Friday 24 June 2016

සිනුවර සිංහල පන්සල් - Sinhala Buddhist Temples in Sydney


වයසට යත් ම අපේ කාර්යක්‍ෂමතාවය අඩුවේ. තව දුරටත් කිරීමට හැකියාව ඇති සෑම දෙයක්ම කළ හැකිවන්නේ තරුණ කාලයේ දී ට වඩා අඩු වේගයකිනි. ඇවිදීම, කතාව, කියවීම, අවබෝධය, ධාරණ ශක්තිය වැනි මෙකී නොකී සියලු දේම ටිකෙන් ටික මන්දගාමී වේ. කරුණු එසේ නමුදු, එක් දෙයක නම් වේගය අඩුවීමක් ඇත්තේ ම නැත. ඒ අන් කිසිවක් නොව කාලය ගත වෙන වේගයයි. ඇත්තටම කියනවා නම් කාලය ගතවීම අපට දැනෙන වේගය යි. එහි වැඩි වීමක් මිස අඩු වීමක් නැත.

අළුත් වසර 2009 එළැඹුණේ අද ඊයේ මෙන් තවමත් දැනුනද, අද අප මේ ඉන්නේ වසරේ අවසානයේ ය. කල් ගතවෙන ඉක්මන! නැවතත් කියනවා නම්, කාලය ඉතා වේගයෙන්, අප තරුණ කාලයේ දී සිදු වූවා ට වඩා ඉතා වැඩි වේගයකින් ගලා යයි. නමුත් මෙහි සැබෑ තේරුම නම්, අප තව තවත් වයසට යන වේගය ද වැඩි වී ඇති බව නොවේ ද? නමුත් ලොව අන් සියලු දේ සේම තරුණ මහලු යන්නද සාපේක්‍ෂ අර්ථ දැක්වීමකි.

ඒ කෙසේ වූවද, ටිකෙන් ටික ජීවිතයේ සන්ධ්‍යා භාගයට අප ළංවෙත් ම, සිරුරේ මෙන්ම ජීවීතයේ ද වෙනස් කම් කීපයක් ඇතිවේ. මින් ප‍්‍රධාන වෙනසක් නම් ආගම දහමට සිත නැඹුරු වීමයි. ලෝ වැඩ සඟරාවේ දැක්වෙන පරිදි "කොතැන උනත් නැත මරු හට බාදා" නිසා, "අද අද එයි මරු පින් කර ගන්නේ" යැයි සිතමින්, "තම තම නැණ පමණින් දැන ගත යුතු" ධර්මය ආශ‍්‍රය කරන්නට අප පෙළඹෙමු. නිතර පන්සල් යන්නෙමු. පෝය ට සිල් ගන්නෙමු. භාවනා කරන්නෙමු. මේ කරුණු ගැන සමාන උනන්දුවක් ඇති අය හමුවූ විට නිරතුරු සාකච්ඡා කරන්නෙමු. සමහර විට භාවනාව පිළිබඳ කෙරෙන මෙවැනි සාකච්ඡා සඳහා ඇත්තටම භාවනා කරනවාට වඩා වැඩි කාලයක් මිඩංගු කරන්නෙමු. එහි වරදක් නැත. මේ සියලුම දේ වල මූලික අරමුණ චිත්ත සන්තුෂ්ටිය ම වන බැවිනි.

සිනුවර වෙසෙන ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති බෞද්ධයින් ට ආගමික කටයුතු සඳහා මෙතෙක් ඇත්තේ එකම එක සම්ප‍්‍රදානුකූල "සිංහල" පන්සලක් පමණි. ඒ සිඞ්නි නගරයෙන් කිලෝ මීටර් 45 ක් පමණ වයඹ දිගින් පිහිටි ස්කෝෆීල්ඞ් (Schofields) හි ලංකාරාමයයි. මීට අමතරව සිනුවරින් කිලෝමීටර 100 ක් පමණ බටහිරින් කටුම්බා (Katoomba) ප‍්‍රදේශයේ ද ආරණ්‍ය සේනාසනයක් පිහිටා ඇත.

