Monday, 14 September 2015

වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!


මිනිසුන් ලෙස අප කළ යුතු වැදගත්ම කාර්යයන් ත්‍රිත්වය වනුයේ පොතක් ලිවීම, පුතෙක් සැදීම සහ ගසක් හිටුවීම ය යන පඬිවදන ගැන හාංකවිසියක්වත් නො දැන වුව ද, මා අටවන ශ්‍රේණියේ දී ම පොතක් ලියූ වග මින් පෙර ලිපියක ලියූවෙමි.

ඒ පොත මා එදා ප්‍රකාශයට පත් කළෙමි. නමුත් ඒ මුද්‍රණද්වාරයෙන් නම් නොවේ, හස්තද්වාරයෙනි. එය ද එක පිටපතක් පමණි.

එනම්, මා එදා කළේ පොතේ අත්පිටපත නොහොත් මැනුස්ක්‍රිප්ට් එක සෑදීමයි. ඒ සඳහා උපයෝගී කර ගැනුණේ කොටුරූල් අභ්‍යාස පොතක පිටු කිහිපයකි. ඒවා දෙකට නවා, මැදින් නූල් පොටකින් හොඳින් බැඳ මෙකී අත්පිටපත සෑදුවෙමි.

එය මගේ දෙමව්පියන්ට අමතරව දුටුවේ, පවුලේ ඥාතීන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් යැයි සිතමි.

ඒ පොත සෑදීමෙන් සිතට ලැබුණු සතුට ටිකෙන් ටික වියැකී ගියේ ය. තවත් පොතක් ලිවීමේ අදහසක් මට ඇති නොවිණි. ඒ කෙසේ වෙතත්, පොතකට ඇතුළත් කරන්නට මා අතින් අලුතෙන් කවි හෝ කෙටිකතා ලියවුණේ ද නැත!

මේ තත්වයේ යම්කිසි වෙනසක් ඇති වුණේ, වයස දාසයි මාසයේ දී ය.

හරියටම ඒ මාසයේ දී මම මගේ ප්‍රථම පෙම් කවිය ලියූවෙමි. ඒ සමවයසේ යුවතියක ගැන ය. මගේ ඒ මුල් පෙම් කවියේ වස්තු බීජය අද ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන්නේ යැයි අනුමාන කරමි.

එතැනින් මගේ සිතේ ඇරඹුණු කවි උන්මාදය, හදවතේ උපන් ප්‍රේම උන්මාදය ද සමග ඔඩු දුවා ගොස්, උසස් පෙළ විභාගයට සූදානම් වෙන කාලය වෙන විට දවසකට පෙම් කවි මෙන් ම සෙම් කවි ද තුන හතරක් වෙන තරමට බලවත් පිළිලයක් සේ මගේ ජීවිතය වසා ගත්තේ ය.

උසස් පෙළ විභාගයෙන් පසු මා කළේ ඒ කවි එකතු කර හස්තද්වාරයෙන් එළිදැක්වීමයි, එනම්, අත් පිටපත් තැනීමයි.

ඒ අතර මම කෙටිකතා ලියන්නට ද පටන් ගත්තෙමි. පිටු අසූවේ අභ්‍යාස පොතක් පිරෙන්නට කෙටිකතා හත අටක් ලියවුණු පසු ඒවා කෙටිකතා සංග්‍රහයක් ලෙස සැකසී හස්තද්වාරයෙන් දොරට වඩම්මන ලදී.

අටේ පන්තියේ දී මා සැකසූ පොතේ අඩංගු නිර්මාණ වර්ග අතරින් මා නැවත නොකළේ මොට්ටපාල කාටූන් ඇඳීම පමණි.

ඒ වෙනුවට මා කළේ, මා ලියන පෙම් කවිවල වස්තු බීජ හමුවේ මොට්ටපාල චරිතය රඟපෑමයි!

මේ ආකාරයට, මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පා නගන දින වෙන විට, මා හස්තද්වාරයෙන් කවි පොත් තුනක් ද, ගී පදමාලා එකතුවක් ද, කෙටිකතා සංග්‍රහ දෙකක් ද පළ කර තිබුණි.

එපමණක් නොව මම කෙටි නවකතාවක් ද ලියූවෙමි. එය අද භාෂාවෙන් මල් කතාවක් ලෙස වර්ගීකරණය කළ හැකි එකකි!

