Wednesday 25 February 2015

ඊළඟ ජනාධිපති ගේ ඡායාරූපය ගාලු මුවදොර පිටියේ හොරෙන් බෙදයි! - Next president..!, next president..!


ජේ.ආර්. ජයවර්දෙන ලංකාවේ මුල්ම විධායක ජනාධිපති වූයේ ඡන්දයකින් දිනා නොවේ.

අලුතින් ගෙනා ව්‍යවස්ථාව ලියා තිබුණේ මුල් වාරයේ පමණක් එවකට සිටින අගමැතිට විධායක ජනාධිපති වීමට "පිනා චාන්ස්" එකක් ලැබෙන ආකාරයටයි. (එවැනි පිනා චාන්ස් ලැබෙන තවත් ක්‍රමයක් ඇති බව අපි පසුව දැන ගත්තෙමු!)

මහ ඡන්දය දිනා 1977 සිට ජේආර් ජයවර්දෙන අගමැතිව සිටි කාලයේ පාර්ලිමේන්තුවේ සභානායක වී සිටියේ, එජාප උප නායකයා ද වූ, ර. ප්‍රේමදාස ය.

ර. ප්‍රේමදාස යනු එවකට ජේ.ආර්. ළඟට පක්‍ෂයේ සිටි ජ්‍යෙෂ්ඨයා නොවේ. නුවර පළාතේ යූඇම්පී දේශපාළුවෙකු වූ ඊ.එල්. සේනානායක වැන්නෝ ප්‍රේමදාසට වඩා ජ්‍යෙෂ්ඨයෝ වූහ. මා අසා ඇති විදියට, සේනානායක වැනි අය ප්‍රේමදාසට අගමැති තනතුර දෙනවාට කිසිසේත් කැමති වී නැත.

ඊට කලින් තිබූ 1965-1970 යූඇම්පී ආණ්ඩුවේ ර. ප්‍රේමදාස බොහෝ කලක් සිට ඇත්තේ උප ඇමතිවරයෙකු ලෙසයි. ඉන්පසුව ඔහු දැරු ඇමතිකම ද කැබිනට් ඇමතිකමක් නොවේ. ඔහු පක්‍ෂයේ ඉදිරියට ආවේ, විපක්‍ෂයේ ගතකළ 1970-77 කාලයේ දී ක්‍රියාන්විත නායකයෙක් සහ දක්‍ෂ කථිකයෙක් ලෙස කටයුතු කළ නිසා යැයි සිතමි.

ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ලෙස ජේ.ආර් ජයවර්දෙන දිවුරුම් දුන්නේ 1978 පෙබරවාරි හතර වෙනිදා ය. මේ කාලයේ පෙබරවාරි හතර වෙනිදා යනු රජයේ නිවාඩු දිනයක් නොවේ. එයට හේතුව නම්, 1972 දී ලංකාව එංගලන්ත මහ රැජිනගෙන් සම්පූර්ණව නිදහස් වී ජනරජයක් වූ මැයි 22 දා, ලංකාවේ ජාතික දිනය ලෙස සැමරීමයි. පසුව 1979 සිට පෙබරවාරි හතරවෙනිදා ලංකාවේ ජාතික දිනය ලෙසත් රජයේ නිවාඩු දිනයක් ලෙසත් නම් කෙරුණු අතර, එතෙක් ජනවාරි පළමුවැනිදාට යෙදී තිබුණු ජාතික වීර දින රජයේ නිවාඩු දිනය මැයි 22 දිනට ගෙන යන ලදී. (මීට වසර ගණනාවකට පසු මැයි 22 දාවක මා ජාතික මට්ටමේ නොවුණත් පුද්ගලික මට්ටමේ වීරත්වයක් ලබා ගත්තෙමි. ඒ කතාව පසුවට!)

ඉහත විස්තරයෙන් මට කියන්නට වුවමනා වූයේ මේ කියන 1978 පෙබරවාරි හතරවෙනිදා නිවාඩු දිනයක් නොවූ බැවින් අප පාසල් ගිය බවයි.

