Monday, 22 November 2021

බලධරයා විසින් උලා කන ලදී - Down with censorship



මා කුඩා කාලයේ අපේ නිවසට ඉරිදා පුවත්පත් කිහිපයක් ම මිලට ගත් අතර ඒවායේ පළ වූ විවිධාකාර දේ අතරින් මගේ මතකයේ රැඳී ඇති එක් සුවිශේෂී විශේෂාංගයක් වන්නේ ගුරු-ගෝල තරගයයි. එය සමන්විත වූයේ, ජයසිරි සේමගේ නම් සුප්‍රකට චිත්‍ර ශිල්පියා විසින් නිමවන ලද, බැලු බැල්මට එක හා සමාන, රේඛා චිත්‍ර ද්වයකිනි. ඉන් එකක් ගුරා විසින් අඳින ලද බව සඳහන් වූ අතර එනිසා ම එය පරිපූර්ණ විය. අනෙක ගෝලයා විසින් අඳින ලද්දක් නිසා එහි වැරදි දහයක් තිබෙන බව කියවුණි. පාඨකයින් විසින් කළ යුතුව තිබුණේ ගුරාගේ මූලකෘතිය සහ ගෝලයාගේ කොපිය සසඳා බලා, ගෝල චිත්‍රයේ ඇති වැරදි දහය සොයා ඒවා සලකුණු කර, ගෝල චිත්‍රය පුවත් පතෙන් කපා, පෝස්ට්කාඩයක අලවා පත්තර කන්තෝරුවට තැපැල් මගින් යැවීමයි.

ගෝලයා කර තිබෙන වැරදි දහය සොයා ගැනීම එකල කුඩා අපට පවා කළ හැකි දෙයක් විය. ඒ වැරදි එතරම් ම පැහැදිලි ඒවා විය. නමුත් ඒ වැරදි දහය ලකුණු කර අප යවන විසඳුමේ වැරදි ඇති තැන් සඳහා 1 සිට 10 දක්වා අංක යෙදිය යුතු විය. වසර කිහිපයකට පසුව මා ශුද්ධ ගණිතය පාඩමක දී ඉගෙන ගත් පරිදි මෙසේ අංක යෙදිය හැකි ආකාර සංඛ්‍යාව 3,628,800 ක් තිබේ. තරගයෙන් ජය ගැනීමට නම් පාඨකයින් යවන විසඳුම ගෝලයා ඇඳි චිත්‍රයේ වැරදි සොයා ගත් ගුරා ඒවාට අංක යෙදූ ආකාරයටම විය යුතු වූ නිසා මෙය ජයගැනීමට නම් ලේසි පහසු තරගයක් නොවීය.

වසර කිහියකට පසු, හැත්තෑව දශකයේ මැද භාගයේ එක්තරා දිනක අපට දැන ගන්නට ලැබුණේ ගුරු-ගෝල තරගය පළ වූ රිවිරැස ඉරිදා පුවත්පත තව දුරටත් මුද්‍රණය නොවෙන බවයි. එයට හේතුව වී තිබුණේ, එම පුවත්පත ප්‍රකාශනය කළ දවස පුවත්පත් සමාගමට ආණ්ඩුව විසින් “සීල් තබා” තිබීමයි. එනම්, එම සමාගමට පුවත්පත් ප්‍රකාශනය කිරීම එවකට පැවති හදිසි නීතිය යටතේ තහනම් කර, මුද්‍රණාලය ඉබි යතුරක් දමා වසා ඇති බවයි. මෙම අවස්ථාව පසුව නිපදවුණු “සාගරයක් මැද” සහ “සත්‍යග්‍රහණය” නම් සිනමාපට ද්වයේ ම ඇතුළත් වූ බව මගේ මතකයයි.