මා අසා ඇති ඉතිහාසයට අනුව, වසර 1992 දී සිනුවර වාසය කරන ශී‍්‍ර ලාංකික බෞද්ධයින් ගේ ආධාර සහ උපකාර ඇතුව ලංකාරාම විහාරය ලිඩ්කොම්බ් (Lidcombe) හි කුලී නිවසක ආරම්භ කර, ඒ වසර අවසානයේ දී ඕබන් (Auburn) කරා ගෙන ගොස්, පසුව 1997 දී ස්කෝෆීල්ඞ් හි දැන් විහාරය පවත්වාගෙන යන ස්ථානයේ පිහිටුවා ගෙන ඇත. මේ වන විට (2009) ලංකාරාමය, චෛත්‍යය, බෝ මළුව, බුදු මැදුර සහ සංඝාවාසය ආදී වූ ප‍්‍රධාන විහාර අංගෝපාංගයන්ගෙන් සමන්විත බෞද්ධ මධ්‍යස්ථානයකි.

ඩොලර් තුන් ලක්‍ෂයකටත් වඩා වැඩි වියදමක් දරා, දිගු කාලයක් තිස්සේ ඉඳිකිරීම් කටයුතු කර ගෙන ගොස්, 2006 නොවැම්බරයේ දී කොත් පළඳවා විවෘත කරන්නට යෙදුණු ලංකාරාම වෛත්‍යය ගැන ද මෙහි විශේෂයෙන් සඳහන් කළ යුතු ය. කළුතර බෝධි සෑය සිහිගන්වන මෙම වෛත්‍යයේ සැකිල්ල කුහරාකාර වන අතර සමාධි පිළිමයකින් යුතු බුදු මැදුර පිහිටා ඇත්තේ චෛත්‍යය මධ්‍යයේය. පන්සලේ දී වන්දනා මාන කළ යුත්තේ වෛත්‍යය, බෝධිය, බුදු මැදුර යන අනු පිළිවෙළට නිසා, එය අනුගමනය කරන සැදැහැවතුන් ට චෛත්‍යය මළුවට දෙවරක් පිවිසීමට මෙනිසා වරම් ලැබේ.

සිනුවර තදාසන්න ප‍්‍රදේශ වල වෙසෙන සිංහල බෞද්ධයින් සියලු දෙනාටම ඇත්තේ මේ එකම පන්සල බැවින් පෝය දින වලට පන්සල සැදැහවතුන්ගෙන් පිරී ඉතිරී යයි. දැන් ලංකාරාමයට ඇති ලොකුම අවශ්‍යතාවය දැනට ඇති තාවකාලික ශාලාව වෙනුවට වැඩි පිරිසකට රැුස්විය හැකි ධර්ම ශාලාවකි. ඩොලර් මිලියනයක පමණ වියදමක් ඇස්තමේන්තු ගත ධර්ම ශාලාව ගොඩ නැගීමේ ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ දිනවල ඇරඹී ඇත.

සිනුවර තදාසන්නයේ ඇති එකම "සිංහල" පන්සල වන ලංකාරාමය ගැන කතා කරන විට මට සිහිවන්නේ මෙල්බර්න් නුවර තදාසන්නයේ පිහිටා ඇති "සිංහල" පන්සල් ප‍්‍රමාණයයි. සිනුවර සගයින් ගේ දැන ගැනීම පිණිස කෙටියෙන් කියතොත්, මා 1995 දී මෙල්බර්න් නගරයට පැමිණෙන විට ඩැංඩිනොං, නෝබල් පාර්ක් සහ ස්පි‍්‍රංවේල් නගරවල "සිංහල" පන්සල් ඉඳිවී තිබුු අතර මෝල්වන් හි සමහර කාලයන් හි සිංහල හාමුදුරුවන් වැඩ ඉන්නා ජාත්‍යන්තර පන්සලක් ද තිබුණි. අනතුරුව යුරෝක් හි පන්සලක් ගොඩ නැගුණු අතර මගේ මතකයට අනුව සිංහල ප‍්‍රජාවේ ව්‍යාප්තිය නිසා පෙර කී පන්සල් දෙකක් කීස්බරෝ සහ බෙරික් ප‍්‍රදේශවලට ගෙන යාමට සැලසුම් කෙරිණි. මීට අමතරව රිංග්වුඞ් හි සිංහල හාමුදුරුනමක් ද මෙහෙණින් වහන්සේ ලා ද වැඩ ඉන්නා ජාත්‍යන්තර පන්සලක් බිහිවුණු අතර මා මෙල්බර්න් නුවරින් සිනුවරට සංක‍්‍රමනය වූ 2001 වන විට මෙල්බර්න් හි උතුරු ප‍්‍රදේශයේ ද "සිංහල" පන්සලක් ගොඩ නැගීමට අදහස් කර තිබුණි. එදා තත්වය අද තව තවත් වැඩි දියුණු වී ඇති බවට සැක නැත.

