Showing posts with label සත්‍යප්‍රසාද්. Show all posts
Showing posts with label සත්‍යප්‍රසාද්. Show all posts

Wednesday, 9 March 2022

ආස්මී රසිකයින් සහ ආස්මී නොවන රසිකයින් - Ask-me or not-ask-me 😛


ඊයේ මම ආස්මී නම් කෑම වර්ගය ගැන කෙටි සටහනක් ලියා ෆේස්බුක් එකේ පළ කළෙමි. මා මිත්‍ර සතින්ද්‍ර සත්‍යප්‍රසාද් (ඒ බව කෙලින් ම නොකියා) මගේ සටහනට පිළිතුරක් ලෙස පෙනෙන සටහනක් ලියා ෆේස්බුක් එකේ පළ කර තිබෙනු මම අද දුටිමි.

පහත පළවෙන්නේ ඒ සටහන් දෙකයි.

කැමති පරිදි කියවා (හෝ නොකියවා), ඔබ ආස්මී රසිකයෙකු ද, ආස්මී නොවන රසිකයෙකු ද කියා දන්වන්න.


ආස්මී නොවන රසිකයෙකුවන රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි මෙසේ කියයි.


ඊයේ උත්සවයකට ගිය විට එහි ලාංකික රසකැවිලි මේසයක් ද දක්නට ලැබුණු අතර එහි තිබූ ආස්මී නම් සාමාන්‍යයෙන් සිංහල අලුත් අවුරුදු කාලයට දක්නට ලැබෙන රස කැවිල්ල දැක සිතට ආ කරුණක් මෙසේ ලියමි.

ආස්මී යනු මගේ මතයට අනුව මේ ලොකේ ඇති මෙලෝ රහක් ම නැති රසකැවිල්ලයි. මෙයට රසකැවිල්ලක් යැයි ඇත්තටම කිව හැකි ද යන්න ද ප්‍රශ්නයකි.

සාමාන්‍යයෙන් රස කැවිල්ලක ඇති පැණි රස වුවද මෙහි ඇත්තේ ඔය උඩින් යන්තම් දවටන සීනිවලින් හෝ පැණියෙන් යොදන සැරසිල්ලේ පමණි. සුදු පැහැයෙන් යුතු කොටස නම් මොන මංගල්ලයක් සඳහාදැයි නොතේරේ.

මෙලෝ රහක් නැති වීම හැර ආස්මී නම් ඊනියා රස කැවිල්ලේ තවත් ප්‍රශ්නයක් ඇත.

එනම්, විශිෂ්ට රසකැවිලි වන කොණ්ඩ කැවුම් මුං කැවුම්, වැලිතලප, කිරි ටොපි වැනි රසකැවිලි මෙන් නොව ප්‍රමාණයෙන් ඉතා විශාල වීමයි. කොටින්ම ආස්මී එකක් සාමාන්‍ය පිඟානකින් අඩකි.

ආස්මිලා හිතාගෙන ඉන්නේ තමන් හැලප තරම් රසවත් යැයි කියා විය යුතුය.

එනිසා වර්ණ ගන්වා ඇති සැරසිල්ල ට රැවටී හෝ දිගු කලකින් දැක නැති නිසා හෝ ආස්මී එකක් අතට ගන්නා තැනැත්තා එක් කටක් කෑමෙන් පසු ඉතුරු කොටස අවසන් කරන්නේ කෙසේද කියා ඉතා විශාල ප්‍රශ්නයකට අනිවාර්යෙන්ම මුහුණ දීමට නියමිත ය.

එවැනි අවස්ථාවක ඔබ ලග හිටිය හොත් බාගයක් ඕනෙද කියා ඔබෙන් ඇසීමට ද නියමිතය. ඊයෙ මට ද එම පැනය අල්ලපු පුටුවෙන් ලැබුණි. අපි අහුවෙයි ඕවට...!!!

ආස්මී සම්බන්ධයෙන් මගේ යෝජනාව මෙයයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ආස්මි එකක ප්‍රමාණය කොණ්ඩ කැවුමක් තරමට කුඩා කරන්න.

(ඡායාරූපය සොයාගත්තේ "සුදු" නම් ෆේස්බුක් පිටුවෙනි)
  ආස්මී රසිකයෙකුවන ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් මෙසේ කියයි.


රසකැවිලි මේසයේ මගේ ප්‍රියතම රසකැවිල්ල - ආස්මී

මේ සටහන ලියන්නට මෙතෙක් පමා වුණේ ආස්මී එකක් කන ගමන්ම, එහි පින්තූරයක්ද සහිතව, එසේ කිරීම මගේ අදහස වූ නිසයි. පින්තූරයේ ඇති රසකැවිල්ල සාම්ප්‍රදායික අර්ධ-වෘත්තාකාර හැඩයෙන් වෙනස්ව, තරමක් කැඩී, ඇත්තේ මන්දැයි මා නොකිව්වාට අනෙක් ආස්මී රසිකයෝ (ආස්මී නොවන "රසික"යෝත් සිටිත්!) දන්නවා ඇති. 😛

ආස්මී යනු කෙසෙල්ගෙඩි ළඟට අවුරුදු කැවිලි මේසයේ ඇති වඩාත්ම සෞඛ්‍ය හිතකාමී රසකැවිල්ලයි. ප්‍රමාණයෙන් විශාලව පෙනුණත් ආස්මී එකක් සාමාන්‍යයෙන් කැවුමකට, මුං කැවුමකට වඩා එහෙමට බරින් වැඩි නැත. ඒත් අන් සියලු අවුරුදු කැවිලිවලට වඩා සීනි, පිටි සහ තෙල් අඩුවෙන්ම අඩංගු ආස්මී වලයි.

