මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Tuesday, 11 January 2022
ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room
මේ අප තැස්මේනියාවේ ගෙවන සත්වෙනි රාත්‍රියයි. සැලසුම් කළ ගමනේ මුල් දිනයේ ගුවන් යානය අවලංගු වී ආපසු යන්නට විය. ආවේ ඊට පසු දිනයේ ය. දෙදිනක් චාරිකාවේ යෙදුණු නමුත්, පසුදා පීසීආර් පරීක්ෂණ සිදුකරගෙන එතැන් සිට නවාතැනට කොටු වී ඉන්නට සිදුවිය. වයිරසය වැළඳී ඇති බව හඳුනා ගත් නිසා දියණියට හෝබාර්ට් නගරයේ “මෙඩි-හොටේල්” මධ්‍යස්ථානයකට පසුදා යාමට සිදුවූ අතර, ඊළඟ දිනයේ, එනම් දෙසැම්බර් 24 වෙනි දා, අප තිදෙනාට ද, නිවාඩු නිකේතනයෙන් බැහැර වී, වෙන් වී සිටීම සඳහා ඩෙවන්පෝට් නගරයේ හෝටල කාමරයකට යාමට සිදුවිය. එදින රාත්‍රියේ පුතා සහ මා දෙදෙනාට ම වයිරසය වැළඳී ඇති බව ඇන්ටිජන් පරීක්ෂණ මගින් සොයා ගතිමු.
අද එතැන් සිට:
දෙසැම්බර් 25 සෙනසුරාදා
දැන් ඉතින් මා කෝවිඩ් රෝගියෙකි. ඇන්ටිජන් පරීක්ෂණයෙන් වයිරසය වැළඳී ඇති බව පෙන්වන්නේ වයිරස් ප්‍රමාණය ඉතා වැඩිනම් ය. එනිසා, අදට නියමිත පීසීආර් පරීක්ෂණයෙන් මා අනිවාර්යෙන් ම රෝගියෙකු ලෙස හඳුනා ගනු ඇත.
මා පමණක් නොව පුතා ද රෝගියෙකි. ඔහුට ද එම සන්තෑසියම ලැබෙනු ඇත.
බිරිඳ පමණක් යහතින් සිටීම සතුටට කරුණකි.
කෑම බීම යනා දී සැපයුම් අපට ලැබෙන විට, දොරට තට්ටු කරන සේවකයා ඒවා තබා ගිය පසු, දොර හැර කාමරය තුළට ගන්නේ ඇයයි. පුතා සහ මා වෙසෙන කාමරයේ දොර වසා ඇති අතර, අපේ කෑම බීම ඇය අපේ දොර ළඟින් පුටුවක තබයි. අප එළියට යන්නේ නාන කාමරය පමණි. මේ එක් අයෙකු හෝ බේරී සිටීමට දරණ උත්සාහයකි.
අද නත්තල් දවස ය. නත්තල් තෑගි ලෙස අප සියලු දෙනාටම විශාල චොක්ලට් පැකට්ටුව බැගින් ලැබුණි.
ඇඟ පතේ අමාරුවට, අමතරව නහයෙන් හොටු දියර ගැලීම ද, කිවිසුම් යාම ද, කැස්ස ද පැමිණ ඇත. හිසරදය නම් පහව ගොස් ය.
පුතාත් මාත් ඉන්නා හෝටල් කාමරයේ දිග පළල මීටර් පහ බැගිනි. ඇවිදිනවා නම් එක් වරකට පියවර පහකි. ඒත් ඇවිදින්නට තියා හිටගෙන සිටීමට හෝ පණ නැති සේ දැනේ. අනිත් අතට නිකරුණේ හිටගෙන කුමක් කරන්නද? කාමරයේ දොරට විරුද්ධ පැත්තේ මුළු බිත්තිය පුරා දිවයන ජනේලයක් ඇති නමුත් එයින් පෙනෙනුයේ ද ගොඩනැගිල්ලේ පසුපස පාළුවට ගිය බිම් තීරුව සහ අල්ලපු වත්තේ ඇති පැරණි තාලේ ගිනිමැල චිමිනිවලින් ද සමන්විත නිවසකි. එහි කිසිවෙකු සිටින බවක් නොපෙනේ.
සිසිල සඟරාව සඳහා අතින් ලියා ඡායාරූපගත කර වට්සැප් හරහා ලැබුණු ලිපියක් ජංගම දුරකථනයට වොයිස් ටයිප් කළෙමි. ඒ කරු කහටපිටිය ලියන සුභාවිත ගී රසවිදුම විශේෂාංගයේ මෙවර ලිපියයි. සඟරාවේ සංස්කරණ කටයුතු එමට ය. එසේ නමුදු පරිගණකය විවෘත කිරීමටවත් සිත් නොදේ.
