Monday, 1 November 2021

කොළඹ දිය කිරි ගමට ගෙනගොස් කැකිරි කරි හදමු! - Random thoughts on school education in Sri Lanka



ලිඛිත ඉතිහාසයේ ආරම්භයේ සිට මෑත අතීතය දක්වාම ලංකාවේ අධ්‍යාපනය මූලිකව ම කේන්ද්‍ර වී තිබුණේ පන්සල් වටා බව පැහැදිලි ය. ගමේ ගුරු ගෙදර යන සංකල්පය ගැන අසා තිබුණද, ඒ සේවය සාමාන්‍ය සාක්‍ෂරතාවය ලබා දීමෙන් ඔබ්බට ගියේ ද යන්න සැක සහිත වේ. වෙදකම, නක්‍ෂත‍්‍රය හැරුණු කොට ඉගෙනීමට තිබුණු එකම විෂයය වූයේ ආගම ධර්මය විය යුතුය. ඒ පන්සල් අධ්‍යාපන ක‍්‍රමයේ වත්මන් ස්වරූපය පිරිවෙන් ලෙසින් අද ද දක්නට ඇත.

පන්සල් ආශ‍්‍රිත පිරිවෙන් අධ්‍යාපනයේ එක් සීමාවක් වනුයේ එහි විෂයය මාලාවයි. එය සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවන් සහ බුද්ධ ධර්මය ඉගෙනීමෙන් පිට යතැයි මම නොසිතමි.

ඒ ආකාරයේ ම එකල පැවති තවත් සීමාවක් වූයේ මේ අධ්‍යාපනයෙන් ප‍්‍රයෝජන ලැබිය හැකි වූයේ වැඩවසම් සමාජයේ තරමක් හෝ ඉහළ පවුල්වල පිරිමින්ට පමණක් වීමයි. පැහැදිලි හේතූන් මත කාන්තා පක්‍ෂයට පිරිවෙන් අධ්‍යාපනය ලබාගත් නොහැකි විය. පැරණි සිංහල පතපොත ලියූ අය අතර කාන්තාවන් නොමැත්තේ ඒ නිසා යැයි සිතමි. භික්‍ෂුණී සසුන සාපේක්‍ෂකව කෙටි කාලයකින් ම ලංකාවෙන් තුරන් වී තිබීම මේ කාන්තා උගතුන් නොමැති වීමට හේතුව විය හැක.

මෑත අතීතයේ දී විසූ කිවිඳියක වන ගජමන් නෝනා කුඩා කළ පිරිවෙන් අධ්‍යාපනය ලබාගෙන ගත්තේ පිරිමි ළමයෙකු ලෙස වෙස් ගැනීමෙන් පසුව බව කියවේ.

බටහිර ක‍්‍රිස්තියානි සමාජයේ ද අධ්‍යාපනය මුල් බැස්සේ ආගම වට කොට ගෙන පල්ලිය කේන්ද්‍රය කොට ගෙන බව පෙනේ. ලංකාව බි‍්‍රතාන්‍ය පාලනයට නතු වෙන කාලය වන විට එකී පල්ලියේ අධ්‍යාපනය හුදෙක් පූජකයින්ට පමණක් සීමා නොවී විවිධ ජන කොටස්වලට ද ප‍්‍රයෝජනවත් වන පාසල් අධ්‍යාපනයක් බවට ක‍්‍රම ක‍්‍රමයෙන් පෙරළී තිබුණු බව කිව හැක. මිෂනාරී අධ්‍යාපනය ලෙසින් හැඳින්වෙන්නේ ඒ වැඩ පිළිවෙළයි. ලංකාවේ කොළඹ, යාපනය, මහනුවර ආදී ප‍්‍රධාන නගරාශ‍්‍රිතව කතෝලික සහ අනෙකුත් ක‍්‍රිස්තියානි නිකායන්ට අනුබද්ධිතව පාසල් ගොඩ නැගුනේ මේ මාර්ගයෙනි.

සෑම ක‍්‍රිස්තියානි නිකායකම පාහේ කාන්තා පූජ්‍ය පක්‍ෂයක් තිබුණු හෙයින් කන්‍යාරාම ආශ‍්‍රිතව ගැහැණු ළමුන් සඳහා ද පාසල් බිහිවිය.

විවිධ විෂයයන් ඉගැන්වීම කෙරුන ද, මේ මිෂනාරී අධ්‍යාපනයේ මූලික අරමුණ වූයේ ද, පිරිවෙන් ක‍්‍රමය මෙන්ම ආගම වැඩි දියුණු කිරීම බව පැහැදිලි ය.

