Wednesday 7 October 2015

පියෙකු ගේ කතාවක් කෙටිකතාවේ රහස් සහ කෙටිකතාව ගැන කෙටි සටහනක් - Story of a story!


මා පසුගිය සෙනසුරාදා රසිකොලොජියේ පළ කළ කෙටිකතාවේ යම් වෙනසක් මෙන්ම පොඩි රහසක් ද ඇති බව එදා කීවෙමි.

වෙනස නම්, කාල වේලා හිඟකම නිසා, කෙටිකතාව යතුරු ලියනය නොකර, ස්කෑන් පිටපත් ලෙස පළ කිරීමයි. කාලය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කරගෙන කතාව යුනිකෝඩ්ගත කර පල කරන්නට මට ඉඩ ලැබුණේ පුරා දින තුනකට පසුව ය.

ඒ කෙටිකතාවේ තිබූ රහස නම් මෙයයි.

එය මා ලියූවකි. වඩාත් හොඳින් කියනවා නම්, ඒ මා වයස අවුරුදු දහ අටේ දී පමණ ලියූ මගේ මුල් ම කෙටිකතාවලින් එකකි.

එය එදා මා "හස්තද්වාරයෙන්" පළ කළ "පියෙකු ගේ කතාවක්" නමින් වූ කෙටිකතා සංග්‍රහයට ඇතුළත් වූ ප්‍රධානතම කෙටිකතාවයි. ඒ තිබුණේ වයස දහ අටේ දී මගේ අත් අකුරු ය.

මේ කතාවට පදනම සැපයූ එක් සත්‍ය සිදුවීමක් ඇත. ඒ කතා නායකයා තමන් කුඩා කාලයේ තම පියාගෙන් ගණිකාව යන වචනයේ තේරුම අසන අවස්ථාවයි. එය මගේ අත්දැකීමකි. ඒ වචනය මා දුටුවේ මගේ මව ඒ දිනවල මිලට ගත් පුවත්පතක පළවුණු කෙටිකතාවක තිබීය.

ඒ සිදුවීමෙන් අවුරුදු නමයකට පමණ පසුව දහ අට හැවිරිදි මා කර ඇත්තේ අනාගත සිදුවීමක් නිර්මාණය කර, මගේ අතීත අත්දැකීම හා සැසඳීමයි.

තමා විසින් කෙරුණු නිර්මාණයක් ගැන තමන්ම විචාරයක් කිරීම කිසිසේත් ම නොකෙරෙන දෙයකි. නමුත්, මා ඒ පියෙකු ගේ කතාවක් නම් වූ කෙටිකතාව ලියා පරම්පරා දෙකක් පමණ කාලයක් ගත වී ඇති අද දවසේ, මට ඒ නිර්මාණය සහ එහි නිර්මාණකරුවා පිළිබඳ දැනෙන දුරස්ත බව නිසා එසේ මා ම විචාරයක් කළ ද ලොකු ප්‍රශ්නයක් නැතැයි සිතමි.

ඇත්තටම කියනවා නම්, වයසින් මුහුකුරා නොගිය සිතකින් යුතුව මා ලියා ඇති ඇතැම් දේ ගැන අද එය කියවන මට ඇති වන්නේ අපූරු හැඟීම් සමුදායකි.

