Tuesday 27 June 2017

පොඩි කම්මැලිකමක් සිතට ආවාම මොකද කරන්නේ? - Winter blues


හිරු උතුරු අර්ධගෝලය දෙසට වැඩියෙන් සලකන, දකුණු කුරු දිවයිනේ ඉන්නා අපට කුඩම්මාගේ සැලකිලි දක්වන, මේ දිනවල හේමන්තය ගෙවී, සිසිරය උදා වී, සිනුවර අවට පරිසරය සීතල වී ඇත.

අද දිවා කාලයේ උෂ්ණත්වය අංශක දා හත නොඉක්මවනු ඇත. රාත්‍රියේ අවසානය වන විට එය අංශක පහට පමණ අඩුවෙනු ඇත. මේ තත්වය ජූලි මාසයේ අග වන විට තවත් දරුණු වෙනු ඇත. හිම වැටෙන, අයිස් මිදෙන යුරෝපියානු, කැනේඩියානු සිසිර සෘතුවක් සේ සෘණ අන්තයටම නොගිය ද, මෙය අපේ ජීවිතවලට විවිධ අපහසුතා එකතු කරන කාලයකි.

පරිසරයේ සීතලත් සමග මට නම් සිදු වී ඇත්තේ, ජීවිතයට කම්මැලිකමක් එකතු වීමයි.

උදෑසන අවදිවන්නට කම්මැලි ය.

ඇඳෙන් බසින්නට කම්මැලි ය.

නාන කමරයේ වතුර මල යටට යන්නට කම්මැලි ය.

උණුසුම් ජල ධාරාව යටට වී ඉන්නට කම්මැලිකමක් නැතත්, ඉන් ඉවතට එන්නට කම්මැලි ය.

වැඩට යන්නට කම්මැලිය!

කොටින් ම, දැන් සති කිහිපයක සිට මා, කාර්යාලයට ළඟා වූයේ උදෑසන දහයේ හෝරාවටත් පසුව ය.

කාර්යාලයේ සිට ආපසු නිවස කරා පැමිණි පසුවත්, සිත ගත තාවකාලිකව පිනවීමට හැර වෙනත් ප්‍රයෝජනවත් යමක් කිරීමට නොසිතේ.

මේ තත්වයට හේතුව අපේ නිවසේ උෂ්ණත්ව පාලක යන්ත්‍රයේ දෝෂයක් නම් නොවේ. සිසිරය නිසා, ස්වභාවිකව ම, ගතට සිතට වදින සාපයකි.

මේ තත්වයෙන් මිදීමට සිතී අද උදෑසනින් අවදි වී රැකියාව සඳහා පිටව යන්නට සිතුවෙමි.

එලාමය සැකසුවේ නැති වුව ද, සිතූ ආකාරයට පහයි හතළිස් පහට නෙත් හැරුණි. එහෙත්, ඇඳෙන් බැසීමට නම් නොසිතුණි.

ඊළඟට හෝරාව පිරික්සන විට විනාඩි පහළොවක් ගත වී තිබුණි.

යාන්තමින් ඇඳෙන් බැස නාන කාමරට ඇදුණේ හයයි කාලට ය. එය කළ හැකි වූයේ ද, විනාඩි පහෙන් පහට ඔරලෝසුව දෙස බලමින්, සිත දිරිමත් කර ගනිමින් ය.

අවසානයේ හතේ කෝච්චියට නැග මේ සටහන කෙටීම ඇරඹිය හැකි විය.

මේ සියල්ල කීවේ, "සතුටු සිතුවිලි" නම් අලුත් බ්ලොගයක් හඳුන්වා දීමටයි.

සතුටු සිතුවිලි :: http://sathutusithuvili.blogspot.com/

මෙය දිගු සටහන් පළවෙන බ්ලොගයක් නොවේ.

විවිධ පුද්ගලයින් විසින් පවසන ලද, අපේ කම්මැලි සිත් දිරිමත් කර ගන්නට උදව් වෙතැයි සිතන, කෙටි ප්‍රකාශන ඇතුළත් එකකි.

ඇරඹූ දින සිට දිනපතා එක් වැකියක් බැගින් සතුටු සිතුවිලි බ්ලොගයේ පළ වී ඇති අතර, එය දිගටම නිතිපතා යාවත්කාලීන වෙනු ඇතැයි සිතමි.

-රසිකොලොජිස්ට්

13 comments:

  1. ඔය වගේ කම්මැලි වෙලාවට උනත් සූටි කයියට කැම්මැලි නෑනෙ හැබෑටම , ඌ ඇහැරගෙන.

    ReplyDelete
    Replies
    1. ටොයිලට් ගිහිං චූ කරලා ඇවිත් ආයේ නිදා ගන්න.

      Delete
  2. ලේබල් වලට මෝඩකම් දාල තියෙන්නෙ ඔච්චර අමාරුවෙන් උදේ වැඩට ගිය එක ගැන හිතල වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හොඳට නිදා ගන්නේ නැතුව හයයි කාලට හරි නැගිට්ට එක ගැන තමයි!

      Delete
  3. සතුටු සිතුවිලි පැත්තේ ගිහින් ආවෙ. එතන අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා. ඒක මේ දවසට විනාඩි දහයක විතර වැඩක්!

      Delete
  4. සරත් විජේසූරිය කියල මහත්තයෙක් ඉස්සර අපිට ධනාත්මක චින්තනේ ගැන දේශනා කලා.එතුමා දැන් දේශනා කරන්නෙ මේ ආණ්ඩුව ගැන ධනාත්මකව හිතන හැටි ඉතරයි. රසික මහත්තයගේ ධනාත්මක චින්තනාවලිය දැක්කම උන්දැ මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල කියපු අර හුචක්කුව වගේ කතාවල නම් වැඩි ධනාත්මකත්වයක් මං දැක්කේ නෑ!

      Delete
  5. ඒ පැත්තට ගොඩවෙලාම ආවා. වටින වැඩක්...

    ReplyDelete
    Replies
    1. ඒක මේ දවසට විනාඩි දහයක විතර වැඩක්!
      මට තියෙන්නේ පරිවර්තනය කරලා, ටයිප් කරලා, ෆොටෝ එකක් එක්ක පබ්ලිෂ් කරන එක විතරයි නේ!

      Delete
  6. යමුකෝ ඒ පැත්තේ බලලා එන්න

    ReplyDelete
  7. යමුකෝ ඒ පැත්තේ බලලා එන්න

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.