පාසලට ගොස් මද වේලාවක් තුන්මහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි අපේ 10-9 පන්තියේ ගත කළ පසු මගේ මිතුරු උදය සහ මා තීරණය කළේ එදින ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනාධිපති දිවුරුම් දීමේ උත්සවය නරඹන්නට යෑමටයි. යූඇම්පීය මහ ඡන්දෙන් දිනන බවට ඔට්ටුවක් අල්ලා රුපියල් පහක් දිනූ මගේ යුඇම්පී කම ඒවන විටත් එලෙසම තිබුණු බව මේ අනුව පෙනේ. (ඇත්තටම එය නැතිවූයේ 1980 මැද භාගයේ දී පමණය!)

පාසලෙන් පිටවී මරදානට පයින් ගිය අපි දෙදෙනා, දුම්රියෙන් කොටුවට ගොස් එතැන සිට ඇවිදගෙන ගාලු මුවදොර පිටියට ගියෙමු.

ඒ විශාල පිටියේ අතුරු සිදුරු නැතුව ජනයා පිරී සිටියහ. කොටු ඇඳ ගණං බැලීමට ගුවනේ සිට ගත් ඡායාරූප නැති නමුත් පනස් දහසක් පමණ පිරිසක් ඒ ඓතිහාසික අවස්ථාව නැරඹීමට පැමිණ සිටි බව මගේ අදහසයි!

පාසල් ළමුන් ද සහභාගී වූ ආචාර පෙළපාලියක් එහි පැවැත්වුණු බව යාන්තමට මතකයේ ඇත. (මේ මතකය තවමත් ඇත්තේ මගේ වෙන්ඩ බිරිඳ නමවෙනි ශ්‍රේණියේ දැරියක ලෙස ඒ ආචාර පෙළපාලියට සහභාගී වුණු බව පසුව අසන්නට ලැබුණු හෙයිනි!) මගේ සිත් ගත්තේ එහි දී පැවැත්වුණු ආචාර වෙඩි මුර විසි එකයි. මාත් උදයත් සිටියේ කාලතුවක්කු වෙඩි හඬින් කන් බිහිරි වෙන-නොවෙන තරම් එයට ආසන්නයේ ය.

උත්සවයේ වැඩකටයුතු පැවැත්වෙන අස්සේ සෙනග අතර තෙරපී තෙරපී ඔබ මොබ යමින් කිසිවක් රහසින් මෙන් කියමින් පොස්කාඩ් ප්‍රමාණයේ යමක් බෙදන මැරවර පෙනුමැති තරුණයෙකු මට පෙනුණි.

ඔහු කියමින් සිටියේ, "මීළඟ ජනාධිපති, මීළඟ ජනාධිපති" කියා ය.

තරුණයා බෙදමින් සිටි, ඒ පෝස්කාඩ් ප්‍රමාණයේ පත්‍රිකාවේ තිබුණේ ඡායාරුපයකි.

ඒ අන් කිසිවෙකු ගේ නොව, නව ජනාධිපති ලෙස ජේආර් ජයවර්දෙන ගේ පත්වීමෙන් පසු රටේ නව අගමැති ලෙස දිවුරුම් දෙන්නට නියමිතව සිටි ර. ප්‍රේමදාස ගේ ය...!

ර. ප්‍රේමදාසට, ඔහු එදා 1978 සිටම සැලසුම් කළ ඒ තනතුරට පත්වෙන්නට ලැබුණේ ඉන් වසර එකොළහකට පසුව 1989 දී ය.

එයිනුත් වසර හතරහමාරක් පමණ ගෙවුණු පසු, මා මුලින් කී "පිනා චාන්ස්" එකෙන් ජනාධිපති වීමේ දෙවෙනි ක්‍රමය ගැන අපට දැන ගන්නට හැකිවිය.