මේ අනුව බලන කළ මෙල්බර්න් පුරවරය අද ඕස්ටේ‍්‍රලියාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රස්ථානයයි. සිනුවර එහි අහලක වත් නැත.

පන්සල් ගණන වැඩිවත් ම, ඒ අනුපාතයටම නොවුණත්, ප‍්‍රජාවේ ආගමික හැදියාව වැඩිවේ. එය නිසැකවම හොඳ දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එකම ප‍්‍රශ්නය නම් සම්පත් බෙදී යාමයි. එයද කෙටි කාලීන ප‍්‍රශ්නයක් පමණකි.

සිනුවර තදාසන්නයේ තවත් "සිංහල" පන්සල් බිහි වේවා යැයි ශාසනාලයෙන් යුතුව පතමි.

-රසිකොලොජිස්ට්

පසු-සටහන:
මා මේ ලිපිය 2009 වසරේ අග භාගයේ දී ලියන්නට හේතු වූයේ ඒ දිනවල සිනුවර අරඹන්නට පිඹුරුපත් සැකසෙමින් තිබුණු මහමෙවුනා නම් "පන්සලක්" පිළිබඳ ලංකාරාමයේ රැස්වීමක දී ඇතිවුණාය කියන සාකච්ඡාවක් ගැන තොරතුරු කන වැටීමයි.

ඒ මහමෙවුනා පන්සල පිහිටුවා දැන් සෑහෙන කලක් ගත වී ඇත. නමුත්, මා එය පිහිටා ඇත්තේ කොයි ඉසව්වේද යන්න අදත් නිශ්චිතව නොදනිමි.

"පරණ වැඩ මල්ලේ" (ශාන්ත කේ හේරත්ගෙන් අහුලා ගත් වචනයකි!) තිබී මේ ලිපිය පළ කරන්නට හිතුවේ, ලංකාවේ පොල්ගහවෙල ප්‍රදේශයේ පිහිටුවා තිබෙන යම් කිසි මාළිගාවක් පිළිබඳ තොරතුරක් පසුගිය දා ෆේස්බුක් අවකාශයේ සංසරණය වෙනවා දැකීම නිසා ය.

27 comments:

  1. එවැනි මාලිගා දෙකක් ඇත.. මා දන්නා තරමින්..

    කාලය පිළිබඳ ඔබගේ අදහස් වෙනස් කර ගන්නේ නම් මැනවි..

    https://www.youtube.com/watch?v=_vrwsXFcREY

    පලි - හැක්

    ReplyDelete
    Replies
    1. මාළිගා තුනක් හැර ගොස් බුදු වුණු පුද්ගලයා සඳහා මාළිගා දෙකක්?

      හැක්!

      Delete
    2. නියම කොමෙන්ට් එක රසික.

      Delete
  2. මාළිගා සහ අසපු යනු පන්සල් නොවේ.

    ReplyDelete
    Replies
    1. මේවා යුරෝපීය මධ්‍යතන යුගයේ පල්ලි සිහිකරයි!

      Delete
  3. අර උඩ ස්ටේටස් එක දාපු කෙනා ගිහිල්ල තියෙන්නෙ රාජ මාළිගාවකට මිසක් පන්සලකට නොවෙයි නෙ. ඉතිං රජ මාළිගාවකට ගිහිල්ල අපට ඕන හැටියට හැසිරුනොත් රාජ උදහසට ලක්වෙලා උල තැබීම වගේ දඬු‍වමකට උනත් ලක්වෙන්න ඉඩ තිබෙන බව ඔහු නොදන්නෙහිද.

    ReplyDelete
    Replies
    1. කර අඹලා පුස්සෙකු කරළා නොඑවපු එක ගැනයි පුදුම!

      Delete
    2. එකෙන්ම ප්‍රසන්න +++++++

      Delete
  4. Replies
    1. සයන්ටොලොජි වගේ එකක් සේ පෙනේ!

      Delete
    2. It actually is a cult. People who go their are crazy.

      Delete
  5. ඔහෙ තාම කවුරුවත් රහත්වෙලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මෙහෙන් රහත් වෙලා එහෙට යන එවුන් නම් ඉන්නව.

      Delete
    3. නියම ප්‍රශ්නෙ :D :D

      Delete
  6. ඇඩිලේඩ් පුරවරයේ නම් මහමෙව්නා පන්සලක් ආරම්භ වුනා දැනට අවුරුද්දකට පමණ පෙර... ඒ හමුදුරුගොල්ලෝ සාදු..සාදු.. සා......දු. උ..උ... කියලා තුන්පාරක් කියනවග මට මතකයි..

