Monday 8 December 2014

ජනාධිපති ඡන්දය ගැන ඕස්ට්‍රේලියාවෙන් ලියුමක් - An appeal by a group of Sri Lankans living in Australia


පහත උපුටා දක්වා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වෙසෙමින් විශේෂයෙන්ම ලේඛන කටයුතුවල යෙදෙන කිහිප දෙනෙක් එක්වී ඕස්ට්‍රේලියාවේ ම වෙසෙන ශ්‍රී ලාංකිකයින් අමතා තව මසකින් ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශයකි.

http://sannasa.sinhalajukebox.org/2014/Dec/2014Dec_page12.pdf
http://sannasa.sinhalajukebox.org/2014/Dec/2014Dec_page13.pdf

අප සැමට ම එය වැදගත් වේ යැයි සිතා මෙලෙස පළකරමි.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත කෙරෙන ආයාචනයයි

හදිසි ජනාධිපතිවරණය - 2015 ජනවාරි 08

ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට මහජන මුදල් කෝටි ගණනක් වියදම් වෙයි. අපේක්ෂකයන් ප්‍රචාරය සඳහා කරන වියදම් ද එක්වූ විට එය පුංචි දුප්පත් පුංචි රටකට ඔරොත්තු නොදෙන මුදලකි. ලංකාවේ ආර්ථිකය තවමත් පවත්වාගෙන යන්නේ විශාල වශයෙන් ලබා ගන්නා අන්තර්ජාතික ණයවලින් බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. මහින්ද රාජපක්ෂ මහතා 2010 පැවති ජනාධිපතිවරණයෙන් යළි බලයට පත්වූයේ වසර හයක කාලයකටය. ඒ ධූර කාලයෙන් වසර හතර ඉක්මවූ වහාම යළි ජනාධිපතිවරණයක් පැවැත්වීමට රාජපක්ෂ ජනාධිපතිවරයා තීරණය කළේ මෑතකදී පැවති බස්නාහිර සහ ඌව පළාත් සභා ඡන්දවලින් ආණ්ඩුව කෙරෙහි රටේ මහජනයා අතර විශාල කලකිරීමක් වර්ධනය වෙමින් පවතින බව ප‍්‍රදර්ශනය වූ බැවිනි. තවත් වසර දෙකක් යන විට මේ ජනතා කලකිරීම උත්සන්න වන බව දන්නා ඔහු මහජන මුදල් කෝටිගණනක් වැය කර හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමේ තීරණය ගෙන ඇත. ඒ මහජන යහපත වෙනුවෙන් ද නැතහොත් තම බලය තවත් කාලයකට දීර්ඝ කරගැනීමටද?


දැන් මැතිවරණ කොමසාරිස්ගේ තත්වය

ජනාධිපතිවරණයක් හෝ වෙනත් ඕනෑම ඡන්දයක් පැවැත්වීමට ආණ්ඩුව තීරණය කළ විට ඒ සඳහා සුදුසු දිනය තීරණය කළ යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයා ය. එහෙත් මේ කැඳවා ඇති ජනාධිපතිවරණය ජනවාරි අටවෙනි දින පැවැත්විය යුතු යයි කල්තබාම කීවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නැකැත්කරුවන් ය. ඒ දිනය ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කරන්නට කලකට පෙරම රටේ ප‍්‍රසිද්ධ වී තිබිණ. ඒ අනුව රටට පෙනී යන්නේ මැතිවරණ කොමසාරිස්වරයා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ලෙස සලකා ඇත්තේ ජනාධිපතිවරයාගේ කේන්දරය බවයි. රටේ මුළුමහත් ජනතාවට වගකිවයුතු බරපතල වගකීමක් දරණ තනතුරක් වන මැතිවරණ කොමසාරිස් තනතුර මෙසේ නිවට නියාලූ හාස්‍යජනක තත්වයට පත්කරනු ලැබුවේ කෙසේද? ඒ ස්වාධීනව පැවතිය යුතු සියලූ රාජ්‍ය ආයතන විධායක ජනාධිපතිවරයා යටතට පත්කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම මගිනි.

මෙය ලෝකයේ කිසිම රටක නැති තත්වයකි. එම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තමන් කැමති ඕනෑම දෙයක් කරන්නට හැකි රජකෙනෙක් බවට පත්වූ රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවේ අධිකරණය පත්ව ඇති සෝචනීය තත්වය ද ඊයේ පෙරේදා පැහැදිලිව පෙන්නුම් කෙරිණ. මෙතෙක් බලයේ සිටි කිසිම ජනාධිපතිවරයකු නොකළ ආකාරයට තමන්ට ඕනෑම වාර ගණනක් ජනාධිපතිවරණයට තරග කළ හැකිවන සේ 18වැනි සංශෝධනය යොදාගැනීම රාජපක්ෂ මහතාගේ සැලසුම විය. එක් පුද්ගලයකු ඔහු කොතරම් හොඳ කෙනෙකු වුවත් වාර දෙකකට වඩා ජනාධිපති ලෙස කටයුතු නොකිරීම ලෝකයේ සෑම රටක්ම අනුගමනය කරන්නා වූ සම්ප‍්‍රදායකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් එ් සම්ප‍්‍රදාය අනුගමනය කෙරෙන්නේ කොතරම් හොඳ පුද්ගලයකු වුවත් දීර්ග කාලයක් බලයේ සිටින විට බලයෙන් දූෂිත වන බවට ඇති පිළිගැනීම නිසාය. කෙසේ හෝ ලංකාවේ පාර්ලිමේන්තුව හදිසියේ සම්මත කළ එම සංශෝධනය ආපස්සට බලපාන්නක් නොවන නිසා එ් වන විටත් දෙවරක් පත්වී සිටි වත්මන් ජනාධිපතිවරයාට එසේ තරග කිරීමට නීතිමය ඉඩක් නැතැයි හිටපු අග‍්‍රවිනිශ්චයකරුවකු සහ නීතිඥයන් බහුතරයක් පෙන්වා දී තිබුණු තත්වයක් තුළ එවැනි නීතිමය ඉඩක් ඇත්ද නැතිද යන්න විවෘත උසාවියක තීන්දු කළ යුතුව තිබිණ. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ තමා ම පත්කළ ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවන්ගෙන් එය පුද්ගලිකව විමසීමයි. එම විනිසුරුවන් රහසිගතව රැස්වී තම මතය රහසිගතව ම ජනාධිපතිවරයාට දන්වා යැවීය. එයින් කියා ඇත්තේ රාජපක්ෂ මහතාට තෙවරක් තරග කළ හැකි බව යයි නිමල් සිරිපාල ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කී නමුත් එවැනි උපදෙසක් හෝ තීරණයක් ඇතොත් එය පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව කතානායකවරයාට යවා පාර්ලිමේන්තුවේ සභා ගතකිරීමේ සම්ප‍්‍රදාය ද අනුගමනය කළේ නැත. දැන් මැතිවරණ කොමසාරිස්වරයා රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය පිළිගන්නට යන්නේ උසාවියක කෙරුණු විවෘත තීන්දුවක් අනුව නොව පාර්ලිමේන්තුවේ කෙරුණු කටකතාවක් අනුව ය. හිතවතුනි, මෙන්න ඔබේ මව්බිමේ අධිකරණයටත්, නීතියටත්, පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයටත්, මහජනයාගේ ස්වෛරී බලයටත් වර්තමානයේ අත්වී ඇති ඉරණම!


