇගයීම් තියනව වගෙ පොලිසියටත් ඒ විදිහෙ ක්‍රමවේදයක් යොදන්න පුළුවන් නං පංකාදුයි. (තියෙනවාද නොදනී) ඔවුන්ගේ සුභසාදනය, මානසික සෞඛ්‍ය ගැන එහෙමත් අවධානය යොමු කරල විදිමත් ක්‍රමවේදයක්. ඒ අයත් වැඩකරන්නෙ සමාජ ප්‍රශ්න එක්කනෙ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.