බටහිර ගොඩ නැගුණු තියෝසොෆිකල් හෙවත් පරමවිඥාර්තවාදීන් ගේ නායකයින් වන ඕල්කොට් සහ බ්ලැවැස්කි දහනමවන සියවසේ ලංකාවට පැමිණි විට එවකට පැවති ක්‍රිස්තියානි මිෂනාරි පාසල් පද්ධතිය සහ ඒවායේ ඉගැන්වීම් හරහා ලංකාවේ බෞද්ධයින් ක‍්‍රිස්තියානිකරනය වන බව පෙනෙන්නට ඇත. එය වැළැක්වීම සඳහා ඔවුන් ගේ උපායයික ක‍්‍රියාමාර්ගය වූයේ ඔවුන් දන්නා බටහිර අධ්‍යාපන රටාව මතම නමුත් බුද්ධාගම සහ ඒ ආශ‍්‍රිත විෂයයන් ද උගන්වන බෞද්ධ මිෂනාරි පාසල් පද්ධතියක් මෙරට ස්ථාපිත කිරීමයි.

ඒ මෙයින් වසර එකසිය තිස්පහකට පෙර ය.

බි‍්‍රතාන්‍ය පාලන සමයේ දී ඇති කළ ක‍්‍රිස්තියානි මිෂනාරි පාසල් ද ඒ අනුකාරකව බිහි වූ බෞද්ධ පාසල් ද අති බහුතරය කොළඹ සහ ප‍්‍රාදේශිය ප‍්‍රධාන නගරබදව පිහිටවනු ලැබීය. මේ පාසල් බොහොමයක් ක‍්‍රි‍්‍රයාත්මක වූයේ නේවාසික අධ්‍යාපන මධ්‍යස්ථාන ලෙස බැවින් රටේ විවිධ පළාත් වල ඇති-හැකි පවුල්වල සිසුන් ට ඒවාට බැඳී නේවාසිකව ඉගෙනුම ලැබිය හැකි විය. නිදහසින් හැට වසරකට පසුව අද ද ලංකාවේ අධ්‍යාපනය වසාගෙන ඔඩු දුවා තිබෙන තිබෙන "කොළඹට කිරි - ගමට කැකිරි" පිළිලයේ ආරම්භය එයයි.

ලංකාවට අවශ්‍ය වන්නේ ප‍්‍රධාන නගරවල තිබෙන සුපිරි පාසල් කිහිපයක් නොව, සෑම නගරයක්ටම, ඒවයේ තදාසන්න ප‍්‍රදේශයකටම විහිදුණු හොඳ පාසල් ජාලයක් බව මගේ අදහසයි. එවැන්නක ආරම්භය ලෙස විසිවන සියවසේ මුල් අර්ධයේ ඇරඹුණු මධ්‍ය මහා විද්‍යාල ජාලය සැලකිය හැක. මුල් යුගයේ විශාල වර්ධනයක් පෙන්වා ඇති වුව ද, පසු කාලීන ව සිදුවූ රාජ්‍ය මට්ටමේ කුඩම්මාගේ සැලකිලි නිසා මධ්‍ය මහා විද්‍යාලවලට සිය උපරිම විභවය කිසි දිනක ළඟා කර ගත නො හැකි විය. ඒවා අද ද ප‍්‍රාදේශීය දරුවන් ගේ තෙවන පෙළ තේරීම් පමණකි.

එක්කෝ මධ්‍ය මහා විද්‍යාල ජාලය පුනරුත්ථාපනය කර ගැනීම හෝ නැවතත් එවැනි ප‍්‍රාදේශීය පාසල් ජාලයක් පිහිටුවීම කරනතුරු, අපට කළ හැක්කේ ප‍්‍රාථමික ගෝත‍්‍රවාදී සංකල්පයක් ලෙස මට පෙනෙන ආදී ශිෂ්‍ය සංගම් හරහා ඇති-හැකි අයුරින් පවතින ක‍්‍රමයට ම දර දිය ඇදීමයි.

-රසික සූරියආරච්චි


ප/ලි: මේ ලංකාවේ බෞද්ධ මිෂනාරි අධ්‍යාපනයට වසර එකසිය විසිපහක් පිරීම සැමරීම පිණිස 2011 නොවැම්බරයේ දී ලියූ ලිපියක් අකුරු කිහිපයක් වෙනස් කර නැවත පළ කිරීමකි. (images: http://en.wikipedia.org/)

10 comments:

  1. ලංකාවට අවැසි උගතුන් නොවේ කියා
    පාලක පැලැන්තිය අදහයි පෙනෙන නියා
    රට හදන්න ආ විද්වත් මඩුලු හොයා
    හනුමා යවන්නට ඇහැකිද බෑ නොකියා

