Tuesday 4 January 2022

රටින් රටට පැන ලැගුම් සොයා - Kangaroo Vannama: A novel by Lakshman Kodituwakku


ලක්ෂ්මන් කොඩිතුවක්කු ලියූ “කැන්ගරු වන්නම” නවකතාව පිළිබඳ විචාරයකි.

ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ මෙහි ජීවත්වෙන ජනතාව කොටස් කිහිපයකට වර්ගීකරණය කළ හැක. එයින් බොහෝ දෙනෙකු මූලිකව ලංකාවේ දී අධ්‍යාපනය ද, වෘත්තීය සුදුසුකම් සහ පුහුණුව ද ලබා ආර්ථික හේතු මත සහ පුද්ගල සුඛ විහරණය පතා ස්වාධීන සංක්‍රමණිකයින් ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණ ජීවත්වෙන අය සහ ඔවුන්ගේ පවුල්වල අයයි. ඒ සමගම උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ අධ්‍යාපන සුදුසුකම් ලබා මෙහි ස්ථිර ලෙස පදිංචි වී සිටින විශාල පිරිසක් ද වෙති. එසේම, එම අරමුණ ම ඇහිව මෙහි පැමිණ තවමත් ශිෂ්‍යයින් ලෙස ජීවත්වෙන තරුණ ලාංකීය පිරිසක් ද වේ.

ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු පිරිසක් නම්, මහ සයුර තරණය කර “නීති විරෝධීව” මෙහි පැමිණ හෝ සංචාරක වීසා ලබා නීත්‍යානුකූලව ගුවන් යානයෙන් මෙහි පැමිණ මෙහි දී සරණාගත තත්ත්වය ඉල්ලා එය අනුමත වෙන තුරු රැඳී සිටින පිරිසයි.

ඕස්ට්‍රේලියාවේ විවිධ ජනමාධ්‍ය ඔස්සේ පසුගිය දශක කිහිපය තුළ වඩාත් ප්‍රවෘත්ති මැව්වේ මේ සරණාගත තත්ත්වය ඉල්ලා පැමිණෙන සංක්‍රමණිකයින් පිරිස වුවත්, සංක්‍රමණික ශ්‍රී ලාංකික ලේඛකයින් විසින් ලියැවෙන නවකතා, කෙටිකතා යනාදී සාහිත්‍ය නිර්මාණ සඳහා සරණාගතයින් වස්තු බීජ වෙන අවස්ථා සාපේක්ෂව අඩු බව මගේ නිරීක්ෂණයයි. මීට වසර පහළොවකට පමණ පෙර ජගත් ජේ එදිරිසිංහ විසින් ලියන ලද “අසුර අඩවිය” නම් කෘතිය ද, ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ලේඛකයින් විසින් ඔවුන්ගේ සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් ලියන ලද කෙටිකතා ඇතුළත් “ඔසී රටේ අපේ කතා” කෘතියට අඩංගු වූ ප්‍රියන්ත ෆොන්සේකා ගේ “රමේෂ්” නම් කෙටිකතාව ද, පොත් එකතුවේ තිබුණ ද මා තවමත් කියවා නොමැති පද්මා ජයවර්ධනගේ “අපිදු යාත්‍රා කළෙමු” නවකතාව ද, මෙහි දී මගේ සිහියට නැගේ.