ඡන්ද ප‍්‍රචාරය

ඕස්ටේ‍්‍රලියාවේ ජීවත් වන ඔබ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මැතිවරණයකදී කෙරෙන ප‍්‍රචාරයේ ස්වරූපය දැක තිබේ. අද මේ මොහොතේ ලංකාවට යන කෙනෙකුට එහි සිදුවන ඡන්ද ප‍්‍රචාරයේ තරම දැක බලා ගන්නට පුළුවන. ජනාධිපතිවරණයට තවම නාමයෝජනා දී නැත. එහෙත් අද ලංකාවෙන් ලැබෙන තොරතුරු අනුව රටේ සෑම ලයිට් කණුවකම රාජපක්ෂ මහතාගේ පින්තූර ය. බැලූ බැලූ අත පොල්ගස් උසට එතුමාගේ කටවුට් ය. රජයේ රූපවාහිනි චැනල රජයේ පුවත්පත් පමණක් නොව තම බලයෙන් සහ වෙනත් මාර්ගවලින් තමන්ගේ කීකරු ආයතන බවට පත්තරගෙන සිටින පුවත්පත් මේ සියල්ල දැන් මාසයකට වැඩි කාලයක් තිස්සේ ජනාධිපතිවරයාගේ ඡන්ද ප‍්‍රචාරයේ යෙදී සිටින්නේ තරගයකට මෙනි. මේ අතර මාස දෙකක කාලයක සිට ජනාධිපති වෙසෙන අරලියගහ මන්දිරයේ දන්සැලක් පවත්වාගෙන යයි. සෑම දිනකට එක් එක් ක්ෂේත‍්‍රවලින් පන්දාහ බැගින් එහි කැඳවා කන්න බොන්න දෙයි. මේවාට වියදම් කරන කෝටි ගණන් මුදල් කාගේද? මේවා ඡන්ද අල්ලස් නොවන්නේද? ජනාධිපතිවරණය පවත්වන්නේ කවදාදැයි කල්තබාම දන්නා එක් අපේක්ෂකයෙක් මැතිවරණ කොමසාරිස් එය ප‍්‍රකාශයට පත්කරන්නට මාස ගණනක් තිබියදී ම දැවැන්ත ප‍්‍රචාරයක් දියත් කරයි. එවිට මෙය සාධාරණ මැතිවරණයක් වෙන්නේද?


යුද්ධය

මේ කරුණු අඩුවැඩි වශයෙන් ඔබ ද දන්නා බව අපි දනිමු. එහෙත් මෙහි සිටින ශී‍්‍ර ලාංකිකයන් බොහෝදෙනා විශේෂයෙන් සිංහලයන් අතරින් බොහෝ දෙනෙක් තුළ රාජපක්ෂ පාලනය ගැන යම් පැහැදීමක් ඇත්තේ කුරිරු ත‍්‍රස්තවාදී ප‍්‍රභාකරන්ට විරුද්ධව යුද්ධ කර රට බේරා ගත් නායකයා ඔහුය යන මතය නිසාය. සැබෑය. සාම සාකච්ඡා මගින් එගඟත්වයක් ඇති කර ගැනීමට ආණ්ඩු කිහිපයක්ම දැරූ උත්සාහයන් අසාර්ථක කරමින් යුද්ධයම ඉල්ලා සිටි, සිංහලයන් පමණක් නොව තමන්ගේම දෙමළ ජාතියේ නායකයන්, බුද්ධිමතුන් ඝාතනය කරමින් රට විනාශ කරමින් සිටි එල්ටීටීඊ සංවිධානය ඔවුන් ඉල්ලා සිටි යුද්ධ මාර්ගයෙන්ම පරාජය කිරීම අගය කළ යුතු බව ඇත්ත ය. මහින්ද රාජපක්ෂ පාලනයට පසුගිය කාලයේ තිබුණු ජනපි‍්‍රයතාවේ ලොකුම සාධකය යුද්ධය බව ඇත්ත ය. අදත් ඡන්දයක් එන විට ආණ්ඩුවේ ලොකුම ප‍්‍රචාරය වන්නේ යුද්ධයයි. දැන් මේ මොහොතේත් ලංකාවේ රාජ්‍ය මාධ්‍ය සේම රාජ්‍යය විසින් යටත් කරගන්නා ලද සියලූ මාධ්‍ය උදේ සිට රෑ වන තුරු පෙන්වන්නේ එල්ටීටීය කළ අපරාධ ය. අදත් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලොකුම තුරුම්පුව යුද්ධයයි. සමහරු කියන්නේ නූතන දුටගැමුණු ඔහු බවයි. එසේ කියන අය සත්‍යයේ හරි අඩකට වඩා වසන් කරති. දුටුගැමුණු ගැන ඔබ කියවා ඇති ඉතිහාසය මතක් කර ගන්න. දුටුගැමුණු එළාර පරාජය කළේ තමාම යුද බිමට ගොස් යුද්ධකිරීමෙනි. රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ යුද්ධය කරගෙන යාමට එදා සිටි හමුදාපතිවරයාට අවශ්‍ය පහසුකම් සලසා දීමයි. යුද්ධය මෙහෙයවා ජයගත් එ් හමුදාපතිවරයාට රාජපක්ෂ ජනාධිපතිවරයා සැලකූ ආකාරය ඔබ හොඳින් දනී. ඔහුට බොරු චෝදනා මවා වසර ගණනාවක් හිරේ දමුවා පමණක් නොව ඔහුගේ නිල ලාංඡනත් ප‍්‍රජා අයිතියත් අහිමි කළේය. ඉතිහාසය තම වාසියට කියවන අයට මතක් කරදිය යුතු තවත් කරුණක් වන්නේ දුටුගැමුණු කළ යුද්ධයේ පැසසුම් ලබන්නේ එ් රජු පමණක් නොවන බවයි. එ් ඉතිහාසයේ දස මහා යෝධයන් ගැනත්, ඔවුන්ගේ සුරුවිරුකම් ගැනත් ලියා ඇති බව අපි දනිමු. මේ වත්මන් දුටුගැමුණුට දසමහා තබා එකමහා යෝධයකු වත් නැත. ඉන්නා එකම යෝධයා ඔහු ම පමණකි.

ඊ ළඟට අපි එල්ටීටීයට විරුද්ධව කෙරුණු යුද්ධය ආශි‍්‍රතව ආණ්ඩුව යට ගසන තවත් දේ ටිකක් සොයා බලමු. අද ලංකාවේ රූපවාහිනිය අරන්තලාවේ භික්ෂු ඝාතනය, ශී‍්‍ර මහා බෝධිය යට මිනිස් ඝාතන, දළදා මැදුරට බෝම්බ ගැසීම ආදී අපරාධවල රූප රාමු පෙන්වමින් මහින්ද ජනාධිපතිවරයා රට ගලවා ගත්තේ මෙවැනි දේ කළ අපරාධකරුවන්ගෙන් බව කියන අතර විපක්ෂය යළිත් එම අපරාධකරුවන්ට පාර කපන බවක් ද අඟවයි. යුද්ධයේ අතීතය අපක්ෂපාතී මනසකින් යළි මෙනෙහි කරන ඕනෑම කෙනෙකුට එදා ඉහතකී අපරාධ මෙහෙයවූයේ එවකට එල්ටීටීඊ යුද නායකයා ව සිටි කරුණා අම්මාන් බව මතකය. එදා එල්ටීටීයට උදව්කළේ යයි අදත් පොඩි පොඩි මිනිසුන් අල්ලා හිරේ දමන රාජපක්ෂ ආණ්ඩුව ඉහත කී අපරාධ මෙහෙයවූ කරුණා අම්මාන්ට ඇමති පදවියක් දුන්නා පමණක් නොව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිකමක් ද පිරිනැමුවේ ය. අද ඔහු මහජන මුදලින් සැප විඳින, ආණ්ඩුවේ ගජ මිතුරෙකි!

සරත් ෆොන්සේකා මහතා හමුදාපතිව සිටි කාලයේ ආයුධ වෙළදාමකට හවුල් වූයේ යයි චෝදනා නගා අත් අඩංගුවට ගන්නට නියෝග කෙරුණු ෆොන්සේකා මහතාගේ බෑණා තවම සිටින්නේ වරෙන්තු පිටය. එ් අතර එල්ටීටීය වෙනුවෙන් ආයුධ ගෙන්වූයේයයි ද නැව් බැංකු ගිනුම් පාලනය කළේ යයි ද එදා ආණ්ඩුව ම කී කේපී නැමැත්තා දැන් ආණ්ඩුවේ සියලූ වරප‍්‍රසාද භුක්ති විඳිමින් සුවසේ වැජබෙයි. ඔහු ළඟ ඇතැයි කී රත්තරන් ටොන් ගණන් දැන් ඇත්තේ කොහේදැයි සොයන්නකු නැත. යුද්ධය කළා යයි රාජපක්ෂ ජනාධිපතිවරයාට තුති පුදන අතරම යුද්ධය හා සම්බන්ධ මෙකී දේවල් ගැනද සිතා බැලීම අවශ්‍ය නොවන්නේද?