    ReplyDelete
  2. අපේ අධ්‍යාපනයේ තත්ත්වය පිළිබඳව ඔබගේ ප්‍රබුද්ධ විශ්ලේෂණය අගය කරමි.
    විදේශිකයින් විසින් ගෙනෙන ලද කතෝලික ආගම මුලික, මිෂනාරි අධ්‍යාපන ක්‍රමය නිසා රටට නව සංකල්පයක් හඳුන්වාදීම ප්‍රයෝජනවත් විය. ඕල්කොට් තුමා ඇතුළු එවකට සිටි තවත් ගිහි පැවිදි දේශප්‍රේමීන් විසින් බෞද්ධ ජන ජීවිතය නගාසිටුවීමට සහ බෞද්ධ වත් පිළිවෙත් ප්‍රගුණ කිරීමට ආරම්භ කරන ලද දහම් පාසල් මගින් අගනා සේවයක් සිදුවී ඇත. එහෙත් විදේශික ගැත්තන්ගේ කෙනෙහිළි කම් නිසා බෞද්ධ පාසැල් ලෙස නම් කළ පාසැල් වලද, බටහිර අධ්‍යාපන ක්‍රමයම ක්‍රියාත්මක් විය. මෙහි වෙනසක් සිදුවුයේ කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පය නිසාමය. එතුමා විසින් ආරම්භ කරන ලද මුල් මධ්‍ය විද්‍යාල වල (පළමු විද්‍යාල 54) අධ්‍යාපනය ලබා පසුව විශ්ව විද්‍යාල පද්ධතියටද ඇතුළත්වී මහඟු ප්‍රයෝජන ගත්, එසේම රට දැය වෙනුවෙන් විශාල සේවයක් කළ අය බොහෝය. එහෙත් වර්තමානයේ විවිධ හේතු නිසා අධ්‍යාපන උන්නතිය මන්දගාමී ස්වභාවයක පවතී. මා සිතන ආකාරයට, දැනට ලබාදෙන ප්‍රමාණයට වඩා වැඩි මූල්‍ය ප්‍රතිශතයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ යුතුය. එසේම එම සම්පත් හරියාකාරව ප්‍රයෝජනයට ගනිමින් ලෝකයේ නව ප්‍රවණතා ඔස්සේ අධ්‍යාපනය මෙහයවන අවංක පිරිසක්ද සිටිය යුතුය.
    මේ සම්බන්ධයෙන් අධ්‍යාපනයට අදාළ නව පර්යේෂණ කරමින් කාලීන සංවර්ධනයකට මග පෙන්වීම සඳහා විශ්ව විද්‍යාල මගින්ද විශාල කාර්ය භාරයක් කිරීමට සැලසුම් කල යුතුය.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. පේරාදෙණිය ඉංජිනේරු පීඨයට පැමිණි කණ්ඩායමේ ආනන්ද, නාලන්ද, ධර්මරාජ, මහින්ද, මලියදේව, ධර්මපාල, ධර්මාශෝක, ශ්‍රී සුමංගල, විශාඛා, යශෝදරා, මහමායා, වැනි විද්‍යාලයන්ගෙන් මෙන්ම තවත් සිසුන් පිරිසක් ඉබ්බාගමුව, වලල, නුගවෙල, බදුල්ල, මතුගම, පොරමඬුල්ල වැනි මධ්‍ය මහා විද්‍යායයන්ගෙන් පැමිණියහ. එහෙත් අමතක නොකල යුතු කාරණය වන්නේ මා මෙන්ම ජනප්‍රිය පාසල් වලිනුත් විශ්ව විද්‍යාලයයන්ට පිවිසියේ 5 වසර ඒ පාසැල් වලින් පැවැත්වූ තරඟ විභා,7 වසරේ ශිෂ්‍යත්ව, 5 වසරේ ශිෂ්‍යත්ව, අපොස විභාගයේ දැක්වූ දක්ෂතාව ආදී හේතුන් නිසායි. ඒ වගේම 1974 දී හඳුන්දුවා දුන් දිස්ත්‍රික් කෝටා ක්‍රමයත් පැහැදිලි වෙනසක් මධ්‍ය මහා විද්‍යාලය සඳහා සාධාරණයක් ඉටුකළා. දැන් ඒ තත්ත්වයන් ම.මහා විද්‍යාලවල නැත්නම් සුදුසු පියවර ගතයුතුයි.

    ReplyDelete
    Replies
    1. අපිව කෑවේත් ඔය දිස්ත්‍රික්ක ක්‍රමයම තමයි. අන්තිම අසාධාරණ ක්‍රමයක්.

      Delete
  5. ආදී ශිෂ්‍ය සංගම් ලංකාවේ තමාම ප්‍රබල ලෙස තියෙන්නේ.

    ReplyDelete
  6. බ්ලොග් එකතු කරන්න කියවන්න මේ පැත්තේ එන්න https://sithuvili.net/

    ReplyDelete
  7. සත්‍ය කතාවක්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.