-රසිකොලොජිස්ට්

ප/ලි
මට දැන් සහිවෙන විදියට ඒ ඡායාරූපය නිකං බෙදුවා නොවේ. එය රුපියලක් වැනි මුදලකට අළෙවි කෙරුණි! මා එයින් එකක් නොගත්තේ එනිසා ය.
(image: http://www.sundayobserver.lk/2006/11/19/imp07.asp)

24 comments:

  1. ඩී. බී. ගේ පිනා චාන්ස් එක ලංකාවේ කාටවත් ලැබුන් නෑ .. ඕං...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  2. අර විදිනෙ කියන්න වගේ ඩී බී තරං ලක්කාරයෙක් නෑ...
    ඒත් මනුස්සය ඒකත් අතෑරිය නෙව...
    හිහි
    එතකොට ප්‍රේමදාස ජනාධිපති වෙන්ට පෙරුම් පුරල ප්ලෑන් කරල තියෙන්නෙ හැත්තැ ගන්න් වල ඉදල නරකම නෑ

    ReplyDelete
  3. අපේ නම් මුළු පවුලම ගියා.. තාත්තලා එදා කඩෙත් වහලා දැම්මා..
    තාත්තට ඒ කාළේ යූ ඇන් පීයට එහා දෙයක් නෑ..
    අද මහින්ද මහත්තයට එහා කෙනෙක් නෑ..
    රනිල් අරහං...

    අපි නම් හතේ පන්තියේ...

    ReplyDelete
    Replies
    1. අම්මපා? තාත්තට කඩයක් තිබුනාද? ඒ කියන්නෙ කෙල ගගා සල්ලි කොල එකතු කරපු බඩ තඩි මුදලාලියෙක්ද? එහෙම නැත්නම් ''ලුම්පන්'' ව්‍යාපාරිකයෙක්ද?

      තාත්තා ගෙදරටත් කලිසමද ඇන්දෙ?සරං ඇඳපු ගෝත්‍රිකයෙක් නෙමෙයි නේද? මොකද ගෝත්‍රිකයගේ පුතාත් ගෝත්‍රිකයෙක් නිසායි ඇහුවේ?

      Delete
  4. "දේශපාලන වයසට" නොදුන්න එක හොඳයි. සමහර වෙලාවට දේශපාලනයේ හොඳ ලක්ෂණයක් කියන්න පුළුවන් ඒක

    ReplyDelete
  5. presmadasa Honda target ekak tiyagena wada kala kenek.

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස ජනපති වුනේ අවාසනාවන්ත කාලෙක. ඒ අවාසනාව නොවෙන්න අතුලත්මුදලි, රොනී, ගාමිණී වගේ අයත් ඕකට තරග කරන්න ඉඩ තිබුනා. අවාසනාවන්ත් කාලය නිසාම අනිත් අය පසු බැස්සා ප්‍රේමදාස අභියෝග වලින් සැලෙන්නෙ නැති නිසා වැඩේ බාරගත්තා. කොහොම වුනත් ප්‍රේමදාස මිනුසුන්ව විශ්වාස කළා වැඩියි. ප්‍රේමදාසට ජේ ආර් දේලා ගියේ හමුදා 4 කින් යුක්ත සංකීර්ණ රටක්. ඒ වුනත් ප්‍රේමදාස රජයේ සේවකයන්ගෙන් මරවලා වැඩ ගත්තා. ඉතිහාසයේ පළමු වරට රජයේ සේවකයො කාට හරි බය වුනාමයි මම හිතන්නෙ. 1980 වැඩ වර්ජකයො එලියට දැම්මත් එදිනෙදා වැඩත් එක්ක ප්‍රේමදාසට තරම් බය වුනේ නෑ කාටත්. එයාලගෙ පැලැන්තියෙ කෙනෙක් නොවන නිසා ප්‍රේමදාසට ගොඩක් කෙනහිලිකම් ආවා ඉහලයි කියලා කියාගන්න සමාජ පන්තියෙන්. ප්‍රේමදාසට උහුලන්නම බැරි වුනේ තමන්ගෙ පන්තියේ එවුනුත් විහිළු කරන්න ගියාම.

