Friday, 30 June 2017

වීරවංශ නම වෙනස් කරයි - A day begins for Mr Harris Chandrasuriya



"හැරිස්, කෝ පොඩ්ඩක් මේ පැත්ත බලන්න!"

හැරිස් චන්ද්‍රසූරිය තම බිරිඳ ගේ අණට කීකරු වී ඇය දෙසට හැරුණේ ය.

වෙනදා හැරිස් චන්ද්‍රසූරිය උදෑසන අවදිව හැඳ පැළඳ සූදානම් වී කාර්යාලය බලා නිවසෙන් පිටත්වෙන්නේ තම බිරිඳට කලින් ය. ඔවුන් ගේ පුතණුවන් පාසල කරා ගෙන යාම බිරිඳට භාර වී ඇති රාජකාරියක් නිසා, ඇය සැම දිනම පාහේ නිවසෙන් පිටත් වෙන්නේ හැරිස් නික්ම ගිය පසුවයි.

අද ඒ රටාව වෙනස් වූ දිනයකි.

වෙනදාට වඩා ප්‍රමාද වී නිවසෙන් පිටත් වීමට සැලසුම් කළ හැරිස් චන්ද්‍රසූරිය කුස්සියේ සිට තේ කෝප්පයක් බොමින් නිදන කාමරය වෙත පැමිණෙන විට ඔහු ගේ බිරිඳ පැට්‍රීෂියා හැඳ පැළදගමින් සිටියා ය. තම සැමියා ගේ මුහුණේ වෙනසක් දුටු ඇය ඒ පිළිබඳව හොඳින් පරීක්‍ෂා කිරීම සඳහා ඉහත කී විධානය නිකුත් කළේ ඒ මොහොතේ ය.

"පොඩ්ඩක් ලං වෙන්න."

"මුණ පාත් කරන්න."

හැරිස් චන්ද්‍රසූරිය ඒ විධානයන් ද එකහෙළා පිළිපැද්දේ ය.

"අයියෝ, ඔයාගේ ඇස් යට කළු පාට වෙලා නේද? මොකද ඒ? ඊයේ නින්ද ගියේ නැද්ද හරියට? ඇස් යට පොඩ්ඩක් විතර මහත්වෙලා වගේ!"

"මං තාම ෂවර් කළේ නෑ නේ. නා ගත්තාම, මොකක් වුණත් ඒක, නැතිවෙලා යාවි!" හැරිස් චන්ද්‍රසූරිය ඉවත් වී යන්න සැරසුණේ ය.

"මං කියන්නම්, ඔයා නිදා ගන්න යන්න කලින් මෙන්න මේ ක්‍රීම් එකෙන් පොඩ්ඩක් ඇස් යටින් ගාන්න. මේක හරි හොඳයි, ඩිපාර්චර් පැත්තේ ඩියුටි ෆ්‍රී ෂොප් එකක විතරයි තියෙන්නේ. ගිය පාර ගත්තු එක ඉවර වෙන්න කලින් මං මේ පාර ලංකාවට යන කොට දෙකක් ම ගත්තා" පැට්‍රීෂියා කුඩා කුප්පියක් පෙන්වමින් හැරිස් චන්ද්‍රසූරියට කීවා ය.

"දැන් මට ඔය ක්‍රීම්වලින් පලක් නෑ. කොහොමටත් ඕවා ගෑනුන් ගේ වැඩ!" හැරිස් චන්ද්‍රසූරිය පැවසුවේ තමා පිළිබඳ තවමත් දැඩි සැලකිල්ලක් දක්වන තම බිරිඳ කෙරෙහි සාගර රළ ලෙස නැගී ආ, ආදර බර මිහිරි කල්පනා අමාරුවෙන් සඟවා ගනිමිනි.

"දැන් ඉක්මනට යන්න, අද සිකුරාදා වුණත් තරමක් ට්‍රැෆික් ඇති!" යළිත් හිස පහළට හැරවූ ඔහු පැට්‍රීෂියාට උණුසුම් හාදුවක් දුන්නේ ය.

හේමන්තය ගෙවී දැන් ශීත සිසිරය ලබා තිබුණ ද, තමන් බොමින් සිටි තේ වතුර නිසා දෙතොල් උණුසුම් වී තිබුණු බව හැරිස් චන්ද්‍රසූරියට වැටහිණි.

නිමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉයන් ලිංතොට ප්‍රනාන්දු ගේ සම්බෝල කෙටිකතා අභියෝගය සඳහා කෙටිකතා ලියන්නට පටන් ගත්ත ද, සම්බෝලයක් ලෙස කොටන්නට තබා නොගෙන දිගටම කතාව ලියා පළ කරන්නට මට සිතේ. අද වූයේ ද එයයි.

මේ කෙටිකතාවේ ආ ප්‍රධාන චරිතය ඇතුළත් වූ මුල් කෙටිකතාවේ දී ඔහු නම් කෙරුණේ හැරිස් වීරවංශ ලෙසින් වූ නමුත්, වීරවංශ යන නාමය සමහර පාඨකයින් ටපලාගෙන තිබුණු නිසා, එය හැරිස් චන්ද්‍රසූරිය ලෙසින් වෙනස් කළ බව කරුණාවෙන් සලකන්න.

මෙන්න කලින් මා ලියූ කෙටිකතා කිහිපය.
  1. සම්බෝල කෙටිකතාවකට එක වස්තු බීජයක් - Those were the days!
    https://rasikalogy.blogspot.com/2017/06/those-were-days.html
  2. පෙම්වතිය ගේ අක්කා හමුවීම - Destiny
    https://rasikalogy.blogspot.com/2017/06/destiny.html
  3. වීරවංශ මහතාගේ කතා වස්තුව හෙවත් "මරණ බිය දැනුණු විට" - A short story
    http://rasikalogy.blogspot.com/2017/06/short-story.html