පසුගිය සතියේ දවසක සේවය නිමා කර උතුරු සිඩ්නි දුම්රිය ස්ථානයට පැමිණ හයයි පහේ කෝච්චිය එනතුරු සිටි වෙලේ පොඩි කවි සිතුවිල්ලක් සිතට නැගුණි.
එය මෙසේ ය.
සිඩ්නි නගරයේ සිට බටහිර බලා දවෙන තදාසන්න දුම්රියක ගමන් කරන ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු මගියෙකුට යාබද අසුනක වාඩි වී සිටින ඉන්දියානු ජාතිකයෙකු ගේ දුරකතනයේ වාදනය වෙන පැරණි හින්දි ගීයක තනුව ඇසේ. එය ශ්‍රී ලාංකිකයාට සිහිපත් කරන්නේ තමා ගැටවර වියේ දී අසා තිබුණු සිංහල විරහ ගීයකි. ඒ හරහා ඔහු "ඩවුන් ද මෙමෙරි ලේන්" ගමනක නිරත වෙයි.එදා පැයක දුම්රිය ගමනේ දී නිදා වැටුණු වේලාවල දී හැර අන් සෑම මොහොතකදී ම පාහේ මා කළේ ඒ සිතුවිල්ල කවියට නැගීමයි.
පසුදා, උදේ කාර්යාලය බලා යන ගමනේ කොටසක දී ද, ලියවුණු දේ තරමක් සංස්කරණය කළෙමි. ඉන් පසු ඒ ලියවිල්ල හමස් පෙට්ටියේ තැන්පත් විය.
ඊයේ හවස යළිත් ඒ කවිය ඇස ගැටුණු විට, මට යම් විකාර සිතුවිල්ලක් ඇති වුණි. එය නම්, පැරණි විරහ ගී කිහිපයක පද මගේ කවියට මුසු කිරීමයි!
මේ ඒ අනුව "රී-මික්ස්" කළ මගේ කවියයි.
කාලෙකට පස්සේ-
ඔබ එදා ඉඳන් කී දවසක් මා හැඬෙව්වද?
ඔබ එදා ඉඳන් කී දවසක් මා නැලෙව්වද?
අවසාන වතාවටඔබ එදා ඉඳන් කී දවසක් මා නැලෙව්වද?
ඇසුණු දිනය ද අමතක
පැරණි ඉමිහිරි ගීයක්
කොහේදෝ සිට කෙඳිරුනා
දුරක අහසේ පාවෙන
සුදු වලාකුළු කැටියක්
මැදිරි කවුළුව අතරින්
දසන් විහිදා හිනැහුනා
කොහේ සිට මෙහි ආවෙද
හිතා ගන්නට නොම හැකි
නිල් පාට මල් පෙත්තක්
දොර අසල බිම වැතිරුණා
ගොඩක් කලකට පස්සේ
මගේ සිත එක් කෙළවරක
ඔබ ගැන ම පබැදී
මියුරු කවියක් මතුවුණා!
සිහින දෙව්දුවේ, ඔබට තුන්ලොවේ
එකම නමයි මා දන්නේ, ඒ නම ආදරේ
සඳෙහි ලප තියේ, මලෙහි කටු තියේ
උපමා නෑ සසඳන්නේ, ඒ නම ආදරේ
ගෙවී ගිය ඒ වසන්තයඑකම නමයි මා දන්නේ, ඒ නම ආදරේ
සඳෙහි ලප තියේ, මලෙහි කටු තියේ
උපමා නෑ සසඳන්නේ, ඒ නම ආදරේ
සුවඳ වියැකුණු කුසුමකි
යළිත් කිසිදා නොම එන
සිහිනයකි, පෙණ බුබුලකි
හදේ ගොළුවුණු පැතුමන්
නිරතුරුව ළතැවිල්ලකි
නැගෙන මේ කවි සිතුවිලි
විටෙක මද සැනසිල්ලකි
ඔබ තරමට මා නැළවූ, ඔබ තරමට මා හැඬ වූ
වෙන කෙනෙක් නොමැත දියතේ
හස හැඟුම් පෙළට පණ දී, ජීවන නාලිය පරිදී
පෙර වෙලී සිටිය සුරතේ
සිතූමතේ ඇදී ගිය වෙන කෙනෙක් නොමැත දියතේ
හස හැඟුම් පෙළට පණ දී, ජීවන නාලිය පරිදී
පෙර වෙලී සිටිය සුරතේ
විසල් දුම්රිය බඳ
කෙමෙන් වේගය අඩු කළා
ගමන අවසන ළඟයි
කහ පැහැති අකුරු පෙළ
යළිත් මට ඉඟි කළා
දුක් මල්ල උරහිසේ
දෙපස රිදුම ද වැඩි කළා
තවත් දිනයක අගට
ජීවිතය පැමිණ ඇත
සිත සනිටුහන් කළා!