තවද යුද්ධය ජයගත් මට රට හදන්නට තවත් වරක් බලය දෙන්නැයි 2010 දී රාජපක්ෂ මහතා ඉල්ලා සිටි විට ජනතාව ඔහුට නැවත වරක් බලය දුන් අතර ජාතික ප‍්‍රශ්නය විසඳා රට ගොඩනගනු වෙනුවට එතුමා කළේ තම පවුල ගොඩනැගීමයි. එහෙයින් යුද්ධය කළ බව කියා තවත් වරක් බලය ඉල්ලන්නට සුදුසුකමක් දැන් එතුමාට නැත.


ඇමති මණ්ඩලය

ඊළඟට රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ඇති කැබිනට්ටුවේ තත්වය ගැන බලමු. එතුමා 2005 දී පොරොන්දු වූයේ ඇමති මණ්ඩලය 30කට සීමා කරන බවටය. නමුත් තමාට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුව හසුරුවා ගැනීම සඳහා ඔහු කළේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දදායකයන් දුන් ඡන්දයෙන් තේරී පත්වී ආ අවස්ථාවාදී මන්තී‍්‍රවරුන් හඳුනාගෙන ඔවුන්ට තාන්න මාන පඬුරු පුදා ඇමතිකම් දී තමන්ගේ පැත්තට අත උස්සන්නන්ගේ ගොඩ වැඩි කර ගැනීම ය. එ් අවස්ථාවාදීන්ට අල්ලස්දීමටය ඇමති මණ්ඩලය 100 ඉක්මවා වැඩිකළේ. මේ සියල්ලන් නඩත්තු කිරීම වෙනුවෙන් තවමත් ලෝකයේ දුප්පත්ම රටවල් විස්සෙන් එකක් වන අපේ රටේ මහජන මුදල් කොතෙක් නම් වැය කරන්නේද? අද අපේ රටේ සිදුවන මත්කුඩු ජාවාරම ඇතුළු සෑම අපරාධයක් පිටුපසම මේ මැති ඇමතිවරු සිටින බව රටේ ජනයා හොඳින් දනිති. නමුත් නීතිය රකින්නට ඉන්නා පොලීසිය ඉන්නේ මේ අපරාධකාරයන්ගේ අතවැසියන් හැටියටය. මේ තත්වය තුළ අද අපේ රට ලෝකයේ අපරාධ බහුලම රටවල් දෙක තුනෙන් එකක් බවට පත්ව තිබේ. දියුණු ලෝකයේ රටවල් ගණනාවක්ම ශී‍්‍ර ලංකාවට යාමෙන් වළකින ලෙස තම ජනතාවට අවවාද කරන්නේ මේ නිසාය.

කැබිනට්ටුවේ ඇමතිවරු කොපමණ හිටියත් රටේ තීරණාත්මක සියලූ ක්ෂේත‍්‍ර ඇත්තේ රාජපක්ෂ පවුලේ අය අතේ ය. අටේ අයවැයෙන් විශාලම කොටස යන්නේ එ් අයගේ අමාත්‍යාංශවලට ය. වැඩිම මුදල වෙන් කෙරෙන ආරක්ෂක හා නාගරික සංවර්ධනය ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා අතේ ය. ඊළඟට වැඩිම කොටස බෙදන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ආර්ථිත සංවර්ධන අමාත්‍යාංශයට ය. කැබිනට් එක කොතරම් ලොකු වුණත් කෝටි ප‍්‍රකෝටි ගණන් කොමිස් එහා මෙහා වෙන මාර්ග සංවර්ධන අමාත්‍යාංශය ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ය. මුදල් අමාත්‍යාංශය ඔහු යටතේ ය. වසරකට කෝටි ගණනක් පාඩු ලබන ශී‍්‍ර ලංකා එයාවේස් සභාපති ජනාධිපතිතුමා ගේ මස්සිනා ය. කොතරම් පාඩු ලැබුවත් හැම අයවැයකින්ම ශී‍්‍ර ලංකා එයාර්වේස් සහ මිහින්ලංකාවලට මුදල් වෙන් කරයි. ජනෘධිපති පවුලේ අය ගේ අතපල්ලෙන් වැටෙන දෙයක් ලෙවකා හැමදේටම අත උස්සමින් යැපීම මිස කිසිදු වැදගත් තීන්දුවක් ගැනීමට බලයක් අනෙක් ඇමතිවරුන්ට නැත. එ් නිවට ඇමතිවරු ජනාධිපතිවරයා ඉදිරියේ පමණක් නොව ඔහුගේ පුත‍්‍ර නාමල් රාජපක්ෂ ඉදිරියේද කොන්ද හතරට නමති. නාමල් ගේ විනෝදාංශයක් වන කාර් රේස් පැදීම වෙනුවෙන් ගෙන්වන ලැම්බෝගිනි කාර් බද්දෙන් නිදහස් කිරීමට ජනාධිපති තාත්තා අයවැයෙන් යෝජනා කළ විට එයද අනුමත කළේ මේ රූකඩ මැති ඇමතිවරු ය. යෝජනා කළ අයට සේම එය අනුමත කළ අයටද රටේ දුප්පත් ජනතාව ගැන තිබෙන කැක්කුම කෙබඳු දැයි එයින්ම නොපෙනේ ද? පවුලේ අයගේ අමාත්‍යාශවලට ලොකුම කුට්ටිය බෙදාගන්නා, පුතාගේ විනෝදය සඳහා ගෙන්වන ලැම්බෝගිනි රේසින් කාර් බද්දෙන් නිදහස් කරන අයවැයෙන් සමස්ත ජාතියේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන්නේ 2‍% දෙකටත් අඩු ප‍්‍රමාණයකි.

ජේ.ආර්. හැදූ, අනෙක් අයත් මේ දක්වා පවත්වාගෙන යන චන්ද ක‍්‍රමය යටතේ අද ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වී සිටින බොහෝ දෙනෙකුට ඇත්තේ සල්ලිකාරයන් වීමේ හා එ් සල්ලි බලයෙන් චන්ඩින් වීමේ සුදුසුකම පමණකි. එ් නිසාම අද පාර්ලිමේන්තුව රස්තියාදුකාරයින් ගේ, වාචාලයන් ගේ කෙළිබිමක් බවට පත්ව ඇත. රටේ අග‍්‍රවිනිශ්චයකාරතුමිය ජනාධිපති සමග නොහොඳ වූ විට ඇයට විරුද්ධව චෝදනා හදා නඩු අසා ඇය තනතුරෙන් පහකිරීමේ තීන්දුව ගත්තේ එ් මන්ත‍්‍රීවරුන් ය.