මෙන්න ඒ හස්තද්වාරයෙන් දොරට වැඩි පොත් ලයිස්තුව
  1. සිහින සිතුවිලි (පද්‍ය)
  2. පියෙකු ගේ කතාවක් (කෙටිකතා)
  3. සය දිනක සටහන් (පද්‍ය)
  4. ගී පදමාලා 25 ක්
  5. ගමන (කෙටිකතා)
  6. වාසනා සහ සැබෑ වුණු සිහිනය (පද්‍ය)
  7. රනුක-නිසංසලා සමනල වර්ණ (නවකථාව)
අද මගේ දරුවෙකු මේ අයුරින් කටයුතු කළහොත් මට ඉතා විශාල සතුටක් දැනෙනු ඇත. එදා මගේ දෙමව්පියන් ද එසේ සතුටුවෙන්නට ඇත.

නමුත් අවංකවම කිවහොත් මේ කටයුතුවල මට ඒ දිනවල එතරම් වැදගත්කමක් හැඟුණේ නැත. ඉහත හස්තද්වාරයෙන් ප්‍රකාශිත ග්‍රන්ථ ලයිස්තුවෙන් පොත් දෙකක් ම අද මා සතුව නැත්තේ ද ඒ නිසා ය.

අද නම්, මා එදා අවුරුදු දහ අටක කොලු ගැටයෙකු ලෙස කළ කී දේ ගැන මට තරමක හෝ ආඩම්බරයක් ඇති වේ.

මේ සටහන මා ලියූුවේ ඒ නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු තවත් ලිපියකි.

මීට පෙර ලියූ ලිපි මෙසේය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!

41 comments:

  1. අනර්ඝයි , ඔය පෙම් කවි සහ සෙම් කවි .. මම නම් පල කලේ කවි කොළ හැටිය්ටමයි.

    ඒවාට වෙච්ච දෙයක් නෑ දැන් ..

    ReplyDelete
    Replies
    1. මට නම් අඩු වශයෙන් කවි ටික හරි ඉතුරුයි!

      Delete
  2. ඔබ අප පාසල් සිසුන් හැටියට එදා සාහිත්‍යය සෑහෙන්න පරිහරණය කළා. ඒ නිසයි පොත් ලිවීමට පෙළඹුනේ. අද සාහිත්‍යය පාසලෙන් එළවලා. ඒ නිසා බොහොම ටිකදෙනයි ලේඛන කලාව වෙත යොමුවන්නේ. සති අන්ත පුවත්පත් වල පලවන කවි සහ කෙටිකතා කියවා බැලූවිටත්, කවි යනුවෙන් සමහර බ්ලොග් අඩවි වල ලියා අති දේ බැලූවිටත් පළමුව හාස්‍යයත් දෙවනුව කලකිරීමත් උපදී.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම චමින්දලා කියන්නෙ මේ කතාව තමයි.

      Delete
    2. මගේ කවි මෙලෝ රහක් නෑ කිය කිය කොමෙන්ට් දාන එකා අල්ල ගන්න හිටියෙ.. අද අහුවුනා..

      -දිනිති දීපිකා-

      Delete
    3. සර් ඕකනම් වයසේ වැරද්ද?අපි ෆැන්ටසි සය්-ෆයි ෆිල්ම්වලින් සිරා කියලා හිතෙන දේවල් රම්බෝ, බ්රුස්ලි බලපු සර්ලට ගොන් කියලා හිතෙන්න පුළුවන්.අපිට රම්බෝ බ්රුස්ලි ගොනා කියල හිතෙන්න පුළුවන්

      Delete
    4. විචාරක ගේ ප්‍රතිචාරයට පිළිතුරක් ලිවිය යුතුමයි සිතුණා.

      ඔබ පාසලේ සිංහල සාහිත්‍යය හැදෑරුවාට, මා අයිති සිංහල භාෂාව මිස සිංහල සාහිත්‍යය කියා විෂයක් ඉගෙන නොගත් පරම්පරාවටයි.

