Saturday 11 January 2020

විගාමික සිංහල සාහිත්‍යයට සඳහම් සුවඳක් - "හෙළ දම් පැදි වැල"



එච්. එච්. කරුණාරත්න ලියූ "හෙළ දම් පැදි වැල" කවි එකතුව පිළිබඳ රසික සූරියආරච්චි විසින් 2011 දී ලියූ විචාරයකි. මෙය 2011 මාර්තු සන්නස කළාපයේ පළ විය.



විගාමික සිංහල සාහිත්‍යයට සඳහම් සුවඳක් - "හෙළ දම් පැදි වැල"

මා, එච්. එච්. කරුණාරත්න කවියා මුලින් ම දුටුවේ වසර 2005 අග භාගයේ දී ස්කැට්ස් (SCATS) සංවිධානය විසින් සිඩ්නි නුවර එපින් හි දී පවත්වන්නට යෙදුණු "සාහිත්‍ය චින්තා" කවි සමුළුවේ දී ය. එදින ඔහු ලියූ සාහිත්‍යමය ලිපියක් කියවූ බව ද, ඔහු විසින් රචිත කවි පන්තියක් රස විඳි බව ද, මගේ මතකයේ ඇත.

එතැන් පටන් පසුගිය පස්වසර තුළ කරුණාරත්නයන් විසින් පබැඳුණු කවි පන්ති කිහිපයක් ම අසා, කියවා, රස විඳින්නට මට ඉඩ කඩ ලැබුණි.

"හෙළ දම් පැදි වැල" නමින් පසුගිය දා ප්‍රකාශයට පත්වුණු එච්. එච්. කරුණාරත්න කවි එකතුව පිළිබදව මා මේ කෙටි සටහන තබන්නේ ඒ පසුබිම තුළ හිඳිමිනි.

තමා කවියෙකු නොවන බව නිරහංකාර ලෙස පෙරවදනේ සඳහන් කළ ද, එච්.එච්. කරුණාරත්නයෝ දීර්ඝකාලයක් තිස්සේ කාව්‍ය රචනාවෙහි යෙදුණු පළපුරුදු කවියෙකු වෙති. මේ කාව්‍ය සංග්‍රහයේ අඩංගු කර ඇති විවිධ විරිතින් පබැඳුණු සඳැස් කවි මෙන් ම සැහැලි වර්ගයේ රචනාවලින් ද ඒ බව මනාව සාධනය වේ.

ගණනින් එකුන් සැටක් වූ මේ කාව්‍ය පන්තීන්ගෙන් බහුතරයක් ම බෞද්ධ චින්තනය මත පදනම්ව, බොහෝ විට ධර්ම කරුණු පිළිබඳව රචිත ඒවා වීම ජීවිතයේ සැඳෑ කාලයේ පසුවෙන අප වැඩිහිටි පරපුරට මෙන් ම, මැදිවිය පසුකරමින් සිටින අපේ පරම්පරාවේ බණට, දහමට නැඹුරු වූ සිත් ඇත්තන්හට ද සතුට දනවන කරුණක් වෙනු ඇත.

පන්සල කේන්ද්‍රකොට ගත් බුද්ධාගම නමැති සංස්ථාව වෙත අප බැඳ තබා ගන්නා ආමිස පූජාවන් හි ප්‍රධාන තැනක් ගන්නා ගස් වන්දනාව සහ පිළිම වන්දනාව යන වන්දනා ද්වයේහි දී ම, සුගම විරිතට පබැඳිව, සුමුදු හඬින් ගැයෙන සිංහල කවි සහ පාලි ගාථා සාර්ථකව යොදා ගන්නා බව අප හොඳින් දන්නා කරුණකි.

ඒ අනුව බලන කල, "හෙළ දම් පැදි වැල" කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් කාව්‍ය නිර්මාණ බොදු චින්තනය මත පදනම් වූ දිවි මගකට පාඨකයා යොමු කරවන ආකාරයේ ප්‍රබල විභවයක් ඇති රචනා බවට සැකයක් නැත.

