Monday 6 June 2016

තුන්වෙනි ගැලක්සිය - Galaxy S3


කලට පෙර "තර්ඩ් රොක් ෆ්‍රොම් ද සන්" හෙවත් හිරු ගේ සිට තුන්වෙනි ගල නම් වූ ඇමරිකානු ප්‍රහසන රූපවාහිනී මාලා නාටකයක් (සිට්කොම්) ඉතා ජනප්‍රියවෙමින් විකාශය විය. මේ කතාව ගෙතී තිබුණේ දුරස්ථ ලෝකයක සිට පොළොවට පැමිණ, මිනිස් වෙස් ගෙන, මෙලොව මිනිස් ශිෂ්ටාචාරය අධ්‍යයනය කරන පිටසක්වල ජීවීන් සිව් දෙනෙකු ගේ අත්දැකීම් මතය.

අප වෙසෙන පෘථිවියට ඔවුන් නමක් නොතියා අංකයකින් "තර්ඩ් රොක් ෆ්‍රොම් ද සන්" කියා හඳුන්වා තිබුණේ, පෘථිවිය වනාහී නොවැදගත් ග්‍රහලෝකයක් යැයි ඔවුන් සිතා සිටි නිසා ලු!

"තර්ඩ් රොක් ෆ්‍රොම් ද සන්" යන්න එසේ නොවැදගත් සේ පිටසක්වල ජීවින් විසින් සැලකුව ද, තුන්වෙනි චක්‍රවාටය හෙවත් තුන්වෙනි මන්දාකිනිය හෙවත් තුන්වෙනි ගැලක්සිය යන්න නම් "තර්ඩ් රොක් ෆ්‍රොම් ද සන්" හි වාසය කරන ජංගම දුරකථන භාවිතා කරන්නන් විසින් ඉතා වැදගත් සේ පිළිගන්නා ලද්දකි.

කොරියානු ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදකයෙකු සැම්සුන් සමාගම විසින් 2012 වසරේ මැයි මාසයේ දී වෙළදපොළට ඉදිරිපත් කරන ලද, ඊට පෙර මිලියන් නමයක ඇණවුම් ලබා තිබුණු, මුල් මාස තුන ඇතුළත මිලියන් 20 ක් විකිණුනු, මේ වන විට මිලියන් 50 ක් විකිණී ඇති සැම්සුන් ගැලක්සි S3 නම් ජංගම දුරකථනය සැලකෙන්නේ අයි-ෆෝන් මරුවා ලෙසය.

ඒ වසරේ අවසානය වන විට, සැම්සුන් ගැලැක්සි S3 දුරකථනයේ විකුණුම් ප්‍රමාණය, ඇපල් සමාගමේ අයි-ෆෝන් 4S දුරකථනයේ විකුණුම් ප්‍රමාණය පරදා ගොස් තිබුණි.

එතෙක් මා භාවිතා කළ නොකියා E63 දුරකථනය අතහැර දමා, මා ගැලක්සි S3 ජංගම දුරකථනයක පෞඩ හිමිකරුවෙකු වුණේ 2012 ඔක්තෝබරයේ දී ය. ඒ මා මගේ උපන් දිනය වෙනුවෙන් මට ම දුන් ත්‍යාගයක් විය.

ගැලක්සි S3 ජංගම දුරකථනයක් හිමි කර ගැනීම සඳහා මට ප්‍රධාන ක්‍රම දෙකක් තිබුණි. එකක් දුරකථනය අත්පිට මුදලට මිලට ගෙන මා එතෙක් භාවිතා කළ සිම්පත හා දුරකථන ජාල සම්බන්ධය පවත්වා ගැනීමයි. විකල්ප ක්‍රමය වූයේ, දුරකථන සේවා සපයන සමාගමක් හා දෙවසරක ගිවිසුමකට බැඳී ඔවුන්ගෙන් දුරකථනය සහ සේවාව පැකේජයක් ලෙස ලබා ගැනීමයි.

මා ඒ වන විට භාවිතා කළේ ("නිම්නයක තනිවී සිහින දකින්නිය" පවා භාවිතා කරන) ටීපීජී නම් දුරකථන සමාගමේ සේවා ය. මගේ ජංගම භාවිතාව සඳහා මා ගෙවූයේ මසකට ඩොලර් විස්සකට අඩු මුදලකි. මේ හිලව්වට මට මසකට ගිගා බයිට් එකක දත්ත ප්‍රමාණයක් ද, ඩොලර් 550 ක වටිනාකම ඇති ඇමතුම් ද ලැබුණි. ඔවුන් සඳහන් කරන වටිනාකම කෙසේ වෙතත් ඒ මුදලින් මට එක්කෝ ලංකාවට විනාඩි 225 ක් හෝ නැතිනම් ඕස්ටේ‍ර්ලියාව තුළ විනාඩි 500 ක් පමණ හෝ නැතිනම් ඒ දෙවර්ගයේ සංකලනයක් හෝ ඇමතුම් ලබා ගත හැකි විය. එය ගෙවන මුදලට උපරිම ප්‍රයෝජනය ලැබෙන පැකේජයකි.

මා අත්පිට මුදලට ගැලක්සි S3 දුරකථනය මිලට ගන්නේ නම් ඒ සඳහා ඕස්ටේ‍ර්ලියාව තුළ දී මට වැය කළ යුතු වූ මුදල ඩොලර් 850 සිට 950 දක්වා ප්‍රමාණයක් විය. ඉන්ටර්නෙට් හි ක්‍රියාත්මක වන සමාගමක් වූ කෝගන් හි මේ දුරකථනය ඩොලර් 700 කට විකිණෙමින් තිබී එක් සති අන්තයක ඩොරල් 650 දක්වා මිල පහත හෙළන ලදී.

