
මා පෙර ලිපියේ සඳහන් කළ පරිදි සුචරිත ගම්ලත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ නායකයෙකුව සිටියදී කළ සෑම දේශනයක දී ම ද, ලියූ සෑම ලිපියක දී ම, එක් අරමුණක් කර ගත්තේ ඔවුන් ගේ දේශපාලනික සතුරා වූ, නව සමසමාජ පක්‍ෂයට සහ හරය පුවත්පතට පහර ගැසීම වූ අතර ඒ දේශපාලනයෙන් ඉවත් වූ පසු, ඔහු ගේ ලිපි සහ දේශනවලින් මූලිකව ම පහර කෑවේ විශ්වවිද්‍යාලවල සිංහල අධ්‍යයන අංශ සහ ඒවායේ ආචාර්ය මහාචාර්යවරුන් ය.
සුචරිත ගම්ලත් ගේ එවැනි ලිපියක කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අකටයුතු ගැන එහි ම සේවය කරන කථිකාචාර්යවරයෙකු විසින් ලියන ලද ග්‍රන්ථයක් ගැන කියවුණි. මා පසුව ලංකාවේ දී මිලට ගෙන කියවූ ඒ ග්‍රන්ථය නම් සරත් විජේසුූරිය විසින් ලියන ලද "මගේ නඩුව ඉවරයි" නම් කෘතියයි.
"මගේ නඩුව ඉවරයි" කෘතියේ නවකතාවක ස්වරූපයෙන් විස්තර කෙරෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සේවය කරන කථිකාචාර්යවරයෙකු ගේ කතාවයි. ඒ කතාව, සහමුලින් ම ඒ ග්‍රන්ථයේ කතෘ සරත් විජේසූරිය ගේ පුද්ගලික කතාව බව ඉතා පැහැදිලිය. නමුත්, උත්තම පුරුෂයෙන් ලියවී ඇති මේ නවකතාවේ ප්‍රධාන චරිතයේ නම ලෙස සරත් විජේසූරිය විසින් යොදා ඇත්තේ "සනත් ජයසූරිය" යන්නයි!
අප දන්නා පරිදි, සනත් ජයසූරිය යනු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු, ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීයෙකු සහ උප ඇමතියෙකු ද වන පුද්ගලයා ය. ඒ සියල්ල අතීත පට්ටම් වන අතර, වර්තමානයේ ඔහු කුමක් කරන්නේදැයි මම නිවැරදිව නොදනිමි.
එසේ ම, සරත් විජේසූරිය යනු, කෙටිකතාකරුවෙකු, නවකතාකරුවෙකු, ලේඛකයෙකු, දේශකයෙකු, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්යවරයෙකු මෙන් ම, සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ද වන පුද්ගලයා බව ද අපි දනිමු.
සරත් විජේසූරිය තමන් ගේ කතාව කීමට ප්‍රධාන චරිතය ලෙස "සනත් ජයසූරිය" යන නම යොදා ගත්තේ ඇයි?
මේ දෙදෙනා අතර ඇති සමානකම් මොනවා ද?
මට පෙනෙන ආකාරයට නම්, ඇත්තේ මේ නම් ඇති අකුරු, මාත්‍රා සහ අරුතේ සමානකම් පමණි. විජය-සූරිය යන්න ජය-සූරිය යන්නට වඩා ඉහළයි කියා ද අවශ්‍ය නම් තර්ක කළ හැක. එපමණකි.
මේ පිළිබඳව මගේ නඩුව ඉවරයි ග්‍රන්ථයේ මුල් කොටසේ දී කතෘ පවසා ඇත්තේ මෙයයි.

විශ්වවිද්‍යාලයක සිංහල මහාචාර්යවරයෙකු එලෙස "සනත් ජයසූරිය" යන නම, තම මුඛ්‍ය කෘතියේ ලා භාවිතා කරයි නම්, අප වැනි සරල බ්ලොග්කරුවන් ඒ නම හෝ වෙනත් නම් ගම් ඕනෑ තැන්වල දී අදාළ පරිදි භාවිතා කිරීමේ කිසිදු වරදක් මට නොපෙනේ.
-රසිකොලොජිස්ට්
ප/ලි:
"මගේ නඩුව ඉවරයි" කෘතිය පිළිබඳව විවරණයක් පසුව ලියන්නට අදහස් කරමි.
එතෙක්, විශ්වවිද්‍යාලවල සිංහල ආචාර්යවරුන් ගේ කෘති පිළිබඳව ලියවුණු මේ ලිපිය කියවන්න.
කන්දෙන් ලන්දට - මිණිවන් පී. තිලකරත්න, සරත් විජේසූරිය, ඒ.වී. සූරවීර සහ ලියනගේ අමරකීර්ති :: What's the issue with Sinhala language departments in Sri Lankan Universities?
https://rasikalogy.blogspot.com/2016/10/whats-issue-with-sinhala-language.html