නමුත් මට ආස්මී වැදගත් වන්නේ එහි මිහිරි රස නිසායි. අනෙක් කැවිල්ලක් දතින් හැපෙනවිට දැනන තෙල් රසට වඩා ආස්මී වල මෘදු රැල් සහිත ස්වභාවයට, හැපෙන විට දැනෙන සිහින් ක්‍රිස්පියට, තැනින් තැන රැඳුන පැණි රසට මම බෙහෙවින් ප්‍රිය කරමි. ආස්මී වැඩි කාලයක් තබා ගත හැකි අතර කිසි විටෙක මුඩු තෙල් සුවඳ හමන තත්ත්වයට පත් නොවේ.

ආස්මී වල ලොකුම වරද නම් හැමදෙනාටම හොඳ ආස්මී හදන්නට නුපුළුවන් වීමයි. එසේම බොහෝ දෙනා ආස්මී සාදන්නට නොදැන සිටීමයි. වෙළඳපොළේ ඇති සමහර නීරස ආස්මී මෙන් නොව දවුල් කුරුඳු හා පිටි මැනැවින් යොදා ගෙදරදී සාදාගත් ආස්මී වරක් කන්නට ලැබුණොත් හොය හොයා කන්නට සිතේ.

අවුරුදු තේ මේසයකට වාඩිවන මා ආස්මී තිබුණොත් අන් යමක් කන්නේම නැත. "ලයිට්වට යමක් කන්නට" හිතුණොත් ඒත් කරන්නේ එයමයි.

මා කිසිම විටෙක ආස්මී එකක් දෙකට කඩා බාගයක් පමණක් කා නැත. කලාතුරකින් දිනෙක එසේ කා ඇත්නම් ඒ මගේ ආස්මී එකට අමතරව යාබද අසුනේ සිටි අයෙකුගේ ආස්මී එකකින් අඩකි!

ආස්මී සැපයුමේ ස්තුතිය Keshara Nedungamuwa සහ පවුලේ සැමදෙනාට.


දැන් මෙන්න කලින් ඇසූ ප්‍රශ්නය නැවතත්.

ඔබ ආස්මී රසිකයෙකු ද, නැතිනම්, ආස්මී නොවන රසිකයෙකු ද?

-රසික සූරියආරච්චි

Saturday, 27 December 2014

අස්වාභාවික ලිංගික සතුටක් ලබන සිංහල "මනපහතෙක්" ගැන කතාවක් - Story of an evil mind


ජාතිවාදය ඔඩු දුවා තිබූ කාලයේ කෙසේ වෙතත්, විසි එක්වෙනි සියවසේත් අවුරුදු දාහතරක් ගෙවී යන අද වැනි කාලයක මා මේ ඔබට කියන්නට යන ආකාරයේ කතාවක් අසන්නට, දකින්නට ලැබේ යැයි මම මොහොතකටවත් අපේක්‍ෂා නොකළෙමි.

කෙසේ වෙතත්, දැන් ඉතිං කළ යුත්තේ මා ලැබූ තිගැස්ම මදකට සමනය කරගෙන ඒ ගැන ඔබට කීමයි.

ඊට පෙර, මීට දශක දෙකකට ඉහත කාලයක සිදු වූ අතීත කතාවක් කියන්නට අවශ්‍යයයි.

මා ඒ දිනවල සේවය කළේ ලංකාවේ රාජ්‍ය සංස්ථාවකය. කොළඹින් බැහැර පිහිටා තිබූ සංස්ථා භුමියේ සේවක නිවාස රාශියක් ද ඉඳිකර තිබුණි. අවිවාහක නිලධාරීන් සඳහා වූ කාමර පේලියක මම ද, මා සමග සේවයට බැඳුණු මිතුරන් කීප දෙනෙකු ද නතර වී සිටියෙමු. අපට වඩා වසර පහලොවක් පමණ වැඩිමහල් අවිවාහක නිලධාරියෙක් ද එහි කාමරයක නතර වී සිටියේ ය.

එක් දිනක් සවස් යාමයේ අප කීප දෙනෙකු තේ වතුර බොමින් කතා බහක යෙදී සිටින අතරතුර පෙර කී වැඩිමහල් නිලධාරියා අපේ සංස්ථාවේ සේවය කළ එක් දෙමල නිලධාරියෙකු ගැන මෙසේ පැවසීය.

"සිවරාජා දෙමල වුනත් හොඳ මනුස්සයා!"

ඔහු ගේ අනුවණකම පෙන්නුම් කළ ඒ අප්‍රසන්න ප්‍රකාශය ගැන මගේ කණගාටුව පෙන්වමින් මම මෙසේ කීවෙමි.

