Friday 7 January 2022

මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything


මේ සටහන් පෙළේ පළමු කොටසේ මා ලියූ පරිදි අපේ තැස්මේනියානු සංචාරය සැලසුම් කර ඒ සඳහා මූලික කටයුතු අප යෙදුවේ 2021 මැයි මාසයේ දී ය. පීසීආර් ප්‍රතිඵල ද ඇතුළු සියලු කොන්දේසි සපුරාගෙන අප ගුවන්තොටුපොළට ගිය විට සිදුවුණේ නොසිතූ පරිදි ගුවන් යානය අවලංගු වීමයි.

අද එතැන් සිට

මගේ වසර තිස් තුනක ගුවන් ගමන් ඉතිහාසයේ මේ ආකාරයට ගුවන්‍ ගමනක් අවලංගු වූයේ පළමුවෙනි වතාවට බව කිව යුතුයි. අපේ ගුවන් ගමන පමණක් නොව, වර්ජින් ගුවන් සේවාවේ ගුවන් ගමන් හතරක් ම අවලංගු වී ඇති බව පෙනුණි.

මෙය කිසිසේත්ම කාර්මික දෝෂයක් විය නොහැකි බව පැහැදිලි විය.

පසුව අපට දැන ගන්නට ලැබුණේ ගුවන් කාර්ය මණ්ඩලයේ අයෙකුට කෝවිඩ් වැළඳී ඇති නිසා, ඒ පුද්ගලයා ගේ සමීප සේවකයින් ස්වය නිරෝධායනයට ලක් කිරීම මේ අවලංගු කිරීමව්ලට හේතුව බවයි.

තවත් ටික වේලාවකට පසු ගුවන් යානයට පටවා ගන්නා ලද අපේ ගමන් මලු නිදහස් කරන ලදී. ඒවා අප අතට පත් වූ වහාම අප දිව ගියේ ලොන්සෙස්ටන් නගරය එදින ගමන් ගන්නා වෙනත් ගුවන් සේවයක ටිකට් ඉතුරුව තිබේ නම් ඒවා මිල දී ගෙන සැලසුම් කළ පරිදි අද ම අපේ ගමන යෑමටයි.

අවාසනාවකට මෙන් එය කළ නොහැකි වූ අතර අපට හැකිවුණේ ඊළඟ දවසේ පිටත් වෙන ජෙට්ස්ටාර් ගුවන් සේවයේ යානයක ටිකට් පත වෙන් කර ගැනීමට පමණි.

එලෙස ඇති වූ අපේක්ෂා භංගත්වය මැඩ යම් සාර්ථකත්වයක් ලබා ගත්තත් අප මුහුණ දුන් ඊළඟ ප්‍රශ්නය වූයේ, හෙට, එනම් දෙසැම්බර් 19 වන දිනය වන විට, අප ලබාගෙන තිබූ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල නියමිත පැය 72 ඉක්ම ගොස් අවලංගු වීමයි.

එනිසා, ගුවන් තොටුපලේ සිට ආපසු නිවස බලා යන අතරේ අප කළේ පීසීආර් පරීක්ෂණය කරන මධ්‍යස්ථානයකට ගොස් ඛේට සාම්පල ලබා දීමයි. නමුත් මේ වන විට විදෙස්ගත් වීමට මෙන්ම ඕස්ට්‍රේලියාවේ ම වෙනත් ප්‍රාන්ත වෙත යෑම සඳහා ම විශාල පිරිසක් ද, රෝග ලක්ෂණ පහළ වීම නිසා තවත් පිරිසක් ද, රෝගයට ගොදුරු වී ඇති අය සමග ළඟින් ඇසුරු කළ නිසා තව පිරිසක් ද පීසීආර් පරීක්ෂණය කර ගන්නා නිසා අපේ ප්‍රතිඵල පහුවදා දහවලට පෙර ලබා දීම කිසිසේත්ම පිළිබඳ වගකීමක් දිය නොහැකි යයි අපට පවසන ලදී.

ඇත්තටම එය එසේ ම විය. අපට එම ප්‍රතිඵල ලැබුණේ දින එකහමාරකට පසුව ය.

එනිසා නිවසට ගිය පසු අප තීරණය කළේ, විදෙස් ගමන් යන්නන්ගේ සහ විදේශවල සිට පැමිණෙන අයගේ අවශ්‍යතා සපුරනු පිණිස සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටුවා ඇති පීසීආර් පරීක්ෂණ මධ්‍යස්ථානයට ගොස් මුදල් ගෙවා පරීක්ෂණය කර ගැනීමට තීරණය කිරීමයි. මෙම මධ්‍යස්ථානයෙන් ප්‍රතිඵලය ලබා දීම විනාඩි 90ක් ඇතුළත කරන බවට සහතිකයක් ඇත. අයකරන මුදල ඩොලර් 79 කි.