      ඔබේ කාලයේ වුණත් සිංහල සාහිත්‍යය සාමා්‍ය පෙළ විෂයයක් ලෙස හදාරන්නට ඇත්තේ විද්‍යා සහ වාණිජ නොව කලා විෂයන් හැදෑරූ අය පමණයි. වසර 1948 සහ 1950 දී උපන් මගේ පුංචි අම්මලා දෙන්නා එලෙස හොරණ ශ්‍රීපාලියේ දී සාහිත්‍යය ඉගෙන ගෙන තියෙනවා.

      එසේ සාහිත්‍යය ඉගෙන ගත්තත් ඔවුන් ලියූ පොතක් නම් නෑ. ඉන් එක් පුංචි අම්මා කෙනෙකු ජීඒකියුවලින් පසුව ගෘහිණියක් වුණා. අනෙක් පුංචි අම්මා උපාධිය ලබා ජීවිතයම බැංකුවක ගත කළා, එපමණයි.

      එනිසා, සාහිත්‍යය පාසලේ දී උගත් නිසා පොත් (හෝ බ්ලොග් හෝ) ලියනවායැයි සිතීම සාවද්‍ය අදහසක්.

      අනෙක එදාට වඩා අද සාහිත්‍යය අගය කරන අය අඩුය, සාහිත්‍යයේ ප්‍රමිතිය අඩුවෙලා ය කියන දේත් මා පිළිගන්නේ නෑ. සිදුවී ඇත්තේ බිහිවෙන සාහිත්‍ය කෘති ප්‍රමාණය වැඩි වීමයි. එනිසා විවිධ පරාසයන්ගේ නිර්මාණ බිහිවෙනවා.

      කාලයත් සමගම බොහෝ දේ වෙනස් වෙනවා. අද ලෝකය එදා මිම්මෙන් මැනීම මා නම් නොකරන දෙයක්.

      මෙයට හාත්පසින්ම වෙනස් උදාහරණයක් ගතහොත්-

      මගේ පුංචි අම්මලා සාමාන්‍ය පෙළ කළ කාලේ ඩිෂ්ටින්ෂන් අටක් ගැනීම යනු කෙතරම් දුලබ සිදුවීමක් ද?

      නමුත් මට මතක විදියට 1983 දී කොළඹ රාජකීය විද්‍යාලයේ ළමුන් 75 දෙනෙකු D-8 ක් සහිතව සමත් වුණා. තවත් 125 දෙනෙකු D-7, C-1 සහිතව සමත් වුණා.

      එය අධ්‍යාපනයේ දියුණුවද? නැතිනම් විභාග වල ප්‍රමිතිය අඩවීමක් ද? එදා මිනුම්වලින් අද මැනිය හැකිද?

      Delete
    5. මෙතනදී මා අදහස් කළේ, 'සාහිත්‍යය උගත් සියලු දෙනා ග්‍රන්ථ කර්තෘවරු වෙති' යනුවෙන් නියමයක් ඉදිරිපත් කරන්න නෙවෙයි. එදා විද්‍යා කළා වාණිජ කියා 8 වැනි පන්තියේදී බෙදීමක් කලත්, පාසලේ සාහිත්‍ය සමිති, ගමේ කවි මඩු, පුවත්පත් සහ කවි සඟරා, බහුලව තිබුණු නිසා, සාහිත්‍යය පැත්තට නැඹුරුව වැඩියෙන් තිබුණා. අද මෙන් විද්‍යුත් ජනමාධ්‍ය, බහුමාධ්‍ය ජංගම විද්‍යුත් උපාංග බහුල නොවූ නිසාත්, පෙම් හසුන් ලිවීම, නවකතා, කෙටිකතා, කවිපොත් කියවීම ප්‍රධාන විනොදාන්ශයක්ව පැවති නිසාත්, ජනජීවිතයට සාහිත්‍යය දැනට වඩා බද්ධ වුනා.

      ඒ අයට, සාහිත්‍ය කෘතියක්, සිය සාහිත්‍ය ඥානය සහ භාෂා ඥානය පදනම් කරගනිමින් ඉතා ගැඹුරින් රස විඳින්නට හැකිවුණා. අද බ්ලොක් අඩවියක පළවන, අමු වල්පල් වචන පේලි දෙක තුනක්, කවි ලෙස සලකා, ඊට පහලින් එළ, පට්ට, කියා වචන දෙක තුනක් යෙදීමෙන්, අර කවි කියා කියන හෑල්ල ලියන ලද පුද්ගලයා තෘප්තියට පත්වෙනවා. නමුත් එහි ඇති උක්තාඛ්‍යාත යෝග වැරදි, පද බෙදීමේ වැරදි, අක්ෂර වින්‍යාසයේ වැරදි පෙන්වා දුන්නොත් ආක්‍රෝෂ පරිභාවයෙන් යුක්තව උමතු බවට පත්වෙනවා.