තවත් දින කිහිපයකට පසුව අපට දැනගන්නට ලැබුණේ, එවකට පැවති රජය විසින් එම පුවත්පත් සමාගම සම්පූර්ණ වාරණයකට ලක්කිරීමට හේතුව වී තිබුණේ ඔවුන්ගේ පුවත්පතක රජය අපකීර්තියට පත්වෙන ප්‍රවෘත්ති වාර්තාවක් පළ කිරීම නිසා බවයි. මෙම ප්‍රවෘත්තිය වූයේ රජයේ සීමාකාරී ප්‍රතිපත්ති නිසා රටේ වසර කිහිපයකට පෙර ඇති වී, මේ වන විට උග්‍ර වී තිබුණු, ආහාර හිඟය නිසා කුසගින්න නිවා ගැනීමට අල වර්ගයක් තම්බා කෑ ළමුන් ඇතුළු රටවැසියන් කිහිප දෙනෙකු මිය යාමයි.

කිසියම් හෝ කරුණක් නිසා තම පුරවැසියන් එලෙස අකාලයේ මිය යන්නේ නම් රටක්, රජයක් ලෙස කළ යුතුව ඇත්තේ එම අනවශ්‍ය මරණ සිදුවූයේ කෙසේද කියා විස්තරාත්මකව සොයා බලා නැවත එවැනි මරණ සිදු නොවෙන ආකාරයට කටයුතු කිරීමයි. එසේ නමුත් ඒ ආණ්ඩුවට ප්‍රශ්නය වී තිබුණේ තම පුරවැසියන් අකාලයේ මිය යාම හෝ එය වළක්වන්නේ කෙසේද යන්න නොව, එවැනි මරණ පිළිබඳව ආරංචි පුවත්පත් වැනි ජනමාධ්‍ය හරහා පොදු ජනතාවට ලැබීම වළක්වන්නේ කෙසේද යන්නයි.

මුද්‍රිත මාධ්‍යයට අමතරව එවකට පැවති එකම විකල්ප ජනමාධ්‍යය වූ ගුවන්විදුලි නාලිකා සියල්ලම එකල රජය සතු වූ නිසා, පොදු ජනතාවගෙන් සත්‍යය වසන් කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය වූයේ මුද්‍රිත මාධ්‍ය පාලනය කිරීම පමණි.

එතැන් සිට අනෙකුත් රජයේ නොවන පුවත්පත් කිහිපයේ දේශපාලන ලිපි පමණක් නොව සාමාන්‍යයෙන් පුවත් පළවෙන පිටුවල බොහෝවිට කිසිවක් මුද්‍රණය නොවුණු සුදු පැහැති ඉඩ දක්නට ලැබුණි. ඒ, අකුරු අමුණා, පිටු සැකසීමෙන් ද පසු, ආණ්ඩුව විසින් පත්කර තිබුණු නිසි බලධරයා විසින් මුද්‍රණය කිරීම තහනම් කර තිබුණු කොටස් ය. සමහර පුවත්පත් කතුවරු මෙවැනි සුදු පැහැති ඉඩ වසා “බලධරයා විසින් කපා හරින ලදී” යනුවෙන් වැකියක් මුද්‍රණය කර තිබුණු අතර ඇත්ත, සියරට වැනි දේශපාලන පුවත්පත් කතුවරු මේ හිස් ඉඩ වසා හරස් අතට පළ කර තිබුණේ “බලධරයා විසින් උලා කන ලදී” යනුවෙනි.

තම වැරදි ප්‍රතිපත්ති, අතපසුවීම් සහ උවමනාවෙන්ම නොකළ දේ නිසා තම ප්‍රජාවට සිදුවෙන හානි වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ තම අවධානය යොදා කටයුතු කිරීම වෙනුවට බලයේ සිටි රජය කටයුතු කරන්නේ එවැනි දේ පිළිබඳව තොරතුරු ජනතාවගෙන් වසන් කිරීමට බව කුඩා අපට පවා පැහැදිලි විය.