ආගම්වලට සැලකීම

රාජපක්ෂ ජනාධිපතිවරයා හොඳ බෞද්ධයකු නිසා මොනවා කළත් ඔහු බලයේ තබාගත යුතු යයි සිතන පිරිසක් ද රටේ සිටිති. මෙය ද සැබැවින්ම මුලාවකි. සරත් ෆොන්සේකා හිරේට දැමූ විට ඔහු නිදහස් කරන්නැයි අස්ගිරි මල්වතු නාහිමිවරු ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. එ සේ ම අග‍්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගෙන් පළි නොගන්නැයි මහනායක හිමිවරු ඉල්ලා සිටියහ. එ් කිසිවකට රාජපක්ෂ ජනාධිපතිවරයා ගරු කළේ නැත. එපමණක් නොවේ මෑතකදී නාමල් රාජපක්ෂ දළදා මාලිගාව අවට පාරවල්වල කාර් රේස් පැදීමක් සංවිධානය කළ විට අස්ගිරි මල්වතු නාහිමිවරු දළදා මාළිගා බිමේ කාර් රේස් නොපවත්වන්නැයි ඉල්ලා සිටියහ. ලොකුම බෞද්ධයකු ලෙස පෙනී සිටින මේ ජනාධිපතිවරයා එ් ඉල්ලීමටත් ගරු කළේ නැත. පුත‍්‍රයාගේ විකාර ආසාව ඉටුකර ගන්නට දළදාමාළිගාවේ ගෞරවය කෙළෙසන්නට ඔහු ඉඩ දුන්නේ මහනායක හිමිවරු තුට්ටුවකට නොසලකමිනි. අවුරුද්දකට වරක් රටේ අග නගරයේ පාරවල් වසා කෝටි ගණන් මුදල් නාස්ති කරමින් දින දෙකක් රාති‍්‍ර කාර් රේස් මේලා පවත්වන්නට ජනාධිපතිතුමා තම පුත‍්‍රයාට ඉඩ දෙයි.

බුද්ධාගමට පමණක් නොව අනෙක් ආගම්වලටද එතුමා සලකන්නේ එ් විදියටම ය. කතෝලික බැතිමතුන්ගේ ආධ්‍යාත්මික නායක පාප්වහන්සේ ලංකාවේ සංචාරය කරන්නට නියමිත දිනවල ජනාධිපතිවරණය යෙදීමෙන් එම ආගමට ද ඔහු කළේ මහත් හෙලෙත්තාඩුවක් නොවන්නේ ද? ඔහුට පාප්වහන්සේට වඩා නැකත්කරුවාගේ වචනය ලොකු ය.

එපමණක් නොවේ රටේ ආගම් අතර වෛරය, ජාතීන් අතර වෛරය පතුරමින් යකා නටන්නට බොදු බල සේනා නමැති අපකීර්තිමත් කල්ලියට නිදහස දී අහක බලාගෙන හිඳින්නේද මේ ජනාධිපතිවරයා ය. බොදුබලසේනා වැනි සංවිධාන කි‍්‍රයාකරන්නේ ජනාධිපති සොහොයුරු ආරක්ෂක ලේකම්ගේ අනුග‍්‍රහය යටතේ බව ප‍්‍රසිද්ධ කාරණයකි. මේ අය මෙවැනි සංවිධාන නඩත්තු කරන්නේ බලය ගිලිහෙන්නට යන විට රට අවුල්කරන කුමන්ත‍්‍රණයක් සඳහා පාවිච්චි කිරීමට බව බුද්ධිමත් ජනයාගේ විශ්වාසයයි.


රට චීනයට යටත් කරවීම

චීනය යනු තවදුරටත් මාවෝ සේතුන් විප්ලවයෙන් ගොඩනැගූ සමාජවාදී චීනය නොවන බව ඔබට අලූතෙන් පෙන්වා දීම අවශ්‍ය නොවේ. චීන වෙළඳ ආධිපත්‍ය ලෝකය වෙලා ගන්නා හැටි ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ඔබ ඇස්පනාපිට අත්දකින්නකි. රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අද අපේ රට ද චීන ව්‍යාපාරිකයන් විසින් ගිලගෙන ඇත. රටේ සංවර්ධන කටයුතු සඳහා ඉතා අඩු පොළියට සහ සමහරවිට පොළි රහිතව දීර්ගකාලීනව ගෙවන්නට ණය ලබාදුන් සියළුම රටවල් තරහ කරගෙන ඇති ජනාධිපතිවරයා නැව් නො එන වරායවල්, ගුවන් යානා නො එන ගුවන්තොටුපොළවල්, අධිවේගී මාර්ග, මුහුද ගොඩකර හදන කැසිනෝ සහ විනෝද දූපත් හදන්නට ණය ගන්නේ චීනයෙනි. එ් 6% පොළියට කෙටිකාලීනව ගෙවන කොන්දේසි යටතේ ය. එසේ ගන්නා ණයවලින් කෙරෙන ඊනියා සංවර්ධන ව්‍යාපෘති ටෙන්ඩර් නැතිව බාර දෙන්නේ චීන කොම්පැණිවලට ය. නියම වියදමට වඩා විසිතිස් ගුණයක වියදමින් කෙරෙන මේ ව්‍යාපෘතිවලින් කෝටිප‍්‍රකෝටි ගණනින් කොමිස් ලැබෙන බව තවදුරටත් රහසක් නොවේ. මේ විනාශකාරී ණය ගෙවිය යුතු වන්නේ රටේ අනාගත පරම්පරාව මිස ජනාධිපතිවරයා හෝ ඔහුගේ දරුවන් නොවේ.

පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රටට කීවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා නම් එ් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ඇත්තේ තමාට බවය. එයින් ඔහු කියන්නේ "මට කරන්න පුළුවන්, එ්ත් මම කරන්නේ නෑ!" කියන එක නේද? ඔහු බලයට පත්වුණේ කෙටිකලක් ඇතුළත විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කරන බවටත් රටේ විනාශයට තුඩු දී ඇති ජාතික ප‍්‍රශ්ණයට දේශපාලන විසඳුමක් මාස තුනක් ඇතුළත දෙන බවටත් පොරොන්දු වෙමිනි. අවුරුදු 10කට වැඩි කාලයක් බලයේ සිටි ඔහු දැන් කියන්නේ "මට කරන්න පුළුවන්, එ්ත් මම කරන්නේ නෑ!" කියාය. මේ නම් ඔහුට ඡන්දය දුන් ජනයාට ඇඳිවත උස්සා පෙන්වමින් ඔච්චම් කිරීමක් මිස වෙන දෙයක් නොවේ. යුද්ධය අවසන් වී අවුරුදු පහමාරක් ගතවී ඇතත් ජාතික ගැටලූවට දේශපාලන විසඳුමක් ඔහු යෝජනා කරන්නේ නැත. ඔහුම කියන පරිදි එ් සඳහා ඔහුට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නට බලය තිබේ. යුද්ධය කළේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට විරුද්ධව මිස දෙමළ ජනයාට විරුද්ධව නොවේ යයි ආණ්ඩුව එදා කීවේ ය. එසේ නම් කළ යුතුව තිබුණේ යුද්ධය අවසන් වූ වහාම උතුරේ දෙමළ ජනයාට ගෞරවයෙන් යුතුව නිදහසේ ජීවත්වීමට හැකි වන පරිදි දේශපාලන විසඳුමක් දීමය. එ් වෙනුවට ඔහු කරන්නේ උතුරේ ජනයා හමුදා පාලනයකට යටකර පීඩනයට පත්කිරීමයි. එ් මගින් නැවතත් යුද්ධයකට පාර කැපීමයි. චීනය එකම මිතුරා කර ගැනීමෙන් ඉන්දියාව තරහ කර ගැනීම නිසා අප රටට ඇත්තේ කොයි මොහොතක හෝ පුපුරා යා හැකි අනතුරකි. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ විසින් උතුර පමණක් නොව මුළු රටම හමුදා පාලනයකට සූදානම් කෙරෙමින් තිබේ. රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ සිටියොත් රටට ලැබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොව හමුදා පාලනයකි.