සිහිනෙන් ඔබ මට පෙනෙනව නම් අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබ අත නොලැබේ නම් සැමදා තනි වෙන්නම්
කිසිදා ඔබ අත නොලැබේ නම් සැමදා තනි වෙන්නම්
-රසිකොලොජිස්ට්
(Image: http://www.androidauthority.com/how-to-create-free-ringtones-for-your-android-phone-using-youtube-videos-34848/)
රසික මිල්ටන් පෙරේරා විඳින්න පටන් අරගෙන වගේ... ඇත්තටම හොඳම ලව් සිංදු බොක්කට වදින්න කිව්වේ මිල්ටන් මල්ලවාරච්චිටත් වඩා මිල්ටන් පෙරේරා කියලයි මම නම් හිතන්නේ...
ReplyDeleteහැබයි ඉතින් රසික ලියන්න බොහෝ කාළෙකට කලින් විදුලි දුම් රියේ ප්‍රේම කතාව ගැන ලියවුන් අපූරූ ගීතයක් තියෙනවා...
විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ...
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතුවිය සැලෙන හදේ...
ඒක අපේක්ෂිත අනාගතයක් ගැන 70 දශකයේ මුල දී ලියවුනු විද්‍යා ප්‍රබන්ධ ගීයක්. ඒ ආකාරයේ මා දන්නා එකම ගීතය.
Deleteමෙය ඒ කාලයේ විදුලි දුම්රිය තිබුණු කිසියම් යුරෝපීය රටක අත්දැකීමක් කියලයි මගේ හිතේ මැවිල තිබුණේ. දැන් තමයි ඔළුවට ගියේ "පුර සඳ මඩලේ සිනමා මැදුරු" ගැනත් එහි කියන බව.
Deleteදුර සඳ මඩලේ නේද?
Deleteමේක ඒ දවස්වල ඇපලෝ හඳට ගිය කාලේ ඒ ජොලියෙන් ලියපු පදමාලාවක්.
විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැටෙන සඳේ
Deleteකඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතු විය සැලෙන හදේ
සීත කඳුකරේ මීදුම අධිකයි පමා වුනෙමි සොඳුරේ
රූපවාහිනි අංජන රේඛා නළගන ඔබ ද ළඳේ
ආදර සුවඳින් දසතම මතුවෙන වසන්ත සුලඟේ හැපී
සාගර ජලමත පාවෙන උයනේ මීවිත පුරමු අපී
මිනිසා පළමුව සඳ තරණය කළ විසිතුරු කතන්දරේ
දුර සඳ මඩලේ සිනමා මැදුරක නරඹමු නිසංසලේ
පාවෙන සඳකැන් සිසිලෙන් නැහැවෙන ආදර සඳුන් වනේ
නරඹමු සුරඟුන් රඟදෙන රැඟුමන් පියඹන අවන්හලේ
මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන පරසතු කුසුම් විලේ
ජය පැන් තොල ගා අමරණීය වන කුමරුන් මම ය ඔබේ
ඔය ගීයෙ රූපවාහිනී කියන වචනෙ තිබ්බට ඒ කාලෙ රූපවාහිනියවත්, ඒ වචනෙවත් සිoහල ව්‍යවහාරෙ තිබ්බෙත් නෑ. කොහොමද ඒ පරිකල්පනයන්.
Deleteරසික, මිල්ටන් මල්ලවාරච්චි ගයන ඔබ ගාව මම ඉන්නෙමී "මතු යම් දිනේදි, මේ ලොවින් තුරන් වෙන්න වේඉවී, ඔබ ගාව මම ඉන්නෙමී" ගීයෙත් තියෙනව අභ්‍යවාවකාශේ, ග්‍රහලෝක ගානෙ මිතුරන් සොයා යන්න වේවී" කියල කොටසක්.
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
ReplyDeleteපැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර උනේ
අහලා පුරුදු සින්දුවක් නොවෙයි?
Deleteආ, සේනානායක වේරලියද්ද!
Deleteපට්ට සින්දුවක්... මම ආසම සින්දුවක්... කොච්ච්යට පැනලා මැරෙන සීන් එකක් ගැන කියන්නේ... හොයාගෙන අහන්න රසික මහත්තයෝ...