ඇතැම් ගැඹුරු දහම් කරුණු පවා කරුණාරත්නයන් ගේ කාව්‍යමය හැකියාව හමුවේ සුගම පදවැල් බවට පෙරළී ක්‍රමිකව ගලා යයි. මා මේ කෘතියේ දුටු තවත් එක් සුවිශේෂී ලක්ෂණයක් නම්, බුදුගුණාලංකාරයේ අප කියවා ඇති ආකාරයේ කෙටි මාත්‍රාවෙන් යුතු කවි ප්‍රබල අරුත් හුවා දැක්වෙන අයුරින් පබැඳී ඇති ආකාරයයි.

උපන් බිමේ දිගු කලක් තිස්සේ කළ මෙහෙය නිමවා, විශ්‍රාමික සංක්‍රමණිකයෙකු ලෙස මේ "දකුණු කුරු දිවයින" ට පැමිණ තමා ලද ඒ විප්‍රවාසී අත්දැකීම් ද කවි බසට පෙරළා, හෙල දම්පැදිවැල කෘතියෙහි එන පදවැල් අතරට එක් කිරීමට කරුණාරත්නයෝ උත්සුකවීම ද පැසසිය යුතු කරුණකි. විගාමික සිංහල සාහිත්‍යයක පිබිදීමට ඉන් ලැබෙන රුකුල මම මෙහි ලා බෙහෙවින් අගය කරමි.

දේශපාලන කසළ ගොඩට සහ එහි ඉහඳ තබන නිලමැස්සන් ට වන්දිබට්ටකම් කෙරෙන "යුග පෙරළිය" නම් වු කවි පෙළ හමුවේ කිලිටි කර නොගෙන මා දෙනෙත වසාලමින්, "හෙළ දම් පැදි වැල" නමැති මේ කිරි කළය, කිරි කළයක් ලෙස ම හුවා දැක්වීමට මම කැමැත්තෙමි.

"හෙළ දම් පැදි වැල" කෘතියෙහි අඩංගු දම් පැදිවැල් කියවන, අසන, සෑම සිතක ම දම් සිතුවිලි පහළ වේවා, ඒ සිත් නිවේවා, සුවපත් වේවා යන්න මගේ පහන් පැතුමයි.

උපත සහ විපත අතර දුකෙහි ගැලෙමින්, සැපත සොයමින් අප ගෙවන මේ කෙටි ජීවිත කාලය අවසානයේ දී යම් ප්‍රයෝජනවත් වැඩක් කළා යයි සතුටු වීමට නම් "ගසක් වවා, පුතෙක් හදා, පොතක් ලියා තිබිය යුතුය" යනුවෙන් වැඩි දෙනෙකු නොදන්නා කියමනක් වේ.

සිනුවර අප අතර වෙසෙන කරුණාරත්නයන් තම දිගු ජීවිත කාලය තුළ අනේක සංඛ්‍යාවක් ගස් වවා ඇතැයි මම සිතමි. ඔහු රටට වැඩදායක දූ පුතුන් හදා ඇති බව ද අපි මැනවින් දනිමු. "හෙළ දම් පැදි වැල" නමින් මේ කෘතිය නිර්මාණය කිරීම තුළින් ඉහත කී තෙවැනි විවරණය ද එච්. එච්. කරුණාරත්නයන් ලබා ඇති බව කරුණා සිතින් යුතුව ඔබ සැමට මෙලෙස ලියා දන්වමි.

රසික සූරියආරච්චි

ප/ලි
මෙම කාව්‍ය ග්‍රන්ථයේ නිර්මාපකයා අවුරුදු 95 ක තම දිවිසැරිය පසුගිය දා නිම කර හෙට අවසන් ගමන් යයි. සුබ ගමන් කවියාණෙනි.

2 comments:

  1. 'හද බස කියන්නේ කවි බස' යැයි කියුම
    සැබවකි, හැමට නුපුරුදු මුත් කවි කීම
    කියවා නොමැති මුත් මැතිඳුගෙ කවී බොහොම
    අම සුව ලැබෙන්නැයි එතුමට, පතමි මම!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.