පිට ඔපය යට ඇති දේ

විදේශවල වෙසෙන සමහර ශ්‍රී ලාංකිකයන් වසර ගණනාවකට පසු මේ කාලයේ කෙටි නිවාඩුවකට ලංකාවට ගිය විට දැක ඇත්තේ අලූතින් ඉදිවුණු අධිවේගී මාර්ග, විශාල ගොඩනැගිලි, ව්‍යායාම සඳහා ඇවිදින මාවත් සහිතව අලංකාර කළ උද්‍යාන, ආදියේ ආශ්චර්යය පමණි. එ්වා දැක දැන් අපේ රට ලොකු දියුණුවක් ලබා ඇතැයි සිතන්නෝ සහ කියන්නෝ ද සිටිති. එහෙත් මේ බාහිර සංවර්ධනය වෙනුවෙන් ණයට ගෙන වියදම් කරන කෝටි ගණන් මුදල්වලින් කොතරම් ප‍්‍රමාණයක් දේශපාලකයන්ගේ සාක්කුවලට යන්නේ ද යන්න එසේ බාහිර ආටෝපය දකින්නන්ට නො පෙනෙයි. අධිවේගී මාර්ගයක එක කිලෝමීටරයක් ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකකින් ඉදිකරන්නට හැකිව තිබියදී මේ ආණ්ඩුව යටතේ චීන කොන්ත‍්‍රාත් කරුවන් ඉදිකරන අධිවේගී මාර්ගවලට එක කිලෝමීටරයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 16ත් 18ත් අතර ගණනක් වියදම් කර ඇති බව ආණ්ඩුවේ ඇමතිවරයකු ව සිටි නවීන් දිසානායක මහතා ඉතා මෑතකදී හෙළි කළේය. ඕනෑම කෙනෙකුට මේවා අන්තර්ජාලයෙන් බලාගත හැකිය. ඔබ අද යාපනයට ගියහොත් එහිද ලස්සන පාරවල්, සංචාරක හෝටල් ආදිය ඉදිවී ඇති බව දකින්නට පුළුවන. එහෙත් එ් බාහිර ඔපයට නො රැවටී යාපනයේ වෙසෙන සාමාන්‍ය ජනයා සමග කතාබහ කළොත් ඔවුන් ඉල්ලන්නේ නිදහස මිස පාරවල් හෝටල් හෝ සැනකෙළි නොවන බව ඔබට වටහා ගන්නට හැකිවනු ඇත. කොළඹ නගරය සහ එ් අවට ලස්සන නවීකරණය දකින කෙනෙක් එ් හැම තැනකම අවි දරාගෙන සහ සිවිල් ඇඳුමෙන් සිටින හමුදා භටයන් නොදකින්නේ නම් ලංකාවේ ඇත්ත තත්වය ගැන අවබෝධයක් ඔහුට නොලැබෙනු ඇත.

නාස්තිකාර, එ්කාධිපති ස්වරූපයේ පාලනයෙන් අපේ රට මුදවා ගැනීමට අවස්ථාවක් දැන් පෑදී තිබේ. එ් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ම මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමයි. ඔහු බලයට පත්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් හදා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ස්වාධීන කොමිසම් පත්කර රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කරන බවට ප‍්‍රතිඥා දී තිබේ. එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප‍්‍රධාන විරුද්ධ පක්ෂ සියල්ලේම ද හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක, සරත් ෆොන්සේකා මහතා සේම කලින් පොදු අපේක්ෂකයා ලෙස නම්කර සිටි මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සහාය ද මේ පොදු අපේක්ෂකයාට ලැබේ. එසේම මෑතක් වන තුරු ආණ්ඩුවේ කොටස්කරුවන්ව සිිටි ජාතික හෙළ උරුමයද සහාය දක්වන්නේ පොදු අපේක්ෂක මෛතීපාල සිරිසේන මහතාට ය. රටේ උගතුන් ගේ සංවිධාන වන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද පොදු අපේක්ෂකයාට සහාය දක්වයි. එසේම ජනතා විමුක්ති පෙරමුණ ද පෙනී සිටින්නේ මහින්ද රාජපක්ෂ පාලනයෙන් රට ගලවා ගැනීම වෙනුවෙනි.

රටතුළ මෙවැනි විරෝධයක් ගොනුවී ඇත්තේ රාජපක්ෂ පාලනය රට විනාශ කරන හැටි තවදුරටත් ඉවසා සිටින්නට බැරි තැනය.


ඔබේ යුතුකම

ඔබ ඕස්ටේ‍්‍රලියාව වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දියුණු රටක සිටියත් ඔබේ නෑයින් හිත මිතුරන් වෙසෙන්නේ මෙහි ඉතා කෙටියෙන් කී අයුරු පරිහානිගත හා අනතුරුදායක තත්වයකට පත්ව තිබෙන ඔබේ රටේ ය. රට මේ තත්වයෙන් ගලවා ගන්නට ඔබ කැමති නම් මේ අවස්ථාවේ එය කරන්නට ඉදිරිපත් වී සිටින අයට ඔබේ සහාය දීම අත්‍යවශ්‍ය ය. දැන් ඉදිරිපත්වී සිටින පොදු අපේක්ෂකයා ලවා රට විනාශයෙන් ගලවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පිහිටුවා ගැනීම දැන් රටේ ජනතාවට බාරය. ඕස්ටේ‍්‍රලියාව වැනි දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක වෙසෙන ඔබට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැනත් ජාතීන් අතර සහජීවනයේත්, ආගම් අතර සහජීවනයේත් අගය ගැන හොඳ වැටහීමක් ඇති බව නිසැක ය. ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන නමුත් තමා උපන් මව්බිමට හිතැති ඔබට මේ අවස්ථාවේ රට වෙනුවෙන් කළ හැකි වැඩ කොටසක් තිබේ. ලංකාවේ සිටින ඔබේ පවුලේ අයට, හිතවතුන්ට මේ කරුණු පෙන්වාදී අපේ රට වැටී ඇති අභාග්‍යමත් තත්වයෙන් රට ගලවා ගෙන ලෝකයේ ගෞරවයට පාත‍්‍රවන දියුණු රටක් බවට අපේ රට පත්කර ගැනීමට ඔබටත් දායක විය හැකිය. එ් සඳහා ඔබට හැකි උපරිම දේ කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

මෙයට

පුරවැසි බලය’ වෙනුවෙන්

ජයතිලක කම්මැල්ලවීර
ශ්‍යාමන් ජයසිංහ
ලයනල් බෝපගේ
ජගත් ජේ එදිරිසිංහ
රසික සූරියආරච්චි
චරිත දිසානායක
වරුණ සාවින්ද
අසෝක සුබසිංහ
මාලන් බණ්ඩාර කපුවත්ත
අසෝක සිල්වා
ගාමිණී රණසිංහ


(image: http://nepalesevoice.com.au/australia-sri-lanka-to-sign-people-smuggling-deal/)

50 comments:

  1. Election date is 08th January 2015....

    ReplyDelete
  2. ජයතිලක කම්මැල්ලවීර
    ශ්‍යාමන් ජයසිංහ
    ලයනල් බෝපගේ
    ජගත් ජේ එදිරිසිංහ
    රසික සූරියආරච්චි
    චරිත දිසානායක
    වරුණ සාවින්ද
    අසෝක සුබසිංහ
    මාලන් බණ්ඩාර කපුවත්ත
    අසෝක සිල්වා
    ගාමිණී රණසිංහ

    අපේ මාරයියා අහනවා මේ අය කොටි බෝම්බ තියලා සිය ගණන් මරා දමන කාලේ හිටියෙත් ඕස්ට්‍රේලියාවෙමද කියලා?

    ReplyDelete
    Replies
    1. මැක්කමයි මතක් වෙන්නෙ නේද

      Delete
    2. නැතුව ඇති. හැබැයි මේ අය ඉඳ හිට හරි ලංකවෙ ඉන්න අයට එවන ඔට්ටේලියන් ඩොලර් උදව් උනා බල්ගේරියන් තුවක්කු පකිස්ථාන් මිසයිල, චීන උන්ඩ එහෙම ගන්න.

      Delete
    3. ඒ කොහොමද මේ අය එවපු ඩොලර් වලින් බල්ගේරියන් තුවක්කු ගත්තෙ?

      Delete
    4. කවුරු තුවක්කු අරන් දුන්නත් අපේ මාරයියයි ගමේ කොල්ලොයි තමයි තුවක්කු අරගෙන යුද්ධෙට ගිහින් කොටින්ට විරුද්ධව වීරෝධාර ලෙස සටන් කළේ.