බිරිඳ නම් පවසන්නේ සඟරාවේ සංස්කරණය අමතක කර, අදාළ අයට දන්වා, ජනවාරි කලාපය අහෝසි කර දමන ලෙසයි.
සිසිල සඟරාව, මා ම යෝජනා කර ඇරඹූ, මා හිතවත් ලේඛකයින් ලබාදෙන ලිපි මා ම සංස්කරණය කර සම්පාදනය කරන්නක් බවත්, ඒ සඳහා වගකීම ඇත්තේ මට නිසා, සඟරාව පළ නොකිරීමට හේතුවක් තවමත් නැති බවත් මම ඇයට මතක් කර දුන්නෙමි. ඒ ඇය ඒ බව නොදන්නා නිසා නොව මගේ සිත දිරිමත් කරගැනීම උදෙසා ය.
ලෙහෙසියෙන් ම, ඇඳේ සිටම, කළ හැකි නිසා, මම මේ ඔමික්‍රොන් දිනපොතේ සැකිල්ල ජංගම දුරකථනයට වොයිස් ටයිප් කිරීමට පටන් ගත්තෙමි. (ඔබ කියවන මේ පිටපත නම් මුළුමනින් ම පාහේ නැවත ලියූ එකකි).
මධ්‍යහන්‍යය පසුවූ පසු මොටේලය වෙත පැමිණි සෞඛ්‍ය සේවක දෙපළක් විසින් පීසීආර් පරීක්ෂණ සඳහා අප තිදෙනාගේ සාම්පල ලබා ගන්නා ලදී.
අද අපට දිවා ආහාරය සඳහා ලැබුණේ බදින ලද මාළු සහ අල කැබලි, සලාදයක් සහ අතුරුපස ලෙස රසැති ලෙස පෙනෙන පැව්ලෝවා සහ එයට යොදන පලතුරු ය. ලුණු වැඩි මාළු කෑල්ලක් අමාරුවෙන් ගිල දමා සැලඩ් එක රස වින්දෙමි. සීනි අධික පැවලෝවාව අතහැර ස්ට්‍රෝබෙරි ආදී පලතුරු ස්වල්පය ද දුකක් නැතුව අනුභව කළෙමි.
රාත්‍රී ආහාරය සඳහා කළුකුම් මස්, ක්‍රෑන්බෙරි සෝස්, තැම්බූ අර්තාපල්, බතල සහ බ්‍රොකොලි ලැබුණි. මේ නත්තල් රාත්‍රී භෝජනයයි. කෑමබීම නීරස වීම, ගඳ සුවඳ නොදැනීම මෙන්ම කෑම අරුචිය ද කෝවිඩ් රෝග ලක්ෂණයක් යැයි පැවසුන ද, මගේ කෑම අරුචියට නම් මූලික හේතුව ලුණු වැඩි වීමයි. ක්‍රෑන්බෙරි සෝස් එකතු කළ පසු ලුණු තත්වය බැලන්ස් වීම නිසා මස් කැබැල්ලකින් භාගයක් පමණ ගිල දැමීමට හැකිවිය.
රාත්‍රිය වන විට ඇගේ පතේ වේදනාව තරමක් අඩු වූ අතර, වැඩකිරීමට කැමැත්තක් ඇති වූ නිසා, ඔමික්‍රොන් දිනපොත ජංගම දුරකථනයට වොයිස් ටයිප් කරනවාට අමතරව, සිසිල සඟරාවේ සුලු සංස්කරණ කටයුත්තක ද නිරත වූයෙමි.
රාත්‍රියේ සෞඛ්‍ය සේවයේ අයෙකු දුරකථනයෙන් අමතා බිරිදට කෝවිඩ් ආසාදිතයෙකු ලෙස ඇය හැසිරිය යුතු ආකාරය ගැන උප්දෙස් දෙන්නට පටන් ගෙන ඇත. දහවල් පීසීආර් පරීක්ෂණය කළ නමුත් තවම ප්‍රතිඵල සාමන්‍යයෙන් සිදුවෙනවා සේ එස්.එම්.එස්. පණිවිඩයකින් නොලැබුණු බව ඒ තැනැත්තාට පැවසූ බිරිඳ ප්‍රතිඵල කෙසෙදැයි විමසූ විට ඔවුන් කියා ඇත්තේ ඔවුන්ට රෝගීන්ගේ ප්‍රතිඵල විස්තර නොපෙනෙන් බවත් මේ කතා කරන්නේ ඔවුනට ලැබී ඇති රෝගීන් ගේ ලයිස්තුවක් අනුව බවත් ය.
එය යම්කිසි වැරදීමක් බව පැහැදිලි ය. අද දහවල පීසීආර් පරීක්ෂණය සඳහා ලබා දුන් සාම්පලයේ ප්‍රතිඵලය ලැබීමට දිනක් පමණ ගතවේ.