"මොකක්ද සිරිපාල ඒ මෝඩ කතාව? ලෝකේ හොඳ මිනිස්සු ඉන්නවා, නරක මිනිස්සු ඉන්නවා. ඊලඟට, සිංහල මිනිස්සු ඉන්නවා, දෙමල මිනිස්සු ඉන්නවා. ඉතිං සිංහල මිනිස්සු අතර හොඳ අයත් ඉන්නවා, නරක අයත් ඉන්නවා වගේ, දෙමල මිනිස්සු අතරත් ඒ දෙකොටසම ඉන්නවා නේද?"

තම වරද වැටහුණු සිරිපාල කටවහ ගත්තේය.

ඇත්තටම, තේවතුරවල සැර නිසා දෝ, ඔහුට සිදුවී තිබුණේ, පොඩි වචන ටැපලීමකි. සිරිපාල අදහස් කළේ, සිවරාජා හොඳ දෙමල මිනිහෙක් කියන්නටයි.

දැන් මෙන්න වසර දශක දෙකහමාරකට පසු අද දිනයේ මා තිගැස්සූ සිදුවීම විස්තර සහිතව.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය අයි. එම්. එස්. සත්‍යප්‍රසාද් විසින් ලංකාවේ ජනාධිපති ඡන්දය හා සම්බන්ධව ෆේස්බුක් හරහා කරන ලද දේශපාලන ප්‍රකාශ කිහිපයක් මා මින් දින කිහිපයක්ට පෙර රසිකොලොජි බ්ලොගය හරහා පළ කළෙමි.

එයට ප්‍රතිචාරයක් ලෙස ජගත් පතිරණ නමැත්තෙක් මෙලෙස පවසා තිබුණි.
මට දෙමළ යාලුවෙක් හිටිය මිනිහට පඩයක් ගියාම සැන් කුප්පියක් බින්ද වගේ පලාතම සුවඳයි මොකද ඒක දෙමළ පඩයක්නේ

ඒ වගේම දෙමෙල්ලු කියන්නේ දෙවිවරු උන්ගේ වාක්ය දේවවාක්ය අපි ඒවා සාධුකාර දී පිලිගත යුතුයි

මට එක ප්‍රශ්ණයක් තියෙනවා ඔය පුද්ගලයා ඉස්සර මහින්දට චන්දෙ දුන්න කෙනෙක්ද නැත්නම් හැමදාම මහින්දගේ වැරදිම හොයපු කෙනෙක්ද?
මහ කළු සිංහලයා නම් අන්වර්ථනාමයකින් ධන ලකුණු විශාල සංඛ්‍යාවක් යොදා ඒ ප්‍රතිචාරය අනුමත කර තිබුණි.

ජගත් පතිරණ ගේ ප්‍රතිචාරයේ තිබුණු දෙමළ කතාව මට එක්වරම නොතේරුණු නිසා මම පහත ආකාරයට පිළිතුරක් දුනිමි.
මොකක්ද මේ දෙමල කතාව?

සත්‍යප්‍රසාද් ඡන්දේ දුන්නේ කාටද කියන එක ඔහු ගෙන් අසා දැන ගන්න! අදාල විස්තර උඩ ඇත.
මෙන්න එයට ජගත් පතිරණ නම් උග්‍ර ජාතිවාදියා විසින් එවා තිබුණු මා තිගැස්සූ ප්‍රතිචාරය.
මහත්මයා, ඔය දෙමළ මිනිස්සු කියන්නේ සිංහලයන්ගේ වැරදි හොයමින් සිංහලයන්ට අපහාස කිරීමෙන් "අස්වාභාවික ලිංගික සතුටක්" ලබන පිරිසක් ඔයාගේ යාලුවත් එහෙම අස්වාභාවික බුවෙක් වෙන්න ඇති.
මා එලෙස තිගැස්සුනේ අද මේ කාලයේත් මේ ආකාරයේ උග්‍ර ජාතිවාදී අදහස් දරමින් ඒවා එලිපිට ප්‍රකාශ කරන අය අප අතර ඉන්නා නිසාය.

අහෝ, මෙවැනි ජීවිත!

මම මෙලෙස ඔහුට ප්‍රති-ප්‍රතිචාර දැක්වූයෙමි.
මා මහත්තයෙකු වීම කෙසේ වෙතත් ඔබ නම් අති ජාතිවාදියෙකු බව පෙනේ.

ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් නම් මගේ මිතුරාට දෙමල ජාතිකයෙකු යැයි කීම සරල වැරදි උපකල්පනයක් යැයි මදකට අමතක කරමු.

දෙමල ජාතිකයින් ගැන ඔබ කර ඇති ප්රකාශය නම් අතිශය බියකරු එකකි.

දැන් ඔබ සිහලයෙක් නිසා, ඔබ මේ කර ඇති අති ජාතිවාදී ප්රකාශය සෑම සිංහල ජාතිකයෙකුටම සාධාරණීකරණය කර ඔබ මෙයින් ලබන්නට ඇතැයි යම් අයෙකුට උපකල්පනය කළ හැකි "අස්වාභාවික ලිංගික සතුටක්" වෙතොත් එය මූලුූ සිංහල ජනතාව ගැනම චෝදනාවක් ලෙස ඉදිරිපත් කළ හැකිද?

මේ පවින් මිදී, ඔබට ලබන ආත්මයේ දී වත් හොඳ ජීවිතයක් ලැබේවා යැයි පතමි!
මේ ජගත් පතිරණ යනු කවුදැයි වැඩි විස්තරයක් නොදන්නෙමි. නමුත් අද මා සතුටුවන එක කාරණයක් ද ඇත.