එකල පැවති ආණ්ඩුව පමණක් නොව ඊට පසුව බලයට පැමිණි විවිධ දේශපාලු කණ්ඩායම් ද මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වාරණ ප්‍රතිපත්තිය විටින් විට ක්‍රියාත්මක කරනු අපට දක්නට ලැබුණි. ඉදිරි කාලයේ තමන් අතින් සිදුවිය හැකි වැරදි නැතිකර ගැනීමට කටයුතු කරනු, තැත් කරනු වෙනුවට ඒ පිළිබඳ විස්තර ප්‍රජාවට වාර්තාවීම වළක්වා ගැනීම පිණිස සිදුකෙරෙන මේ වාරණය අපට පෙනුණේ, දිගින් දිගටම නිවැරදි දේ නොකර සිටීමට, වැරදි දේ ම කිරීමට බලපත්‍රයක් ලබා ගන්නවා සේ ය.

මහජන ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවක් වේවා, වෙනත් කවර ආයතනයක සීමිත කාලයකට බලය ලබාගත් කණ්ඩායමක් වේවා, මේ ආකාරයට තමන් ගේ වැරදි, අඩු ලුහුඩුකම් වසා ගැනීම සඳහා පුවත්වාරණය කිරීම යනු කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණයක් නොව, අමු අමුවේ ඒකාධිපති පාලනයක ලක්ෂණයක් ම බව අමුතුවෙන් පැවසිය යුතු නැත.

එසේ ම, කුඩා කාලයේ දී ඒ ආකාරයේ අත්දැකීම් ද, ඒ අනුසාරයෙන් පන්නරයක් ද ලද අප බොහෝ දෙනෙකු මෙවැනි අකටයුතු ඉවසා නොසිටින බව ද අමුතුවෙන් කිව යුතු නැත.

-රසික සූරියආරච්චි

ප/ලි:
මා සංස්කරණය කරන සිසිල මාසික සඟරාවේ පළ වූ ලිපියකි.
https://rasikalogy.blogspot.com/2021/08/sisila-monthly-electronic-magazine.html

11 comments:

  1. පැසසුම් කරද්දී කැමතියි අප සැවොම
    වෙන්නෙමු එයින් හරි ජයටම උද්දාම
    සාධාරණ විවේචන පිළිගත්තාම
    වෙන්නේ දියුණුවේ මාවත හෙළිවීම

    ReplyDelete
  2. වැඩේ කියන්නේ එහෙම කරපු ආණ්ඩු ඒ කාලේ පැරදුනා. දැන් කාලේ දිනනවා.

    ReplyDelete
    Replies
    1. ඒක බොරු කතාවක් නේද? මුහුණු පොත තහනම් කරපු, ගුවන් විදුලි තරංග තහනම් කරන්න උත්සාහ කරපු අය (සහ පක්ෂ) නැතිවෙන්න පැරදුනා නේද?

      Delete
    2. ඒ මොන ආණ්ඩුවද

      Delete
    3. අජිත්,

      මම උඩ ඇනෝ නෙවෙයි ඒත් ඔබ ලංකාවේ තත්ත්වය ගැන එතරම් අවබෝධයක් නැති විදේශීකයෙක් බව පේනවා, ඒ නිසා මගේ අත්දැකීම් අනුව කෙටියෙන් විස්තර කරන්නම්.

      1970 සහ 80 දශක වල තත්ත්වය ගැන දන්නේ අසා කියවා දැන ගත් තොරතුරු නිසා ඒ ගැන කියන්නේ නෑ නමුත් අප කුඩා දරුවන් වූ 1990 දශකයේ අග භාගයේදී සහ 2000 න් පසුව 2007 පමණ විදේශ ගත වන තුරු ලංකාවේ තත්ත්වය ගැන මා ඉතා මැනවින් පෞද්ගලිකව ද දන්නා කෙනෙක්.