      මා කිසිදු මිනුම් දණ්ඩකින් අධ්‍යාපනය මනින්න නොවෙයි උත්සාහ කළේ. බලන්න අද බ්ලොග් ලියන අය බොහොමයක් නිවැරදිව සඤ්ඤක සහ මහප්‍රාණ අකුරුවත් නිවැරදිව යතුරු ලියනය කරන්නට දන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ පරිගණක දැනුම හොඳයි. එකම දේ ඔවුන් අකමැතියි විවේචන වැටට. ඔවුන් විසින්ම ගොඩ නගාගත් ලෝකවල ඉන්නේ. නියම සාහිත්‍ය නිර්මාණකරුවා එය සමාජය සමග බෙදාහදා ගනිමින් එහි ගුණදොස් දකිනවා. මේ ලිපියෙන් ඔබ ඔබේ නිර්මාණ ඉදිරිපත් කර ඇති ආකාරයට.

      උඩ ඉන්න නිර්නාමික නපුංසකයන් මට තරම් නොවේ.

      Delete
    6. වැටට යන්න වලට යනුවෙන් නිවැරදි වියයුතුයි.

      Delete
    7. විචාරක අන්කල් මේ කියන්නේ අපට බ්ලොග් ලියන්න, කවි ලියන්න එපා කියලාද? අන්කල් අහලා නැද්ද ඔය කිසිම සාහිත්‍යයක් ව්‍යාකරණයක් නොදැන රංචාගොඩ ළමයා කියලා කිවිඳියක් කවි ලිව්වා?

      Delete
    8. @ Anonymous14 September 2015 at 21:10

      පුතා, කාටවත් බ්ලොග් ලිවීම තහනම් කරන්නට මම සර්වබලධාරියකු නොවෙමි.

      රංචාගොඩ ළමයාගේ කවි වල ව්‍යාකරණ වැරදි නැත. කාව්‍යොක්තියේ නොගැලපීම් පමණක් ඇත.

      හොඳට මතක තියාගන්න. සාහිත්‍යය කියන්නේ අධ්‍යයනය කර විභාග සමත්වී මම මෙච්චර සාහිත්‍යය දන්නවා කියා කිව හැකි දෙයක් නොවේ. එලෙස පුද්ගලයකුගේ සාහිත්‍ය දැනුම මනින්න බැහැ. නිසි පාසල් අධ්‍යාපනයක් නැති, මාර්ටින් වික්‍රමසිංහ මහතා මහා සාහිත්‍ය ප්‍රාඥයෙක්. සාහිත්‍ය දැනුම ලබාගතහැක්කේ, ඊට අදාළ පොත්පත් පරිහරණය කිරීමෙන්, විශේෂයෙන් ඇහුම්කන්දීමෙන් (අද ඇහුම්කන්දීම නැත්තටම නැතිවෙලා වගේ) නිතර නිර්මාණ කරන්නට උත්සාහ කිරීමෙන්, තම නිර්මාණ විවේචනයට ලක්කිරීමට අන්‍යයන්ට අවස්ථාව ලබාදීමෙන්, අන්‍යයන්ගේ නිර්මාණ අධ්‍යයනය කිරීමෙන්, කාලීන සමාජ සම්මත සාහිත්‍යධරයන්ගේ කෘති පරිශීලනය කිරීමෙන්. තම භාෂා ඥානය වර්ධනය කරගැනීමෙන්.

      Delete
    9. අද සිදුවී ඇත්තේ එදාට වඩා වැඩි පරාසයක පිරිසක ලියන දේ අපට කියවන්නට ලැබීමයි. එදා පත්තර තිබුණේ එකයි දෙකයි, අද අපට අපේම බ්ලොග් ඉරිදා පත්තරම දහයක් විතර,

      මා කවි ලියා යොවුන් ජනතාවට යැවූ කාලයට වඩා අද තත්වය හැම අතින්ම සෑහෙන්න හොඳ බවයි මගේ නම් මතය.