එය නම්, ඔහු ගේ ඉහත ප්‍රතිචාරය නිසාවෙන්, මා මේ ලිපියේ මාතෘකාවට යොදා ගෙන ඇති "මනපහතයා" යන වචනය නිර්මාණය කරගන්නට මට ඉඩකඩ ලැබීමයි.

"මනපහතයා" යනු මනුස්සයා යන්නේ විරුද්ධ පදයයි!

-රසිකොලොජිස්ට්

(http://www.farmlanebooks.co.uk/2010/evil-in-fiction-guest-post-by-pauline-melville/)

Wednesday, 24 December 2014

සත්‍යප්‍රසාද් ගේ සත්‍ය ප්‍රකාශ - Political statements by Dr. I.M.S. Sathayaprasad


පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන සත්‍යප්‍රසාද් මගේ හොඳ මිතුරෙකි.

මෙය අහම්බයෙන් ඇරඹුණු අමුතුම ආකාරයේ මිතුරු කමකි.

මා ඔහුව මුලින් ම දැක හැඳින කතා බහ කළේ පුංචි බොරැල්ලේ චාරිකා ලර්නර්ස් ආයතයේ බංකුවක ඉඳගෙන මෝටර් රථයක් පැදවීමට වාරය එනතුරු බලා සිටි විනාඩි පහක පමණ කාලයක දී ය.

මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිධරයෙකු වන සත්‍යප්‍රසාද් සහ මට පොදු යහළුවන් කීප දෙනෙකු ම සිටින නිසාදෝ, එදා ඒ අහඹු කෙටි හමුවීම, ඉන් වසර පහලොවකට පසු ෆේස්බුක් හරහා නැවත හමුවී හිතවත්කමක් ඇති කරගන්නට තරම් ප්‍රභල ලෙසින්, අප දෙදෙනා ගේ ම මතකයේ රැඳී තිබුණි.

ඒ මුල් හමුවීමෙන් පසු, මා ඔහු හමුවී තරමක හෝ කතා බහක යෙදී ඇත්තේ පසුගිය අප්‍රියෙල් මාසයේ එක් දිනයක දී පමණක් වුවද, ෆේස්බුක් තුලින් නම් මට ඔහුව නිතර හමුවෙයි.

දේශපාලන වශයෙන් තරමක හෝ සංවේදී මනසක් ඇති ඕනෑම අයෙකු කරන්නාත් මෙන් සත්‍යා ද, අද ලංකාවේ දේශපාලන වටපිටාව ගැන තමන් ගේ අදහස් ෆේස්බුක් ගිනුමේ සටහන් කරයි.

අද මා රසිකොලොජිය කියවන අය අතර බෙදාගන්නට සිතුවේ සත්‍යප්‍රසාද් විසින් නොබෝදා ලියන ලද ප්‍රධාන ප්‍රකාශන තුනකි.


මා මහින්ද රාජපක්ෂ පලවා හරින්නට කැප වන්නේ ඇයි? - 1

අද සිට මහින්ද රාජපක්ෂ ජනපති පදවියෙන් පහ කළ යුතු වන්නේ ඇයි දැයි යන්න හේතුවෙන් හේතුව සඳහන් කරන්නට මම කැමැත්තෙමි. සමහරවිට ජනපතිවරණය ආසන්න වනවිට මෙසේ අදහස් දැක්වීමට මට ඉතිරි වී ඇති එකම මාධ්‍යය වන වත් පොත ද ඒ සඳහා භාවිතා කරන්නට හැකිවේදැයි සාධාරණ සැකයක් අප බොහෝ දෙනෙකුට ඇති හෙයින් කලින් ම මගේ අදහස් දැක්වීම පටන් ගැනීම සුදුසු යැයි මම සිතමි.

මගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් දැනටම දන්නා පරිදි මා රැකියාවක් ලෙස කරන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාව ඉගැන්වීමයි. මේ නිසා මුලින් ම මගේ වෘත්තිය සහ රැකියාවට, එනම් සිවිල් ඉංජිනේරු වෘත්තියට සහ විශ්ව විද්‍යාල අධ්‍යයන ක්ෂෙත්‍රයට බලපාන ගැටලු කිහිපයක් ගැන කතා කරන්නට කැමැත්තෙමි.

රාජ්‍ය දේපල බලයේ සිටින දේශපාලකයන් විසින් සිය මැතිවරණ ව්‍යාපාර සඳහා යොදා ගැනීම සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් අපට තිබේ. කවදා මේ තිරිසන් සිරිත ඇරඹුණේ දැයි මා පැහැදිලිව නොදන්නා නමුත් ඒ 1970 දශකයෙන් පසුව විය යුතුයැයි සිතමි. එසේ වුවත් මෑතක් වනතුරු ඒවා හොරෙන් සිදු කරන ලද හුදෙකලා සිද්ධීන් කිහිපයකට පමණක් සීමා විය. බොහෝ විට මේවා සිදු කෙරුණේ ලංගම වැනි ආයතන වල සේවක වෘත්තීය සමිති හරහාය.