    ReplyDelete
    Replies
    1. සාදු..සාදු.. සා......දු. උ.. කියල තුන් පාරක් කියන එක මා දන්නා තරමින් නම් thai tradition එකෙත් තියනවා. ගාථා සිංහලෙන් කවි වගේ කියන එකයි මට නම් විකාර. අනිත් එක හාමුදුරුවන්ට දානෙ දෙන එක විතරයි එකම පින කියල ඔතෙන්ට යන අය හිතන්නෙ. ඔක්කොටම වඩා show- off එකයි, rituals වලට විතරක් මුල් තැන දෙන එක විතරයි එතන තියෙන්නේ.

      Delete
    2. Do you mean Sadu Sadu Sadu X 3 times = 9 times of Sadu ?

      Delete
  7. මහමෙව්නාව තිබුනේ "Cheryybrook" වල (76 New Line Rd, Cherrybrook NSW 2126 ) , එය එතනින් ඉවත් කරන දින (ගිය අවුරුද්දේ) හදිස්සියේ යොදා ගත් දානයක් අපි දෙන්න ගියා තාත්ත වෙනුවෙන් අම්මාගේ ඉල්ලීම පරිදි.... කොහෙටද අරන් ගියේ කියන එක නම් මතක නැ,, "Scofield" වලිනුත් එහාට..

    ReplyDelete
  8. වයසට යන කොට දෘෂ්ඨිය වගේම මීටර් වන වේගෙත් අඩුවෙනවානේ, මට මේ දැණුත් එහෙමෙකක් වුනා, ඔබේ පොස්ටුවේ එක ජේදයක් මට කියවුනේ මෙහෙමයි /... සිනුවර තදාසන්නයේ තවත් "සිංහල" පන්සල් බිහි වේවා යැයි ශ්වාසනාලයෙන් යුතුව පතමි./ පලි එකත් ඉවරවුනාට පස්සෙයි ස්පාක්වුනේ,

    ReplyDelete
  9. සෝම හාමුදුරුවන් ඔසී වල පන්සලක් හදනව කියලා වර්ග අඟලක් රුපියල් 1700 ගානක් උනා. අපේ අම්මාඅ බොදු බැතියෙන් වර්ග අඟලකට දායක උනා. මේ පන්සලට වූ දෙයක් නෑ , සල්ලි වලට වූ දෙයක් දන්නෙත් නෑ. අම්මා සැදැහැ සිතෙන් දුන්න නිසා මම මේ ගැන අම්මට කියන්න යන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ ඒ පංසල ශෝක් එකට..
      https://www.youtube.com/watch?v=aIE1_39CKDk

      Delete
    2. /* මා 1995 දී මෙල්බර්න් නගරයට පැමිණෙන විට ඩැංඩිනොං, නෝබල් පාර්ක් සහ ස්පි‍්‍රංවේල් නගරවල "සිංහල" පන්සල් ඉඳිවී තිබුු අතර මෝල්වන් හි සමහර කාලයන් හි සිංහල හාමුදුරුවන් වැඩ ඉන්නා ජාත්‍යන්තර පන්සලක් ද තිබුණි. අනතුරුව යුරෝක් හි පන්සලක් ගොඩ නැගුණු අතර මගේ මතකයට අනුව සිංහල ප‍්‍රජාවේ ව්‍යාප්තිය නිසා පෙර කී පන්සල් දෙකක් කීස්බරෝ සහ බෙරික් ප‍්‍රදේශවලට ගෙන යාමට සැලසුම් කෙරිණි. */

      ගංගොඩවිල සෝම සිටියේ නෝබල් පාක් පන්සලේය. එය පසුව බෙරික් කරා ගෙන ගොස් ඇත.

      Delete
  10. කවුරු කෙසේ කීවත්..සිල්වත්,සසරින් එතෙර වූවා යැයි සැලකිය හැකි බොහේ ස්වාමීන්වහන්සේලා ඔස්ට්‍රේලියාවේ ආරන්‍යවල වාසයකරන අතර මුනගැසීද ඇතිබව ස්තීරකල හැක.(ලංකාවේ පංසල් ඇර/මෙහේ අයත් ඔහේ මාලිගා හදන කට්ටියත් අතර වැඩි වෙනසක් නැත)

    ReplyDelete
    Replies
    1. ++++++++++++++ I m with you.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.