එසේම, මා සඳහන් කළ තාවකාලික ශිෂ්‍ය වීසා බලපත් යටතේ මෙහි වාසය කරන තරුණ පිරිස වස්තු බීජ කොට කෙරුණු සාහිත්‍ය නිර්මාණ ඇත්තේ ද ස්වල්පයකි. ජගත් එදිරිසිංහ ගේ “ගිම්හාන සුළඟ” නවකතාව මෙන්ම, පෙර කී ඔසී රටේ අපේ කතා කෘතියේ අඩංගු ඩිලිනි ඊරියවල ගේ “ස්ට්‍රේලියාව, රටගාය සහ අපි” නිර්මාණය ද මෙහි දී මගේ සිහියට එයි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දීර්ඝ කාලයක් තිස්සේ වාසය කරන කවියෙකු, කෙටිකතාකරුවෙකු, නාට්‍යකරුවකු වන ලක්ෂ්මන් කොඩිතුවක්කු විසින් රචනා කරන ලද “කැන්ගරු වන්නම” නම් නවකතාව වැදගත් වන්නේ මූලිකවම එයට වස්තු බීජ වී ඇති ‍ශ්‍රී ලාංකික සරණාගතයින් පිළිබඳ ප්‍රශ්නය නිසා ය. ඊට අමතරව කෙදිනක හෝ ස්ථිර පදිංචිය සඳහා අවසර ලබා ගැනීමේ අරමුණින් මෙහි වසන ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් පිළිබඳව ද කැන්ගරු වන්නම නවකතාවේ අඩු නොමැතිව සඳහන් ය.

ලක්ෂ්මන් කොඩිතුවක්කු නිර්මාණකරුවාව මා මුලින් හඳුනාගත්තේ කෙටිකතාකරුවෙකු ලෙසිනි. ඔහු විසින් රචනා කරන ලද කෙටිකතා ඇතුළත් ග්‍රන්ථ තුනක් මේ වන විට ප්‍රකාශයට පත් වී ඇති අතර සිව්වැනි කෙටිකතා සංග්‍රහය මුද්‍රණයේ පවතී. ඒ අතරින් ඔහුුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන “පරමේශ්වරී සහ වෙනම රටක්” (2009) ගොඩගේ සාහිත්‍ය සම්මානයට නිර්දේශ වූ අතර “ප්‍රතිමාවක්, සංක්‍රමණිකයෙක් සහ දරුවෙක්” (2015) කෙටිකතා සංග්‍රහය ගොඩගේ සහ රාජ්‍ය සාහිත්‍ය සම්මානයන්ට නිර්දේශ විය. ඊට අමතරව ලක්ෂ්මන් කොඩිතුවක්කු “පැය අටේ මිත්‍රයෝ” නමින් කාව්‍ය සංග්‍රහයක් ද, “පුංචි ටොමී සිඩ්නි ගියා” (2006) සහ “මේ අපේ ලොවයි” (2015) නමින් ළමා කතා ද්වයක් ද, “හුුස්ම” (2013) නමින් කෙටිකතා සංග්‍රහයක් ද, “පරාරෝපණය” (2014) නමින් යොවුන් නවකතාවක් ද ප්‍රකා‍ශයට පත්කර ඇති ප්‍රවීණ ලේඛකයෙකි. “කැන්ගරු වන්නම” ලක්ෂ්මන් කොඩිතුවක්කු රචනා කළ දෙවැනි නවකතාවයි. ඔහුගේ මුල් නවකතාව “කවුළුවක් මං පියාපත් නැති” නමින් 2017 දී ප්‍රකාශයට පත්වුණි.

මා මුලින් සඳහන් කළ පරිදි “කැන්ගරු වන්නම” නවකතාවට මූලිකවම පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ සංක්‍රමණ සරණාගත නිසා අයැදුම් කර, එය අනුමතවේද කියා කිසිදු ස්ථිරත්වයක් නොමැතිව, ඒ අතරතුර විවිධාකාරයේ සුළු රැකියාවල නිරත් වෙමින් දරිද්‍රතාවය අද්දර ජීවත්වන ජන කොටසේ කතාවයි. මේ පිරිස අතර මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වන, ශ්‍රී ලංකාවේ සිට නැටුම් කණ්ඩායමක් සමග සංදර්ශනයක් සඳහා පැමිණ සංචාරය නිමවා සෙසු පිරිස සමග ආපසු නොගොස් සිඩ්නි නගරයේ නතර වුණු හෙවත් “ගල් වුණු” ජිනේන්ද්‍ර මෙන් ම, ලංකාවේ උතුරුකරයේ සිට බොහෝවිට බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාවට පැමිණ සරණාගත වීසා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකේය දෙමළ ජාතිකයින් වන ගනේෂ් සහ ශංකර් ද, නේපාල ජාතික බිරේන්ද්‍ර ද සිටී. එසේම ශිෂ්‍යයකු ලෙස මෙහි පැමිණ, විවිධ ප්‍රශ්න වලට පැටලී අධ්‍යාපනය කඩාකප්පල් කරගත් නිසා ආපසු ලංකාවට නොයා සරණාගතයෙකු ලෙස මෙහි පදිංචිවීමට අවසර ගැනීමට වෙර දරන සුපුන් සහ ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පුරවැසිකම ලබා ගැනීමේ අවසාන බලාපොරොත්තුව සහිතව තවමත් ඉගෙනුම මජීමා නම් තරුණ ශිෂ්‍යාව ද මෙහි චරිත මවති.

ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ නාට්‍ය සහ කෙටිකතා නිර්මාණවල අපට නිරතුරු අසන්නට, දක්නට ලැබී ඇති උපමා, උපමේය, රූපක යනා දී භාෂාලංකාරයෙන් අනූන සාහිත්‍යමය රචනා ශෛලිය කැන්ගරු වන්නම නවකතාවේ ද නොමදව දකින්නට ඇත. සාමාන්‍ය, සරල කතන්දර කියන්නෙකු නොව ලක්ෂ්මන් කොඩිතුවක්කු ශූර ලේඛකයෙකු වන්නේ ඒ අති පොහොසත් ලෙස භාෂාව හැසිරවීමේ කෞශල්‍යය නිසා බව මගේ අදහසයි.

නවකතාවේ භූමිකා නිරූපණය කරන සරණාගත සහ ශිෂ්‍ය චරිත තමන්ගේ එදිනෙදා ජීවිකාව සපයා ගැනීම උදෙසා විඳින දුක් කරදර මෙන්ම, ඔවුන්ගේ චිත්ත දෝමනස්සය ද, පිටු තුන්සිය පනහක් ඔස්සේ දිවයන මේ නවකතාවේ මැනවින් විග්‍රහ කෙරේ. කතාව අවසානයේ දී ඇතැමෙකුගේ ඒ බලාපොරොත්තු සුන් වී, ආපසු ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඒ සමගම, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ඒ දුක් කතරින් මිදී තමන් අපේක්ෂා කළ ගමනාන්තය කරා ළඟා වෙති, එනම්, ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචය සඳහා අවසරය කෙසේ හෝ ලබා ගනිති. නමුත් එය සිදුවන්නේ ඔවුන් පැතූ ආකාරට සුන්දරව, සුමටව හෝ ක්ෂණිකව හෝ නොවේ. එ නිසා කැන්ගරු වන්නම නවකතාව කිසිසේත් ම සුඛාන්තයක් ලෙස වර්ගීකරණය කළ නොහැක.

මීට අවුරුදු පහළොවකට පමණ පෙර මම ඕස්ට්‍රේලියානු වාසී සංක්‍රමණික සිංහල ලේඛකයින්ගේ අත්දැකීම් මත පදනම්ව ලියැවුණු කෙටිකතා සංග්‍රහයක් “තිරස තරණ” (2009) නමින් සම්පාදනය කළෙමි. කෙටිකතා පහළොවක් ඇතුළත් අත් පිටපත නිමවා, එය අපේ සංගමයේ එවකට නිලතල දැරූ නිරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් තිදෙනාට යොමුකළ විට ලැබුණු එක් ප්‍රතිචාරයක් වූයේ මේ කෙටිකතාවලින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණික සිංහල ජනතාව පිළිබඳව ඇතිවන්නේ සෘණාත්මක හැඟීමක් බවයි. එය සත්‍යයෙන් බොහෝ දුරස්ථ නිසා කෙටිකතා සංග්‍රහය කෙතරම් යථාර්ථවාදී ද යන ප්‍රශ්නය ද මතුවිය.