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂෙත්‍රයට සමීපව මා කටයුතු කර ඇති දශක තුනකට ආසන්න කාලය තුළ කිසිවිටෙක ඉංජිනේරුවන් වෙත පාලනාධිකාරය විසින් එළිපිට මැතිවරණ කටයුතු වල නිරත වන ලෙස නියෝග කර තිබෙන බවක් මා අසා නැත. මෑතක දී අන්තර්ජාලය හරහා සංසරණය වූ එක් වීඩියෝවක දැක් වුණු මාර්ග සංවර්ධන අධිකාරයේ සේවකයකු පෝස්ටර් අලවමින් සිටින දර්ශනය මා දුටුමුත් එය කිසියම් දේශපාලන හිතවාදී සේවකයකු ගේ ක්‍රියාවක් පමණක් විය යුතු යැයි මම සිතා සිටියෙමි. එහෙත් අද මට දැනගන්නට ලැබුණු පරිදි මාර්ග සංවර්ධන අධිකාරියේ සියලු විධායක ඉංජිනේරුවන් වෙත පෝස්ටර් 60,000 බැගින් යවා ඒවා ඇලවීමට නියෝග කර තිබෙන බවත් තවමත් වෘත්තීය සදාචාරයක් ඉතිරිවී ඇති අධිකාරියේ ඉංජිනේරු වෘත්තීය සමිතිය ඒ ගැන මැතිවරණ කොමසාරිස් වරයාට පැමිණිලි කර තිබෙන බවත් තමාගේ වෘත්තියට අදාළ නොවන කටයුතු වලින් බැහැර වන ලෙස ස්වකීය සාමාජිකත්වයට දන්වා තිබෙන බවත් දැනගතිමි. (මේ ලිපියේ පිටපතක් මා සතුව තිබෙන නමුත් එය මේ සමග දැක්වීමට ඉදිරිපත් නොවෙමි.)

ජේ ආර් ගේ සිට චන්ද්‍රිකා දක්වා කිසිම ජනපති වරයකු විසින් නොකළ පරිදි නිර්ලජ්ජිත ලෙස රාජ්‍ය සේවයට ඇඟිලි ගැසීමට සහ රාජ්‍ය දේපල පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීමට මහින්ද රාජපක්ෂ විසින් ක්‍රියා කර ඇත්තේ මේ ආකාරයෙනි. මේ කරුණ පමණක් වුව ඔහුගේ අපේක්ෂකත්වය පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කිරීමට මට සෑහේ.

දශක සතකට ආසන්න කාලයකට පෙර මෙරට ජනතාව දිනාගත් නිදහස් අධ්‍යාපන අයිතිය නොවන්නට අද මා'තින් මේ ලිපිය නොලියැවෙන්නට බොහෝ ඉඩ තිබිණ. ගතවූ කාලය තුළ මෙරට ජනතාව තුළ ඉහළ විශ්වාසයක් තැබුණු රාජ්‍ය ආයතන අතර අධිකරණය, මැතිවරණ දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව ආදිය සමග විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ද විය. සරසවි පිවිසුම නම් දේශපාලන අතපෙවීම් වලින් නිදහස් තැනෙකැ'යි අපි සිතා සිටියෙමු. මින් පෙර පැවැති කිසිම රජයක් සරසවි පිවිසුම් තෝරාගැනීමේ ක්‍රියාවලියට අත පෙවීමට බිය විය.

මෑතකදී නාමල් රාජපක්ෂ විසින් එක් අපේක්ෂිකාවකට 'සානුකම්පික ලෙස සලකා' විශ්ව විද්‍යාල පිවිසුමට වරම් ලබා දෙන ලෙස ඉල්ලා උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ අනුමැතිය ඇතිව කෙරුණු ඉල්ලීමකට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් රුහුණු විශ්ව විද්‍යාලයයට යැවුණු ලිපියක් අපට දැක ගන්නට ලැබිණි. සරසවි අයදුම් කරුවන්ගේ 'සානුකම්පික ඉල්ලීම්' සලකා බැලීමට විනිවිද පෙනෙන ක්‍රමවේදයක් කොමිසමට තිබේ. ඒ ගැන නාමල් රාජපක්ෂ හෝ වෙන කිසියම්ම අයෙකුගේ රෙකමදාරුවක් අවශ්‍ය නොවේ. මේ රටේ රාජ්‍ය සේවයේ සාමාන්‍ය විනය සහ සදාචාරය මේ තරමට පිරිහුණු කාලයක් තවත් නම් නොවීය.

ජීවිතයේ ඉතිරි ටික කාලයත් මෙරටම ගතකරන්නට ඉටාගෙන සිටින අපට මේ රට සදාචාරයෙන් සහ විනයෙන් යුතු තැනක් කරන්නට දැඩි උවමනාවක් ඇත. දූෂණයෙන්, බලය අනිසි ලෙස යෙදවීමෙන් පිරුණු මේ ගමන නවත්වන්නේ නැතිව එය කළ නොහැකිය. අලුතෙන් එන රජයක් හදා ගන්නට පෙර මේ ජනධිපතිවරයා ගෙදර යැවිය යුතුය. අනෙක් පාර්ශ්වයන් ගැන වග කියන්නේ කෙසේද යන්න මම පසුව පැහැදිලි කරන්නට කැමැත්තෙමි.