      ඔය වගේ "නිල වශයෙන් බලධාරියා විසින් කපා හරින ලදී සීන් එක අන්තිමට කළේ 1994 - 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හෙවත් චෞර රාජිණිය ලෙස විරුදාවලී ලත් විස්කි මැඩම්ගේ ආණ්ඩුව විසින්. එම කාලයේ සටන පුවත් පතේ කර්තෘ රෝහණ කුමාර වැනි මාධ්‍ය වේදීන් මෙන්ම උතුරේ දමිළ ජනයාගේ සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අය සහ මාධ්‍යවේදීන් රැසක් ඝාතනය කළ අතර මාධ්‍ය ඇමති මංගල සමරවීර ඇතුළු පිරිස විසින් ඝාතනයට ලක්වූ රෝහණ කුමාරගේ චරිතය පවා රජයේ මාධ්‍ය අවභාවිත කරමින් අශිෂ්ඨ තිරශ්චීන ලෙස චරිත ඝාතනය පවා සිදු කලා. ජනාධිපති ආරක්ෂක අංශයේ සිටි පාතාල මැරයෙක් වු බැද්දගානේ සංජීව (ඒ. ඩබ්. හිරාන් ධනුෂ්ක පෙරේරා) හරහා මේ බොහෝ ඝාතන සිදු කළ අතර අවසානයේ ඔහුවත් අද්භූත ලෙස මහමග සුඛෝපභෝගී ජීප් රථයක ඝාතනය කර තිබුණා. ඒවායේ ප්‍රතිඵල පරිදි එම ආණ්ඩුව 2001 වසරේ කැතට පැරදුනා.

      2001 - 2004 ආණ්ඩුව සාපේක්ෂව වඩා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ආණ්ඩුවක් බව ඉතාමත් පැහැදිලිව කියන්න පුළුවන්.

      ඊළඟට පැමිණෙන 2005 - 2015 රාජපක්ෂ රෙජීමය සමයේ දීත් 2006 - 2009 iv වන ඊළාම් යුධ සමයේ උතුරේ ජනමාධ්‍යවේදීන් සහ දකුණේදී ද ආණ්ඩුවට එරෙහි වූ මාධ්‍යවේදීන් මහමග මරා දැමීම සහ ඇතැම් මාධ්‍ය ආයතන වලට මැර ඇමතිවරු පැන ගිනි තැබීම සිදු වුණා. කෙසේ නමුත් 2009 යුද්ධය අවසන් වූ පසු බොහෝ දුරට මේ තත්ත්වය අඩු වූ නමුත් යටින් මාධ්‍ය ආයතන වලට තර්ජනය සහ මාධ්‍යවේදීන් බිලීබා ගැනීම සිදුවුණා. සමාජ ජාල වලට එතරම් ලොකු බලපෑමක් නොකළේ ඔවුන් එය අවතක්සේරු කළ නිසා.

      කෙසේ නමුත් 2012 - 14 සමයේ විශාල වශයෙන් සමාජ ජාල වල එවක පැවති රාජපක්ෂ දූෂිත ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව දැඩි ලෙස විවේචනය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2015 එජාපයේ යහපාලන ආණ්ඩුව බලයට ආවා. සමාජ ජාල වල බහුතරයක් වූ ක්‍රියාකාරීන්ගෙන් විශාල වශයෙන් සහය ලබා බලයට ඇවිත් එම ආණ්ඩුව කලින් පැවති ආණ්ඩුවේ සිංහල ජාතිවාදය වෙනුවට සුළුතර ප්‍රජාවන්ගේ ජාතිවාදී වර්ගවාදී ආගමික අන්තවාදී කටයුතු කළ අයට රජයේ සහාය හිමිවීම සමග සිංහල ජාතිවාදීන් දැඩිව මර්දනය කිරීම සමග සුළුතර ජාතිවාදීන් බොහෝ සේ ප්‍රකෝපකාරී ක්‍රියා සිදු වුණා රජයේ සහයෝගය ඇතිව. මේවාට එරෙහිව සමාජ ජාල වල අදහස් දැක්වූ ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගෙන සිරගත කළ අතර සමස්තයක් ලෙස ෆේස්බුක් සහ වට්ස්ඇප් වැනි සමාජ ජාල සියල්ලක්ම රජයේ නියෝග පරිදී මාස ගණන් බ්ලොක් කරලා තිබුණා.