      Delete
    10. අනේ බං ගුණයෝ, උඹ සාහිත්‍යය ඉගෙන ගෙනත් ඇයි මේ අක්ෂර වින්‍යාස වරද්දන්නේ?

      'විද්‍යුත්' නොවේ 'විද්යුත්' විය යුතුයි.

      'විනොදාන්ශයක්' නොවේ 'විනෝදාංශයක්' විය යුතුයි.

      'බ්ලොක් අඩවිය' නොවේ 'බ්ලොග් අඩවිය' විය යුතුයි.

      'ආක්‍රෝෂ' නොවේ 'අක්‍රෝෂ' විය යුතුයි.

      මෙහෙම සිංහල වරද්දනකොට අපේ රෙජිමේන්තුවටත් හොඳ නෑ නේද?

      මීට,
      වෙල් විදානේ

      Delete
    11. @ Anonymous15 September 2015 at 01:03
      අඩෝ පිම්පියා. හෝටල් මැනේජර් කම විතරක් කරගෙන හිටහන්. පිම්පි වැඩේ කරන්න යන්න එපා ඉස්සර වගේ. යාලුවාගේ නම්බුව තියලා ජොබ් එක කොරපන්.

      Delete
  3. මමත් ඔය වයසෙදි තමයි හස්ත කර්මාන්තය පටන් ගත්තෙ

    ReplyDelete
    Replies
    1. සෑහෙන පරක්කුවෙලා. ඒ ඉමිහිරි හිරිවටිල්ල කියන අත්දැකීම ගන්න බැරිවෙලා ඔයාට

      Delete
    2. මෙන්න බ්ලොග් ලියන මෞර්ය රාජ් ගේ හස්ත කර්මාන්තයට වුණු දේ!
      http://raj1st.blogspot.com/2013/11/blog-post_6.html

      Delete
  4. ඉඳලා හිටලා අහුවෙන කොල කෑලි වල, පොත් වල අග පිටු වල කවියක් ලිව්වට, මේ තරම් සංවිධානාත්මකව කවි කතා ලියලා එකතු කිරීමට නම් මාර 'උණක්' තියෙන්න ඕනේ කියලයි මට නම් හිතෙන්නේ.... කොහොමටත් ඔය වයසට යමක් කරනකොට දැනෙන ආතල් එක විනා, කරපු කියපු දේවල් එකතු කර තියාගැනීමේ ආතල් එක වැඩිය දැනෙන්නේ නෑ. කොහොමටත් මේක නම් පට්ට ඇචීව්මන්ට් එකක් කියලා තමයි මට නම් හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා ඒ උණ නම් ලේසියෙන් බෝවෙන ලෙඩක් නොවෙයි!

      Delete
  5. වෙන්ඩ ස්වාමිපුරුෂයකු විසින් හස්තද්වාරයෙන් පළ කළ ඒවා මොකුත් නැද්ද?

    ReplyDelete
  6. අපේ අම්මත් මම ලියපු ලව් ලෙටර් ඉදලා එකතු කරන් හිටියට 2004 සුනාමියෙන් ඔක්කොම ගියා ගේ ඉතුරුවෙද්දී. දැන් තියෙන්න අතින් ලියපු ඉංජිනියරින් ජර්නල් විතරයි

    ReplyDelete
    Replies
    1. මා ලියූු ලව් ලෙටර් නම් ඒ ඒ අය ලඟ තියෙනවා නම් තවමත් ඇති.
      ඔබ ලියූු ලව් ලෙටර් කොහොමද ඔබේ නිවසේ ම තිබුණේ?

      Delete
    2. මේක අපේ උන්දැගේ ඇස නොගැටෙත්වා...!!!

