Wednesday 9 March 2022

ආස්මී රසිකයින් සහ ආස්මී නොවන රසිකයින් - Ask-me or not-ask-me 😛


ඊයේ මම ආස්මී නම් කෑම වර්ගය ගැන කෙටි සටහනක් ලියා ෆේස්බුක් එකේ පළ කළෙමි. මා මිත්‍ර සතින්ද්‍ර සත්‍යප්‍රසාද් (ඒ බව කෙලින් ම නොකියා) මගේ සටහනට පිළිතුරක් ලෙස පෙනෙන සටහනක් ලියා ෆේස්බුක් එකේ පළ කර තිබෙනු මම අද දුටිමි.

පහත පළවෙන්නේ ඒ සටහන් දෙකයි.

කැමති පරිදි කියවා (හෝ නොකියවා), ඔබ ආස්මී රසිකයෙකු ද, ආස්මී නොවන රසිකයෙකු ද කියා දන්වන්න.


ආස්මී නොවන රසිකයෙකුවන රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි මෙසේ කියයි.


ඊයේ උත්සවයකට ගිය විට එහි ලාංකික රසකැවිලි මේසයක් ද දක්නට ලැබුණු අතර එහි තිබූ ආස්මී නම් සාමාන්‍යයෙන් සිංහල අලුත් අවුරුදු කාලයට දක්නට ලැබෙන රස කැවිල්ල දැක සිතට ආ කරුණක් මෙසේ ලියමි.

ආස්මී යනු මගේ මතයට අනුව මේ ලොකේ ඇති මෙලෝ රහක් ම නැති රසකැවිල්ලයි. මෙයට රසකැවිල්ලක් යැයි ඇත්තටම කිව හැකි ද යන්න ද ප්‍රශ්නයකි.

සාමාන්‍යයෙන් රස කැවිල්ලක ඇති පැණි රස වුවද මෙහි ඇත්තේ ඔය උඩින් යන්තම් දවටන සීනිවලින් හෝ පැණියෙන් යොදන සැරසිල්ලේ පමණි. සුදු පැහැයෙන් යුතු කොටස නම් මොන මංගල්ලයක් සඳහාදැයි නොතේරේ.

මෙලෝ රහක් නැති වීම හැර ආස්මී නම් ඊනියා රස කැවිල්ලේ තවත් ප්‍රශ්නයක් ඇත.

එනම්, විශිෂ්ට රසකැවිලි වන කොණ්ඩ කැවුම් මුං කැවුම්, වැලිතලප, කිරි ටොපි වැනි රසකැවිලි මෙන් නොව ප්‍රමාණයෙන් ඉතා විශාල වීමයි. කොටින්ම ආස්මී එකක් සාමාන්‍ය පිඟානකින් අඩකි.

ආස්මිලා හිතාගෙන ඉන්නේ තමන් හැලප තරම් රසවත් යැයි කියා විය යුතුය.

එනිසා වර්ණ ගන්වා ඇති සැරසිල්ල ට රැවටී හෝ දිගු කලකින් දැක නැති නිසා හෝ ආස්මී එකක් අතට ගන්නා තැනැත්තා එක් කටක් කෑමෙන් පසු ඉතුරු කොටස අවසන් කරන්නේ කෙසේද කියා ඉතා විශාල ප්‍රශ්නයකට අනිවාර්යෙන්ම මුහුණ දීමට නියමිත ය.

එවැනි අවස්ථාවක ඔබ ලග හිටිය හොත් බාගයක් ඕනෙද කියා ඔබෙන් ඇසීමට ද නියමිතය. ඊයෙ මට ද එම පැනය අල්ලපු පුටුවෙන් ලැබුණි. අපි අහුවෙයි ඕවට...!!!

ආස්මී සම්බන්ධයෙන් මගේ යෝජනාව මෙයයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ආස්මි එකක ප්‍රමාණය කොණ්ඩ කැවුමක් තරමට කුඩා කරන්න.

(ඡායාරූපය සොයාගත්තේ "සුදු" නම් ෆේස්බුක් පිටුවෙනි)
  ආස්මී රසිකයෙකුවන ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් මෙසේ කියයි.


රසකැවිලි මේසයේ මගේ ප්‍රියතම රසකැවිල්ල - ආස්මී

මේ සටහන ලියන්නට මෙතෙක් පමා වුණේ ආස්මී එකක් කන ගමන්ම, එහි පින්තූරයක්ද සහිතව, එසේ කිරීම මගේ අදහස වූ නිසයි. පින්තූරයේ ඇති රසකැවිල්ල සාම්ප්‍රදායික අර්ධ-වෘත්තාකාර හැඩයෙන් වෙනස්ව, තරමක් කැඩී, ඇත්තේ මන්දැයි මා නොකිව්වාට අනෙක් ආස්මී රසිකයෝ (ආස්මී නොවන "රසික"යෝත් සිටිත්!) දන්නවා ඇති. 😛

ආස්මී යනු කෙසෙල්ගෙඩි ළඟට අවුරුදු කැවිලි මේසයේ ඇති වඩාත්ම සෞඛ්‍ය හිතකාමී රසකැවිල්ලයි. ප්‍රමාණයෙන් විශාලව පෙනුණත් ආස්මී එකක් සාමාන්‍යයෙන් කැවුමකට, මුං කැවුමකට වඩා එහෙමට බරින් වැඩි නැත. ඒත් අන් සියලු අවුරුදු කැවිලිවලට වඩා සීනි, පිටි සහ තෙල් අඩුවෙන්ම අඩංගු ආස්මී වලයි.