Deleteහේතුව මට ලාවට හිතා ගත්තු හැකිලු... :P :D
ReplyDeleteහේතුව තමයි ඉන්දියන් කාරයෙකු ගේ කනේ ගහපු ස්පීකර් දෙකකින් සද්දේ එළියට කාන්දු වීම!
Deleteඑහෙනං අනිවාර්යෙන් ඒ ස්පීකර් දෙක චයිනීස් වෙන්න ඇති.
Deleteඇයි ඉන්දියන් බඩු ඊට වඩා ප්‍රමිතිය හොඳඳ?
Deleteඔය චයිනීස් කතාව ලංකාවට අදාල එකක්. මෙහේ තියෙන චයිනීස් බඩුවල නම් එහෙම ප්‍රශ්නයක් නෑ.
ඇත්තටම කියනවා නම් අපේ ගෙවල්වල කාර් ඇරුණා ම හැම දෙයක්ම වගේ චීනේ හදපු ඒවා.
චයිනීස් බඩු (ඔව් බඩු තමා) හොඳයි. ලංකාවේ නම් චයිනීස් කාර් හිටන් තියෙනවා. කොටින්ම අර හඳේ ගැහුවා කියන ඇමෙරිකන් කොඩියත් මේඩ් ඉන් චයිනාලුනෙ.
Deleteමම දන්න තරමින් ඔය කුස්සිවල පාවිච්චි කරන ඉලෙක්ට්‍රික් බඩු එහෙම චයිනීස් වලට වැඩිය ඉන්දියන් ඒව හොඳයි. මොකද ඉන්දියාවෙ ඒව හදන්නෙ ඒ මිනිස්සුන්ට හරියන විදියටනෙ.
Deleteදැන් දැන් රසිකයියා යන ලයින් එක අපිටත් යාන්තමට වගේ තේරෙනවා වගේ...... හැක් හැක්
ReplyDeleteකවියකුයි සින්දුවකුයි රී-මික්ස් කලා කියල ඇහුවමයි මේ!
ReplyDeleteකවි-සිංදු රීමික්ස් එකක් ගහන්න පුළුවන්...
ReplyDeleteරසවින් දෙමි
ReplyDeleteඕක මැදින් අර කුනුහරැප වැලක් එක දිගට කියන බිලින් දෙකු ගේ රැප් කෑල්ලකුත් දැම්මා නම් කුනු ක රෝල රසත් එක් වේ
ෂහ්. සිංදු ඇනෝට සෑහෙන්න වැඩ තියෙන පෝස්ට් එකක් නෙ..
ReplyDeleteඔක්කොම එකට ගත්තම හිතාගන්න බෑ තාම..ඉතුරු කොමෙන්ට්,රිප්ලයි ටිකත් බලන්න ඕනෙ.
ReplyDeleteජයවේවා..!!
සින්දුව නම් මීට කලින් අසා නොමැත.. කවිය නම් ලස්සනය.
ReplyDeleteකලින් අසා නොමැත.........ජංගිය ගලවලා පැත්තකට දාලා පිටකොටුවේ පේමන්ට් එකෙන් රෙඩිමේඩ් කලිසමක් අරගෙන ඇඳගන්න
Deleteමේ දවස්වල මෙහේ ලියන්න වෙලා තිබෙන්නේ මේ වගේ කවි:
ReplyDeleteසීලිං පංකාව
කෙඳිරි ගාමින් කැරකෙයි
උණුසුම් උකු තලපයක් වැනි
වායුගෝලය තුළ
නුරුස්නා කතා බහ
කැටි වළාකුළු සේ
තෙරපෙයි සවන් තුළ
ගිනියම් අව්ව පුපුරයි
විජලනිත තුරු පත් මත
දහදියෙන් බත් ව ඇත හිත
ගල් ගැසිලාය ගහකොළ
සුළං රැල්ලක් නැතිව
- අජිත් පැරකුම් ජයසිංහ (2016-03-04)
This comment has been removed by the author.
ReplyDeleteකැසට් පටි වලින් අහුන ගීත දැන් සීඩී ඩීවීඩී වලින් ඇහෙනවා අඩුයි...
ReplyDeleteජීවිත දුම්රියේ නැවතුම කහ අකුරු පෙලකින් පේනෙනවනම්...රිදෙන උරිස සනහා ජීවිතයට ආල කරාවි....
ReplyDeleteමට ඔහොම හිතුන කවිය කියවපු ගමන්...