      Delete
  3. අනේ නැ........... අපි හියේ හඳේ

    ReplyDelete
  4. නිවැරදියි. මේක එල්ලන්න ඕන අර දවසක් "මහින්ද පරද්දන්නෙ ඇයි?" කියල මගෙන් කස්ටියක් අහපු පෝස්ටුවෙ.

    ReplyDelete
  5. අගනා විග්‍රහයක්.......... මේ ඇත්ත තේරුම් ගන්න තරම් බුද්ධිමත් සංවේදී මිනිසුන් ඉන්නවද කියන එක තමයි ප්‍රශ්නෙ...

    ReplyDelete
    Replies
    1. අවුරුදු තිහක යුද්ධය නිසා ඇස් අන්ධවෙලා කන් බිහිරිවෙලා ගිහින් මිනිස්සු මළ වෙලාවේත් රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කෑවා මතක නැද්ද?

      කම්මලේ බල්ලන්ට හෙණ ගැහැව්වත් ඇහෙන්නේ නෑ කියනවානේ! අපි පරිසරය අනුව පරිනාමය වෙලා අද වෙනකොට අසංවේදී වෙලා!

      Delete
    2. බින් ලාඩන් මරපු දවසෙ ඇමෙරිකාවෙ මිනිස්සු නං කිරිබත් කෑවෙ නෑ එහේ කිරිබත් නැති නිසා.

      Delete
    3. කිරි සහ බත් වෙන වෙනම තියෙනවා!

      Delete
    4. අසිත මාගම්මන12 December 2014 at 15:21

      Rasika - I beg to differ // අවුරුදු තිහක යුද්ධය නිසා ඇස් අන්ධවෙලා කන් බිහිරිවෙලා ගිහින් මිනිස්සු මළ වෙලාවේත් රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කෑවා මතක නැද්ද?//
      මිනිසුන් කිරිබත් කෑවේ දෙමළ ජනතාවය මල්ටි බැරල් වැදුන එක ගැන චූන් වූ නිසා නොවේ - තමන් ගේ ජීවිත සෑම විටම අවදානමට ලක්කළ එක් වරක් පමණක් ලකී වීමෙන් ලොකු විනාශයක් කළ හැකි ( බ්‍රයිටන් බෝම්බ ප්‍රහාරයෙන් පසු අයි ආර් ඒ ප්‍රකාශය සිහි කරන්න ) ත්‍රසතවාදී සංවිධානයක් විනාශ වීම ගැන ඇතිවූ මහත් අහ්ලාදය නිසාය - කිරිබත් නොකෑවත් - කාලතුවක්කු ප්‍රහාරවලට ලක්වන සාමාන්‍ය ජනතාව ගැන විශාල බරක් හදවතේ තිබුනත් යුද්ධය නිමවූ මොහොතේ මමත් ප්‍රීතිවීමි - එය හොඳ දෙයක් නොවේ එහෙත් සාමාන්‍ය මානව ප්‍රතික්‍රියාවකි - ඉහත ඇනො‍ේ සදහන් කළ බින් ලේඩන් ඝාතනය අවස්ථවේ ඇමරිකානු ජනතාව සැමරූ හැටි සිහි කරන්න - තිස්වසරක යුද්ධය නිසා අන්ධ වුයේ සිංහලයන් පමණක් නො‍වේ දෙමළ ජනතාවටද එය අදාළය - Had the Tables turned would you expect a different reaction from Tamils ? even though it may sound immoral

      Delete
  6. මෙහෙමයි. විය යුත්තේ මේක තමයි. ඒත් වෙනසක් කරන්න එන එකත් 18 අත උස්සපු, මේ එක දෙයක් වත් නොකරනවයි කියන එකෙක් නම්, මිනිස්සු මොකද කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කළයුත්තෙද?
      එක්කො, ඔන්නොහෙ කියලා මහින්දටම ඡන්දෙ දිය යුතුයි.
      නැත්කම්,
      දිනාගෙන එන කෙනා කවුදැයි බලා එයාට ඡන්දෙ දී තමන්ගෙ ඡන්දයට වටිනාකමක් දිය යුතුයි.

      Delete
    2. නැහැ කලයුත්තේ මේ මොහොතේ වඩා ප්‍රමුඛතාවය දිය යුතු දේ උදෙසා කටයුතු කිරීමයි.මේ මොහොතේ වඩා ප්‍රමුඛතාවය දිය යුත්තේ ඒකාධිපති මහින්දගේ බල වියරුව පැරදවීමයි.

      Delete
    3. @ මනෝජ්

      සිරිසේනගේ ප්‍රකාෂවලත් ඒකාධිපති ස්වරූපයක් පෙන්නේ නැද්ද? ඔන්න ඕක තමයි පාට කන්නාඩි දාගත්තම වෙන දේ. ඊට පස්සේ තව අවුරුදූ කීපයකින් මේ වගේම සිරිසේනට බනිනවා අම්මාමෝ නැතිව.

      Delete
    4. මං හිතන්නේ 1978 සිටම මේ ඒකාධිපති උතුමාණන් ගේ රාජ්‍ය ක්‍රමය ඇතලේ ඉඳලා අපි හැමෝගේම වගේ සිත් දුෂ්‍ය වෙලායි තියෙන්නේ.

      අවුරුදු තිහක යුද්ධය නිසා ඇස් අන්ධවෙලා කන් බිහිරිවෙලා ගිහින් මිනිස්සු මළ වෙලාවේත් රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කෑවා මතක නැද්ද?

      Delete
    5. @ මාතා
      ඔන්න ඕකනේ වෙලා තියෙන්නේ,දැන් ඔය නොකියා කියන්නේ දන්නා යකා නොදන්නා යාකාට වඩා හොඳයි කියලා නෙමෙයිද?මහින්ද ගැන තවදුරටත් බලාපොරොත්තු තියා ගන්න බැහැ රට යහපාලනයක් කරා ගෙනයාවි කියලා.ඊලග දේ තමයි සිරිසේන ඇවිල්ලා සියට සීයක්ම හොඳ මිනිහෙක් කියලා බලපොරොත්තු තියා ගන්න ඕනේ නැහැ.සිරිසේන මහින්දට සාපේක්ෂව විශ්වාස කරන්න පුළුවන් කියලායි මගේ හැඟීම.

      Delete
    6. @M &M,
      the best out of the available bad lot?
      the least bad?
      තියන ඔප්ශන්වලින් අඩුම නරක එක?

      Delete
    7. අන්න පටලවා ගත්තා.. මහින්ද හොඳයි කියනවා නෙමෙයි.. මම කියන්නේ දොගොල්ලාම එකයි කියන දේ... මම දෙනවා අර නාමල් රාජපක්ෂට.. ඌ මගේ ක්ලාස් මේට්. අනික අපේ ගෙවල් ගාව..

      Delete
    8. //මම දෙනවා අර නාමල් රාජපක්ෂට.. ඌ මගේ ක්ලාස් මේට්. අනික අපේ ගෙවල් ගාව..//
      එතකොට ඔයාගෙ ඡන්දෙට කෝ වටිනාකමක්..? (ඡන්දෙට වටිනාකමක් දෙන්න දිනන කෙනාට ඡන්දය දියයුතුයි කියන එකනෙ ඔයාගෙ තියරිය)

      Delete
    9. අයියෝ මාතා කාලා.. තව ටික දවසක් බලනවා කිව්වනං හරිනේ.. හැක්...

      Delete
    10. නෑ නේ දේශා ඒක මෙතනදි නම් හරි.. මොකෝ එකයි දිනන්නේ.. දැන් බස්නාහිර එකේදි මම දුන්නේ ජෙප්පන්ට.. මනාප තුනම අතුලේ.. මෙතනදි දෙන්නෙත් දිනන කෙනාට තමයි.. ඒත් ඒක තීරණය කරන්න තවම කල් වැඩියි.. මිනිස්සු විහිළු දන්නෙ නැති උනාට මට කරන්න දෙයක් නෑ නේ..

      Delete
  7. සියට සීයක් මේ සටහන සමගින් එකඟයි.සිදුවූ වගේම විය දේද ඉතා පැහැදීළි ලෙසටම ලියා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. මුල් අත්සන ම වියත් ලේඛකයෙකු ගේ...!