මෙවර ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදවීමට මට කළ හැකි සියලු දේ මම කරමි.


මා මහින්ද රාජපක්ෂ පලවා හරින්නට කැප වන්නේ ඇයි? - 2

මීට කීප දිනකට පෙර පුරවැසි බලය වෙනුවෙන් ධර්මසිරි බණ්ඩාරනායක අදහස් දැක්වූ කෙටි වීඩියෝ පටය ඔබ බොහෝදෙනෙක් දකින්නට ඇත. එහිදී ඔහු සඳහන් කල මෑතකදී පාසල් සිසුන් රැසක් ඉදිරියේ 'ධවල භීෂණ' රඟ දැක් වූ අවස්ථාවක ඇති වූ සිද්ධිය මගේ හිත කීරි ගස්සන්ට සමත් විය. යුද ජයග්‍රහණ, අති විශාල යටිතල පහසුකම් සංවර්ධනය ආදියේ අවසන ජාතියක් හැටියට අප අත් පත් කරගෙන ඇති සමාජමය දියුණුව මේ උදාහරණයෙන් හොඳ හැටි නිරූපණය කෙරේ. උඩින් හුදු ජාති වාත්සල්‍යය සේ හැඟවෙන, එ නමුත් එහි සෙවනැල්ලට මුවා වී ඉස්මතු කෙරෙන, එකෙක් පාගා අනෙකා ඉස්මතුවීමේ මහ ජාතියේ අධිපති වාදය (සහ ඊට සුළු ජාතියේ ප්‍රතිචාරය) ද, සදාචාර වර්ධනය වෙනුවට අන්ධ ලෙස ආගම් ඇදහීමද ආදී වශයෙන් තමන් විසින් තමන් ම රවටා ගැනීමේ පුහු ආකල්ප ද නිසා අද අප නතරවී ඇති තැන මෙතැනයි.

මෙහි කූට ප්‍රාප්තිය නම් තමාට, තම ඇමති මණ්ඩලයට හෝ තම රජයට කිසියම්ම හෝ විනයක් ඇතැයි තමන් කරන කියන දෙයින් පෙන්නුම් නොකරණ පර්සි මහේන්ද්‍ර ජනාධිපතිවරයා මෑතක දී තම මැතිවරණ වේදිකාවක දී ජනතාවට විනයක් ඇතිව වැඩ කළ යුතු බවට, ඇඳුම් ද ඇඳගෙනම, ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට යෙදීමයි.

දූෂණය, බලය අනිසි ලෙස යෙදවීම, අනිසි පක්ෂපාතිත්වය ආදිය සිදු වූ පලමු ආණ්ඩුව පර්සි මහේන්ද්‍ර රජය නොවේ. එහෙත් මෙතරම් විවෘතව, නිදහසේ, මේ සා විසල් පරිමාණයෙන්, මේ සිදුවනු අපි මීට පෙර දැක නැත්තෙමු. මෙතෙක් කල් බොහෝ විට ඒවා සීමා වූයේ මූල්‍යමය වංචා සහ හිත මිතුරන්ට කෙරුණු පක්ෂග්‍රාහී අනුග්‍රහය දැක්වීම් වලට පමණි. එහෙත් අවකල් ක්‍රියාවන් ලෙස සමාජයේ සම්මත ස්ත්‍රී දූෂණ, මිනී මැරීම්, මත් ද්‍රව්‍ය ජාවාරම් ආදිය රජයේ මැති ඇමතින් විසින් කරනු ලැබීමත් පාලනාධිකාරය විසින් ඒවා නෑසූ කන් ව සිටීමට අමතරව සමහර අවස්ථාවන්හි දී ඒවා සාධාරණීකරණය කිරීමත් පොලිසිය සහ අධිකරණය විසින් ඒ සම්බන්ධ පැමිණිළි විභාග කිරීම ප්‍රමාද කිරීම, අතපසු කිරීම හා මුළුමනින් ම අත් හැර දැමීමත් නම් පසු ගිය දශකය තුළ ඇතිවූ ප්‍රවණතාවයන් ය.

මේ නිසා බලය ඇත්තෙකුට අපරාධ කිරීම සාමාන්‍ය දෙයකැ'යි ද, (යුද්ධය දිනූ නිසා හෝ 'දේශප්‍රේමී' රජයට සහයෝගය දක්වන නිසා) එසේ කිරීමට ඔවුනට අයිතියක් ඇතැ'යි ද කිසියම් අපරාධකරුවකුට බලය ඇති පුද්ගලයකු ලවා තමාට ඇති චෝදනා අහෝසි කරවා ගත හැකැ'යි ද, එවන් අපරාධ අබියස නීතිගරුක රට වැසියකුට කළ හැක්කේ මුනිවත රැකීම පමණකැ'යිද කියා සිතන සමාජයක් අද ඇතිවී ඇත. මෙය විශේෂිත තත්ත්වයක් නොව සාමාන්‍යය බවත් අපට ඒත්තු ගන්වා තිබේ. මෙවන් සමාජයක් අපවෙත උරුම කර දීමේ තනි වගකීම භාරගත යුත්තේ මර්වින් සිල්වාගේ මැර ක්‍රියා, සාරුවා සුනිල් ගේ ස්ත්‍රී දූෂණ, උසාවියෙන් වරෙන්තු ලබා සිටින සුධර්මන් රදලියගොඩ අත් අඩංගුවට පත් නොවී අරලිය ගහ මන්දිරයේ රැස්වීම් වලට සහභාගි වීම ආදිය කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන ඉවසා බලා සිටින පර්සි මහේන්ද්‍ර නම් තනි පුද්ගලයාය.