මෙන්න ඉන් කීපයක්.
  1. කතානායක පියා බසයෙන් සේවයට ගොස් හවස් වී නිවසට එන්නෙකි. වාහනයක් ගැන සඳහනක් නැත.
  2. ඔහු ගේ බිරිඳ නිවසට වී සිටී. ඇය ගේ එකම රාජකාරිය බෑගය ගැනීම සහ තේ සාදා දීම පමණි.
  3. පුතා අමාරු වචන අහන්නේ තාත්තාගෙනි. අම්මා නැතුවා සේ ය.
  4. නිවසට පැමිණෙන කතා නායකයා කරන්නේ මුණ සේඳීමයි. ඇඟ සේදීම හෙවත් ෂවර් නැත. මෙය නානකාමරයක් නැති, නිවසෙන් දුර බැහැරව බොහෝ විට කුඹුරක් අද්දර නාන ළිඳ ඇති නිවසක වැසියන්ගේ එකල හැසීරීමයි.
  5. කතානායකයා ගේ පුතාට මා තබා ඇත්තේ මගේ හොඳම මිතුරාගේ නම ය. බිරිඳට තබා ඇති නමේ සම්බන්ධය නම් දැන් මතක් කර ගත නොහැක.
  6. මගේ තාත්තාට වඩා හොඳ තාත්තා කෙනෙකු වීමට අදිටනක් මගේ සිතේ තිබී ඇත.
  7. නණලළ කතා කෙසේ වුවද, මට ඒ දිනවල ව්‍යාකරණ නොමරා ලිවීමට හැකියාවක් තිබී ඇත.
මට ඇති එකම දුක නම්, එදා වයස අහ අටේ දී මා කෙටිකතාකරුවෙකු වෙන්නට උත්සාහ කරමින් අත් පිටපත් දෙකක්ම සෑදුවද, පසුව මැවිසුරුකමට කර ගහන්නට ගිය නිසා, ඒ සියල්ල කෙමෙන් අමතක වී යාමයි.

එදා සිට අද දක්වා ගතවුණු පරම්පරා දෙකක පමණ කාලය තුළ, මා ලියා ඇත්තේ කෙටිකතා තුනක් පමණි!

-රසිකොලොජිස්ට්

11 comments:

  1. මේ කතාවේ සත්‍ය සිදුවීම ඔබ කලින් කොහේ හෝ කියා තිබුනා මට මතක තිබුනි. නමුත් මා සිතුවේ ඔබ ඒ පැරනි කතා එක්කර අලුතෙන් කෙටිකතා පොතක් මුද්‍රනය කර ඇති බවයි. නමුත් එය වැරදි ය. මේ ඔබේ වසර 18 හැඟීම් පෙලක් පමනි.

    ReplyDelete
  2. අනාගතය ගැන අපට කළ හැකි හොඳම පුරෝකථනය වර්තමානයේ රේඛීය දිගුවකි. ඉතා පැහැදිලිවම මේ පුරෝකථන නිවැරදි නැත. එහෙත්, වඩා නිවැරදියැයි සිතා වෙනත් සීරුමාරුකම් කළ විට සාමාන්‍යයෙන් වෙන්නේ වරද තවත් වැඩිවීමයි. මෙය දශක තුනකට පමණ පෙර දැකිය හැකිව තිබුණු පරිදි නිවැරදි අනාගතයකි. මට හිතෙන්නේ (ප්‍රමාණවත් තරම් කියවා ඇත්නම්) මේ වයස වෙද්දී පුද්ගලයෙකු තුල සිටින නිර්මාණකරුවෙකු මුළුමනින්ම පාහේ අවදි වන බවයි. වයස වැඩි වන විට බොහෝදුරට සිදුවන්නේ අත්දැකීම් සහ දැනුම වැඩිවීම නිසා නිරීක්ෂණ පථය පුළුල්වීමකි.

    ReplyDelete
  3. මට ඒ කතාව තවම කියවන්න බැරි වුණා...
    පස්සේ කියවන්නම්...
    ඉස්සර
    අපේ අම්මා ගෙන් නම් මට ඕනෑම දෙයක් දැන ගැනීමේ හැකියාව තිබුණා..

    ReplyDelete
  4. ඒකයි එහෙනං රහස..... එදා අද කියල වෙනසක් නෑ. තාත්තෙක් අනාථ වෙන අවස්ථාවක් තමයි ඒක........... මොනා උණත් ඒක නියමයි.