නමුත් මට ආස්මී වැදගත් වන්නේ එහි මිහිරි රස නිසායි. අනෙක් කැවිල්ලක් දතින් හැපෙනවිට දැනන තෙල් රසට වඩා ආස්මී වල මෘදු රැල් සහිත ස්වභාවයට, හැපෙන විට දැනෙන සිහින් ක්‍රිස්පියට, තැනින් තැන රැඳුන පැණි රසට මම බෙහෙවින් ප්‍රිය කරමි. ආස්මී වැඩි කාලයක් තබා ගත හැකි අතර කිසි විටෙක මුඩු තෙල් සුවඳ හමන තත්ත්වයට පත් නොවේ.

ආස්මී වල ලොකුම වරද නම් හැමදෙනාටම හොඳ ආස්මී හදන්නට නුපුළුවන් වීමයි. එසේම බොහෝ දෙනා ආස්මී සාදන්නට නොදැන සිටීමයි. වෙළඳපොළේ ඇති සමහර නීරස ආස්මී මෙන් නොව දවුල් කුරුඳු හා පිටි මැනැවින් යොදා ගෙදරදී සාදාගත් ආස්මී වරක් කන්නට ලැබුණොත් හොය හොයා කන්නට සිතේ.

අවුරුදු තේ මේසයකට වාඩිවන මා ආස්මී තිබුණොත් අන් යමක් කන්නේම නැත. "ලයිට්වට යමක් කන්නට" හිතුණොත් ඒත් කරන්නේ එයමයි.

මා කිසිම විටෙක ආස්මී එකක් දෙකට කඩා බාගයක් පමණක් කා නැත. කලාතුරකින් දිනෙක එසේ කා ඇත්නම් ඒ මගේ ආස්මී එකට අමතරව යාබද අසුනේ සිටි අයෙකුගේ ආස්මී එකකින් අඩකි!

ආස්මී සැපයුමේ ස්තුතිය Keshara Nedungamuwa සහ පවුලේ සැමදෙනාට.


දැන් මෙන්න කලින් ඇසූ ප්‍රශ්නය නැවතත්.

ඔබ ආස්මී රසිකයෙකු ද, නැතිනම්, ආස්මී නොවන රසිකයෙකු ද?

-රසික සූරියආරච්චි

13 comments:

  1. මම ආසම ආස්මී.

    ReplyDelete
  2. ආස්මි විවිද ආකාරයට කන්නට පුළුවන්.

    පැණි නොදාපු ආස්මි හරක් මස් හොද්දක් එක්ක කන්නට හොදයි. ඊට පස්සේ සිකරට් එකක් බොන්න ඕනි කහට එකක් එක්ක.

    ගංජා බිලා පැණි දාපු ආස්මි කන්න හොදයි වැඩි සීනි මයිලෝ එකක් එක්ක.


    ReplyDelete
  3. හොඳට පැණි දාල හදන ආස්මී එකකනං ඔය කන්නෙ කොහොමද කියන සීන් එක එන්නෙ නෑ. මටනං සම්පූර්ණ ආස්මී එකක් කන්න ලැබුන අවස්ථාවල කවදාවත් ඒක බෙදා ගැනීමේ චේතනාවක් ඇතිවෙලා නෑ. (ගොඩක් වෙලාවට ඕක එකයි දෙකයි හින්ද හම්බවෙන්නෙ ඉතිං ගෙදර අයත් එක්ක බෙදාගෙන කනකොට සම්පූර්ණ එකම කන්න වෙන්නෙ බොහොම කලාතුරකින්)

    ReplyDelete
    Replies
    1. ප්‍රමාණය කුඩා කළා නම් පහක් හයක් ලැබේවි!

      Delete
  4. ආස්මී එක්ක තරහක්වත්- ව්ශේෂ හිතවත්කමක්වත් නැත. වැඩි දෙනෙකුට හදන්නට නම් බැරිය!

    ReplyDelete
  5. ආස්මී රසිකයෙකුවන ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද්ගේ අදහසට එක හෙලාම එකඟ වෙමි.
    ආස්මී නොවන රසිකයෙකුවන රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි හට යම්කිසි දිනක 'නියමාකාරයෙන්' සැදූ ආස්මී (not store bought) කෑමට ලැබුනොත් එදිනට ආස්මී රසිකයෙකුවන ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද්ගේ අදහසට එකහෙළා එකඟ වෙන බව නම් මම සිතමි.

    ReplyDelete
  6. ආස්මි වලට කැමති උනාත් තනිඑකක් නම් කන්ට බෑ මටත් හිට....😄

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.