අපේ ගුවන් ගමන් යෙදී තිබුණේ මධ්‍යාහ්නයේ වුවත්, අප පසුවදා එනම් දෙසැම්බර් 19 ඉරිදා ද, පෙරදින මෙන් උදෑසන ම අවදිව, නිවසේ සිට ගුවන් තොටුපලේ මෙවර ජාත්‍යන්තර අංගනයට ගොස් වාහනය එහි නවත්වා, එදින උදෑසන ඉන්ටර්නෙට් ඔස්සේ මුදල් වෙන් කරගෙන තිබුණු පරිදි පීසීආර් පරීක්ෂණය කර ගත්තෙමු. ඉන්පසුව, එතනින් පිටත් වී මද දුරකින් පිහිටා ඇති සිඩ්නි අභ්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොස් වාහන අංගනයේ මෝටර් රථය නවත්වා ප්‍රතිඵල එනතුරු බලා සිටිමු. පැයක් පමණ ගිය පසු අප සියලු දෙනාටම බලාපොරොත්තු වූ ප්‍රතිඵලය, එනම්, අපට වයිරසය ආසාදනය වී නොමැති බව කියවෙන පණිවිඩය ලැබුණි.

ඉතින්, මුලින් සැලසුම් කළ වෙලාවෙන් පැය විසි අටකට පමණ පසු අප තැස්මේනියා දිවයිනේ ලොන්සෙස්ටන් නගරයේ ගුවන් තොටුපළට ළඟාවීමු.

ගුවන් තොටුපළේ දී අපට පර්යන්තයෙන් පිටට ඒමට ඉඩ ලැබුණේ, කෝවිඩ් සඳහා එන්නත් දෙකක් ලබා ඇති බවට ෆෙඩරල් රජයෙන් නිකුත් කළ සහතිකය සහ පීසීආර් පරීක්ෂණයේ සාර්ථක ප්‍රතිඵලය පෙන්වීමෙන් පසුව ය. එසේ කළ නොහැකි වූ තිදෙනෙකු යැයි අපට සිතුණු දේශීය සංචාරකයින් තිදෙනෙකු එක්කෝ පරීක්ෂණය කිරීම සඳහා හෝ නැතිනම් නිරෝධායනය සඳහා හෝ රැගෙන යනු දක්නට ලැබුණි.

මේ වන විට අපේ මුල් චාරිකා සැලසුම අවුල් වී ගොස් තිබුණු බව අමුතුවෙන් කිව යුතු නැත. වැස්සක් ද ඇරඹී තිබුණි. අප සෙනසුරාදා සවස් වරුවේ කිරීමට සිතූ ගමන, අද ඉරිදා කිරීමට කාලය නොතිබුණි. ඉරිදාට සැලසුම් කළ දේ ද කෙළින්ම අතහැර දැමීමට සිදුවිය.

එනිසා අප කළේ, වෙන කර ගෙන තිබුණු කුලී වාහනය ද පදවාගෙන, ස්වොන්සි නගරයේ පිහිටි, අපේ සංචාරක නවාතැන වෙත යෑමයි.

එදින සැන්දෑ යාමය, අල්ලාප සල්ලාපයෙන් ද, ප්‍රණීත ආහාර මෙන්ම පානයෙන් ද සතුටුවෙමින් අප කල් ගත කළේ, පසුදා, එනම් දෙසැම්බර් 20 සඳුදා සිට මුල් සැලසුමේ පරිදි කටයුතු කිරීමටයි.

නමුත් දින දෙකක් ඇතුළත සියල්ල වෙනස් විය.

ඒ විස්තර ඊළඟ කොටසින්:
ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html


-රසික සූරියආරච්චි

මුල් කොටස සඳහා සබැඳිය:
රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html


4 comments:

  1. ඉතුරු ටිකත් දාමු.

    තැස්මේනියන් ඩෙවිල් කෙනෙක් හම්බඋනේ නැත්තං ඔය ගමන වැඩක් නෑ. :D

    ReplyDelete
    Replies
    1. තැස්මේනියන් ඩෙවිල් දැක්කා දෙවසරකට පෙර ගිය වෙලේ
      https://www.facebook.com/suriyaarachchi/posts/10158072717663793

      !

      Delete
  2. ඉතාම රසවත් සටහනකි. ඉතිරි කොටස පළ වන තෙක් නොඉවසිල්ලෙන් සිටිමි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.