      Delete
  6. තාත්තා වෙනුවෙන් කොල බෙදුවාට වෙනත් අය පුතා නම් එයාම බෙදනවා පන්සල් ගානෙ සල්ලි.. තවත් පුතාලා පෝලිමක් ඉන්නවා ඊලඟ ඊලඟ ජනපති පෝලිමේ.. ඒත් ඉතින් ජනපති වෙලා ඉස්සරහට පලක් නෑනෙ.

    ReplyDelete
  7. ජේ. ආර් ට තිබ්බ ඉවසීම, දැක්ම සහ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමේ ඉව වෙන කාටවත් තිබ්බ කියල මම හිතන්නෙ නෑ! නමුත් වයසට ගිය හින්දද, බලයෙන් ඇස් වැහුන නිසාද මන්ද මිනිහ 83 දි වරද්දගත්තෙ නැත්තන්, ඉතිහාසයෙ මීට වඩා බොහොම උතුම් තැනක් හිමි නායකයෙක්.

    ඉතිහාසය ප්‍රථිනිර්මාණය වෙන්නෙ ඛේදවාචාකයකින් කියනව නේද? මහින්දට උනේ ජේ ආර්හෙ සිද්ධිය ඛේදවාචකයකින් ප්‍රථිනිර්මාණය වීමද?

    ReplyDelete
  8. මේ ලිපිය හා ලලිත් අබේ සිංහ ගැන වූ පෙර ලිපිය මෑත කාලීන දේශපාලන ඉතිහාසයේ වැදගත් තැන් මතක් කර දෙන හොඳ ලියමන් දෙකක්.

    ReplyDelete
  9. මාමා විතරක් නෙමෙයි බෑනත් ඊළඟ තනතුර පිනා පාරෙන් කොටා ගත්තා මේ ජනාධිපතිවරණ ජන්දේ හරහා...

    ReplyDelete
  10. අපි ඉස්කෝලෙ යනකොට නම් රැස්වීමක් කියන්නෙ බෝම්බයකට ආරාධනයක්... ඒ අතින් අයියලා කොච්චර වාසනාවන්තද? ලියන ලිපි වල පවා වෙනසක් දැනෙන්නෙ ඒ නිසා වෙන්න ඇති... මේවා අපිට වටින කියන ලිපි.

    ReplyDelete
  11. ජාතික දිනය සහ වීර දිනය පිලිබඳ විස්තර වලට ස්තුතී. ඒ ගැන තිබුණු අපැහැදිලි මතක අලුත් වුණා, ආයේ අමතක වෙන්නේ නෑ,,

    ReplyDelete
  12. මතකද ඔය ශ්‍රීමත් අතිගරු කියලා ජනාධිපතිව අමතන්න පටන්ගත්තේ ප්‍රේමදාස උන්නැහේ. මොකද එයා දන්නවා ඊළඟට එයාටත් ඒ ටික ලැබෙනවා කියලා. එදා ඉඳලා තමා, අද My3 නවත්තනකල්, ඔය ශ්‍රීමත් අතිගරු කෑලි ආවේ.

    අර ජයවර්දෙන කියනවා වගේ, මුරලිදරන්ගේ නමේ මුල් කොටස 'මුට්ටියාහ්' කියලා ලිව්වොත් මොකක් වෙයිද?

    http://en.wikipedia.org/wiki/Muttiah_Muralitharan

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී නැවැත්තුවා නාකි ඔහේගේ ඇටදෙක පැද්දෙන එක, කපල දැම්මම වැනෙන්න දෙයක් කොයින්ද
      මහින්ද හදවපු කම්පියුටර් ලැබ් විවෘත කරපු බෝඩ් වල බලා ගන්න පුළුවන් උජාරුවට ඔහේ කියන දෙක එල්ලලා තියෙන උජාරුව, නිකම් නෙමෙයි පොලිෂ් කරලත් එක්ක

      Delete
    2. @විචාරක, ජේ.ආර්. පාවිච්චි කලේ “අතිගරු ........... උතුමාණන් වහන්සේ“ කියලා.