    ReplyDelete
  5. මෙන්න පොඩ්ඩි හොයාගත්තු දේවල්:

    පුංචි පුතාට ඉඳගන්ට පුංචි පුටුවක් තිබ්බ බව

    පුතාගේ ඇඳ පොඩි නිසා, තුන්දෙනාම නිදාගත්තේ එකම ඇඳක බව

    අම්මාට ගෙනා ටොෆී පුතා අතට දෙනබව

    ඕනේ නැති ප්‍රශ්න අහද්දී, පියවරුන්ගේ ඔලු නූල් බෝල මෙන් අවුල් වෙනබව :P :P

    ReplyDelete
  6. අනේ මේ කකා, ලියන්න දෙයක් නැත්නම් පරණ කතාව දැම්මාම ඇති. තව මෝඩ ජෝක් නොදා ඉන්න.

    ReplyDelete
  7. හෙහේ,එකනේ කියන්නේ මම එහෙනම් රහස හොයා ගත්තානේ.මම හිතන්නේ ඒ කෙටිකතාව අවශ්‍ය නම් සුළු සංස්කරණයක් සිදු කොට මුද්‍රණද්වාරයෙන් වුවත් පල කල කිරීමට සුදුසු බවයි.

    ReplyDelete
  8. බ්ලොග් කාරයන් හුඟ දෙනෙකුට හොඳ නවකතාකාරයන් විය හැකි බව කමෙන්ට්කාරයෙක් පමණක්වන මට පෙනුනත් ඒ බ්ලොග්කාරයන් එහෙම නොකරන්නේ ඇයි කියල තේරෙන්නෙ නෑ. බ්ලොග් ලිවීමේ අතුරු ආබාධයක් ලෙස පොත් ලිවීමට අකමැත්තක් හෝ කම්මැලිකමක් එනවද දන්නෙ නෑ.

    උදා- ඉවාන්, බස්සි, රවි,කල්යාණමිත්‍ර, සුරන්ගම්ල්ර්, රාජ්, තේනුවර, චෙෆ් ආර්කි ( දැන් අනිත් අය තරහවෙන්න එපා නිකම් හිතල නම් ලිව්වෙ . හැමෝටම වගේ පුලුවන්. මාතලන් හා අටම්පහුරටත් ඒ ස්ටයිල් එකෙන් හොඳ නවකතා ලිව්ව හැකි. )

    මං එක් ආකරයක සිංහල නවකතා විතරයි කියවන්නේ. ( ඉස්සර ජන ජීවිතය ගැන විතරයි. මාණික්කාවත, සෙන්කොට්ටං වගේ) එනිසා සිංහල නවකතා ගැන ලොකු දැනුමක් නෑ
    ඒත් අනිත් ඒවා (වර්තමාන සමාජය, ආදරය, දේශපාලනය කලාව ආදී දේ වටා ගෙතුණු ) උඩින් පල්ලෙන් බැලුවහම හිතෙනවා අපේ බ්ලොග්කාරයින්ට මේ ප්‍රසිද්ධ සිංහල නවකතාකරුවන්ට වඩා කොයිතරම් හොඳින් ලිව්ව හැකිද කියල.

    අන් අයගේ අදහස් දැනගන්නයි ලිව්වෙ

    ReplyDelete
    Replies
    1. //මං එක් ආකරයක සිංහල නවකතා විතරයි කියවන්නේ. ( ඉස්සර ජන ජීවිතය ගැන විතරයි. මාණික්කාවත, සෙන්කොට්ටං වගේ// විල්ලරවාඩියයි දඩ කඳවුරයි හොඳට ගැලපෙයි.. :) එදා අරගෙන එන්න බැරි උනාට තරහා අවසර..

      Delete
    2. බත්තලංගුණ්ඩුවත් එහෙම නේද? හොයල දෙන්නකො.
      එහෙම නැත්නම් ඔබතුමා ලියන්නකො ඌව පලාත අලලා

      Delete
  9. අර රහස නම් කලින්ම හිතා ගත්ත.. දහ අටේ අකුරු හැඩයි ඈ!

    වෘත්තිමය ලේඛකයෙක් වෙනවට වඩා වෙනත් වෘත්තියක් කරන ගමන් ලියන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.