      මීට අමතරව එම කාලයේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීමක් නොකළ නමුත් කලින් රජයටත් වඩා එහා ගිහින් අගමැති රනිල් සහ මංගල ඇතුළු පිරිස ආණ්ඩුවේ කටයුතු විවේචනය කළ මාධ්‍ය සහ මාධ්‍යවේදීන් නම් සහිතව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතත් ඉතාමත් අශිෂ්ඨ ලෙස තර්ජනය කළ අතර හිරු සහ දෙරණ යන චැනල් දෙක තහනම් කිරීම සඳහා එම ගුවන් සංඛ්‍යාත තහනම් කර ආණ්ඩුවට හිතවත් සිරස ටීවී සහ ස්වර්ණවාහිනී ආයතන වලට ලබා දීමට සැලසුම් සහගතව කටයුතු කළ නමුත් ජනාධිපති මෛත්‍රිපාල සහ විපක්ෂ කණ්ඩායම් සහ වෙනත් බොහෝ සමාජ ජාල වල ඇතිවු දැඩි විරෝධය සහ බාධා නිසා එය කර ගැනීමට නොහැකි වුණා.

      කෙසේ හෝ 2015 වසරේ ජනවාරි අටවෙනි දා මමත් ඡන්දය ලබා දී පත්කරපු එම ආණ්ඩුව එම අශිෂ්ඨ ජඩ වැඩ වල ප්‍රතිඵල ලෙස 2018 පෙබරවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය සහ 2019 ජනපතිවරණය සහ 2020 මහමැතිවරණයේදී යන දෙකම කැතට පැරදුනේ අගමැති රනිල් සහ මංගල, රවී ඇතුළුව රජයේ ප්‍රබලයන් බොහෝ දෙනෙක්ට පාර්ලිමේන්තුවේ වරම් අහිමි කරමින්. වත්මන් ආණ්ඩුව අප සිතුවාට වඩා බොහෝ දුරට මේ තත්ත්වය අඩු වී වඩාත් සාධනීය බව දැනට පේනවා මාධ්‍ය නිදහස පැත්තෙන්, නමුත් කළමනාකරණය අතින් බොහෝ දුර්වල බව පේනවා.

      Delete
    4. අජිත් බ්රෝ,

      ඔබට මතකයි ද මේ නිව්ස් එක මීට වසර කිහිපයකට පෙර ලංකාවේ මාධ්‍ය වල පලවුණ ප්‍රවෘත්තියක්. මේ සිදුවීම වුණේ රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ මැදිහත්වීම මත එම ප්‍රවෘත්ති නිවේදිකාව ප්‍රවෘත්තියක් පවසද්දී අපහාසයක් සිදුකිරීමේ අරමුණින් සමච්චල් සහගත සිනාවක් මුව සහිතව ඉදිරිපත් කල නිසා බවයි ඒ දවස්වල පැවසුවේ. කෙසේ හෝ මෙම සිදුවීම අදාල මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට තර්ජන හෝ වෙනත් ඩීල් දමා යට ගැසූ නිසා නිසි පරීක්ෂණ කටයුතු සිදු වුණේ නෑ නිකම් යට ගියා. ඒත් ඔබ මේ ගැන දරන මතය කුමක්ද කියා පැහැදිලි කළ හැකි ද?

      http://supiriamda.blogspot.com/2017/05/blog-post_97.html?m=1

      (මේ බ්ලොග් ලින්ක් එකක්)

      Delete
    5. යහපාලන ආණ්ඩුව ෆේස්බුක් තහනම් කළා කියල අදමයි ඇහුවේ. උන් පැරදුනේ 1. බැදුම්කරය නිසා, 2. රනිල් - මෛත්‍රී වලිය නිසා , 3. කිරි...රා.., රවී .. ආදීන්ගේ දූෂණ නිසා, 4. මෛත්‍රී ගේ පාවාදීම නිසා 5. පාස්කු ප්‍රහාරය නිසා - ලෙසට දිගට කියන්න පුළුවන්. දෙරණ කතාව අද තමයි ඉස්සෙල්ලම දැක්කේ. කවුද නිවේදිකාව

      Delete
    6. අජිත් මම හිතන්නේ ඔබ ලංකාවේ තත්ත්වය ගැන වැඩි විස්තර එතරම් සොයා බලා නැති ඒ ගැන අප්ඩේට් වී නැති බව තමයි පේන්නේ.