ඒ ඇගයීම සත්‍යයකි. මන්ද යත් ඒ කෙටිකතා පහළොවෙන් එකොළහක් ශෝකාන්ත ලෙස නම් කළ හැකි ඒවා විය. මෙයට හේතුව සංක්‍රමණික ජන පිරිස දුක්මුසු ජීවිත ගත කිරීම නොව, කෙටිකතාවක් වැනි සාහිත්‍යමය නිර්මාණයක් කිරීම සඳහා අප බොහෝ විට පෙළඹෙන්නේ හිත වඩාත් සසල කරන අත්දැකීමක් අනුසාරයෙන් නිසා වීමයි. මේ තත්ත්වයෙන් මිදීම සඳහා කෙටිකතා එකතුවේ සංස්කාරක ලෙස මා ගත් ක්‍රියාමාර්ගය වූයේ, අත්පිටපත සඳහා කෙටිකතා රචනා කර තිබුණු ලේඛකයින් පහළොස් දෙනා අතුරින් මා පුද්ගලිකව දන්නා කියන දෙදෙනෙකුගේ සහ මගේ කෙටිකතා වෙනුවට, අප තිදෙනා විසින් ලියා තිබුණු දුක නොමැතිව හාස්‍ය රසයක් ගෙන දෙන කෙටිකතා තුනක් එකතු කිරීමයි. එමගින් කෘතියේ අඩංගු දුක් ප්‍රතිශතය 50% ආසන්නයටම අඩු කරගැනීමට මට හැකි විය.

නැවතත් ලක්ෂ්මන් කොඩිතුවක්කුගේ “කැන්ගරු වන්නම” නවකතාවට අවධානය යොමු කළහොත්, එය ශෝකාන්තයක් වන්නේ එහි පාත්‍ර වර්ගයාට මුහුණ පාන්නට සිදුවන දුක්බර අත්දැකීම් නිසා ම ය. එය සත්‍යයයි. සරණාගතයින් ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණෙන අයගේ ජීවිත මෙන්ම, ලංකාවේ දී අවම මුුදලක් වියදම් කර ශිෂ්‍ය වීසා ලබාගෙන, ඕස්ට්‍රේලියාවේ දී රැකියා කරමින් ජීවත්වෙන අතරතුර ඉගෙනගැනීමට මෙහි පැමිණෙන අයගේ ජීවිත ද කිසිසේත්ම සුඛදායක ඒවා නොවේ. එනිසා දුකෙන් කෑල්ලක් කපා ඒ වෙනුවට හාස්‍ය කෑල්ලක් ඔබ්බවා සරණාගතයින්ගේ සහ ශිෂ්‍යයින්ගේ කතාව වෙනස් කරන්නට කිසිවෙකුට නොහැකි ය.

ලක්ෂ්මන් කොඩිතුවක්කු ලියූ කැන්ගරු වන්නම නවකතාව, සදාකාලිකව ජීවත්වීම පිණිස ඕස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වෙන අය මෙන්ම ඕස්ට්‍රේලියාවේ වෙසෙන අය ද කියවිය යුතු කෘතියක් ලෙස මම නිර්දේශ කරමි.

කැන්ගරු වන්නම සුරස ප්‍රකාශනයකි. මිල රුපියල් 550.

- රසික සූරියආරච්චි [rasika.suriyaarachchi@gmail.com]

5 comments:

  1. සටහන අපූරුයි.
    ස්තූතියි පොත් ගැන සියලු තොරතුරු වලට. ප්‍රධානව සඳහන් වන පොත හැරෙන්නට අනෙකුත් පොත් වලත් ප්‍රකාශකයන් හෝ මිලදී ගත හැකි ආකාරයක් දන්වන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මමබලන්නම්.


      මේ සටහන ලිංක් එක සහිතව හෝ රහිතව බුක්ටෝපියාවේ පළ කරන්න පුලුවන්ද.

      ලිංක් එක පෝස්ට් එකට යටින් දැම්මට කමක් නෑ. නමුත් ලිංක් එක විතරක් ඇක්සෙප්ට් කරන්නෑ.

      අපි කරන්නෙ ( පරණ බ්ලොගර්ල කීපදෙනෙක්. සහයක් දෙන්න පුලුවන් නං සතුටුයි) 🙂

      https://www.facebook.com/groups/booktopia

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.