      ඒ කාලේ ආදරය කරලා මාස 5කින් විතර අත්පත්කරගැනීමේ කික් එකේ ගියාම එපාවෙනවා. ඉතින් ඒ ගොල්ලෝ ලියපු එවයි මම ලියපු එවයි ඔක්කොම මට එකතු කරලා දෙනවා.මගේ කාමරේ ඕවර්හෙඩ් රාකෙට ඔය ටික යනවා. මම ඇකඩමි ගියපු ගමන් අම්ම කාමරේ මල්ලිට දෙන්න කලින් මගේ පොත්ර්ටික එකතුකරලා ලව් ලෙටර් වෙනම බලා තියා ගන්නවා කුස්සිය ගෙයි අතර තිබ්බ පොඩි දෙගරාවේ. සුනාමියට ඔක්කොම ගහගෙන යනවා

      Delete
  7. සාහිත්‍ය මාසයේ සිත සතුටු කර ගත හැකි ප්‍රවුර්තියක් තියෙනවා . මගේ 11 හැවිරිදි පුතා ඔබ කළා මෙන් පොත් ලියලා පල කරනවා. පරිගණක යුගයේ නිසා හොඳ word file විදිහට ප්‍රකාශයට පත් කරලා ඉස්කෝලේ පුස්තකාලෙටත් දැම්මා කිව්වා..

    ReplyDelete
    Replies
    1. දවසේ ඇසූ හොඳම ආරංචිය මෙයයි!

      Delete
  8. රසිකයියේ... මං නං යෝජනා කරන්නේ මේවා ඒ අාකාරයෙන් ම හෝ හොදයි කියලා හිතෙනවානම් සංස්කරණයකින් පසුව හෝ පළ කරන්න... ඔය හීනය මටත් පොඩි කාලේ ඔය විදිහට ම තිබුණා... මං ඒ හීනය සැබෑ කර ගත්තා..... පොර ටෝක් ඒකක් දෙනවා නෙමෙයි... ඔය මේ ගැන කතා කරලා තිබුණ නිසයි කියන්නේ... ඒ වෙනුවෙන් පොත් උස්සං ප්‍රකාශකයෝ පස්සේ ගියා... අද මං ඒ හීනය උපරිම විදිහට හැබෑ කරගෙන තියෙනවා..... මේ විදිහ අය ගැන අහන්න ලැබීමත් සතුටක්.....

    ReplyDelete
    Replies
    1. ඒවා දැන් අතීත සැමරුම් විතරයි!

      Delete
  9. ඇලෙක්ස් ඩිලාජ්14 September 2015 at 19:19

    මගේ දිවියේ එක්තරා සමයක ( අවුරුදු 15 දී පමණ) ත්‍රිලර් වර්ගයේ නවකතා ලිවීමේ උණක් හටගත්තා - එ්ත් ඉංගිරිසියෙන් - මගේ පියාගේ පුස්තකාලයේ තිබූ ඇතැම් පොතුත් මා බැලූ චිත්‍රපටත් මේ උණට හේතුවුනේ - හැබැයි මගේ ඉංගිරිසි දැනුම එවකට නොසෑහීමත් කම්මැලිකමත් නිසා පිටු 2 ,3කට වඩා ලියවුනේ නැහැ - පසුව ඩිජිටල් යුගයට සම්ප්‍රාප්ත වෙනකොට වර්ඩ් වලින් ඒ වැඩේම කරන්න හිතුවත් නැවතත් වැඩිදුර යා හැකි වූයේ නැහැ
    හැබැයි වෙබ්මාධ්‍යයේ නම් ලිපි කිහිපයක් පළ කර තිබෙනවා - මගේ දැන් අරමුණ සාර්ථක පරිවර්තනයක් කිරීමයි :)

    ReplyDelete
    Replies
    1. ඕනෑම භාෂාවකින් හොඳින් ලියන්න නම්, ඒ භාෂාවෙන් ලියවුණු හොඳ පොත් රාශියක් කියවා තියෙන්න ඕනෑ. මාත් ඉංගිරිසියෙන් කියවන්න හුරු වුනේ හැඩ්ලි චේස් සහ අනෙකුත් ඒ වගේ පොත් නිසා, ඔෆීසියේ රිපෝට් ලිව්වාට, ඉංගිරිසියෙන් නිර්මාණාත්මක ලියවිලි ලියන්න හිතන්නේ නෑ!

      Delete
  10. මම මුලින්ම පොතක් ලිව්වේ 1979 වසරේ ( ඊට කලින් පොඩි පොඩි පොත් ලිව්වා) ඒ අත් පිටපත කාලයක් මා ලඟ තිබුණා , දැන් ඒක කොහේද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මගේත් මේ උසස් ඵෙල කාලේ ලියූ පොත් දෙකක් ම නැති වෙලා. පසු කාලේ ලියූ අත් පිටපතකුත් නැතිවුණා!