      Delete
    3. හ්ම් ... අපේ ගෙදරත් තියෙනව පිඟානක්, මැද ජේ. ආර්. ගෙ රූපයක් තියෙන වටේට රන්වන් අකුරින් ‘අතිගරු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන උතුමාණෝ‘ කියල ලියපු. මම හිතන්නෙ ඒක මොකක් හරි සමරුවක් විදියට නිකුත් කරපු එකක් ඒ කාලෙ.

      අපිට නම් ඉතින් ඒ කාලෙ ගැන මතකයන් නෑ, පස්සෙ කාලෙ කියවපු දේවල් ඇරෙන්න. උන්නැහෙ ඔය තනතුරට පත්වෙන කොට උපදින්න තියා හිතලවත් නෑ.

      Delete
  13. දැන් වරතමානේ සජිත් ප්‍රේමදාසත් රට වටේ ගිහින් තමන්ගේ පොටෝ බෙදන එක පැත්තකින් තියල නම බෙදනවද කොහෙද...

    ප/ලි -කෙසේ වෙතත් මම හිත යටින් කැමති එහෙම වෙනවනම් හැබැයි. :)

    ReplyDelete
  14. මහ ඡන්දේ දිනලා ව්‍යවස්ථා වෙනස් කරන් ජනාධිපති වුන එක නම් තව කමක් නෑ වත් කියන්න බැරිය.. විජේතුංග මහතතයට හම්බුන චෑන්ස් නම් ආයේ කාටවත් සෙට් වෙන්නේ නෑ..

    ReplyDelete
  15. මචං හූරිය අච්චි, ඇයි බං "ජයවර්ධන" කියල නැතුව "ජයවර්දෙන" කියල ලියන්නේ?

    ReplyDelete
  16. රා ප්‍රේමදාස ජනාධිපති වෙන්න සිහින මැවුවෙ එතකොට අවුරුදු දොළහකට කළින්? මං දැනගෙන හිටියෙ නෑ ඔය ෆොටෝ බෙදපු සීන් එකක්.
    කොහොම වුනත්, ප්‍රේමදාස ප්ලෑන් කාරයා. (රටපුර එක රැයින් ඇලවුනු “මේ කවුද - මොනවද කරන්නෙ“ පෝස්ටර් එක වුනත් මාර නිර්මාණයක්.

    ReplyDelete
  17. රා ප්‍රේමදාස ගේ පුත් ස ප්‍රේමදාසත් ජනාධිපති සිහින දකිනවානේ.ඔය ස ප්‍රේමදාසත් 2001 ආණ්ඩුවේ උප ඇමතියෙක්නේ.2005 ජනාධිපතිවරණයෙන් පස්සේ තමයි මිනිහා ප්‍රධාන නළුවෙක් වෙන්න ගත්තේ."පිනා චාන්ස්" තියේ යු.එන්.පි එකේ නායකයා වෙන්නත් බැරි නැහැ.

    ReplyDelete
  18. මම අටේ පන්තියේ එතකොට. තාත්තාගේ ශ්‍රීලනිප උණ ගහල ජේ ආර් ට වැඩිය කැමති නැහැ එතකොට.

    ReplyDelete
  19. ලිපිය කියවූ, ප්‍රතිචාර දැකවූ සියළුම දෙනාට ස්තුති කරමි. ප්‍රමුඛත්වය දිය යුතු වැඩකටයුතු රාශියක් යෙදී ඇති බැවින් වැඩිදුර අදහස් දැක්වීම්වලට මට ඉඩ නැත.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.