අද වන විට මේ 'සදාචාර සංවර්ධනයේ' ඵල පාර්ලිමේන්තුව, පලාත් සභා, ප්‍රාදේශීය සභා විනිවිද පොදු මහජනතාවගේ සාමාන්‍ය ජීවිතය තෙක් විහිදී ඇත. ධර්මසිරිගේ නාට්‍යය අතරමැද 'රිදුණද?' කියා අසන පාසැල් දරුවා බිහිවන්නේ මෙසේ පාදඩ කරණය, පාහරකරණය කරනු ලැබූ සමාජයෙනි. ඒ පාප කර්මයේ පළමු වග උත්තරකරුවා වන්නේ පර්සි මහේන්ද්‍රයි. විනය යනු සමාජයක ඉහළ තැනින් පටන් ගෙන ආදර්ශයෙන් පහළ ස්ථර වෙත පැතිරවිය යුත්තකි. අද සිදුවන්නේ ජනපති කකුළුවා හරහට යන ගමන් සමාජය කෙළින් යවන්නට තැත් කිරීමයි. එද සමාජයට ඇති ආදරයකින් නොව සිය කටයුතු පහසු කර ගැනීමට පමණක් ම බව වටහා නොගන්නට තරම් අපි බයියන් නොවෙමු.

ජීවිතයේ ඉතිරි ටික කාලයත් මෙරටම ගතකරන්නට ඉටාගෙන සිටින අපට මේ රට සදාචාරයෙන් සහ විනයෙන් යුතු තැනක් කරන්නට දැඩි උවමනාවක් ඇත. ඔඩු දුවන පිළිලයක් සේ, අඬු විහිදාගත් බූවල්ලකු සේ, මුළු මහත් සමාජ දේහය වසාගෙන ඉහළ සිට පහළට පැතිර පවත්නා අවිනීත බව, නොමිනිස් බව හා සදාචාරයෙන් තොර බව මුලිනු'පුටා නොදමාඑය කළ නොහැකිය. අලුතෙන් එන රජයක් හදා ගන්නට පෙර මේ ජනධිපතිවරයා ගෙදර යැවිය යුතුය. අනෙක් පාර්ශ්වයන් ගැන වග කියන්නේ කෙසේද යන්න මම පසුව පැහැදිලි කරන්නට කැමැත්තෙමි.

මෙවර ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදවීමට මට කළ හැකි සියලු දේ මම කරමි.


මා මහින්ද රාජපක්ෂ පලවා හරින්නට කැප වන්නේ ඇයි? - 3

මේ දිනවල දේශපාලන වේදිකාවෙන් පොදු අපේක්ෂක මෛත්‍රී ගේ අතීත දූෂණ, වංචා සහ බලය අනිසි ලෙස යෙදවීම් ගැන අසන්නට ලැබේ. ඒ එක්කම මෙය පුද්ගලයින් දෙදෙනෙකු අතර සටනක් බවට ඌණනය වී තිබෙනු ද දකින්නට ලැබේ.

අද මෙරට ඇතිවී තිබෙන සමාජමය ගරාවැටීම, නීතිය පිළිබඳ සමාජයේ විශ්වාසය බිඳීයාම, රාජ්‍ය දේපළ ගසා කෑම සාමාන්‍ය කරණය වීම ආදිය පාලකයාගේ පුද්ගල ස්වභාවයට පමණක් ලඝු කිරීමක් කිසියම්ම හෝ සමාජාවබෝධයක් ඇත්තෙකුගෙන් මම බලාපොරොත්තු නොවෙමි. පශ්චාත් 77 යුගයේ දී ජනාධිපති වරයා යන තනි පුද්ගලයා මත පිරිනමනු ලැබූ අධික බල සංකේන්ද්‍රණය විසින් බලය අයුතු ලෙස යෙදවීම වෙත ආකර්ශකයක් (temptation) සැපයුණා. මෙය ජේ. ආර්. ගෙන් පසුව අඩු වැඩි වශයෙන් එක් එක් ජනපති වරයා/ වරිය විසින් අවභාවිත වුවත්, කෘත්‍රිම ලෙස ඇති කරගත් 2/3 ව්‍යවස්ථාදායක බලයත් සමග, අධිකරණයත් තම අණසක යටතේ පවත්වාගෙන, ව්‍යවස්ථාවෙන් ජනපති වරයා වෙත පමුණුවා තිබුණු වාර ගණනේ සීමාවත් ඉවත්කර ගෙන මේ බල සංකේන්ද්‍රණය අතිශය අනර්ථකාරී මට්ටමකට ගෙන ආවේ රාජපක්ෂ විසිනුයි. මෙහිදී පුද්ගල සාධක බල නොපාන බව නොවේ මා කියන්නේ, මෙකී බලය අවභාවිතාව රාජපක්ෂගේ ම වරදක් නොවන බවයි. එනම්, රාජපක්ෂ හෝ මෛත්‍රිපාල යන පුද්ගලයින් දෙදෙනාගේ ගුණ දොස් විවේචනය නිශ්ඵල බවයි.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා මතු වන්නේ මේ සන්දර්භය තුළයි. මෙතැන දී අවධානය යොමු වන්නේ රාජපක්ෂ නම් පුද්ගලයා නොව රාජපක්ෂ නියෝජනය කරන ක්‍රමය වෙනස් කිරීමයි. රාජපක්ෂ විසින් මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුවීම බලාපොරොත්තු විය නොහැකි වන්නේ ඔහුගේ වත්මන් පැවතීම තීරණය වන්නේත් ඒ සාධක මත නිසායි. මෙහිදී පොදු අපේක්ෂකයාගේ පුද්ගල සාධක ඉස්මතු කරගෙන ඉදිරියට එන්නේ ඔහුට වැඩි ඡන්ද ප්‍රමාණයක් ආකර්ශණය කර ගැනීමේ ශක්‍ය තාවයි. එහිදී පොදු විපක්ෂයේ තේරීම වන මෛත්‍රීපාල නිවැරදි තේරීමක් බව මා සිතනවා.