කෙසේ වෙතත් එකක් පැහැදිලිය. හෙට ලැබෙන ප්‍රතිඵල අනුව පුතා සහ මා දෙදෙනා ම ආසාදිතයින් ලෙස නම් කෙරෙනු ඇත.
ඉන් පසු කුමක් වේද?
අපට මේ හෝටලයෙන් බැහැර වී “මෙඩි-හොටේල්” ස්ථානයකට යාමට සිදුවෙනු ඇත. ඒ මධ්‍යස්ථානවල යම් කිසි මට්ටමක සෞඛ්‍යමය නිරීක්ෂණ කෙරෙන බව දියණිය අප සමග පවසා ඇත. අප සිව්දෙනා, දිනකට දෙතුන්වරක්, ෆේස්බුක් මැසෙන්ජර් ඔස්සේ වීඩීයෝ සහිතව කතාබහ කර තොරතුරු හුවමාරු කර ගනිමු.
තවමත් මා බේතක් ලෙස ගන්නේ පැරසිටමෝල් පමණි.
විවිධාකාර සිතුවිලි මැදින් නින්දට වැටුණෙමි.
එතැන් සිට සිදුවුණු දේ මේ ලිපි මාලාවේ හත්වෙනි කොටසේ ලියමි:
https://rasikalogy.blogspot.com/2022/01/oh-what-feeling.html
- රසික සූරියආරච්චි
මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html
2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html
3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html
4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html
5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html
(දවල් කෑම වේල. මුහුද අසල නිසාදෝ ලුණු පිරී තිබුණි.)
Subscribe to:
Post Comments (Atom)
එන හැම දේට දිරියෙන් පාලා මුහුණ
ReplyDeleteඉටුකොට කරන්නට ඇති දේ හැකි ලෙසින
කරමු කියයි පාඨක කැළ කැඳවමින
ඉතිං, රසික තව මොනවද වුණේ වෙන?
😀
Deleteහත්වෙනි කොටස හෙට පළවෙයි බලනු මැන
මොකද කෑම වලට ඔච්චර ලුණු දාන්නෙ.
ReplyDeleteමං කාලෙක පටන් ලුණු සහ සීනි අඩුකර කන්නේ. එනිසායි ලුණු මගේ ප්‍රමාණයට වඩා වැඩි කෑම අප්‍රිය.
Deleteමෙතැන ප්‍රශ්නය නම් ඊටත් අමතරව සාමාන්‍යයෙන් මාලු මෙන්ම විශේෂයෙන් චිප්ස් හදන විට ලුණු යහමින් දැමීමයි.
මට තිබුණු ප්‍රශ්නය පුතාට තිබුණේ නෑ.
ප්‍රසන්න අහපු පස්නෙ නං මටත් ආව
ReplyDeleteමං කාලෙක පටන් ලුණු සහ සීනි අඩුකර කන්නේ. එනිසායි ලුණු මගේ ප්‍රමාණයට වඩා වැඩි කෑම අප්‍රිය.
Deleteමෙතැන ප්‍රශ්නය නම් ඊටත් අමතරව සාමාන්‍යයෙන් මාලු මෙන්ම විශේෂයෙන් චිප්ස් හදන විට ලුණු යහමින් දැමීමයි.
මට තිබුණු ප්‍රශ්නය පුතාට තිබුණේ නෑ.
ඔෆිස් එකේ එඩිට් කරන්න ලේසි වෙන්න මෙහෙම කරන්න .අපිට ගෲප් පෙඔජෙක්ට් දුන්නාම් අපි කරන්නේ word Document එකක් shared හදලා ඒක ටීම් එකේ මෙම්බර්ස්ලා අතර ශෙයාර් කර ගැණීමයි(මෙම්බර්ස්ලා ඔක්කොටම එකපාර එකම document එකක් තමන්ගේ PC එකෙන් එඩිට් කරන්න පුලුවන්), එතකොට ටීම් ලීඩර් වෙන වෙනම එක එක්කෙනාගෙ details/page හදන්න ඕනේ අඩුවෙන්, ටීම් එකේ මෙම්බර්ස් ලා තම තම්න් ගේ දේවල්(විස්තර,රූප,කෝඩ් එක......) අර share කරපු ඩොක් එකේ තමන් ට අදා ල පිටුවේ පිලිවෙල ට තම්න්ගේ ටික විතරක් ලියලා යනවා .
ReplyDeleteහැබැයි මේක ඉතින් final output එක වෙන්නේ නෑ. මේක draft එකක් . අන්න ඒ වගේ magazine එක ලියන්න බලන්න . නැත්තන් තනියෙම ඔක්කොම කරන්න ගියාම leader ට මල පනිනවා .
මං අද දක්වාම හිතුවේ වෙන තැනකට ලියපු ප්‍රතිචාරයක් මෙතැන්ට වැරදිලා වැටිලා කියලයි.
Deleteස්තුතියි. සඟරාව සංස්කරණය වෙනස් ආකාරයක වැඩක්.