Saturday 8 January 2022

ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!


මගේ ඔමික්‍රොන් දිනපොතේ මුල් පිටු දෙකේ මා ලියූ පරිදි අපේ තැස්මේනියා සංචාරය ඇරඹුණේ, මුල් දිනයේ ලද බරපතල අපේක්ෂා භංගත්වය, දෙවෙනි දිනයේ දී අලුතින් මිල දී ගත් ගුවන් ගමන් ටිකට් මගින් ද, මුදල් ගෙවා කළ පීසීආර් පරීක්ෂණයකින් ද මැඩපවත්වා ගැනීමෙනි.

තැස්මේනියාවේ ලොන්සෙස්ටන් නගරයට ගොඩ බට අප, නිවාඩු නිකේතනයට ගොස්, අවට සිරි ද නරඹා, සතුටු සිතින් යුතුව, පසුදා සිට චාරිකාවේ සැළසුම් කර තිබුණු වැඩසටහන අනුව කටයුතු කිරීමට අදිටන් කර ගත්තෙමු.

අද එතැන් සිට:

දෙසැම්බර් 20 සඳුදා

මෙය ඔමික්‍රොන් දිනපොත මිස චාරිකා සටහනක් නොවන නිසා ගමන් බිමන් සහ නැරඹූ දේ ගැන විස්තර අවමයෙන් ලියමි.

උදෑසනම, අප නවාතැන් ගෙන සිටි නිවාඩු නිකේතනය අසල පිහිටි ආපන ශාලාවකින් පාතරසය වැළඳූ අප ඉන් පසු කළේ මෝටර් රථයේ නැගී හෝබාට් නගරය අසල පිහිටි මියුසියම් ඔෆ් ඕල්ඩ් ඇන්ඩ් නිව් ආර්ට් හෙවත් මෝනා නම් ප්‍රදර්ශන භූමිය වෙත යෑමයි. මේ සඳහා කළින් ටිකට්පත් මිල දී ගෙන තිබුණි. පැය තුනක් පමණ එහි ගත කර, එහි තිබුණු ආපන ශාලාවෙන් දිවා ආහාරය ද ලබාගෙන, ඊළඟට අප ගියේ මේ ප්‍රදේශයේ ඇති උසම කඳු මුදුනවන මවුන්ට් වෙලින්ටන් වෙතයි. දැඩි සීතලෙන් පිරී ගිය එහි, දරුණු ලෙස හමන සුළඟ මැඩගෙන අඩ පැයක් පමණ ගත කළ අප, අතරමග නගරයක නවතා, රාත්‍රී කෑමට ද්‍රව්‍ය ද මිලට ගෙන ආපසු නවාතැන වෙත පැමිණියෙමු.

සැන්දෑ සමය සුපුරුදු පරිදි සතුටින් ගත විය.

දෙසැම්බර් 21 අඟහරුවාදා

අප උදෑසනින් පිටත්ව ගියේ තැස්මේනියාවේ නැගෙනහිර වෙරළේ පිහිටා ඇති වයින් ග්ලාස් බේ නම් සුන්දර් ප්‍රදේශයටයි. මේ කලපු ප්‍රදේශයේ බෝට්ටුවකින් සවාරියක් යෑමට අප කලින් ආසන වෙන් කරගෙන තිබුණි. පැය හතරක පමණ ගමනකි. දිවා ආහාරය ද බෝට්ටුවේ දී ම ලබා ගත්තෙමු.

ඉන් අනතුරුව, අප කළේ අසල පිහිටි ජාතික වනෝද්‍යානයට ටිකට්පත් රැගෙන ඇතුලු වී, එහි ඇති කන්දක් තරණය කිරීමයි. කඳු මුදුණේ සිට වයින් ග්ලාස් බේ නම් ස්ථානයේ මනරම් දසුන නැරඹිය හැකිවිය.

සියල්ල වෙනස් වෙන්නට පටන් ගත්තේ මෙදින රාත්‍රියේ ය. අපේ කණ්ඩායමේ සාමාජිකයකු බෝට්ටු සවාරිය අවසන් කළේ තරමක් රෝගී ස්වභාවයෙනි. සවස් යාමයේ දී, එය හුදෙක් තෙහෙට්ටුවට වැඩි යමක් බව අවබෝධ වූ බැවින් අප සතුව තිබුණු විනාඩි දහයක් ඇතුලත ප්‍රතිඵල ලබා දෙන කෝවිඩ් වයිරස් පරීක්ෂණ කට්ටලයක් උපයෝගී කරගනිමින් පිරික්සූ විට පෙනී ගියේ රෝගය වැළඳී ඇති බවයි. ඒ නිසා පසු දිනට නියමිත වූ චාරිකා වැඩපිළිවෙළ (බේ ඔෆ් ෆයර්ස් ප්‍රදේශය නැරඹීමට යෑම) අමතක කොට ළඟම නගරයට ගොස් අප සියළු දෙනාම පිසීආර් පරීක්ෂණය කරගත යුතු යැයි අපි තීරණය කළෙමු.

ඔමික්‍රොන් සමය ඇරඹුණි.

දෙසැම්බර් 22 බදාදා

අප නවාතැන් ගෙන සිටි පිටිසර පෙදෙසේ පීසීආර් පරීක්ෂණ කර ගැනීමේ පහසුකම් නොතිබුණි. ඒ ජනගහනය ඉතා අඩු පෙදෙසක් වීමට අමතරව කෝවිඩ් රෝගය ද පසුගිය දෙවසරක කාලය තුළ ඉතාම අඩුවෙන් පැතිරුණු තැස්මේනියාවේ ද එක් කොණක් වීම නිසා ය.

එනිසා වාහනයේ නැගුණු අප කළේ පැය එකහමාරක පමණ දුරින් පිහිටි ලොන්සෙස්ටන් නගරය වෙත ගමන් කිරීමයි. මුලින් අපේ අදහස වූයේ අප සිඩ්නි ගුවන්තොටුපළේ දී කළ ආකාරයට මුදල් ගෙවා පරීක්ෂණය කරගෙන, පැයකින් පමණ ප්‍රතිඵල ලැබෙන නිසා, වයිරසය වැළදී නැතිනම් සැළසුම් කර තිබුණු ගමනාන්තයට යෑමටයි. නමුත් ලොන්සෙස්ටන්හි පීසීආර් පරීක්ෂණ මධ්‍යස්ථානවල එම පහසුකම නොතිබුණි.

ඇත්තටම ඔමික්‍රොනය තැස්මේනියාව ආක්‍රමණය කළේ දෙසැම්බර් 15 දා දේශසීමා විවෘත කිරීමෙන් පසුව ය.

එනිසා අප සියළු දෙනාම පීසීආර් පරීක්ෂණයට මුහුණ දී, දිනකින් ප්‍රතිඵල එනතුරු නිවාඩු නිකේතනයටම වී සිටීමට අදිටන් කරගෙන එක එල්ලේ ආපසු ආවෙමු.

ඔමික්‍රෝනය අපේ චාරිකාවේ දිනයක් ම ගිල ගන්නා ලදී.

එදින මැදියම් රැයේ දී පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල එස් එම් එස් මගින් ලැබෙන්නට පටන් ගත්තේ ය.

ඒ විස්තර මේ ලිපි මාලාවේ සිව්වෙනි කොටසින් කියවන්න:
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html

-රසික සූරියආරච්චි

මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html


(ඡායාරූපය: වයින් ග්ලාස් බේ ප්‍රදේශය කඳු මුදුනේ සිට පෙනෙන අයුරු)

3 comments:

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.