ඊළඟට වැදගත් වන්නේ මෛත්‍රීපාල හරහා මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර ගන්නේ කෙසේද යන්නයි.

මෛත්‍රීපාල උපදින්නේ ම පොදු වැඩසටහන තුළිනි. ඔහු පොදු වැඩ සටහනේ නිර්මිතයක් මිස පොදු වැඩ සටහන ඔහුගේ නිර්මිතයක් නොවේ. මෛත්‍රීපාල දිනුවොත් ඔහුට අවශ්‍ය වන පාර්ලිමේන්තු බලය එක් කර ගැනීමට මේ වැඩ සටහන මෙහෙයවන අනෙක් පක්ෂ වල සහය අවශ්‍යය. මෛත්‍රීපාල ගේ ඡන්ද ව්‍යාපාරයේ මූලිකම ඉල්ලීම ව්‍යවස්ථා වෙනසම නිසා එයින් පළා යාමට කිසිවකුට නොහැකිය. දින සියය වැඩ සටහන යනු ඉතා කෙටි කාලීන සහ නිශ්චිත අරමුණු කිහිපයක් සහිත වැඩ සටහනකි. එහි ප්‍රගතිය ජනතාවට මාස තුනක් තුළ දැකිය හැකිය. ඒ අනුව ඒ එක්කම එන මහමැතිවරණයට පෙර දින සියය වැඩ සටහනේ සාධනීය ප්‍රතිඵලයක් නැතිව ඔවුනට මහ මැතිවරණයට මුහුණ දිය නොහැකිය. මේ අනුව මේ යෝජනාව තුළ ජනතාවට සැපයෙන ආරක්ෂාවක්, සහතික කිරීමක් ඇත. කෙසේ වුවත් ඇතිවන තත්ත්වය දැනට වඩා ජනතා හිතවාදී බව පැහැදිලිය.

මෛත්‍රීපාල ගේ දූෂණ, වංචා ලෙස මේ දක්වා තිබෙන්නේ වෙස්ට්මිනිස්ටර් යුගයේ දකින්නට ලැබුණු වංචාය. (මෙය නිවැරදි බවක් මින් අදහස් නොකෙරේ). මේ එකක්වත් අඩු ගණනේ රාජපක්ෂ මුලින් තේරී පත් වුණු අවධියේ ඔහුට විරුද්ධව තිබුණු 'හෙල්පින් හම්බන්තොට' තරම් වත් ඒවා නොවේ.

මෙරට දේශපාලනය තුළ (හෝ වෙනත් කිසියම්ම රටක දේශපාලකයින් අතර) දූෂණයෙන් තොර දේශපාලකයින් සිටියේ හෝ සිටින්නේ නැත. මේ තත්ත්වය තුළ අප විසින් 'අඩු නරක' තෝරා ගැනීම හැර වෙන විකල්පයක් නැත. මිනිසුන් සුදු හෝ කළු ලෙස විග්‍රහ කිරීමේ ක්‍රමය කෙතරම් අප්‍රායෝගිකද යන්න අප දැන ගත යුතුය. අපට සංසන්දනය කළ යුතුව ඇත්තේ අළු මිනිසුන් ය. එ නිසා මෙවර ජනපතිවරණයේ සැබෑ අරමුණ වන්නේ මෛත්‍රී නම් වූ මිනිසා බලයට ගෙන ඒම නොව මහින්ද රාජපක්ෂ විසින් නියෝජනය කරණු ලබන විෂම පාලන ක්‍රමය වෙනස් කිරීමයි. එය කළ හැක්කේ මහින්ද රාජපක්ෂ පරාජය කොට විපක්ෂයේ පොදු වැඩ සටහන ජයග්‍රහණය කරවීමෙන් පමණි.

මෙවර ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදවීමට මට කළ හැකි සියලු දේ මම කරමි.


සත්‍යා ගේ ඉදිරි ප්‍රකාශන කියවන්නට කැමති අය සඳහා ඔහුගේ වත්පොත් පිටුව මෙන්න.
https://www.facebook.com/ims.sathyaprasad

-රසිකොලොජිස්ට්

(image: http://www.imagesbuddy.com/man-is-by-nature-a-political-animal/)