      Delete
  8. රසික
    හොඳ උත්සාහයක් සහ මේ වෙනුවෙන් පෙනී සිටීමට ස්තුතියි.ඊයේ මෙල්බර්න් වල තිබුන හමුවට මමත් ගියා.අපි අතරම සිටින SPUR කියන සංවිධානය බොදු බල වේදිකාවේ පෙනී සිටින විට ඔවුන්ගේ නමේ තේරුම ගැන විමසන්නට මට හිතෙනවා.උත්සාහය සාර්ථක වේවා කියා පතනවා.මෙවරත් වෙනසක් සිදුවුනේ නැතිනම් ලංකාවෙ මිනිස්සුන්ට කට අරින්න වෙන්නේ බත් කන්න විතරක්මයි.සමහරවිට සිම්බාබ්වේත් පහු කරයි.

    ReplyDelete
    Replies
    1. එය SPHR නේද?

      SPHR = Society for Peace and Human Rights ?

      Delete
  9. It is SPUR.Society for Peace, Unity and Human Rights http://www.spur.asn.au/

    ReplyDelete
  10. වත්මන් ආණ්ඩුවේ කෙතරම් වැරදි පැවතියද ආණ්ඩුව පෙරලා දමා බලයට ගෙන ආ හැකි අවම හෝ සාධනීය ව්‍යාපාරයක් තවමත් මේ රට තුළ නිර්මාණය වී නැත. ජාත්‍යන්තර බලවතුන්ගේද සහය ලබන ඝෝෂාකාරී ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් කලක සිට මෙරට ක‍්‍රියාත්මකව තිබුණද ඒ ව්‍යාපාරය ප‍්‍රායෝගික ශක්තිය අතින් බංකොලොත් ව්‍යාපාරයක් වනවා පමණක් නොව රටට අහිතකර අභිලාෂයන් හා අරමුණු පෙරදැරි කරගත් ව්‍යාපාරයක්ද වන්නේය. ඔවුන් තම සටන සඳහා තෝරාගත් පොදු ඊනියා පොදු අපේක්ෂකයාගේ ස්වභාවයම මේ ව්‍යාපාරයේ බංකොලොත් ස්වභාවය ගැන ඉතා තාර්කික ප‍්‍රශ්න මතු කරන්නකි. මෛතී‍්‍රපාල යනු ශි‍්‍රලනිපයේ මහ ලේකම්වරයා ලෙස වත්මන් ආණ්ඩුවේ වැරදි පිළිබඳ වගකීමෙන් කෙසේවත් නිදහස් කළ නොහැකි පුද්ගලයෙකි. ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ සියලූ චෝදනාවලට මෛත‍්‍රීපාල මහතාද සෘජුව හා වක‍්‍රව වගඋත්තර කාරයෙකි. අද විපක්ෂයට තම යහපාලනයේ සටන සඳහා දූෂිත යැයි කියන රෙජීමයේම ඉහල පුටුවක් බිලී බා ගැනීමට සිදුවීම සරදම්කාරී දේශපාලන විහිළුවක් වන්නේ ඒ නිසාය. අඩුම තරමේ මෛතී‍්‍ර ආණ්ඩුවේ වැරදිවලට එරෙහිව බාහිර හෝ අභ්‍යන්තර අරගලයක නිරත වූ අයකු හෝ වේ නම් මේ ප‍්‍රවේශය යම් පමණකින්වත් සාධාරණ විය හැකි වුවද මෛත‍්‍රී යනු අවසාන මොහොත දක්වා ආණ්ඩුව සමග කටයුතු කොට හිටි අඩියේ කඳුලූ සලමින් යහපාලන සටනකට අවතීර්ණ වූ දේශපාලන කවටයෙකි. අව්‍යාජව පැන නැගිය යුතු සටනක් වෙනුවට යටි කූට්ටු දේශපාලන කුමන්ත‍්‍රණයක ස්වභාවය රැස් විදා ප‍්‍රකට කරන මෛතී‍්‍රගේ මෝඩ ප‍්‍රවේශයම ඔහුගේ නිසැක පරාජය තහවුරු කරවන එක් හේතුවකි. අද රටට විශාල වෙනසක් අවශ්‍ය බව පැහැදිලි වුවද ඒ වෙනස කළ යුතු වන්නේ බලය උසුලන පිරිසට වඩා දශමයකින් හෝ සාධණීය ව්‍යාපාරයක් ඔස්සේ මෝඩ දේශපාලන සූදුකාරයන්ගෙන් සමන්විත වත්මන් ආණ්ඩු විරෝධී බලවේගය ඔස්සේ නොවේ. රට ලබාගත් ඓතිහාසික ජයග‍්‍රහණ සමග පවා වෛරයකින් පසුවන ඒ ජයග‍්‍රහණ ආපසු හැරවීම සඳහා කි‍්‍රයාකළ හා කි‍්‍රයාත්මක වෙමින් සිටින මේ විෂම බලවේගය නැවත ඔසවා තැබීමෙන් රට මුහුණ පා සිටින අර්බුදය කිසිදු ආකාරයකින් නැවත පිළිසකර කළ හැකි නොවේ. යම් හෙයකින් මේ බලවේගය ජයග‍්‍රහණය කළහොත් රට මේ දක්වා ලැබූ ජයග‍්‍රහණ පවා නැවත පාවා දෙමින්, රටේ අද පවතින ස්ථාවරබව පවා බිදී විසිරෙමින් රට නැවත ඇද වැටෙනු ඇත්තේ බෙහෙවින් අරාජික හා අස්ථාවර අඩියකටය. අද චම්පික රණවක වැනි අය පවා මේ පිරිස සමග එක්වී ජාතික බලවේග සහිත යහපාලනයක් ගොඩනැගීම ගැන නන් දොඩවමින් සිටීම කනගාටුව දනවන විහිළුවකි. මහින්දගේ ආණ්ඩුව තුළවත් කළ නොහැකි වූ විප්ලවයක් කිරීමට රනිල්ගේ බලවේගය තුළින් හැකිවෙතැයි චම්පික විස්වාස කරන්නේ නම් හෙළ උරුමය තම ඉතිහාසයේ ගනු ලබන මෝඩම දේශපාලන තීරණය එය වන බව කිව මනා නොවේ.අද පොදු අපේක්ෂක ව්‍යාපාරයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇදුරන් ප‍්‍රසිද්ධියේම දෙසන නරිවාදම් වලට අනුව ඔවුන්ගේ ප‍්‍රධාන අභිලාෂය වන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වයෙන් තොරවූ ආණ්ඩුවක් තැනීමය. එවැනි දවල් සිහින දකින්නන් පරාජය කිරීම මර්වින් වර්ගයේ ඇමතිවරුන් පරාජය කිරීමටත් වඩා වැදගත් දේශපාලන අවශ්‍යතාවයකි.

    ජනාධිපතිවරණ තීන්දුව හා ජාතික බලවේගයන්ගේ අනාගතය

    ReplyDelete
  11. ඔව් ! මේ අවස්ථාව අපි පැහැරහරින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හැබැයි 2005 කාපු කුම්බලා මාළු අමතක කරන්න එපා.