      Delete
  11. මාත් පොත් කීපයක් ලිව්වා හස්තද්වාරනෙන්... වැඩියෙන්ම ජනප්‍රිය උන පොත තමයි "පොල් වත" ඒකේ තිබුනේ තනිකර ඩර්ටි ජෝක්ස්... මාතලන් ජනප්‍රිය උනෙත් ඒවා නිසා...

    ReplyDelete
  12. කොච්චර හොඳද... මම නම් ගැහුවේ සඟරා ... අනිත් අයගේ ඒවා පල ..කරන්න. මගේ කවියක් දෙකක් .එක්ක. සංදේශය කියල එකක් රෝනියෝ කලා . .අතින් ලියපු ඔය වගේ එකකුත් කලා...

    ReplyDelete
  13. රසික මේක දැක්කද? :) රසිකලොජි ට එරෙහිව මරණ දඬුවම
    http://chakhkare.blogspot.com/2015/09/rasikologist-vs-hanging.html

    ReplyDelete
  14. රසික වගේම මමත් හස්තද්වාරයෙන් පල කළ කොටුරූල් පිටු 80 පොත් දෙකක් තියෙනවා තාම. කටුබැද්දේ ඉන්න කාලේ ඕවා අපේ බැජාස්ලට අහු වෙලා පොත් දෙකේම පිදුම... “දේශකයාගෙන් දේශිකාට“ කියල උං ලියල තිබුනා.. මගේ නමේ හැටියට දාලා තිබුනට,. ඇත්තම දේශිකා දැකල පොඩි අලකලංචියක් උනාත් එක්ක. මොකද ඒ නම ගැන මම විස්තර හැංගුවා කියලා.. හැක්..

    //මගේ ඒ මුල් පෙම් කවියේ වස්තු බීජය අද ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන්නේ යැයි අනුමාන කරමි.//

    අරුණි සපිරෝ නොවේයැයි සිතමි.. හැක්.

    ReplyDelete
  15. http://3mana.com/%E0%B6%BD%E0%B7%9E%E0%B6%9A%E0%B7%92%E0%B6%9A-%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA/

    ReplyDelete
  16. මමත් නවකතා තුනක්, කවි පොත් තුනක් මෙහෙම හස්තද්වාරයනේ පළ කරල තියෙනවා. කවි පොත්වල මගේම චිත්‍ර, නැත්නම් පින්තූර අලවලා..

    නව කතා නම් බොළඳ පෙම් කතා.. ඒත් එයින් ලස්සනම කතාව යාලුවෙක් නැති කළා.

    අපි 10 දෙනෙක් එකතු වෙලා 2000 දි කවි පොතකුත් කළා මුද්‍රණ ද්වාරයෙන්. ඒක සාමුහික වැඩක්.. කොහොම නමුත් අන්තිමේ මගේ ම කවි පොතක් මුද්‍රණද්වාරයෙන් එළිදක්වන්න ලැබීම සතුටක්. හස්තද්වාරයෙන් එළිදැක්වුණු පොත්වල කවි කිහිපයකුත් මේ පොතට එකතු වෙලා තියෙනවා..

    බැලුවම අපි හැමෝටම එකම විදියෙ සුන්දර වැඩ කළ ජීවිතයක් තිබිල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ළමා ගීත පොතකුත් කළා මම චිත්‍ර එක්කම. ඒක කොහෙද මන්දා හොයාගන්න ඕනි.

      Delete
  17. හස්තද්වාරයෙන් කරලා පිටපත් කරපු මගේ පොතේ මුල් පිටපතයි,කොපියයි දෙකම නැති වුනානේ

    ReplyDelete
  18. අගය කල යුතුයි.. ගස්ලබ්බ නම් පිටු කීපයකට වඩා ලියල නෑ මඟින් නවත්තනවා.. ඒ ලියපු කවි එහෙම ඒ ඇත්ත්යො ලඟ තිබිලා දැං බලන්න ලැබුනොත් කියලා අහිංසක ආශාවක් ඇති උනා නෙව..
    ජයවේවා..!!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.