      මේ 2018 වසරේදී ලංකාවේ පළමු වරට සමාජ ජාල අවහිර කිරීම ගැන මහා බ්‍රිතාන්‍යයේ BBC එක පළ කල ලිපියක්

      https://www.bbc.com/sinhala/sri-lanka-43357960.amp

      මේ විතරක් නෙමෙයි 2018 / 19 කාලයේ ඉතා කුඩා සිදුවීම් වලදී පවා සහ රටේ සිදුවූ කුඩා ගැටුමකදී පවා ක්ෂණයෙන් Facebook What's App, YouTube, Viber ඇතුළු බොහෝ ඇප් සහ අන්තර්ජාල වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම එකල සිදුවූ අතර මේ නිසා ව්‍යාපාර කටයුතු වලට සමාජ ජාල භාවිත කළ අය සහ තොරතුරු තාක්ෂණ සමාගම් ඉතා දැඩි ලෙස දුෂ්කරතා වලට ලක් වුණා.

      මේ වගේම 2019 ඉතා දුක් බර සිදුවීමක් වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු 2019 අග දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත් අතර මින් රජය බලාපොරොත්තු වුණේ නොසන්සුන්තාව පාලනය කිරීමයි. නමුත් මෙවන් වාතාවරණයකදී කළ යුත්තේ සමාජ මාධ්‍ය ජාල වාරණය නොව නොසන්සුන්තාව පාලනය සඳහා නිසි අයුරින් සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීමට සැලසුම් යෙදීම බව මගේ හැඟීමයි. නමුත් ත්‍රස්තවාදී සංවිධාන තහනම් කිරීමට පමණක් සති තුනක් ගත් යහපාලන ආණ්ඩුව කුඩා ගැටුමකදී පවා ක්ෂණයෙන් සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට පියවර ගත් එක බොහෝ දෙනෙක් ගේ විවේචනයට ලක් වූවා.

      ලංකාදීප පත්තරේ මේ ගැන ඒ දවස්වල පළවූ ප්‍රවෘත්තියකින් කියැවුණු දේවල්

      https://rb.gy/z6cwhs

      යහපාලන රජය පිරිහීමට ඔය වගේ දේවල් වලට වඩා බලපෑවේ 2017 - 19 කාලයේ රජය විසින් අධික පනවන ලද බදු බර නිසා ව්‍යාපාර කඩා වැටීම, ඒ නිසාම රැකියා අහිමි වීම, රුපියල අවප්‍රමාණ කිරීම නිසා ආනයනික භාණ්ඩ මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය සහ පෙට්රල් ඩීසල් පෝලිම්, ඔබ ඉහත පැවසූ ජනවාර්ගික ගැටලු ආදී බොහෝ දේ වල එකතුවක්. වත්මන් ආණ්ඩුව ආ විගස ක්ෂණිකව මේ දේවල් තාවකාලිකව පාලනය කළත් දැන් නම් තත්ත්වය යහපාලන කාලේ වගේමයි.

      ඔය කියන දූෂණ වංචා චෝදනා නම් සාමාන්‍යයෙන් ලංකාවේ ආණ්ඩුවලට එල්ල කරනවා විපක්ෂ කණ්ඩායම්. ඒවා බලපෑවේ රනිල්ගේ මිස්ටර් ක්ලීන් image එක සහ හොරු අල්ලන්න එනවා කියු කැම්පේන් එක විහිළුවක් වීම වගේ දේවල් වලට. ඒ වගේම වත්මන් රාජපක්ෂ රජයේ එදා කළ කැම්පේන් දැන් විහිළුවක් බවට පත්ව තිබේ.

      Delete
  3. ඔබගේ බ්ලොගය මේ වන විට; බ්ලොග් අඩවි 930 කට පිවිසීමට හැකි අපගේ සිඩියට එක් කරගෙන ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩිය පිළිබඳ ඔබගේ ප්‍රචාරය අපට ඉමහත් ශක්තියකි!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.