ඕස්ට්‍රේලියාව තුළ තම සේවා සපයන ටෙල්ස්ට්‍රා, ඔප්ටස්, වොඩාෆොන් හෝ වර්ජින් වැනි සමාගමකින් මට මේ දුරකථනය මාස විසි හතරක ගිවිසුමක් සමග ලබා ගන්නේ නම්, උපකරණය සඳහා ගෙවිය යුතු වන්නේ මසකට ඩොලර් පහක් හෝ දහයක් වැනි සුලු මුදලක් වුව ද, ඔවුන් ගේ සේවා සඳහා මසකට ඩොලර් හැටක් හෝ හැත්තෑවක් පමණ ගෙවිය යුතු විය. ගෙවන මුදලට වටිනාකමට දත්ත සහ දේශීය ඇමතුම් සේවා ලබා ගත හැකි වුණ ද, ප්‍රශ්නය වූයේ, විදේශීය ඇමතුම් ඒ සමයේ දී ඒ පැකේජයන්ට ඇතුළත් කර නොතිබීමයි.

මේ අනුව, ඒ විකල්ප ක්‍රමයෙන්, අලුත් දුරකථනය සඳහා අත්පිට මුදල් මුලින් වියදම් කිරීම අනවශ්‍ය වුවද, මට අවශ්‍ය සේවා නොලැබී, අනවශ්‍ය සේවාවලට මුදල් ගෙවීමට සිදුවෙන බව පැහැදිලි විය.

මේ කරුණු සියල්ල සලකා බැලූ මම, කෝගන් සමාගමෙන් සැම්සුන් ගැලක්සි S3 දුරකථනයක් ඇණවුම් කළෙමි. සතියකියන් පමණ එය අප නිවසට ළඟා විය. මට තිබුණේ, මගේ සිම්පත අවශ්‍ය ප්‍රමාණයට කතුරකින් කපා, එහි බහාලීම පමණි.

එදා 2012 ඔක්තෝබරයේ සිට පසුගිය මැයි මාසයේ එක් අඳුරු දිනක රෙදි සෝදන මැෂිමේ දී අවසන් ගමන් යන තුරුම මා භාවිත කළේ ඒ ඇපල් අයිෆෝන් මාරයා ලෙස විරුදාවලි ලද සැම්සුන් ගැලක්සි -3 මොඩලයේ මගේ ජංගම දුරකතනයයි.

-රසිකොලොජිස්ට්

(imange: http://tvlistings.zap2it.com/tv/3rd-rock-from-the-sun/EP00163817?aid=zap2it)

15 comments:

  1. පෝන් කතා ක්‍රමයෙන් අවසානයට ලඟාවෙමින් තිබෙනු දැකීම සතුටකි.

    ReplyDelete
    Replies
    1. භීෂණය මැදින් ටෙලිනාට්‍ය සමග ජීවිතය සමග කතා මාලාවට ද ඒ සෙතේ ම ලබන බව කියවේ!

      Delete
    2. පෝන් කතා මිස පෝර්න් කතා නම් ලිවීමට අදහසක් නැත.

      ;-)

      Delete
    3. හැලපෙ, ඔය වයසට ඉතිං මොන පෝන් ද නේද? හැක්..

      Delete
  2. ඔය ගැලැක්සි පෝන් ගත්ත මම දන්නා බොහෝ දෙනාගේ පෝන් වල ස්ක්‍රීන් එක් වරක් බිම වැටුණු හැටියේම පුපුරා ගොස් තිබිණි. නැතිනම් සාක්කුවේ තිබියදී පුටු ඇඳි වලට තදවී ස්ක්‍රීන් පුපුරා ගොස් තිබිණි. එබැවින් මම නම් තවමත් සිලිකන් කවරයක් දමාගෙන කැඩෙන බිඳෙන සුළු බව අඩු අයිපෝන් ම පාවිච්චි කරමි...

    ReplyDelete
  3. ඇස් තුන ඔච්චරම වැදගත් හින්ද වෙන්න ඇති ඒක සර්විස් කරන්න වොෂින් මැසිමක්ම පාවිච්චි කළේ.

    ReplyDelete
  4. ....අවුරුදු 2 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස...නම් කිව්වේ ටෙල්ස්ට්‍රාල ප්ලෑන් එකකට යන්න කියලා එයා බෝට්ටුවේ ඇවිල්ලා ක්‍රිස්මස් අයිලන්ඩ් එකේ ඉදන් ලංකාවට කතා කරන්න හොඳට සිග්නල් තියනවා කියලාත් කිව්වා

    ReplyDelete
    Replies
    1. චූටි මාමා පාන් ගැන මොකුත් කිව්වේ නැද්ද

      Delete
    2. නැනේ එයාකිව්වේ පොල් රොටි හදලා ඉස්තිරික්කේ රත්කරලා අනික් පැත්ත හරවලා රොටිය පුච්චගන්න විදිහ විතරයි
      හින දකින්නිගේ චුටි මාමා පාන් ගැන මොකුත් හරි කියන්න ඇති. ඔයා එයාගෙන් අහලා බලන්න

      Delete
  5. දුරකථන කතා ...
    නොකී කතා
    එකට ගොතා
    ඔබට කියන්නම්

    ඉර හැරුන වෙලේ
    හැන්දෑවේ විහිළු කරන්නම්

    ReplyDelete
  6. කැමරාව හොඳයි කියල දැක්ක

    ReplyDelete
  7. හරේ..... කන්ටැක්ට් ලිස්ට් එක නැතිවීමේ පාඩුව දරාගත නොහැකිව බොහොම අමාරුවෙන් කියවපු ලිපි මාලාව අහවර වීම සතුටක්.
    ජයවේවා..!!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.