      Delete
  12. සිංහලයා මෝඩයා කැවුම් කන්න සුරයා කියූ සුද්දා කොරල බලාපියව් කියා බැරිම තැන රට අපට දී යන්නට ගියේය.දැන් අවුරුදු හැත්තෑවක් තිස්සේ ඉඟුරු දෙමින් මිරිස් ගනිමින් ජන්දය නමැති දැලිපිහිය වඳුරන් සේ හසුරමින් නාඩගම් නටමු.මේ ඒ නාඩගමේ උච්ඡතම අවස්ථාවකි.ඉරෙන් ජන්දේ ගත් උන් ඉරට පුක පෙන්වා සඳුට ආවඩති.සඳෙන් ජන්දේ ගත් උන් සඳුට පුක පෙන්වා ඉරට ආවඩති.මුන්ට කඩේ යන සට්ටඹියන් ඉරක් සඳක් නැතිව කෙල ගනිති.
    1931 පටන් අපි ප්‍රජතාන්තරවාදී යයි මැකෝ අද පාරම් බෑවේය.ඉන් මිනිත්තු කීපයකින් පසු එළියට ආ ප්‍රජාතන්තරවාදී රටේ නායකයාට ඇමැත්තා ගේ පටන් සාමාන්‍ය වැසියා දක්වා උන් කොඳු නාරටි කඩා ගෙන දොහොත් මුදුන් දී වන්දනාමාන කලේ රාජාණ්ඩු රටකටවත් නොදෙවෙනිවය.ඇමැත්තෝ නම් කම් නැත ලැබෙන කුට්ටියේ ගානට අනුව අංශක ගානක් නමනවා ඇත. නායකතෙමේද රට වැසියාට අවැසි ලෙසම රජෙකුටත් එහා ගිය බජාර් චන්ඩියෙකු සේ දතට දතක් පන්නයේ ටෝකක් ඉසූ කරන ලදී.වැසියෝ සිය නුතන සාදු කාරය හෙවත් ජය වේවාව පැවැත්වුහ .my3 නොව මොකා ආවත් වැසියන්ට උවමනා රජෙකි.එහෙවු ආතල් එකක් නොදේ නම් මොකා උනත් අපේ උන්ට කිසි ගතියක් නැත.උඩු රැවුලක් නැති රෙද්ද බැනියම නොඅඳින කටහඬ ගොරෝසු නැති නායකයෙක් ගෙන් කවර පලයක්ද ?රෙද්දේ ගියත් මොකෝ බෙට්ට කෙලින් නම්! මුන් මේ කෝටි ගණන් වලට එහාට මෙහාට පනින්නේ මහජන මුදලින් වුව කම් නැත.ක්‍රිකට් මැච් නැති දවසට යුද්ද කාලේ මැරෙන ස්කෝර් එකින් ගත් ආතල් එකම දැන් මේ ගෙම්බො පනින ස්කෝර් එකෙන් ගමු.

    ReplyDelete
    Replies
    1. අපේ මාරයියා තමයි සිරි ලංකා එකට එන අමුත්තන්ගේ කකුල් සෝදලා ගෙට ගන්නේ. ඊයෙ අස්ස තිත්තනායකගෙ කකුල් හෝදලා පඬුරුත් හම්බවුණාලු. කැටගොඩ නම් මොකුත් දීලා නෑ කියලා අපේ මාරයියා ඒකාට ලෝබයා කියලා බැණ බැණ හිටියා.

      Delete
    2. රන් කිරගෑගේ පුරන් අප්පු12 December 2014 at 15:13

      චතුෂ කුමාර නොහොත් රංග ජයවර්ධන ගැන අපි දනිමු - රංග ජයවර්ධන ෆේකිය මෙහෙවයන අනිකුන්ද සොයා ගත යුතුය

      Delete
  13. හෙන්රි වර්ණකුලසූරිය9 December 2014 at 06:28

    මෝඩකමට අහන්නෙ. දැන් රනිල්තුමා බලයට ආවම ඔය සේරම ප්‍රශ්න විසඳෙනවද?

    ReplyDelete
    Replies
    1. @හෙන්රි
      අනාගතය ගැන කියන්න දන්නේ කවුද? මෙහි ඇත්තේ අද තත්වය ගැන විග්‍රහයක් සහ ගත යුතු හොඳම විකල්පය ගැන අදහසක් පමණි.

      ඔබ වුවද 1994 දී, 199 දී, 2005 දී, 2010 දී යම් තීරණ ගන්න ඇති නේද? අනාගතය කලින් දැන ගැනීමේ ක්‍රමයක් එදා තිබුණේත් නැත, අද ද නැත.

      Delete
    2. මෙන්න දස වසරකට පෙර අපි අනාගතය දුටු හැටි.

      http://youtu.be/mARfxbTit-k

      කාලය මැව් වෙනසක අරුමේ...!

      Delete
  14. එදා සිටි මිනිසුන් නොව අද ඉන්නේ. එසේනම් ඔවුන්ගේ සිතුම් පැතුම් ද වෙනස් වී ඇති. ඒ වෙනසට වෙනසකින් ප්‍රතිචාර දැක්විය යුතුයි. ඔබේ සංදේශය වැඩිදෙනෙක් අතට යාමට සලස්වන්න.

    ReplyDelete
    Replies
    1. ඒ සඳහා ඔබටත් සහය විය හැකියි.

      Delete
  15. දැං ඉතිං අපේ ඇයෝ මේක කියවල තේරුම් අරගෙන කරන්න ඕන දේ ටක්කෙටම ධාරණය කරගෙනයි ඉන්නේ.. බොරුද බලන්නකෝ 9 වැනිදට..

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ ආමන්ත්‍රණය කර තිබෙන්නේ ඕස්ටේ‍ර්ලියාවේ ඉන්නා ලාංකිකයින්ටයි. ඔවුන්ගෙන් ඉල්ලන්නේ ලංකාවේ ඉන්නා නෑදෑ හිතවතුන්ට මේ පණිවිඩය ගෙනියන්න කියලයි. තව මාසයක් කල් තියෙනවා!

      Delete
  16. මහින්ද අල්ලස් දෙන එක ඇත්තයි . එත් UNP කාලේදී චන්ද පෙට්ටි පිටින් දැම්මේ මැරයෝ. සාමාන්‍ය ජනතාවට් චන්දෙ දාන්න යන්න දුන්නෙත නෑ . අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන JVP එක එදා චන්දෙ දාන්න ගිය අයට වෙඩි තිබ්බා . උන්ට වඩා MR ප්‍රජාතන්ත්‍රවාදියි

    ReplyDelete
    Replies
    1. හුදු බණ්ඩා12 December 2014 at 15:11

      ඇනෝ
      ලෝකයද එදාට වඩා අද ගොඩක් වෙනස්ය - එදා මානව අයිතිවාසිකම් ආදිය ගැන සමස්ත ලෝකයේම අද තරම් අවධානයක් යොමුව තිබුනේ නැත - එමෙන්ම අද මෙන් දේශපාලනියව සංවේදී විශාල මධ්‍යම පන්තියක් ඒ කාලේ තිබෙුනේද නැත - දේශපාලනික සංවේදීතාව - යහපාලනය කෙරෙහි ඇති අවධානය එදාට වඩා අද ගොඩක් වැඩිය - ඒ අනුව දේශපාලනයද පරීණාමය විය යුතුය - නැතිනම් අර එදා වැනි දේශපාලනයක් කරන තැනැත්තා ඩයිනෝසරයෙක් වේ - එබැවින් පරිණාමය නොවූ පාලකයෙක්ට පරිණාමය වූ විපක්ෂයක් එරෙහිවන විට පරණ කයිකතන්දර එළියට දැමීම වර්තමාන තත්ත්වයට අදාළ නොවේ

      Delete
  17. පුරවැසි බලය කියන්නෙ නොර්වෙ සල්ලි ලැබෙන NGO කඩමාල්ලක් මිසක් ඔස්ට්‍රෙලියාවෙ ඉන්න ශ්‍රීලාන්කිකයො නෙවෙයි.

    ඔස්ට්‍රෙලියාවෙ ඉන්න දෙමල මිනිස්සුන්ටනම් මෙ ආණ්ඩුව එලවගන්න ඔනෙ සින්හල මිනිස්සුන්ටනම් එච්චර කැහිල්ලක් නෑ.

    ReplyDelete
    Replies
    1. රංග ජයවර්ධන18 December 2014 at 16:47

      නෝර්වේ සල්ලි ලැබෙනවා ආණ්ඩු විරෝධීන්ට කියන කතාව ඇතැම් දේශපාලනික හන්චයියන්ගේ බොරු ප්‍රචාරයක් පමණයි - හැකිනම් ඒ සඳහා සාධක ඉදිරිපත් කරන්න කියා අභියෝග කරමි

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.